ඉතිහාසයේ මෙම සතිය:ජුනි 5-11

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 04 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25කට පෙර: ඉන්දුනීසියාවේ හබීබි IMF කප්පාදු ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දෙයි

Habibie
ඉන්දුනීසියානු ජනාධිපති බී.ජේ හබීබි

1998 ජූනි 5 සති අන්තයේ ඉන්දුනීසියාවේ ජනාධිපති බී.ජේ. හබීබි මාධ්‍ය අමතමින් , අවම වශයෙන් 1999 අවසානය දක්වා තම ධුරයේ රැඳී සිටීමට සහ ඩොලර් බිලියන 43 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇපදීමේ පැකේජය මගින් ඉල්ලා සිටින දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට වූ , ඔහුගේ අධිෂ්ඨානය නැවත අවධාරණය කළේය. සුහර්තෝගේ ජීවිත කාලය පුරාවටම සිටි හැදී වැඩුන ගෝලයා වූ ඔහු, එම වසරේ රූකඩ මහජන උපදේශන සභාවට (MPR) සීමිත වෙනස්කම් හඳුන්වා දීමටත් ඊළඟ වසර අවසානයට පෙර මැතිවරණ පැවැත්වීමටත් සැලැස්මක් ගෙනහැර දැක්වීය.

සියල්ලටත් වඩා, ජාමූඅ වැඩපිලිවෙලට ඔහුගේ කැපවීම ඔහු අවධාරනය කලේය. මිල සහනාධාර අහෝසි කිරීම, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම සහ සුහර්තෝ පවුල සහ එහි සහචරයින් සතු ඒකාධිකාරය විසුරුවා හැරීම ඇතුළත් එහි පියවරයන් මගින් ඉන්දුනීසියානු මහජනතාවගේ වියදමින් ජාත්‍යන්තර බැංකු සහ සංගතවල ලාභ අවස්ථා ඉහල නැංවීමට සැලසුම් කෙරුණි.

හබීබි කතා කරද්දීම, කම්කරු පන්තිය තුල, පාලන තන්ත‍්‍රය කෙරෙහි එදිරිවාදිකම් තීව‍්‍ර වීමේ ඇඟවුම් තිබුනි. දෙවන විශාලතම නගරය වන සුරබයා හි ගෘහ උපකරණ නිෂ්පාදකයෙකු යටතේ සේවයේ නියුතු කම්කරුවන් 30,000 ක්  සියයට 50කින් වැටුප් හා අනෙකුත් ප්‍රතිලාභ ඉහල දැමීම සඳහා පෙර සතියේ වැඩ වර්ජනයක නිරත විය. වැඩ වර්ජිත කම්කරුවන් පළාත් පාර්ලිමේන්තුවට පා ගමනින් යාම වැලැක්වීමට තැත් කළ කැරලි මර්දන පොලිසිය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් සමඟ ගැටුමක් ඇති කර ගත්හ. 

ජකර්තාහි රජයේ බස් රථ රියදුරන් සිය ගනනක් දූෂණයට එරෙහිව සහ වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනයක නිරත විය. වැටුප්  සියයට 15 කින් වැඩි කරන බවට කළමනාකාරිත්වය පොරොන්දු වීමෙන් පසුව රියදුරන් පසු දින සේවා නැවත ආරම්භ කළහ. එම වැඩිවීම මුදල් ඒකකය වන රුපියල කඩාවැටීම නිසා ඇති වූ ඉහළ යන මිල ගණන් වලට හිලව් වශයෙන් ප්‍රමාාණවත් වූයේ නැත. පෙර මාසයේ සුහර්තෝ නෙරපා හැරීමෙන් ධෛර්යමත් වූ රියදුරන්, ජකර්තා ප්‍රාන්ත ප්‍රවාහන සමාගමේ දූෂණ ගැන පැමිණිලි කරමින් පුළුල් ඉල්ලීම් ද පුනර්ජීවනය කළහ.

අනෙකුත් විරෝධතා , සුහර්තෝ පවුලට නඩු පැවරිය යුතු බව ඉල්ලා සිටියේය. ජාතික සභාවේ එක් විරෝධතාවයක දී, 3,000ක් පමණ ශිෂ්‍යයන් සහ ධනේශ්වර විපක්ෂ චරිතයක් වන මෙගාවතී සුකර්නෝපුත්‍රිගේ ආධාරකරුවන්, දූෂණය සම්බන්ධයෙන් නඩු විභාගයකට සුහර්තෝ  මුහුණදිය යුතු යැයි ඉල්ලා සිටියහ. විරෝධතාකරුවන්ගෙන් සමහරෙක් “හබීබි ප්‍රතික්ෂේප කරමු , සුහර්තෝව උසාවි ​​ගෙන යමු” යනුවෙන් ප්‍රකාශ කරන බැනර් රැගෙන ගිය අතර තවත් සමහරු නව මැතිවරනයක් කැඳවීමට MPR හි විශේෂ සැසියක් ඉල්ලා සිටියහ. විරෝධතාව හේතුවෙන් ගුවන් තොටුපළ දක්වා ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව අවහිර විය.

සුහර්තෝට ගරු කරන ලෙසත් ප්‍රතිසංස්කරණ සඳහා වන ඉල්ලීම් සීමා කරන ලෙසත් සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් විරන්ටෝ විසින් කරන ලද ඉල්ලීම් නොතකා උද්ඝෝෂණය ඉදිරියට ගියේය. සිය ගනනක් හමුදා භටයන් පාර්ලිමේන්තුව තුල රඳවා තබමින්, පරිශ්රයේ ගේට්ටු වසා තබා විරෝධතාකරුවන්ට ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම අවුරනු  ලැබිණ.

වසර 50 කට පෙර: ෆ්‍රැන්කෝ ස්පාඤ්ඤයේ අගමැති ලෙස විශ්වාසවන්තයෙකු පත් කරයි

Blanco
ලුයිස් කැරරෝ බ්ලැන්කෝ

1973 ජූනි 9 වැනිදා ස්පාඤ්ඤ ආඥාදායක ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ ඔහුගේ විශ්වාසවන්ත ලුයිස් කැරරෝ බ්ලැන්කෝ අගමැති ලෙස පත් කළේය. ෆ්‍රැන්කෝ නිල වශයෙන් ස්පාඤ්ඤ රාජ්‍යයේ ප්‍රධානියා ලෙස සිටිනු ඇතත්, 1973 වන විට ඔහු වයස අවුරුදු 80ක් වූ අතර දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසුවූ නිසා ඒ වන විටත් ස්පාඤ්ඤය පාලනය කළ මිලිටරි පාලන තන්ත්‍රයේ දෛනික කළමනාකාරීත්වයෙන් ඉවත්ව සිටියේය.

දරුණු දක්ෂිනාංශික ෆ්‍රැන්කෝ හිතවාදියෙකු වන කැරේරෝ බ්ලැන්කෝ 1967 සිට ෆ්‍රැන්කෝගේ නියෝජ්‍ය අගමැති ලෙස සේවය කර ඇත. ඔහු අගමැති වන විටමත් ෆ්‍රැන්කෝට තවදුරටත් ඉටු කිරීමට නොහැකි වූ බොහෝ රාජකාරි ඔහු භාරගෙන තිබුණි. කැරෙරෝ බ්ලැන්කෝ 1936 දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආරම්භ වූ දා සිට ෆ්‍රැන්කෝට සේවය කර තිබූ අතර, ඉහළ ශ්‍රේණියේ නාවික නිලධාරියෙකු ලෙස ඔහු දරුණු කොමියුනිස්ට් විරෝධය සඳහා ප්‍රසිද්ධියක් ලබා සිටියේය.

කැරේරෝ බ්ලැන්කෝ පත් කිරීමට ෆ්‍රැන්කෝගේ තීරණය, බිඳ වැටීමට පටන් ගෙන තිබූ ඔහුගේ පාලන තන්ත්‍රය නඟා සිටුවීමේ උත්සාහයකි. ස්පාඤ්ඤ තන්ත‍්‍රය ග‍්‍රීසියට වඩා වෙනස් ආකාරයකට ඔවුන්ගේ අර්බුදයට ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කලේය. ඒහිදී, සතියකට පෙර ජුන්ටා නායක ජෝර්ජියෝස් පපඩොපොලෝස්, පිටුවහලේ සිටි  රජු නෙරපා හරිමින්, ජනරජයක් විධිමත්  ලෙස ස්ථාපිත කරන බව නිවේදනය කල අතර, සංකේතාත්මක “ලිබරල්කරණයන්” පොරොන්දු වීමෙන්, හමුදා පාලනයට එරෙහිව විවෘත අරගලයට පැමිනෙමින් සිටි කම්කරු මහජනතාව , ඔහුගේ පාලන තන්ත්‍රයට  සනසාලිය හැකි යැයි බලාපොරොත්තු විය. 

ෆ්‍රැන්කොවාදීන්ට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ජනතාවට ලබාදීමේ අරමුණක් තිබුණේ නැත. ඒ වෙනුවට, ඔවුන් තම අධිකාරීවාදී පියවරයන් නැවුම් කිරීමට සහ රාජාණ්ඩුව නැවත ස්ථාපිත කිරීම සඳහා ජනගහනය සූදානම් කිරීමට උත්සාහ කළහ.

ෆ්‍රැන්කෝ,  ඔහු වෙනුවට රාජ්‍ය නායකයා ලෙසත්,  ඔහුගේ මරණයෙන් පසු ස්පාඤ්ඤයේ රජු බවට පත් කිරීමටත් ස්පාඤ්ඤ රජ පවුලේ ඉතිරි සාමාජිකයන්ගෙන් කෙනෙකු වන ජුවාන් කාලෝස් කුමරු තෝරාගෙන තිබුණි. මෙම රජකමට නැංවීම සිදුකිරීමට ෆ්‍රැන්කෝට අවශ්‍ය වූයේ කම්කරු පන්තියට කිසිදු සහනයක් නොදෙන කෙනෙකු විසින් ආන්ඩුව මෙහෙයවීමයි.

ස්පාඤ්ඤ ජනතාව අතර, විශේෂයෙන්ම බාස්ක් ජාතිකවාදීන්ට එරෙහිව වැඩ වර්ජන සහ අනෙකුත් නැගිටීම් මැඩලීමේ දී ඔහුගේ නායකත්වයෙන් මෙම ප්‍රතිගාමී භූමිකාව පිරවීමට හැකි බව කැරේරෝ බ්ලැන්කෝ විසින් ඔප්පු කර තිබුණි. 1968 විරෝධතා මැඩපැවැත්වීමෙන් පසු ජාතික දේශනයකදී කැරේරෝ බ්ලැන්කෝ පැවසුවේ, “කිසිම අයුරකින් අපගේ ආයතනික පද්ධතිය වෙනස් කිරීමට හැකිවීම පිළිබඳ කුඩාම හෝ බලාපොරොත්තුවක්  පිටතින් හෝ ඇතුළතින් කිසිවකුවත් තබා ගැනීමට” ඉඩ නොතබන බවයි.

ස්පාඤ්ඤ ජනගහනයේ ජනතාව විසින් දැඩි ලෙස වෛර කරන ලද, කැරරෝ බ්ලැන්කෝගේ පාලනය පැවතියේ මාස හයක් පමණි. 1973 දෙසැම්බර් 20 වන දින, බාස්ක් ජාතිකවාදී පැරාමිලිටරි සංවිධානයේ (Euskadi Ta Askatasuna -ETA) සාමාජිකයෙකු  මැඩ්රිඩ් හි බෝම්බ ප්‍රහාරයකින් ඔහුව ඝාතනය කළේය.

වසර 75 කට පෙර: ඊශ්‍රායල හමුදා නිට්සානිම්හිදී පරාජය විය

Battle of Nitzanim
1948 අරාබි-ඊශ්‍රායල් යුද්ධයේදී නිට්සානිම් සටනේ පසු විපාකය

1947 ජූනි 7 වන දින, නිට්සානිම් නගරය ඉලක්ක කරගත් ඊජිප්තු ප්‍රහාරයක් වේගයෙන් කඩා වැදුණු අතර, ඊජිප්තු හමුදාව පැය 24ක් ඇතුළත අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ඊශ්‍රායල රාජ්‍යය සමඟ සම්බන්ධ වූ සියොන්වාදී හමුදා යටපත් කළේය.

පෙර මාසයේ ඊශ්‍රායල රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආරම්භ වූ අරාබි-ඊශ්‍රායල් යුද්ධයේ මුල් අවධියේදී මෙම සටන සිදු විය. එම ප්‍රකාශය , පලස්තීනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාලනය අවසන් වීමත් සමග එක්සත් ජනපදයේ සහ අනෙකුත් ප්‍රධාන බලවතුන්ගේ සහයෝගය ඇතිව නිකුත් කර තිබුණි. අරාබි රාජ්‍යයන්, අරාබි බහුතර පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවීම , යටත් විජිත-ජනපද  තන්ත්‍රයක් ලෙස සැලකූ  අතර, එය තමන් ඉලක්ක කර ගන්නා  අධිරාජ්‍යවාදී (ආක්‍රමන සදහා) මුල් ‘කඳවුරක්’ ( beachhead) බවට පත්වනු ඇතැයි බියෙන්, ඒකාබද්ධ යුද ප්‍රකාශයකින් ප්‍රතිචාර දැක්වූහ. 

එක්සත් ජනපදයේ සහ සෝවියට් සංගමයේ සහාය ඇතිව පලස්තීනයේ ප්‍රතිගාමී වාර්ගික-වර්ගවාදී බෙදීම අනුමත කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය, අරාබි-ඊශ්‍රායල් යුද්ධයේ ආරම්භක අදියරේදී සටන් විරාම කිහිපයක් කැඳවූ අතර, සියල්ලටත් වඩා,   අධිරාජ්‍යවාදී පිටුබලය ලද මෙම නව සියොන්වාදී රාජ්‍යයට  තුනී නීතිමය කඩතුරාවක් සැපයිම අධිරාජ්‍යවාදයේ අරමුණ විය. 

මෙම උපාමාරු නොතකා, ඊජිප්තු හමුදාව දැන්  දකුණු ඊශ්‍රායලයේ නිට්සානිම් හි ඊශ්‍රායල හමුදා ස්ථානගතවීම් වලට එරෙහිව ප්‍රහාරයක් දියත් කළේය. ජූනි 6 වෙනිදා අගභාගයේ සිට, ඊජිප්තු හමුදා කාලතුවක්කු සහ ගුවනින් නගරය ආරක්ෂා කරමින් සිටි සියොන්වාදී හමුදාවන්ට පහරදුන් අතර, ඉන් අනතුරුව සන්නද්ධ හා පාබල සේනාංකවල ඇතුල් වීම සිදු විය.

නගරය ආරක්ෂා කරන සියොන්වාදී හමුදා , ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් දෙවරක් ද්විතියික ස්ථාන කරා පසු බසිනු ලැබුණි. නමුත් මෙම උපාමාරුවලට සැලකිය යුතු ප්‍රතිවිපාක නොතිබූ අතර ජූනි 7 දින, අගභාගයේදී, ඊජිප්තුව නගරයේ පාලනය තහවුරු කර ගනු ලැබුනි. මින් ඉදිරියට සටන වනු ඇත්තේ ඊජිප්තුව විසින් දිනාගත් නගරය සදහා නොව ,ජුනි 10 වෙනිදා, අරාබි හමුදාව විසින් අල්ලා ගන්නා ලද ආසන්නයේ පිහිටි උපාය මාර්ගික කන්දක් පාලනය කිරීම සඳහා ය. 

සටන කැපී පෙනෙන්නේ එහි ක්ෂණික ප්‍රතිවිපාක සඳහා පමණක් නොවේ. යුද්ධයේ මුල් කාලයේ නගරය අහිමි වීම ඊශ්‍රායලය සැලකුවේ බරපතල පහරක් වශයෙනි. ඒ සමගම, දක්ෂිනාංශික සියොන්වාදී බලවේග ඊට ප්‍රතිචාර වශයෙන් විශාල මිලිටරි ගොඩනැංවීමක් ඉල්ලා සිටියේය. ඊජිප්තුව තමන් විසින්ම ප්‍රහාරය මෙහෙයවීම  පෙන්වා දුන්නේ අරාබි රාජ්‍යයන් අතර සැලකිය යුතු බෙදීම් ඇති බවත්, ඒ සෑම එකක්ම ඊශ්‍රායලය සමග ගැටුම තමන්ගේම පාලක පන්තියේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා භාවිතා කරන බවත්ය.

වසර 100 කට පෙර: හමුදා කුමන්ත්‍රණයකින් බල්ගේරියාවේ තේරී පත් වූ රජය පෙරලා දමයි

Aleksandar Stamboliyski
ඇලෙක්සැන්ඩර් ස්ටැම්බෝලිස්කි

1923 ජූනි 9 වන දින, ජෙනරාල් අයිවන් වල්කොව්ගේ නායකත්වයෙන් යුත් හමුදා නිලධාරීන් කණ්ඩායමක්, බල්ගේරියානු ගොවිජන ජාතික සංගමයේ (Bulgarian Agrarian National Union-BANU) නායකයා සහ ප්‍රධාන න්‍යායාචාර්ය ඇලෙක්සැන්ඩර් ස්ටැම්බෝලිස්කිගේ රජය පෙරලා දැමූහ. මෙය( BANU) බල්ගේරියානු ගොවීන්ගේ අවශ්‍යතා සඳහා නැඹුරු වන බව කියාගත් පක්ෂයකි. එවකට බල්ගේරියාවේ ජනගහනය සියයට 80 ක් පමණ ගොවි ජනතාවගෙන් යුක්ත විය.

යුද වන්දි ගෙවීම නිසා මිත්‍ර පාක්ෂිකයින්ට රට ගැඹුරින් ණය වී තිබුණි – බල්ගේරියාව පළමු ලෝක යුද්ධයට මධ්‍යම බලවතුන් සමඟ සහභාගී වී 1918 දී ඔවුන්ගේ පරාජයට හවුල් විය – උද්ධමනය වාර්තාගත මට්ටම්වල පැවතුනි.

ස්ටැම්බෝලිස්කි ,  සාර් බොරිස් II ගේ රාජාණ්ඩුව අහෝසි කරනු ඇතැයි දකුණ වැඩි වැඩියෙන් බිය විය. මිලිටරි ලීගයේ සංවිධානය වූ හිටපු හමුදා නිලධාරීන් ඔහුගේ ආන්ඩුවට දැඩි ලෙස සතුරු විය. පළමුවන ලෝක යුද්ධයට බල්ගේරියාව ඇතුල්වීමට ස්ටැම්බෝලිස්කි  විසින්ම විරුද්ධ වූවා පමණක් නොව, 1919 දී , BANU මැතිවරනය මහජනතාවගේ වැඩෙන රැඩිකල්කරණයක් නියෝජනය කලේය. එක් ඉතිහාසඥයෙකු සඳහන් කළ පරිදි, එම මැතිවරනය “බල්ගේරියාව යුද්ධය කරා ගෙන ගිය ක්‍රමය කෙරෙහි දැවැන්ත මහජන කෝපයක් සහ එයට විරුද්ධ වූ  පක්ෂ සඳහා අනුමැතිය සටහන් කළේය.”

1920 දී බල්ගේරියානු කොමියුනිස්ට් පක්ෂය (BKP) නගරවල මහා වැඩ වර්ජනයකට නායකත්වය දුන් අතර එය BANU විසින් මර්දනය කිරීමට උත්සාහ කළේය. ස්ටැම්බෝලිස්කි පසුව ඔහුගේ පාලනය ශක්තිමත් කිරීම සඳහා මැතිවරණ කැඳවූ අතර, ඡන්දදායකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු BANU ට සහය දුන් අතර, පස් දෙනෙකුගෙන් එක් අයෙකු BKP ට සහාය දුන්නේය.

BANU රජය කෘෂිකාර්මික සහ නීතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පටන් ගනු ලැබුණි. ස්ටැම්බෝලිස්කි  වෙනත් රටවල බල්ගේරියානු භෞමික හිමිකම් ප්‍රතික්ෂේප කළද, ඔහුගේ රජය, බල්ගේරියානුවන්, යුගෝස්ලාවියානුවන් සහ ග්‍රීකයන්ට එරෙහිව සටන් කරමින් සිටි මැසිඩෝනියානු කැරැල්ලක් මැඩපැවැත්වීය.

BANU මැතිවරණ ප්‍රතිසංස්කරණ හේතුවෙන් 1923 අප්‍රේල් මැතිවරනයේදී BANU පාර්ලිමේන්තුවේ අතිවිශාල බහුතරයක් ලැබීමෙන් පසු ධනේශ්වර විරුද්ධ පක්ෂ මිලිටරි ලීගය හමුවී ස්ටැම්බෝලිස්කි පෙරලා දැමීමට සූදානම් විය.

මිලිටරි ලීගය සහ එහි සගයන් ඉක්මනින් BANU ආන්ඩුව විසුරුවා හැර ස්ටැම්බෝලිස්කි අල්ලා ගත්හ. ජූනි 14 වන දින ඔහු මුලින්ම වධ හිංසාවට ලක්ව මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. කුමන්ත්‍රණය අන්ත දක්ෂිනාංශික මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ත්සාන්කොව්ගේ සභාපතිත්වය ස්ථාපිත කරන ලද අතර, පසුව ඔහු BKP කුරිරු ලෙස මර්දනය කිරීමට නායකත්වය දුන්නේය.

එහෙත් කුමන්ත්‍රණයේ ක්ෂනික ප්‍රතිඵලය වූයේ බල්ගේරියානු ගොවීන්ගේ සන්නද්ධ නැගිටීමක් වූ අතර එය බොහෝ දුරට නායකයින් නොමැති නිසා හමුදාව විසින් පාගා දමන  ලදී. ඔහුගේ  ඔක්තෝබරයේ පාඩම් (Lessons of October-1924) කෘතියේ ලියොන් ට්‍රොට්ස්කි සඳහන් කළේ BKP ය , “දෛවවාදී සහ දෘෂ්ටිවාදාත්මක හේතු නිසාවෙන් විප්ලවීය  ක්‍රියාමාර්ග සඳහා සුවිශේෂී වාසිදායක මොහොතක් ලිස්සා යාමට ඉඩ හැරීයා. (ඒ මොහොත වූයේ ජුනි මාසයේ ත්සාන්කොව් කුමන්ත්‍රණයෙන් පසු ගොවීන්ගේ නැගී සිටීමයි.)” 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top