ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තේ කවුද?

 ටොම් කාටර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 10 දින පල වූ Who is responsible for the violence in Israel and Gaza?’ යන  ටොම් කාටර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

St4ike
2023 ඔක්. 9 සඳුදා, ගාසා තීරයේ ජෙබාලියා සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු පලස්තීනුවො ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් මළ සිරුරක් ඉවත් කරති. [AP Photo/Rahmez Mahmoud]

ගාසා තීරයේ ඊශ්‍රායල වාඩිලාගැනීමට එරෙහිව නැගෙමින් පවතින මහජන නැගිටීම පිලිබඳව මහජන මතය දූෂ්‍ය කිරීමට සහ ඊශ්‍රායලයේ අන්ත දක්ෂිනාංශික තන්ත්‍රය විසින් පලස්තීනුවන්ගෙන් පළිගැනීමේ විනාශය යුක්ති සහගත කිරීමට සියලු අධිරාජ්‍යවාදී රටවල ආන්ඩු සහ මාධ්‍ය දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් බලමුලු ගන්වා ඇත.

“ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඔහුගේ සහය දැඩි සහ නොසැලෙන” බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ සෙනසුරාදා ප්‍රකාශ කළ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, “ගාසාවේ සිට හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව එල්ල කළ බිහිසුණු ප්‍රහාරය” හෙළා දකිමින් මෙම ස්වරය සකස් කළේය. මෙයින් ඉක්බිතිව සිදුවූයේ, සති අන්තයේ , ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය සමන්විත වන සමස්ත චරිත සමූහය සුපුරුදු පරිදි පිලිවෙලින් පෙනී සිටිමින් සහ “ත්‍රස්තවාදීන්” සහ “ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාරය” හෙළා දකිමින් ඊශ්‍රායල සිවිල් වැසියන්ගේ  මරණ වාර්තා ගැන “භීතිය” සහ “කෝපය”  ප්‍රකාශ  කිරීමට පෙළ ගැසී සිටීමයි. 

ඊශ්‍රායලයේ ජාතික ධජය පොදු ස්මාරක මත ප්‍රක්ෂේපණය කිරීමත් සමඟ සියලුම අධිරාජ්‍යවාදී අගනගරවල සමාන දර්ශන දැක ගත හැකි විය. මින් පිටස්තරව සිදුවන ඕනෑම සැකයක් හෝ හැරීමක් ඉක්මනින්ම “යුදෙව් විරෝධවාදය” ලෙස ලේබල් කිරීම හෝ “ත්‍රස්තවාදයට සහාය දීම” ලෙස සමාන කරන ලදී.

විශේෂයෙන්ම ගාසා තීරය පුපුරා යාමේ ආරම්භක පැය කිහිපය තුළ ඊශ්‍රායල සිවිල් වැසියන් අතර සැලකිය යුතු ජීවිත හානි සිදුවී ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පලස්තීනුවන්ගේ පීඩනය සම්බන්ධයෙන් කිසිදු පුද්ගල වගකීමක් නොදැරූ බවට සැකයක් නැත.වැරදි වේලාවක වැරදි ස්ථානයකට පැමිණීමෙන් , එවැනි බොහෝ මිනිසුන්ගේ ඉරණම තුළ ඛේදවාචකයේ කොටසක් ඇත. ඊශ්‍රායල ආක්‍රමණය යටතේ ජීවිත කාලය පුරාම සිදු වූ කුරිරු ක්‍රියාවලින් දැඩි වූ ගාසාවේ සටන්කාමීන් සහ ඔවුන් පණපිටින් ගාසා වෙත ආපසු නොඑන බව පිළිගනිමින්,ගාල් කඳවුරකට ආසන්න ප්‍රදේශයක නර්තන සාදයක් පැවැත්වූ අය ද ඇතුළුව,  ඔවුන් සොයා ගත් පළමු ඊශ්‍රායල ජාතිකයන්ගෙන් පළිගැනීම් සිදු කළහ. 

නමුත් ප්‍රශ්නය මතු කළ යුතුය: ඔවුන්ගේ මරණවල අවසාන වගකීම දරන්නේ කවුද? මෙම ඛේදවාචක සඳහා දොස් පැවරිය යුත්තේ එය අයිති තැනටය: පලස්තීනුවන් පලවා හැරීමෙන් සහ ඔවුන් නිරන්තරයෙන් හැකිලෙන එළිමහන් සිරකඳවුරු සහ ගෙටෝ කට්ටලයකට කොටුකරමින් , සුවිශේෂී යුදෙව් රාජ්‍යයක් පිහිටුවීමේ සමස්ත ප‍්‍රතිගාමී සියොන්වාදී ව්‍යාපෘතිය සමග එක්ව සාපරාධී ඊශ්‍රායල වර්ණභේදවාදී පාලන තන්ත‍්‍රයට සහ එහි එක්සත් ජනපද ආධාරකරුවන්ට පළමුවෙන්ම මෙහි වගකීම පැවරිය යුතුය. 

අධිරාජ්‍යවාදී බලවතුන් විසින් කරනු ලබන “ත්‍රස්තවාදය” සහ “ප්‍රචණ්ඩත්වය” පිලිබඳ ඒකමතික හෙලාදැකීම් අන්තයෙන්ම කුහක ය. පලස්තීනුවන් අතර ප්‍රචණ්ඩත්වයට හා භීෂණයට ගොදුරු වූ බොහෝ සංඛ්‍යාවක් වෙනුවෙන් “භීෂණය” සහ “ක්‍රෝධය” යන නිල ප්‍රකාශන කිසිවිටෙකත් සිදු කර නොමැත.

බයිඩන් ගේ කතා රචකයන් සෙනසුරාදා “මෙම ප්‍රචණ්ඩත්වයෙන් තුවාල වූ සියලුම පවුල්” වෙනුවෙන් ඔහුගේ “යාච්ඤා” පිරිනමන අතර බයිඩන්  යුද අපරාධකරුවෙකු මෙන්ම  ප්‍රචණ්ඩත්වයට ආගන්තුකයෙකු නොවේ. 2003 දී ඔහු සෙනෙට් සභාවේදී ඉරාකය නීතිවිරෝධී ලෙස ආක්‍රමණය කිරීම සහ අත්පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිලියනයකට අධික මරණ ප්‍රමාණයක් සිදු විය.

සිදුවීම්වලට පටහැනි උඩු යටිකුරු නිල චිත්‍රයට අනුව, පලස්තීනුවන් ආක්‍රමණිකයන් වන අතර ඊශ්‍රායල රාජ්‍යය ගොදුර වේ. අධිරාජ්‍යවාදය විසින් පලස්තීන මහජනතාව පීඩාවට පත් කිරීම මුළුමනින්ම ඒකපාර්ශ්වික ගැටුමකි. එහි සියවසකින් හතරෙන් තුනක කාලයක්,  අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ආයුධ සන්නද්ධ කල  ඊශ්‍රායල ආන්ඩුව සියලු ප්‍රතිරෝධ කුරිරු ලෙස යටපත් කර ඇත. නිදසුනක් වශයෙන්, මිනිසුන් සිය ගණනක් මිය ගිය ගාසා තීරයට එල්ල කළ 2008-09 සති තුනක ගුවන් බෝම්බ ප්‍රහාරයෙන්, පලස්තීන මරණ සංඛ්‍යාව 100 වන විට ඊශ්‍රායල මරණ 1 ක් පමනක් විය. පලස්තීනයට වූ හානිය 1ට 100 අනුපාතයකින් වැඩිය.

බටහිර ඉවුරේ පලස්තීනුවන් , ඊශ්‍රායල හමුදා මුරපොලවල් සිය ගණනකට වැඩි ප්‍රමාණයකින් වට වූ වෙනම ගෙටෝ සිය ගණනක ජීවත් වන තත්ත්වයට පත් කර ඇති අතර ගාසා තීරයම එක් යෝධ එළිමහන් සිරකඳවුරක් බවට පරිවර්තනය වී ඇත: ගාසා තීරයට ඇත්තේ සැතපුම් අතලොස්සක පළලක් සහ සැතපුම් 25 ක දිගක් පමණි.පෘථිවියේ වඩාත්ම ජනාකීර්ණ සහ මංමුලා සහගත තත්වයන් තුළ , මිලියන 2කට අධික පලස්තීනුවන් ප්‍රමාණයක් මෙම එළිමහන් සිරකඳවුරේ සිර කර ඇති අතර,  සෑම අවශ්‍යතාවයක් සඳහාම ඊශ්‍රායල රජයේ අනුකම්පාව මත රැදීමට ඔවුන්ට සිදුව ඇත.  මෙම සන්දර්භය තුළ, සති අන්තයේ ඇති වූ ගාසා තීරයේ නැගිටීම “ප්‍රහාරයකට” වඩා සිරගෙදර බිඳීමක් හා සමාන වන අතර එය දිගු කතාවක නවතම පරිච්ඡේදය පමණි.

අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයන්  “ප්‍රචණ්ඩත්වය” සහ “ත්‍රස්තවාදය” පිලිබඳ කුහක හෙලාදැකීම් වලින් දෝංකාර දෙද්දී , ගාසා තීරයේ ජනගහනය ත්‍රස්ත කිරීම සඳහා පළිගැනීමේ ප්‍රහාරයක් දැනටමත් දිග හැරෙමින් තිබේ.

ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට්  ඔහුගේ පාලන තන්ත්‍රයේ ස්වභාවය සහ එහි යටින් පවතින මතවාදය මුලුමනින්ම හෙලිදරව් කරන භාෂාවක් භාවිතා කරමින් “ගාසා තීරය සම්පූර්ණයෙන් වටලෑමක්” ප්‍රකාශ කර ඇත. “විදුලිය නැත, ආහාර නැත, ජලය නැත, ඉන්ධන නැත, සියල්ල වසා දමනු ඇත,” ගැලන්ට් පැවසීය. “අපි මිනිස් සතුන් සමඟ සටන් කරන අතර අපි ඒ අනුව ක්‍රියා කරමු.”

රිපබ්ලිකන් ජනාධිපතිවරණ ප්‍රාථමික නාමයෝජනා සඳහා අපේක්ෂකයෙකු වන එක්සත් ජාතීන්ගේ හිටපු එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි ප්‍රකාශ කළේ, නැගිටීම “හුදෙක් ඊශ්‍රායලයට ප්‍රහාරයක්” නොව “ඇමරිකාවට එරෙහි ප්‍රහාරයක්” බවත්, නෙතන්යාහුට “ඒවා අවසන් කරන” ලෙස සෘජුවම ඉල්ලා සිටින බවත්ය. නෙතන්යාහු, ඔහුගේ පැත්තෙන්, ඊයේ දුෂ්ට ලෙස ප්‍රකාශ කළේ, “ඉදිරි දින කිහිපය තුළ අපි අපේ සතුරන්ට කරන දේ පරම්පරා ගණනාවක් දෝංකාර දෙනු ඇත.”යන්නයි

මේ සියලු රුදුරු අධිරාජ්‍යවාදී කුහකකම පිටුපස ඇත්තේ ගාසා තීරයේ හෝ වෙනත් ඕනෑම තැනක පීඩිතයන්ගේ ඕනෑම ප්‍රතිරෝධයකට , පීඩකයන්ගේ මූලික පන්ති ආකල්පයයි. “පීඩකයන් වන අපට, බලය අපගේ අවශ්‍යතාවලට සේවය කරන බව අප තීරණය කරන ඕනෑම අවස්ථාවක , එය භාවිතා කිරීමට අපට නිදහස ඇත.” යන්න ඔවු පවසති. “අපිට ඔබට අසීමිත ලෙස බෝම්බ දැමිය හැකිය, අපට ඔබව අවහිර කර බඩගින්නේ තැබිය හැකිය, අපට ඔබව කොල්ලකා සිරගත කළ හැකිය, ඔබේ බෙල්ලෙන් අල්ලා දණ ගැසිය හැකිය. එහෙයින්, බලය අපගේ ඒකාධිකාරය සහ අපගේ එකම වරප්‍රසාදයයි. පීඩිතයන් වන ඔබට, ප්‍රතිචාර වශයෙන් බලය යෙදවීමට කිසිදු තත්වයක් යටතේ අවසර නැත.” වාඩිලාගැනීමට එරෙහිව ආයුධ අතට ගන්නා ඕනෑම අයෙකු විස්තර කිරීමට “ත්‍රස්තවාදියා” යන වචනය පුන පුනා භාවිතා කිරීම සජීවීකරණය කරන්නේ මෙම පන්ති ආකල්පයයි.

සම්බන්ධ කුහකකමේ තරම අවධාරනය කරමින්, පසුගිය වසරේ අගෝස්තු මස  නිව් යෝර්ක් ටයිම්ස් ලිපියක, “සතුරු සීමාවන්  පිටුපස, යුක්‍රේනියානුවන් රුසියානුවන්ට ‘ඔබ කිසිදා ආරක්ෂිත නොවේ’ යැයි පවසන බව පෙන්වා දීම වටී. වාර්තාකරු ඇන්ඩෲ ක්‍රේමර් රුසියානු සීමාවන් පිටුපස කාර් බෝම්බවලින් ඝාතන සිදු කරන යුක්රේන ත්‍රස්ත කල්ලිවල වැඩ කටයුතු  සමරමින් මෙසේ ලිවීය.

 “ඔවුහු පුපුරණ ද්‍රව්‍ය තැබීමට අඳුරු මංතීරුවලට රිංගා යති. එක්සත් ජනපදය විසින් සපයනු ලබන යුක්රේන කාලතුවක්කු සහ දිගුදුර රොකට් සඳහා රුසියානු ඉලක්ක ඔවුන් හඳුනා ගනී. ඔවුහු දුම්රිය මාර්ග පුපුරුවා හරින අතර රුසියානුවන් සමඟ සහයෝගිතාකරුවන් ලෙස සලකන නිලධාරීන් ඝාතනය කරති.” එවැනි විධික්‍රම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලල් අත්වලට මිස ඒවායේ වරුද්ධවාදීන්ට ඔට්ටු නැත. 

1831 දී වර්ජිනියාවේ සදම්ප්ටන් ප්‍රාන්තයේ නැට් ටර්නර්ගේ නායකත්වයෙන් වහල් නැගිටීමක් සිදු විය. පැන ගිය වහලුන් පිහි, තොප්පිය සහ මුගුරු භාවිතා කර සුදු මිනිසුන්, කාන්තාවන් සහ ළමයින් දුසිම් ගනනක් සමූලඝාතනය කළහ. කැරැල්ල ඊටත් වඩා දරුණු ම්ලේච්ඡත්වයකින් යටපත් කරන ලද අතර, කැරැල්ලට සම්බන්ධ වූවාද යන්න නොසලකා ,  සැරිසරන මිලීෂියා සහ මැර කල්ලි කළු ජාතිකයන් දුටු පමණින් ඝාතනය කළහ. ටර්නර්ගේ සිරුර සම ගසා,  එම සම සිහිවටන පසුම්බි බවට පත් විය.

ඕනෑම වෛෂයික ඉතිහාසඥයෙක්, ආපසු හැරී බැලීමේ වාසිය ඇතිව, එවැනි නැගිටීම්වල බිහිසුණු ප්‍රචණ්ඩත්වයේ වරද වහලුන් මත නොව, වහල් ක්‍රමය මතම, එහි සියලු දැවැන්ත අමානුෂිකත්වය මත පටවනු ඇත. ටර්නර් නැගිටීම “ප්‍රචණ්ඩ” යන පදනම මත හෙලාදැකීම කුහක සහ ඓතිහාසික නොවන අතර වහල්භාවය සඳහා වක්‍ර සමාව අයැදීමකට සමාන වනු ඇත.

“කපටිකමෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් වහලෙකුට දම්වැල්වලින් විලංගු දමන වහල් හිමිකරුවෙක් සහ කපටිකමෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් දම්වැල් කඩන වහලෙක් සදාචාර අධිකරණයක් ඉදිරියේ සමාන නොවේ!” ලියොන් ට්‍රොට්ස්කි 1938 දී ලිවීය.

ඔහුගේ පැත්තෙන්, සිවිල් යුද්ධය මධ්‍යයේ ඔහුගේ දෙවන සමාරම්භක දේශනයේදී, ලින්කන් අදහස ප්‍රකාශ කළේ රට පීඩාවට පත් වූ දැවැන්ත ප්‍රචණ්ඩත්වය වහල්භාවයේ ආයතනය සඳහා නොවැළැක්විය හැකි ඓතිහාසික ගණනය කිරීම වන අතර, ඒ සඳහා “කසයෙන් අදින සෑම ලේ බිංදුවක්ම කඩුවෙන් අදින ලද තවත් අයෙකු විසින් ගෙවනු ලැබේ.”

එම අර්ථයෙන්, දැන් ගාසා තීරයේ ජනගහනයට එරෙහිව ඊශ්‍රායල ආන්ඩුව විසින් ගෙන යන මර්දනය, බ්‍රිතාන්‍යය විසින් කෙන්යාවේ මාඋ මාඋ  කැරැල්ලට එරෙහිව,ප්‍රංශය විසින් ඇල්ජීරියානු නිදහස් සටනට එරෙහිව සහ  දකුණු අප්‍රිකානු වර්ණභේදවාදී පාලන තන්ත්‍රයට විරුද්ධව අරගලයක යෙදුනු දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව හෝ , නැතහොත් එක්සත් ජනපද මිලිටරිය විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට එරෙහි මහජන ප්‍රතිරෝධයට එරෙහිව යොදාගත් මර්දනයට වඩා මූලික වශයෙන් වෙනස් නොවේ.  සෑම විටම මෙන්, පීඩකයන් අතර දේශපාලන ප්‍රභූන් සන්නද්ධ ප්‍රතිරෝධය ත්‍රස්තවාදයක් ලෙස හෙළා දකින අතර ඊට වඩා දහස් ගුණයක් විනාශකාරී අනුකම්පා විරහිත පළිගැනීම් සිදු කිරීමට ඉදිරියට යයි.

ප්‍රචාරක ප්‍රවාහයෙහි එක් දුර්ලභ අපගමනයකදී, පලස්තීන ජාතික පදනමේ නායක මුස්තාෆා බර්ගූටි ඊයේ CNN හි ෆරීඩ් සකාරියා විසින් සම්මුඛ සාකච්ඡාවකට ලක් කරන ලදී. එහිදී පලස්තීනුවන්ගේ වෙනත් ඕනෑම ආකාරයක විරුද්ධත්වයක් නීත්‍යානුකූල යැයි පිළිගැනීම ඊශ්‍රායල ආන්ඩුව ප්‍රතික්ෂේප කිරීමේ තත්වය තුල , නොවැලැක්විය හැකි ප්‍රතිපලය සන්නද්ධ ප්‍රතිරෝධය බව පෙන්වා දීමට ඔහුට අවසර ලැබුණි : “අපි මිලිටරි ස්වරූපයෙන් අරගල කරන්නේ නම්, අපි ත්‍රස්තවාදීන්ය. අපි ප්‍රචණ්ඩත්වයෙන් තොරව අරගල කරන්නේ නම්, අපව ප්‍රචණ්ඩකාරී ලෙස විස්තර කෙරේ. අපි වචනයෙන් පවා විරුද්ධ වෙනවා නම්, අපිව ප්‍රකෝප කරන්නන් ලෙස විස්තර කරයි.”

ඇත්ත වශයෙන්ම, 2018-2019 දී, 1948-49 සහ 1967 යුද්ධ වලදී පලස්තීනුවන් පලවා හරින ලද නිවෙස් වෙත ආපසු යාමට අයිතිය ඉල්ලා, ආපසු පැමිණීමේ මහා පා ගමන නම් ධජය යටතේ ගාසා තීරයේ මහජන විරෝධතා පැවතුනි. ඊශ්‍රායල හමුදාව මෙම විරෝධතාවලට ප්‍රතිචාර දැක්වූයේ පලස්තීන විරෝධතාකරුවන් ගාසා තීරයේ තාප්ප හා වැටවල් වෙත ළඟා වූ විට වෙඩි තැබීමෙනි. අවම වශයෙන් පලස්තීනුවන් 223 ක් මිය ගිය ගොස්, 9,200 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, දැන් පලස්තීනුවන්ට සදාචාරය දේශනා කරන එම පුද්ගලයින්ගෙන් කිසිවෙකුගේ ඇස් ඇරුණේ නැත. 

මෙම නව ලේවැකි ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රධාන උසිගැන්වීම ලෙස සලකනු ලබන සාපරාධී නෙතන්යාහු තන්ත‍්‍රය කෙරෙහි ඇත්ත වශයෙන්ම, ඊස්රායලය තුලම කම්කරු පන්තිය තුල ගැඹුරු විරෝධයක් පවතී. තමන්ට අභියෝග කළ නොහැකි සහ නීත්‍යානුකූලව සමාලෝචනය කළ නොහැකි බලතල ලබා දීමට මෙම පාලන තන්ත‍්‍රය දරන ප‍්‍රයත්නයන්ට එරෙහිව මෙම වසර මුලදී මහජන විරෝධතා සහ මහා වැඩ වර්ජනයක් තුල මෙම විරුද්ධත්වය දැනටමත් ප‍්‍රකාශ වී ඇත.

එහෙත් ගාසා තීරයේ නැගිටීම විසින් ගෙන ඇති ප්‍රචණ්ඩ ස්වරූපය ඊශ්‍රායලය තුළම අව්‍යාජ සහ ප්‍රතිපත්තිගරුක වාමාංශික හා සමාජවාදී නායකත්වයක් නොමැති වීම හා සම්බන්ධ නොවේ. මෙම වසර මුලදී පැවති මහජන විරෝධතා වලදී, ස්වයං-ප්‍රකාශිත නායකයින් සියොන්වාදී රාජ්‍යයේ ආරක්ෂකයින් ලෙස රැඳී සිටි අතර ස්වභාවික සහචරයින් වීමට ඉඩ තිබූ පලස්තීන මහජනතාවගේ අරගල දෙසට කිසිදු හැරීමක් ඉතා සූක්ෂම ලෙස වැළැක්වීය.

නිල සීමාව පිළිගැනීමට ජනගහනයට පහර දීම සඳහා දැන් දියත් කෙරෙන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය පිලිබිඹු කරන්නේ, එක්සත් ජනපදය හා ඊශ්‍රායලය තුලම ද ඇතුලුව, ලොව පුරා මිලියන සිය ගනනක් ජනයා එම පිලිවෙත පිළිගැනීමට නැඹුරු නොවනු ඇතැයි යන බියයි. පලස්තීන නැගිටීමට සහාය දක්වන ස්වයංසිද්ධ පෙලපාලි දැනටමත් ලොව පුරා සිදුවී ඇත.

මෙම මූලෝපාය ක්‍රියාවට නැංවීමට අභියෝග සහ බාධක කෙතරම් විශාල වුවත්, සාමකාමී අනාගතයකට ඇති එකම මාවත සහ සියොන්වාදී පාලනය සමඟ ගනුදෙනු විසඳා ගැනීමේ එකම මාර්ගය , ගාසා තීරයට එරෙහි ලේවැකි ප්‍රහාරයට එක්ව විරුද්ධ විය යුතු, ඊශ්‍රායල හා පලස්තීන කම්කරුවන්ගේ එකමුතුවයි.. එමගින් නෙතන්යාහුගේ පාලනය බිඳ දමා ඒකාබද්ධ සමාජවාදී සමාජයක් සඳහා වූ අරගලයට එක් වන ලෙස ඉල්ලා සිටිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top