ජපානයේ කාර්යාලයක් විවෘත කිරීමෙන් නේටෝව ආසියා-පැසිෆික් කලාපයේ රැඳීම පුළුල් කරයි

බෙන් මැක්ග්‍රාත් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 07 දින NATO to expand Asia-Pacific presence by opening office in Japan යන සිරසින් යුතුව පලවූ බෙන් මැක්ග්‍රාත් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

ලබන වසරේ ජපානයේ ටෝකියෝ නුවර සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමට නේටෝව අදහස් කරන බවට පසුගිය සතියේ පුවත් පළ විය.  මෙම කාර්යාලය ආසියා-පැසිෆික් කලාපයේ නේටෝවේ පළමුවැන්න වනු ඇති අතර චීනයට එරෙහි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් යුද්ධයක් සඳහා සූදානම් වීම තුල, සංවිධානයේ වැඩෙන භූමිකාව නියෝජනය කරයි.  ටෝකියෝ සහ නේටෝ යන දෙපාර්ශ්වයම සැලසුම් තහවුරු කර ඇත.

Image

නේටෝවේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ජනවාරි මාසයේ ඔහුගේ ජපාන සංචාරයේදී ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සමඟ කාර්යාලය විවෘත කිරීම ගැන සාකච්ඡා කළ බව මැයි 3දා නිකේයි ඒෂියා (Nikkei Asia) වාර්තා කළේය.  නිව් යෝර්ක්  හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ වියානාහි යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාව සඳහා වූ සංවිධානයේ (Organization for Security and Co-operation in Europe) මෙන්ම යුක්රේනය, මෝල්ඩෝවා, ජෝර්ජියා, බොස්නියාව සහ හර්සගොවිනා සහ කුවේට් යන රටවල ද මේ හා සමාන කාර්යාල පවතී. ටෝකියෝව තවදුරටත්, නේටෝවට ස්වාධීන දූත මෙහෙවරක් නිර්මාණය කිරීමට අදහස් කරන්නේ එහි වත්මන් දූත මෙහෙවර බෙල්ජියමේ තානාපති කාර්යාලයෙන් වෙන් කර නව තානාපතිවරයකු යැවීමෙනි.

මෙම පියවර ජපානය නේටෝ සන්ධානයට එක්වන බවක් අදහස් නොවුනත්, ටෝකියෝවේ නව නේටෝ කාර්යාලය, චීනයට එල්ල කරන ලද ප්‍රධාන ප්‍රකෝපරනයකි. යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද/නේටෝ යුද්ධය, පාර්ශ්වීය වශයෙන්, රුසියාව දෙසට නේටෝ දේශසීමා ආක්‍රමණය කිරීම මගින් උසි ගන්වන ලදී.  ජපානය වැනි රටවල් සමඟ නේටෝවේ සහයෝගීතාවය, තායිවානය සම්බන්ධයෙන් “එක් චීනයක්” ප්‍රතිපත්තියට අභියෝග කරමින් බීජිනය  අවුස්සාලීමේ ප්‍රයත්නයන් සමඟ ගත් කල, යුද්ධයේ අන්තරාය ඉහල නංවනවා පමනි.

ටෝකියෝව සහ නේටෝව අතර සම්බන්ධතා ලක්ෂ්‍යය  ලෙස ක්‍රියා කරන ජපානයේ ඩෙන්මාර්ක තානාපති පීටර් ටක්සෝ-ජෙන්සන් පැහැදිලි කළේ, සම්බන්ධතා කාර්යාලය විවෘත කිරීමේ තීරණය චීනයට එරෙහිව යොමු වූ බවත්, එය චීනය බටහිරට ආර්ථික අභියෝගයක් වීම වළක්වන බවත් ය.

ඔහු නිකේයි ඒෂියා වෙත පැවසුවේ, “2022 දී, (නේටෝ) මැඩ්රිඩ් සමුළුවේදී, මිත්‍ර නායකයින් තීරණය කළේ රුසියාව තවදුරටත් හවුල්කරුවෙකු නොව සතුරෙක් බවත්, චීනයේ නැග්ම මුලු යුරෝපීය රටවලම ආරක්ෂාව කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි හා ඇති වනු ඇති බවට පිළිගැනීමක් තිබූ ” බවත්ය.   

බීජිං විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් ටෝකියෝ හි නව සම්බන්ධතා කාර්යාලය සදහාවූ සැලසුම් විවේචනය කරමින්, ””ආසියා-පැසිෆික් කලාපයේ නේටෝවේ අඛණ්ඩ නැගෙනහිර ප්‍රසාරණය, කලාපීය කටයුතුවලට ඇඟිලි ගැසීම්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය විනාශ කිරීමට උත්සාහ කිරීම, සහ රටවල් කාණ්ඩ, ගැටුම් සඳහා තල්ලු කිරීම කලාපය තුළ රටවල් වලින් ඉහළ සුපරීක්ෂාකාරී අවධානය ඉල්ලා සිටී” සේ ප්‍රකාශ කලාය.

නේටෝව සහ ජපානය ජූලි 11 සහ 12 ලිතුවේනියාවේ විල්නියස් හි පැවැත්වෙන නේටෝ සමුළුවට පෙර තනි තනිව සකස් කළ හවුල්කාරිත්ව වැඩසටහනක් (Individually Tailored Partnership Program-ITPP) අත්සන් කිරීමට ද අදහස් කරයි.  ජපානය මෙන්ම දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද සමුළුවට සහභාගී වීමට නියමිතයි.  නේටෝ හි ආසියා-පැසිෆික් හවුල්කරුවන් හෝ AP4 ලෙස හඳුන්වනු ලබන නේටෝව සහ මෙම රටවල් හතර අතර සහයෝගීතාව වැඩි කිරීමට මෙම සම්බන්ධීකරණ කාර්යාලය පහසුකම් සපයනු ඇත.  පසුගිය වසරේ මැඩ්රිඩ් හි පැවති රැස්වීම, නේටෝ සමුළුවකට සහභාගී වීමට මෙම ජාතීන් හතරට ආරාධනා කළ පළමු අවස්ථාව විය.

ඔවුන්ගේ සහයෝගීතාවයේ කොටසක් ලෙස, ජපානය සහ නේටෝව, “සයිබර් තර්ජන, කඩාකප්පල්කාරී තාක්ෂණයන් සහ චේතනාන්විත වැරදි තොරතුරු ක්‍රියාකාරකම්” සම්බන්ධයෙන් එක්ව කටයුතු කරනු ඇත.  වෙනත් වචන වලින් කිවහොත්, සමාජවාදී, අධිරාජ්‍ය විරෝධී සහ යුද විරෝධී දෘෂ්ටිකෝණ ඇතුළු ඊනියා “වැරදි තොරතුරු” වෙත ප්‍රවේශ වීමෙන් කම්කරුවන් හා තරුනයන් අවහිර කරමින් අධිරාජ්‍යවාදී ප්‍රචාරක ව්‍යාප්ත කිරීම සඳහා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය යොදා ගැනීම සහතික කිරීමට ඔවුන් දෙපාර්ශ්වය කටයුතු කරනු ඇත.

කාර්යාලය විවෘත කිරීම, එක්සත් ජනපදය චීනය වට කිරීමට අදහස් කරන සන්ධාන මාලාවක් වර්ධනය කරන සහ ඒකාබද්ධ කරන පුලුල් න්‍යාය පත්‍රයක කොටසකි.  මේවාට එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානයෙන් සමන්විත චතුර් ආරක්ෂක සංවාදය (Quadrilateral Security Dialogue-Quad) සහ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයෙන් සැදුම්ලත් ඔ්කස්  (AUKUS) සන්ධානය ඇතුළත් වේ. වොෂින්ටනය සහ සියොල්, වොෂින්ටනයේ න්‍යෂ්ටික අවි ගබඩාව සැලසුම් කිරීම සහ භාවිතය සම්බන්ධව වැඩි සහයෝගීතාවයක්ද මෑතකදී නිවේදනය කලෝය.

මීට අමතරව, වොෂින්ටනයේ පීඩනය යටතේ, ටෝකියෝ සහ සෝල් වසර ගණනාවක් තිස්සේ දෙරට අතර පැවති ආතතීන් ලිහිල් කිරීමට කටයුතු කර ඇත.  කිෂිඩා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් අතර මාර්තු මාසයේදී ටෝකියෝවේ පැවති සමුළුවකින් පසු දෙපාර්ශ්වයම, සහයෝගීතාව වැඩි කිරීමට, මිලිටරි බුද්ධි තොරතුරු  බෙදාගැනීමේ ගිවිසුමක් සාමාන්‍යකරණය (normalisation) කිරීමට සහ එක්සත් ජනපදය සමඟ තවත් හමුදා අභ්‍යාස වලට එකඟ විය.

ජපානය ද එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් රටවල් සමඟ සිය සහයෝගීතාව වැඩි කරයි.  ටෝකියෝ ජනවාරි මාසයේදී ලන්ඩන් සමඟ අන්‍යෝන්‍ය ප්‍රවේශ ගිවිසුමකට අත්සන් තැබුවේ එක් එක් රටවලින් හමුදා භටයින්ට අනෙකට ඇතුළු වීමට පහසු ප්‍රවේශයක් ලබා දෙමිනි.  ටෝකියෝව පිලිපීනය සමඟද මීට සමාන ගිවිසුමක් ගැන සලකා බලයි.

ජපානයේ නේටෝ කාර්යාලය විවෘත කිරීම,  ටෝකියෝවේ ඉලක්කය වන නැවත හමුදාකරණයට  දායක වීමකි.  2014 දී එවකට ෂින්සෝ අබේ පාලනය ඊනියා “සාමූහික ආත්මාරක්ෂාව” සඳහා ඉඩ සැලසීම සඳහා ව්‍යවස්ථාවේ “නැවත අර්ථකථනයක්” නිවේදනය කළේය.  ඊළඟ වසරේ, පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) මෙම වෙනස නීති පොතට ඇතුලත් කිරීමට කිරීමට පාර්ලිමේන්තුව හරහා නීති සම්පාදනය කළේය.  මෙමගින්, ටෝකියෝව තර්ක කරන ආකාරයට, ජපානයට “ආත්ම ආරක්‍ෂාව” යන නාමයෙන් මිත්‍රයෙකු සමඟ එක්ව යුද්ධයට යාමට ඉඩ සලසයි. එමගින් ජපානයට මිලිටරි හෝ යුද්ධයක් පවත්වාගෙන යාම පැහැදිලිවම තහනම් කරන ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගහරී .

නේටෝව සමග වැඩ කිරිම මගින්, ටෝකියෝව එහි වැඩෙන මිලිටරි දෘඩ-කියාපෑම  (assertiveness) සහ ආක්‍රමණශීලීත්වය මෙම ව්‍යාජ සහ ව්‍යවස්ථා විරෝධී “සාමූහික ආත්මාරක්ෂාව” (collective self-defence) යන සංකල්පය සමඟ පෙළගැසෙන බව කියාපානු ඇත.

 මීට අනුකූලව, නේටෝ සහයෝගී ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ලුතිනන් ජෙනරාල් ෆ්‍රැන්චෙස්කෝ ඩියෙලා ප්‍රමුඛ නේටෝ නියෝජිත කණ්ඩායමක් අප්‍රේල් 24-26 දක්වා ජපානයට ගොස් ප්‍රධාන පෙළේ ජපාන හමුදා නිලධාරීන් පිරිසක් හමුවූහ .  මෙම සාකච්ඡා අතරතුර ඩියෙලා කියා සිටියේ: “අපගේ ආරක්ෂාව ගැඹුරින් අන්තර් සම්බන්ධිත වන අතර, සහ අපගේ සහයෝගීතාවයද එසේ විය යුතුය, එය නිදහස්, සාමකාමී සහ සමෘද්ධිමත් ලෝකයක් පිළිබඳ අපගේ හවුල් දැක්ම අපගේ හවුල් වටිනාකම් තුළ මුල්බැස ඇත.”  

නේටෝව සහ එහි සාමාජික රටවල් මෙන්ම ජපානය ද “හවුල් (පොදු) වටිනාකම්” නියෝජනය කරන බවට කරන ප්‍රකාශ රුසියාවට සහ චීනයට එරෙහිව එල්ල වේ.  වොෂින්ටනය, ටෝකියෝවව සහ ඔවුන්ගේ සහචරයින් කියා සිටින්නේ ආසියාවේදී,  චීනය “නිදහස් සහ විවෘත” ඉන්දු පැසිෆික් කලාපයට තර්ජනයක් නියෝජනය කරන බවයි.  යථාර්ථය නම්, එක්සත් ජනපදය විසින් පිහිටුවන ලද සහ ආධිපත්‍යය දරන පශ්චාත් දෙවන ලෝක යුද්ධයේ පටිපාටියට එකඟ නොවීම ගැන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් බීජිනය හෙලා දැකීමයි.  වොෂින්ටනය චීනයේ දොරකඩට ප්‍රකෝපකාරී සහ භයානක “නාවික ගමනාගමන නිදහස” ( මැයෙන්) මෙහෙයුම් සිදු කරන අතර, ඒවාටට බීජිනයෙන් වන ඕනෑම ප්‍රතික්‍රියාවක් චීන “ආක්‍රමනකාරීත්වයේ” සාක්ෂියක් ලෙස හෙලා දකිනු ලැබේ.

තවද, නේටෝව සහ, සියල්ලටත් වඩා, එක්සත් ජනපදය “ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්” නියෝජනය කරයි යන ප්‍රකාශයන් යථාර්ථය හමුවේ වාෂ්ප වී යයි .  එක්සත් ජනපදයේ, සංක්‍රමණිකයන්ට සරණාගතභාවය ලබා ගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කරනු ලැබෙන අතර පොලිසිය නිතිපතා කම්කරුවන්ට සහ දුප්පතුන්ට වෙඩි තබයි.  ප්‍රංශයේ ධනවතුන්ගේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වැඩ වර්ජන කරන කම්කරුවන්ට සහ විරෝධතාකරුවන්ට එරෙහිව පොලිස් රාජ්‍ය මර්දනය යොදා ගනිමින් පාලනය කරයි.  එක්සත් රාජධානියේ, මාධ්‍යවේදී ජුලියන් අසාන්ජ් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධ හෙලිදරව් කිරීම නිසා බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිරමැදිරියක සිර කර  සිටින අතර, චාල්ස් රජුගේ මෑතදී පැවති රාජාභිෂේක උත්සවය සඳහා රජය පවුම් මිලියන සිය ගනනක් නාස්ති කරනු ලැබීය.

ජපානයේ, නැවත හමුදාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා අතීත යුද අපරාධ වසන් කරනු ලැබේ.  අනෙකුත් පක්ෂවල සැබෑ විරුද්ධත්වයක් නොමැතිව පාලක එල්ඩීපීය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දැඩි ලෙස සීමා කරන ව්‍යවස්ථාමය සංශෝධන හඹා යමින් සිටින අතර මාධ්‍යවේදීන් බාධක හා හිරිහැර වලට පවා මුහුන දෙයි.

අවසාන වශයෙන්, වොෂින්ටනයේ, ටෝකියෝවේ සහ නේටෝවේ ඉලක්කය “ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්” ආරක්ෂා කිරීම නොව, න්‍යෂ්ටික අවි සමඟ සටන් කරනු ලබන නව ලෝක යුද්ධයක අවදානමට ලක් කරමින්, චීනයේ වියදමින් ඉන්දු පැසිෆික් කලාපය යලි බෙදීම ය.

#theSocialistLK #WSWS 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top