ගුරු අරගලය හා එය පාවා දීමේ විසිපස් වසරක වාර්තාව 

නන්දන නන්නෙත්ති විසිනි.   

වැටුප් වැඩි කිරීම, උසස්වීම්, ගුරු පුරප්පාඩු පිරවීම ඇතුලු අතිශය සාධාරන ඉල්ලීම් ගනනාවක් වෙනුවෙන් පැන නැගී ඇදී යන ගුරු අරගලය, යලි වතාවක් වෘත්තීය සමිතිවාදය තුල සිර කර දිය කර හැරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක වී සිටී.

පසුගිය ඔක්තෝබර් 24දා, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය බත්තරමුල්ල, පැලවත්ත පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවත් වූ  විරෝධතා උද්ඝෝෂනයට ගුරුවරු හා විදුහල්පතිවරු සෑහෙන සංඛ්‍යාවක් සහභාගී වූහ. විරෝධතාකරුවන් ඊට සහභාගී වූයේ පොලිසියේ ජලප්‍රහාර, කඳුලු ගෑස් හා බැටන් ප්‍රහාර මධ්‍යයේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පෙලපාලියෙන් ගමන් ගැනීමෙන් අනතුරුව ය. පොලිස් ප්‍රහාරයෙන් විරෝධතාකරුවෝ ගනනාවක් තුවාල ලැබූහ

රාජ්‍ය මර්දනයට එරෙහිව රටපුරා ගුරුවරුන් අතර  විරෝධය වැඩින. පාසැල් කාලයෙන් පසුව නාගරික පාසල් ඉදිරිපිට ගුරුවරු හා විදුහල්පතිවරු පිකට් උද්ඝෝෂනවල නිරත වූහ. ඔක්තෝබර් 25දා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වීමට පැමිනි ආන්ඩුවේ මැති ඇමැතිවරුන්ට අප්‍රසාදය පලකිරීමේ විරොධතාවක් එම පාසලේ ගුරුවරුන් විසින් පවත්වන ලදී. මැති ඇමතිවරුන් ඊට සහභාගී නොවී පලා ගොස් තිබිනි. 

නොවැම්බර් 1දා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ජාතික සංවිධායක නිකුත් කල නිවේදනය පරිදි, “…අගෝස්තු 14 වන දා අධ්‍යාපන අමාත්‍යවරයා සමග කල සාකච්ඡාවේත්, ඔක්තොම්බර් 24 වන දා අමාත්‍යාංශ ලේකම්වරයා සමග කල සාකච්ඡාවේත් ඉදිරි දිගුවක් ලෙස මෙම (2023/10/ 31 දින අධ්‍යාපන ඇමතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග) සාකච්ඡාව දිනා ගැනීමට” හැකි විය. සෑහෙන කලක සිට වෘත්තීය සමිති දිනාගන්නේ අන් කිසිවක් නො ව  සාකච්ඡා ය.  

 Union
2023 අගෝස්තු 14 ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අධ්‍යාපන ඇමති සමග තවත් සාකච්චාවක.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පුලුල්තම ගුරු සහභාගීත්වයක් සහිත ගුරු අරගලය පැන නැඟුනේ 2021 ජුලි 12දා ය. ජුලි 8දා ලංකා ගුරු සංගමයේ නායකයා වන ජෝසප් ස්ටාලින් නිදහස් අධ්‍යාපනය පිලිබඳව පැන නැගී තිබූ උද්ඝෝෂනයක් තුල දී අත්අඩංගුවට ගනු ලැබීමට විරුද්ධව පුපුරා ගිය ගුරු විරෝධය, දශක දෙකකට වඩා නො තකා හරින ලද වැටුප් ඇතුලු වෘත්තීය ඉල්ලීම් ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද උදෙසා ලක්ෂ දෙකකට වඩා ගුරුවරු බලමුලු ගැන්වුනු, දින 120ක් ඇදි ගිය තියුනු සටනක් බවට පත් වූයේ බොහෝ දෙනෙකු නො සිතූ අයුරිනි. එහි ප්‍රධාන ඉල්ලීම වූයේ වැටුප් විෂමතා ඉවත් කිරිම වෙනුවෙන් ඒ වන විටත් ආන්ඩුවෙන් ලැබී තිබූ පොරොන්දු ප්‍රකාරව වැටුප් සකස් කිරීම ය. ඒ අනුව නිදසුනක් ලෙස ප්‍රථම පන්තියේ ගුරුවරයෙකුට රුපියල් 31,225ක හිඟයක් පියවිය යුතුව තිබිනි.

කොරෝනා වසංගතය සමග උත්සන්න වූ සමාජ අර්බුදය මැද මෙම ඉල්ලීම් ඉදිරිපත් කිරීම අයුක්තිසහගත බවත්, ගුරුවරුන් වහා ම වර්ජනය නවතා පාසල් විවෘත කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කටයුතු කල යුතු බවත් ආන්ඩුව කියා සිටියේ ය. එමෙන් ම දරුවන්ගේ අධ්‍යාපනයට බාධා කරන්නේ ය යි වර්ජිත ගුරුවරුන්ට එරෙහි ප්‍රකෝපකරනයකට ආන්ඩුව අර ඇන්දේ ඇතැම් වෘත්තීය සමිති නායකයන්ගේ ද සහාය ඇතිව ය. 

ගුරු වෘත්තීය සමිති ද වැටුප් ප්‍රශ්නය විසඳා පාසල් පටන් ගැනීමට කටයුතු කරන ලෙස ආන්ඩුවට බල කලේ ය. ඒ වන විට ගුරු දෙගුරු දෙපාර්ශවයේ ඉල්ලීම වූයේ වසංගතය පාලනය කරන තෙක් පාසැල් විවෘත නො කිරීම හා දුරස්ථ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් සැලසීම ය. ආන්ඩුවලට අවශ්‍ය වූයේ එකා පිට එකා වසංගතයෙන් මිය ගියත් මිනිසුන් රැකියාවලට යොමු කර ධනපති ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට ය. පාසල් විවෘත කිරීමට එරෙහි ගුරු දෙගුරුන් හා සිසුන් අතර වර්ධනය වෙමින් පැවති ඒකාබද්ධ අරගලය මගින් ආන්ඩුව බරපතල අසීරුතාවකට ඇද දමන ලදී. වැටුප් ප්‍රශ්නය විසඳා පාසල් විවෘත කරනු යන ඉල්ලීම යනු, වෘත්තීය සමිති එම එකමුතුව හා අරගලය වර්ධනය කරමින් ගුරු සටන ඉදිරියට ගැනීම වලක්වා ගුරු සිසු දෙමාපියන් එකිනෙකාට විරුද්ධව පිහිටුවීම මඟින් ගුරු අරගලය හුදෙකලා කර දුර්වල කිරිම පමනක් නො ව, මිනිසුන් කෙසේ හෝ වැඩපොලවලට දැක්කීමේ ආන්ඩුවේ ජන ඝාතක ලාභ රැකීමේ ඉලක්කයට සේවය කිරිම ද වේ.

අවසානයේ ගුරු වෘත්තීය සමිති අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කර වැටුප් ඉල්ලීම තුනෙන් එකකින් කපා දමා එය කොටස් දෙකකින් ලබා දීමේ පොරොන්දුවට අරගලය විකුනා දැමුවේ ය. ඒ අනුව ප්‍රථම ශ්‍රේනියේ ගුරුවරයකුට එකතු විය යුතු මුදල වූ රුපියල් 31,225 වෙනුවට 11,520ක් අවස්ථා දෙකක දී ලබා දිය යුතු විය. වාර තුනකින් නො ව දෙකකින් දීම ජයග්‍රහනයකි යි වෘත්තීය සමිති ව්‍යාජයක් පෙන්නූ අතර ආන්ඩුව, පොරොන්දුවෙන් කැබැල්ලක් දී ඉතිරි කොටස අමතක කලේ ය. 

ඉදිරි අයවැය ලේඛනයෙන් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව නිවේදනය කර ඇත. වෘත්තීය සමිති රු. 20,000 වැටුප් වැඩී වීමක් ඉල්ලා උද්ඝෝෂනය කරමින් සිටී. ගුරු සංගම් ද ඒ අතර වේ. අධ්‍යාපන ඇමති දැනටමත් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ, ‘අයවැයට අපේ පැත්තෙන් යෝජනා ඉදිරිපත් කර ඇතත් එය ඉටු වන්නේ පවතින මුදල් තත්වය අනුව’ බව යි. තමන් තීන්දු කරන ගනනට වඩා සතයක්වත් නො දෙන බව ආන්ඩුව සපථ කරයි. එසේ ඉල්ලීම් ඉදිරිපත් කරන අයට ඔහේ බලා සිටිය හැකි බවට ජනාධිපතිගේ වෘත්තීය සමිති උපදේශකයා තර්ජනය කර ඇත. ඉතින් වෘත්තීය සමිතිවලට කල හැකි වන්නේ කුමක් ද?

බංකොලොත් වෘත්තීය සමිතිවාදයේ ග්‍රහනයෙන් මිදී කම්කරුවන්ට ඉල්ලීම් දිනා ගැනීමේ මාවතක් ඇත. සමිති මුලු වැර යොදා වලි කන්නේ ධනවාදයටම එරෙහිව කම්කරු පන්තියේ පැවැත්මේ කොන්දේසිය වන එම මාවත අවහිර කර ධනවාදය ආරක්ෂා කිරීමට ය.  

මෑත දශක තුනකට ආසන්න කාල පරිච්ඡේදය තුල ඇදී ගිය ගුරු අරගලයේ පාඩම එය නො වේ ද? වර්ගවාදී යුද්ධය වෙනුවෙන් අරගල නො කරනුයැයි 1994 සිට ම පොදුවේ වෘත්තීය සමිති අනුගමනය කල පිලිවෙත නො තකා, ගුරුවරු වැටුප් ප්‍රශ්න මතු කලෝ ය. 2007 වසරේ අරගලය පුපුරා ගියේ ය. ‘යුද්ධය නතර කර වැටුප් වැඩි කල යුතු ද?’ යන ප්‍රශ්නය එවකට ජනාධිපති රාජපක්ෂ  ගුරු සමිති සංධානයට දමා ගැසූ විට සමිති නායකයෝ වර්ජනය අවසන් කලහ. මෙයින් උද්දාමයට පත් රාජපක්ෂ 2004 ගුරු, විදුහල්පති වැටුප් වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම චක්‍ර ලේඛයක් මගින් වලක්වා දැමුවේ ය.  

Stalin
2021 ඔක්තෝම්බර් ජෝෂප් ස්ටාලින් ඇතුලු සමිති නායකයෝ රාජපක්ෂ සමග

2008 ජුනි ගුරුවරුන්ගේ උත්තර පත්‍ර බැලීම වර්ජනය කිරීමේ ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරන නියෝගයකින් තහනම් කර වර්ජකයන්ට රුපියල් 50,000 බැගින් දඩයක් ද නියම කරන ලදී.

2012 දී ලංකා ගුරු සංගමයේ මූලිකත්වයෙන් වෘත්තීය සමිතිවල හා පක්ෂවල නියෝජිත සම්මේලනයක් කැඳවන ලදී. ඔවුහු ’94 සිට ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය නොතකා සිටියේ යයි ආන්ඩුවට චෝදනා කර ලිස්සා ගියහ. එදා ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධාරනය කල දෙය අදටත් වලංගු ය. “ගුරුවරුන් අතර රාජපක්ෂ ආන්ඩුවට එරෙහි කෝපය හා අතෘප්තිය වර්ධනය වන තතු තුල, පලල් සමිති පෙරමුනක හා වමේ පොදු පෙරමුනක් තුල ඔවුන් සිරකොට දේශපාලනිකව නොමග යවා ධනපති ආන්ඩුවේ ප්‍රහාරවලට යටත් කිරීමට ගුරු සමිති නායකයෝ” වැඩ කලහ.

අදාල සමිති එකමුතුව එම වසරේ දෙසැම්බර් 4දා ගුරු, විදුහල්පති ලෙඩ නිවාඩු දැමීමකට අරගලය සීමා කරමින් එම ප්‍රකාශය යලි සනාථ කලේ ය.

2019 මාර්තු 13 ගුරු සටන නැවතත් පොරොන්දු ප්‍රෝඩාවට යට කල නමුත් ගුරුවරුන්ගේ නො සන්සුන්තාව නො වැලැක්විය හැකි ලෙස වර්ධනය වූ විට ශ්‍රී ලංකා ගුරු සංගමයේ මහින්ද ජයසිංහ පොරොන්දු ඉටු නොකර මාස පහක් ගත වී ඇතැයි නිවේදනය කලේ ය. ඔහු ඇතුලු සමිති නායකත්වය ජුලි 18-19 දක්වා එවැනි ම ව්‍යාපාරයකට ගුරුවරුන් කොටු කලහ. එම නොවැම්බර් 26-27 විදුහල්පතිවරුන්ගේ ලෙඩ නිවාඩු දැමීමක් සිදු කෙරිනි. දෙසැම්බර් 7-11 දක්වා වැඩ වර්ජනයකට තීන්දු කරන ලද නමුත්, වැටුප් ප්‍රශ්නය විසඳීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇතැයි පවසමින් සමිති නායකයෝ එය අවලංගු කලහ.

2020 පෙබරවාරී 26 නැවතත් ගුරුවරු හා විදුහල්පතිවරු ලෙඩ කරනු ලැබුනහ. 2021 ජුලි අරගලය දින 120ක් අල්ලාගෙන සිටියේ වැල නො කැඩී කල මෙම රස්තියාදු කිරීම් හා පාවා දීම්වලින් පාඩම් ඉගෙන ගත් ගුරුවරු ය. නමුත් ඒ වන විටත් වර්ධනය වෙමින් පැවති, 2022 අප්‍රේල්වල පුපුරා ගිය මහජන විප්ලවවාදී නැගිටීමෙන් හා අවශේෂ කම්කරු පන්තියෙන් දැනුවත්ව හුදකලා කරනු ලැබූ එයට ඊට වඩා දුර යනු හැකි නොවී ය. 

ජෙනරල් ස්ට්‍රයිකයක් වටා මහජන බලමුලු ගැන්වීමකට සියලු කොන්දේසි පැවතුනි. වසංගතයෙන් මිනිසුන් මිය යද්දී ආන්ඩුව ධනපති ව්‍යාපාර ආරක්ෂා කලේ ය. ඒවාට සියලු සහන සැපයිනි. කම්කරු පන්තිය වඩවඩා රුදුරු සූරා කෑමේ කොන්දේසිවලට යට කරන ලදී. කම්කරුවන් දොට්ට දැමීම, වැටුප් කැපීම වැනි ධනපති යෝජනාවලට ජනතා විමුක්ති පෙරමුන(ජවිපෙ) වැනි පක්ෂ ඇතුලු වෘත්තීය සමිති අනුමැතිය ලබා දී තිබිනි. ඒ අවසරයෙන් ධනපතියෝ සිය ලාභ වැඩි කර ගත්හ. 

මහජනයාට අත්‍යවශ්‍ය සහනාධාර ලබා දීමට ආන්ඩුව අසමත් බව මොනවට පැහැදිලි වී තිබිනි. දූෂනය ඉහ වහා ගොස් පැවතුනු අතර මහජනයා 225ම (මුලු පාර්ලිමේන්තුවම) එපා යන යෝජනාව පෙරට දමමින් සිටියහ. දේශපාලන ජෙනරල් ස්ට්‍රයිකයකට ආන්ඩුවට වඩා බිය වූයේ වෘත්තීය සමිති හා ව්‍යාජ වම්මුන් ය. 

දැන් යලිත් සමිති නායකයෝ පැරනි තැටිය ම වාදනය කරති. එනම් ‘ආන්ඩුව ඉල්ලීම් ලබා දීම ප්‍රතික්ෂේප කරන අතර අපි සටන ජය ගෙන මිස නො නවතිමු!’ යන්න ය. නමුත් වර්තමාන වෘත්තීය සමිතිවාදය ප්‍රතිසංස්කරනවාදී පවා නො ව කොපරේට්වාදී ය යන්න වටහා ගැනීමට ඉහත සදහන් ගුරු සංගම්වල ක්‍රියා කලාපය ප්‍රමානවත් ය. එනම්, ඒවා ආන්ඩුවල හා සංගතවල අවශ්‍යතා මිස කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය නො කරයි.

වෘත්තීය සමිතිවලින් පිටත ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම, ඒවා වටා සෙසු කම්කරුවන් හා පීඩිතයන්ගේ සහාය ගොනු කර ගැනීම, සමිති නිලධරය විසින් සිය ධනපති ගැති පැවැත්ම සදහා යොදා ගැනෙන කම්කරුවන්ගේ මුදල්වලින් නිර්මානය කල ගොඩනැගිලි සහ සෙසු වත්කම් මෙම ක්‍රියාකාරී කමිටුවල පාලනය යටතට ගෙන ඒවා ධනපති විරෝධී අරගලයේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීම ගුරුවරුන්ගේ ඉල්ලීම් ජය ගැනීමේ අරගලයේ මූලික අවශ්‍යතාවයයි.

ලොව සෑම තැනක ම බොහෝ කලක් නො දුටු විරූ මහජන රැඩිකලීකරනයක් අපි අත් දකිමින් සිටිමු. ගුරු හා සෙසු කම්කරුවන් අතර දැන් වර්ධනය වන අරගල මාලාව එම ලෝක පරිමාන පන්ති අරගලයේ ම අත්‍යන්ත කොටසකි. එය පැන නැග ඇත්තේ ධනවාදයට තව දුරටත් මහජන අවශ්‍යතාවන්ට සවන් දීමට මොනම හැකියාවක්වත් නැති කොන්දේසිවලිනි. සම්මුති නැත. රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ නිර්දය පාලනය ඊට සාක්ෂි ය. වෙනත් ඕනෑ ම පාර්ලිමේන්තු ආන්ඩුවක් මෙයට වඩා හොඳ වනු නැත. කම්කරු පන්තියට අද දින අරගලය ධනවාදය අවසන් කිරීම සඳහා තම කාර්මික ශක්තිය ඒකාබද්ධ කොට බලමුලු ගැන්වීම මෙපිටින්  අවසන් කල නොහැකිය.  

Featured image : 2023 ඔක්තෝම්බර් 24 ගුරු-විදුහල්පති උද්ඝෝෂනය. Courtesy UnionsLanka fb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top