පීටර් ෂ්වාස් විසිනි.
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ජුලි 25 දින ‘European Union-China summit: sharp tensions between Beijing and Brussels’ යන හිසින් පලවූ පීටර් ෂ්වාස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.
එක්සත් ජනපදයේ ආක්‍රමණශීලී වෙලඳ යුද්ධ ප්‍රතිපත්තිය අනෙකුත් කාර්මික රටවල් සහ කලාප වඩාත් සමීප කරනු ඇතැයි දිගු කලක් තිස්සේ අපේක්ෂාවන් පැවතුනි. කෙසේ වෙතත්, චීනය සහ යුරෝපා සංගමය (EU) අතර බ්‍රහස්පතින්දා සමුළුව ප්‍රතිවිරුද්ධ දිශාවට යොමු කරයි. බීජිං සහ බ්‍රසල්ස් අතර ආතතීන් වසර ගණනාවක් තිස්සේ මෙතරම් ඉහළ මට්ටමක නොතිබුණි.

චීන අගමැති Li Qiang, වමේ සිව්වන , යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen, දකුණ තුන්වන , යුරෝපීය කවුන්සිලයේ සභාපති Antonio Costa, දකුණ දෙවන , සහ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිත සහ යුරෝපීය කොමිසමේ උප සභාපති Kaja Kallas, දකුණට, 2025 ජුලි 24 බ්‍රහස්පතින්දා , චීන මහජන මහා ශාලාවේදී රැස්වීම ආරම්භයේදී සවන් දෙයි. [AP ඡායාරූපය/Andres Martinez Casares]
එක්සත් ජනපදය සිය තීරුබදු මගින් සෑම පාර්ශ්වයකටම හානි කරන බවට නිරන්තරයෙන් චෝදනා කරන යුරෝපීය සංගම් කොමිසමේ (EU) සභාපති Ursula von der Leyen, ට්‍රම්ප් පන්නයේ වෙළඳ සම්බාධක මගින් චීනයට තර්ජනය කලාය. චීනය සහ යුරෝපා සංගමය අතර සබඳතා “හැරවුම් ලක්ෂයක” පවතින බවට ඇය අනතුරු ඇඟවීය. වෙළඳ සබඳතාව “අතිශයින් අසමතුලිත” වූ අතර, ද්විපාර්ශ්වික සබඳතා නැවත තුලනය කිරීම “අත්‍යවශ්‍ය” බව ඇය පැවසුවාය. චීනය රාජ්‍ය සහනාධාර ලත් අධි-ධාරිතාවෙන් ලෝක වෙලඳපොලවල් තුළට තල්ලු කර ගැනීම දිගටම කරගෙන යන්නේ නම්, “යුරෝ සංගමයට එහි වත්මන් මට්ටමේ විවෘත භාවය පවත්වා ගැනීම ඉතා අපහසු වනු ඇත” යි ඇය පැවසුවාය.
එවන් ආකාරයේ 25 වැන්න වූ සමුළුව, යුරෝපා සංගමය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සැමරීම සඳහා අරමුණු කරන ලදී. මෙම සබඳතා කිසිදා ආතතියෙන් නිදහස් ව නොතිබුණි. යුරෝපීය ආයෝජන සහ භාණ්ඩ සඳහා චීනයට ප්‍රවේශය, ප්‍රකාශන හිමිකම් සහ පේටන්ට් බලපත්‍ර සදහා ආරක්ෂාව, ප්‍රපාතන මිල ගණන් (dumping prices- විශේෂයෙන් විදේශ වෙළඳපළවල තරගකාරී වීම සදහා මිල බොහෝ අඩු කිරීම) සහ සහනාධාර සහ තවත් බොහෝ ගැටලු සම්බන්ධයෙන් ආරවුල් ඇති වී තිබේ. චීනයට පීඩනය යෙදීම සඳහා යුරෝපා සංගමය ටිබෙටයේ සහ ෂින්ජියැන්ග්හි වාර්ගික සුළුතරයන්ගේ තත්ත්වය ද ප්‍රයෝජනයට ගෙන ඇත.
චීනයට එරෙහි වෙලඳ යුද පියවර පිලිබඳ වොන් ඩර් ලේයන්ගේ තර්ජනය පෙන්නුම් කරන්නේ තීරුබදු පැනවීම එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්ගේ පුද්ගලික විකාරයක් නොව, ධනේශ්වර පද්ධතියේ ගෝලීය අර්බුදයට ප්‍රතිචාරයක් බවයි. පළමු හා දෙවන ලෝක යුද්ධ ආසන්නයේ දී මෙන්, අමුද්‍රව්‍ය, වෙලඳපොලවල් සහ ලාභ සඳහා අරගලය තවදුරටත් සාමකාමී තරඟයකින් නොව, බලහත්කාරයෙන්, බ්ලැක්මේල් සහ මිලිටරි බලය හරහා ගෙන යනු ලැබේ.
කෙසේ වෙතත්, ආර්ථික සබඳතා විශාල ලෙස වර්ධනය වී ඇත. 2024 දී, යුරෝපා සංගමය සහ චීනය අතර භාණ්ඩ හා සේවා වෙළඳාමේ වටිනාකම යුරෝ බිලියන 845 කට වඩා වැඩි විය. මෙය ලෝක වෙලඳාමෙන් සියයට 30කට යන්තම් අඩු ප්‍රමාණයකට අනුරූප වේ. EU යනු චීනයේ වැදගත්ම වෙළඳ සහකරු වන අතර චීනය යුරෝපා සංගමයේ හි දෙවන විශාලතම වෙලඳ ගනුදෙනුකරු වේ.
චීන අපනයනය, ආනයනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ය. 2024 දී යුරෝපා සංගමය චීනය සමඟ යුරෝ බිලියන 300 කට වඩා වැඩි වෙළඳ හිඟයක් වාර්තා කළේය. විශේෂයෙන්ම චීනය තවදුරටත් යුරෝපීය සංගත සඳහා අඩු වැටුප් වේදිකාවක් සහ විකුණුම් වෙලඳපොලක් ලෙස පමණක් සේවය නොකරන අතර, විදුළි මෝටර් රථ, දුර්ලභ ඛනිජ (rare earths) සහ වැඩි වැඩියෙන් AI වැනි තාක්ෂණයන්හි ලෝක ප්‍රමුඛයා බවට පත් වී ඇති බැවින්, පරතරය පුළුල් වෙමින් පවතී.
2020 දීත්, Volkswagen සියයට 19 ක වෙළඳපල කොටසක් සතුව චීනයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයා වූ නමුත් එතැන් සිට එම කොටස සියයට 12 දක්වා අඩු වී ඇත. අනෙක් අතට, චීන වෙළඳ නාම පසුගිය වසර පහ තුළ ඔවුන්ගේ වෙළඳපල කොටස සියයට 36 සිට 69 දක්වා වැඩි කරගන ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මිල අඩු, උසස් තත්ත්වයේ විදුලි මෝටර් රථ නිෂ්පාදනය කිරීමයි.
පසුගිය ගිම්හානයේදී යුරෝපා සංගමය චීන මෝටර් රථ සඳහා මූලික සියයට 10ක තීරුබදු මත්තෙහි සියයට 17 සිට 35 දක්වා අමතර අධිභාර පැන වූයේ ඒවා යුරෝපීය වෙලඳපොලද ජයගැනීම වැලැක්වීම සඳහාය. බොහෝ නවීන තාක්ෂණයන් සඳහා අත්‍යවශ්‍ය වන දුර්ලභ ඛනිජ මත චීනයට ගෝලීය ඒකාධිකාරයක් බදු තත්වයක් ඇත.
චීනයේ ආර්ථික නැගීම කෙරෙහි යුරෝපා සංගමය අතිශය ආක්‍රමණශීලී ලෙස ප්‍රතිචාර දක්වයි. ඒ අතරම, ආර්ථික බැඳීම් සම්පූර්ණයෙන් බිඳ නොදැමීමට උත්සාහ කරයි. යුරෝපා සංගමයේ විශාලතම වෙලඳ සහකරු වන එක්සත් ජනපදය පැනවීමට තර්ජනය කරන දණ්ඩන තීරුබදු සමග එක් වූ කල මෙය විනාශකාරී ආර්ථික ප්රතිවිපාකා ඇති කරනු ඇත.
චීනයේ පාර්ශ්වයෙන්, එහි නායකත්වය වැඩිදුර ආර්ථික සහයෝගීතාව සඳහා තම උනන්දුව අවධාරනය කර ඇතත්, යුරෝපීය බ්ලැක්මේල් තර්ජන වලට යටත් වීමට එය සූදානම් නැත. යුරෝපා සංගම් නායකයින් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළේ චීනය සහ යුරෝපා සංගමය අතර බැඳියා ගැටුම් (conflicts of interest) හෝ භූ දේශපාලනික ප්රතිවිරෝධතා නොමැති බවයි. යුරෝපා සංගම් වෙලඳපොල විවෘතව පවතිනු ඇතැයිද, යුරෝපීය පාර්ශවය “සීමාකාරී ආර්ථික හා වෙළඳ උපකරණ භාවිතා කිරීමෙන් වැළකී සිටිනු ඇතැයිද ” යනුවෙන් බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.
චීනයට එරෙහිව දැඩි ආස්ථානයක් ගැනීම මගින් යුරෝපා සංගමය එක්සත් ජනපදය සමඟ ඇති තීරුබදු ගැටුමේ දී වාසිදායක එකඟතාවයකට එළඹෙනු ඇති බවටද බීජිනය බිය වේ. යුරෝපා සංගමය දැනටමත් චීනයට දේශපාලන හා මිලිටරි පීඩනය වැඩි කරමින් සිටී.
යුක්රේනය සමඟ යුද්ධයේදී, චීනය රුසියාවේ තෙල් මිල දී ගෙන, බටහිර සම්බාධක මගහරිමින් ද්විත්ව භාවිත සංරචක (dual-use components), එනම් ආයුධ නිෂ්පාදනය සඳහා ද භාවිතා කළ හැකි සංරචක සැපයීමෙන් රුසියාවට සහාය දෙන බවට චෝදනා කිරීම සමුළුව පුරාවටම පුනරාවර්තිත තේමාවක් විය. රුසියාවේ මිලිටරි-කාර්මික පදනමට ද්‍රව්‍යමය ආධාර ලබා නොදෙන ලෙසත් යුද්ධය අවසන් කිරීමට එහි බලපෑම භාවිතා කරන ලෙසත් යුරෝපා සංගමය චීනයෙන් ඉල්ලා සිටියේය.
බීජිංහි සමුළුවට පෙර දින, යුරෝපා සංගම් නියෝජිතයෝ ටෝකියෝ හි පැවති යුරෝපා සංගම්-ජපාන සමුළුවකට සහභාගී වූ අතර ආයුධ කර්මාන්තයේ සමීප සහයෝගීතාව සඳහා සහ තීරණාත්මක අමුද්‍රව්‍ය ක්ෂේත්රයේ උපායමාර්ගික යැපීම් අඩු කිරීම සම්බන්ධයෙන් එකඟ වූහ. මෙම තීරණ දෙකම චීනය ඉලක්ක කර ගත් ඒවාය. ජපානය, නේටෝවේ ද සහාය ලබන, චීනයට එරෙහි යුද්ධය සඳහා එක්සත් ජනපද සූදානම සමග දැඩි ලෙස සම්බන්ධ වී සිටී.
ඒ අනුව යුරෝපා සංගම්-චීන සමුළුව කිසිදු දැනෙන ප්‍රතිඵලයකින් තොරව අවසන් විය. මුලින් එය දින දෙකක් පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය එවිටමත් දිනකට කෙටි කර තිබුණි. ඒකාබද්ධ අවසන් ප්‍රකාශයක් නොවුණි. තීරණාත්මක අමුද්‍රව්‍ය බෙදා හැරීම ප්‍රමාද වූ විට උපදේශන යාන්ත්‍රණයක් සහ දේශගුණික ආරක්ෂාව සඳහා බැඳීමක් නොමැති කැපවීමක් පමණි එකඟ වූ සියල්ල වූයේ.
විරැකියාව, සමාජ වියදම් කප්පාදුව සහ වෙඩි උණ්ඩ සදහා ගොදුරු ලෙස භාවිතාව වැනි බර පැන කරගැසීමට සිදුවන කම්කරු පන්තියේ උරමතින් වෙලඳ යුද්ධ සහ යුද්ධ දියත් කෙරේ. එය බෙදීමට ලක්වීම හා ජාතිකවාදී උද්ඝෝෂණ විය ගසට යොදා ගැනීමට ඉඩ නොදිය යුතුය. එය ජාත්‍යන්තරව එක්සත් වී ධනවාදය පෙරලා දැමීම සඳහා සටන් කළ යුතුය. දැවැන්ත තාක්ෂණික වර්ධනයන් විනාශ කිරීමේ මාධ්‍යයක් බවට පත් කිරීම වෙනුවට සමාජ ප්‍රගතිය සඳහා සේවයට යෙදවිය හැක්කේ මේ ආකාරයෙන් පමණි.