සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ගැඹුරු බෙදීම් මධ්‍යයේ, ඊශ්‍රායලය ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි

ඇන්ඩෲ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අප්‍රේල් 08 වන දින  “Amid deep divisions over ceasefire agreement, Israel launches massive attack on Lebanonයන හිසින් පළවූ ඇන්ඩෲ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Image Not Found
2023 දෙසැම්බර් 14 වන දින, ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූඑස්එස් ඩ්වයිට් ඩී. අයිසන්හවර් (USS Dwight D. Eisenhower) සහ වේගවත් සටන් ආධාරක නෞකාවක් වන යූඑස්එන්එස් සප්ලයි (USNS Supply) හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි. [Photo: Navy Petty Officer 2nd Class Keith Nowak]

මැද පෙරදිග පුරා සිදුවෙමින් පවතින බෝම්බ ප්‍රහාර සහ එක්සත් ජනපදය තුළම තීව්‍ර වන අභ්‍යන්තර අර්බුදයක් මධ්‍යයේ, ට්‍රම්ප් විසින් අඟහරුවාදා රාත්‍රියේ ඉරානය සමඟ ප්‍රකාශයට පත් කරන ලද සති දෙකක “සටන් විරාමය” එක් දිනක් ඇතුළත දැනටමත් බිඳ වැටෙමින් තිබේ. තම අරමුණු සාක්ෂාත් කර නොගත් යුද්ධයකින් පසු, ඉදිරියට යා යුතු ආකාරය සම්බන්ධයෙන් පාලක පන්තිය සහ රාජ්‍ය යාන්ත්‍රණය තුළ තියුණු බෙදීම් ඇති වී තිබේ.

සමස්ත තත්වයම, ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධයට යම් ආකාරයක සාමකාමී විසඳුමක් සඳහා බලාපොරොත්තු මත විශ්වාසය නොතැබීමටත්, ස්වාධීන මහජන, යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් කම්කරු පන්තිය තුළ මතු කරයි.

සටන් විරාමයේ පදනම ලෙස එකඟ වූ දේ පවා සම්පූර්ණයෙන්ම අපැහැදිලිය, එමෙන්ම මතභේදාත්මක ය. ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, බදාදා ඊශ්‍රායලය ලෙබනනයට දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. 2006 සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු, එරටට ප්‍රහාර එල්ල වූ මාරාන්තිකම දිනය එය විය. අවම වශයෙන් පුද්ගලයින් 254 දෙනෙකු මිය ගිය අතර ළමුන් 35 දෙනෙකු ඇතුළුව 1,100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මධ්‍යම බේරූට් සහ දකුණු තදාසන්න ප්‍රදේශ හරහා මහල් නිවාස ගොඩනැගිලි, නේවාසික වීදි සහ ජනාකීර්ණ වාණිජ ප්‍රදේශවලට ඊශ්‍රායල ජෙට් යානා මගින් ප්‍රහාර එල්ල විය.

එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ ගිවිසුමට මැදිහත් වූ පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් විසිනි. අඟහරුවාදා සවස ඔහුගේ නිවේදනයේ දී ෂරීෆ් ප්‍රකාශ කළේ එක්සත් ජනපදය සහ ඉරානය “ඔවුන්ගේ සහචරයින් සමඟ ලෙබනනය සහ වෙනත් තැන්වල ඇතුළුව සෑම තැනකම ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති” බවයි.

බදාදා දින, ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් විසින්  එක්සත් ජනපදය, තම ඊශ්‍රායල සගයා හරහා ලෙබනනයට දිගින් දිගටම පහර දීමෙන් සටන් විරාමය උල්ලංඝනය කරන බවට චෝදනා කරමින්, “එවැනි තත්වයක් තුළ, ද්විපාර්ශ්වික සටන් විරාමයක් හෝ සාකච්ඡා අයුක්ති සහගත වේ ” යනුවෙන් ලිවීය. ලෙබනනය ගිවිසුමෙන් ආවරණය නොවූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.  ට්‍රම්ප් සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් යන දෙදෙනාම බදාදා දින ඊට සහාය දුන් ප්‍රකාශයක් නිකුත් කළ අතර, ට්‍රම්ප් එය “වෙනම ගැටුමක්” ලෙස සඳහන් කළේය.

එක්සත් ජනපද-ඉරාන සටන් විරාම ගිවිසුම කඩාකප්පල් කිරීම සඳහා ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාරයක් එල්ල කළ බවට වන ඇඟවීම්   තිබේ. වෝල් ස්ට්‍රීට් ජර්නලය බදාදා “සටන් විරාම ගිවිසුම පිළිබඳව ඊශ්‍රායලයට දැනුම් දුන්නේ ප්‍රමාද වී ය, ඒ පිළිබඳව එය සතුටින් සිටියේ නැත” යන මාතෘකාව යටතේ ලිපියක් ප්‍රකාශයට පත් කරමින්, ඊශ්‍රායලය “ඉරාන සාකච්ඡාවලට විධිමත් ලෙස සහභාගී නොවූ” බව වාර්තා කළේය.

කෙසේ වෙතත්, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුළ සැලකිය යුතු කන්ඩායම්වල සහාය නොමැතිව ඊශ්‍රායලය මෙවැනි පරිමාණයක ප්‍රහාරයක් දියත් නොකරනු ඇත.

එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය තුළ, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශවයේම විවේචන කේන්ද්‍රගත වූයේ, ට්‍රම්ප්ගේ සටන් විරාම නිවේදනය ඇමරිකානු අධිරාජ්‍යවාදයට පරාජයක් ලෙසත් ඉරානයට ලබා දෙන  අන්තරාදායක  හා පිළිගත නොහැකි සහනයක් ලෙස හෙළා දැකීම මත ය.

සටන් විරාමය “යුද්ධයට තුඩු දුන් කිසිදු මූලික ගැටලුවක් විසඳුවේ නැත,”යි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ ජාතික ආරක්ෂක වාර්තාකරු ඩේවිඩ් සැන්ගර් බදාදා ලිවීය. “සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය යටතේ පවතින” බව ප්‍රකාශ කළ නව ඇමරිකානු ආරක්ෂක මධ්‍යස්ථානයේ ( Center for a New American Security) රිචඩ් ෆොන්ටේන් උපුටා දක්වමින් සැන්ගර් මෙසේ පැවසීය:”ඉරානය ප්‍රධාන බලශක්ති මුරපොලක පාලනය දින නියමයක් නොමැතිව තබා ගන්නා තත්වයක් එක්සත් ජනපදයට සහ ලෝකයට පිළිගත හැකි යැයි විශ්වාස කිරීමට අපහසුය. එය යුද්ධයට පෙර පැවති තත්වයට වඩා  සැලකිය යුතු ලෙස වඩාත් නරක ප්‍රතිඵලයක් වනු ඇත.”

වෝල් ස්ට්‍රීට් ජර්නල් කර්තෘ මණ්ඩලය බදාදා “ට්‍රම්ප් ඉරානයේදී නියමිත කාලයට පෙර ජයග්‍රහණයක්” ප්‍රකාශ කරයි” යන මාතෘකාව යටතේ ලිපියක් මගින් ප්‍රකාශයට පත් කළ අතර, “ඉරාන තන්ත්‍රය හෝමූස් සමුද්‍ර සන්ධියේ තර්ජනයක් ලෙස පවතින අතර  කාර්යය තවමත් අවසන් වී නැත” යනුවෙන් තර්ක කළේය. ට්‍රම්ප්ගේ “යුද්ධය පිළිබඳ අසංගත වාචාලකම” විවේචනය කළ ජර්නලය මෙසේ නිගමනය කළේය: “ට්‍රම්ප් මහතා සඳහා ඊළඟ පරීක්ෂණය වනුයේ ඔහු සති දෙකක සටන් විරාම කාල සීමාව බැරෑරුම් ලෙස සලකන්නේද යන්නයි. ඔහු එසේ කරන්නේ නම් සහ ඉරානය එහි සුපුරුදු ක්‍රීඩාවන්හි යෙදෙන්නේ නම්, ඔහුට සැබවින්ම ‘වැඩ අවසන් කිරීමට (finish the job)” සිදුවනු ඇත.”

වොෂින්ටන් පෝස්ට් තීරු රචක මැක්ස් බූට් බදාදා දින මෙසේ ලිවීය, ඉරානය “අඩුම තරමින් දැනට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් පාලනය කිරීමට සමත් වී ඇත. මෙම යුද්ධය ආරම්භ වන විට එය එසේ නොවීය.”

දින කිහිපයකට පෙර “තුන්වන ලෝක යුද්ධය” ගැන අනතුරු ඇඟවූ, ට්‍රම්ප්ට “යුද අපරාධ” පිළිබඳව චෝදනා කළ සහ ඔහුගේ නියෝග ක්‍රියාත්මක කරන සොල්දාදුවන්ට යුද නීති යටතේ නඩු පවරනු ලබන බවට අනතුරු ඇඟවූ ඩිමොක්‍රටික් පක්ෂය, ඔවුන්ගේ විවේචනවල ස්වරය වෙනස් කරමින් සිටී: එනම්, ට්‍රම්ප් ඕනෑවට වඩා ගිය බව නොව, ඔහු ඔටුනු ආභරණ විකුණා දැමූ බවත්, ඔහු එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය නිව්යෝර්ක් දේපළ වෙළඳාම් ගනුදෙනුවක් ලෙස සලකන බවත්ය. 

“නමුත් ඉරානයට දැන් සමුද්‍ර සන්ධිය ස්ථිරවම තිබේ නම්, මෙම මුළු උත්සාහයම මොනතරම් වැරැද්දක්ද, මොනතරම් වැරදි ගණනය කිරීමක්ද,” යනුවෙන් ඩිමොක්‍රටික් සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි බදාදා CNN වෙත පැවසීය.

ට්‍රම්ප් පරිපාලනයේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, “සටන් විරාමයක්” යනු කිසිදු අර්ථයක් නැත.  මැද පෙරදිග ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සෑම “සටන් විරාමයක්ම” තවදුරටත් ලේ වැකි මිලිටරි ක්‍රියාමාර්ග සඳහා පූර්විකාවක් ලෙස ක්‍රියා කර ඇත. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට B-2 බෝම්බ හෙලීමේ Operation Midnight Hammer මෙහෙයුමෙන් පසු 2025 ජුනි මාසයේ එළැඹි සටන් විරාමයෙන් මාස අටක් ඇතුළත, පෙබරවාරි 28 වන දින මෙම පූර්න පරිමාණ යුද්ධය ආරම්භ විය.

බදාදා අගභාගයේදී ට්‍රම්ප් Truth Social හි පළ කළේ, “දැනටමත් සැලකිය යුතු ලෙස පිරිහී ඇති සතුරෙකුට මාරාන්තික ප්‍රාහාරයක් එල්ල කිරීමට සහ විනාශ කිරීමට සුදුසු සියලුම එක්සත් ජනපද නැව්, ගුවන් යානා සහ හමුදා පිරිස්, අතිරේක පතොරම්, ආයුධ සහ වෙනත් ඕනෑම දෙයක්, එළඹෙන සැබෑ ගිවිසුමේ කොන්දේසි සම්පූර්ණයෙන්ම ඉටුකරන තෙක් ඉරානය තුළ සහ අවට පවතිනු ඇත,” යනුවෙනි. “කවුරුත් කවදාවත් දැක නැති තරම් විශාල, සහ වඩා හොඳ සහ ශක්තිමත්” ලෙස ඉරානයට පහර දීමට ට්‍රම්ප් තර්ජනය කළේය. “අපගේ ශ්‍රේෂ්ඨ හමුදාව ආයුධ සූදානම් කර ගෙන විවේක ගනිමින් සිටින අතර, ඇත්ත වශයෙන්ම, එහි ඊළඟ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටී,” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කළේය. 

එක්සත් ජනපදයේ මූලෝපායික අරමුණු වෙනස් වී නැත. වොෂින්ටනය මෙම යුද්ධය දියත් කළේ පර්සියානු ගල්ෆ් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය මත සිය  සෘජු පාලනය පැනවීමට සහ 1979 ඉරාන විප්ලවයේ ප්‍රතිවිපාක ආපසු හැරවීමට ය. ඉරානයට එරෙහි යුද්ධය යනු මැද පෙරදිග සිට රුසියාව සහ චීනය සමඟ ගැටුම දක්වා විහිදෙන උත්සන්න වන ගෝලීය යුද්ධයක කොටසකි. මෙමඟින් අලුත් මිලිටරි උත්සන්න කිරීම් සඳහා පීඩනය තීව්‍ර වනු ඇත.

පසුගිය සති දෙකේ සමස්ත අත්දැකීමම එක්සත් ජනපද සහ ජාත්‍යන්තර කම්කරු පන්තියට කරන ලද දැවැන්ත අනතුරු ඇඟවීමක් ලෙස වටහා ගත යුතුය. පැය 24 කට පෙර, ට්‍රම්ප් ඉරාන ශිෂ්ටාචාරය “අවසන්” කරන බවට ප්‍රතිඥා දෙමින් සිටියේය. එනම්, ගාසා සංහාරයේ ක්‍රමවේදයන් මිලියන 90 ක ජනතාවක් සිටින රටකට මාරු කරන බවට තර්ජනය කළේය. ට්‍රම්ප්ගේ ජන සංහාරක භාෂාව සිතලුවක් නොවේ; ජන සංහාරය ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් නිල වශයෙන් යුද්ධ කිරීමේ ක්‍රමයක් ලෙස පිළිගෙන පැවතිණි.

හිට්ලර්වාදී වාගාලංකාර සහ ශිෂ්ටාචාරමය විනාශ කිරීමේ තර්ජන භාවිතා කිරීම මගින් ට්‍රම්ප්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මැදිහත්වීම් “මානව හිමිකම්” හෝ “ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන් සිදු කරන බවට කෙරුණු ප්‍රචාරයේ  අවසාන ශේෂයන් ද බිඳ දමා ඇත. බාධක ලෙස ගැනෙන සමස්ත සමාජයන්ම යටත් කර ගැනීම සඳහා ඒවා සුන් කර දැමිය හැකි දේ ලෙස සලකන අපරාධකාරී කතිපයාධිකාරීත්වයක් විසින් එක්සත් ජනපදය මෙහෙයවනු ලබන බව ලෝකයට පෙන්වා දී ඇත.

මෙම යුද්ධය නැවැත්වීමට ඇති එකම මාර්ගය කම්කරු පන්තිය පන්ති බලවේගයක් ලෙස ස්වාධීනව බලමුලු ගැන්වීමයි. ඩිමොක්‍රටික් පක්ෂය හෝ දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කන්ඩායමක් ප්‍රතිපත්තිමය වශයෙන් අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධ නොවනු ඇත. ට්‍රම්ප් සමඟ ඔවුන්ගේ උපායශීලී ආරවුල් කුමක් වුවත්, ඩිමොක්‍රටික් පක්ෂය එකම උපායමාර්ගික අරමුණු, එනම් මැද පෙරදිග ඇමරිකානු ආධිපත්‍යය ආරක්ෂා කරන අතර සියල්ලටම වඩා ධනේශ්වර පාලනයේ සමස්ත ව්‍යුහයටම තර්ජනයක් වන පහළින් මතු වන ව්‍යාපාරයක් මැඩපැවැත්වීමට ක්‍රියා කරයි. 

අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි සටන සඳහා, යුද්ධයට, සමාජ වැඩසටහන් වලට එල්ල වන ප්‍රහාරයට සහ යුද්ධයට, ආඥාදායකත්වයට සහ සමාජ අසමානතාවයට මූල හේතුව වන ධනේශ්වර ක්‍රමයට එරෙහිව, සේවා ස්ථානවල, කර්මාන්ත හරහා සහ දේශසීමා හරහා, ස්වාධීන කම්කරු පන්ති ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වේ.
(අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරිණි)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top