ඉතිහාසයේ මෙම සතිය: ජූලි 31 – අගෝස්තු 6

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 30 දින ඉංග්‍රීසියෙන් පලවූ This week in history: July 31- August 06 යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: ශ්‍රී ලංකාව තුල හදිසි නීතිය ප්‍රකාශයට පත් කරයි 

1998 අගෝස්තු 4 වන දින, ශ්‍රී ලංකාවේ පොදු පෙරමුනු රජය දිවයින පුරා හදිසි නීතිය පැනවූ අතර, අගෝස්තු 28 වන දින ශ්‍රී ලංකාවේ පලාත් අටෙන් පහක පැවැත්වීමට නියමිතව තිබූ පලාත් සභා මැතිවරනය කල් දැමීය.

1997 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ දකුනේ හදිසි තත්ත්වය ඉවත් කරන ලදී. එහෙත් උතුරේ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ට එරෙහි පූර්න පරිමාන යුද්ධයේ කොටසක් ලෙස, මිලිටරිය අභ්‍යන්තර මර්දනයේ වැඩි බලතල ඉල්ලා සිටියේය. හමුදාවේ ඉහල නිලධරය , දේශපාලනිකව වඩ වඩාත් ප්‍රමුඛත්වයට පත්ව තිබුනද, යුද්ධය “තීරනාත්මක අවධියක” පවතින බැවින් පලාත් සභා මැතිවරනය කල් දැමිය යුතුය යන එහි අවධාරනය , දේශපාලන තීරන වලට පෙර නොවූ විරූ මැදිහත්වීමක් නියෝජනය කලේය.

මැතිවරන කල් දැමීමට සහ මැතිවරන පරාජයක් වලක්වා ගැනීමට කඩතුරාවක් සපයා ගැනීම සඳහා පොදු පෙරමුනු පාලනය හදිසි තත්වයක් ප්‍රකාශ කරනු ඇතැයි විපක්ෂ ප්‍රකාශකයෝ සති කිහිපයක් තිස්සේ පුරෝකථනය කරමින් සිටියහ. ශ්‍රී ලංකාවේ දෙමල සුලුතරයට එරෙහි වසර 15ක දීර්ඝ යුද්ධය දිගටම කරගෙන යාම සහ සමාජ වියදම් දැවැන්ත ලෙස කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වසර හතරක් පැරැනි පොදු පෙරමුනු තන්ත්‍රයට ජනතා සහයෝගය පහත වැටී තිබුනි.

War
දෙමල සරනාගතයින් [ඡායාරූපය අර්ජුන් ක්ලෙයාර්, යුරෝපීය කොමිසම, ECHO / CC BY-SA 2.0]

ශ්‍රී ලංකා හමුදාව කියා සිටියේ,  දෙමල බෙදුම්වාදීන්ට එරෙහිව දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ යොදවා ඇති භට පිරිස් දකුනු පලාත් පහේ ඡන්ද විමසීමේදී යලි යෙදවීම  එල්.ටී.ටී.ඊ ය නැවත කන්ඩායම් ගත වීමට ඉඩ සලසන බවයි. මිලිටරි විධානය දේශපාලන අර්බුදය යොදා ගත්තේ වැඩි මර්දනකාරී බලතල සඳහා බලපෑම් කිරීමට සහ දේශපාලන තීරන ගැනීමේ ක්‍රියාවලියට ඇතුල් වීමටය.

දශක ගනනාවක් තිස්සේ, ශ්‍රී ලංකාවේ ධනේශ්වරය, කම්කරු පන්තිය බෙදීමට සහ මහජන දරිද්‍රතාවය හා විරැකියාව තුල  මුල් බැසගත් උග්‍ර සමාජ ආතතීන් මග හැරීමට සිංහල ස්වෝත්තමවාදය භාවිතා කලේය. රැකියා සහ අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් රාජ්‍යය විසින් එන්ට එන්ටම වෙනස් කොට සැලකීම නරක අතට හැරීම සහ 1983 ආන්ඩුව විසින් උසිගන්වන ලද දෙමල විරෝධී සංහාරයක් දෙමල තරුනයන්ගේ මහජන නැගිටීමකට තුඩු දුන්නේය. අවුරුදු පහලොවකට පසු ද , සටන දිගටම පැවතුනි.

මිලිටරි සහ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක වන්දි ගෙවීමකින් පසු, 1995 අගභාගයේදී දෙමල කතා කරන උතුරේ විශාලතම නගරය වන යාපනය යලි අත්පත් කර ගැනීමත් සමඟ පොදු පෙරමුන පාලනය එල්ටීටීඊයට එරෙහිව විශාල මිලිටරි ජයග්‍රහනයක් ලබා ගත්තේය. එතැන් සිට, යුද්ධය අවසන් කිරීමට එහි උත්සාහයන් අඩාල විය. යාපනයට යන ප්‍රධාන මාර්ගය අල්ලා ගැනීම ඉලක්ක කරගත් ප්‍රහාරයක් මාස ගනනාවක් තිස්සේ සිර වී පැවතුනි. වැඩිවන අනතුරට පත්වනු ලබන සංඛ්‍යාවේ බලපෑමට ප්‍රතිරෝධය දැක්වීම සඳහා, සටන් පිලිබඳ රජයේ වාර්තා හැර අන් සියල්ල ප්‍රකාශයට පත් කිරීම රජය විසින් තහනම් කරන ලදී.

වසර 50 කට පෙර: නිව් යෝර්ක් නගරයේ වසර 103 ක් පැරනි ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් හෝටලය කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

1973 අගෝස්තු 3 වන දින, නිව් යෝර්ක් නගරයේ ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් හෝටලය කඩා වැටුනු අතර, කාමර 400කට අධික ප්‍රමානයක් සහ එහි වූ මර්සර් කලා මධ්‍යස්ථානයේ  රගහල්  හයක් අඩංගු සියවස් පැරැනි ව්‍යුහය සම්පූර්නයෙන්ම විනාශ විය. ගොඩනැගිල්ලේ සිටි  300 කට වැඩි පදිංචිකරුවන්ගෙන් වැඩි දෙනෙකුට ඉන්  ඉවත් වීමට හැකි වූ අතර, පුද්ගලයින් හතර දෙනෙකු , ගොඩනැගිල්ල ඔවුන් මතට කඩා වැටීම නිසා එහි සිරවී මිය ගියහ.

එක්සත් ජනපදයේ විශාලතම හෝටලය ලෙස 1870 දී එය ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් නමින් ප්‍රථම වරට විවෘත  විය. එය ඉක්මනින්ම සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර අවන්හල් සහ රුචිර උත්සව කටයුතු  සඳහා නිවහනක් විය. එයට බොහෝ සමාජ ප්‍රභූ සහ ධනවතුන් මෙන්ම බොහෝ නලුවන් සහ රංගන ශිල්පීන් විසින් නිතර නිතර පැමිනියේය. හෝටලය පැවති කාලය තුල එහි නම දෙවරක් වෙනස් කර ඇත. පලමුව 1892 දී බ්‍රෝඩ්වේ සෙන්ට්‍රල් හෝටලය ලෙසත් පසුව 1969 දී යුනිවර්සිටි හෝටලය ලෙසත්ය.

Hotel
ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් හෝටලය[ඡායාරූපය: රොබට් ඩෙනිස් එකතුව]

හෝටලයේ සිදු වූ ප්‍රසිද්ධ සිදුවීම් අතරට 1872 දී ඔහුගේ හිටපු ව්‍යාපාරික හවුල්කරුවෙකු වන එඩ්වඩ් ස්ටෝක්ස් විසින් හෝටලයේ පඩිපෙල මත වෙඩි තබා ඝාතනය කරන ලද මූල්‍යකරු සහ වංචාකාර ජිම් ෆිස්ක්ගේ ඝාතනය ඇතුලත් වේ. 1876 දී මුල් වෘත්තීය බේස්බෝල් කන්ඩායම් අටක්   ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් දී හමුවී  ජාතික ලීගය සදහා පදනම දැමුනි. 

වසර ගනනාවක් පුරා මෙම හෝටලයේ නඩත්තුව දුර්වල වී , ගරා වැටීම නිසා සුඛෝපභෝගී ස්ථානයක් ලෙස එහි කීර්තිය ඊට අහිමි විය. 1960 ගනන්වලදී හෝටලය සමාජ සුභසාධන ලබන්නන් සඳහා වාසස්ථානයක් බවට පත්වූ ගොඩනැගිල්ලක් බවට සංක්‍රාන්ති වූයේ, එහි පදිංචිකරුවන් තාවකාලික අමුත්තන් නොව   බොහෝ පූර්න කාලීනයන් ගෙන් සමන්විත වෙමිනි. 

1971 දී, හෝටලයේ පලමු මහල් දෙක විවිධ ප්‍රසංග කලා සඳහා අවකාශය සැපයූ මර්සර් කලා මධ්‍යස්ථානය බවට   පත් කරන ලදී. එහි සිදු කරන ලද සංදර්ශනවලට සංගීතය, නර්තන සහ ෂේක්ස්පියර්ගේ සහ ” වන් ෆ්ලිව් ඕවර් ද කුකුස් නෙස්ට්” වැනි නාට්‍ය  ඇතුලත් විය.

කඩා වැටීමට පෙර මාස කිහිපය තුල, ගොඩනැගිල්ල පුරා දැවැන්ත ඉරිතැලීම් ඇති වී ඇති බවත් ව්‍යුහාත්මක බිත්ති නැමීමේ සලකුනු පෙන්නුම් කරන බවත් පදිංචිකරුවන් නගරික පාලනයට වාර්තා කර තිබුනි. මෙම සලකුනු වාර්තා වූ විට සොයා බලා ගොඩනැගිල්ලෙන් පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කලේ නැත.

අගෝස්තු 3 වන දින දවස පුරා, ව්‍යුහාත්මක ස්ථාවර භාවය අසාර්ථක වීමට පටන් ගත් බැවින්, ගොඩනැගිල්ලේ බිත්ති වලින් විශාල ශබ්ද ඇසුනු බව නිවැසියන් වාර්තා කලේය. සවස් වන විට බිත්ති සහ සිවිලිමෙන් බදාම ගැලවෙමින් ගොඩනැගිල්ල කඩා වැටීමට ආසන්න බව පෙනෙන්නට තිබුනි. බොහෝ ප්‍රදේශවාසීන් ගොඩනැගිල්ලෙන් පලා යාමට කටයුතු කර ඇතත් ඉවත් කිරීමට නියෝග කිරීමට ගොඩනැගිලි කලමනාකාරිත්වය හෝ නිලධාරීන් ක්‍රමානුකූල උත්සාහයක් ගත්තේ නැත.

පස්වරු 5.00 ට පමන ගොඩනැගිල්ලේ ආධාරක බිදී ගිය   අතර මාර්ගයට මුහුනලා ඇති සම්පූර්න බිත්තියම කැඩී බිදී ගොස් බ්‍රෝඩ්වේ (මාවත) වෙත වැටුනු සුන්බුන් ගොඩක් විය.නිවැසියන් හතර දෙනෙක් තවමත් එහි සිටි අතර ඔවුන් කඩාවැටුනු සුන්බුන්වලට හසුව තැලී මිය ගියහ. මල සිරුරු හතර සොයා ගැනීමෙන් පසු ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් හෝටලයේ ඉතිරිව තිබූ දේ කඩා දමන ලදී.

වසර 75කට පෙර: HUAC නඩු විභාගයේදී විටේකර් චේම්බර්ස් එක්සත් ජනපද ආන්ඩුව තුලට ස්ටැලින්වාදී විනිවිදීමක් ගැන චෝදනා කරයි

1948 අගෝස්තු 3 වන දින හවුස් අන්-ඇමරිකානු ඇක්ටිවිටීස්  කමිටුවේ (House Un-American Activities Committee-HUAC) නඩු විභාගයකදී, කොමියුනිස්ට් පක්ෂයේ රහස් සාමාජිකයින් එක්සත් ජනපද ආන්ඩුවේ ඉහල තනතුරු වල වැඩ කරන බවට විටේකර් චේම්බර්ස්   ප්‍රථම වරට චෝදනා කලේය. මෙම ප්‍රකාශය ඔත්තු බැලීමේ ක්‍රියාකාරකම් පිලිබඳ වසර ගනනාවක් පුරා පැවති ව්‍යාපාරයක් ඇරඹීමට මුල් වූ  අතර සීතල-යුද ඇමරිකාවේ වියරු මැකාතිවාදී මායාකාරින් දඩයමට (witch-hunt-මහජනතාවගේ උන්නතිය ව්‍යාජයෙන් විරුද්ධවාදීන් දඩයම් කිරීම) දායක විය.

කොමියුනිස්ට් පක්ෂය ස්ටැලින්වාදී සංවිධානයක් බවට පත්වීමේ මාවතේ ඒ වන විටත් ගමන් කරමින් සිටියදී, 1925 දී චේම්බර්ස් එයට සම්බන්ධ විය. 1930 ගනන්වල ඔහු එක්සත් ජනපදයේ රහසිගත සෝවියට් ඔත්තු බැලීමේ කවවල සේවය කර ඇත. 1930 ගනන්වල අග භාගය වන විට, ඔහු සෝවියට් නිලධරයේ විරේක කිරීම් වලට භාජනය වේ යැයි බියෙන් චේම්බර්ස් මෙම පරිසරයෙන් ඉවත් විය. ඔහු නැවත ක්‍රිස්තියානි ආගමට පැමින, කොමියුනිස්ට් විරෝධියෙකු බවට පත් වූ අතර, එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පටන් ගත්තේය.

Image
විටේකර් චේම්බර්ස් [ඡායාරූපය: ෆ්‍රෙඩ් පැලුම්බෝ, ලෝක ටෙලිග්‍රාම් කාර්ය මන්ඩල ඡායාරූප ශිල්පී ]

චේම්බර්ස් ප්‍රථමයෙන් 1940 ගනන්වල මුල් භාගයේදී ඇමරිකානු ආන්ඩුවට කතා කිරීමට පටන් ගත් වුවද, 1948 වන තෙක් -සෝවියට් සංගමය සමග එ.ජ. සීතල යුද්ධයේ ගැටුම මධ්‍යයේ- ඔහුගේ ප්‍රකාශයන් කරලියට ගත්තේ නැත. ඇමරිකාව තුල කොමියුනිස්ට් පක්ෂය  සහ විය හැකි සෝවියට් ඔත්තු බැලීම් ගැන වූ   HUAC නඩු විභාගවලදී සාක්ෂි දීමට කැඳවූ චේම්බර්ස්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහලම නිලධාරියෙකු වන ඇල්ජර් හිස් කොමියුනිස්ට් පක්ෂයේ රහස් සාමාජිකයෙකු බවට සාක්ෂි දුන්නේය.

පලමු නඩු විභාගයේදී, චේම්බර්ස් සෝවියට් ඔත්තු බැලීම සඳහා වැඩ කරන බවට හිස් ට චෝදනා කලේ නැත. එහෙත්, රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියාගේ ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ, චේම්බර්ස් ඔහුගේ නඩුවේදී ප්‍රකාශ කලේ, තවත් එක්සත් ජනපද ආන්ඩුවේ නියෝජිතයින් දුසිමක් දක්වා වූ ප්‍රමානයක් සමග, හිස් සෝවියට් ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කර ඇති බවයි. මෙම චෝදනාවන් චේම්බර්ස්ට එරෙහිව හිස් විසින් අපකීර්තිය  සදහා නඩුකර ගෙන ඒමට සහ නැවත නැවතත් රජයේ නඩු විභාග සදහා  විෂය විය.අවසානයේදී, චේම්බර්ස් විසින් සෝවියට් බුද්ධි අංශ සමඟ කටයුතු කරන කොමියුනිස්ට් පක්ෂයේ හසුරුවන්නන්ට  රහසිගත තොරතුරු ලබා දී ඇති බව පෙන්නුම් කරන ලියකියවිලි ඉදිරිපත් කරන ලදී.

එක්සත් ජනපද ආන්ඩුව තුල මෙම කන්ඩායමේ පැවැත්ම පූර්ව දේශපාලන වර්ධනයන් සමඟ සම්බන්ධ විය. 1930 ගනන්වල වැඩි කාලයක් පුරා, ඔවුන්ගේ මහජන පෙරමුනුවාදී ප්‍රති-විප්ලවවාදී වැඩපිලිවෙලට අනුකූලව, ස්ටැලින්වාදීන් ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ ඩිමොක්‍රටික් පක්ෂ පරිපාලනයට සහයෝගය දැක්වීය. 1939 න් පසු ස්ටැලින්වාදී සෝවියට් නිලධරය නාසි ජර්මනිය සමඟ අනාක්‍රමන ගිවිසුමක් අත්සන් කල විට එයට කෙටි බාධාවක් ඇති විය. මෙම පෙලගැස්ම සමග බැඳුනු මුලුමනින්ම අවස්ථාවාදී හේතූන් මත, කොමියුනිස්ට් පක්ෂය ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි එහි ඉරියව්ව යලි පන ගැන්වීය.

එහෙත් ගිවිසුම බිඳ වැටීමත් සමග, සෝවියට් සංගමයට නාසි ආක්‍රමනය සහ අධිරාජ්‍යවාදී “ප්‍රජාතන්ත්‍රවාදය” සමග ස්ටැලින්වාදී නිලධරයේ නව සන්ධානය මගින් කොමියුනිස්ට් පක්ෂය  යලිත් අංශක 180ක හැරීමක් සිදු කලේය. යුද්ධයේ ඉතිරි කාලය පුරාවටම, ඔවුන් ඩිමොක්‍රටික් පක්ෂයේ පරිපාලනය සහ එහි යුද ප්‍රයත්නය බලාත්මක කරන්නන් ලෙස ක්‍රියා කලහ. මෙයට යුද්ධය පුරා වැඩ වර්ජන නොමැති ගිවිසුමක් නීතිගත කිරීම සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ආස්ථානයෙන් යුද්ධයට හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ වූ ට්‍රොට්ස්කිවාදී සමාජවාදී කම්කරු පක්ෂයට නඩු පැවරීමට සහාය දීම ඇතුලත් විය.

මීලඟ මාරුව කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්තියේ වෙනසක ප්‍රතිඵලයක් නොව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ එකක් විය. එය පශ්චාත් යුධ සමයේදී, ස්ටැලින්වාදී නිලධරය සමග එහි තථ්‍ය සන්ධානය ප්‍රතික්ෂේප කල අතර, විශේෂයෙන්ම යුරෝපය තුල ගෝලීය එක්සත් ජනපද ආධිපත්‍යය ස්ථාපිත කිරීම අරමුනු කරගත් සීතල යුද්ධය ආරම්භ කලේය. මෙහි කොටසක් ලෙස වොෂින්ටනයේ ප්‍රතිගාමී කොමියුනිස්ට් විරෝධී මායාකාරියන් දඩයමක් දියත් කරන ලදී. පූර්ව කාලපරිච්ඡේදය තුල ඉවසා සිටිය හැකි වූ හෝ ඒ තරම්ම සුපරීක්ෂාකාරීව සොයා නොබැලූ ක්‍රියාකාරකම් දැන් දැඩි පරීක්ෂාවට ලක් විය.

ආක්‍රමනශීලී ලෙස, ඇමරිකානු ආන්ඩුව ගැන ඔත්තු ලබා දුන් සෝවියට් ඒජන්තයින් සහ ඔවුනගේ ඔත්තුකරුවන් ඉලක්ක කර ගනිමින් ඉදිරියට යන අතර, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයට සම්බන්ධ වූ සහ එස්ඩබ්ලිව්පීයේ ඔත්තු බැලූ ස්ටැලින්වාදී ඒජන්තයින් ගැන විමර්ශනය කිරීමට එක්සත් ජනපද බලධාරීන් අවම උනන්දුවක් දැක්වූහ. ඔවුන් ලුහුබඳිනු ලැබුවේ ඔවුන් ට්‍රොට්ස්කිවාදී විරෝධී ක්‍රියාකාරකම්වල සිට පරමානුක ඔත්තු බැලීම සහ එක්සත් ජනපද ආන්ඩුව පිලිබඳ ඔත්තු බැලීම් දක්වා සංක්‍රමනය වී ඇති තාක් දුරට පමනි.

වසර 100 කට පෙර: කැල්වින් කූලිජ් එක්සත් ජනපද ජනාධිපති ලෙස දිවුරුම් දෙයි.

1923 අගෝස්තු 3 වෙනිදා, ජනාධිපති වොරන් ජී. හාඩින්ග් අසනීපයෙන් මිය යාමෙන් පසු එක්සත් ජනපදයේ 30 වැනි ජනාධිපති ලෙස උප ජනාධිපති කැල්වින් කූලිජ් දිව්රුම් දෙන  ලදී. හාඩින්ග් මෙන්ම රිපබ්ලිකානුවෙකු වූ මැසචුසෙට්ස් හි හිටපු ආන්ඩුකාරවරයා වූ කූලිජ්, වර්මොන්ට් හි ඔහුගේ පවුලේ නිවහන වෙත පැමිනෙමින් සිටියදී හාඩින්ගේ මරනය ගැන පනිවිඩකරුවෙකු (නිවසට විදුලිය හෝ දුරකථනයක් නොතිබුනි) විසින් ඔහුට දන්වන ලදී.  කූලිජ් , නොතාරිස්වරයෙකු සහ සාමදාන විනිසුරුවරයෙකු වූ ඔහුගේ පියා සහ ඔහුගේ  බිරිඳ ග්‍රේස් මෙන්ම වර්මොන්ට් කොන්ග්‍රස් සභිකයෙකු සහ එක් වාර්තාකරුවෙකු ද ඇතුලත් කුඩා ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ  දිවුරුම් දෙන ලදී.

ඔහු වොෂින්ටන් ඩී.සී. වෙත ආපසු පැමිනි පසු ශ්‍රේෂ්ඨාධිකරනයේ අගවිනිසුරුවරයා ඉදිරියෙහි  රහසිගතව දෙවන වරටත් දිවුරුම් දුන්නේ යම් අයෙකුට ජනාධිපතිවරයෙකු ලෙස රාජ්‍ය නිලධාරියෙකු ඉදිරියේ දිවුරුම් දිය හැකිද යන්න පිලිබඳව යම් සැකයක් ඇති වූ බැවිනි.

Calvin
කැල්වින් කූලිජ් [ඡායාරූපය: ජෝන් ගරෝ]

ජාතික සංචාරයක යෙදී සිටියදී බොහෝ දුරට හෘදයාබාධයක් යයි  සිතන්නක්  හට ගැනීමෙන් හාඩින් අනපේක්ෂිත ලෙස මිය ගියේය. ඔහු ඊට පෙර දිනවල උදරාබාධයක් ගැන කියමින්  රෝගාතුරව සිටියේය. හාඩින් විසින් වුඩ්‍රෝ විල්සන්ට  අනුප්‍රාප්තිකව නිලයේ සිටි අතර මහා ව්‍යාපාරිකයන්ගේ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් කුප්‍රකට විය. ඔහුගේ පරිපාලනය ලතින් ඇමරිකාවේ නොයෙකුත් මැදිහත්වීම් අධීක්‍ෂනය කල අතර යුරෝපීය ආධිපත්‍යය දරන ජාතීන්ගේ සංගමයෙන් ස්වාධීන වූ සහ සමහර විට විරුද්ධ වූ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. ඔහු බ්‍රිතාන්‍යය අභිබවමින්  ඇමරිකානු නාවික බලය විශාල ලෙස ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන්  සිහිපත් කරනු ලබයි.

පලමුවන ලෝක යුද්ධයට එරෙහි සමාජවාදී විරෝධය නිසා ෆෙඩරල් සිර කඳවුරක මාස 36ක් ගත කල ඉයුජින් වී. ඩෙබ්ස්ගේ සිර දඬුවම හාර්ඩින් විසින් ලිහිල් කරන ලද අතර (1920 මැතිවරනයේදී හාර්ඩින්ට එරෙහිව සිරගෙදර සිට ඉදිරිපත් විය), හාඩින්ගේ රජය කොමියුනිස්ට් පක්ෂයට හිංසා පීඩා කිරීම අධීක්ෂනය කලේය. එහි සාමාජිකයින් සහ නායකයින් වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ නඩු විභාග කිරීම් ඊට ඇතුලත්ය.

මැසචුසෙට්ස් හි රජයේ සේවය තුලින් ගමන් කල කූලිජ්, 1919 දී බොස්ටන් පොලිස් වර්ජනය බිඳ දැමීමට ජාතික ආරක්ෂක බලකාය බලමුලු ගැන්වීමෙන් සහ බොස්ටන් පොලිසියේ පාලනය පුද්ගලිකව ලබා ගැනීම නිසා ඔහුගේ භූමිකාව සඳහා ජාතික අවධානයට ලක් විය. ඇමරිකානු කම්කරු සම්මේලනයේ සභාපති සැමුවෙල් ගොම්පර්ස්ගේ  ඇල්මැරුනු ස්වභාවයේ වර්ජකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔහුගේ [ කූලිජ්ගේ] ප්‍රතිචාරය රට පුරා පුවත්පත් විසින් උද්දීපනය කරන ලදී: “කිසිම අයකුට  කිසිම තැනක කිසිම වෙලාවක මහජන ආරක්ෂාවට එරෙහිව වැඩ වර්ජනය කිරීමට අයිතියක් නැත.” 

ජනාධිපති ලෙස, 1924 දී ඔහුගේ පරිපාලනය වයිමර් ජනරජය ස්ථාවර කිරීම සඳහා ඩෝව්ස් (Dawes) සැලැස්ම යටතේ ඩොලර් මිලියන ගනනක් ජර්මානු ආර්ථිකයට ඇතුල් කර, රූර් නිම්නයේ සිට ප්‍රංශ හමුදා ඉවත් කර ගැනීමට සාකච්ඡා සාරථකව අවසන්  කර, ජර්මානු බැංකු මිත්‍ර පාක්ෂික අධීක්ෂනය යටතේ තැබීය.

කූලිජ්, හාඩින් පරිපාලනයේ කම්කරු විරෝධී සහ කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්ති දිගටම ගෙන ගිය අතර, 1924 ප්‍රතිගාමී සංක්‍රමන පනතට අත්සන් කල පුද්ගලයා ලෙස සිහිපත් කරනු ලබයි.  ඔහුගේම ශක්තියෙන් මැතිවරනය ජයග්‍රහනය කිරීමෙන් පසු,1925 දී, පෙන්සිල්වේනියා මාවත දිගේ ගමන් කිරීමට කු ක්ලුස් ක්ලැන් ( Ku Klux Klan) හට ඉඩ ලබා දුන්නේය.  සහ 1927 දී බොරු චෝදනා මත වැරදි කරුවන් කල අරාජකවාදී කම්කරුවන් වන සැකෝ සහ වැන්සෙට්ටිගේ අධිකරනමය ඝාතනයට අවසර ලබා දුන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top