ඊශ්‍රායලය ගොඩ නැඟීමේ සිට වසර 75: නක්බා සහ යුදෙව්-අරාබි සමගිය සඳහා අරගලය

ක්‍රිස් මාස්ඩන් හා ජීන් ෂොවුල් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 12 දින 75 years since Israel’s foundation: The Nakba and the struggle for Jewish-Arab unity යන සිරසින් යුතුව පලවූ ක්‍රිස් මාස්ඩන් හා ජීන් ෂොවුල් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි

ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය මැයි 14 දිනට යෙදේ. එය හෙබ්‍රෙව් දින දර්ශනයට අනුව, ඊශ්‍රායල රාජ්‍ය පිහිටුවීමට හා ඉන් පසු ඇති වූ යුද්ධ වලදී, සටන් කල හා මිය ගිය, එමෙන්ම රාජ්‍ය සේවයේ ක්‍රියාකාරී සිටින අය සිහි කරන දිනයට පසු දිනය වන අප්‍රේල් 25 ලෙස ඊශ්‍රායලය නිල වශයෙන් සලකුනු කර ඇත.

නිල සංවත්සරය නිහඬ අවස්ථාවක් විය. එය පැවැත්වුණේ, ෆැසිස්ට්වාදී ආගමික සහ පදිංචිකරුවන්ගේ පක්ෂවල සභාගයක් වන අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් සභාග ආන්ඩුව, ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල සීමා කිරීම සඳහා සකසා ඇති සැලසුම්වලට එරෙහිව යුදෙව් ඊශ්‍රායල ජාතිකයින් විසින් සිදු කරනු ලැබූ, ඊශ්‍රායෙල රාජ්‍යයේ ඉතිහාසයෙහි මෙතෙක් පැවති විශාලතම මහජන විරෝධතා පුපුරා යාම මධ්‍යයේ ය. ඊශ්‍රායල ඉතිහාසයේ වඩාත්ම අන්ත දක්ෂිනාංශික ආන්ඩුවට එරෙහි ප්‍රතිරෝධයේ පරිමාණය රාජ්‍යයේ පැවැත්මට තර්ජනයක් වෙමින් සිවිල් යුද්ධයකට බැසීමක් පිලිබඳ නැවත නැවතත් අනතුරු ඇඟවීම් වලට තුඩු දී ඇත. ඊශ්‍රායලයට විරුද්ධ සමහර පලස්තීන සටන්කාමී කන්ඩායම්වලට සහය දෙන ඊශ්‍රායලයේම අරාබි පුරවැසියන් සහ අසල්වැසි රාජ්‍යයන්, අන් සියල්ලටමත් වඩා ඉරානය සහ සිරියාව, ඉලක්ක කර ගනිමින් නෙතන්යාහු විසින් හිතාමතාම යුද උණුසුම  ඇවිස්සීමත් මෙය සමඟ සිදුවී ඇත.

Image
2023 මාර්තු 26 වැනි ඉරිදා ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි ඊශ්‍රායල නායකයා සිය ආරක්ෂක ඇමැතිවරයා නෙරපා හැරීමෙන් පසු, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ සැලැස්මට එරෙහි විරෝධතාවක් අතරතුර ඊශ්‍රායල ජාතිකයෝ ගිනි මැල දල්වමින් අධිවේගී මාර්ගයක් අවහිර කරති.

නෙතන්යාහු සහ ඔහුගේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම පසුගිය දෙසැම්බරයේ බලයට පත් වූ දා සිට, ඔහුගේ ආන්ඩුව සමාජ හා දේශපාලන විසම්මුතිය යටපත් කිරීමට පහසු වීම සඳහා අධිකරණයේ වියදමින් සිය බලය තහවුරු කර ගැනීමට කටයුතු කර ඇත. ආන්ඩුව උත්සාහ කරන්නේ වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ ප්‍රදේශ බොහෝමයක් ස්ථීර ලෙස ඈඳා ගැනීමට සහ පලස්තීනුවන්ට පමනක් නොව ඉරානයට සහ එහි සහචරයින්ට එරෙහිව ලේවැකි මිලිටරි මැදිහත්වීම් වලට මග පාදා ගැනීමටය. නෙතන්යාහුගේ සභාගය ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ සේවය කිරීමට පලස්තීන නෙසට් සාමාජිකයන් නුසුදුස්සන් කිරීමටත්, ඊශ්‍රායල පුරවැසියන්ගෙන් සියයට 20 කට ස්ථිර ලෙස ඡන්ද බලය අහිමි කරමින් ඔවුන්ගේ පක්ෂ මැතිවරණවලට ඉදිරිපත් වීම තහනම් කිරීමටත් සැලසුම් කරයි.

මෙය, රාජ්‍යයේ නීතිමය පදනම ලෙස යුදෙව් ආධිපත්‍යය තහවුරු කරමින්, ඊශ්‍රායලයේ 2018 මූලික නීතිය, ජාතික-රාජ්‍ය නීතිය මත කේන්ද්‍ර කරගත් වර්ණභේදවාදී ආකාරයේ ව්‍යවස්ථාමය වෙනස්කම් සම්පිණ්ඩනය කරනු ඇත. නීතියෙන් ප්‍රකාශ කෙරෙන පරිදි, “ඊශ්‍රායල් රාජ්‍යයේ ජාතික ස්වයං නිර්ණය ක්‍රියාත්මක කිරීමේ අයිතිය යුදෙව් ජනතාවට අනන්‍ය වූවකි.” එය ඊශ්‍රායලයේ අගනුවර ලෙස සමස්ත ජෙරුසලම “සම්පූර්ණ හා එක්සත්” පුරයක් ලෙස ස්ථිර ලෙස ඈඳා ගැනීමට සහාය ප්‍රකාශ කරන අතර ජනාවාස ඉදිකිරීම “ජාතික වටිනාකමක්” ලෙස අනුමත කරයි. මෙය සහ අරාබි භාෂාව නිල රාජ්‍ය භාෂාවක් ලෙස පැවැති තත්ත්වය ඉවත් කිරීම, බොහෝ මානව හිමිකම් කණ්ඩායම් සාක්ෂ්‍ය දරන පරිදි ඊශ්‍රායලයේම අරාබි පුරවැසියන්ට දෙවන පන්තියේ තත්වයක් හිමි කර දීමකි. 

මෙම පියවරයන්ට දැක්වෙන නිල විරුද්ධත්වය මෙහෙයවනු ලබන්නේ ධනේශ්වර සියොන්වාදී පක්ෂවල විෂම  කන්ඩායමක් විසිනි. නෙතනියාහු සමඟ ඇති ඔවුන්ගේ නොඑකඟතාවයන්ගෙන් පිළිබිඹු කෙරෙන්නේ ඔහු රාජ්‍යයේ උත්සුකයන් අනතුරේ හෙළීම පිලිබඳ කනස්සල්ලයි. ඊශ්‍රායලයේ මතුවෙමින් පවතින ෆැසිස්ට් තර්ජනයට එරෙහි විරුද්ධත්වය, පලස්තීනුවන් සහ අරාබි ඊශ්‍රායල ජාතිකයන් මර්දනය කිරීමට එරෙහි විරුද්ධත්වය සමග සම්බන්ධ කිරීමට ඔවුහු අශමනීය ලෙස විරුද්ධ වෙති. ආඥාදායකත්වයේ සහ ඊශ්‍රායල-පලස්තීනයෙන් ඔබ්බට පැතිර යන යුද්ධයේ අන්තරායයට එරෙහි වීමේ මාර්ගයක් සොයා ගැනීමට අවශ්‍ය නම්, අවධානය යොමු කළ යුතු කේන්ද්‍රීය ප්‍රශ්නය මෙයයි.

ඉදින් ඊශ්‍රායලය ග්‍රෙගෝරියානු දින දර්ශනය පිළිගත්තේ නම්, එය පිහිටුවීමේ සංවත්සරය යෙදෙනු ඇත්තේ, ඊශ්‍රායලය පිහිටුවීමට පෙර හා පසුව පලස්තීන ජනයා මුහුණ දුන් “මහා ව්‍යසනය” සහ බොහොමයක් පලස්තීන ජනතාව අවතැන් කිරීම සනිටුහන් කරන නක්බා දිනයට පෙර දිනයට ය. සියොන්වාදය  විසින් යුදෙව් සහ අරාබි කම්කරු පන්තිය ඇද දමනු ලැබ ඇති මංමුලා සහගත හා ඛේදනීය තත්වයට එරෙහි දේශපාලන ප්‍රතිචාරයක් සම්පාදනය කළ හැක්කේ,  එකී කම්කරුවන් විසින් මෙම සිදුවීම් දෙක අතර සම්බන්ධය පරීක්ෂා කරනු ලැබීමෙන් පමනි, 

ඊශ්‍රායලය පිහිටුවීම.

ඊශ්‍රායලය තුල දිග හැරෙමින් පවතින අර්බුදය සියොන්වාදී රාජ්‍යය තුල ගැඹුරින් මුල් බැසගත් දේශපාලනික හා මතවාදී  ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රතිඵලයකි. ලෝකයේ වඩාත්ම අසමාන රටවලින් එකක කම්කරු පන්තිය හා පාලක ප්‍රභූව අතර වැඩෙන භේදය මගින් එය පෝෂණය වේ. ඊශ්‍රායලය පිහිටුවා ගැනීම පදනම් වූයේ, යුරෝපයේ කම්කරු පන්තිය ෆැසිස්ට්වාදය විසින් අභිභවනය කරනු ලැබීමෙන් ඉක්බිති ව, 1930 ගනන් සහ 1940 ගනන්වල යුරෝපයේ යුදෙව්වන් මුහුණ දුන්, යුදෙව්වන් මිලියන හයක් නාසි සමූලඝාතනයට ගොදුරු වීමෙන් කුලු ගැන්වුනු, ව්‍යසනය තුල ය. 

Image
1944 අවුෂ්විට්ස්හිදී හංගේරියානු යුදෙව්වන් “තෝරාගැනීම”. සංඛ්‍යාවෙන් 400,000 ක් වූ සමස්ත හංගේරියානු යුදෙව් ප්‍රජාව ම පාහේ 1944 ගිම්හානයේදී අවුෂ්විට්ස්හිදී ගෑස් යොදා මරණයට පත් කරන ලදී.  

ඊශ්‍රායලය පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා බිල් වෑන් ඕකන් විසින් 1998 දී ලියන ලද  ලෝසවෙඅ (WSWS) ඉදිරි දර්ශනයක පැහැදිලි කර ඇති පරිදි:

ඊශ්‍රායලයේ උපත සහ පරිණාමය තුළ , 20 වැනි සියවසේ නොවිසඳුණු මහා ප්‍රතිවිරෝධතා සංකේන්ද්‍රණය වී ඇත. එහි ආවශ්‍යක මූලාරම්භය පවතින්නේ ඉතිහාසයේ මනුෂ්‍යත්වයට එරෙහි විශාලතම අපරාධවලින් එකක් වන නාසි සමූලඝාතනය තුළ ය. යුරෝපීය යුදෙව්වන් මිලියන හයක් සමූලඝාතනය කිරීම, සෝවියට් සංගමයේ සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ස්ටැලින්වාදී පරිහානිය විසින් ගෙන එන ලද කම්කරු පන්ති ව්‍යාපාරයේ අර්බුදය සඳහා ගෙවන ලද බිහිසුණු මිලයි. ස්ටැලින්වාදයේ අපරාධ සහ කම්කරු ව්‍යාපාරය මත එහි ආධිපත්‍යය, ෆැසිස්ට්වාදය තුල සිය අවසාන ආරක්ෂක වලල්ල තනා ගත් අර්බුද ග්‍රස්ත ධනේශ්වර ක්‍රමය අවසානයකට ගෙන ඒමෙන් කම්කරු පන්තිය වැළැක්වීය. 

කම්කරු පන්තියේ පරාජයන්, ස්ටැලින්වාදයේ අපරාධ සහ සමූලඝාතනයේ භීෂණය, ඊශ්‍රායලය නිර්මානය කිරීම සඳහා ඓතිහාසික කොන්දේසි නිර්මානය කල අතර, සියොන්වාදය ලෝක යුදෙව්වන් සමග සමාන කිරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ ස්ටැලින්වාදයේ ආධාර සහිත ව සියොන්වාදී ව්‍යාපාරය ගත් උත්සාහය බොහෝ දුරට සාර්ථක විය. එය අවසානයේ දී අධෛර්යමත් කිරීම සහ බලාපොරොත්තු සුන්වීම මත පිහිටුවන ලද ව්‍යාපාරයක් හා රාජ්‍යයකි. ස්ටැලින්වාදයේ පාවාදීම් විසින් ලොව පුරා සිටින යුදෙව් වැඩකරන ජනතාව වෙත , එවන් බලගතු ආයාචනයක් ක්‍රියාවට නංවා තිබූ , සමාජවාදී විකල්පය කෙරෙහි කලකිරීමක් ඇති කරවන ලදී. ජර්මානු ෆැසිස්ට්වාදයේ අපරාධ, යුරෝපයේ හෝ වෙනත් ඕනෑම තැනක යුදෙව් විරෝධය පරාජය කළ නොහැකි බවට අවසාන සාක්ෂිය ලෙස ඉදිරිපත් කරන ලදී. සියොන්වාදයේ පිළිතුර වූයේ, රාජ්‍යයක් සහ හමුදාවක් ලබා ගනිමින් යුදෙව් ජනයාගේ ඓතිහාසික පීඩකයන් ඔවුන්ගේම ක්‍රීඩාව තුල පරාජය කරනු යන්නයි…

ඉතා නිශ්චිත භූ දේශපාලනික හේතු මත යුරෝපයේ රටක් නැති සහ නිවාස නොමැති ඉතිරිව සිටින යුදෙව් ජනගහනය පලස්තීනය වෙත යොමු කරන ලද බැවින් ඔවුන්ගේ උත්සාහයන් සාර්ථක විය. නාසි පීඩනයෙන් පලා යන යුදෙව්වන්ට එක්සත් ජනපද දේශසීමා වසා දැමූ වොෂින්ටනය, පැරණි යටත් විජිත බලවතුන් වන බ්‍රිතාන්‍යයේ සහ ප්‍රන්සයේ වියදමින් කලාපය තුල තමන්ගේම ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ මෙවලමක් ලෙස මැද පෙරදිග යුදෙව් රාජ්‍යයේ මතුවීම දුටුවේය.

ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් ලෙස පිහිටුවීමට හැකි වූයේ, හිංසාව හා ම්ලේච්ඡත්වයට ගොදුරු වූ, ආරක්‍ෂිත තෝතැන්නක් සොයමින් සිටි ජනතාවක් මහා අපරාධයකට – මිලියනයකට ආසන්න පලස්තීනුවන් බලහත්කාරයෙන් නෙරපා හැරීමට සහ වාර්ගික පවිත්‍ර කිරීමේ කුරිරු ව්‍යාපාරයක් තුළ ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීමට සම්බන්ධ කර ගැනීමෙන් පමනි.  

සියොන්වාදය විසින් ප්‍රවර්ධනය කරන ලද ආරම්භක මිථ්‍යාවන්ට, යුදෙව්වන් වසර 2,000කට පෙර පලවා හරින ලද ඔවුන්ගේ බයිබලානුකුල “පොරොන්දු වූ දේශයට” නැවත පැමිණ සිටි බවට කළ ප්‍රකාශ, සහ යුදෙව් ධනේශ්වර රාජ්‍යයක් පිහිටුවීම මඟින් “දේශයක් නැති ජනයාට ජනයා නැති දේශයක්” සම්පාදනය කෙරෙනු ඇතැයි කළ ප්‍රකාශ ද ඇතුලත් විය.  

මෙම අවසාන ප්‍රකාශය විනිවිද පෙනෙන නමුත් දේශපාලනිකව අවශ්‍ය බොරුවක් විය.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, 1922 දී පලස්තීනය නිදහස සඳහා සූදානම් කිරීමට බ්‍රිතාන්‍යයට “වරමක්” ලබා දුන් ජාතීන්ගේ සංගමයේ දැන් අනුප්‍රාප්තිකයා බවට පත් ව සිටි අලුතින් පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඒ වන විට ද දැන් ජෝර්දානය ලෙස හඳුන්වනු ලබන රාජ්‍යය බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරනු ලැබීමෙන් පසුව ප්‍රමාණයෙන් කුඩා වී තිබූ පලස්තීනය, වෙන් වූ හා ප්‍රත්‍යාසන්න නොවන අරාබි හා යුදෙව් රාජ්‍ය කැබැලිති දෙකකට බෙදීමට යෝජනා කළේය. ජෙරුසලම ජාත්‍යන්තර පාලනය යටතේ තබා ගැනීමට ඉන් යෝජනා කෙරින. කිසිදා අනුමත නොකළ මෙම ප්‍රතිගාමී යෝජනාව, යුදෙව්වන් සහ පලස්තීනුවන් අතර සිවිල් යුද්ධයක් ද, ඊජිප්තුව, ජෝර්දානය, ඉරාකය සහ අනෙකුත් අරාබි රාජ්‍යයන් සම්බන්ධ 1948 අරාබි-ඊශ්‍රායල් යුද්ධය ද පුපුරා යාමට හේතුභූත විය. මේ දෙවනුව කී යුද්ධය සිදු වූයේ බ්‍රිතාන්‍යය වරම අවසන් වීමෙන් පසු, මැයි 14 වන දින ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ය. බෙදීමේ සැලැස්ම යටතේ කැඳවුම් කෙරුනු ප්‍රමාණයට වඩා තුනෙන් එකකට වැඩි ප්‍රදේශයක් ඊශ්‍රායලය විසින් සිය පාලනයට නතු කර ගැනිණි. නොමඳ පලස්තීනුවෝ පලවා හරින ලදහ. 

බ්‍රිතාන්‍ය පාලිත පලස්තීනයේ ඊශ්‍රායලය ආරම්භ කරන විට, පලස්තීන මුස්ලිම්වරුන් 1,157,000 ක්, ක්‍රිස්තියානීන් 146,000 ක් සහ යුදෙව්වන් 580,000 ක් වශයෙන් එහි යුදෙව්වන් සිටියේ  ජනගහනයෙන් තුනෙන් එකක් පමණි. වසර දෙකකට පසු, ඊශ්‍රායලය බවට පත් වූ ප්‍රදේශයේ, ඉතිරි වූයේ 200,000 පමණ පලස්තීනුවන් පමණි. ඔවුන්ට 1966 දක්වා හමුදා පාලනය යටතේ පාලනය වීමට සිදු විය. 

Image
ඉහළ ගලීලයේ සසා අරාබි ගම්මානය සමඟ ඊශ්‍රායල සොල්දාදුවන් සටනක. [ඡායාරූපය ඊශ්‍රායලයේ ජාතික පුස්තකාලය/ඩිජිටල් හැඳුනුම්පත. 990040390490205171/ගිඩියොන් මාර්කො

පලස්තීනුවන් දහස් ගණනක් මරා දැමූ අතර, අවම වශයෙන් 700,000 ක් එක්කෝ පලවා හරින ලදහ; නැතහොත් පලා ගියෝය. ඔවුහු අසල්වැසි රටවල තාවකාලික කූඩාරම් කඳවුරුවල නවාතැන් ගත් සරණාගතයින් බවට පත් වූහ. අවම වශයෙන් සමූල ඝාතන 31ක් සිදු වූ බව තහවුරු වී ඇත. වාර්තා වූ ම්ලේච්ඡත්වයන්ට ඊශ්‍රායල හමුදා විසින් “පොලුවලින් ඔළුගෙඩි කුඩු කර” දරුවන් මරා දැමූ අල්-දවායිමා ගම්මානයේ සහ සොල්දාදුවන් විසින් 60 ත් 80 ත් අතර වැසියන් පිරිසක් ගොඩනැගිල්ලක් තුලට  තල්ලු කර එය පුපුරුවා හැර මරා දැමූ සාලිහා හි සිදුවීම් ඇතුලත් වේ.

පලවා හරින ලද එම පලස්තීනුවන්ට මෙන් ම ඔවුන්ගෙන් පැවතෙන්නන්ට ද නැවත ඊශ්‍රායලයට පැමිණීම තහනම් කරන ලදී. ඔවුන්ගේ නිවාස සහ දේපළ ඊශ්‍රායල රජය විසින් අත්පත් කර ගන්නා ලදී. එදා පටන් මේ දක්වා ම ඊශ්‍රායලය, නක්බාව සහ එහි වාර්ගික පවිත්‍රකරනය හෝ අරාබි-ඊශ්‍රායල් යුද්ධය තුල 1948 දී සම්මත කරන ලද ජාත්‍යන්තර නීතියේ සහ එක්සත් ජාතීන්ගේ 194 වන යෝජනාවෙහි දක්වා ඇති පරිදි පලස්තීනුවන්ගේ ආපසු පැමිනීමේ අයිතිය පිලිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ඊට වෙනස්ව, ඊශ්‍රායලයේ 1950 ආපසු පැමිණීමේ නීතිය සහ 1952 පුරවැසි නීතිය සෑම යුදෙව්වෙකුටම ඊශ්‍රායලයට පැමිණි වහාම පුරවැසිභාවය සඳහා අයිතිය ලබා දුන්නේය. යුද්ධයෙන් පසු වසර තුන තුළ, යුදෙව්වන් මිලියනයක් පමණ සංක්‍රමණය වූ අතර, සමහරක් පැමිණියේ යුරෝපයේ නටබුන් අතරින් නමුදු, ප්‍රධාන වශයෙන් ඔවුන් සංක්‍රමණය වූයේ මැද පෙරදිගින් සහ උතුරු අප්‍රිකාවෙන්ය. 

ඓන්ද්‍රීයව ප්‍රජාතන්ත්‍ර විරෝධී සමාජයක්

එබැවින් එහි ආරම්භයේ සිටම පලස්තීනුවන් බලහත්කාරයෙන් මර්දනය කිරීම සහ අසල්වැසියන් සමඟ යුද්ධ කිරීම මත ගොඩනැගුණු ඊශ්‍රායලය, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වර්ධනය කිරීමට ඓන්ද්‍රීයව අසමත් විය. සතුරු අසල්වාසීන් විසින් වට කරන ලද මිලිටරිකරනය වූ රාජ්‍යයක් ලෙස මතු වූ එය, ආගමික අනන්‍යතාව තහවුරු කිරීම මත පදනම් වූවක් විය. ශීඝ්‍රයෙන් න්‍යෂ්ටික හැකියාවන් වර්ධනය කරමින්, සමාජයේ කේන්ද්‍රීය ස්ථම්භය ලෙස සේවය කරන හමුදාව සමඟින්, එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් අධික ලෙස අරමුදල් සපයන බලකොටුව බවට පත් විය.

ඊශ්‍රායලයේ මිලිටරි හා දේශපාලන “සාර්ථකත්වයන්” වැඩි වන තරමට එහි දක්ෂිනාංශික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන්මග වඩාත් නිසැකව තහවුරු විය. ධීර වීර දුබලයෙකු ලෙස සහ දරුණු ඓතිහාසික වැරදිවලට ගොදුරු වූ ජනගහනයක නිවහනක් ලෙස බොහෝ දෙනා විසින් වරක් සැලකූ ඊශ්‍රායලය, කලාපයේ ප්‍රමුඛතම මිලිටරි බලවේගය සහ එකම න්‍යෂ්ටික බලය බවට පත්වීමට නියමිතව තිබුනි.

Image
ගෝලාන් කඳුකරයේ ඉදිරියට යන ඊශ්‍රායල ටැංකි, 1967 ජූනි [ඡායාරූපය රජයේ මාධ්‍ය කාර්යාලය (ඊශ්‍රායලය) / CC BY-SA 4.0]

1967 දී, එක්සත් ජනපද පිටුබලය ඇතිව ඊජිප්තුව, සිරියාව සහ ජෝර්දානය ආක්‍රමනය කල ඊශ්‍රායලය, ජෝර්දාන් ගඟේ බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම, ගෝලාන් කඳුකරය සහ ගාසා තීරය අල්ලාගෙන සරනාගතයන්ගේ නැවුම් වටයක් නිර්මානය කලේය.  මෙම ගැටුම යසර් අරෆත්ගේ නායකත්වය යටතේ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) පිහිටුවීමට සහ ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර අසමාන මිලිටරි අරගලයක් මතුවීමට හේතු විය.

ඊශ්‍රායලයේ ආර්ථික හා සමාජ ජීවිතය සමඟ දේශපාලන භූ දර්ශනය පරිවර්තනය වීම

අලුතින් අත්පත් කරගත් භූමි ප්‍රදේශ දෙවියන් වහන්සේ විසින් යුදෙව් ජනතාවට පොරොන්දු වන ලද සමාරිය සහ ජුදා දේශයන් ලෙස ඊශ්‍රායල ස්වෛරීත්වය යටතට ගෙන එන ලෙස, යලි ඉස්මතුව ආ දක්ෂිනාංශයක් ඉල්ලා සිටීමත් සමඟ, යුද්ධය සහ ජනාවාස ඉදිකිරීම, ප්‍රසාරණවාදී “මහා ඊශ්‍රායල” ප්‍රතිපත්තියකට මාරුවීම පිලිබඳ අනබෙරකරුවා වූයේය. මෙය සිදුකිරීම සඳහා පලස්තීනුවන් අඛණ්ඩව වාර්ගික විශුද්ධිකරනයට භාජනය කිරීම සහ යුදෙව් යටත් විජිත පන්නයේ ජනාවාස පිහිටුවීම අවශ්‍ය විය.

එමඟින්, 1973 අරාබි-ඊශ්‍රායල යුද්ධය, සිරියාව, ලෙබනනය සහ ඉරානයට එරෙහි මිලිටරි ආක්‍රමණය සහ සරනාගතයින්ගේත් අභ්‍යන්තරව අවතැන් වූ ජනතාවගේත් තවතවත් නව රැලි නිර්මානය කරමින් අත්පත් කර ගත් ප්‍රදේශවල මූලිකවම අනාරක්ෂිත හා දුගී පලස්තීනුවන්ට නැවත නැවතත් ප්‍රහාර එල්ල කිරීම ඇතුලු යුද්ධ නිරන්තරව පුපුරා යාම සඳහා මාර්ගය සකසා තිබින. 

ඊශ්‍රායලයේ අන්ත-ගතානුගතික දේශපාලන පක්ෂ, විශේෂයෙන් නිතිපතා සිදුවන යුදෙව් සංක්‍රමන රැලිවල සන්දර්භය තුල, කලින් අනාගමික යැයි සලකන ලද ප්‍රදේශවල යුදෙව් ආගමික නීතිය පනවමින් ද, වඩවඩාත් දක්ෂිනාංශික බවට පත් වූ ආන්ඩු පිහිටුවා ගැනීම නිර්නය කරමින් ද ප්‍රබල බලවේගයක් බවට පත් වූයේය. අනාගමික හා ගතානුගතික  යුදෙව්වන් අතර ගැටුම සමාජ ජීවිතයේ සෑම අංශයකම ලක්ෂණයක් බවට පත්ව ඇත.

දේශපාලන හා මිලිටරි සංස්ථාපිතය තුල ෆැසිස්ට් ප්‍රවනතාවයන් මතුවීම සඳහා පදනම නිර්මානය කලේ මෙයයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කර ඇති පරිදි, “මේවා දැන් රජයේ ප්‍රතිපත්ති නියම කරන සහ පලස්තීනුවන්ට පමණක් නොව බොහෝ ඊශ්‍රායල වැසියන්ට කුරිරු මර්දනයකින් තර්ජනය කරන බලවේගයි.”

1970 ගනන්වල සිට දශක ගනනාවක් තුල සමාජ ධනය අසාමාන්‍ය ලෙස ඉහලට ගලා යාමක් සහ දරිද්‍රතාවයේ මංමුලා සහගත වර්ධනයක් ද දක්නට ලැබුනි. 2010 වන විට, ඊශ්‍රායල පවුල් 20ක් පමණ ඊශ්‍රායල කොටස් වෙළෙඳපොළෙන් අඩක් පමණ පාලනය කළ අතර ඊශ්‍රායල සමාගම් වලින් හතරෙන් එකක් ඔවුන් සතු විය. ඉන් බොහොමයක් ධනවත් පවුල්වලට අයත් වන ව්‍යාපාරික කණ්ඩායම් දහයක්, පොදු සමාගම්වල වෙළඳපල වටිනාකමෙන් සියයට 30ක් පාලනය කලහ. ඊශ්‍රායලය එක්සත් ජනපද ඩොලර් ප්‍රකෝටිපතියන් 71ක් තමන් සතුවීම ගැන පුරසාරම් දොඩයි, එය ජනගහනයේ සෑම මිලියනයකටම 6.7ක් වන අතර, ලෝකයේ ඉහලම ඒක පුද්ගල ආදායම් වලින් එකක් ඔවුන් සතු නමුත් මේ සියල්ලෝම එහි පදිංචිව සිටින්නෝ නොවෙති. 

Image
2006 දී ඊශ්‍රායලයේ නිවසක් නැති මිනිසෙක්. [ඡායාරූපය: charcoal soul /Flickr / CC BY-ND 2.0]

ඊට ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයේ, සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD)ට අනුව, අසමානතාවය වඩාත්ම පවතින රටවල් අතරින් ඊශ්‍රායලය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමනි. OECD හි ශ්‍රේණිගත කිරීම් අනුව බල්ගේරියාව සහ කොස්ටාරිකාවට පසුව තුන්වන ඉහළම දරිද්‍රතා අනුපාතය ලැබී ඇත්තේ ඊශ්‍රායලයටයි. එහි දරිද්‍රතා අනුපාතය OECD සාමාන්‍යයට වඩා දෙගුනයකි. දරිද්‍රතාවය දැන් සමස්ත ඊශ්‍රායල ජාතිකයන්ගෙන් සියයට 27කට වැඩි ප්‍රමාණයකට සහ සියලුම දරුවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට බලපාන අතර සියයට 10කට වැඩි (පවුල් 312,000ක්) පිරිසක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයට මුහුන දෙති. මෙම තතු, නෙතන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණයට එරෙහිව දැන් පුපුරා ගොස් ඇති දේශපාලන නොසන්සුන්තාවයේ පූර්වගාමියා වන, 2011 දී අරාබි වසන්තය සමීපයේ ඇති වූ මහජන විරෝධතාවලට ප්‍රේරණය සැපයූවේය.

ඔස්ලෝවේ බොරු පොරොන්දුව, PLO සහ පලස්තීන අධිකාරිය

ඊශ්‍රායල ජීවිතයේ නිරන්තර ලක්ෂණය වන්නේ පලස්තීනුවන්ට ලබා දෙන අපරූපී සැලකිල්ලයි. මෙම ගැටුම අවසන් කිරීමට ගත් කිසිදු නිල පියවරක් විසින් දේශපාලන යථාර්ථයන් වෙනස් කෙරී නැත. මහත් සේ අඬබෙර ගැසූ 1993 ඔස්ලෝ ගිවිසුම මගින් ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව වසර හයකට ආසන්න කාලයක් ගෙන ගිය පලස්තීන ඉන්ටිෆාඩාව අවසන් කෙරින. එහෙත් ඊශ්‍රායලය විසින් තීරනය කරන ලද එහි කොන්දේසි පලස්තීනුවන්ට උගුලක් අටවා ඇත. එය “රාජ්‍ය දෙකක විසඳුමක” මිරිඟුව ඉදිරිපත් කළ අතර, එය ඇත්ත වශයෙන්ම ඊශ්‍රායලය සමඟ කුඩා බෙදුණු සහ යාබද නොවූ පලස්තීන රාජ්‍ය කැබැල්ලකින් සමන්විත විය. ඒ වෙනුවට, අරෆත් සහ PLOව, ඊශ්‍රායලය පිළිගැනීමට, එහි ආරක්ෂාව සහතික කිරීමට සහ පලස්තීන විමුක්තිය සඳහා වූ සන්නද්ධ අරගලය අත්හැරීමට එකඟ වූහ.  

Image
පලස්තීන ජාතික අධිකාරියේ අගමැති මහමුද් අබ්බාස්, එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ ඒරියල් ෂැරොන්, අකාබා හි රතු මුහුදේ සමුළුවේ දී, 2003 ජූනි

නක්බා, ආපසු පැමිනීමේ අයිතිය, පලස්තීන ආයතනයක අගනුවර ලෙස ජෙරුසලමේ ස්ථානගත වීම සහ සියොන්වාදී ජනාවාසවල අනාගතය යන සියල්ල නොතකා හරිමින් ඔස්ලෝව විසින් පලස්තීන අධිකාරිය (PA) පිහිටුවන ලදී. එය සිය දේශසීමා පිලිබඳ කිසිදු පාලනයක් නොදරන, නාමික පොරොත්තු ආන්ඩුවක් පිහිටුවන ලදී. එහි පූර්න යැයි කියනු ලබන අධිකරන බලය ගාසා තීරයේ  සහ බටහිර ඉවුරේ සියයට 18ක් (A ප්‍රදේශය) කරා පමනක් බල පවත්වන අතර බටහිර ඉවුරේ සියයට 22 ක් (B ප්‍රදේශය) සඳහා එය ඊශ්‍රායලය සමඟ ඒකාබද්ධව අධිකරන බලය දරයි. බොහෝ ජනාවාස ඇති බටහිර ඉවුරේ සියයට 60ක් (C ප්‍රදේශය) සම්පූර්ණයෙන්ම ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවතී.

එහි කේන්ද්‍රීය කර්තව්‍යය වූයේ ඊශ්‍රායල විරෝධී පලස්තීන විරුද්ධ පාර්ශ්වයට එරෙහිව පොලිස්කාරකමේ යෙදීමයි. පලස්තීන අධිකාරිය (PA) “ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු අභියාචනයක් ඉදිරිපත් වීම වලකාලනු ඇති බවත්, සිවිල් අයිතිවාසිකම් පිලිබඳ ඊශ්‍රායල සංගමයට එම ප්‍රදේශවලට ඇතුලුවීමට ඉඩ නොදීම මඟින් එහි පවත්නා තතු විවේචනය කිරීමෙන් එම සංගමය වලක්වනු ඇති බවටත් වන කරුන අගමැති යිට්සික් රාබින්ගේ ප්‍රශංසාවට එය පාත්‍ර විය.  

රාජ්‍යයක මෙම විකට චිත්‍රනය පවා ඒරියල් ෂැරොන්ට, බෙන්ජමින් නෙතන්යාහුට සහ ඔවුන්ගේ ලිකුඩ් පක්ෂයට පිළිකුල දනවන්නක් විය. 1995 නොවැම්බරයේදී දක්ෂිනාංශික ඊශ්‍රායල උම්මත්තකයෙකු විසින් රාබින් ඝාතනය කරනු ලැබීමට දින කිහිපයකට පෙර, ඔහුගේ රුධිරය ඉල්ලා බිරුසන් දුන් පිරිසට ඔවුහු (ලීකූඩ් පක්ෂය) අත්පොලසන් දුන්හ. 2000 ගිම්හානයේදී, ඩේවිඩ් කඳවුරේ දී, කම්කරු අගමැති එහුඩ් බරාක් පැහැදිලි කර දුන්නේ, බටහිර ඉවුරෙන් හා ගාසාවෙන් හමුදා ඉවත් කර ගැනීමේ යෝජනාව විසින් පලස්තීනුවන්ට ඉතිරි කෙරෙනු ඇත්තේ මුල් පලස්තීනයෙන් සියයට 15 ක් පමනක් බවයි.  අරෆත් මෙය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කල අතර “සාම ක්‍රියාවලිය” ඉන් අවසන් විය. අල්-අක්සා මුස්ලිම් පල්ලියේ මවුන්ට් පරිශ්‍රයට ෂැරොන්ගේ ප්‍රකෝපකාරී සංචාරය සහ දෙවන ඉන්ටිෆාඩාව පුපුරා යාම මීට නිදසුන් විය. 

Image
යසර් අරෆත් 1997 දී [ඡායාරූපය ඊශ්‍රායලයේ ජාතික පුස්තකාලය/ඩිජිටල් හැඳුනුම්පත. 990040390490205171/ගිඩියොන් මාර්කොවිස් / CC.

ඉන් අනතුරුව, සියොන්වාදී පක්ෂ සියල්ල ම “ජනවිකාස ගැටලුවට” එරෙහිව සටන් කිරීම සහ බටහිර ඉවුරේ පාලනය පුලුල් කිරීම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ඉදිරිපත් කලෝය.

අද, ඊශ්‍රායල-පලස්තීනයේ ජීවත් වන යුදෙව් ඊශ්‍රායල සහ පලස්තීනුවන් ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාවක් සිටින අතර, පලස්තීනුවන් ඉක්මනින් බහුතරය බවට පත්වනු ඇත. ඊශ්‍රායල රාජ්‍යය මනින ලද්දේ එය නිර්නය කරන ජනගහනය පිලිබඳ යථාර්ථ තත්ත්වයෙන් නම්, එයට 1967ට පෙර පැවැති, ජාත්‍යන්තරව පිලිගත් දේශසීමා තුළ ජීවත් වන මිලියන 9.3 ඊශ්‍රායල ජාතිකයන් – ඔවුන්ගෙන් මිලියන 2ක් පලස්තීනුවෝ වෙති – පමණක් නොව, ඊශ්‍රායල හමුදා පාලනය යටතේ ජීවත් වන, 1967 අරාබි ඊශ්‍රායල යුද්ධයේදී අල්ලා ගත් පලස්තීන ප්‍රදේශවල ජීවත්වන මිලියන 5.4ක් පමණ පලස්තීනුවන් ද ඇතුලත් වනු ඇත. 

මේ අනුව, ඉක්මනින්ම, ජන විකාශනය සහ දුර්වල වීම මුස්ලිම් බහුතරයක් සහ යුදෙව් සුළුතරයක් සහිත භෞමික ප්‍රදේශයකට/රාජ්‍යකට  තුඩු දෙනු ඇත. පැවැත්මේ තර්ජනයක් ලෙස තමන් දකින දෙයට සියොන්වාදයේ එකම පිළිතුර වන්නේ යුද්ධය සහ වාර්ගික පවිත්‍රකරණයයි. 2002 දෙසැම්බරයේ අගමැති ඒරියල් ෂැරොන් ප්‍රකාශ කළේ යුදෙව් ජනාවාස සඳහා මග සැලසීමට පලස්තීනුවන් වාඩිලාගෙන සිටින ප්‍රදේශවලින් ඔවුන් පලවා හැරිය යුතු බවයි; නෙතන්යාහු ගිගුරුම් දෙමින්, “අපි මුළු ප්‍රදේශයම පිරිසිදු කරන්නෙමු…” යයි ප්‍රකාශ කලේය. 

ලේබර් පක්ෂයේ පිටුබලය ඇතිව ඊශ්‍රායලය සහ බටහිර ඉවුර අතර වෙන්වීමේ පවුර ගොඩනැගීම සඳහා වූ සාධාරණීකරණය ලෙස ෂැරොන් දෙවන ඉන්ටිෆාඩාව භාවිතා කළේය. මෙම ක්‍රියාවලියේදී ඊශ්‍රායලය ප්‍රධාන ජනාවාස කඳවුරු ඇතුළුව බටහිර ඉවුර තුළ කිලෝමීටර් 18ක් දක්වා වූ භූමි ප්‍රමාණයක් ස්ථිරවම අල්ලා ගත් අතර, භූමි ප්‍රමාණයෙන් සියයට 9ක් අත්පත් කරගෙන ඊශ්‍රායල පැත්තෙහි පලස්තීනුවන් 30,000ක් පමණ ද බටහිර ඉවුර පැත්තේ නැගෙනහිර ජෙරුසලමේ පලස්තීනුවන් 230,000ක් ද හුදකලා කළේය. වෙන්කිරීමේ පවුරේ අනුග්‍රහයෙන් ඊශ්‍රායලයට අත්පත් වූ බටහිර ජලධරයේ පාලනය සහ බටහිර ඉවුරේ භූගත ජලයෙන් සියයට 80 ක් මත ඊශ්‍රායල පාලනය විසින් මිලියන ගණනක ජනයාට නිදන්ගත හා කෘත්‍රිම ජල අර්බුදයකට මඟ පාදනු ලබමින්

වාරිමාර්ග කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය පූර්වයේ, 1967 දී, තිබූ සියයට 14 සිට, අද පවතින සියයට 2 අනුපාතය දක්වා තියුනු ලෙස පහත හෙලනු ලැබ ඇත.

මේ සියල්ල ඊශ්‍රායලයේ පාරට්ටු කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීත්‍යානුකූල ලෙස සලකනු ලැබීය.

Image
ඝාතනය කරන ලද පලස්තීන-ඇමරිකානු මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේ, බෙත්ලෙහෙම් හි බටහිර ඉවුරේ වෙන් කිරීමේ බිත්තිය, 2022 නිරූපනය කරන චිත්‍රය [ඡායාරූපය Dan Palraz / CC BY-SA 4.0] 

බටහිර ඉවුරේ ජනාවාස ව්‍යාප්තිය සහ ඒකාග්‍ර කිරීම සඳහා එක්සත් ජනපද අනුමැතිය ලබා ගැනීම අරමුනු කරගත් ෂැරොන්ගේ විසන්ධි කිරීමේ සැලැස්ම යටතේ 2005 දී ගාසා තීරය තවදුරටත් හුදකලා විය. 2007 දී හමාස් සංවිධානය විසින් මෙම වට වූ කොටසේ පාලනය අත්පත් කරගත් විට, ඊශ්‍රායලයේ පාලන උපාය මාර්ගය පූර්න පරිමාණ ආර්ථික අවහිර කිරීමක් බවට පත් විය. මෙම ක්‍රියාවලියේදී බටහිර ඉවුර දිළිඳු ගෙටෝවක් බවටත් ගාසා තීරය බන්ධනාගාරයක් බවටත් පරිවර්තනය වී ඇත.

සියොන්වාදය හෝ අරාබි ජාතිකවාදය යන දෙකම නොව සමාජවාදී ජාත්‍යන්තරවාදය! 

නෙතන්යාහුගේ පාලන සභාගය සහ විපක්ෂ කන්ඩායම අතර ගැටුමේ මූලිකම අංගය වන්නේ සියලු මූලධර්ම පිලිබඳ ඔවුන්ගේ එකඟතාවයයි. විරෝධතා නායකයන් ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල කෙරෙන ප්‍රහාරයට එරෙහිව පිහිටුවා ඇත්තේ, “ප්‍රජාතන්ත්‍රවාදය” කෙරේ ඇති ඔවුන්ට වියුක්ත ආදරයක් නිසා නොව, සියොන්වාදය සහ ඊශ්‍රායල ධනේශ්වරයේ සමාජ අවශ්‍යතා වෙනුවෙන් එම නායකයන් නොසැලෙන ලෙස පෙනී සිටින නිසා ය. නෙතන්යාහු  සහ ඔහුගේ ෆැසිස්ට් ආධාරකරුවන් නෙතන්යාහු සිරගත වීම වැලක්වීමට වාර්ගික ශෝධනයේ, ආගමික-සංස්කෘතික ප්‍රහාරයේ සහ නෛතික උපාමාරුවල උත්සන්න කල න්‍යාය පත්‍රයක් අනුගමනය කරන විට, විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් (Benny Gantz) සහ නෙතන්යාහු ගේ කැරලිකාර ආරක්ෂක ඇමති යෝවාව් ගැලන්ට් (Yoav Gallant) වැනි චෝදනා නොලත් යුද අපරාධකරුවන් බියපත් වී සිටින්නේ එම පියවර විසින්, දශක ගනනාවක් පුරා පලස්තීනුවන්ට එරෙහිව එල්ල කෙරුණු නිර්දය ප්‍රහාරයන් ආවරනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අධිකරණ පද්ධතිය වසා එලා තිබූ ව්‍යාජ “ප්‍රජාතන්ත්‍රවාදී” පිටවැස්මට එයින් හානි  වෙතැයි කියා ය.   

Image
2021 ජූනි 20 ඉරිදා , ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් (වමේ), ඊශ්‍රායල ජනාධිපති රූවන් රිව්ලින් (වමේ දෙවැන්නා), ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ගැන්ට්ස් (වමේ තෙවැන්නා), හිටපු අගමැති සහ විපක්ෂ නායක බෙන්ජමින් නෙතන්යාහු (වමේ සිව්වැන්නා), සහ අනෙකුත් ප්‍රභූවරු ඊශ්‍රායලයේ ජෙරුසලමේ අනුස්මරණ උත්සවයකට සහභාගී වෙති [AP Photo/Abir Sultan/Pool Photo via AP]

යුදෙව් ආධිපත්‍යවාදීන්ට සහ ආගමික ප්‍රතිගාමීන්ට මූලිකත්වය භාරදීම මගින් ඊශ්‍රායල සමාජය අස්ථාවර කිරීම, මැද පෙරදිග ඇති “එකම ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස ඊශ්‍රායලය  නිරූපණය කරන, ලෝකයේ විශාලතම යුදෙව් ප්‍රජාව වන එක්සත් ජනපදයේ යුදෙව් ප්‍රජාව ද – ඉන් කොටසක් වොෂින්ටනයේ සහ යුරෝපයේ අගනගරවල රැඳී සිටිති – ඇතුලු, සමස්ත ලෝකය පුරා ඊශ්‍රායලයට පවතින සහයෝගයට යටින් වල කපා  ඇත. සියොන්වාදයට එරෙහි විරෝධය යනු, ඊශ්‍රායලයෙන්, ඊට සමාන “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාඡ්‍යයන්ගෙන් ” අපේක්ෂා නො කෙරෙන ප්‍රමිතීන් ඉල්ලා සිටින සහ, ඊශ්‍රායලය සහ වර්ණභේදවාදය යටතේ තිබූ දකුණු අප්‍රිකාව අතර ව්‍යාජ තුල්‍යතාවයක් දක්වන යම් ආකාරයක “වාම යුදෙව්-විරෝධයක්” ලෙස චිත්‍රණය කිරීමේ ප්‍රයත්නවලට එය බරපතල ලෙස වල කපා ඇත. 

සියල්ලටත් වඩා මෙය, ඊශ්‍රායලය එහි දඩ බල්ලා ලෙස වොෂින්ටනයේ භූ මූලෝපායික අවශ්‍යතා ලුහුබැඳ යන මෙම කලාපය තුල, වොෂින්ටනයේ ආක්‍රමණශීලී මිලිටරි පිලිවෙතට මෙයින් තර්ජනය කෙරෙයි.

රට තුල, විරෝධතා ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය දැනට සියොන්වාදී ධනේශ්වරයේ අනසක යටතේ පවතිමින් නාගරික මධ්‍යම පන්තියේ කොටස් වලින් සමාජ සහයෝගය ලබා ගන්නා නමුදු, දේශපාලන නැගිටීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනයට සහ ප්‍රදේශ අත්පත් කරගෙන සිටීම, යුද්ධය සහ ඊශ්‍රායලයේ කතිපයාධිපත්‍යයේ සමෘද්ධිය වෙනුවෙන් ගෙවීම් වස් ක්‍රියාත්මක කෙරෙන කප්පාදු ආර්ථික ප්‍රතිපත්තිවලට ද එරෙහිව සමාජ අරගල පුපුරා යාමේ අවදානම මතු කරයි.

ආගමික-සංස්කෘතික අනන්‍යතාවය මත පදනම් වූ රාජ්‍යයක් සහ සියලු යුදෙව්වන්ට තිබෙන්නේයැයි කියනු ලබන දෙය ප්‍රවර්ධනය කරන සියොන්වාදය, පලස්තීනුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳ පමනක් නොව, යුදෙව් කම්කරුවන්ගේ ස්වාධීන සමාජ හා දේශපාලන අවශ්‍යතා පිලිබඳව ද වන ඕනෑම ප්‍රකාශයට පත්වීමකට ද විරුද්ධ වීමේ පදනම දිගු කලක් තිස්සේ ගොඩ නඟා ගෙන ඇත. 

Image
ටෙල් අවිව් හි හිස්ටඩ්රට් (Histadrut) මූලස්ථානය [ඡායාරූපය צילום:ד”ר אבישי TIכר / CC BY 2.5]

හිස්ටඩ්රට් (Histadrut) වෘත්තීය සමිති සම්මේලනය, ඊශ්‍රායලයේ සේවා අංශය, එහි විශාලතම සමූහ ව්‍යාපාර, ජාතික බැංකුව සහ සෞඛ්‍ය හා වෛද්‍ය ආයතන පාලනය කරමින් රාජ්‍ය ආයතනයක් ලෙස මතු විය. ආර්ථික ලිබරල්කරණය සහ පුද්ගලීකරනය විසින් නිර්මිත තතු තුල එහි සාමාජිකත්වය, 1983 දී එය පැවැති මිලියන 1.8 ක (එවකට ශ්‍රම බලකායෙන් සියයට 85 ක්) තත්ත්වයේ සිට අද වන විට 200,000 ට වඩා අඩු අගයකට පත් වෙමින්, ගෝලීය පූර්වාදර්ශයක් නොමැති කඩා වැටීමකට ලක්ව ඇත. මහජන විරෝධතා අතරතුර, මහා වැඩ වර්ජනයක් සඳහා අරාබි සහ සංක්‍රමණික කම්කරුවන් හැර සෙසු කම්කරුවන්ට ඔවුන් කල කැඳවීම, නෙතන්යාහු සමග සම්බන්ධීකරණයෙන් යුතුව සිදු කරන ලද එකක් වූ අතර, එය කැඳවන ලද්දේ නිලධාරිවාදී පාලනයෙන් බැහැරව වර්ධනය වන වැඩ වර්ජනවල අන්තරායට එරෙහිව සටන් කිරීම සඳහාය.

ඊශ්‍රායල් රාජ්‍යයේ ආරම්භක දෘෂ්ටිවාදය වන කම්කරු සියොන්වාදය, එහි වෘත්තීය සමිති හස්තයට ද වඩා දරුණු කඩාවැටීමකට ලක්ව ඇත. මන්ද යත්, එහි සමාජවාදී මවාපෑම් , ධනවාදය සහ නිකායික ආගමික සුවිශේෂීවාදය මත පදනම් වූ රාජ්‍යයක සහ සමාජයක යථාර්ථයන් විසින් විනාශ කර ඇති බැවිනි.

ඊශ්‍රායලයේ 75 වැනි සංවත්සරයේදී, එහි කඩා වැටෙන දේශපාලන හා සමාජ කැලඹීම විසින් සනාථ කෙරෙන්නේ, විප්ලවවාදී සමාජවාදී විකල්පයක් සඳහා සටන් කිරීමට කොන්දේසි පවතින බවයි. එහෙත් සියොන්වාදයේ මූලික සිද්ධාන්ත අභියෝගයට ලක් නොවන තාක්, ධනේශ්වර පාලනයේ අර්බුදය විසඳනු ඇත්තේ තව දුරටත් දකුණට ඇදී යාමේ පදනම මතය.

සියල්ලටම වඩා භයානක වන්නේ, තීව‍්‍රවන දේශපාලන අර්බුදය, පලස්තීනුවන් මිලිටරිමය ආකාරයට මර්දනය කිරීම දෙසටත් සිරියාව හා ඉරානය සමඟ යුද්ධය ඇවිලවීම දෙසටත් වඩා තියුණු හැරීමකට මග පාදන හෙයිනි. යුක්රේනයේ රුසියාව සමග තථ්‍ය ලෙස යෙදී සිටින යුද්ධයේ සිට චීනය දක්වා විහිදෙන, ගෝලීය ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමේ  එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මිලිටරි ධාවනයේ කේන්ද්‍රීය භූමිකාවක් ඊශ්‍රායලය අත රැඳෙන හෙයින්, සමස්ත මැද පෙරදිගම ගිල ගන්නා යුද්ධයක තර්ජනය කිසිදා නොවූ තරම් සමීපස්ථ ව පවතී. 

ලෝකයේ යුදෙව්වන්ට තම අභයභූමිය සොයා ලෙස ගත හැකි වූ ජාතික රාජ්‍යයක සියොන්වාදී යුතෝපියාව, ඒ වෙනුවට කෙලින් ම ඇද වැටී ඇත්තේ, පොලිස් රාජ්‍ය ආකාරයේ පාලනය, ෆැසිස්ට්වාදයේ ඉස්මතුවීම, සිවිල් යුද්ධයේ පිපිරීම් සහ පලස්තීනුවන් හා ඊශ්‍රායලයේ අරාබි අසල්වැසියන් සමඟ යුද්ධය කරා ය. ඉදිරි මාවත පවතින්නේ ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා ඒකාබද්ධ අරගලයක් තුල යුදෙව් සහ පලස්තීන කම්කරු පන්තිය එක්සත් කිරීම තුලය.

අන්ත දක්ෂිනාංශික තර්ජනයට මුහුන දී සිටින යුදෙව් කම්කරුවන්, “තවත් කෙනෙකු වහල්භාවයට පත් කරන ජාතියක් තමන්ගේම දම්වැල් සාදයි” යන මාක්ස්ගේ ප්‍රකාශය ඔවුන්ගේ මුර පදය ලෙස ගත යුතුය. මැදපෙරදිග සහ අප්‍රිකාවේ සමස්ත පශ්චාත් යටත් විජිත ඉතිහාසය මෙන්ම පලස්තීන අධිකාරියේ ඉතිහාසයමත් පෙන්නුම් කර ඇති පරිදි, පලස්තීනුවන්ට ද පීඩිතභාවයෙන් විමුක්තිය සඳහා ජාතික ධනේශ්වර මාවතක් නොමැති බවට ගැඹුරු අවබෝධයක් වර්ධනය කර ගත යුතුය. 

Image
ලියොන් ට්‍රොට්ස්කි ප්‍රින්කිපෝ හි ඔහුගේ මේසය අසල

සැබෑ විප්ලවවාදී විකල්පයක් නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම් විය යුතුය. ට්‍රොට්ස්කි පැහැදිලි කලේ, ධනේශ්වරයේ නැගීම පැවැති පූර්ව කාලපරිච්ඡේදයක් හා බැඳුනු පීඩිත ජාතීන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා ජාතික කර්තව්‍යයන්, අධිරාජ්‍යවාදී යුගය තුල දී සාක්ෂාත් කර ගත හැක්කේ, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත ක්‍රියාත්මක වන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් මඟින් පමනක් බවයි. 

සියලු ජාතික බෙදීම් ඉක්මවා යමින් කම්කරුවන්, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහ අන්තර් ජාතික සංගතවල කොල්ලකාරී උත්සුකවලින් මිදී, මැද පෙරදිග එක්සත් සමාජවාදී රාජ්‍යයන් සඳහා සටන් කළ යුතුය. කලාපයේ සියලුම ජනයා සඳහා සමානාත්මතාවයේ අත්‍යවශ්‍ය මූලධර්මය මත ගොඩ නගා ගනු ඇති මෙය, අත්‍යවශ්‍ය සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා කලාපයේ අතිවිශාල ස්වභාවික සම්පත් භාවිතය මත පදනම්ව, සැමට ප්‍රජාතන්ත්‍රවාදී සහ සමෘද්ධිමත් අනාගතයක් සහතික කරනු ඇත. 

මේ සඳහා, සමාජවාදී විප්ලවවාදී නායකත්වයක් සැපයීමට ඊශ්‍රායලය, පලස්තීනය සහ කලාපය පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම අවශ්‍ය කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top