යුරෝපා හා එක්සත් ජනපද අන්තර්-අධිරාජ්‍යවාදී සීතල යුද්ධය මැක්‍රොන් සංඥා කරයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 10 දින ‘In China, Macron criticizes US policy on Taiwan, demands European “war economy”’ ශීර්ෂයෙන් යුතුව පලකෙරුනු ඇලෙක්ස් ලැන්ටියර් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය සංජය ජයසේකර විසිනි.

Image

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් 2023 අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා බීජිං හි පැවති ප්‍රංශ-චීන ව්‍යාපාරික කවුන්සිල රැස්වීමකට සහභාගී වෙමින්. [AP Photo/Ludovic Marin/Pool via AP]

මෙම සති අන්තයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා කිරීම සඳහා චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක් අවසන් කළේය.  අතිමහත් මහජන විරෝධය හමුවේ ගැඹුරු විශ‍්‍රාම වැටුප් කප්පාදුවක් පැනවීමෙන් පසු ප‍්‍රන්සය පුරා වැඩ වර්ජන හා විරෝධතාවලින් කම්කරු පන්තියේ විරෝධය පුපුරා යද්දී පවා, මැක්‍රොන් යුරෝපීය “යුද ආර්ථිකයක්” ගොඩනැගීම සඳහා මිලිටරි වියදම්වල නව දැවැන්ත වැඩිවීමක් ඉල්ලා සිටියේය.

මැක්‍රොන්ගේ චීන සංචාරය දිග හැරුනේ යුක්‍රේනයේ රුසියාව සමග නේටෝ යුද්ධයේ සෙවණැල්ල යටතේ සහ තායිවානය සම්බන්ධයෙන් චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි තර්ජන තීව්‍ර කරමිනි.  සාකච්ඡාවේ පළමු දිනයේදී ඔහු යුක්රේනය සම්බන්ධයෙන් “රුසියාව සාධාරණ ප්‍රතිපත්තියකට ගෙන ඒමට” ෂගේ උදව් ඉල්ලා සිටියේය. “යුක්රේන අර්බුදය තවදුරටත් පිරිහීමට තුඩු දෙන ක්‍රියාමාර්ග වළක්වා ගැනීම සඳහා තාර්කිකත්වය සහ සංයමය පවත්වා ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටීමට ප්‍රංශය සමඟ වැඩ කිරීමට” ප්‍රතිඥා දෙමින්  ෂී ප්‍රතිචාර දැක්වූ බව චීන පීපල්ස් ඩේලි වාර්තා කළේය.

මැක්‍රොන්ගේ සංචාරය, වොෂින්ටනය සමග වැඩෙන ආතතීන් මධ්‍යයේ චීනය සමග ප්‍රංශ ආර්ථික සබඳතා ගැඹුරු කිරීමට සහ ප්‍රංශ හා යුරෝපීය මිලිටරි හමුදා ශක්තිමත් කිරීමට සාකච්ඡා කරා හැරුනි.  මැක්‍රොන් සමඟ ඔහුගේ සංචාරයට බලශක්ති ඒකාධිකාරී Electricité de France, Airbus සහ Safran යන අභ්‍යවකාශ සමාගම්, දුම්රිය නිෂ්පාදක Alstom, LVMH සහ L’Oréal සහ සංචාරක සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ දැවැන්ත නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.  ඉලෙක්ට්‍රොනික සංගීත නිර්මාපකයෙකු වන ජීන්-මයිකල් ජැරේ සහ ඔහුගේ බිරිඳ, චීන චිත්‍රපට තරුවක් වන Gong Li ද ප්‍රංශ නියෝජිත කණ්ඩායමේ කොටසක් විය.

වොෂින්ටනය “එක් චීනයක්” ප්‍රතිපත්තිය අවසන් කිරීමට සහ බීජිං-තායිවාන යුද්ධයක් අවුලුවාලීමට කොන්දේසි නිර්මානය කරන තායිවානය සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමේ එක්සත් ජනපද පිලිවෙත මැක්‍රොන් විවේචනය කෆළ්ය. චීන ප්‍රකාශයකට අනුව, මැක්‍රොන් තායිවාන ජනාධිපති ට්සායි ඉන්ග්-වෙන්ගේ එක්සත් ජනපද සංචාරය “කණගාටුදායක” ලෙස හැඳින්වූ අතර “එක් චීනයක්” ප්‍රතිපත්තියට ඔහුගේ සහාය නිල වශයෙන් ප්‍රකාශ කළේය.  මැක්‍රොන් 11 අඟහරුවාදා පැරිසිය වෙත ආපසු පැමිනි විට මූල්‍ය සඟරාවක් වන Les Echos සමඟ සවිස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවකදී මෙම කාරනය සම්බන්ධව නැවත කතා කළේය.

මැක්‍රොන් මෙසේ පැවසුවේය: “යුරෝපීයයන් වන අපෙන් අසන ප්‍රශ්නය නම්: තායිවානය සම්බන්ධයෙන් වඩා වේගවත් වන වර්ධනයන් ගැන අපට උනන්දුවක් තිබේද?  නැත. නරකම දෙය නම් යුරෝපීයයන් වන අප එක්සත් ජනපද රිද්මයට සහ චීනයේ ඕනෑවට වඩා ප්‍රතික්‍රියා දැක්වීම් වලට අනුගත වෙමින් මෙම ප්‍රශ්නය දෙස අන්ධ ලෙස බලා සිටිය යුතු යැයි සිතීමයි.  අන් අය අප වෙනුවෙන් තෝරාගෙන ඇති රිද්මයක් අප අනුගමනය කළ යුත්තේ ඇයි?  යම් අවස්ථාවක දී, අපි අපේම ඕනෑ එපාකම් පිළිබඳ ප්‍රශ්නය ඉදිරිපත් කළ යුතුය.  අපි සැබෑ යුරෝපීය ආරක්ෂක (strategic) ස්වාධිපත්‍යයක මූලද්‍රව්‍ය සම්පාදනය කරමින් සිටින බැවින්, හදිසියේ යම් ආකාරයක භීතිකාවකින් මෙන් ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට පටන් ගත්තොත් එය පරස්පර විරෝධී වනු ඇත.”

මැක්‍රොන් ප්‍රන්සය සහ ප්‍රධාන යුරෝපා සංගමයේ අධිරාජ්‍යවාදී බලවතුන්ට වොෂින්ටනය සමග වැඩෙන ආතතීන්ට ප්‍රතිචාර දැක්වීමට කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර මගින් මූල්‍ය සම්පාදනය කරන ලද දැවැන්ත මිලිටරි තරකිරීමක් වෙනුවෙන් තර්ක කලේය.  ඔහු මෙසේ කීවේය: “බොහෝ කාලයක් තිස්සේ යුරෝපය මා සටන් කරමින් සිටින මෙම ආරක්ෂක ස්වයං පාලනයක් ගොඩනඟා ගත්තේ නැත.  අද මතවාදී සටන දිනා ඇත, ව්‍යුහය සකස්කර තිබේ. [කෙසේනමුත්]  එය අනිවාර්යයෙන්ම වියදමකින් පැමිණේ.… අපි කප්පාදු ක්‍රියාත්මක. කළා, ඒවා දරුණුයි, අපි ප්‍රතිඵල දකින්න පටන් ගනිමින් සිටිනවා, නමුත් ඒ සමඟම, අපි පසුගිය වසර 20 තුළ නොකළ දේ වෙනුවෙන් අපි ගෙවමින් සිටිනවා.”

“ඉතිහාසය අතිධාවනාකාරීව ගමන් කරන විට, අපි සමාන්තරව යුරෝපීය යුද ආර්ථිකය වේගවත් කළ යුතුය.  අපි ප්‍රමාණවත් තරම් වේගයෙන් [ආයුධ] නිපදවන්නේ නැත,” ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ඇමරිකානුවන් මත අඩුවෙන් යැපීමේ යතුර වන්නේ අපගේ ආරක්ෂක කර්මාන්තය ශක්තිමත් කිරීම සහ [යුරෝපයේ ආයුධ නිෂ්පාදනය පිළිබඳ] පොදු ප්‍රමිතීන්ට එකඟ වීමයි”.

යුරෝපා සංගමයේ මිලිටරි තරකිරීම සම්පූර්ණ වීමට පෙර, වොෂින්ටනය ඉතා ඉක්මනින් චීනය සමග සම්පූර්‍ණ යුද්ධයක් අවුලුවන්නේ නම්, යුරෝපා සංගම් රාජ්‍යයන් “ආවතේව කරුවන්” බවට පත්විය හැකි බවට මැක්‍රොන් කනස්සල්ලට පත් විය.  ඔහු මෙසේ පැවසීය: “[එක්සත් ජනපද-චීන] ද්වි-අධිකාරය පිපිරීමේ වේගවත් වීමක් වේ නම්, අපට අපගේ ආරක්ෂක ස්වාධිපත්‍යය සඳහා මුදල් සැපයීමට කාලය හෝ මාධ්‍යයන් නොමැතිවනු ඇති අතර, එය ගොඩනඟා ගැනීමට වසර කිහිපයක් ලැබුනොත් අප  තුන්වන ධ්‍රැවය විය හැකි වුවද, එසේ නොවුවහොත් අප ආවතේව කරුවන්  බවට පත්වනු ඇත.”

මැක්‍රොන් එක්සත් ජනපද ඩොලරය කෙරෙහි විශ්වාසයක් නොමැතිකම ද පෙන්වා දුන්නේය.  සිලිකන් වැලි බැංකුව ඇපදී ගලවා ගැනීමෙන් පසුව සහ ඉරානය සහ එහි ක්‍රියාත්මක යුරෝපීය සමාගම් ඉලක්ක කර සම්බාධක පැනවීමට එක්සත් ජනපද භාණ්ඩාගාරය ඩොලරය භාවිතා කිරීමෙන් පසුව වැඩෙන ප්‍රශ්න වලට ඩොලරය මුහුන දී සිටී. රුසියාව, බ්‍රසීලය සහ අනෙකුත් රටවල් චීනය සමඟ වෙනත් මුදල් ඒකකවලින් තම වෙළඳාම සිදු කිරීමට පියවර ගන්නා අතර මැක්‍රොන් පැවසුවේ, “මට එක කරුණක් අවධාරනය කිරීමට අවස්ථාව ලබා ගැනීමට අවශ්‍යයි: අප එක්සත් ජනපද ඩොලරයේ දේශභූමි සීමා අභිබවා යෑම මත රඳා නොසිටිය යුතුය,” යනුවෙනි.

මැක්‍රොන්ගේ “ස්වාධීනත්වයට” ප්‍රශංසා කරන ප්‍රංශ පුවත්පත්වල ලිපි පළ කරමින්, ප්‍රංශ ප්‍රතිපත්තියේ නවතම හැරීම සඳහා බීජිං පාලන තන්ත්‍රයේ සහාය පිළිඹඳව චීන විචාරකයෝ සංඥා කළහ.  චීන රජයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත “මැක්‍රොන්ගේ චීන සංචාරය ආරක්ෂක ස්වාධිපත්‍යයේ වටිනාකම මූර්තිමත් කරයි” යන මාතෘකාවෙන් යුත් කතුවැකියක් නිකුත් කරමින්, වොෂින්ටනයේ බලපෑම තුලනය කරන චීන-යුරෝපීය සන්ධානයකට මාවතක් විවර කිරීම ගැන මැක්‍රොන්ට ප්‍රශංසා කළේය.

ග්ලෝබල් ටයිම්ස් මෙසේ ලිවීය: “වෙනස් වන ජාත්‍යන්තර භූ දර්ශනය තුළ ප්‍රංශය විසින් පෙන්නුම් කරන ලද උපායමාර්ගික ස්වයං පාලනය සහ ස්වාධීන රාජ්‍යතාන්ත්‍රික උද්‍රෝගය චීන ජනතාව සැමවිටම අගය කර ඇත.  එවකට හිටපු ප්‍රංශ ජනාධිපති චාල්ස් ඩි ගෝල් ප්‍රංශයේ ජාතික ස්වෛරීභාවය සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.… වොෂින්ටනයේ ආරක්ෂක ආවතේවකරුවෙකු වීම මාරාන්තික අවසානයක් බව කාටත් පැහැදිලිය.  චීන-ප්‍රංශ සබඳතාව චීන-යුරෝපීය සහයෝගීතාවය සඳහා පාලමක් බවට පත් කිරීම දෙපාර්ශවයට මෙන්ම ලෝකයට ප්‍රයෝජනවත් වේ.”

වොෂින්ටනය සිය ගෝලීය ආධිපත්‍යය රැක ගැනීම සඳහා රුසියාව හා චීනය සමඟ යුද්ධ ඇවිලවීමේ ප්‍රමුඛ භූමිකාව ඉටු කරන අතරම, පැරිසියෙන් සහ බීජිං වෙතින් ඔවුන්ගේ ජාතික අවශ්‍යතා වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම සඳහා “බහු ධ්‍රැව” ධනේශ්වර පර්යායක් සඳහා ගෙන එන යෝජනා ද ස්ථිරවම ප්‍රතිගාමී ය.  ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයේ [එක්සත් ජනපදයේ] ප්‍රතිපත්තිය පමනක් නොව, 20 වැනි සියවසේ ලෝක යුද්ධවලට පෙර මෙන්, සමස්ත ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතියම, මුලු මුනින්ම බංකොලොත් ය.

ප්‍රංශයේ මැක්‍රොන්ගේ ප්‍රතිපත්තියෙන් මෙය වඩාත් පැහැදිලිව මතු වේ.  අතිමහත් මහජන විරෝධයක් නොතකා පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව විශ‍්‍රාම වැටුප් සඳහා ගැඹුරු කප්පාදුවක් පනවමින්, දැවැන්ත මිලිටරි ගොඩනැංවීමකට මුදල් සැපයීම සඳහා ඔහු ජනතාවට එරෙහිව පාලනය කරයි.  ඇත්ත වශයෙන්ම, චීනයේ සිටියදී, මැක්‍රොන් ඔහුගේ කප්පාදුවලට විරුද්ධ වන ප්‍රංශ ජනතාවගෙන් බහුතරයක් ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කරමින්, ඔහුගේ පාලන තන්ත්‍රය “ප්‍රජාතන්ත්‍රවාදී” බව අවධාරනය කර පසුව,  “මිනිසුන්ට විශ්‍රාම යන වයස අවුරුදු 60 ට අවශ්‍ය නම්, ඔවුන් මට ඡන්දය නොදිය යුතුව තිබුණි” යනුවෙන් අතුල් පහරක් ගැසුවේ ය.

පැරිස් සහ බීජිනය විසින් උත්කර්ෂයට නංවන “ජාතික ස්වාධිපත්‍යය” වැඩකරන ජනතාවගේ නිදහස හා සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳව නොව, ඒ වෙනුවට ධනේශ්වර පන්තීන්ට තම ලාභ අවශ්‍යතා සඳහා යුද්ධ කිරීමට ඇති නිදහසයි.

ප්‍රංශය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් පැහැදිලි වේ.  එක්සත් ජනපද ඩොලරය සම්බන්ධයෙන් වොෂින්ටනය සහ පැරිස් අතර නැගී එන ගැටුම් සහ ඇල්ජීරියානු නිදහසට එරෙහි ප්‍රංශයේ යුද්ධයේදී ඩි ගෝල් ඝාතනය කිරීමට උත්සාහ කළ ප්‍රංශ දක්ෂිනාංශයේ ප්‍රතිවාදී කන්ඩායම්වලට සීඅයිඒ උදව් කර ඇති බවට ප්‍රංශයේ සැකය මධ්‍යයේ 1965 දී ඩි ගෝල් නේටෝවෙන් ඉවත් විය [නැවත ප්‍රංශය නේටෝවට සම්බන්ධ වීම 2004-2009 කාලය තුලදී සම්පූර්ණ කෙරිණි]. 1964 දී මහජන චීන සමූහාණ්ඩුව පිළිගත් පළමු නේටෝ රට බවට ප්‍රංශය පත් වූයේ මෙම ගැටුම් වර්ධනය වීමත් සමඟ ය.

1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදීන් විසින් විසුරුවා හැරීමත් සමඟ නේටෝ කඳවුරට පොදු සතුරෙකු අහිමි කිරීමෙන් පසු එක්සත් ජනපද – ප්‍රංශ ආතතීන් තියුණු විණි.  මෙම ආතතීන්ගේ ද්‍රව්‍යමය මූලාශ්‍රය වූයේ ලෝක ආර්ථිකයෙන් ලාභ බෙදා ගැනීම පිලිබඳ අරගලයයි.  2003 දී වොෂින්ටනය තෙල්වලින් පොහොසත් ඉරාකයට නීති විරෝධී ආක්‍රමණය දියත් කිරීමත් සමඟ ඇතිවූ එක්සත් ජනපද-ප්‍රංශ ආතතීන්ට අමතරව, ප්‍රංශ අධිරාජ්‍යවාදය පශ්චාත්-සෝවියට් යුගයේ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද සියලුම ප්‍රධාන යුද්ධවලට සම්බන්ධ වී ඇත – ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය වෙත හමුදා යැවීම, ලිබියාව, සිරියාව තුල සහ ඉන් ඔබ්බට.

බීජිං සහ වොෂින්ටනය යන දෙකටම ප්‍රතිවාදී “තුන්වන ධ්‍රැවයක්” ලෙස යුරෝපය ගොඩනැගීම සඳහා කම්කරුවන්ගේ කරමතින් මූල්‍යකරණය කරන ලද “යුද ආර්ථිකයක්” සඳහා මැක්‍රොන්ගේ ප්‍රතිගාමී කැඳවීම්වලට යටින් පවතින්නේ වොෂින්ටනය සමඟ ඇති ප්‍රංශ අධිරාජ්‍යවාදී එදිරිවාදිකමයි.

රට තුල පුපුරන සුලු අර්බුදයක් මධ්‍යයේ මැක්‍රොන්ගේ ගමනට දේශීය මෙන්ම ගෝලීය මානයක් තිබුණි.  ඔහු වෘත්තීය සමිති නිලධරයන්ගේ හා ව්‍යාජ වාම කන්ඩායම්වල සේවය වර්ජනය අවසන් කිරීමට හා අවසානයේ කප්පාදුව පිලිගැනීමට කම්කරුවන්ට බලපෑම් කිරීමට යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.  ඩි ගෝල් සහ ස්ටැලින්වාදී ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය සමග ඔහුගේ සන්ධානය අගයන වෘත්තීය සමිති නිලධරය අතර සිටින ස්වෝත්තමවාදීන්ට ආයාචනා කරමින් ප්‍රංශ ජාතික ස්වයං පාලනය පිලිබඳ කරන වාචාල කතා, නිලධරයන් තුල ඔහුගේ සහයෝගය ඉහල නංවනු ඇතැයි මැක්‍රොන් නිසැකව ම බලාපොරොත්තු වේ.

සැලකිය යුතු ලෙසම, මැක්‍රොන්ගේ චීන සංචාරය සිදුවන්නේ ව්‍යාජ වාම ‘යටත් නොවන ප්‍රංශ පක්ෂයේ [Unsubmissive France party]’ නායක ජීන්-ලූක් මෙලන්කොන් [Jean-Luc Mélenchon] පසුගිය සරත් සමයේ එක්සත් ජනපද තායිවාන ප්‍රතිපත්තිය නැවත නැවතත් විවේචනය කර “එක් චීනයක්” ප්‍රතිපත්තියට සහාය දීමෙන් පසුවය.

කම්කරුවන් යුද්ධයට එරෙහි අරගලය මැක්‍රොන්ට සහ බීජිං හි චීන ස්ටැලින්වාදී තන්ත‍්‍රයට පැවරීම දේශපාලනිකව සියදිවි නසාගැනීමක් වනු ඇත.  මැක්‍රොන්, කම්කරු පන්තියේ මහා වැඩවර්ජනයක් මගින් පන්නා දැමිය යුතු, ප්‍රන්සයේ තවත් ඒකාධිපති පාලනයකට නායකත්වය දෙයිඔහුගේ බීජිං සංචාරය අවධාරනය කරන්නේ එවන් අරගලයක් සඳහා ඇමරිකාව, යුරෝපය, චීනය සහ ඉන් ඔබ්බට අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනවාදයට එරෙහිව කම්කරුවන් එක්සත් කරමින් කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වන බවයි. [අවධාරනය පරිවර්තකගෙනි]

#theSocialistLK #WSWS 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top