ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 17-23

This week in history: April 17-23 | ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 17-23

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 17 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි

වසර 25 කට පෙර: සුහර්තෝට එරෙහිව සිසුහු විරෝධතාවයක් පවත්වති.

Image
ඉන්දුනීසායානු ශිෂයයන්  1988 නොවැම්බර් හි දී උද්ඝෝෂනයක

1998 අප්‍රේල් 23 වන දින, සිසුන්ට නැවත අධ්‍යාපනය ලබා ගැනීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපති සුහර්තෝගේ දැඩි මර්දන තර්ජන නොතකා, ඉන්දුනීසියාවේ විශ්ව විද්‍යාල හතක සිසුහු ජකර්තා හි වීදි දිගේ පා ගමනින් ගමන් කලෝය.

විරැකියාව මිලියන 18.7 දක්වා ළඟා වී තිබුණි. මූලික භාණ්ඩ සඳහා වූ මිල සහනාධාර අවසන් කිරීම සඳහා වූ ජාමූඅ ඉල්ලීම් ක්‍රියාවට නැංවීම අතරතුර භාණ්ඩ වල මිල ගණන් අහස උසට නැඟ තිබූ අතර, එය තව දුරටත් ඉහල යමින් තිබුනි.  විනාශකාරී නියඟයක් සහ ආහාර මිල ඉහල යාම හේතුවෙන් ඉන්දුනීසියානුවන් මිලියන 7.5ක් උග්‍ර ආහාර හිඟයකට මුහුන දුන් බව ගනන් බලා තිබේ.

පෙර පැවති පෙලපාලිවලට වඩා සිසුහු මෙහිදී නිර්භීත වූහ. ඔවුන් වීදි බැස්සේ, උද්ධමනය හා විරැකියාව ඉහල යාමෙන් පීඩාවට පත් වූ කම්කරුවන් සහ අනෙකුත් අය සම්බන්ධ කර ගැනීමටය. පෙලපාලි සරසවි භූමියට සීමා කිරීමට කැරලි මර්දන පොලිසිය සහ හමුදා භට පිරිස් යොදවා තිබුනි.

එදිනම, බැංඩුන්, යෝගකාර්තා සහ බන්ඩාර්ලම්පුං ඇතුළු අවම වශයෙන් තවත් නගර හතක සිසුහු, සුහර්තෝගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා රැස්වීම් වලට සහ පෙලපාලිවලට සහභාගී වූහ. 

බාලි දූපතේදී, සිසුන් 3,000ක පමණ සහභාගී වූ විරෝධතාවයකට, පොලිසිය බැටන් පොලු සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කල අවස්ථාවේ ඩෙන්පසාර්හි උදයන විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් පිටත සිටි පෙලපාලිකරුවෝ 12 දෙනෙක් තුවාල ලැබූහ. 

අප්‍රේල් 20 වන දින, නැගෙනහිර ජාවාහි නගරයක් වන සුරබයා හි, දහස් ගණනක් සිසුන් අධි ටමා තාක්ෂන ආයතනයේදී රැලියක් පැවැත්වූ අතර, පසුව ඔවුහු අසල පිහිටි පුත්‍රා බංගස් විශ්ව විද්‍යාලය වෙත පාගමනින් ගොස්, “ප්‍රතිසංස්කරනය හෝ යුද්ධය!” යනුවෙන් කෑ ගැසූහ.  අනෙකුත් විරෝධතා ජකර්තා, බොගෝර්, බැන්ඩුන්ග් සහ දකුණු කලිමන්තන් පලාතේ අගනුවර වන බන්ජර්මසින් හි පැවැත්විනි. 

සුහර්තෝ ආඥාදායකත්වය පෙලපාලි කෙරේ පාරිතෝෂයේ හා දණ්ඩනයේ (carrot-and-stick) ප්‍රවේශයක් අනුගමනය කළ අතර, දේශපාලන ක්‍රියාකාරීන් කොටු කර රඳවා තබා ගනිමින් සහ වීදිවල දැඩි ලෙස පොලිසිය සහ මිලිටරිය යොදවා සිටින අතරතුර, ඇතැම් ශිෂ්‍ය නායකයින් කෙරේ සුහදශීලී වෙමින් විධිමත් සාකච්ඡා සඳහා ඔවුන් යොමු කරවා ගැනීමට එය උත්සාහ කළේය.  අප්‍රේල් 18 වන දින, රජයේ ඇමතිවරුන් සහ තෝරාගත් සිසුන් පිරිසක් අතර ජකර්තා පොළ භූමියේ දී බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත් වූ මන්ත්‍රනයක් පැවැත්විණි. නමුත්, ඉන්දුනීසියාවේ විශ්ව විද්‍යාලය, බන්ඩුං තාක්ෂන ආයතනය සහ යෝගකාර්තා හි ගද්ජා මාඩා විශ්ව විද්‍යාලය යන ඉන්දුනීසියාවේ විශාලතම සහ සුප්‍රසිද්ධ ආයතන තුනෙහි කිසිදු ශිෂ්‍ය නියෝජිතයෙක් ඊට පැමින සිටියේ නැත. 

ඊට සහභාගී වූ ශිෂ්‍ය නායකයන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉක්මවා ගිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රධානීන් සහ දේශපාලන හා ආර්ථික විචාරකයන් පිරිසක් එහි වූහ. සහභාගී වූවන් අතරට, සමාජ කටයුතු අමාත්‍ය සිටි හර්දියන්ති රුක්මනා, ප්‍රධාන ආර්ථික අමාත්‍ය ගිනන්ජාර්  කර්තසස්මිතා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානී ජෙනරාල් විරන්තෝ ඇතුලත් වූහ. 

වසර 50 කට පෙර: කීසිංගර් මාෂල් සැලැස්මේ අවසානය නිවේදනය කරයි. 

1973 අප්‍රේල් 23 වන දින, දෙවැනි ලෝක යුද්ධය අවසන් වී වසර තුනක් ගෙවී ගිය 1948 දී පටන් පැවැති මාර්ෂල් සැලැස්ම නිල වශයෙන් අහෝසි කරමින්, ජනාධිපති රිචඩ් නික්සන්ගේ ජාතික ආරක්ෂක උපදේශක හෙන්රි කිසිංජර් ප්‍රකාශ කලේ ධවල මන්දිරය, යුරෝපය සම්බන්ධයෙන් සිය විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරනු ඇති බවයි. නව “කිසිංජර් සැලැස්ම” වඩාත් විවෘතව සහ සෘජුවම යුරෝපය මත එක්සත් ජනපදයේ ආර්ථික ආධිපත්‍යය පවත්වා ගෙන යාම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිත විය.

“ආර්ථික ස්වයං අභිලාෂයන් ඒකපාර්ශ්විකව හඹා යාම මගින් යුරෝපය සිය පුලුල් වගකීම් නොසලකා හරින බවටත්, යුරෝපය පොදු ආරක්ෂාවේ බරෙහි සාධාරන කොටස දරන්නේ නැති බවටත් ඇමරිකාවේ පැමිනිලි තිබේ,”යැයි කිසිංජර් සිය කතාවේදී පැවසීය. නව ප්‍රතිපත්තිය බලාත්මක කිරීම සඳහා නික්සන් යුරෝපයට යන බව නිවේදනය කරමින්, කිසිංජර් තවදුරටත් පැවසුවේ “එක්සත් ජනපදය එහි අත්ලාන්තික් හවුල්කරුවන්ට යෝජනා කරන්නේ, වසර අවසානයේදී ජනාධිපතිවරයා යුරෝපයට යන විට, අප, අනාගතය සඳහා ඉලක්ක පිහිටුවමින් තමන්, නව අත්ලාන්තික් ප්‍රඥප්තියක් සකස් කර තිබෙනු ඇති” බවයි. 

මාෂල් සැලැස්මේ එක් ඉලක්කයක් වූයේ එක්සත් ජනපද සංගත සඳහා වෙලඳපොලවල් සැපයීම සඳහා යුරෝපයේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම උත්තේජනය කිරීමයි.  තවත් දෙයක් වූයේ විප්ලවය වැළැක්වීමයි.  සමාජවාදයට සහ රුසියානු විප්ලවයේ පරමාදර්ශයන්ට හිතපක්ෂව සිටි මිලියන ගණනකගේ විනාශය හා දරිද්‍රතාවය යුරෝපයේ සහ ඇමරිකාවේ කැරලිකාර වාතාවරණයක් නිර්මානය කර තිබුනි. ඇමරිකානු පාලක පන්තිය තීරණය කළේ දේශීය ප්‍රතිසංස්කරණවලට ඉඩ දීමෙන් සහ යුරෝපීය ප්‍රකෘතිමත් කිරීම සඳහා බිලියන ගනන් ලබා දීමෙන් කම්කරු පන්තිය සමනය කළ හැකි බවයි.

මේ පදනම මත ලෝක වෙළෙඳාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය.  එහෙත් 1973 වන විට ධනේශ්වර ස්ථාවරකරනයේ කෙටි කාලය අවසන් විය.  1960 ගනන් තුල, බටහිර ජර්මනියේ සහ ජපානයේ යලි ගොඩනැගුනු කර්මාන්ත ඇමරිකානු වෙලඳපොල ආධිපත්‍යයට වල කැපීමට පටන් ගත් අතර යුරෝපයේ, එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරුවන් විශාල පිරිසක් අරගලයට ගමන් කරමින් සිටියහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ එක්සත් ජනපද පුරෝගාමියා වන බුලටින් හි ප්‍රකාශයක් විසින් පැහැදිලි කෙරුනේ, යුරෝපය සඳහා වූ කිසිංජර් සැලැස්මෙහි අර්ථය වන්නේ, “එක්සත් ජනපදයේ ආර්ථික අවශ්‍යතාවලට එය මුළුමනින්ම යටත් වීම” බවයි. “ඇමරිකානු අධිරාජ්‍යවාදය  ජාත්‍යන්තරව මුදා හැරීමට සූදානම් වන ම්ලේච්ඡත්වයේ අවතාරය ” එමඟින් ඉස්මතු කර දක්වන ලදී.

එම ප්‍රකාශයේ තවදුරටත් මෙසේ සඳහන් විය:

මාෂල් සැලැස්ම, කිසිංජර් සැලැස්ම මගින් ප්‍රතිස්ථාපනය කිරීම යන්නෙන් අදහස් කරන්නේ සම්මුතිය කරා වන ප්‍රවනතාවය ආධිපත්‍යය දැරූ කාලපරිච්ඡේදයක සිට එක්සත් ජනපදය දැන් කම්කරු රාජ්‍යයන් යලි අත්පත් කර ගැනීම සඳහා ලෝක යුද්ධයේ සැබෑ සූදානම දෙසට හැරෙන බවයි. එසේම, මේ සමගම , දියුනු ධනේශ්වර රටවල කාර්මික කම්කරු පන්තියට එරෙහිව සිවිල් යුද්ධයට අවතීර්ණ වන බවයි.

යුරෝපය සෝවියට් සංගමයට එරෙහි පවුරක් බවට පත් කිරීමට ඔවුන්ට මාෂල් සැලැස්ම අවශ්‍යව තිබූ අතර, 1970 ගනන්වල මතුවන නව කාලපරිච්ඡේදයේ දී, ඇමරිකානු ධනවාදය අවසානයේ ඉල්ලා සිටිනු ඇත්තේ “යුරෝපීය ධනවාදයේ දේශපාලන හා ආර්ථික ස්වාධීනත්වයේ සෑම අංශු මාත්‍රයක් ම විනාශ කිරීම” බව එම ප්‍රකාශයෙන් පැහැදිලි කෙරුණි. 

වසර 75 කට පෙර: සියොන්වාදීහු පලස්තීනයේ හයිෆාහි පාලනය තහවුරු කර ගනිති

1948 අප්‍රේල් 21 සහ 22 යන දිනවල ප්‍රධාන සියොන්වාදී පැරාමිලිටරි සංවිධානය වන හගානා විසින් වාර්ගික පවිත්‍ර කිරීමේ මෙහෙයුමක් දියත් කළ අතර, පලස්තීන වැසියන් දහස් ගනනකට හයිෆා නගරයේ වූ තම නිවෙස් හැර යාමට බල කෙරුනි.

මෙම ප්‍රචන්ඩ ප්‍රහාරය සිදු වූයේ පලස්තීන සිවිල් යුද්ධයේ සන්දර්භය තුළ වන අතර එය වසර අගදී පූර්න අරාබි-ඊශ්‍රායල් යුද්ධයක් දක්වා වර්ධනය විය.  බ්‍රිතාන්‍යය, තම අධිරාජ්‍යයේ අර්බුදය මධ්‍යයේ, පලස්තීනය නම් සිය පැරනි යටත් විජිත සන්තකයෙන් ඉවත් වෙද්දී, එක්සත් ජනපදයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිටුබලය ඇති සියොන්වාදී සංවිධාන, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සමග පෙලගැසුනු වාර්ගික-ආගමික රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ ගත්හ.

මධ්‍යධරනී වෙරල තීරයේ පිහිටි හයිෆා නගරය, උපායමාර්ගික වශයෙන් තීරනාත්මක විය.  එය ප්‍රධාන වෙලඳ වරායක් මෙන්ම ප්‍රධාන හමුදා වේදිකා මුරපොලක් ද විය.  ගැටුමට පෙර, එහි ජනගහනය මිශ්‍ර එකක් වූ අතර, එහි සිටි වැසියන්ගෙන් අඩක් පමන අරාබි ජාතිකයෝ වූහ.

හයිෆා වෙත ප්‍රහාරය එල්ල වූයේ වඩ වඩාත් ප්‍රචන්ඩකාරී වෙමින් තිබූ ගැටුම් මාලාවක් මධ්‍යයේ ය.  අන්ත දක්ෂිනාංශික සියොන්වාදී පැරාමිලිටරි කන්ඩායම්, පලස්තීන ගම්වැසියන් සමූල ඝාතනය කිරීම් වලට සහ අරාබි ජනගහනය තුරන් කිරීම ඉලක්ක කරගත් අනෙකුත් අපරාධවලට සම්බන්ධ වූහ. මේවාට බෝම්බ හෙලීම වැනි විවෘත ත්‍රස්තවාදී ක්‍රියා ඇතුළත් විය. පලස්තීන ප්‍රතිරෝධී  සංවිධාන මේවාට ප්‍රතිප්‍රහාර එල්ල කලෝය.

හයිෆා වැටලීම මෙහෙයවනු ලැබූයේ, ආසන්න කාලයේ දී යුද අපරාධ සිදු කර තිබුනු අන්ත දක්ෂිනාංශික සියොන්වාදී පැරාමිලිටරි සංවිධානවලින් එකක් වන ඉර්ගුන් විසින් නොවේ. ඒ වෙනුවට එය මෙහෙයවූයේ වඩාත් මධ්‍යස්ථයැයි සලකනු ලැබුවාවූත්, ප්‍රධාන සියොන්වාදී දේශපාලන සංවිධානවල පිටුබලය ලැබුවා වූත් හගානා සංවිධානය යි.

අප්‍රේල් 21 දා, එහි සන්නද්ධ  භට කණ්ඩායම් පහක්  සම්බන්ධීකෘත   ප්‍රහාරයකින් නගරයට සහ එහි අරාබි සටන්කරුවන්ට පහර දුන්හ. නගරයෙන් පිටත සියොන්වාදී ප‍්‍රචාරක ට‍්‍රක් රථ නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේ “විදේශීය සටන්කරුවන්” අතහැර යටත් වන ලෙසයි.

නගරයේ පලස්තීන නාගරික නිලධාරියෙක් පසුව එම දර්ශනය විස්තර කලේ මෙසේය:

අරාබි ජාතියේ ඉතිහාසය තුල පූර්වාදර්ශයක් නොවූ තරමේ ව්‍යාකූලත්වයකින් හා භීෂණයකින් දහස් ගණනක් ස්ත්‍රීහු, ලමෝ සහ පුරුෂයෝ වරාය දිස්ත්‍රික්කයට කඩිමුඩියේ ගියහ. ලෙබනනය කරා යාමට තම වාරය එනතෙක් බලා සිටීම සඳහා ඔවුහු පාවහනින් තොරව සහ නිරුවතින් වෙරලට පලා ගියෝය. ඔවුන් තම නිජබිම, තම නිවාස, තම දේපළ, තම මුදල්, තම සුභසාධනය සහ තම ව්‍යාපාර අත්හැර ගියේ තම ගෞරවය සහ ආත්මය යටත් කරමිනි.

වසර 100කට පෙර: Der Stürmer ( ඩර් ස්ටර්මර්) නම් නාසි පුවත්පතේ පළමු කලාපය පලවේ.

1923 අප්‍රේල් 20 වැනි දින, විෂකුරු ලෙස යුදෙව් විරෝධී, නාසි ගැති ජර්මානු පුවත්පතක් වූ Der Stürmer (ඩර් ස්ටර්මර්) (ඉංග්‍රීසි අරුතින් The Stormer [කඩාපනින්නා] හෝ The Attacker [ප්‍රහාරකයා]) හි පළමු කලාපය ජුලියස් ස්ට්‍රයිකර් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එය 1945 දී නාසි පාලන තන්ත්‍රය බිඳ වැටෙන තෙක් ම කෙටි අතුරු බිඳීම් කිහිපයක් පමනක් සහිත ව සතිපතා පලවිය. 

1937 වන විට, ආරම්භයේ 2,500ක සිට 500,000කට ආසන්න ප්‍රමානයක් දක්වා වැඩී ගිය සංසරනයක් සහිත Der Stürmer (ඩර් ස්ටර්මර්) නාසි පක්ෂයේ නිල ප්‍රකාශනයක් නොවූවත්, නාසි ප්‍රචාරනයේ තීරනාත්මක කාර්යභාරයක් එමඟින් ඉටු කරනු ලැබීය. නවීන ජන මාධ්‍ය හරහා දුෂ්ටතම යුදෙව් විරෝධී සහ වර්ගවාදී අදහස් පතුරුවා හැරීම සම්බන්ධයෙන් Der Stürmer (ඩර් ස්ටර්මර්) කුප්‍රකටය. එය යුදෙව්වාගේ වර්ගවාදී කාටූන් විකට රූපයක් වර්ධනය කර, යුදෙව් පිරිමින් විසින් ජර්මානු කාන්තාවන් පොලඹවා ගැනීමේ අර්ධ අසභ්‍ය කථා ප්‍රකාශයට පත් කරන ලද අතර, යුදෙව්වන් විසින් ක්‍රිස්තියානි දරුවන් චාරිත්‍රානුකූලව ඝාතනය කිරීම් පිලිබඳ කියාපෑමේ ප්‍රකාශයන් ප්‍රවර්ධනය කරන ලදී.  සෑම කලාපයකම මුල් පිටුවේ පහළින්, “Die Juden sind unser Unglück!” (“යුදෙව්වන් අපේ අවාසනාවයි!”) යන සටන් පාඨය දිස් විය.  

ස්ට්‍රයිකර් පළමු ලෝක යුද්ධයේදී ජර්මානු හමුදාවේ පාබල සෙබළෙකු විය. පලමු ලෝක යුද්ධයේදී, ජර්මනිය ලත් පරාජයෙන් පසුව ඇති වූ සමාජ වියවුල තුල, ඔහු ජර්මනියේ සියලු දුෂ්කරතා පිලිබඳව යුදෙව්වන්ට දොස් පවරමින් අන්ත දක්ෂිනාංශික ක්‍රියාකාරිකයෙකු බවට පත්විය.  1922 වසරේ මියුනිච්හිදී ඇඩොල්ෆ් හිට්ලර්ගේ කතා ඇසීමෙන් පසු ඔහු හිට්ලර්ගේ අනුගාමිකයෙකු විය. 1923 නොවැම්බරයේ හිට්ලර් විසින් මෙහෙයවන ලද අසාර්ථක කුමන්ත්‍රණයේ දී, ඔහු හිට්ලර්  සමඟ ගමන් කලේය.1925 න් පසු නාසි පක්ෂයේ ප්‍රාදේශීය නිලධාරියෙකු බවට පත් වූ අතර 1932 දී රයිච්ග්ටැග් ( ජර්මන් පාර්ලිමේන්තුව)ට නාසි උප ප්‍රධානියෙකු ලෙස තේරී පත් විය.

1933 න් පසු නාසි පාලන තන්ත්‍රය නීත්‍යානුකූල කිරීම සහ ආක්‍රමනශීලී යුද්ධය සහ යුදෙව්වන් සමූලඝාතනය කිරීම සඳහා ජර්මානු ජනතාව අතර ප්‍රචාරනය කිරීමේ දී ඩර් ස්ටර්මර් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය. ඔවුන් එම සමූලඝාතනය සඳහා කැඳවීම 1933 තරම් ඉහත කාලයක දී සිදු කල අතර, එතැන් පටන් එය දිගටම එම ආස්ථානය දරා සිටියේය.

සමහර ප්‍රමුඛ නාසීන් මෙම පුවත්පත, එහි අශිෂ්ටත්වය නිසා තහනම් කිරීමට උත්සාහ කල අතර, හිට්ලර් එය ආශාවෙන් කියවීමටත්, ආරක්ෂා කිරීමටත් කටයුතු කලේය.

නියුරම්බර්ග් යුද අපරාධ නඩු විභාගයේදී ස්ට්‍රයිකර්ට එරෙහි තීන්දුවේ මෙසේ සඳහන් විය.

“25 වසරක් පුරා යුදෙව්වන්ට වෛර කිරීම, ලිවීම සහ දේශනා කිරීම සඳහා ස්ට්‍රයිකර් පුළුල් ලෙස හඳුන්වනු ලැබුවේ “යුදෙව්වන්ට ඇම දමන්නන්ගේ අංක එක” ලෙස ය. ඔහුගේ කථා සහ ලිපිවල, සතියෙන් සතිය, මාසයෙන් මාසය, ඔහු ජර්මානු මනසට යුදෙව් විරෝධයේ වෛරසය ආසාදනය කල අතර, ජර්මානු ජනතාව සක්‍රීය හිංසා පීඩාවලට පෙලඹවීය. …

දේශපාලන සහ වාර්ගික හේතූන් මත, නැගෙනහිර යුදෙව්වන් ඉතාමත් බිහිසුනු තතු යටතේ මරා දමන අවස්ථාවේ ස්ට්‍රයිකර් විසින් මිනීමැරීමට, වධබන්ධනයට ලක් කිරීමට සහ සමූලඝාතනය කිරීමට පොලඹවනු ලැබීම පැහැදිලිවම යුධ අපරාධ හා සම්බන්ධ වන අතර  … එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයකි.”

මේ අපරාධවලට දඬුවම් ලෙස ස්ට්‍රයිකර් 1946 ඔක්තෝබරයේ දී එල්ලා මරා දමන ලදී. 

#WSWS #CACPS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top