ඉතිහාසයේ මෙම සතිය: අප්‍රේල් 10 -16

This week in history | ඉතිහාසයේ මෙම සතිය

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 09 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

වසර 25 කට පෙර: මහ සිකුරාදා ගිවිසුම තීන්දු විය.

Image

අප්‍රේල් 10, 1998, දකුණේ සිට, බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, එක්සත් ජනපද සෙනෙට් ජෝර්ජ් මිචෙල් සහ අයර්ලන්ත අගමැති බර්ටි අහර්න්, උතුරු අයර්ලන්තයේ සාමය සඳහා වූ සිකුරාදා ගිවිසුමට අත්සන් කිරීමෙන් පසු එකට පෙනී සිටියහ.  (AP ඡායාරූපය/ගොනුව)

1998 අප්‍රේල් 10 වන දින, උතුරු අයර්ලන්තයේ නව දේශපාලන විධිවිධාන සඳහා වූ ඊනියා මහ සිකුරාදා ගිවිසුම, බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත රජයන් අතර අවසන් වශයෙන් තීන්දු විය. මේ සඳහා, අගමැති ටෝනි බ්ලෙයාර්ගේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ආන්ඩුව විසින් ඊට ඉහත ගිම්හානයේදී සාකච්ඡා ආරම්භ කරන ලදී.

උතුරු අයර්ලන්තයෙහි, සංගත ආයෝජන සඳහා වඩාත් ස්ථාවර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතු මාධ්‍යයක් ලෙස, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තය එක්ව සකසන ලද මෙය, වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්වල සෘජු වියදමින් මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා සහතික කිරීම සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමක් විය. එමෙන්ම එය, අනාගත සිදුවීම් මාලාවේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් හෝ කියා සිටීමට අයර්ලන්ත කම්කරුවන්ට කවර හෝ අවකාශයක් ලබා දීම බැහැර කිරීමක් විය.

මාස ගණනක හෙට්ටු කිරීමෙන් පසු ගිවිසුමක් ලබා ගැනීමට සියලු පාර්ශ්වයන් උනන්දුවෙන් සිටි තත්වයක් තුල, සාකච්ඡා වල සභාපති, හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික ජෝර්ජ් මිචෙල් විසින් අවසන් කිරීමේ දින නියම කල අතර, ආන්ඩු දෙක විසින් පිලිගන්නා ලද කෙටුම්පත් ලේඛනය අවසන් මොහොතේ දී ඊට සිදු කෙරුනු වෙනස්කම් නිසා එය දීර්ඝ කරන ලදී.  එක්සත් ජනපද ජනාධිපති ක්ලින්ටන් උතුරු අයර්ලන්තයේ ජාතිකවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ කම්කරු පක්ෂයේ නායක ජෝන් හියුම් වෙත ලබා දුන් උදෑසන දුරකථන ඇමතුමක් මගින් අවසන් පැකේජයේ මුද්‍රාව තැබින.

ගිවිසුම ” හුය පට” තුනකින් සමන්විත විය. පලමු හුය පට වූයේ සමානුපාතික නියෝජනයෙන් තේරී පත් වූ සාමාජිකයින් සහිත නව උතුරු අයර්ලන්ත සභාවක් සඳහා වූ යෝජනාවයි. දෙවැන්න, උතුරු-දකුනු අමාත්‍ය මන්ඩලයක් පිහිටුවීම මෙන්ම වෙලඳ හා සංචාරක වැනි ක්ෂේත්‍රවල දේශසීමා ආයතන පිහිටුවීම පිලිබඳව විය. තුන්වන හුය පට, වෙස්ට්මිනිස්ටර් සහ ඩබ්ලින් යන දෙඅංශයෙන්ම මෙන්ම ස්කොට්ලන්ත සහ වේල්ස් වල නියෝජිතයන්ගෙන් ද සැදුම් ලත් ඊනියා දූපත් සභාවක් සඳහා වූ යෝජනාවලින් සමන්විත විය.

එහි අන්තර් පක්‍ෂ සහයෝගය තිබියදීත්, නව ගිවිසුම සියවස් ගණනාවක් පුරා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් වගා කරන ලද නිකායික ගැටුම් අවසන් කිරීමට පදනම දැමුවේ නැත.  ඒ වෙනුවට, එය අයර්ලන්තයේ මූලික බෙදීම් වූ, ආගම සහ ජාතික අනන්‍යතාවය යන සංකල්පය තහවුරු කලේය.  උතුරු අයර්ලන්තය ඒකාබද්ධතාවාදී (unionist) සහ අයර්ලන්ත ජාතිකවාදී “ප්‍රජාවන්” (communities) ලෙස බෙදීම මත පදනම්ව ව්‍යවස්ථාපිත පියවර මාලාවක් පැනවීමට නියමිතව තිබුණි.

සෑම වසර හතකටම වරක් ඒකාබද්ධ කිරීමේ හැකියාව පිලිබඳ ජනමත විචාරන පැවැත්වීම යන කරුනුවලට සීමා වූ සිය බලපෑමට හිලව් වශයෙන්, අයර්ලන්ත සමූහාන්ඩුව උතුරු ප්‍රාන්ත හයට සිය හිමිකම් කීම අත්හැරිය යුතු විය. පොදු උත්සුකයන් සහිත ක්ෂේත්‍ර පිලිබඳව සාමූහික තීරන ගැනීම සඳහා උතුරු/දකුනු අමාත්‍ය මණ්ඩලයක් විසින් නායකත්වය උසුලනු ලබන අන්තර් දේශසීමා ආයතන ඇති කරන ලදී.

දශක ගනනාවක ලේ වැකි සිවිල් ගැටුමකින් පසුව, උතුරු අයර්ලන්ත සභාවකට බලය පැවරෙන රජයක් පිහිටුවීම සඳහා, ගිවිසුම මගින් කොන්දේසි නියම කරන ලදී.  එහි එක් කේන්ද්‍රීය ඉලක්කයක් වූයේ ප්‍රාන්ත හයේ බ්‍රිතාන්‍ය පාලනය රැක ගනිමින්, ආර්ථික වශයෙන් හානි කරන නිකායික ගැටුම් පාලනයට ගෙන ඒමේ මාවතක් ලෙස අයි.ආර්.ඒ හි දේශපාලන අංශය වන  ෂින් ෆේන්  (Sinn Fein)  ජනරජ ජාතිකවාදීන් රජයේ ව්‍යුහයන් තුළට සම්බන්ධ කර ගැනීමයි.  ඒ අතරම, මහා ව්‍යාපාරික උත්සුකයන්ට එරෙහිව කිසිදු ඒකාබද්ධ දේශපාලන ව්‍යාපාරයක් වැලැක්වීම මගින් අයර්ලන්තයේ ධනේශ්වර පාලනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වූ කම්කරු පන්තිය තුල ආගමික බෙදීම් පෝෂණය කිරීම දිගටම කරගෙන යන ලදී.

වසර 50 කට පෙර: චිලීයේ තඹ පතල් කම්කරුවන් දහස් ගණනක් වැඩ වර්ජනයක නිරත වෙති

Image

1973 අප්‍රේල් 15 වන දින, ලොව විශාලතම භූගත තඹ ආකරය වන  එල් ටෙනියන්ටෙ ( El Teniente) හි සේවය කළ චිලියේ පතල් කම්කරුවන් දහස් ගණනක්, රටේ දැවැන්ත උද්ධමන අර්බුදයට සමගාමීව වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක නිරත විය.  වර්ජනය දින 70ක් පැවති අතර, අවසානයේදී ඇලන්ඩේ ආන්ඩුව කම්කරුවන්ට එරෙහිව පොලිසිය හා මිලිටරිය යොදාගැනීමෙන් එය යටපත් කරන ලදී.

එල් ටෙනියන්ටෙ ආකරය, ඉහත දී එක්සත් ජනපදය පදනම් කරගත් කෙනෙකොට් තඹ සංස්ථාව  (Kennecott Copper Corporation) සතු ව තිබූ නමුත් 1971 දී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ සැල්වදෝර් ඇලෙන්ඩේ රජය විසින් එය (වන්දි සහිතව) ජනසතු කරන ලදී.  වැඩවර්ජනය පැහැදිලිවම දේශපාලනික ස්වභාවයක් ගත්තේය. මෙයින් අදහස් වූයේ, චිලීගේ නය ගෙවීම සඳහා පතල් කම්කරුවන්ගේ ජීවන තතුවලට කිසිදු දියුනුවක් ලබා නොදෙන බවට ජාත්‍යන්තර මූල්‍යයට ප්‍රතිඥා දුන් ඇලන්ඩේගේ කම්කරු හිතවාදී යැයි කියන ආන්ඩුවට එරෙහිව පතල් කම්කරුවන් වැඩ වර්ජනයක යෙදී සිටි බවයි.

1973 මාර්තු මාසයේ පැවති කොන්ග්‍රස් මැතිවරනයෙන් යන්තමින් පන බේරා ගැනීමෙන් පසු, සමාජවාදී පක්ෂය, චිලීහි ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් සමන්විත ඇලන්ඩේගේ “ජනප්‍රිය එකමුතු” (Popular Unity) සභාගය ගැඹුරු දේශපාලන අර්බුදයකට හසු  විය.  ඇලෙන්ඩේගේ ආන්ඩුව, කම්කරු පන්තියෙන් නැඟෙන කවර හෝ සහ සියලු වැටුප් ඉල්ලීම් මැඩ පැවැත්වීමට විදේශ ප්‍රාග්ධනය සහ චිලී හමුදාවේ ඔවුන්ගේ දක්ෂිනාංශික සහ ෆැසිස්ට්වාදී සහචරයින් යොදමින් සිටි පීඩනයෙන් මිරිකී යමින් තිබින.

මෙම දක්ෂිනාංශික කන්ඩායම් සීඅයිඒ හරහා එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන්ගේ පරිපාලනය සමඟ සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන ගියහ.  ඒ වන විටත් , ඔවුහු,1973 සැප්තැම්බර් මාසයේදී ඇලෙන්ඩේ බලයෙන් පහ කරනු ඇති කුමන්ත්‍රනය සැලසුම් කරමින් සිටියහ.

චිලී රජය අතිවිශාල විදේශ නය ප්‍රමානයක් ලබාගෙන තිබුනි.  1973 ආරම්භය වන විට විදේශ නයවල මුළු පිරිවැය ඩොලර් බිලියන 4 ඉක්මවූ අතර එය 2023 පවතින උද්ධමනය සඳහා ගැලපූ විට ඩොලර් බිලියන 27 කට සමාන විය. මෙම නය සඳහා පොලිය ගෙවීමට පමනක් චිලියට වසරකට ඩොලර් මිලියන 300 කට ආසන්න මුදලක් වැය විය.

තඹ රටේ පැවැති වටිනාම සම්පත වූ අතර, චිලියේ සියලුම අපනයනවලින් සියයට 80 ක් ඉන් සමන්විත විය. මේවා මූලික වශයෙන් එක්සත් ජනපදයට සහ බටහිර යුරෝපයට යැවින.  චිලියේ නිෂ්පාදනය කරන ලද තඹවලින් තුනෙන් එකක් නිෂ්පාදනයට වගකියන ලද්දේ එල් ටෙනින්ටේ ආකරයයි. මෙය, තඹ පතල් කම්කරුවන් චිලී කම්කරු පන්තියේ අතිශයින්ම වැදගත් කොටසක් බවට පත් කළේය.

නය අර්බුදය හමුවේ සහ ඔහුගේ ආන්ඩුවේ දක්ෂිනාංශික කොටස්වලට මුලුමනින්ම යටත් වීම තුල, ඇලෙන්ඩේගේ එකම විසඳුම වූයේ රජය සතු පතල් වලින් තඹ නිෂ්පාදනය වැඩි කරන ලෙස ඉල්ලා සිටින අතරම වැටුප් අඩු මට්ටමක තබා ගනිමින් එය විදේශයන්හි විකිනීමෙන් ලැබෙන ලාභය උපරිම කර ගැනීමයි. සාරය වශයෙන් ගත් කල, ඔහු උත්සාහ කළේ අධිරාජ්‍යවාදී මූල්‍යකරුවන්ගේ ඉල්ලීම් තෘප්තිමත් කිරීම සඳහා පතල් කම්කරුවන් සූරාකෑම වැඩි කිරීමටයි.  මෙම වැඩපිලිවෙලට, වර්ජකයන්ට එරෙහිව පොලිස් මර්දනය ඉල්ලා සිටි ස්ටැලින්වාදීන්ගේ සම්පූර්න පිටුබලය ලැබුනි.

කම්හල් වාඩිලාගැනීම් සහ රටේ අනෙකුත් ප්‍රදේශ වල කම්කරුවන්ගේ මිලීෂියාවන් (workers’ militia) පිහිටුවීම සමග අත්වැල් බැඳගත් පතල් කම්කරුවන්ගේ වැඩවර්ජනය, චිලී කම්කරු පන්තියේ දේශපාලන නිර්භීතකම පෙන්නුම් කලේය. ඒ අතරම, එය මහජන පෙරමුනු ආන්ඩුවේ බංකොලොත්භාවය සහ සැබෑ විප්ලවවාදී නායකත්වයක අවශ්‍යතාවය පැහැදිලිව පෙන්වා දුන්නේය.

වැඩවර්ජනය පතල් කම්කරුවන්ගේ පරාජයකින් අවසන් වුවද, කම්කරු ව්‍යාපාරය මුලුමනින්ම තලා දමන තුරු දක්ෂිනාංශිකයින් සෑහීමකට පත් වූයේ නැත.  ජුනි මාසයේදී වර්ජනය අවසන් වූ වහාම දෙවන සන්නද්ධ රෙජිමේන්තුව ඇලෙන්ඩේට එරෙහිව කුමන්ත්‍රනයක් දියත් කරන ලදී.

මෙම උත්සාහය අසාර්ථක වූ අතර, එය ඇලෙන්ඩේ පෙරලා දමා එම වසරේ අගභාගයේදී ඔගස්ටෝ පිනෝචේගේ මිලිටරි ආඥාදායකත්වය බලයට ගෙන ඒමට හැකි සාර්ථක කුමන්ත්‍රනයක් සඳහා වේදිකාව සකසන ලදී.  කම්කරුවන්ගේ මිලීෂියා සහ කම්හල් කවුන්සිල (factory councils) මර්දනය කිරීමට සහ නිරායුධ කිරීමට, පිනොචේට සහ ඔහුගේ ෆැසිස්ට් මැරයින්ට එරෙහිව ඔවුන්ව අනාරක්ෂිත කිරීමට ඇලෙන්ඩේ ජූනි කුමන්ත්‍රනය නිදහසට කරුනක් ලෙස භාවිතා කරන ලදී.

වසර 75 කට පෙර: මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ නාසි ඝාතන කණ්ඩායම

Image

නියුරම්බර්ග් හි පැවති Einsatzgruppen “කමාන්ඩෝ” නඩු විභාගයේ ප්‍රධාන ජර්මානු විත්තිකරුවන් දෙදෙනෙකු වන SS මේජර් ජෙනරාල් Otto Ohlendorf (ඉදිරිපස) සහ SS බ්‍රිගේඩියර් ජෙනරාල් Heinz Jost (පසුපස) .  Ohlendorf ඝාතනය කරන ලද අතර Jost නිදහස් වීමට පෙර වසර දහයක් සිරගතව සිටියේය.  [ඡායාරූපය: Telford Taylor papers]

1948 අප්‍රේල් 10 වන දින, ජර්මානු අයින්සැට්ස්ගෘපන් (Einsatzgruppen) හි නායකයින් පිළිබඳ එක්සත් ජනපද හමුදා නඩු විභාගයක් අවසන් වූයේ, සියලු විත්තිකරුවන් මනුෂ්‍යත්වයට එරෙහි දරුණු අපරාධවලට වැරදිකරුවන් වෙමින් සහ 24 දෙනාගෙන් 14 දෙනෙකුට මරන දන්ඩනය නියම කරමිනි.  දෙවන ලෝක සංග්‍රාමයේදී,  අයින්සැස්කොෆන්, නාසි පක්ෂයේ පැරාමිලිටරි අංශය වන SS හි ජංගම ඝාතක කණ්ඩායම් විය.

විත්තිකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් විවිධ අයින්සැට්ස්ගෘපන් අංශවල ප්‍රධාන අණ දෙන නිලධාරීන් වූ අතර නියෝජ්‍ය ප්‍රධානීන් සහ සහායකයින් කිහිප දෙනෙක් ද වූහ. ඔවුන්ගේ නඩු විභාගය වූ කලී, නියුරම්බර්ග් නඩු විභාගයෙන් පසුව පැවැති, ජාත්‍යන්තර අධිකරණයක් විසින් නොව ජර්මනියේ පිහිටි ඇමරිකානු හමුදා අධිකරණයක් විසින් පවත්වන ලද නඩු විභාගවලින් එකක් විය.

සාමූහිකව, විත්තිකරුවන් මිලියනයකට වැඩි පිරිසක් ඝාතනය කිරීම සෘජුවම අධීක්ෂණය කළ බවට චෝදනා එල්ල විය.  වඩාත් මෑතකාලීන අධ්‍යයනයන්ට අනුව, යුදෙව්වන් මිලියන 1.3 ක්, රොමානි ජනයා 250,000 ක් සහ තවත් අඩ මිලියනයක් පාක්ෂිකයන් (partisans), ආබාධිතයන් සහ සෙසු වාර්ගික සුළුතරයන් ද ඇතුළු මිලියන දෙකක් පමණ දක්වා අයින්සැට්ස්ගෘපන්හි (Einsatzgruppen) සිදු කල ඝාතන සංඛ්‍යාව ඉහල යයි.

අයින්සැට්ස්ගෘපන් විත්තිකරුවන්ට එරෙහි මූලික චෝදනාව වූයේ, “ සංවිධානාත්මක ජන සංහාර සැලැස්මක කොටසක් ලෙස, දේශපාලන, වාර්ගික සහ ආගමික හේතූන් මත හිංසනයන් හරහා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, මිනීමැරුම්, සමූලඝාතනය, සිරගත කිරීම් සහ ජර්මානු ජාතිකයන් සහ වෙනත් රටවල පුරවැසියන් ඇතුළු සිවිල් ජනතාවට එරෙහිව වෙනත් අමානුෂික ක්‍රියාවන්” සිදු කිරීම ය. එම හේතු මත, ඔවුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන ලද අතර, අපරාධ සංවිධානයක, එනම් එස්එස් සහ එහි විවිධ අනු කොටස්වල සාමාජිකයන් වීම සම්බන්ධයෙන් ද ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල විය.

අයින්සැට්ස්ගෘපන් නිලධාරීන් ගාල් කඳවුරුවල මිනීමැරුම් යන්ත‍්‍ර පමණක් නොව, අතිවිශාල ජීවිත සංඛ්‍යාවක් බිලිගනිමින් සිදු කෙරුනු සමූහ සංහාරයන් සහ වෙනත් භීෂණයන් ද අධීක්‍ෂනය කර තිබුනි.  දැඩි දඬුවම් ප්‍රකාශයක් නිකුත් කරමින් විනිසුරුවරු විත්තිකරුවන් ගැන ලියා ඇත්තේ ඔවුන්, “මනස එහිම චින්තන ප්‍රතිරූපයට එරෙහිව කැරලි ගසන සහ භාෂාව එය නිරූපනය කිරීමට අසමත් වන තරමේ මානව අවමානයක අවලෝකනය තුල, පරිකල්පනය පවා තුෂ්නිම්භූත කරවන සුළු පෙර නොවූ විරූ තරම් කෲර සහ සිතාගත නොහැකි තරම් ම්ලේච්ඡ අපරාධවලට” වැරදිකරුවන් වන බවයි. 

මරණ මිලියනය “වියුක්ත සංඛ්‍යාවක්” ලෙස සැලකීමට එරෙහිව අනතුරු හඟවමින් විනිසුරුවෝ මෙසේ ලිවූහ: “මෙම අපරූපී ඓක්‍යය මනසට උකහා ගත හැකි ඒකකවලට බිඳ දැක්වූ විට පමණක් මෙම නඩු විභාගයේදී අප මෙනෙහි කරන දේවල භයානක බව කෙනෙකුට තේරුම් ගත හැකිය. අලුගෝසුවාගේ තුවක්කු ඉදිරියේ මිනිසුන් දස දෙනෙකු පමණක් – පිරිමින්, ගැහැණුන් සහ ළමයින්, සමහර විට එකම පවුලක සියල්ලන් — ඇද වැටෙන ආකාරය යමෙකු දෘශ්‍යමාන කළ යුතුය.  මිලියනයක් දහයෙන් බෙදුවොත් පෙනී යන්නේ, මේ දර්ශනය සිය දහස් වාරයක් සිදු වී ඇති බවයි…”

මරණ දණ්ඩනයට නියම වූ 14 දෙනාගෙන් ඇත්ත වශයෙන්ම එල්ලා මරා දමනු ලැබුවේ හතර දෙනෙකු පමණි.  ඉතිරි අයගේ දඩුවම් සිර දඬුවම් බවට පරිවර්තනය කරන ලදී . සෝවියට් දේශය සමග සීතල යුද්ධ ගැටුමේ කොටසක් ලෙස, 1950 ගනන්වල නාසි සිර දඬුවම් කොන්දේසි ලිහිල් කිරීමට එජ සහාය ලත් බටහිර ජර්මානු අධිකාරීන් ක්‍රියා කල අතර, මරාදැමීමට නියම නොවූ අනෙක් අය සමග, මෙකී මරන දන්ඩනයට නියම වූවන් ගනනාවක් ද,  එකී මෘදු සැලකිල්ලේ ප්‍රතිලාභීහු වූහ.  නිදසුනක් වශයෙන්, සමූහ මිනීමරුවන්ගෙන් එක් අයෙක්, මුලදී මරනීය දන්ඩනය නියම කරනු ලැබුවද, ඔහුගේ සිර දඬුවම වසර දහයකට ලිහිල් කරනු ලදුව 1951 දී නිදහස් වූ අතර, හේ 1987 දක්වා නිදහසේ ජීවත් විය.

වසර 100 කට පෙර: ජපන් ඔටුන්න හිමි කුමරු තායිවානයට පැමිණේ

Image

1923 අප්‍රේල් 12 වන දින ජපාන ඔටුන්න හිමි හිරෝහිතෝ කුමරු හමුදා උපාමාරුවල කොටසක් ලෙස තායිවානයේ සති දෙකක සංචාරයක් ආරම්භ කළේය.  1895 දී චීන-ජපන් යුද්ධයේ අවසානයෙන් පසුව ෆෝමෝසා ලෙසින් හැඳින්වෙන මෙම දූපත ජපානයේ යටත් විජිතයක්ව පැවතිණි. මීට වසර දෙකකට පෙර, හිරෝහිතෝ  ජපන් උපරාජයා බවට පත් වූයේ, ඔහුගේ පියා වන ටයිෂෝ අධිරාජ්‍යයා මානසික රෝගී තත්ත්වය නිසා  එදිනෙදා කාර්යාලීය රාජකාරි ඉටු කිරීමට නුසුදුසු වූ බැවිනි.

හිරෝහිතෝ තායිවානයට කල පලමු සංචාරය වූයේ මෙයයි. ජපන් අධිරාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි බලපරාක්‍රමය අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ට සිහිපත් කර දීම සඳහා ඔහු 1921 දී යුරෝපයේ රාජ්‍ය චාරිකාවක්  කර තිබුණි.  ජපානය පළමු ලෝක සංග්‍රාමයේදී මිත්‍ර පාක්ෂිකයින්ගේ පැත්තෙන් සටන් කල අතර යටත් විජිත කොල්ලයේ තම කොටස ජර්මනියෙන් ඉල්ලා සිටියේය. එය බටහිර පැසිෆික් කලාපයේ නව මිලිටරි සංස්ථාපිතයක් පිහිටුවීම සඳහා ප්‍රංශය, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය සමඟ ප්‍රධාන නාවික ගිවිසුමක් ද අවසන් කර තිබුණි.  1922 දී ජපානයට සෝවියට් සයිබීරියාවෙන් ඉවත් වීමට බල කෙරුනි.

හිරෝහිතෝගේ තායිවාන සංචාරයේ අරමුන වූයේ ජපානයේ ජනයාට – විශේෂයෙන්ම පාලක පන්තියට – ඔහු කොරියාව ද, සහ සඵල ලෙස චීනයේ සමහර කොටස් ද ඇතුලත් රටේ විදේශීය දේපලවල නිසි පාලනය අතැතිව සිටින බව සහතික කිරීමයි. තායිවානයට ගොඩබැසීමේදී හිරෝහිතෝගේ පලමු ක්‍රියාව වූයේ 1895 දී පලමු ජපන් ගවේෂණ බලකාය සමඟ මියගිය ඔහුගේ ඥාතියෙකු වන කිටා ශිරකාවා කුමරුගේ  සොහොන් කොත වෙත පැමිණීමයි.

එහෙත් හිරෝහිතෝ තමා සහ පොදුවේ ජපන් පාලනය, මධ්‍යස්ථභාවයේ සහ සදාචාරයේ ආදර්ශයක් බව ප්‍රාදේශීය චීන පාලක පන්තියට ඒත්තු ගැන්වීමට ද උත්සාහ කළේය.  ඔහු ජපානය විසින් ඉදිකරන ලද පාසල්වලට ගිය අතර, සිරගත කරන ලද චීන ජාතිකවාදීන්ගේ දඬුවම් ද ලිහිල් කලේය.

ජපන් පාලනය විසින් තබන ලද පරදු ඉහල මට්ටමක ඒවා විය: ජපානය විසින් දිවයින තුල දැවැන්ත නවීකරණ වැඩසටහනක් දියත් කර තිබුනු අතර, දුම්රිය මාර්ග ද, ජපානයට අපනයනය කිරීම සඳහා උක් සහ අනෙකුත් මුදල් භෝග නිෂ්පාදනය කිරීම සඳහා වැවිලි කර්මාන්ත ද ඔවුන් විසින් වර්ධනය කරනු ලැබ තිබින.

එවකට ජපානයේ බලධාරීන්ට චීනයේ, කොරියාවේ පමණක් නොව, තායිවානයේ ද ජාතික ව්‍යාපාරවල වර්ධනය සමඟ කටයුතු කිරීමට සිදු වූ අතර, මෙම දිවයිනේ දී, ඔවුන්ගේ ප්‍රතිපත්ති තරමක් මධ්‍යස්ථ විය.  1919 දී ජපන් ජාතිකයින් සිවිල් ආණ්ඩුකාරවරයෙකු පත් කර ඇත (සෘජු හමුදා පාලනය වෙනුවට).  මෙම අවස්ථාවේදී, එක් ඉතිහාසඥයෙකු සඳහන් කර ඇති පරිදි, “තායිවාන සංස්කෘතිය මුලිනුපුටා දැමීමට සහ යටහත් පහත්, දෙවන පන්තියේ ජපන් පුරවැසියන්ගෙන් යුත් දිවයිනක් නිර්මාණය කිරීමට ජපානය වෙහෙස මහන්සි වී වැඩ කලේය.”

#theSocialstLK #WSWS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top