කොරියානු යුද්ධය අවසන් වී වසර 70 යි – 02 කොටස

බෙන් මැග්‍රාත් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 27 දින පල වූ ‘70 years since the end of the Korean War ( Part Two) යන බෙන් මැග්‍රාත් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

තුන් අවුරුදු කොරියානු යුද්ධයේ සටන් අවසන් කර කොරියානු අර්ධද්වීපයේ සීතල යුද විභේදනය මුල් බැස්සූ,  සටන් විරාමය අත්සන් කිරීම සනිටුහන් කරනා  කොටස් දෙකකින් යුතු ලිපියක දෙවන කොටසයි මේ. මෙහි පලමු කොටසට මෙතැනින් පිවිසෙන්න.

ආරම්භයේ සිටම, කොරියානු කම්කරු පන්තියේ හා ගොවීන්ගේ ප්‍රතිරෝධය තලා දැමීමට එක්සත් ජනපද ආක්‍රමනික හමුදාවන්ට සිදු විය. 1946 දෙවන භාගයේදී කම්කරුවන්ගේ කෝපය පුපුරා ගිය අතර,සැප්තැම්බර් 23දා බූසාන්හිදී , දුම්රිය සේවකයන් 8,000 ගෙන් පමන ආරම්භ වී, අනතුරුව 251,000 ක් පමන කම්කරුවන් සම්බන්ධ කරගෙන රට පුරා මහා වැඩ වර්ජනයක් පැතිර ගියේය. උද්ධමනය සහ ආහාර මිල ඉහල යාම මෙන්ම විරැකියාව ද අතෘප්තියට හේතු විය.

එක්සත් ජනපද ආක්‍රමනයට එරෙහි විරෝධය ද කම්කරුවන්ගේ කෝපයට හේතු විය. ඔක්තෝබර් 1 දා ඩේගු නගරයේ දී, විරෝධතාකරුවෙකු පොලිසිය විසින් මරා දමන ලද අතර, එනයින් මහජන විරෝධතා ඇවිලී ගොස්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජපන් ජාතිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කල, පොලිස් නිලධාරීන්, ඉඩම් හිමියන් සහ රජයේ නිලධාරීන්, ආදී මර්දනයේ සංකේත වලට, කම්කරුවන් හා ගොවීන්ගෙන් ප්‍රහාර එල්ල විය. එක්සත් ජනපද මිලිටරිය, තත්‍ය ලෙස දකුනු කොරියානු හමුදා බලකායක් වූ කොරියානු පොලිසිය සහ දක්ෂිනාංශික ත්‍රස්තවාදී සංවිධාන විසින් එය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමට පෙර නොවැම්බරයේ මැද භාගය දක්වා කැරැල්ල පැවතුනි.

එක්සත් ජනපද ආක්‍රමනයට සහ එය විසින් පිහිටුවන ලද, හිටපු ජපන් සහයෝගිතාකරුවන් ගෙන් පිරිහී ගිය  දක්ෂිනාංශික තන්ත‍්‍රයට එරෙහි සතුරුකම තවදුරටත් මහජන නැගිටීම් වලට තුඩු දුන්නේය. 1948 දී වෙනම මැතිවරන පැවැත්වීමේ එක්සත් ජනපද සැලසුම් වලට එරෙහිව මිනිසුන් පෙලපාලි ගිය ජෙජු දූපතේ මේවායින් විශාලතම එකක් සිදු විය. දිවයින මර්දනය කිරීමේ මිලිටරි මෙහෙයුමක් 1948 අප්‍රේල් 3 සිට 1949 මැයි දක්වා සිදු විය.  නිශ්චිත සංඛ්‍යාව පිලිබඳ ඇස්තමේන්තු  විවිධ වේ, නමුත් දස දහස් ගනනක් ඝාතනය විය. තවත් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන වධ හිංසා පමුනුවන ලද අතර, සියල්ලම සිදු වූයේ එක්සත් ජනපද හමුදා ආන්ඩුවේ සහාය ඇතිවය.

සමස්තයක් වශයෙන්, එක්සත් ජනපද ආක්‍රමනයට සහ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට විරුද්ධ වූ කොරියානුවන් 100,000 සිට 200,000 දක්වා ප්‍රමානයක් කොරියානු යුද්ධය ආරම්භ වීමටත් පෙරම ඝාතනය කරන ලදී. ඉතිහාසඥයින් ඇස්තමේන්තු කරන්නේ, යුද්ධයේ මුල් දිනවල වාමාංශික යැයි චෝදනා කරන ලද තවත් 200,000 මිනිසුන් ඝාතනය කර ඇති බවයි.

දකුනේ කම්කරු පන්තියේ හා ගොවීන්ගේ වටලෑම යටතේ ගැඹුරින් ජන අප්‍රිය වූ රී පාලන තන්ත‍්‍රය, සමස්ත කොරියාවේ නීත්‍යානුකූල ආන්ඩුව බව පවසමින් උතුර සමග යුද්ධයකට හඬ තලමින් සිටියේය. 1949 ගිම්හානය සහ සරත් සමය පුරාවටම දේශසීමාවේ බොහෝ ගැටුම් ඇති වූ අතර, ඒවා සියල්ලම පාහේ දකුන විසින් ආරම්භ කරන ලද්දේ විය. 1950 දක්වා සටන් දිගටම පැවතුනි.

රී යුද්ධයට සූදානම් වීම සඳහා හමුදාව ද පුලුල් කලේය. විශේෂයෙන්, ඔහු ජපානයේ ක්වාන්ටුන්ග් හමුදාවේ සහයෝගිතාකරුවන් ලෙස සේවය කල බොහෝ කොරියානු නිලධාරීන් ගෙන්වා ගත් අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කොරියානු නිදහස් සටන්කරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට වගකිව යුතු විය.

1950 ජූනි මාසයේදී උතුරු කොරියාව විසින් දකුනු කොරියාවට කරන ලද මිලිටරි මැදිහත්වීම ප්‍රකෝප කිරීමකින් තොරව සිදු වූ බවට එක්සත් ජනපදය කරන ප්‍රකාශය සරලවම බොරුවක්, සහ විකාරයකි.

ටෲමන්ට චීනය “අහිමි” වීම සහ ආපසු හැරීම

එක්සත් ජනපද වාඩිලෑමේ ම්ලේච්ඡත්වය, ආසියාවේ එහි ආධිපත්‍යය අහිමි වීම පිලිබඳ වොෂින්ටනයේ උත්සුකය සමග අත්වැල් බැඳගෙන ගියේය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහිව දැවැන්ත පහරක් වූ සහ ආසියාව පුරා දෝංකාර දුන් චීන විප්ලවය විසින් එම භීතිය බෙහෙවින් වැඩි කරන ලදී.

1949 දී, ස්ටැලින්වාදී චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) බලවේග සහ ජෙනරල්සිමෝ [උසස්තම ජනරාල් පදවිය] චියැං කායි-ෂෙක්ගේ පාලක කුඕමින්ටෑං (කේඑම්ටී) පක්ෂය අතර සිවිල් යුද්ධයෙහි අවසාන තීරනාත්මක අදියර කරා ලඟා වූ විට, ඇමරිකානු ගැති KMT තන්ත්‍රය බිඳී ගොස් චියැං තායිවානයට පලා ගියේය. එය ඔක්තෝබර් විප්ලවය මෙන් කම්කරු පන්තියේ කැරැල්ලක් නොව, 1949 ඔක්තෝම්බර් මාසයේදී මහජන චීන සමූහාන්ඩුව පිහිටුවීමෙන් අවසන් වූ මිලිටරි ජයග්‍රහනයකි.

Truman
හැරී ටෲමන්

ටෲමන් පරිපාලනයට “චීනය අහිමි වීම”  සීමා කිරීමේ (containment) ප්‍රතිපත්තියක සිට ආපසු හැරවීමේ (rollback) ප්‍රතිපත්තියකට  සහ එහි සහචරයින් සමඟ එක්ව 1950 දී කොරියාව ආක්‍රමනය කිරීමේ තීරනයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. එය ඊට පෙර, 1948 දෙසැම්බරයේ සෝවියට් සංගමය ඉවත් වීමෙන් පසුව, 1949 ජුනි මාසයේදී කොරියාවෙන් හමුදා ඉවත් කර ගන්නා ලදී.

ටෲමන් වොෂින්ටනයේ සැලකිය යුතු ප්‍රහාරයකට ලක් විය. කැලිෆෝනියාවේ රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු සහ චියැං කායි-ෂෙක් සහ චීන ජාතිකවාදීන්ගේ ප්‍රබල ආධාරකරුවෙකු වූ විලියම් නෝලන්ඩ් ටෲමන් හෙලා දුටුවේ, ටෲමන් පරිපාලනය සීසීපීයට එරෙහිව වඩාත් වැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම නිසා “ආසියාවේ කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත කිරීමට ආධාර, අනුබල දෙන සහ සහාය දෙන” බව පවසමිනි.  [1]

ටෲමන්ගේ ආන්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූයේ 1950 අප්‍රේල් මාසයේදී ජාතික ආරක්ෂක කවුන්සිලයේ පත්‍රිකාව-68 (NSC 68) සූදානම් කර අවසන් කිරීම මගින් සෝවියට් සංගමය සමග යුද්ධයට සූදානම් වීම සඳහා එක්සත් ජනපද මිලිටරිය දැවැන්ත ලෙස ගොඩ නැගීම සඳහා කැඳවුම් කරමිනි. එය විශේෂයෙන්ම දවසේ න්‍යාය පත්‍රයට ආපසු හැරවීම සහ සෝවියට් නැඹුරු ආන්ඩු පෙරලා දැමීම සඳහා මිලිටරිය භාවිතා කිරීම ඇතුලත් කලේ ,”ලෝක ආධිපත්‍යය සඳහා ක්‍රෙම්ලිනයේ තල්ලුව නතර කිරීමට සහ ආපසු හැරවීමට අදහස් කරන ස්ථිර ප්‍රතිපත්තියකට සහාය වීමට නිදහස් ලෝකය තුල සැලකිය යුතු හා ඉක්මනින් ශක්තියක් ගොඩනැගීම අවශ්‍ය බව පැහැදිලිය.” ලෙස සදහන් කරමිනි.[2]

යුද්ධය පුපුරා යයි

1950 ජූනි 25 වන දින කොරියාවේ පූර්න පරිමාන සටන් ඇවිලුනු විට, දකුනේ රීගේ පාලන තන්ත්‍රයට කිසිදු සහයෝගයක් නොමැති බව ඉක්මනින් පැහැදිලි විය. උතුරු කොරියානු හමුදාව වේගයෙන් දකුන කරා ගමන් කලේ, දකුනු කොරියානු හමුදාව යටපත් කරමින් අර්ධද්වීපයේ ගිනිකොන දිග කෙලවරට තල්ලු කර දමමිනි. 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලට මුවා වෙමින් ආක්‍රමනය කිරීම සඳහා තර්කනය ලෙස එක්සත් ජනපදය පසුගිය වසර පහ පුරා තමන් විසින් ඇවිලවූ යුද්ධය ගසාකෑවේය. වොෂින්ටනයේ ඉලක්කය වූයේ එහි විප්ලවය තලා දැමීමේ චේතනාවෙන් චීනය ආක්‍රමනය කිරීමේ පෙරවදන ලෙස උතුරු කොරියාව විනාශ කිරීමයි.

ඒ අතරම, සමස්ත අර්ධද්වීපයම එක්සත් ජනපදයට ගැනීමට ඉඩ දී සෑහීමකට පත් වීම සදහා  සෝවියට් සංගමය උතුරු කොරියාවෙන් සිය සහයෝගය ඉවත් කර ගනිමින් සිටියේය. ඇත්ත වශයෙන්ම, යුද්ධය ආරම්භ වීමට සති කිහිපයකට පෙර, කොරියාව එක්සත් කිරීමේ යුද්ධයකදී මොස්කව්හි සහය අපේක්ෂා කරමින් සිටි උතුරු කොරියානු නායක කිම් ඉල්-සුන්ට ස්ටාලින්  පැවසුවේ, “ඔබව නැතිබංගස්ථාන කරනු ලැබූවත්, මම ඇඟිල්ලක්වත් ඔසවන්නේ නැහැ.”යනුවෙනි.[3]

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ කොරියාවට මිලිටරි හමුදා යෙදවීම පිලිබඳ ඡන්ද විමසීමේදී, එම යෝජනා නිෂේධනය කල හැකි බලය හිමි  සෝවියට් සංගමය ඊට නොපැමිනියේය. මේ සඳහා , කඩතුරාව වූයේ, මහජන චීන සමූහාන්ඩුව ආරක්ෂක කවුන්සිලයේ අසුන් ගැනීම වෙනුවට, පැරදුනු කුවෝමින්ටැන්ග් හමුදාවන් විසින් තායිවානය මත පිහිටුවන ලද චීන සමූහාන්ඩුව – තායිවානය මත පිහිටුවන ලද පාලන තන්ත්‍රය — අසුන් ගැන්වීමට එරෙහිව වූ සෝවියට් වර්ජනයයි.

එක්සත් ජනපදය 1950 සැප්තැම්බර් 15 වන දින ඉන්චියොන් වෙත ආක්‍රමනය කර යුද්ධයේ දිශාව වෙනස් කලේය. ඔක්තෝබර් 7 වන දින, ඇමරිකානු හමුදා උතුරු කොරියානු හමුදාව 38 වන සමාන්තරය හරහා පසුපසට තල්ලු කර, පසුව චීනය ආක්‍රමනය කිරීමේ පැහැදිලි තර්ජනයක් ඇතිව කොරියාවේ උතුරු මායිම දිගේ දිවෙන යාලු ගඟ දෙසට ගමන් කලහ. වසරකට අඩු වයසැති මහජන චීන සමූහාන්ඩුව මාරාන්තික තර්ජනයකට ලක්ව ඇති බව දැන සිටි CCP ය උතුර ආරක්ෂා කිරීම සඳහා කොරියාවට ඇතුලු වූ මහජන ස්වේච්ඡා හමුදාවට මහජන සහයෝගය බලමුලු ගැන්වීමට සමත් විය.

MacArtgur
ජෙනරල් ඩග්ලස් මැක්ආතර්, එක්සත් ජාතීන්ගේ අනදෙන මධ්‍යස්ථානයේප්‍රධාන අනදෙන නිලධාරී  (මැද) සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 1950 සැප්තැම්බර් 15 වන දින USS මවුන්ට් මැකින්ලි වෙතින් ඉන්චියොන් වෙත ෂෙල් ප්‍රහාර එල්ල කිරීම නිරීක්ෂනය කරයි. [ඡායාරූපය: විකිපීඩියා]

එක්සත් ජනපද සහ චීන හමුදා 1950 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 13 දක්වා පැවති චැංජින් විලෙහි (එහි ජපන් නාමය වන චොසින් ජලාශය  ලෙස හැඳින්වෙන) සටනේදී හමු විය. එහි ප්‍රතිඵලය වූයේ , එක්සත් ජනපද හමුදාව උතුරු කොරියාවේ හුංග්නම් වරාය නගරයට ආපසු තල්ලු කර මුහුදෙන් පසුබැසීමට  සිදු වූ  දැවැන්ත පරාජයක් අත් වීමයි. මෙම පරාජය කොරියාවේ පමනක් නොව, ආපසු හැරීමේ සමස්ත මූලෝපාය සඳහාම එක්සත් ජනපද සැලසුම් බරපතල ලෙස කඩාකප්පල් කලේය. එක්සත් ජනපද සංස්ථාපිතයේ කොටස් ඊට ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික යුද්ධයක් ඉල්ලා සිටියේය.

එවකට එක්සත් ජනපද හමුදාවන්ට නායකත්වය දුන් ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් තමාට අභිමත පරිදි පරමානු බෝම්බ හෙලීමට අවසරය ඉල්ලා සිටියේය. චීන ජාතිකවාදී හමුදා චීන ගොඩබිමට ගොඩබස්වන අතරතුර “පරමානු බෝම්බ 30 ත් 50 ත් අතර ප්‍රමානයක්… මැන්චූරියාවේ ගෙල හරහා  හෙලීමට” ඔහු අදහස් කල බව පසුව ඔහු ප්‍රකාශ කරනු ලැබීය.[4]

මේවා නිකම්ම පිස්සෙකුගේ දෙඩවීමක් නොවේ. ටෲමන් පරිපාලනය උතුරු කොරියාව සහ චීනය යන මත පරමානු අවි භාවිතා කිරීම යුද්ධය අතරතුර අවස්ථා ගනනාවකදී  සලකා බැලූ අතර, එය සත්‍ය වශයෙන්ම 1951 අප්‍රේල් මාසයේදී එය කිරීමට ආසන්නයටම ආ  බව වාර්තා වේ. එකලස් නොකල බෝම්බ ඔකිනාවා වෙත ප්‍රවාහනය කරන ලද අතර, අප්‍රේල් 6 වෙනිදා,   බෝම්බ වල පාලනය ජනාධිපතිගේ  සිට හමුදාවට  මාරු කිරීම ටෲමන්   අනුමත කලේය ; නමුත් ඇත්ත වශයෙන් ප්‍රහාරයක් සිදු නොවීය.

කෙසේ වෙතත්, වොෂින්ටනයට, 1949 අගෝස්තු මාසයේදී තමන්ගේම පරමානු බෝම්බය සාර්ථකව අත්හදා බැලූ සෝවියට් සංගමය සමග න්‍යෂ්ටික යුද්ධයක අවදානමට ලක් වීමට අවශ්‍ය නොවීය. ස්ටාලින් යුද්ධයට පෙර උතුරට ලබා දුන් සහයෝගය සාරාර්ථයෙන් ඉවත් කර ගෙන තිබුනද, එක්සත් ජනපදය කොරියාව ආක්‍රමනය කිරීමේ වූ තීව්‍රතාවයෙන් ඔහු කම්පනයට පත් විය. ආසියාවෙහි , එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර වැදගත් බෆරයක් ලෙස සැලකෙන, චීනය , එක්සත් ජනපදය විසින්  පෙරලා නොදැමීම සහතික කිරීම සඳහා ඔහු උතුරු කොරියානු සහ චීන හමුදාවන්ට ආධාර සහ ආයුධ සැපයීය. මෙයට ප්‍රහාරක ජෙට් යානා සහ නියමුවන්ගේ දායකත්වය ඇතුලත් විය.

එක්සත් ජනපදය සහ දකුනු කොරියානු කුරිරු දාමරිකකම් 

පරමානු බෝම්බ හෙලා නොතිබුනද, එක්සත් ජනපදයේ සහ දකුනු කොරියානු හමුදාවන්ගේ කුරිරුකම් සාමාන්‍ය දෙයක් විය. පිරිමින්ට, කාන්තාවන්ට සහ ලමයින්ට—යුධ සිරකරුවන්ට මෙන්ම සිවිල් වැසියන්ටද—බොහෝවිට වෙඩි තැබීමට පෙර තමන්ගේම මිනී වල හෑරීමට බල කෙරුනි. මෙම ඝාතන බොහොමයක් දකුනු කොරියානු හමුදා විසින් සිදු කරන ලද්දේ එක්සත් ජනපද හමුදා බලා සිටියදී වන අතර, ඔවුන් තම සගයාට ජනගහනය ත්‍රස්ත කිරීමේ  පිලිකුල් සහගත  වැඩ කිරීමට ඉඩ දීමෙන් සෑහීමකට පත්විය.

USTanks
1950 සැප්තැම්බර් 26, කොරියාවේ සෝල් නගරයේ තිබූ US M26 පර්ෂිං යුධ ටැංකි. [ඡායාරූපය: එක්සත් ජනපද ජාතික ලේඛනාගාර සහ වාර්තා පරිපාලනය]

වොෂින්ටනය සහ සෝල් විසින් සහ පසුව දකුනු කොරියානු ආන්ඩු විසින් වසන් කරන ලද බැවින් ඝාතනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව පිලිබඳ නිවැරදි සංඛ්‍යා නොදනී. කෙසේ වෙතත්, බොහෝ සමූලඝාතන හෙලිදරව් වී ඇත. එක් උදාහරනයක් ලෙස, දකුනු කොරියානු සොල්දාදුවන් 1950 ජූලි 4-6 අතර කාලය තුල ඩේජියොන් (Daejeon) හිදී දේශපාලන සිරකරුවන් 7,000ක් ඝාතනය කලේය. තවත් සාපේක්ෂ වශයෙන් වඩාත් ප්‍රසිද්ධ සමූලඝාතනයකදී, එක්සත් ජනපද සොල්දාදුවන් එම මාසයේ දී ම ඩේජියොන් අසල නොගුන්රි  (Nogeun-ri) හිදී සරනාගතයින් 400ක් පමන ඝාතනය කලහ. 

මෙම සාහසික ක්‍රියා බොහොමයක්  මාධ්‍යවේදීන් විසින් වාර්තා කරන ලද අතර, ඔවුන් සිදුකල යුද ආවරනය  කිරීම ජාත්‍යන්තර කෝපය ජනනය කල අතර ගැටුම පිලිබඳ එක්සත් ජනපදයේ බොරු හෙලිදරව් විය. 1951 ජනවාරියේදී, වොෂින්ටනය ඊට ප්‍රතිචාර දැක්වූයේ ඇමරිකානු මාධ්‍යවේදීන් මිලිටරියේ අධිකරන බලය යටතට පත් කිරීමෙනි. එයින් යම් අහිතකර ආවරනයක් අවහිර කර වාරනය කරන ලදී.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රතිචාරය

යුද්ධයේ ආරම්භයේ සිටම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය යුද්ධයට විරුද්ධ වූ අතර කොරියාවෙන් එක්සත් ජනපද සහ මිත්‍ර හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායක ජේම්ස් පී. කැනන්, 1950 ජූලි මාසයේදී ටෲමන් පරිපාලනයට සහ කොංග්‍රසයට ආවේගශීලී විවෘත ලිපියක් ලිවීය, එහි ඔහු ඔවුන්ව “නීචයන් රැලක්” සහ “ මනුෂ්‍ය වර්ගයාට  ද්‍රෝහීන්” වූ පිරිසක් ලෙස හෙලා දුටුවේය. කැනන් තවදුරටත් සදහන් කලේ :

“කොරියාවේ ඇමරිකානු මැදිහත්වීම ඉන්දු-චීනයට එරෙහි ප්‍රංශ යුද්ධයෙන් හෝ ඉන්දුනීසියාවට එරෙහි ලන්දේසි ප්‍රහාරයට වඩා වෙනස් නොවන කුරිරු අධිරාජ්‍යවාදී ආක්‍රමනයකි. ඇමරිකන් පිරිමි ලමුන් සැතපුම් 10,000ක් ඈතට යවනු ලබන්නේ මිනී මැරීමට හා මැරුම් කෑමට මිස  කොරියානු ජනතාව නිදහස් කර ගැනීමට නොව, ඔවුන්ව ජයගෙන යටත් කරගැනීමටය. එය සාහසිකය . එය බිහිසුනු ය.

රී රූකඩ තන්ත‍්‍රයේ මිල දී ගත් සහ ගෙවන ලද ඒජන්තයින් කිහිප දෙනෙකු හැරෙන්ට සමස්ත කොරියානු ජනතාවම අධිරාජ්‍යවාදී ආක්‍රමනිකයන්ට එරෙහිව සටන් කරමින් සිටිති. කොරියාවෙන් පිටවන පුවත්පත් මගින්  ‘කාන්දු වීමේ’  උපක්‍රම (සතුරාගේ ප්‍රදේශයට රහසේ ඇතුලු වීම), ‘ගරිල්ලන්ගේ’ ක්‍රියාකාරකම් වැඩි වීම, ‘වෙනස්වනසුලු’ සටන් පෙරමුන, ස්වදේශිකයන්ගේ’ ‘බුම්මා ගත් භාවය’ සහ ‘අවිශ්වසනීය බව’ ගැන වඩ වඩාත් පැමිනිලි කරන්නේ එබැවිනි.”

“ජූනි 25 දා කොරියාවේ සිදුවූ පිපිරීම, සිදුවීම් සනාථ කර ඇති පරිදි, තම රට එක්සත් කිරීමට, විදේශීය ආධිපත්‍යයෙන් මිදීමට සහ ඔවුන්ගේ සම්පූර්න ජාතික නිදහස දිනා ගැනීමට කොරියානුවන්ගේම ගැඹුරු ආශාව ප්‍රකාශ විය. ක්‍රෙම්ලිනය තමන්ගේම ප්‍රතිගාමී අරමුනු සඳහා මෙම අරගලයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන අතර වොෂින්ටනය සමඟ තවත් ගනුදෙනුවක් ලබා ගත හැකි නම් එය හෙට විකුනනු ඇති බව සත්‍යයකි. එහෙත් එම අරගලයම ගතහොත් ඊටකොරියානු ජනතාවගේ අතිමහත් සහ මුලු හදින්ම වූ  සහයෝගය ලැබේ. එය බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව ආසියාව පුරා මිලියන සිය ගනනක් යටත් විජිත ජනයාගේ බලවත් ලෙස කැරලිකාරීව නැගිටීමේ කොටසකි. මෙය සැබෑ සත්‍යයයි, සැබෑ ප්‍රශ්නයයි. යටත් විජිත වහලුන්ට තවදුරටත් වහලුන් වීමට අවශ්‍ය නැත.[5]”

ඒ අතරම, සෝවියට් සංගමය තවදුරටත් කම්කරු රාජ්‍යයක් නොවන බව පවසමින් අධිරාජ්‍යවාදයට එරෙහි රුසියානු විප්ලවයේ ජයග්‍රහනය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඉතිරි වූ ජයග්‍රහන ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කල, 1940දී එස්ඩබ්ලිව්පීයෙන් හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙන් කැඩී ගිය මැක්ස් ෂැට්මන් සහ අනෙක් අය පිලිබඳව සිත් කාවදින  හෙලිදරව්වක් කොරියානු යුද්ධය මගින් සැපයීය. 1939-40 දේශපාලන අරගලයේ දී පිහිටුවන ලද එස්ඩබ්ලිව්පී නායකත්වය සමග ලියොන් ට්‍රොට්ස්කි පැවසුවේ සෝවියට් සංගමය රාජ්‍ය ධනවාදය ලෙස ප්‍රකාශ කල අය අධිරාජ්‍යවාදයට අනුගත වෙමින් සිටින බවයි.

දශකයකට පසුව ෂැට්මන් සහ ඔහුගේ කම්කරු පක්ෂය, ස්ටැලින්වාදී ඒකාධිපතිවාදයට එරෙහිව “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කිරීම සදහා  බව ප්‍රකාශ කරමින්, එක්සත් ජනපද හමුදාව විසින් උතුරු කොරියානු හා චීන  හමුදා ස්ථාන වෙත හෙලීම සඳහා “සමාජවාදී” පත්‍රිකා ලියා, ඔවුන්ට යටත් වන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද කොරියාව ආක්‍රමනයට විවෘතව සහාය දුන්හ. 

සටන් විරාම සාකච්ඡා

එක්සත් ජනපදය උතුරෙන් පසුබැසීමෙන් පසුව,  තවත් වසර දෙකහමාරක් යනතුරු යුද්ධය ඇවිල ගියේය . යුද්ධයේ  පෙරටු බල ඇනි බොහෝ දුරට 38 වැනි සමාන්තරය වටා ස්ථානගත වී තිබුනි .  එජා හි සෝවියට් නියෝජිත ඇඩම් මලික් මූලිකත්වයෙන් , 1951 ජූලි 10 වන දින පැන්මුන්ජිම් ( Panmunjeom) හිදී සටන් විරාම සාකච්ඡා ආරම්භ විය. සමහර ඉතිහාසඥයින් තර්ක කර ඇත්තේ එම වසරේ යුද්ධය අවසන් විය හැකිව තිබූ  නමුත් ගැටුම දිගටම පවත්වා ගැනීමට එක්සත් ජනපදයට ස්වාර්ථකාමී විශේෂ උනන්දුවක්  තිබූ බවයි. එක්සත් ජනපදයේ මැකාතිවාදී  “මායාකාරියන් දඩයම් කිරීමේ” (කොමියුනිස්ට් හා සමාජවාදීන් දඩයම් කිරීමේ) කොන්දේසි යටතේ, ධනවාදයට දේශපාලන විරෝධය මත කොමියුනිස්ට් විරෝධීන්ගේ ප්‍රහාර සහ දේශීය හෝ විදේශයන්හි කම්කරු ව්‍යාපාර මර්දනය කිරීම සාධාරනීකරනය කරමින් යුද්ධය නිශ්චිත අරමුනක් සඳහා සේවය කලේය.

උතුරු ප්‍රදේශයේ ජනගහනයෙන් වැඩි පිරිසක් නොනවතින ගුවන් ප්‍රහාර හේතුවෙන් ගුහාවල ජීවත් වෙමින් දිවි ගලවා ගත්හ. යුද්ධයේ අවසන් සතිවලදී, උතුරේ ආහාර නිෂ්පාදනයෙන් සියයට 75ක් සඳහා ජලය සපයන වාරි වේලිවලට පවා එක්සත් ජනපදය බෝම්බ හෙලීය.ඉතිහාසඥ සු-ක්‍යොං හ්වෑන්ග්, ඇයගේ “කොරියාවෙ ඛේදජනක යුද්ධය” (Korea’s Grievous War) නම් ග්‍රන්ථයේ  මෙසේ ලියයි, “කොරියාවේ ගුවන් යුද්ධය භීතිය පිලිබඳ මිනිස් හැඟීම් ගසා කෑවේය. ඇමරිකානු ප්‍රහාරක-බෝම්බ දමන ගුවන් යානා  කරුවන් උතුරු කොරියාවේ නගර සහ ගම්වලට ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවල නිරතුරුවම යෙදුනේ  දේශීය ජනතාව තුල අසමසම භීතිය ඇති කිරීමට ප්‍රතිඥා දෙමිනි.”[6]

එක්සත් ජනපදය තුල, යුද්ධය පිලිබඳ මහජන අතෘප්තිය වර්ධනය වෙමින් තිබින. 1953 ජනවාරි මාසයේදී ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර් බලයට පැමිනියේ යුද්ධය අවසන් කරන බවට ප්‍රතිඥා දෙමිනි. 1953 ජූලි 27 වන දින සටන් විරාමයත් සමඟ සටන් නතර විය. එක්සත් ජනපදය අර්ධද්වීපය විනාශ කරමින් කොරියානු ජනගහනයට එරෙහිව ජන සංහාරක යුද්ධයක් සිදුකර තිබුනි. මිලියන 4 ත් 5 ත් අතර ජනතාවක් මිය ගිය අතර, ඔවුන්ගෙන් අඩක් පමන සිවිල් වැසියන් විය. සමස්තයක් වශයෙන් ගත් කල, එක්සත් ජනපදය විසින් කොරියාවට බෝම්බ ටොන් 635,000 ක් සහ නපාම් ටොන් 32,000 ක් හෙලූ අතර, එය ඉතිහාසයේ වැඩිම බෝම්බ හෙලන ලද රටවලින් එකක් බවට පත් විය. ඊට විපරීතව, එක්සත් ජනපදය දෙවන ලෝක සංග්‍රාමයේදී පැසිෆික් රංග භූමිය පුරා හෙලනු ලැබුවේ බෝම්බ ටොන් 500,000 ක් පමනි .

නිගමනය

සටන් විරාමයෙන් පසුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දිගටම දකුනු කොරියාව සැලකුවේ, උතුරු කොරියාවට පමනක් නොව චීනයට සහ සෝවියට් සංගමයට එරෙහි මෙහෙයුම්වල තීරනාත්මක පදනමක් ලෙස ය. එය ඒකාධිපති රී පාලන තන්ත‍්‍රයට මුක්කු ගැසූ අතර පසුව 1961 දී පාර්ක් චුන්ග්-හී යටතේ බලය අල්ලා ගත් මිලිටරි ආඥාදායකත්වයට දශක තුනක් තිස්සේ මුක්කු ගැසීය. ලාභ ශ්‍රමය සූරාකෑම සඳහා දකුනු කොරියාවේ කාර්මික පදනමක් නිර්මානය කිරීමට එක්සත් ජනපදය උදව් කල අතර, ඒ සමගම උතුරු කොරියාව  රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික හුදකලාව පවත්වාගෙන ගියේය.

1980 ගනන්වල වැඩෙන වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් මධ්‍යයේ, පාලන තන්ත්‍රය විවෘත මැතිවරනයකට සහ ආඥාදායකත්වයට එරෙහිව ධනේශ්වර ලිබරල් විරුද්ධත්වය නීතිගත කිරීමට මග පාදන සීමිත ප්‍රතිසංස්කරන සිදු කලේය. දකුනු කොරියාව දැන් ජවසම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක් බවට වන සියලු ප්‍රකාශයන් තිබියදී, දුෂ්ට කොමියුනිස්ට් විරෝධයේ ගිලී සිටින ආඥාදායකත්වයේ රාජ්‍ය යාන්ත්‍රනයක්, විශේෂයෙන් මිලිටරිය, පොලිසිය සහ බුද්ධි අංශ, බොහෝ දුරට ක්‍රියාත්මක වේ. වත්මන් දකුනු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල්ට පිටුබලය දෙන දක්ෂිනාංශික මහජන බලය පක්ෂයේ (PPP), මූලාරම්භය පාර්ක් ආඥාදායකත්වයේ පක්ෂය වෙත දිව යයි .

නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍ර බිඳවැටීම, 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ චීනය කොමියුනිස්ට් පක්ෂය සහ එහි සගයන් වන ඉන්දු-චිනය විසින් වෙලඳපොල ගැති ප්‍රතිව්‍යුහගත කිරීම විවෘතව වැලඳ ගැනීමත් සමග,  ස්ටැලින්වාදයේ අර්බුදයෙන් සහ ධනේශ්වර පුනස්ථාපනය වෙත හැරීමෙන් ඉක්බිතිව උතුරු කොරියාව තව තවත් හුදකලා වී ඇති ඇත. උතුරු කොරියාව ගැඹුරු ආර්ථික අර්බුදයකට ඇද දමමින් විශේෂයෙන් සෝවියට් සංගමයෙන් ලැබනු ආර්ථික සහයෝගය ඉක්මනින් සිඳී ගියේය.

ධනේශ්වර පුනරුත්ථාපනය ප්‍රතික්ෂේප කරනවා වෙනුවට, නරක අතට හැරෙන ආර්ථික අර්බුදයට මුහුන දීමට උතුරු කොරියානු පාලන තන්ත‍්‍රය, බොහෝ දුරට හිස්ව පවතින නිදහස් වෙලඳ කලාප මාලාවක් පවා පිහිටුවීම මගින් විදේශ ආයෝජන දිරිමත් කිරීමට විශාල වෙහෙසක් දරා ඇත. අතිශය ලාභ උතුරු කොරියානු ශ්‍රමය ආකර්ශනීය වන නමුත්, එක්සත් ජනපදය විසින් රටෙහි ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික අවහිර කිරීම් පවත්වා ගෙන යමින් හා ශක්තිමත් කර ඇති තත්වයන් තුල , දකුනු කොරියාවේද ඇතුලු ගෝලීය සංගත  ආයෝජනය කිරීමට මැලිකමක් දක්වයි.

AirForce
2022 ජූලි 12 වැනි දින දකුනු කොරියාවේ වොන්ජු ගුවන් කඳවුරට ඔබ්බෙන් බඩි බලඝනය අතරතුර ගුවන් හමුදාවේ A-10 Thunderbolt II යානා දෙකක් කොරියානු ගුවන් යානයක් සමඟ පියාසර කරයි. [ඡායාරූපය: එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව]

ඊසානදිග ආසියාවේ එක්සත් ජනපද මූලෝපාය සඳහා කොරියාව අතිශය වැදගත් වේ. බෙදී ගිය කොරියාවක් සහ ඊනියා උතුරු කොරියානු “තර්ජනය” ජපානයේ සහ දකුනු කොරියාවේ කඳවුරු මත විශාල ඇමරිකානු මිලිටරි පැවැත්මක් සිදු කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් කඩතුරාවක් සපයයි. 1990 ගනන්වලදී, දකුනු කොරියානු ජනාධිපති කිම් ඩේ-ජුංගේ පරිපාලනය උතුරු කොරියාව විදේශ ආයෝජන සඳහා විවෘත කිරීමට සහ කොරියානු අර්ධද්වීපය හරහා ප්‍රවාහන, සන්නිවේදන සහ නල මාර්ග ඉදිකිරීම සඳහා ඔහුගේ සන්ෂයින් ප්‍රතිපත්තිය ඉදිරිපත් කරනු ලැබීය.

සන්ෂයින් ප්‍රතිපත්තිය සැමවිටම වොෂින්ටනයේ කොන්දේසි වලට යටත් විය. ක්ලින්ටන් පරිපාලනය තාවකාලිකව එම ප්‍රවේශය වැලඳ ගත් අතර, උතුරු කොරියාව එහි න්‍යෂ්ටික වැඩසටහන සහ පහසුකම් ඒකපාර්ශ්විකව බිඳ ගලවා දැමිය යුතු බව අවධාරනය කලේය.ඒ වෙනුවට ඉදිරිපත් කරන්න ලදේ සාම සාකච්ඡා පිලිබඳ නොපැහැදිලි පොරොන්දු සහ දශක ගනනාවක හුදකලාව අවසන් කිරීම පමනි. කෙසේ වෙතත්, 2001 දී බලයට පත් වූ බුෂ් පරිපාලනය සන්ෂයින් ප්‍රතිපත්තිය සඵල ලෙස කඩාකප්පල් කල අතර, උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ගබඩාවක් වර්ධනය කිරීමේ මාවතට තල්ලු කලේය. වොෂින්ටනය ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ ජනාධිපති ඔබාමා, ට්‍රම්ප් සහ බිඩෙන් විසින් නඩත්තු කර ශක්තිමත් කරන ලද උතුරු කොරියානු ආර්ථිකය අබලන් වන ආර්ථික සම්බාධක පැනවිම මගිනි. 

දැනටමත් යුක්‍රේනයේ රුසියාව සමග යුද්ධයක යෙදී සිටින එක්සත් ජනපද අධිරාජ්‍යවාදය  තම ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමට මංමුලා සහගතව සහ අවදානම නොසලකා උත්සාහ කරන බැවින්, අද දකුනු කොරියාව, චීනය සමග ඉදිරියෙහි ලඹ දෙන  යුද්ධයක පෙරමුනේ සිටී. දකුනු කොරියාවේ එක්සත් ජනපද කඳවුරු චීනයට සහ රුසියාවට එරෙහි යුද්ධය සඳහා මූලෝපායිකව පිහිටුවා  ඇත. අද දක්වාම, වොෂින්ටනය යුද්ධයක් ඇති වුවහොත් දකුනු කොරියාවේ දැවැන්ත මිලිටරිය මත මෙහෙයුම් පාලනය ලබා ගනු ඇත.

තවද, උතුරු කොරියානු තර්ජනය නිදහසට කරුනක් ලෙස භාවිතා කරමින්, එක්සත් ජනපදය විසින් දකුනු කොරියාව සහ ජපානය ආසියාවේ සිය බැලස්ටික් මිසයිල නාශක පද්ධතියට ඒකාබද්ධ කර ඇත. එය චීනය සමග න්‍යෂ්ටික යුද්ධය සඳහා එහි මූලෝපායික සැලසුම්වල අනිවාර්ය අංගයක් වන තාඩ්  (Terminal High Altitude Area Defense -THAAD) බැටරියක් දකුනු කොරියාවේ  ස්ථානගත කර ඇත.

පසුගිය දශකය පුරා, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, කොරියානු අර්ධද්වීපයේ ආතතීන් උත්සන්න කරමින්, නැගෙනහිර හා දකුනු චීන මුහුදේ භෞමික ආරවුල් අවුස්සමින්, ඊසාන දිග ආසියාව පුපුරන සුලු තත්ත්වයකට පත් කර ඇත. රුසියාවට එරෙහි සිය යුද්ධය තීව‍්‍ර කරද්දීම, තායිවාන් දිවයින චීනයේ කොටසක් ලෙස පිලිගන්නා -චීන ​​රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල පදනම වන-  ‘එක චීනයක්’ එක්සත් ජනපද ප්‍රතිපත්තිය   ප්‍රශ්න කිරීම මගින් එක්සත් ජනපදය හිතාමතාම තායිවානයට පහර දීමට චීනය පොලඹවයි.

කොරියානු යුද්ධයේ පාඩම් අමතක නොකල යුතුය. එය මනුෂ්‍ය ජීවිතය හා දුක් විඳීම මුලුමනින්ම නොසලකා හරිමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිය ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා ලුහු බැදීමේදී ඇති අනුකම්පා විරහිත භාවය පිලිබඳ සිත්කාවදින ප්‍රදර්ශනයකි. දැනටමත් රුසියාව සම්බන්ධ කර ඇති සහ චීනය ඉලක්ක කර සිටින  නව ලෝක යුද්ධයක් සඳහා එක්සත් ජනපදය වේදිකාව සකසා ඇත. න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර එවැනි ගැටුමකට  සාපේක්ෂව කොරියානු යුද්ධයේ බිහිසුනු බව සුලුවෙන් දිස් වනු ඇත.

න්‍යෂ්ටික අවසන් මහා සටන නැවැත්විය හැක, නැවැත්විය යුතුය. එසේ කල හැකි එකම සමාජ බලවේගය  වන ජාත්‍යන්තර කම්කරු පන්තිය, සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත  ධනවාදය සහ ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙසට ලෝකය බංකොලොත් ලෙස බෙදී තිබීම  අහෝසි කිරීමෙන් පමනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනක් එම දේශපාලන ඉදිරිදර්ශනය සදහා සටන් වදී.

සමාප්තයි.

  1. Quoted in: Robert Mann, A Grand Delusion: America’s Descent into Vietnam, Basic Books 2001, p. 26
  2. United States Objectives and Programs for National Security (National Security Council Paper-68), URL: https://info.publicintelligence.net/US-NSC-68.pdf.
  3. George Herring, The American Century and Beyond: U.S. Foreign Relations, 1893-2015, Oxford University Press 2017, p. 340.
  4. Quoted in: Cumings, The Origins of the Korean War, Volume 2: The Roaring of the Cataract 1947-1950, Yuksabipyungsa 2002, p. 750.
  5. James P. Cannon, Cannon to Truman in 1950: US out of Korea, URL: https://www.themilitant.com/2013/7712/771257.html
  6. Su-kyoung Hwang, Korea’s Grievous War, University of Pennsylvania Press 2016, p. 139.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top