ගාසා තීරයේ ඊශ්‍රායල සමූල ඝාතනයට එරෙහි ගෝලීය  විරෝධතා  කම්කරු  පන්තිය  වෙත හැරිය යුතුයි

ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ ප්‍රකාශය

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2023 ඔක්තෝබර් 23 දින පල වූ ‘The global protests against Israel’s genocide in Gaza must turn to the working class‘ යන ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ ඉදිරිදර්ශන ලියවිල්ලේ සිංහල පරිවර්තනය යි.

theSocialist.LK කර්තෘ මන්ඩලය හා කමිටුව ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ  මන්ඩලයේ මෙම ප්‍රකාශය ඒ ආකාරයෙන්ම සම්මත කරන අතර, අප පාඨකයන්ට ආරාධනා කරන්නේ එය අපගේම ප්‍රකාශයක් ලෙස පිලිගන්නා ලෙසත් ඒ අනුව දේශපාලනිකව බලමුලු ගැන්වෙන ලෙසත්ය.

Struggles
2023 ඔක්තෝම්බර් 21 සෙනසුරාදා, වොෂින්ටනයේ දී‍, ඊශ්‍රායලය පලස්තීනුවන් සමූලඝාතනය කිරීමට එරෙහිව පැවති පෙලපාලියකදී මිනිසුන් එක්සත් ජනපද අග නගරය දෙසට ගමන් කරති. (AP ඡායාරූපය/Andrew Harnik)

ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව උත්සන්න වන ඊශ්‍රායල ජන සංහාරය ලොව පුරා ජනාවාස වූ සෑම මහාද්වීපයකම මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ කරගනිමින් දැවැන්ත පෙලපාලි ඇවිලවීය.

ඊශ්‍රායලයේ නෙතන්යාහු ආන්ඩුව විසින් ගෙන යන බිහිසුණු අපරාධවලට එරෙහි දැවැන්ත විරෝධයේ ප්‍රකාශනය ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම පෙලපාලි සාදරයෙන් පිළිගනී. පාලක පංති න් තම යුද්ධයේ සහ දේශපාලන ප්‍රතිගාමිත්වයේ ප්‍රතිපත්ති හරහා සාර්ථක ලෙස ඉදිරියට තල්ලු කළ දිගු දේශපාලන එකතැන පල්වීමේ කාලපරිච්ඡේදයක් අවසන් වෙමින් තිබේ.

සෙනසුරාදා , එක්සත් රාජධානියේ,  ලන්ඩනයේ පැවති රැලියකට 300,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර, එය 2003 ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසු විශාලතම යුද විරෝධී උද්ඝෝෂනය සහ ලන්ඩන් ඉතිහාසයේ පැවති විශාලතම උද්ඝෝෂන වලින් එකකි. නිව් යෝර්ක්, චිකාගෝ, ලොස් ඇන්ජලීස් සහ වොෂින්ටන් ඩීසී හි දස දහස් ගණනක් පෙළපාලි ගිය අතර ,ඉරිදා , පැරිස්  ප්ලේස් ඩි ලා රිපබ්ලික් හි 15,000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් රැළියක් පැවැත්වුණි.  ජර්මන් නගර වන බර්ලින්, කොලෝන්, ෆ්‍රැන්ක්ෆර්ට්, හැනෝවර්, කාල්ස්රූ, මන්ස්ටර් සහ ස්ටුට්ගාට් යන  නගරවල දහස් ගණන් ජනයා පෙළපාලි ගිය අතර 10,000 ක් ඩසල්ඩෝෆ් හි විරෝධතා දැක්වූහ. ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ තවත් බොහෝ රටවල මහජන උද්ඝෝෂන පැවැත්විණි.

මැදපෙරදිග පුරා විරෝධතා පැතිර යමින් තිබේ. එල්-සිසි ආඥාදායකත්වයේ අණ නොතකා, සෙනසුරාදා,  2011 මහජන උද්ඝෝෂන වල කේන්ද්‍රස්ථානය වූ ඊජිප්තුවේ,තරිර් චතුරශ්‍රය දහස් ගණන් ජනයාගේ සහභාගීත්වයෙන්   පිරී ගියේය. පසුගිය සතිය පුරාම , ලෙබනනය, තුර්කිය, ඉරාකය, ජෝර්දානය, යේමනය, මොරොක්කෝව, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල උද්ඝෝෂන පැවැත්විණි. පකිස්ථානයේ සහ ඇල්ජියර්ස් හි මිලියනයකට අධික ජනතාවකගේ විරෝධතා ද, මොරොක්කෝවේ රබාත් හි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ද විරෝධතා පවතී.

මෙම විරෝධතා ලොව පුරා විවිධ ජාතීන්ට අයත් ජනයා එක්සත් කර ඇත. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ, ජන සංහාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල ආන්ඩුව හෙළා දකින යුදෙව්වන් විශාල සංඛ්‍යාවක් උද්ඝෝෂන වලට සම්බන්ධ වී ඇත. එක්සත් ජනපදය, යුරෝපය සහ මැද පෙරදිග පුරා තරුණයින් විරෝධතා සහ පාසල් පාගමන්වලට සහභාගී වන අතර සමස්ත පරම්පරාවක්ම දේශපාලනීකරණය වෙමින් පවතී.

මෙම ගෝලීය ව්‍යාපාරය හමුවේ, සංගත මාධ්‍ය උද්ඝෝෂන නොපවතින බව මවාපාමින් සිටී. නිව් යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, සහ ගාඩියන් හි මුල් පිටු සියල්ලම පෙලපාලි නොසලකා හැර ඇති අතර සවස් වරුවේ ප්‍රවෘත්ති වල ඒවා වාර්තා වී නොමැත.

“ඊශ්‍රායලයේ සහ යුක්රේනයේ යුද්ධ සඳහා එක්සත් ජනපදයේ සහාය ගැන ඡන්දදායකයින් සිතන්නේ කුමක්ද” යනුවෙන් ටයිම්ස් හි පළ වූ ලිපියක, යුද්ධයට එරෙහිව දෛනික පදනමින් මහජන විරෝධතා ඇති වූ බව පවා සඳහන් කර නැත. ප්‍රාදේශීය මාධ්‍ය මීට  වඩා හොඳ නැත. චිකාගෝ හි,  සති අන්තයේ දස දහස් ගණනකගේ උද්ඝෝෂනය ගැන  චිකාගෝ සන්-ටයිම්ස් සහ චිකාගෝ ට්‍රිබියුන් යන ප්‍රධාන පුවත්පත්  කිසිදු  ලිපියක් පල කර නැත.

මෙම මහා යුද විරෝධී ව්‍යාපාරය වර්ධනය වෙමින් පවතින්නේ ඊශ්‍රායලය කරන මෙම ජන සංහාරයේ ප්‍රධාන උත්සන්න වීමක් මධ්‍යයේ ය. බයිඩන් පරිපාලනයේ සහ එක්සත් ජනපද-නේටෝ අක්ෂයේ සහාය ඇතිව, ආක්‍රමණයක් සඳහා සූදානම් වීම සඳහා ඊශ්‍රායලය එහි බෝම්බ හෙලීමේ ව්‍යාපාරය තීව්‍ර කරයි. ඉවත් නොකරන ඕනෑම අයෙකු ත්‍රස්තවාදියෙකු ලෙස සලකන බව ප්‍රකාශ කරමින් එය උතුරු ගාසා තීරයට ගුවනින් පත්‍රිකා හෙලා ඇත. එය පසුගිය සතියේ 500කට ආසන්න පිරිසක් ඝාතනය කරමින් රෝහලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු උතුරේ ඉතිරිව ඇති සියලුම රෝහල් වසා දමන ලෙස අණකර ඇත. එය නේවාසික ගොඩනැගිලිවලට ඩ්‍රෝන ප්‍රහාර දියත් කරන අතර විනාශය ලේඛනගත කරන මාධ්‍යවේදීන් ඉලක්ක කරයි.

අල් ජසීරාට අනුව, “පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලයේ අඛණ්ඩ ගුවන් ප්‍රහාරවලින් පසු ගාසා තීරය පුරා අවම වශයෙන් පුද්ගලයන් 400ක් මිය ගොස් ඇති බව වාර්තා වී ඇති අතර, ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයෙන් පසු  එය ‘දැඩිම බෝම්බ ප්‍රහාරය’ ලෙස පලස්තීන මාධ්‍ය විසින් විස්තර කර ඇත.” ඊශ්‍රායලය බටහිර ඉවුරේ ජෙනින් නගරයට සහ පලස්තීනුවන් ඊජිප්තුවට පලා යාමේදී  දේශසීමා තරණය කිරීමට උත්සාහ කළ, දකුණු ගාසා හි රෆා නගරයට එරෙහිව ප්‍රහාර දියත් කර ඇත. 

ඒ සමගම එක්සත් ජනපදය හා නේටෝ බලවතුන් සමස්ත කලාපය තුලම පුලුල් ගැටුමකට සූදානම් වෙමින් සිටිති. එක්සත් ජනපදය ගුවන් යානා ප්‍රවාහක ,ප්‍රහාර ක   කණ්ඩායම්  දෙකක්  ඇතුළුව යුධ නෞකා දුසිමකට වඩා මැද පෙරදිගට යවා ඇති අතර, දහස් ගණනක් හෝ දස දහස් ගණනක් විය හැකි නිශ්චිත නොවන භට පිරිසක් දැඩිව සීරුවෙන් තබා ඇත. කලාපීය යුද්ධයක් අපේක්ෂාවෙන් එක්සත් ජනපද නිලධාරි පිරිස් විසින් කලාපය පුරා තානාපති කාර්යාල ඉවත් කරමින් සිටිති.

ඉරිදා, හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් ගාසා තීරයට එක්සත් ජනපද ගොඩබිම් භටයන් යෙදවීම වෙනුවෙන් පෙනී සිටි අතර, සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් යුද්ධයේ “තෙවන පෙරමුණ” මගින්, පැහැදිලිවම ඉරානය ඉලක්ක කර ගනිමින් තර්ජනය කළේය.

ගාසා තීරයේ ජනතාවට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයේ ගෝලීය පිපිරීමක එක් කොටසක් පමනි. ඇමරිකානු පාලක පන්තිය මැද පෙරදිග ගැටුම දකින්නේ රුසියාව සහ චීනය ඇතුලත් ගෝලීය යුද්ධයක එක් පෙරමුණක් ලෙස ය. ගෝලීය මිලිටරි උත්සන්න කිරීමක් සඳහා තල්ලුව සැපයීමට බයිඩන් පරිපාලනය ඔක්තෝබර් 7 දා ඊශ්‍රායලයට එරෙහිව හමාස් විසින් එල්ල කරන ලද ප්‍රහාරය යොදා ගෙන ඇත. මැද පෙරදිග යුද්ධය සඳහා ඩොලර් බිලියන 14ට අමතරව, බයිඩන් යුක්රේනයේ යුද්ධය සඳහා ඩොලර් බිලියන 60ක් සොයමින් සිටී.

බයිඩන් පරිපාලනය, යුක්‍රේන වසන්ත ප්‍රහාරයේ අසාර්ථකත්වයත් සමඟ එහිදී අත්විඳින ලද පරාජය ආපසු හැරවීමට අරමුනු කරයි. එක්සත් ජනපදය මිලිටරි දෘඩාංග සැපයීමේ සියලු සීමාවන් ඉවත් කර ඇති අතර, සටන් කලාපයට එක්සත් ජනපද භටයන් යෙදවීම සඳහා තිරය පිටුපස සැලසුම් සිදු කෙරෙමින් පවතී. රුසියාවට එරෙහි යුද්ධයම චීනය සමග ගැටුමකට සූදානම් වීමේ කොටසක් ලෙස සැලකේ.

ගාසා තීරයේ යුද්ධයට ප්‍රතිචාර වශයෙන් පිපිරී ඇති උද්ඝෝෂන ව්‍යපාර ලෝකය පුරා පුලුල් කර වර්ධනය කල යුතුය. එහෙත් මහජන විරෝධයේ මතුවීම දේශපාලන ඉදිරිදර්ශනය හා වැඩපිලිවෙල පිලිබඳ තීරනාත්මක ප්‍රශ්න මතු කරයි.

මෙම මහජන ව්‍යාපාරය වර්ධනය කිරීමේ කේන්ද්‍රීය අභියෝගය වන්නේ එය කම්කරු පන්තිය දෙසට යොමු කිරීමයි. පෙලපාලි පැමිණෙන්නේ ලෝකයේ සෑම තැනකම සහ සෑම කර්මාන්තයකම කම්කරුවන්ගේ ගෝලීය වැඩවර්ජන ව්‍යාපාරයක් මධ්‍යයේ ය.

මේ වසරේ, ඊශ්‍රායල ජන සංහාරයට සහාය දක්වන සියලුම ආන්ඩු මහජන විරෝධයට මුහුන දී ඇත. ප්‍රන්සයේ, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් වලට එරෙහි ප්‍රහාරයට විරුද්ධව දැවැන්ත වැඩ වර්ජන ව්‍යාපාරයකට මිලියන ගනන් කම්කරුවෝ සහභාගී වූහ. එක්සත් රාජධානියේ දුම්රිය හා තැපැල් සේවකයින් දස දහස් ගනනක් තම රැකියා සහ වැටුප් සඳහා කටුක අරගලයක් ගෙන ඇත.

එක්සත් ජනපදයේ, ලේඛකයින්, ශාස්ත්‍රාලික කම්කරුවන් සහ මෝටර් රථ කම්කරුවන් දස දහස් ගනනක් සම්බන්ධ කර ගනිමින් දශක ගනනාවක් තුල විශාලතම වැඩ වර්ජන ව්‍යාපාරය ක්‍රියාත්මක වෙමින් පවතින අතර, බයිඩන් පරිපාලනය සමග සමීපව වැඩ කරන වෘත්තීය සමිති යන්ත්‍රය එය පාලනය කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරයි.

පාලක ප්‍රභූව පෙරමුණු දෙකක් මත යුද්ධයක් දියත් කරයි: ලෝක ගෝලීය යලි බෙදීමක් සදහා සහ කම්කරු පන්තියට එරෙහි අභ්‍යන්තර සටනක් දියත් කිරීමයි. යුද්ධය සඳහා වෙන් කෙරෙන ඩොලර් බිලියන සිය ගනනක් ගෙවනු ලබන්නේ ස්වදේශීය කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය උත්සන්න කිරීම හරහා ය. එපමනක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරය සහ ඊශ්‍රායලයේ කුරිරුකම්වලට එරෙහි විරෝධය අපරාධයක් බවට පත් කිරීමේ ප්‍රයත්නය පාලක ප්‍රභූවේ පිලිවෙත්වලට විරුද්ධ සියලු ප්‍රකාශනයන් වෙත යොමු කෙරෙනු ඇත

ගාසාවේ ජන සංහාරය සහ පාලක ප්‍රභූවේ පුලුල් යුද පිලිවෙත නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගැන්විය යුතුය. ඊශ්‍රායලයට යුද්ධයේදී ප්‍රයෝජනයට ගත හැකි සියලු සම්පත් අහිමි කිරීමට කම්කරුවන් කාර්මික ක්‍රියාමාර්ග ගත යුතුය. ලොව පුරා සිටින නැව් තටාක කම්කරුවන්, ගුවන් තොටුපල සහ සංක්‍රමණ කම්කරුවන් ඊශ්‍රායලය දෙසට යොමු කරන ඕනෑම ආයුධයක් හැසිරවීම ප්‍රතික්ෂේප කළ යුතුය.

අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයෙහි කොටසක් ලෙස  පිපිරී ඇති, ගාසා තීරයට එරෙහි ජන සංහාරක ව්‍යාපාරය හා ඊට  එරෙහි සටන අවශ්‍යයෙන්ම ධනවාදයට එරෙහි සටනකි.

මානව වර්ගයා මුහුන දෙන ගැඹුරු වන අර්බුදයට විසඳුම කම්කරු පන්තිය තුල මුල් බැසගත් බලගතු සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීමයි.මෙම සති අන්තයේ , මහජන යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ තීරනාත්මක සන්ධිස්ථානයක් ලෙස මෙම උද්ඝෝෂන ගැඹුරු කිරීම, පුලුල් කිරීම සහ සියල්ලටම වඩා සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත කම්කරු පංතිය වෙත හැරිය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top