ජෝෂප් කිෂෝර් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 31 වන දින Trump follows genocidal threat against Iran with 2-week “ceasefire” යන හිසින් පළවූ ජෝෂප් කිෂෝර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.
“අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇත” යනුවෙන් තර්ජනය කිරීමෙන් පැය දහයකට පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා සවස ට්රුත් සෝෂල් (Truth Social) හි ප්‍රකාශයක් පළ කරමින් කියා සිටියේ, ඉරානය “හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට” එකඟ වීම මත කොන්දේසි සහිතව “ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාරය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන” බවයි. එක්සත් ජනපදය “දැනටමත් සියලු මිලිටරි අරමුණු සපුරා ඇති අතර ඒවා ඉක්මවා ගොස් ඇති” බවත්,එක්සත් ජනපදය සහ ඉරානය “නිශ්චිත ගිවිසුමක් කරා බොහෝ දුර ගොස් සිටින බවත්” ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේය.

ඉරාන නිලධාරීන් උපුටා දක්වන මාධ්‍ය වාර්තාවලට අනුව, චීනය අවසන් මොහොතේ සිදු කළ මැදිහත්වීමෙන් පසුව, පාකිස්තානය විසින් යෝජනා කරන ලද “සටන් විරාමයක්” ඉරානය පිළිගෙන ඇත. ඊට, ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා මොජ්තාබා කමෙයිනි විසින් අවසාන අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
මෙම ලිපිය ලියන අවස්ථාව වන විට, ගිවිසුමේ පදනම කුමක්ද යන්න පැහැදිලි නැත. අඟහරුවාදා සවස ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් CNN දැඩි ලෙස හෙළා දැකීමක් පල කරමින් , “සීඑන්එන් වර්ල්ඩ් නිවුස් (CNN World News) විසින් නිකුත් කරන ලදැයි කියන ප්‍රකාශය, සීඑන්එන් (CNN) හොඳින් දන්නා පරිදි වංචාවක් බව” සදහන් කර, සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කළේය. CNN විසින් ප්‍රකාශයට පත් කරන ලද “ඉරානය ජයග්‍රහණය ප්‍රකාශ කරයි, එය එක්සත් ජනපදයට කරුණු 10 ක සැලැස්මක් පිළිගැනීමට බල කළ බව පවසයි” යන මාතෘකාව යටතේ වන වාර්තාවක් හා සම්බන්ධ බව අනුමාන කළ හැකිය.
කෙසේ වෙතත්, මෙම 11 වන පැයෙහි ඇති වූ ගිවිසුම ට්‍රම්ප්ගේ පසුබැසීමක් ලෙස දකිනු ඇත. ඔහුගේ තර්ජන ඉරානය බිය ගැන්වීමට අසමත් වූ නමුත්, ඒවා ඔහුගේ රජය තුළ දේශපාලන අර්බුදය තීව්‍ර කර තිබේ.
එයමත් යුධ අපරාධ යක් වන, මිලියන 93 ක ජනතාවක් සිටින ශිෂ්ටාචාරයක් සමූලඝාතනය කිරීමට ට්‍රම්ප් කළ තර්ජනය සහ, සමස්තයක් ලෙස මෙම යුද්ධය, ඓතිහාසික පරිමාණයේ දේශපාලන අර්බුදයක් ඇති කර තිබේ. මෙම ප්‍රකාශ මගින් ඇමරිකානු රජය අපරාධකාරී පාතාලය විසින් මෙහෙයවනු ලබන නීති විරෝධී පාලනයක් ලෙස හෙලිදරව් කර ඇත. එය එක්සත් ජනපදය පුරා සහ ජාත්‍යන්තරව කම්පනයක් සහ පිළිකුලක් ජනනය කළේය. එක්සත් ජනපදයේ සදාචාරාත්මක අධිකාරිය යයි කියා පාන දෑ හි ඉතිරිව යමක් තිබූනේ නම්, ඇමරිකානු සමාජයට වඩාත්ම දුරදිග යන ප්‍රතිවිපාක ඇති කරමින් ඒ සෑම දෙයක්ම ස්ථිරවම සහ ආපසු හැරවිය නොහැකි ලෙස බිඳ දමා ඇත.
වොෂින්ටනය සහ එහි සහචරයින් විසින් ඝාතනය සහ භීෂණය මගින් තීරණය කළ හැකි යැයි උපකල්පනය කළ යුද්ධයක් දියත් කළ නමුත්, ඉරාන ජනතාවගේ ප්‍රතිරෝධයේ මට්ටම ඔවුහු බරපතල ලෙස වැරදි ලෙස ගණනය කළහ. ඇමරිකානු අධිරාජ්‍යවාදය දැන් විසඳිය නොහැකි උභතෝකෝටිකයකට මුහුණ දී සිටී. ප්‍රහාරක උත්සන්න කිරීම, ජයගත නොහැකි යුද්ධයක අපරාධකාරීත්වයේ අපකීර්තිය ගැඹුරු කරන අතර පුපුරන සුලු දේශීය ප්‍රතිවිපාකවල අවදානමක් ඇති කරයි; පසුබැසීම ජාත්‍යන්තරව පරාජයක් ලෙස කියවා ගනු ඇති අතර එක්සත් ජනපදය තුළ දේශපාලන තත්වය තවදුරටත් අස්ථාවර කරනු ඇත.
අඟහරුවාදා සිදුවීම් මගින් අවධාරනය කරන්නේ අර්බුදය කෙතරම් අත්‍යසමාන වී ඇත්ද යන්නයි. මිලිටරිය තුළ, ට්‍රම්ප්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමේ කාර්යය භාර අය, යුද අපරාධ ලෙස විශ්වීය ලෙස පිළිගත් මෙහෙයුම් සිදු කිරීමේ තත්ත්වයකට පත් කරමින් ඇති අතර, ඒ, ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් සඳහා සන්නද්ධ හමුදා “වගකිව යුතු” විය හැකියාව මත වැඩෙන නොසන්සුන්තාව මධ්‍යයේය.
මෙම යථාර්ථය රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙකෙහිම කොටස් ඇතුළුව දේශපාලන සංස්ථාපිතය තුළින්ම ප්‍රකාශ විය. කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිත සාරා ජේකබ්ස් ලීවේ, “ජනාධිපතිවරයා ජන සංහාරයක් කිරීමට මේ දැන් තර්ජනය කළ” බවයි. ෆෙඩරල් සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන ඕනෑම නියෝගයක් නොසලකා හරින ලෙස ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටි ඇය “දෝෂාභියෝගය ඇතුළුව සියලු විකල්ප” සලකා බැලිය යුතු බව පැවසුවාය. කැලිෆෝනියාවේ නියෝජිත ටෙඩ් ලියු (Ted Lieu) හමුදා අණදෙන අධිකාරිය කෙලින්ම අමතමින්, හමුදා යුක්තිය පිළිබඳ ඒකාකාර සංග්‍රහය (Uniform Code of Military Justice) සහ ෆෙඩරල් නීතිය යුද අපරාධ තහනම් කරන බව අවධාරනය කළේය.
එවැනි ප්‍රකාශ නිකුත් කිරීමම අර්බුදයේ පරිමාණයේ දර්ශකයකි. එහෙත් ඒවා “විපක්ෂයේ” පක්ෂාඝාතය සහ වංචනිකත්වය ද හෙළි කරයි. ගාසා තීරයේ ජන සංහාරයට සහාය දුන්, ඉරානයට එරෙහි යුද්ධයට ඉඩ සැලසූ, මිලිටරි යන්ත්රනයට අරමුදල් සැපයූ සහ ට්‍රම්ප්ගේ ආඥාදායකත්වයට එරෙහිව කිසිදු බැරෑරුම් සටනක් දියත් කිරීම ප්‍රතික්ෂේප කළ එම ඩිමොක්‍රටිකයින්ම දැන් ආසන්න යුද අපරාධ පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරන අතර ඒවා නැවැත්වීමට කිසිදු සංයුක්ත ක්‍රියාමාර්ගයක් යෝජනා නොකරයි.
අඟහරුවාදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල ඩිමොක්‍රටික් නායකත්වය විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයේ සඳහන් වූයේ, “ඩොනල්ඩ් ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම සිහි විකල් ” බවත්, “ඩොනල්ඩ් ට්‍රම්ප් අපේ රට තුන්වන ලෝක යුද්ධයට ඇද දැමීමට පෙර, මැද පෙරදිග මෙම තෝරා ගත් අවධානම්කාරී යුද්ධය අවසන් කිරීමට මන්ත්‍රී මණ්ඩලය වහාම සැසිවාරයට කැඳවා ඡන්දය දිය යුතු” බවත්ය.
සතියකට යන්තමින් පෙර, ට්‍රම්ප්ට එරෙහිව ” රජුන් එපා -No Kings ” විරෝධතා සඳහා මිලියන 8 කට අධික ජනතාවක් වීදි බැස සිටියහ. ඉරානයට එරෙහි යුද්ධයට විරෝධය සහභාගී වූවන් අතර ප්‍රමුඛ හැඟීමක් වූ අතර,”තුන්වන ලෝක යුද්ධය” පිළිබඳ අනතුරු ඇඟවීම් කිරීම පසෙක තබා, ඉරානයට එරෙහි යුද්ධය පිළිබඳ කිසිදු බැරෑරුම් සඳහනක් කිරීම පවා ඩිමොක්‍රටික් පක්ෂ සංවිධායකයින් ක්‍රමානුකූලව බැහැර කරන ලදී.
අනිවාර්යයෙන්ම න්‍යෂ්ටික අවි භාවිතය ඇතුළත් වන ලෝක යුද්ධයක අද්දර ලෝකය සිටින බව දැන් ඩිමොක්‍රටිකයො ලියති. කෙසේ වෙතත්, ඔවුන්ගේ ආයාචනය ජනතාවට නොව රිපබ්ලිකන් පක්ෂයට ය. “පක්ෂයට තිබෙන පක්ෂපාතිත්වයට වඩා දේශප්‍රේමී යුතුකම ඉටු කිරීමටත්, මෙම පිස්සුව නැවැත්වීමට ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්වීමටත් රිපබ්ලිකන් පක්ෂ මන්ත්‍රී මණ්ඩලයට කාලය පැමිණ තිබේ” යැයි ප්‍රකාශය අවසන් කර තිබේེ.
සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂ නායක චක් ෂූමර් සහ සෙනෙට් සභාවේ අනෙකුත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් හා එක්ව අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින්, “මිලියන ගණනක් සිවිල් වැසියන් යැපෙන විදුලිය, ජලය හෝ මූලික යටිතල පහසුකම් හිතාමතාම විනාශ කිරීම … යුද අපරාධයක් වනු ඇති බව” පිළිගත්තේය. නමුත් මෙහි ක්‍රියාකාරී වැකිය ආයාචනයකි: “ජනාධිපතිවරයා මෙම තර්ජනය ක්‍රියාත්මක නොකළ යුතුය.” වෙනත් වචන වලින් කිවහොත්, සති පහක නීති විරෝධී යුද්ධයකින් පසුව, සෙනෙට් සභාවේ ඩිමොක්‍රටිකයන්, මහා සමූහ ඝාතන තර්ජනයකට ප්‍රතිචාර දක්වන්නේ, ට්‍රම්ප්ගෙන් එය නොකරන ලෙස ආචාරශීලී ලෙස ඉල්ලා සිටීමෙනි.
ට්‍රම්ප්ගෙන් වඩා හොඳ විනිශ්චයකට සහ රිපබ්ලිකන් “දේශප්‍රේමීත්වයට” ඩිමොක්‍රටික් පක්ෂය ආයාචනා කරන අතරම, ජනගහනය තුළ පවතින දැවැන්ත විරෝධය බලමුලු ගැන්වීම ඔවුහු ප්‍රතික්ෂේප කරති. මන්ද එවැනි බලමුලු ගැන්වීමක් ට්‍රම්ප්ට වඩා ඔවුන් බිය වන කරැනු කාරණා වහාම මතු කරනු ලබන බැවිනි.
එපමණක් නොව, බයිඩන් යටතේ ආරම්භ කරන ලද ගාසා තීරයේ සමූල ජන සංහාරයෙන් ගලා එන මැද පෙරදිග ඇමරිකානු ආධිපත්‍යයේ මූලික අරමුණට සහ ඉරානයට එරෙහි යුද්ධයට ඩිමොක්‍රටික්වරු සහාය දෙති. ට්‍රම්ප්ගේ තර්ජන ” ල්සදාචාරාත්මකව අතිශයින්ම වැරදි” සහ “නපුරු” ලෙස එදිනම කලින් හැඳින්වූ ඩිමොක්‍රටික සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි, සටන් විරාම කොන්දේසි පිළිබඳ වාර්තාවලට අඟහරුවාදා සවස මෙසේ ප්‍රතිචාර දැක්වීය: “ඉරානයට ඉතිහාසය වෙනස් කරන ජයග්‍රහණයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය එරටට ලබා දීමට ට්‍රම්ප් එකඟ වූ බව පෙනේ”. “අසාමාර්ථභාවයේ මට්ටම විශ්මයජනක හා හද කම්පා කරවන සුළුය,” මර්ෆි ලිවීය.
පාලක පන්තිය විදේශ ප්‍රතිපත්තිය තුළ විසඳිය නොහැකි උභතෝකෝටිකයකට මුහුණ දෙන්නේ නම්, එය ඊට අනුරූපව දේශීය ප්‍රතිපත්තිය තුළද විසඳිය නොහැකි උභතෝකෝටිකයකට මුහුණ දෙයි. එය, ගෝලීය යුද්ධය සහ සමාජ ප්‍රතිවිප්ලවය ක්‍රියාත්මක කිරීම සඳහා – නීතිමය හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම හරහා ක්‍රියාත්මක කළ නොහැකි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා – ට්‍රම්ප් තුළ මූර්තිමත් වූ දේශපාලන පාතාලය බලයට ගෙනැවිත් ඇත. නමුත් ඒවා පැනවීමට දරන උත්සාහය, පාලක පන්තිය වඩාත්ම බිය වන සමාජ බලවේගයන්ම පුපුරුවා හරිමින් පවතී: එනම්, එක්සත් ජනපදය තුළ පුපුරන සුලු පන්ති ගැටුමේ වර්ධනය සිදු වෙමින් පවතී.
පහළින් එන එවැනි ව්‍යාපාරයකට ධනේශ්වරයේ සියලුම කොටස් ස්ථීරසාරවම විරුද්ධ වන්නේ එය නිශ්චිත පරිපාලනයකට පමණක් නොව ධනේශ්වර පාලනයේ අත්තිවාරම් වලටම තර්ජනය කරන බැවිනි. පාලක පන්තියේ ප්‍රතිචාරය වනු ඇත්තේ පසුබැසීම නොව දේශීය මර්දනය උත්සන්න කිරීම සහ තීව්‍ර කිරීමයි.
ක්ෂණික වර්ධනයන් කුමක් වුවත්, යුද්ධය දේශපාලන සංස්ථාපිතයට පාලනය කළ නොහැකි සහ එයින් ගැලවිය නොහැකි ප්‍රතිවිපාක ජනනය කරමින් තිබේ. සංගත පාලිත දේශපාලන ක්‍රමයේ සාමාන්‍ය යාන්ත්‍රණයන් හරහා මෙම අර්බුදය විසඳිය නොහැක.
සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන තීරණාත්මක කාරණය වන්නේ සමාජීය හා දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමයි. සති දෙකක සටන් විරාමය දිගටම පැවතුනහොත් එය උත්සන්න වන දේශපාලන අර්බුදයක කාල පරිච්ඡේදයක් වනු ඇත. යුද්ධයට සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත කම්කරු පන්ති විරෝධයක් ගොඩනැගීමට මෙම කාල පරිච්ඡේදය භාවිතා කළ යුතුය.
මෙම අරගලය ධනේශ්වර කතිපයාධිකාරයට සහ එය ආරක්ෂා කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීමෙන් වෙන් කළ නොහැකි ය. පාලක පන්තිය මානව වර්ගයා ව්‍යසනයේ අද්දරට තල්ලු කරමින් සිටී. කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය සඳහා වූ සටන හරහා ඊට ප්‍රතිචාර දැක්විය යුතුය. (අවධරණය පරිවර්තනයෙදී එක් කෙරුණි)
