වාර්ගික ශුද්ධ කිරීම වේගවත් කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ දකුණට ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර එල්ල කරයි

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 06 දින පල වූ “Israel steps up ethnic cleansing of Gaza with expansion of ground and air onslaught to the south” යන ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ  විසිනි. 

Gaza
2023 දෙසැම්බර් 1 වන දින ගාසා තීරයේ ඛාන් යූනිස් සරණාගත කඳවුරේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් පසු පලස්තීනුවන් සිදු වූ විනාශය දෙස බලමින් [ඡායාරූපය: මොහොමඩ් ඩහ්මන්/ලෝසවෙඅ]

ඊශ්‍රායල හමුදාව අඟහරුවාදා වාර්තා කළේ, ආරම්භයේ සිට සටන්වල ​​“වඩාත්ම තීව්‍ර දිනය” ලෙස ඉහළ ජෙනරාල්වරයකු ලේබල් කළ දිනය මැද දී, නෙතන්යාහු පාලන තන්ත්‍රය විසින් පලස්තීනුවන්ට එරෙහිව ගෙන යනු ලබන ජන සංහාරක ප්‍රහාරය දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් මධ්‍යයට ළඟා වූ බවයි. උතුරු ගාසා තීරයෙන් පලා යන ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ පැමිණීමෙන් මෑත සතිවල ජනගහනය බෙහෙවින් වැඩි වී ඇති මෙම නගරයට එල්ල කරන ලද භූමි ප්‍රහාරය, ඉවක් බවක් නැති ගුවන් ප්‍රහාර සමඟ අත්වැල් බැඳ සිදු වී ඇත.

සතියක් පුරා පැවති සටන් විරාමය ඒකපාර්ශ්විකව අවසන් කරන බව ප‍්‍රකාශ කිරීමෙන් පසුව සියොන්වාදී තන්ත‍්‍රය යලි ආරම්භ කල ම්ලේච්ඡ ප‍්‍රහාරයේ පස්වන දිනයේ දී, ගාසා තීරයේ කිසිම තැනක සිවිල් වැසියන්ට “ඊනියා ආරක්‍ෂිත කලාප” සහතික කිරීමට තමන්ට නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, ගුවන් සහ ගොඩබිම් ප්‍රහාරවල කුරිරු බව සහ  පුළුල් පරාසය හේතුවෙනි. යුනිසෙෆ් ප්‍රකාශක ජේම්ස් එල්ඩර්, “ඊශ්‍රායල හමුදාව විසින් යෝජනා කරන ලද “ආරක්ෂිත කලාප” “විද්‍යාත්මක නොවේ, තාර්කික නොවේ, ශක්‍ය නොවේ; මා සිතන්නේ බලධාරීන් මේ ගැන දන්නා බවයි,” යනුවෙනි. පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ (UNRWA) ප්‍රධානී පිලිප් ලැසාරිනි  පැවසුවේ ආධාර සැපයුම්  “බිඳී යන තැනට” පත් වී ඇති බවත්, ඊශ්‍රායලය විසින් ගාසා තීරය වටලෑම “මරණයේ ප්‍රධාන මූලාශ්‍රයක්” බවට පත්විය හැකි බවත්ය.

අඟහරුවාදා, ඛාන් යුනිස් සහ ඒ අවට ප්‍රදේශයට එල්ල වූ විනාශකාරී ගුවන් ප්‍රහාර මාලාවක් මගින් අවධාරනය වූයේ සිවිල් වැසියන්ට රැකවරණයක් නොමැති බවයි. ඛාන් යුනිස් නගරයට උතුරින් පිහිටි ඩීර් එල්-බාලා නගරයේ “මුළුමහත් නිවාස සංකීර්ණයකට” ප්‍රහාරයක් එල්ල කරමින් අවම වශයෙන් පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 45 දෙනෙකු ඝාතනය කරන ලද බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පැවසූහ. අඟහරුවාදා ඊශ්‍රායල හමුදා ඛාන් යුනිස් කරා ඉදිරියට යාමට පෙර එල්ල කළ ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 50 දෙනෙකු මිය ගිය බව වාර්තා විය.

දස දහස් ගණනක් දැනටමත් ඛාන් යුනිස් නගරයට දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පලා ගොස් ඇත. ඊශ්‍රායලයේ ප්‍රහාරයට පෙර 280,000ක පමණ ජනතාවක් වාසය කළ, ඊජිප්තු දේශසීමාවේ ඇති මෙම නගරය ඉක්මනින් ම මිලියනයකට අධික ජනතාවකගෙන් තදබදයට පත් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. UNRWA අනතුරු ඇඟවූයේ, මීට පෙර බෝම්බ ප්‍රහාරයේදී උතුරේ සිට ඛාන් යුනිස් සහ ඒ අවට ප්‍රදේශවලට අවතැන් වූ බොහෝ දෙනෙකු ද ඇතුලත් වන මෙම සියලුම අවතැන් ජනයා සඳහා මානුෂීය ආධාර සැපයීමට ප්‍රමාණවත් සම්පත් නොමැති බවයි. 

UNRWA නියෝජිතයෙකු වන අද්නාන් අබු හස්නා, රෆාහි දැනටමත් පවතින අපායක් බඳු තත්වයන් විස්තර කළේ මෙසේය: “පවුල් දස දහස් ගණනක් වීදිවල සිටිති. ඔවුන් දැනටමත් වාසය කරන්නේ නයිලෝන් සහ ලී කැබලි වැනි අහුලා ගත් දේවල් [වලින් සැදුම් ලත් වහල] යට ය. දැන් වැස්ස ඇද වැටේ. අපට ව්‍යසනයක් දකින්නට සිදුවනු ඇත.”

ගුවන් ප්‍රහාර සහ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් භූමියේ දී බර අවි යොදා එල්ල කරනු ලබන ප්‍රහාරවල අන්තරායට අමතරව, ප්‍රතිකාර නොකළ රෝග වලින් එල්ල වන තර්ජනය වේගයෙන් වර්ධනය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අඟහරුවාදා වාර්තා කළේ , එහි එක් සරණාගත මධ්‍යස්ථානයක හෙපටයිටිස් A  පැතිර ගිය බවයි. ගාසා තීරයේ රෝහල් 35 න් දිගටම ක්‍රියාත්මක වන්නේ නවයක් පමණක් වන අතර, වෛද්‍ය උපකරණ, ඖෂධ සහ පිරිසිදු පානීය ජලයෙහි දුස්සාධ්‍ය හිඟයක් පවතී.

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය අඟහරුවාදා ප්‍රකාශ කළේ ඊශ්‍රායල විසින් ගාසා තීරයට බෝම්බ හෙලීම පටන් ගත් තැන් පටන් මේ දක්වා මරණ සංඛ්‍යාව 16,248 ක් බවයි. පුද්ගලයන් 7,000කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති අතර, ඔවුන් බොහෝ විට ගුවන් ප්‍රහාරවලින් ඇති වූ සුන්බුන් යට වැළලී ඇති බව සිතිය හැක. මෙම මරණ සංඛ්‍යාවට ළමුන් 7,112 ක්, කාන්තාවන් 4,885 ක්, පරිපූරක වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් 286 ක්  සහ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 81 ක් ඇතුළත් ය. බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 43,616 දෙනෙකු තුවාල ලබා ඇත.

එම ප්‍රකාශයේම මාධ්‍ය කාර්යාලය විස්තර කළේ, ඊශ්‍රායලය මිලිටරි මෙහෙයුම් නැවත ආරම්භ කිරීමෙන් පසු ගාසා තීරයට ආධාර සැපයීම සැබෑ ලෙස ම නතර වීම මිලියන 2.3 ක ජනතාවකට “මරණ දඬුවම පැනවීමක්” ලෙස ය. සෑම දිනකම රෆා හරස් මාර්ගය හරහා ගාසා තීරයට පැමිණෙන්නේ ආධාර ට්‍රක් රථ 100ක් පමණ වන බව වාර්තා පෙන්වා දෙයි, එය යුද්ධයට පෙර පැමිණි දෛනික මුළු ට්‍රක් රථ 500 න් සියයට 20ක් පමනකි.

ඊශ්‍රායලයේ මිලිටරි මෙහෙයුම්වල වර්ධනය පැහැදිලි සැලැස්මක් අනුව සිදු කෙරෙයි: ගාසා තීරයේ වැඩි ප්‍රමාණයක් වාර්ගික විශුද්ධිකරණයට භාජනය කිරීම සහ එහි වැසියන්ට එහැම පිටින් නොවේ නම් ඉන් විශාල කොටසකට ඊජිප්තුවේ සීනායි කාන්තාරයට යාමට බල කිරීමයි. මෙම ප්‍රවේශයේ සැකිල්ල ඊශ්‍රායල ආන්ඩුවේ ලේඛනවල සහ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සභාග ආන්ඩුව තුල සිටින අන්ත දක්ෂිනාංශික පුද්ගලයින්ගේ අදහස් දැක්වීම්වල අඩංගු වී ඇත. සියොන්වාදී තන්ත‍්‍රයේ මූලෝපායට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ කොන්දේසි විරහිත පිටුබලය ඇත. සියල්ලටත් වඩා එක්සත් ජනපදයේ මිලිටරි සහ දේශපාලන සහයෝගය නොමැතිව ගාසා තීරයේ බෝම්බ වැපිරීමට සහ සිවිල් වැසියන් අසීමිත ලෙස සමූලඝාතනය කිරීමට ඊශ්‍රායලයට නොහැකිය. 

අඟහරුවාදා සවස, ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් සහ යුද කැබිනට් අමාත්‍ය බෙනී ගැන්ට්ස් සමඟ එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවක දී නෙතන්යාහු, දෙවන ලෝක සංග්‍රාමයේදී ඕනෑම නාසි නායකයෙකු විසින් භාවිතා කරනු ලැබීමට ඉඩ තිබූ භාෂාවකින් කථා කරමින් ගාසා තීරය සඳහා ඔහුගේ පාලන තන්ත්‍රයේ අභිප්‍රාය ගෙනහැර දැක්වීය. “අපේ ජනතාවගේ දූවරුන් පැහැර ගත්, ඊට අනුමෝදන්  වූ, මරා දැමූ, කපා කොටා දැමූ, දූෂණය කළ සහ පුළුස්සා දැමූ සියලු දෙනා සමඟ අපි ගණුදෙනු විසඳමින් සිටිමු.” නෙතන්යාහු ද්වේශයෙන් දුම් දමමින් සිටියේය. “අපි අමතක නොකරමු; අපි සමාව නොදෙමු.” ඛාන් යුනිස් සහ ජබාලියා පිළිබඳව ඔහු තවදුරටත් කියා සිටියේ, IDF මෙහෙයුම් අතරතුර “පොළොව දෙදරුම් කෑ” බවයි. “අපි මේ තැන් දෙකම වට කළෙමු. … අප නොයන තැනක් නැහැ.” 

ප්‍රහාරය අවසන් කිරීම සඳහා ඔහුගේ දැක්මෙහි සැකිල්ල ගෙනහැර දක්වමින් නෙතන්යාහු මෙසේ ප්‍රකාශ කළේය: “ත්‍රස්තවාදයට සහය දෙන, ත්‍රස්තවාදයට අධ්‍යාපනය දෙන, ත්‍රස්තවාදයට හා ත්‍රස්තවාදීන්ගේ පවුල්වලට මූල්‍යාධාර දෙන කිසිම බලවේගයක් ඇති නොවනු ඇත.” ගාසා තීරය “මිලිටරිකරණය කළ යුතුයැ”යි ඊට ම “මෙය සහතික කළ හැකි එකම බලවේගය IDF ය. කිසිම ජාත්‍යන්තර බලවේගයකට මේකට වගකියන්න බැහැ.” ඔහු තවදුරටත් පැවසීය.

උතුරු ගාසා තීරයේ නේවාසික ගොඩනැගිලිවලින් අතිමහත් බහුතරයක් සමතලා කිරීම ගැන සඳහන් කරමින් ගැලන්ට් එවැනි ම ආකාරයකින් මෙසේ කියා සිටියේය. “ගාසා නගරයේ සිදු වූ දෙය දැන් ඛාන් යූනිස්හි සිදුවෙමින් පවතී. .. ඒ ආකර්ෂණීය ප්‍රතිඵල සහිතව ය.” “ඊශ්‍රායලය පමණක් එහි ඉරනම තීරණය කරනු ඇතැ”යි තරයේ කියා සිටිමින්, ඊශ්‍රායලය එහි මෙහෙයුම් පිළිබඳව කිසිදු සීමාවකින් බැඳී නොසිටින බවට ගැන්ට්ස් ඉතා දැඩි ලෙස අවධාරණය කළේය. සතුරුකම් නිල වශයෙන් අවසන් වීමෙන් පසුව පවා, “යථාර්ථය ස්ථාවර කිරීම” ඉලක්ක කරගත් IDF මෙහෙයුම් “මාස සහ වසර” ගණනක් පවතිනු ඇතැයි ඔහු පැවසීය.

අඟහරුවාදා බොස්ටන්හි අරමුදල් රැස්කිරීමේ උත්සවයකදී ජනාධිපති ජෝ බයිඩන්, නෙතන්යාහු පාලන තන්ත්‍රයේ ජන සංහාරක සැලසුම් පිලිබඳ ඔහුගේ සම්පූර්ණ අනුමැතිය පැහැදිලිව ප්‍රකාශ කළේය. සමහර කාන්තා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා සටනේ විරාමය අවසන් වීම ගැන හමාස් සංවිධානයට දොස් පවරමින් බයිඩන් ප්‍රකාශ කළේ, “අපි මෙය නොනවත්වමු – ඔවුන් සෑම කෙනෙකුම නිවසට ගෙන එන තෙක් අපි මෙය නොනවත්වමු, එය දිගු ක්‍රියාවලියක් වනු ඇත,” යන ලෙස ය. 

බයිඩන් යනු පසුගිය වසර 30 තුල මැද පෙරදිග, උතුරු අප්‍රිකාව සහ මධ්‍යම ආසියාව පුරා සමස්ත සමාජයම විනාශ කරමින් මිලියන ගනනක් මරා දැමූ ලේ වැකි යුද්ධ සිදු කල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛ නියෝජිතයා ය. තවමත් ගාසා තීරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් 138 දෙනෙකුගේ ජීවිත යනු ඔහු කනස්සල්ලට පත් වනු ඇති අවසාන කරුණයි. 

සියොන්වාදී ව්‍යාපෘතියේ වසර 75ක් පුරා පලස්තීන ජනතාව නෙරපා හැරීමේ සහ මර්දනයේ කූටප්‍රාප්තිය වන ගාසා තීරයේ ඊශ්‍රායලයේ වාර්ගික විශුද්ධිකරණ මෙහෙයුම කලාපය පුරා යුද්ධයකට පදනම දැමීමේ අවස්ථාවක් ලෙස යොදා ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය අධිෂ්ඨාන කර ඇත. බයිඩන් පරිපාලනය, තෙල්වලින් පොහොසත් සහ භූ මූලෝපායික වශයෙන් තීරනාත්මක මැද පෙරදිග ආධිපත්‍යය සඳහා ඉරානයට සහ එහි ප්‍රතිවාදීන්ට තර්ජනය කිරීමට, ගැටුමේ මුල් භාගයේදී ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායම් දෙකක් සහ න්‍යෂ්ටික ධාරිතාව සහිත සබ්මැරීනයක් කලාපයට යවන ලදී.

ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් බලහත්කාරයෙන් නෙරපා හැරීම “දිගු ක්‍රියාවලියක්” බව බයිඩන්ගේ පිළිගැනීමෙන් අවධාරනය කරන්නේ, සිය ප්‍රතිවාදීන්ගේ වියදමින්, සියල්ලම වඩා චීනයේ සහ රුසියාවේ වියදමින්, ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමේ කොටසක් ලෙස, කලාපය තුල සිය අධිපතිවාදී ආස්ථානය තහවුරු කර ගැනීම සඳහා, ඉදිරි සති හා මාස ගනනාවක් තුල අහිංසක සිවිල් වැසියන් සමූලඝාතනය කිරීමට IDF ට ඉඩ දීම ගැන කිසිදු පසුතැවිල්ලක් වොෂින්ටනයට නොමැති බවයි.

කලාපීය යුද්ධයක අග්නි ජාලාවක් කරා මෙම තතු උත්සන්න වීමේ තර්ජනය ආසන්නව පවතී. IDF විසින් ගාසා තීරයට සිය ප්‍රහාරය නැවත ආරම්භ කරනු ලැබීමෙන් පසු, ලෙබනනය සමඟ උතුරු මායිමේ ද සතුරුකම් තීව්‍ර වී ඇත. අඟහරුවාදා ලෙබනන් හමුදාව වාර්තා කළේ, හිස්බුල්ලා ස්ථානයක් ඉලක්ක කළේ යැයි සිතනු ලබන ඊශ්‍රායල ප්‍රහාරයකින් සිය සොල්දාදුවෙකු මිය ගිය බවයි. මෙය, දකුණු ලෙබනනයේ ඉලක්ක රැසකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරනු හා උතුරු ඊශ්‍රායලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල කරනු නිරීක්ෂණය කර ඇති ලෙබනන හමුදාව විසින්, ඔක්තෝබර් 7 වැනිදා සිට පැවැති දේශසීමා ගැටුම සම්බන්ධයෙන් වාර්තා කරන ලද පළමු මරණයයි.

IDF විසින් දුර්ලභ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ලෙබනන් හමුදා , ප්‍රහාරයේ ඉලක්කය නොවූ” බවයි. 2000 දී ඊශ්‍රායලය ඉවත් වීමෙන් පසු දේශසීමා නිරීක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇති UNIFIL, මෑත දිනවල උත්සන්න වී ඇති වෙඩි හුවමාරුව විස්තර කළේ “අනතුරු හඟවන සංඥාවක්” ලෙසය.

ගාසා තීරයේ දිග හැරෙමින් පවතින ජන සංහාරය නැවැත්වීම සහ කලාපය පුරා පැතිරුණු යුද්ධයක් ඇතිවීම වැලැක්වීම රඳා පවතින්නේ, ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල, ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග පුරා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීම මත ය. ගාසා ජන සංහාරයට එරෙහිව ලොව පුරා විරෝධතාවලට සම්බන්ධ වී සිටින මිලියන සංඛ්‍යාත තරුනයන් හා කම්කරුවන් මුහුන දෙන හදිසි කර්තව්‍යය නම්, ඊශ්‍රායලයට යැවීමට නියමිතයැයි සිතිය හැකි සියලුම මිලිටරි උපකරණ සැපයීම සහ නිෂ්පාදනය කිරීම නැවැත්වීමට පුලුල් බලමුලු ගැන්වීමක් සඳහා ආයාචනා කරමින් කම්කරු පන්තිය වෙත හැරීමයි.

යුද්ධයට සහ සියලු ආකාරයේ පීඩනයන්ට තිත තැබීමේ ජාත්‍යන්තරවාදී හා සමාජවාදී වැඩපිලිවෙලක් සමග නෙතන්යාහු තන්ත‍්‍රයේ සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවන්ගේ ජන සංහාරක පිලිවෙත්වලට එරෙහිව ජාත්‍යන්තර දේශපාලන මහා වැඩ වර්ජනයක්  ගොඩනගමින් සෑම රටකම සහයෝගීතා වැඩවර්ජන සඳහා පලස්තීන වෘත්තීය සමිතිවල කැඳවීමට කම්කරුවන් ප‍්‍රතිචාර දැක්විය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top