ඉතිහාසයේ මෙම සතිය: මැයි 1-7

This week in history: May 1-7 | ඉතිහාසයේ මෙම සතිය: මැයි 1-7

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 30 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි

වසර 25 කට පෙර: Chrysler සහ Daimler-Benz ඒකාබද්ධ වීම.

1998 මැයි 7 දින, ජර්මනියේ ඩේම්ලර්-බෙන්ස් AG (Daimler-Benz AG ) සහ එක්සත් ජනපදයේ ක්‍රයිස්ලර් කෝපරේෂන් (Chrysler Corporation ) ඒකාබද්ධ වීමෙන් ඩේම්ලර් ක්‍රයිස්ලර් AG ( DaimlerChrysler AG ) පිහිටුවීම සඳහා  කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන ලදී.

ඩොලර් බිලියන 38 ක කොටස් ගනුදෙනුවකින් ඩේම්ලර්-බෙන්ස්  විසින් ක්‍රයිස්ලර් කෝපරේෂන් පවරා ගනු ලැබීම ලෝක ආර්ථිකය ගෝලීයකරනයවීමේ  බලගතු නිරූපනයක් විය. ජර්මනියේ සහ සමස්තයක් ලෙස යුරෝපයේ විශාලතම කාර්මික සමාගම, විශාලතම ඇමරිකානු සංගත වලින් එකක් අත්පත් කර ගත් අතර, ඉන් 410,000 ක ශ්‍රම බලකායක් සහ ඩොලර් බිලියන 130 කට වැඩි වාර්ෂික නිෂ්පාදනයක් සහිත ජාත්‍යන්තර යෝධයෙකු නිර්මානය කෙරින. 

මෙම සංයෝජනය ඉතිහාසයේ විශාලතම කාර්මික ඒකාබද්ධ කිරීම වූ අතර, එය මේ තාක් විදේශීය ව්‍යාපාරයක් මගින් ඇමරිකානු සමාගමක් අත්පත් කරගත් විශාලතම කොටස් ගනුදෙනුව විය. ඒකාබද්ධ වීමෙන් බිහි වූ සමාගම, නිෂ්පාදනය කරන ලද වාහන සංඛ්‍යාව අනුව ශ්‍රේණිගත කිරීමේදි, ජීඑම්, ෆෝර්ඩ්, ටොයෝටා , වොක්ස්වැගන් වලට පසුව පස්වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා විය.

Image
ෆියට් ක්‍රයිස්ලර් සමාගමේ වොරන් ස්ටැම්පින් කම්හලෙන් මෝටර් රථ සේවකයෝ තම සේවා මුරය නිම කර පිටත්ව යති.  [ඡායාරූපය: WSWS]

කුඩා හෝ අසාර්ථක සමාගම් වඩාත් බලවත් ප්‍රතිවාදීන් විසින් ගිල දමනු ලැබීම හා බැඳුනු පූර්ව මෝටර් රථ කර්මාන්ත ඒකාබද්ධ කිරීම් මෙන් නොව, ඩේම්ලර්-ක්‍රයිස්ලර් ගනුදෙනුව සිදු කෙරුනේ 1997 දී ඩොලර් බිලියන 5.7 ක ඒකාබද්ධ ශුද්ධ ඉපැයීම් ලැබූ ඉහළ ලාභදායී සමාගම් දෙකක් සම්බන්ධවීම ලෙස ය. ඩේම්ලර්-බෙන්ස් ඉහත අලාභයන්ගෙන් ගොඩ එමින් 1990 ගණන්වල මුල් භාගයේදී වාර්තාගත ලාභයක් ලබා ගැනීමට සමත් වූ අතර, ක්‍රයිස්ලර් වෙනත් ඕනෑම මෝටර් රථ නිෂ්පාදකයෙකුට වඩා එක වාහනයකින් වඩාත් විශාල ලාභයක් ලබා ගත්තේය.

මෙම සංයෝජනය පිටුපස ඇති ගාමක බලවේගය වූයේ ලෝකයේ සියලුම ප්‍රධාන වෙලඳපොලවල්  සහ විශේෂයෙන් ලෝක ධනවාදයේ ප්‍රධාන මධ්‍යස්ථාන තුන වන උතුරු ඇමරිකාව, යුරෝපය සහ ආසියාව තුළ තරඟ කළ හැකි ගෝලීය වශයෙන් පදනම් වූ විශාල ව්‍යවසායන් නිර්මානය කිරීමේ අවශ්‍යතාවයයි.  ඒකාබද්ධ වීමට පෙර, ක්‍රයිස්ලර් සහ ඩේම්ලර්-බෙන්ස්  අත්‍යාවශ්‍යයෙන්ම කලාපීය නිෂ්පාදකයෝ වූහ – උතුරු ඇමරිකාවේ තුන්වන විශාලතම වෙලඳපොල  පංගුව ක්‍රයිස්ලර් සතු වූ අතර, යුරෝපයේ සුඛෝපභෝගී රථ වෙලඳපොල පාලනය කරන ලද්දේ ඩේම්ලර්-බෙන්ස්  විසිනි.

1980 ගනන්වල සහ 1990 ගනන්වල මුල් භාගයේ සිය මූල්‍ය අර්බුද වලදී එහි යුරෝපීය සහ ලතින් ඇමරිකානු මෙහෙයුම් විකිනීමට ක්‍රයිස්ලර් සමාගමට බල කෙරුනි.  ඓතිහාසික ඒකාබද්ධ වීමට පෙර මාසයේ දී, ක්‍රයිස්ලර් සමාගම, එහි දේශීය වෙලඳපොලේ විකුණන ලද වාහන 250,000 කට ආසන්න ප්‍රමාණයකට සාපේක්ෂව, එය උතුරු ඇමරිකාවෙන් පිටත වාහන අලෙවි කලේ 17,713 ක් පමනෙකි. ඩේම්ලර්-බෙන්ස් යුරෝපයෙන් පිටත සිය පළමු කම්හල විවෘත කලේ පෙර වසරේ ඇලබාමා හි ටස්කලෝසා හි කම්හලක මර්සිඩීස් -බෙන්ස් රථ වල ක්‍රීඩා උපයෝගිතා අනුවාදයක් එකලස් කිරීම ආරම්භ කල කල්හි පමනෙකි.

ඒකාබද්ධ වීමට ආසන්න කාලයේ මූල්‍ය විචාරකයන් සහ මෝටර් රථ කර්මාන්ත විශ්ලේෂකයන් අනාවැකි පල කලේ, ජීඑම්, ෆෝර්ඩ්, ටොයෝටා, හොන්ඩා සහ නව ඩේම්ලර්-ක්‍රයිස්ලර් සමඟ තරඟ කිරීම සඳහා ඉතිරි කලාපීය මෝටර් රථ නිෂ්පාදකයින්ට ගෝලීය පරිමාන සමාගම්වලට ඒකාබද්ධ වීමට බල කෙරෙනු ඇති බවයි.  ඔවුන්ට ජාතික වෙලඳපොලකට අලෙවි කරමින් ජාතික වශයෙන් සීමා වූ නිෂ්පාදකයන් ලෙස සිටිය නොහැකි ව තිබින. එක් විශ්ලේෂකයෙක් ලන්ඩන් ටයිම්ස් පුවත්පතට පැවසූ පරිදි, “රටේ ධජ පහත වැටී ඇති අතර ලාභදායීතාවයේ ධජය ඉහල ගොස් ඇත.”

වසර 50 කට පෙර: ලෙබනන් හමුදාව පලස්තීන සරණාගත කඳවුරුවලට ෂෙල් වෙඩි එල්ල කරයි.

1973 මැයි 3 වෙනිදා ලෙබනන් හමුදාව බේරූට්හි විශාල පලස්තීන සරනාගත කඳවුරු තුල සිය මූලස්ථානය ස්ථාපනය කර ගත් පලස්තීන විමුක්ති සංවිධානය (PLO) සහ අනෙකුත් පලස්තීන මිලීෂියාවන්ට එරෙහිව ප්‍රහාරාත්මක මිලිටරි මෙහෙයුමක් ආරම්භ කළේය.  එදින සවස සටන් විරාමයක් කැඳවන තෙක් හමුදාව සහ පලස්තීන හමුදා අතර සටන් දවස පුරා පැවතුනි.

පලස්තීන පුවත්පත් ඒජන්සියේ වාර්තාවන් විසින් වාර්තා කරන ලද්දේ , ලෙබනන් යුද ටැංකි වලින් ෂැටිලා සරණාගත කඳවුරට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම ඇතුළු සටන් වලින් 19 දෙනෙකු මිය ගොස් 89 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.  ලෙබනන් රජය වාර්තා කළේ සොල්දාදුවන් 12 දෙනෙකු මිය ගොස් 40 දෙනෙකු තුවාල ලැබූ බවයි.

1970 සැප්තැම්බරයේදී ජෝර්දානයෙන් පලස්තීනුවන් සමූහ වශයෙන් පලවා හැරීමෙන් පසුව බේරූට්හි විශාල කඳවුරු පිහිටුවන ලදී. “කළු සැප්තැම්බර්” අතරතුර, ජෝර්දාන හමුදාව සහ PLO අතර පූර්ණ-පරිමාණ සටන් ආරම්භ විය.

එම ගැටුම අවසන් වූයේ PLO හි සම්පූර්න පරාජයකිනි.  1967 සය දින යුද්ධයේදී, ඊශ්‍රායල ආක්‍රමනයෙන් පසු මුලින්ම ඔවුන්ගේ නිවෙස්වලින් අවතැන් වූ පලස්තීන සරනාගතයින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ජෝර්දානය වහාම ක්‍රියාත්මක විය.

මුලදී, ලෙබනන් රජය සරනාගතයින් පිලිගැනීමට එකඟ වූ අතර පිටුවහල්ව සිටි තථ්‍ය පලස්තීන රජය වන PLOවට එහි දේශසීමා තුළ ක්‍රියාත්මක වීමට ඉඩ දුන්නේය.  කෙසේ වෙතත්, 1972 සැප්තැම්බර් මාසයේ මියුනිච් ඔලිම්පික් උළෙලේදී ඊශ්‍රායල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමූල ඝාතනය කිරීම ඇතුලු ඉහල පෙලේ ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයකින් පසුව, පලස්තීන ගරිල්ලා සටන්කරුවන් මර්දනය කිරීමට ඊශ්‍රායලය සහ එක්සත් ජනපදයෙන් එල්ල වූ බලපෑම්වලට ලෙබනනය නතු විය.

මියුනිච් ඝාතනවලට පලිගැනීමක් වශයෙන් 1973 අප්‍රේල් 9 වැනිදා ඊශ්‍රායල විශේෂ බලකාය ලෙබනනයට ගොඩ බැස PLO නායකයන් කිහිප දෙනෙකු ඝාතනය කළේය.  ඊට ප්‍රතිචාර වශයෙන් PLO හි ප්‍රධානී යසර් අරෆත් ඊශ්‍රායලයට එරෙහිව තවත් ප්‍රහාර සඳහා සූදානම් වීමට නියෝග කළේය.

PLO සටන්කාමීත්වය පූර්න පරිමානයේ ඊශ්‍රායල ආක්‍රමනයකට තුඩු දෙනු ඇතැයි යන බියෙන් ලෙබනන් ආන්ඩුව සන්නද්ධ පලස්තීන හමුදා සෘජුවම මර්දනය කිරීමට උත්සාහ කලේය.  එහෙත් PLO මර්දනය කිරීම, ආගමික හා වාර්ගික රේඛා ඔස්සේ බෙදී ගිය විවිධ කන්ඩායම් අතර බලය අවිනිශ්චිත ලෙස තුලනය කල ලෙබනන් ආන්ඩුව තුලම දේශපාලන අර්බුදය තීව්‍ර කළේය.

පලස්තීන ප්‍රශ්නය මෙම අර්බුදයට ඉමහත් ලෙස ඉන්ධන එක් කළේය.  මැරොනයිට් ක්‍රිස්තියානි කන්ඩායම් PLOවට විරුද්ධ වූ අතර ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරනය කිරීමට සහාය දුන්නේය.  අනෙක් අතට මුස්ලිම් කන්ඩායම් පොදුවේ පලස්තීනුවන්ට සහාය දුන්හ.

1973 මැයි මාසයේ බේරූට් හි සටන් මෙම කන්ඩායම් අතර දෙවසරකට පසු ඇවිලීමට නියමිත වූ සිවිල් යුද්ධයේ පූර්වගාමියා විය.  මැරොනයිට් මිලීෂියාවන්ට ආයුධ සහ මිලිටරි පුහුනුව ලබා දීමෙන් සිවිල් යුද්ධය උසිගැන්වීමේ දී ඊශ්‍රායල ආන්ඩුව එහි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතව සිටියේය.

වසර 75 කට පෙර: උතුරු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව ප්‍රකාශයට පත් කරන ලදී

1948 මැයි 1 දින, උතුරු කොරියාවේ කම්කරු පක්ෂය ලෙස හැඳින්වූ ස්ටැලින්වාදී පක්ෂයට සම්බන්ධ බලවේග, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව (DPRK) ප්‍රකාශයට පත් කළේය. ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ සෝවියට් සංගමය අතර වර්ධනය වෙමින් පවතින සීතල යුද්ධ ගැටුම මධ්‍යයේ මෙම ක්‍රියාව සිදු විය. සෝවියට් හමුදා උතුරේ සිටි අතර දකුනේ ආධිපත්‍යය දැරුවේ එක්සත් ජනපද හමුදාව ය. 

1910 සිට 1945 දක්වා කොරියාව සමස්තයක් ලෙස පැවතුනේ ජපන් ආක්‍රමනය යටතේ ය. දෙවන ලෝක යුද්ධය මධ්‍යයේ මෙම යටත් විජිත පාලනයේ ම්ලේච්ඡත්වය තීව්‍ර විය.  ජනගහනයෙන් බහුතරයක් යැපුම් කෘෂිකර්මාන්තයේ දිගටම වැඩ කළ නමුත්, ගැටුම මධ්‍යයේ, යුද කර්මාන්තයේ වැඩ කලවුන් ද ඇතුලු කාර්මික කම්කරු පන්තියක් ද මතු විය.

Image
කොරියාවේ ස්ටැලින්වාදී නායකයන් විසින් සෝවියට් හමුදාපතිවරු ප්යොංයැං වෙත සාදරයෙන් පිලි ගැනෙති [ඡායාරූපය: කොරියානු මහජන සඟරාව]

1945 ජපානය පරාජය වීමත් සමඟ අවිනිශ්චිත තත්වයක් වර්ධනය විය. ජපන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ පක්ෂවාදී ව්‍යාපාරයක් දේශපාලන ප්‍රකාශනයක් සොයා ගැනීමට පටන් ගත්තේය.  මහජන කමිටු, ජනප්‍රිය ස්වයං පාලනයේ ආයතන ලෙස රට පුරා බිහි විය. සමහරක් ස්ටැලින්වාදීන්ගේ ආධිපත්‍යය දැරූ අතර අනෙක් ඒවා රැඩිකල් කම්කරුවන්ගේ, ගොවීන්ගේ සහ ක්‍රිස්තියානි කන්ඩායම්වල නායකත්වය යටතේ පැවතින.

1945 අගභාගයේදී, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය නිදහස ලබා දීමට පෙර කොරියාවේ වසර පහක “භාරකාරත්වය” සඳහා එකඟ විය.  සෝවියට් හමුදා රටේ උතුර අල්ලා ගත් අතර එක්සත් ජනපද හමුදාව දකුනට පැමින බෙදීමකට වේදිකාව සැකසීය.

මෙය යුද්ධයේ අවසාන අදියරේ දී සහ එහි අවසානයේ දී අධිරාජ්‍යවාදය සමග නිලධාරි තන්ත‍්‍රය සිදු කල ප‍්‍රතිවිප්ලවවාදී ගනුදෙනුවේ කොටසක් විය.  විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ අනෙකුත් දේශසීමා ප්‍රදේශවල බලපෑම් ක්ෂේත්‍රයක් ඇතිකර ගැනීමට හිලව් වශයෙන්, බටහිර යුරෝපය තුල සහ ජාත්‍යන්තරව ධනවාදය යලි ස්ථාවර කිරීමට ස්ටැලින්වාදීහු කැපවී සිටියහ.

සෝවියට් බලපෑම යටතේ පැවති ප්‍රදේශ ද ඇතුලුව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීම අරමුනු කරගනිමින්, එක්සත් ජනපදය සෝවියට් සංගමය සමග ගැටුමක් දියත් කිරීමත් සමග ආතතීන් වර්ධනය විය. 1946 දී උතුරේ අන්තර්වාර රජයක් පිහිටුවීමට ස්ටැලින්වාදීහු උදව් කලහ.  ස්ටැලින්වාදී කම්කරු පක්ෂය වැඩි වැඩියෙන් මහජන කමිටු තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගත් අතරම එය, ස්ටැලින්වාදී හමුදාවන්ගෙන් සහ ජපන් ජාතිකයින්ට එරෙහිව සටන් කළ හිටපු ගරිල්ලන්ගෙන් සැදුම්ලත් ප්‍රාථමික හමුදාවක් පිහිටුවන ලදී.

1948 මුල් භාගය වන විට සීතල යුද්ධය බොහෝ දුරට උත්සන්න විය. දක්ෂිනාංශික ජාතිකවාදී බලවේගවල ආධිපත්‍යය සුරක්ෂිත කිරීම අරමුනු කරගනිමින් එක්සත් ජනපදය අලුතින් පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව මැතිවරන සංවිධානය කලේය. කෙසේ වෙතත්, එකී බලවේගවලින් සමහරක් පරාජයට බියෙන් ඡන්දය වර්ජනය කලහ. කොයි ලෙසින් ගනු ලැබූව ද , කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව පිහිටුවීම මඟින් හඟවනු ලැබුනේ වර්ධනය වෙමින් පවතින ගෝලීය ගැටුමට අනුකූලව, උතුරු සහ දකුන අතර භේදයේ ගැඹුරු වීමකි.

වසර 100 කට පෙර: කැනේඩියානු පාර්ලිමේන්තුව චීන බහිෂ්කරන පනත සම්මත කරයි

1923 මැයි 4 වන දින, කැනඩාවේ පාර්ලිමේන්තුව, අගමැති විලියම් ලියොන් මැකෙන්සි කිංගේ ලිබරල් ආන්ඩුව විසින් ලියන ලද නීතියක් සම්මත කලේය. නිල වශයෙන් චීන සංක්‍රමන පනත ලෙස හැඳින්වූ නමුත් එය, වඩාත් හොඳින් හැඳින්විය හැකි ව තිබුනේ චීන බහිෂ්කරන පනත ලෙස ය. එය විවිධ ප්‍රවර්ගවල චීන ජාතිකයන්ට කැනඩාවට ඇතුලුවීමේ දී, දැඩි සීමා පැනවීය. සමහර චීන වෙලෙන්දන්, සිසුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට කැනඩාවේ තාවකාලිකව රැඳී සිටිය හැකි වූ නමුත් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඇති ජනවාර්ගික චීන ජාතිකයන් ඇතුලු කිසිදු චීන ජාතිකයෙකුට එහි සංක්‍රමණය විය නොහැකි විය. 

මීට අමතරව, කැනේඩියානු පුරවැසිභාවය ඇති චීන ජාතිකයන් ද ඇතුළු චීන සම්භවයක් ඇති සෑම පුද්ගලයෙකුම, මෙම නීතිය සම්මත කිරීමෙන් පසු මාස 12 ක් ඇතුලත බලධාරීන් වෙත ලියාපදිංචි වී හැඳුනුම්පතක් ලබා ගැනීමට බැඳී සිටියේය.  අවනත නොවූ ඕනෑම අයෙකු සිරගත කිරීමට හෝ ඩොලර් 500 දක්වා දඩයකට මුහුන දීමට නියමිත විය. වසර දෙකකට වැඩි කාලයක් කැනඩාවෙන් පිටව ගිය ඕනෑම චීන ජාතිකයෙකුට නැවත රටට ඇතුලුවීම තහනම් විය.

කැනේඩියානු පැසිෆික් දුම්රිය මාර්ගයේ වැඩ කරන චීන කම්කරුවන් [ඡායාරූපය: පුස්තකාලය සහ ලේඛනාගාරය/Bibliothèque et Archives Canada]

1881 සිට 1885 දක්වා කැනේඩියානු පැසිෆික් දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා බොහෝ චීන කම්කරුවන් කැනඩාවට පැමින ඇත. දුම්රිය මාර්ගය අවසන් වූ පසු, චීන විරෝධී හැඟීම් ඇති වීමට පටන් ගත් අතර චීන කම්කරුවන්ගේ ස්ථිර පදිංචිය අධෛර්යමත් කිරීම සඳහා දේශීය නීති දුසිම් ගනනක් සම්මත කරන ලදී.

1885 දී, පාර්ලිමේන්තුව, ලිබරල්වාදීන් යටතේ ද, සෑම චීන සංක්‍රමනිකයෙකුටම ඩොලර් 50 ක ඇඟ බද්දක් පැනවූ පූර්ව චීන ආගමන පනතක් සම්මත කලේය.  1910 සංක්‍රමණ පනතක් මගින් “කැනඩාවේ දේශගුනයට හෝ අවශ්‍යතාවලට නුසුදුසු යැයි සැලකෙන ඕනෑම ජාතියකට අයත් සංක්‍රමනිකයන්” වාසය කිරීම සීමා කලේය.

චීන බහිෂ්කාර පනත අවලංගු කරන ලද්දේ 1947 ජුනි මාසයේදී පමනි. කැනඩාවේ ජාතිය සහ ආගම සම්බන්ධ සංක්‍රමන සීමා 1967 දක්වා පැවතුනි.

එක්සත් ජනපදය 1882 දී තමන්ගේම චීන බහිෂ්කාර පනතක් සම්මත කර තිබූ අතර, එය වසර 10 කට චීන ජාතිකයින් සංක්‍රමනය වීම තහනම් කලේය.  1902 දී තහනම ස්ථීර කරන ලද අතර, 1943 දී, එක්සත් ජනපදය වසරකට චීන ජාතිකයින් 105 දෙනෙකුට ඇතුලු වීමට අවසර දුන් අවස්ථාවේ එය අවලංගු කරන ලදී.  මෙම කෝටාව 1952 වන තෙක් අහෝසි නොකෙරින.

#theSocialistLK #WSWS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top