ඉතිහාසයේ මෙම සතිය: ජූලි 17-23

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 16 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History: July 10 -16 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: යෙල්ට්සින් සාර් නිකලස් II ගෞරවාන්විතව නැවත භූමදාන කළේය.

1917 රුසියානු විප්ලවයෙන් පසුව ඇති වූ සිවිල් යුද්ධය මධ්‍යයේ විප්ලවවාදී හමුදාවන් විසින්    රොමනොව් රජ පවුල  මරාදැමීමෙන් වසර 80 කට පසු 1998 ජුලි 17 වන දින, රුසියානු රජය , දෙවන සාර් නිකලස්ගේ සහ ඔහුගේ පවුලේ අයගේ දේහය ශාන්ත පීටර්ස්බර්ග් හි  ශාන්ත පීටර් සහ පෝල් ආසන දෙව්මැදුර හිදී පැවති උත්සවයකදී තැන්පත් කරන ලදී. 

අවමංගල්‍ය උත්සවයේදී රුසියානු ජනාධිපති බොරිස් යෙල්ට්සින් ප්‍රකාශ කළේ, “භූමදානය මානුෂීය යුක්තියේ ක්‍රියාවක්, රුසියාවේ එක්සත්කමේ සහ පොදු වරදින් මිදීමේ සංකේතයකි.” “අපේ ඉතිහාසයේ ඉතාම නින්දිත පිටුවලින් එකක්” වෙනුවෙන් ඔහු සමාව ඉල්ලා සිටියේය.

Tsar
IIවන සාර් නිකලස්ගේ සහ ඔහුගේ පවුලේ අයගේ සොහොන [ඡායාරූපය Richard Mortel / CC BY 2.0]

රුසියානු ජනගහනය පෙර සතිවල සාර් රාජධානියේ මහිමය  පිළිබඳ වාර්තා වලින් යට කර තිබුණි.  රුසියානු ජනාධිපතිවරයා සාර් සහ ඔහුගේ පවුලේ අය ගැන උත්සවයේදී අලංකෘත වචන වලින් කතා කළේය.

1894 සිට 1917 දක්වා පාලනය කළ නිකලස් II, සාමාන්‍ය රුසියානු ජනතාව පීඩාවට පත් කළ අර්ධ වැඩවසම් පාලන තන්ත්‍රයක් මගින් සුඛෝපභෝගී ආකාරයෙන් නායකත්වය දුන්නේය. ප්‍රභූ පැලැන්තියේ සහ රාජකීය පවුලේ ධනය රඳාපවතින්නේ මිලියන ගනනක් ගොවීන්ගේ සහ මිලියන ගණනක නාගරික කම්කරුවන්ගේ කටුක දුක්ඛිත තත්වය මත ය. සාර්වාදී රුසියාව ශිෂ්ට ලෝකය පුරා පසුගාමීත්වය, මර්දනය සහ නූගත්කම සමඟ සමාන විය. නිකලස් සිය බලය පවත්වා ගෙන ගියේ පොලිස් භටයන් සහ පොලිස් ඔත්තුකරුවන් විශාල හමුදාවක් බලමුලු ගැන්වීමෙනි. සෑම ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක් සහ අදහසක්ම තහනම් විය. පාලන තන්ත්‍රය දේශපාලන විරුද්ධවාදීන් දහස් ගණනක් සයිබීරියාවට පිටුවහල් කළේය. මධ්‍යකාලීන සිරගෙවල්වල තවත් දහස් ගණනක් මිය ගියහ; එය තවත් එවැනි සිය ගණනක් ක්‍රියාත්මක කළේය.

තමාගේම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බෝම්බ දමා, සහ චෙචන් ජාතිකවාදී බලවේගවලට එරෙහිව කුරිරු යුද්ධයක් දිගටම කිරීමට අණ දුන් යෙල්ට්සින් සිය කතාවේදී, කුහක ලෙස එහි සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය “විනාශ වූ” ලෙස හෙළා දුටු අතර සහස්‍රයේ අවසානයෙහි අධ්‍යාත්මික වැදගත්කම මතු කළේය.

සිවිල් යුද්ධය පුපුරා යාම සහ එහි ගමන් මග මගින් සාර් සහ සාරිනාගේ ඉරණම මුද්‍රා තබන ලදී. ට්‍රොට්ස්කි බොල්ෂෙවික් දේශපාලන මණ්ඩලයේ රැස්වීමකදී නිකලස්ව නඩු විභාගයකට ලක් කළ යුතු බවත් ඔහුගේ පාලනයේ සම්පූර්ණ චිත්‍රයක් විවෘත අධිකරණයේ පින්තාරු කළ යුතු බවත් යෝජනා කළේය. නඩු විභාගය ගුවන් විදුලියෙන් විකාශනය කරන ලෙස ඔහු යෝජනා කළේය. යෝජනාවට යම් අනුකම්පාවක් ඇති වූ නමුත්, විප්ලවය තලා දැමීමේ අරමුන ඇතිව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් නායකත්වය දුන් විදේශීය හමුදා 14ක් විසින් සෝවියට් කම්කරු රාජ්‍යය ආක්‍රමණය කිරීම, එය ප්‍රායෝගික නොවන බවට පත් කළේය.

1918 ජුලි වන විට යෙකටරින්බර්ග්හි රතු හමුදාවේ හමුදා තත්වය වඩ වඩාත් අවිනිශ්චිතභාවය පත් වී තිබුණි. සුදු හමුදාවන් ඉදිරියට යමින් සිටි අතර, රාජකීය පවුල ප්‍රතිවිප්ලවයේ අතට පත් වුවහොත් ඔවුන් ග්‍රාමීය ජනගහනයේ නොසන්සුන් සහ වඩාත් පසුගාමී ස්ථරයන්ට ජීවමාන සංකේතයක් බවට පත්වනු ඇතැයි බොල්ෂෙවික්වරු බිය වූහ. එබැවින්, 1918 ජූලි 17 වන දින, සාර් සහ ඔහුගේ පවුල ඝාතනය කරන ලද අතර, ඔවුන් එංගලන්තයේ චාල්ස් I, ප්‍රංශයේ XVI වන ලුවී සහ මානව ප්‍රගතියේ රැල්ලට ගොදුරු වූ අනෙකුත් අයගේ ඉරණම හා බෙදාහදා ගන්නා ලදී.

වසර 50 කට පෙර: ඇෆ්ගනිස්ථාන කුමන්ත්‍රණය රාජාණ්ඩුව අවසන් කරයි, ඒකාධිපතිත්වය ස්ථාපිත කරයි

K8ng
සහීර් ෂා රජු 1963 දී ඡායාරූප ගත කරන ලදී

1973 ජූලි 17 වන දින ඇෆ්ගන් හමුදාවේ ප්‍රමුඛ ජෙනරාල් මොහොමඩ් දවුද් ඛාන් , මොහොමඩ් සහීර් ෂා රජුට එරෙහිව සාර්ථක කුමන්ත්‍රණයක් දියත් කළේය. ඒ වන විට සහීර් ෂා ඉතාලියේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් රටින් බැහැරව සිටියේය. බලයට පත්වීමෙන් පසු ඛාන් රාජාණ්ඩුව අහෝසි කර තනි පක්ෂ රාජ්‍යයක් ස්ථාපිත කළේය.

කුමන්ත‍්‍රණය සාපේක්ෂ වශයෙන් ලේ ගැලීම් රහිත එකක් වූ අතර, හමුදාව විසින් රජයේ ප‍්‍රධාන කාර්යාලවල පාලනය සියතට ගැනීමත් සමග පොලිස් නිලධාරීන් හත් දෙනෙකු පමණක් ඝාතනය විය. කුමන්ත‍්‍රණයේ ආරංචිය ෂා වෙත ළඟා වූ පසු, ඔහු වහාම ප‍්‍රතිචාර දැක්වූයේ, ඇෆ්ගනිස්ථානුවන්, “නිරපේක්ෂ බහුතරයක් සහිතව, ජනරජ පාලන තන්ත‍්‍රයක් සාදරයෙන් පිලිගත්” බව පිළිගනිමින්, ඔහුගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙනි.

ඛාන් ෂාගේ ඥාති සොහොයුරෙකු වූ අතර මීට පෙර 1953 සිට 1963 දක්වා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබුණි. මෙම කාලය අවසානයේදී දෙදෙනා අතර දේශපාලන භේදයක් ඇති විය. එවකට ඛාන් සෝවියට් සංගමය සමඟ සමීප සන්ධානයකට කැමති වූ අතර ෂා විසින්ම රජය ජනරජ ක්‍රමයක් බවට ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා කළේය.

සීතල යුද්ධයේදී ඇෆ්ගනිස්ථානය නිල වශයෙන් එක්සත් ජනපදය හෝ සෝවියට් සංගමය සමග නොබැඳි ලෙස තබා ගැනීමට ෂා කැමති වූ අතර, එය තමන්ට වාසිදායක වන පරිදි දෙපිල අතර උපාමාරු දැමීමට බලාපොරොත්තු විය. ඔහු ඛාන්ගේ යෝජනා ප්‍රතික්ෂේප කළ අතර 1963 දී ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය. 1964 දී ඔහු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ අතර, එය රාජකීය පවුලේ ඕනෑම සාමාජිකයෙකුට අමාත්‍ය ධූර දැරීම තහනම් කළේය, එය විශේෂයෙන් නිර්මාණය කර තිබුණේ ඛාන් ඉහළ තනතුරකින් බැහැර කිරීම සඳහා ය.

කෙසේ වෙතත්, ඛාන් හමුදාවේ තම තනතුර දිගටම පවත්වා ගෙන ගිය අතර දේශපාලනයේ වැදගත් චරිතයක් විය. ඔහු අගමැති ධුරයෙන් නෙරපා හැරීමෙන් පසු දශකය තුළ ,1973 දී ඔහුගේ බලය අල්ලා ගැනීමට සහාය වන විවිධ දේශපාලන කණ්ඩායම් සමූහයක් ක්‍රමයෙන් තමා වටා තහවුරු කර ගත්තේය.

හමුදාවෙන් පිටත, මෙම කන්ඩායම්වලින් වඩාත්ම වැදගත් වූයේ ඇෆ්ගනිස්ථානයේ මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයි (PDPA). PDPA යනු ඇෆ්ගනිස්ථානයේ ස්ටැලින්වාදී පක්ෂය වූ අතර , එය ෂා රාජාණ්ඩුව තුළ පාර්ලිමේන්තුවේ ආසන අතලොස්සක් හිමිකරගෙන තිබුණි. ස්ටැලින්වාදීන් සුළු හෝ පැකිලීමකින් තොරව එකඟ වූ ඔහුගේ කුමන්ත්‍රණයට සහය සහ උදව් ලබා දෙන්නේ නම් PDPA සාමාජිකයන් තම කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට ඛාන් ප්‍රතිඥා දුන්නේය.

ඛාන් බලයේ පළමු වසර තුළ ඇෆ්ගනිස්ථානය ආර්ථික වශයෙන් නවීකරණය කිරීමට සැලසුම් කරන ලද ප්‍රතිපත්ති අනුගමනය කළේය. මේවාට බැංකු ජනසතු කිරීම සහ කාර්මීකරණ මුලපිරීම් ඇතුළත් විය. මෙම පියවරයන් බොහොමයක් ස්ටැලින්වාදී PDPA ඇමතිවරුන් විසින් අධීක්ෂණය කරන ලදී.

1977 දී ඛාන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කළ අතර, ඔහුගේ ජාතික විප්ලවවාදී පක්ෂය එකම නීත්‍යානුකූල පාලක පක්ෂය ලෙස නිල වශයෙන් තහවුරු කළේය. ඔහු ආන්ඩුවෙන් PDPA සාමාජිකයින් ඉවත් කිරීම ආරම්භ කළේය, සෝවියට් සංගමය සමඟ වූ  සහයෝගයෙන් ඈත් වී එක්සත් ජනපදය හා ඊජිප්තුව සමඟ සමීප සහයෝගීතාවයක් ආරම්භ කළේය, ඒ වන විට ඔවුන් සෝවියට් සන්ධානයෙන් ද බිඳී ගොස් තිබුණි.

1978 දී PDPA නායක මීර් අක්බර් කයිබර් ඝාතනය විය. ඔහුගේ අවමංගල්‍යය PDPA ට සහය දැක්වීම සඳහා මහජන දේශපාලන රැස්වීම් බවට පත් වූ පසු, ඛාන් පක්ෂය මර්දනය කිරීමට උත්සාහ කළේය. PDPA ප්‍රතිචාර දැක්වූයේ ඔවුන්ගේම කුමන්ත්‍රණයක් දියත් කිරීම සහ ඔවුන්ගේ නිලයට දිනාගත් හමුදාවේ සංවිධානාත්මක කොටස් ය. 1978 අප්‍රේල් 28 වන දින PDPA කුමන්ත්‍රණයේදී ඛාන් ඝාතනය විය.

1973 කුමන්ත්‍රණයෙන් පසුව සහීර් ෂා ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය සඳහා ඉතාලියේ රැඳී සිටියේය. කෙසේ වෙතත්, 2002 දී එක්සත් ජනපද ආක්‍රමණයෙන් සහ ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන්  පසු ඔහුට නැවත පැමිණීමට අවසර ලැබුණි. ඔහු එක්සත් ජනපදය විසින් ඔහුගෙන් ඉල්ලා සිටි භූමිකාව කීකරු ලෙස ඉටු කළ අතර වාඩිලෑමේ තන්ත්‍රයට සහාය දුන්නේය. ඔහු 2007 දී මිය ගියේ අර්ධ පුනරුත්ථාපනය කරන ලද රජෙක්  වැනි චරිතයක් ලෙස ය, නමුත් ඔහු කිසි විටෙකත් නිල වශයෙන් ඔහුගේ පදවිය ප්‍රතිස්ථාපනය නොකළේය.

වසර 75 කට පෙර: ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂ නායකයින්ට “ආන්ඩුව පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම” සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

1948 ජුලි 20 වෙනිදා, “එක්සත් ජනපද ආන්ඩුව පෙරලා දැමීමට” කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් දොළොස් දෙනෙකුට ස්මිත් පනත යටතේ චෝදනා එල්ල විය.

අධිචෝදනා කොමියුනිස්ට් විරෝධී මායාකාරියන් දඩයම් කිරීමේ (witch-hunt) ඉහළම අදියර වූ අතර, චිත්‍රපට සහ අනෙකුත් කලා ක්ෂේත්‍රවල විශාල පවිත්‍ර කිරීම් ඇතුළත් විය. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය ස්ථාපිත කිරීම අරමුනු කරගත්, සෝවියට් සංගමයට එරෙහිව යොමුකල සීතල යුද පිලිවෙත් ක්‍රියාවට නංවමින් සිටි, ජනාධිපති හැරී එස්. ටෲමන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ පරිපාලනය විසින් ඔවුන් පහතට හෙලන ලදී.

අධිචෝදනා පත්‍රය ප්‍රකාශයට පත් කිරීමෙන් ඉක්බිතිව ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රොට්ස්කිවාදී සමාජවාදී කම්කරු පක්ෂයේ 1948 ජනාධිපති අපේක්ෂක ෆැරල් ඩොබ්ස් මෙසේ ප්‍රකාශ කළේය: “කුප්‍රකට ස්මිත් ‘ගැග්’ පනත යටතේ කොමියුනිස්ට් පක්ෂ නායකයින් දොළොස් දෙනාට අධිචෝදනා ගොනු කිරීම සිවිල් නිදහසට එරෙහි දරුණු පහරකි. මේ රටේ පොලිස් රාජ්‍යයක් සහ චින්තන පාලනයක් ස්ථාපිත කිරීමේ දිශානතියට ගත් තවත් පියවරකි.”

ඩොබ්ස්ගේ ප්‍රකාශය සිවිල් නිදහස සහ මානව හිමිකම් සංවිධානවල සමාන අදහස් ගෙන හැර දක්වමින්, නඩු පැවරීම එක්සත් ජනපදය තුල ඒකාධිපතිවාදයට හැරීමක් සලකුනු කරන බවට අනතුරු ඇඟවීය.

එස්ඩබ්ලිව්පීයේ අනෙකුත් සාමාජිකයින් 28 දෙනෙකු සමඟ 1941 දී ඩොබ්ස් ටම  ස්මිත් පනත යටතේ නඩු පවරන ලදී. විශේෂයෙන්ම යුද විරෝධී සංවිධාන ඉලක්ක කරගත් නීති සම්පාදනය යටතේ මුලින්ම චෝදනා එල්ල වී සිරගත කරනු ලැබුවේ ඔවුන්ය. 

Ct Smith
ෆැරල් ඩොබ්ස්,( වමේ) සහ ජේම්ස් පී. කැනන් ඔවුන්ගේ 1941 ස්මිත් පනතේ නඩු විභාගය අතරතුරදී.

රූස්වෙල්ට් පරිපාලනය විසින් එස්ඩබ්ලිව්පීයට පහර දෙනු ලැබුවේ එය කම්කරු ව්‍යාපාරය තුල  දෙවන ලෝක යුද්ධයට ඇමරිකානු සහභාගීත්වයට විරුද්ධ වූ සහ ගැටුමේ සියලු ප්‍රධාන බලවතුන්ගේ මැදිහත්වීම් වලට යටින් පවතින අධිරාජ්‍යවාදී අභිප්‍රේරණයන් හෙලිදරව් කල එකම ප්‍රවනතාවය එය වූ බැවිනි. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය, එක්සත් ජනපද-සෝවියට් යුද කාලීන සන්ධානයේ කොන්දේසි යටතේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග පෙලගැසීමට අනුකූලව, ට්‍රොට්ස්කිවාදීන්ට එරෙහිව රූස්වෙල්ට් විසින් නඩු පැවරීම ගැන ඔල්වරසන් දුන්නේ ය.

1948 ඔහුගේ ප්‍රකාශයේ ඩොබ්ස් උත්ප්‍රාසය සටහන් කළේය. එහෙත් ස්ටැලින්වාදීන් මෙන් නොව, එස්ඩබ්ලිව්පීය කම්කරු ව්‍යාපාරය තුල ඇති අනෙකුත් ප්‍රවනතාවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කලේය, එයට වඩාත්ම මූලික එකඟ නොවීම් ද ඇත.

ඩොබ්ස්ගේ ප්‍රකාශය චෝදනාවේ හාස්‍යජනක ස්වභාවය සටහන් කළේය. කොමියුනිස්ට් පක්ෂය ඩිමොක්‍රටික් පක්ෂය සමග දිග්ගැස්සුනු පෙලගැසීමක සිටි අතර සමාජවාදී විප්ලවයට නොසැලෙන ලෙස සතුරු විය.

ඩොබ්ස් පැහැදිලි කළේ:

ස්ටැලින්වාදී නායකයින් මාක්ස්ගේ සහ ලෙනින් ගේ මූලධර්ම වෙනුවෙන් පෙනී සිටි බවට එල්ල වන චෝදනාව අපූරු සහ අසත්‍ය ය. ස්ටැලින්වාදී නායකයෝ බොහෝ කලකට පෙර මාක්ස්වාදී දර්ශනය අත්හැර දැමූහ. බ්‍රවුඩර් නෙරපා හැරීමෙන් පසු 1945 දී ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වීම, චෝදනා පත්‍රය එල්ල කර ඇති අතර, එය මාක්ස්වාදය වෙත නැවත පැමිණීමක් පෙන්නුම් නොකළ අතර එය හුදෙක් ක්‍රෙම්ලිනයේ නව විදේශ ප්‍රතිපත්තියට අනුගත වීමකි.

වර්තමාන නඩු පැවරීම ද කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි වොෂින්ටනයේ ආකල්පයේ මෑතකාලීන ආපසු හැරීමක ප්‍රතිඵලයකි. ෆෙඩරල් ආන්ඩුව, යුද්ධය අතරතුර කොමියුනිස්ට් පක්ෂය හි සුපිරි-දේශප්‍රේමී සහයෝගය, ඔවුන්ගේ වැඩ වර්ජන බිඳීම සහ වෘත්තීය සමිති සටන්කාමීන් දඩයම් කිරීම පිළිගැනීමට වඩා කැමැත්තෙන් සිටියේය.

අවසාන වශයෙන්, ඩොබ්ස් මෙසේ පැවසීය.

යුද සමයේදී එම ස්මිත් පනත යටතේම අපව සිරගත කිරීමට කොමියුනිස්ට් පක්ෂය හි සහාය පිළිගැනීමට අධිකරණ දෙපාර්තමේන්තුව ද කැමැත්තෙන් සිටියේය.  ස්ටැලින්වාදී නායකයන්ගේ කුහකකම, වංචාව සහ ද්‍රෝහීකම නොතකා, ඔවුන් ප්‍රතිපත්ති විරහිතව සිවිල් අයිතිවාසිකම් අත්හැරීම සහ යුද්ධයේදී අප වෙත කළ සාහසික ද්‍රෝහීකම් අනුකරණය කිරීමට අපට කිසිදු අදහසක් නැත.

වර්තමාන නඩු පැවරීමට එරෙහිව සීමාව දක්වා සටන් කිරීම සහ එයට විරුද්ධ වන ලෙස සමස්ත කම්කරු ව්‍යාපාරයම දැනුවත් කිරීම අපගේ යුතුකමක් ලෙස අපි සලකමු. පරිපාලනය විසින් සිවිල් අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය මගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කරුණක් බවට පත් කිරීමට මම යෝජනා කරමි.

වසර 100 කට පෙර: පැන්චෝ විලා මෙක්සිකෝවේ දී ඝාතනය කරන ලදී

1923 ජූලි 20 වන දින, 1911-1920 මෙක්සිකානු විප්ලවයේ කැපී පෙනෙන නායකයෙකු වූ පැන්චෝ විලා, උතුරු චිහුවාහුවා ප්‍රාන්තයේ පැරල් නගරය අසල ඔහුගේ ගොවිපළේ සිට 

ඔහුගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී තුවක්කුකරුවන් හත් දෙනෙකු විසින් ඔහුට  වෙඩි තබා තිබුණි. විලා සහ ඔහුගේ ආරක්ෂකයින් තිදෙනා මිය ගිය අතර ඔහුගේ පිරිවරෙන් එක් අයෙකු පමණක් දිවි ගලවා ගත්තේය. එකල මූලාශ්‍ර අනුමාන කළේ මෙම මිනීමැරුම මෙහෙයවා ඇත්තේ මෙක්සිකානු විප්ලවයේ ප්‍රතිවාදී කන්ඩායමක නායකයෙකු වන ෆ්‍රැන්සිස්කෝ හෙරේරා විසිනි, ඔහුගේ පියා සහ සහෝදරයන් තිදෙනා විලා විසින් මරා දමන ලදී. කෙසේ වෙතත්, ඝාතනය සඳහා දේශපාලනික අරමුණු ද බොහෝ දුරට තිබුණි.

උතුරු ප්‍රාන්තයේ ඩුරන්ගෝ හි දිළිඳු ලෙස උපත ලැබූ විලා, සියවස ආරම්භය වන විට කොල්ලකරුවෙකු බවට පත් වන තෙක් අඳ ගොවියෙකු,  ගඩොල් කපන්නෙකු සහ දුම්රිය පාලකයෙකු ලෙස සේවය කර ඇත. 1910 න් පසු ඔහු මෙක්සිකානු විප්ලවයේ නායකයෙකු බවට වර්ධනය වූයේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම ජනාධිපති පෝර්ෆිරියෝ ඩයස් පෙරලා දැමීමේ හමුදා ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වූ විටය. 1916 දී, විලා විසින් නිව් මෙක්සිකෝවේ කොලොම්බස් හි වැටලීමකට නායකත්වය දුන්නේ විප්ලවයට පිටුපසින් බලයට පත් වූ වෙනෙස්ටියානෝ කොරැන්සා ( Venustiano Carranza ) හි නව මෙක්සිකානු රජයට එක්සත් ජනපදය සහාය දුන් බැවිනි. ජනාධිපති විල්සන් මෙක්සිකෝවට ඇමරිකානු භටයන් 5,000 ක් යැවූ නමුත් ඔවුන්ට විලා අල්ලා ගැනීමට නොහැකි විය.

panco
පැංචෝ විලා

විලා සහ ඔහුගේ අනුගාමිකයින් 1919 දක්වා ඇමරිකානු දේශසීමාව අසල සුවාරෙස් නගරය වෙත ප්‍රහාරයක් දියත් කරන තෙක් කැරලිකාර භූමිකාවක් ඉටු කර ඇත. 1920 සිට, විලා ජීවත් වූයේ විශ්‍රාම යන බව කියන ඇඩොල්ෆෝ ඩි ලා හුයර්ටා පාලන තන්ත්‍රය සමඟ සාම සාකච්ඡාවලින් පසු රජය ඔහුට ලබා දුන් අක්කර 25,000 ක වතුයායක ය.

විලා 1924 මැතිවරණය සඳහා නැවත දේශපාලනයට පිවිසීමට සූදානම් වෙමින් සිටි බව කියනු ලැබේ. බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ 1924 දී ජනාධිපති බවට පත් වූ ප්ලූටාර්කෝ එලියාස් කැල්ස් ඔහුගේ  විභව ප්‍රතිවාදියෙකු මර්දනය කිරීමට මිනීමැරුමට අණ දුන් බවයි. 

සමාජවාදී මාධ්‍යවේදී ජෝන් රීඩ්ගේ ප්‍රථම ප්‍රකාශිත පොත, “කැරලිකාර මෙක්සිකෝව” (1914), පැන්චෝ විලාගේ හමුදාව සමඟ ගමන් කිරීමේ ඔහුගේ අත්දැකීම විස්තර කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top