“මැතිවරන වසර”, ශ්‍රිලපොපෙ දෙවන සම්මේලනය හා සුලු ධනේශ්වර බුද්ධිමතුන් ඔසවන ජවිපෙ – 01 කොටස

එල්.පී. උදයප්‍රේම විසිනි.

මෙය කොටස් දෙකකින් යුතු ලිපියකි. පලමු කොටස අද මෙහි පලවේ. දෙවන කොටස හෙට (13) දින පලවනු ඇත.

මහජනයා මුහුන පා සිටින ආර්ථික අර්බුදයේ රුදුරු කොන්දේසිවලින් ඇලලී යන  වර්ෂයක් වන 2024 “මැතිවරන වසරක්” හැටියට හුවා දක්වමින්, ධනපති පක්ෂ, ඊනියා වාම කොටස්, ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් හා  ධනපති මාධ්‍ය  බලගතු ප්‍රචාරයක් ගෙන යයි. “මැතිවරනය”, මහජනයා මුහුන දී සිටින ව්‍යසනය දූරීභූත කොට සාමකාමී පරිසරයක් ගොඩ නැඟීමට ඇති අවස්ථාවක් ලෙස පෙන්වීමට ඔවුහු එකිනෙකා හා තරඟ වදිති.

තතු එසේ වුව ද, මැතිවරන උද්ඝෝෂනය ආරම්භ වූයේ, ධනපති පක්ෂ හා කන්ඩායම් තුල කා කොටා ගැනීම් හා  භේදයන් උත්සන්න කරමින් ය. වෙන කවරදාටත් වඩා පාලක ප්‍රභූව තුල උත්සන්න වී ඇති මේ කා කොටා ගැනීම්, අර්බුද ග්‍රස්ත පන්ති පාලනය රැක ගැනීමට ශක්තිමත් ධනපති  පාලනයක් අටවා ගැනීමේ මංමුලාව සමඟ ගැට ගැසී තිබේ.

පාලන බලයේ සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන තුල මතු වී ඇති අර්බුදය එය කුලු ගන්වන්නකි. එහි හිටපු හා ආරම්භක සභාපති ජී.එල්.පීරිස් සහ පක්ෂයේ ප්‍රමුඛයකු මෙන් ම රාජපක්ෂවාදියෙකු ද වන ඩලස් අලහප්පෙරුම පක්ෂයෙන් ඉවත් ව ගොස් නිදහස ජනතා සභාව (Freedom People’s Congress) අටවා ගැනීම කැපී පෙනෙන සිද්ධියකි. සති කිහිපයක් යන්නටත් මත්තෙන් එම සංධානය බිඳ වැටී, පීරිස්ගේ කන්ඩායම සමගි ජන බලවේගය තුලට රිංගා ගත්තේ ය. දැන් පීරිස් කල්ලිය ඊට එක් වන ලෙසට අලහප්පෙරුම උනන්දු  කරවමින් සිටි. අලහප්පෙරුම්ගේ කල්ලිය, ව්‍යාජ ආන්ඩු විරෝධී  විවේචනයන්ට මුවා වී සිටිමින්, වඩාත් බලගතු පැත්ත තෝරා ගැනීම සඳහා කල් මරමින් සිටී.

ඒ අතරතුර, මැතිවරනයෙන් රනිල් වික්‍රමසිංහ යලි බලයට ගෙන ඒමේ උද්ඝෝෂනයක  ශ්‍රිලපොපෙ  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුලු කන්ඩායමක් නියැලී සිටී. නව සංධානය නමින් පෙනී සිටින කන්ඩායම, පොදු පෙරමුනේ භේද ව සීසී කඩ ගිය කොටස් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ යලි ගොනු කර ගැනීම එල්ල ගත් එකකි.  

මේ අතර, ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු හා ප්‍රකට කැසිනෝ අයිතිකරුවෙකු වන ධම්මික පෙරේරා ඉදිරියට දමාගත් උද්ඝෝෂනයකට පොදු පෙරමුනේ තවත් කල්ලියක් බැස සිටී. ධම්මික පෙරේරා ද ඊට ඉව අල්ලයි.

මහින්ද රාජපක්ෂගේ පසුපස එල්ලී එම ආන්ඩුවේ ඇමැති තනතුරුවලට පැන ගෙන සිටි චම්පික රනවක දැන් රාජපක්ෂ විරෝධියෙකු වී සිටි. සමාජයේ පවතින රාජපක්ෂ විරෝධයට ගැලැපී ගනිමින් ඔහු රාජපක්ෂ කෙනෙකු නොවන අයෙකු නායකත්වයට පත් කර ගතහොත් ප්‍රශ්නය විසඳා ගත හැකිය යන මිත්‍යාව තොරොම්බල් කරයි. ඔහුගේ ප්‍රයත්නය වන්නේ මහජනයා අත් විඳින ව්‍යසනය ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති ආර්ථික පිලිවෙත නිසා සිදු වන්නක් නො වන බව ඒත්තු ගන්වා,  එම තතු හුදු පුද්ගලයෙකුගේ පෞද්ගලික වරදකට සිඳවීම ය. ඒ අතර වික්‍රමසිංහ හා අනිකුත් පක්ෂ අතර සංධානයකට කපුකම් කිරීමේ ව්‍යායාමයක ද රනවක යෙදී සිටි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හා චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ඔවුන් අතර පැවති දේශපාලන විරසකය යටපත් කර ගනිමින් යලි සන්ධානයකට අර අදින්නට පටන්ගෙන ඇත. මාධ්‍ය වාර්තාවන්ට අනුව, මේ වනාහී කුමාරතුංගගේ නායකත්වයෙන් පොදු ජන එක්සත් පෙරමුන දේශපාලන කරලියට යලි ගෙන ඒමේ උත්සාහයකි. ඒ සදහා පැවති සාකච්ඡාවට මූලික වී සිටින්නේ වික්‍රමසිංහට සහයෝගය දක්වන අනුර ප්‍රියදර්ශන යාපා, රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ඇතුලු කන්ඩායමකි.   2015 යහපාලන ආන්ඩුව ගෙන ඒමේ දී ඇමරිකාව හා ඉන්දියාවේ පාලක ප්‍රභූවේ  සහය ඇතිව සිදු කල තන්ත්‍ර මාරුවට සිරිසේන, වික්‍රමසිංහ සහ කුමාරතුංග මුලිකත්වය ගත්තෝය.

මේ අතර සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බල වේගයේ (සජබ) නායකයෙකු වන රාජිත සේනාරත්න ප්‍රසිද්ධියේ වික්‍රමසිංහගේ පිලිවෙත් අගය කිරීම, එහි නියෝජ්‍ය නායක සරත් ෆොන්සේකා හා පක්ෂ නායකයා අතර වර්ධනය වන විරසකතාවයන්, සජබ අලලා ගත් දුරදිග යන දේශපාලන අර්බුදයක පිලිබිඹුවකි.

පෙබරවාරි 7දා ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී, ඊට විරුද්ධත්වය පාමින් විපක්ෂ නායකවරයා ඇතුලු සජබ බහුතරය පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිට ව යෑමේ දී සේනාරත්න, ෆොන්සේකා ඇතුලු මන්ත්‍රී පිරිසක් ඊට එක් නොවීමත් කා කොටා ගැනීමේ තරම එලිමහනට ගෙන ආවේ ය. ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුලු පිරිසක් වික්‍රමසිංහගේ අයිඑම්එෆ් පිලිවෙත් කෙරෙහි දක්වන විවෘත එකඟතාවත් පක්ෂය තුල වැඩෙන එම අසමගියේම පිලිබිඹුවකි.

මේ පෙල ගැසීම්වලට ප්‍රතිචාර දක්වමින් පැරනි වමේ නායකයෝ, ධනපති ශ්‍රී ලංකා මහජන පක්ෂය ද සමඟ, එලඹෙන මැතිවරනයේ දී තම සංවිධාන කවර ධනපති කන්ඩායමක් සමග පෙල ගැසෙන්නේ ද යන්න සාකච්ඡා කිරිමට පෙබරවාරි 7දා , ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ (කොප) මූලස්ථානයට රැස් වූහ. කොප, ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය (ශ්‍රීලමප) රැස් වී එහි දී ගත් තීන්දු වන්නේ, ඊට ගැලපෙන අවස්ථාවාදීන් රොත්තක් එකතු කර ගැනීමයි. මාධ්‍යයට අනුව එකී සන්ධානයට එකතු කර ගැනීමට නියමිත වූවන් අතර ඩලස් අලහප්පෙරුම, චරිත හේරත්, දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර වැනි දේශපාලන ගැටකපන්නෝ ගනනාවක් වෙති. කවර වර්ගයේ ප්‍රතිගාමී කල්ලියක් වුව ද ඈඳා ගනිමින් ධනපති පාලනයක් ගෙන ඒමටත්, ඒ තුල තමන්ට වාසිදායක තැනක් තනා ගැනීමටත් පැරනි වම දරන තැත යලි එලිමහනට පැමින තිබේ.  

එක සමාන පිලිවෙතක්

අර්බුදයේ එරී සිටින පක්ෂ, කල්ලි- කන්ඩායම් හැම එකකම කැපී පෙනෙන සමානකම වන්නේ, තමන් පෙනී සිටිනවා යැයි කියා ගන්නා මහජනයා කෙරෙහි දක්වන නො තැකීම හා  වෛරය යි.

ආර්ථික විසඳුම හැටියට මේ සියල්ලන්ටම ඇත්තේ, අයිඑම්එෆ් සැලසුම් යටතේ වර්තමාන ආන්ඩුව ක්‍රියාවට දමන පුද්ගලිකරනය, රැකියා හා සුබසාධන කප්පාදුව සහ බදු බර පැටවීමයි. මැතිවරන උද්ඝෝෂන මධ්‍යයේ පවා අයිඑම්එෆ් සැලසුම් පිලිබඳ ව හුදු විරුද්ධත්වයක්වත් නො පෑමට ඔවුන් අදිටන් කර ගැනීමෙන් එය පෙන්නුම් කෙරේ. මහජනයාට එරෙහි ව අධිරාජ්‍යවාදී පිලිවෙත් පිටුපස පෙල ගැසීම වසන් කිරීමට හා මහජනයා රැවටීමට මැතිවරනයේ දී ඔවුහු ප්‍රධාන උද්ඝෝෂනය කොට ගෙන ඇත්තේ වංචා-දූෂන විරෝධයයි. මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ ඒවායේ ප්‍රමුඛ බහුතරය අඩුවැඩි වසයෙන් දූෂිතයන් වීමයි!

ශ්‍රිලපොපෙ සම්මේලනය හා ප්‍රතිගාමිත්වය

මහජන අප්‍රසාදයට හා පක්ෂ අභ්‍යන්තර අර්බුදයට මැදි ව සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන, මැතිවරන උද්ඝෝෂනය ඉලක්ක කොට ගනිමින්, ඒ සඳහා පක්ෂය පන ගන්වා ගැනීමට පක්ෂ සම්මේලනයක් කැඳවා ගත්තේ ය.

ශ්‍රිලපොපෙ සම්මේලනය Courtesy of Sunday Observer

2022 අප්‍රේල්-ජුලි මහජන අරගලය තුල ආන්ඩුව බිඳ වැටීමෙන් අනතුරු ව ප්‍රසිද්ධ දේශපාලන කටයුතුවලින් ඈත් වී, මහජනයාගෙන් සැඟවී සිටි ශ්‍රිලපොපෙ දේශපාලනඥයෝ දෙසැම්බර් 15දා කොලඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති පක්ෂ සම්මේලනයෙන් යලි දේශපාලන කරලියට ඇදෙන්නට උත්සාහ ගත්හ.

පාලන බලය දරා සිටින ශ්‍රීලපොපෙට, රට පුරා අඬ බෙර ගසා, විශාල මුදල් කන්දරාවක් යට කර පැවැත්වූ සිය 2 වැනි සම්මේලනයට කැඳවා ගත හැකි වූයේ 5000කටත් අඩු කන්ඩායමකි. හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවති  සම්මේලන උත්සවයට සිය සහචර පක්ෂ, කල්ලි කන්ඩායම් කැඳවා ගැනීමට පවා එය අසමත් වී තිබුනි. පක්ෂය ගොඩ නැගීමට මූලික වූ, රාජපක්ෂ බලයට ගෙන ඒමට දරදිය ඇද්දා වූ ප්‍රබලයන් ගනනාවක් ඒ  වන විටත්   පක්ෂය  හැර ගොස් තිබුනි. ඉන් නො නැවතී ඔවුහූ, රටේ සිදු කල ආර්ථික විනාශයට රාජපක්ෂ කල්ලිය වගකිවයුතු බවට චෝදනා කරන්නට වූහ.

ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡන්දයෙන් බලයට පත් වූ ආන්ඩුවක් මහජන විරෝධතාවය විසින් පලවා හරින ලදී. එහි ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යෑමට බල කෙරුනි. වීදි අරක් ගත් කම්කරුවන් ඇතුලු මහජනයාගෙන් ධනපති පංති පාලනය රැකුනේ වෘත්තිය සමිති, ව්‍යාජ වාම සංවිධාන හවුල් කර ගෙන මහජන ව්‍යාපාරය මුදුනට නැග ගත් ධනපති පක්ෂ යලි ආන්ඩුවක් ඇටවීමට කල කුමන්ත්‍රනය ඵල දැරීමේ ප්‍රතිඵලයක් හැටියට ය.

රටේ ප්‍රධාන ධනපති පක්ෂ අන්‍යොන්‍ය සහයෝගයෙන් දුර්වල ආන්ඩුවක් අටවා ගැනීමට සමත් වුව ද, ඊට ලැබෙන මහජන සහයෝගය දිනපතා ඛාදනය  වෙමින් පවතී. පක්ෂ අනුගාමිකයන්ගේ සහයෝගය නො ලැබීම හරහා ශ්‍රීලපොපෙ සම්මේලනය පිලිබිඹු කලේ ද එම ඛාදනය යි.

සම්මේලනයේ දී ශ්‍රීලපොපෙ නායකත්වයේ සියලුම කථා යොමු වූයේ, මහජනයා මුහුන දෙන බරපතල ආර්ථික හා සමාජීය ප්‍රශ්න අමතක කිරීමට ය. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ ආගමික හා වාර්ගික භේදකාරීත්වයේ පසුගාමීත්වය අවුලුවා ලීම යි.

තම පංති පාලනය රැක ගැනීමට ලංකාවේ ධනපති ප්‍රභූව නිරන්තර ව යොදා ගත් ආගමික හා වාර්ගික උද්ඝෝෂනයේ පුරෝගාමියා වූ අනගාරික ධර්මපාල තම පක්ෂයේ වීරයෙක් හැටියට ශ්‍රීලපොපෙ මහලේකම් සාගර කාරියවසම්, සම්මේලනය ආරම්භයේ දී ම සිහි කලේ ය. “සිංහල ජාතියට අවශ්‍ය ශක්තිය” ලබා දුන් නායකයා හැටියට ධර්මපාල ඔජ වැඩූ කාරියවසම්ට අනුව, ධර්මපාලට පසුව “මේ රටේ සිංහල ජාතියට අවශ්‍ය ශක්තිය” දුන්, “රටේ බෞද්ධ පුනරුදය” ඇති කල වර්තමාන වීරයා මහින්ද රාජපක්ෂ ය. නමුත් ඊට සාධක වශයෙන් රාජපක්ෂ විසින් කරනු ලැබ තිබූ දේ හැටියට කාරියවසම්ට සඳහන් කිරීමට තිබුනේ, සිංහල වර්ගවාදීන්ට පමනක් ආඩම්බර විය හැකි, ලේ ගඳ ගහන 2009  යුද ජයග්‍රහනය පමනි.

මෙවර සම්මේලනය, බන්ඩාරනායකගේ හා ඩී.එම්.රාජපක්ෂගේ මැද මාවතේ ආර්ථික පිලිවෙත් ගැන කරන පූච්චානම් කතා ඉවත ලා තිබුනි.

සම්මේලයේ දී කාරියවසම්, විශේෂයෙන් පීඩිත තරුනයන්ට, “අනුන්ගෙන් කකා බිබී සිටින්නන්”, “කුහකයන්” ආදි වශයෙන් අවලාද නැගී ය. කාරියවසම්ගෙන් එලියට පැන්නේ, ශ්‍රීලපොපෙ ආන්ඩුව බිඳ දමා, ධනපති පාලනය අස්ථාවර තත්ත්වයට ඇද දැමූ 2022 තරුන ජනයාගේ කැරලිකාරීත්වය කෙරෙහි පාලක ප්‍රභූවේ පවතින වෛරය යි. එය සමස්ත කම්කරු පීඩිත මහජනයා කෙරෙහි පාලක පංතිය තුල වැඩෙන පිලිකුලේ, වෛරයේ හා භීතියේ ප්‍රකාශනයකි.

කම්කරුවා, ගොවියා, ධීවරයා හා සුලුතර ජන කොටස්වල ගැටලු විසඳීමේ මුනිච්චාවට කරන කතා, පොරොන්දු හා යෝජනා ශ්‍රීලපොපෙ සම්මේලනයේ අහලකටවත් ගෙන නො තිබුනි.

මැතිවරනය අරමුනු කොට පැවත් වූ සම්මේලනය  මැතිවරන යෝජනා, පොරොන්දු හා ආර්ථික, දේශපාලනික සැලසුම් සාකච්ඡා කරනු වෙනුවට වැඩි කාලයක් ගත්තේ, සම්මේලනයේ ප්‍රධාන කතිකයන් වූ සාගර කාරියවසම්, බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ විසින් පවත්වන ලද, 2022 මහජන නැගිටීම් මධ්‍යයේ තම දේශපාලඥයන්ට සිදු වූ පහර දීම්, නිවාස හා රථවාහන ගිනි තිබීමේ සිද්ධීන් පිලිබද ව වාඩුව ගැනීමේ වෛරී කථාවලට ය. පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, “එදා අරගලයට මුවා වෙලා අපට පහර දුන්නා. නිවාස ගිනි තිබ්බා. අපේ මන්ත්‍රීවරයකු අමානුෂිකව මහ මග මරා දැම්මා”යි කෝපය අවුලුවමින් කතා කලේ ය. “සැබෑ අපරාධකරුවෝ ඉන්නේ නිදැල්ලේ”යැයි චෝදනා කල රාජපක්ෂ, තමන්ගේ ආන්ඩුවකින් ඒ වාඩුව ගන්නා බවට ඉඟී කරමින්, “මේ ප්‍රශ්නය අනාගතයේ සාධාරන ව විසඳනවා කියන පනිවුඩය මං ඔබ හමුවේ තබනවා”යි පොරොන්දු දුන්නේ ය.

බැසිල් රාජපක්ෂ තම පාක්ෂිකයන්ට පහර දෙන්නන්ට ප්‍රතිප්‍රහාර දෙන බවට තර්ජනය කලේ ය. කාරියවසම් එම ඝෝරනාඩුවම ප්‍රතිරාවය කලේ ය.

ධනපති පීඩනයට එරෙහිව පැන නැගෙන කම්කරු පීඩිත අරගල පාගා දැමීම සඳහා මධ්‍යම පන්තිය තුලින් ඉදිරියට ගැනීමට නියමිත ෆැසිස්ට් බලවේගයක තිඹිර ගෙයක ස්වරූපය සම්මේලනය අරක්ගෙන පැවතියේය.

කොවිඩ් 19 මගින් ඇති කෙරුනු පසුබැසීම හා ගෝලීය ආර්ථික බිඳ වැටීම මගින් වඩාත් උත්සන්න කෙරුනු ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය සම්මේලනය තුල කිසිසේත් සාකච්ඡාවට නො ගැනුනි. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් හා නැටෝව රුසියාවට එරෙහි ව පවත්වා ගෙන යන යුද්ධයත්, විශේෂයෙන් ඉන්දියාව ඈඳා ගනිමින් ඇමරිකාව චීනයට එරෙහි ව සිදු කරන යුද ප්‍රකෝපකරනය තුල ලංකාව මුහුන පා සිටින ගැටලු, ඊට විසඳුම් සෙවීම ආදී වශයෙන් වූ, පාලන බලයේ සිටින හා යලි බලයට ඔට්ටුවන පක්ෂයක අවධානයට යොමු විය යුතු තීර්නාත්මක කාරනා සම්මේලනය නොතකා හැරියේ එම තීරනාත්මක ප්‍රශ්න වලදී අධිරාජ්‍යවාදයට පාලක පන්තිය ලෙස දක්වන නිසඟ අවනතාභාවය පිලිබඳ සුවිශේෂී අවධාරනයක් අවශ්‍ය නොවූ බැවිනි.     

මහජනයා මුහුන පා සිටින ආර්ථික, සාමාජීය ප්‍රශ්නවලට විසඳුම් නො මැතිකම නායකත්වයේ හුදු පෞද්ගලික දුර්ගුනයකින් පැන නඟින්නක් නො ව, වර්තමාන ධනවාදයේ ගැඹුරු වෙමින් පවතින අර්බුදයෙන් පැන නඟින්නකි. ලෝකය පුරා පාලක පංතීන්, ගෝලීය ධනවාදයේ අර්බුදය හා එමඟින් පැන නංවනු ලබන යුද්ධය, වසංගත රෝග, විරැකියාව, දුගීදුප්පත්කම ආදී සමාජ ව්‍යසනයන් පමනක් නොව, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදය වලලා දමමින් අටවන ආඥාදායක මෘග පාලනයන් ද සාමාන්‍යකරනය කිරීමට හැරී සිටින්නේ එබැවිනි.

1 thought on ““මැතිවරන වසර”, ශ්‍රිලපොපෙ දෙවන සම්මේලනය හා සුලු ධනේශ්වර බුද්ධිමතුන් ඔසවන ජවිපෙ – 01 කොටස”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top