ජෝසප් කිෂෝර් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 29 වන දින ‘The March 28 “No Kings” demonstrations: The political lessons’යන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

මාර්තු 28 වන දින පැවති ” නෝ කිංග්ස් ” පෙළපාලිවල තුන්වන වටය, ඇමරිකානු ඉතිහාසයේ විශාලතම එක්දින විරෝධතාව වූ අතර, එය එක්සත් ජනපදය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් වීදිවලට ඇද ගන්නා ලදී. ජනපද 50 පුරා සෑම ප්‍රධාන නගරයකම මෙන්ම කුඩා නගර සිය ගණනක විරෝධතා 3,300 කට වැඩි ගණනක් ඇති විය. දළ වශයෙන් මිලියන 8 ක ජනතාවක් ඒවාට සහභාගී වූ බව සංවිධායකයින් ගණන් බලා තිබේ.
එක් එක් විරෝධතාවල පරිමාණය අසාමාන්‍ය විය: ජාතිකව ප්‍රමුඛතම රැස්වීම ලෙස නම් කරන ලද මිනියාපොලිස්–ශාන්ත පාවුහි, රාජ්‍ය කැපිටල් ක්‍රීඩාංගණයට 100,000 ත් 200,000 ත් අතර පිරිසක් ඇදී ආහ. නිව්යෝර්ක් නගරයේ ඇස්තමේන්තුගත සහභාගිත්වය 350,000 ක් විය; බොස්ටන්හි 180,000 කි (අපේක්ෂා කළ ප්‍රමාණය මෙන් දෙගුණයක්); චිකාගෝහි 200,000 ක් විය; සියැටල්හි 90,000 ක් සහ සැන් ඩියාගෝහි 40,000 ක් ඇතුළුව රට පුරා ප්‍රධාන නාගරික මධ්‍යස්ථානවල විශාල විරෝධතා වාර්තා විය. සංවිධායකයින් ප්‍රකාශ කළේ, ජාතික විරෝධයේ පළල අවධාරණය කරමින්, ප්‍රධාන වශයෙන් ග්‍රාමීය, රිපබ්ලිකන්-නැඹුරු ප්‍රජාවන් තුළ. විරෝධතා 600 ක් පමණ සිදු වූ බවයි
මාර්තු 28 වන දින විරෝධතාවල පරිමාණය, රට තුළ ඒකාධිපතිත්වයේ වර්ධනය සහ විදේශයන්හි අධිරාජ්‍යවාදී යුද්ධයේ උත්සන්න වීම කෙරෙහි මහජන කෝපයේ ගැඹුර පිළිබිඹු කළේය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවලින් බිඳී යන ධනේශ්වර කතිපයාධිකාරය සහ ජනගහනයේ පුලුල් ජනතාව අතර ගැටුමක් දිග හැරෙමින් තිබේ.
දැන් මාසයක් පැරණි ඉරානයට එරෙහි යුද්ධය, රැළි වලට සහභාගී වූවන්ට තීරණාත්මක උද්වේගකර බලවේගයක් විය. විරෝධතා කැඳවූ සංවිධාන විසින් එය අවතක්සේරු කරන ලද නමුත්, නගරයෙන් නගරයට සංකේත සහ ගායනා මගින් විරෝධය ප්‍රකාශ විය. පෙලපාලි පැවැත්වෙන අතරතුර, ට්‍රම්ප් විසින් ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක සහිත තවත් මිලිටරි උත්සන්න කිරීමක් සූදානම් කරමින් සිටියේය. විරෝධතාවලට පසු දින, වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ පෙන්ටගනය ඉරානයේ “සති හෝ මාස කිහිපයක” ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් වෙමින් සිටින බවත්, වංචාකාරී සාකච්ඡා කඩතුරාව මධ්‍යයේ එවැනි මෙහෙයුම් සඳහා සැලසුම් කිරීම “සති ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පවතින” බවත්ය.
විරුද්ධවයේ පරිමාණය පාලක පන්තිය භීතියට පත් කරන අතර, සංගත මාධ්‍යවල ප්‍රතිචාරය වූයේ එය අවතක්සේරු කර හැකි ඉක්මනින් ඉදිරියට යාමයි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත එහි කෙටි වාර්තාවේ දී සදහන් කලේ, විරෝධතා පෙළපාලි සංවිධානය වූයේ යුද්ධයට සහ ආඥාදායකත්වයට එරෙහි දැවැන්ත විරෝධතා පිපිරීමක් ලෙස නොව, “කලකිරීමට පත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්” සහ මධ්‍ය-වාර මැතිවරණ උපාමාරු සඳහා වාහකයක් ලෙස යනුවෙනි. ඊට පසු දින ඉරිදා කේබල් ප්‍රවෘත්ති වැඩසටහන් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම විරෝධතාව ගැන සඳහන් කළේ යන්තමිනි.
මුහුණ දිය යුතු ප්‍රශ්නය නම්: විරුද්ධත්වයේ පරිමාණය සැලකිල්ලට ගත් විට, ට්‍රම්ප් තවමත් බලයේ සිටින්නේ කෙසේද? යන්නයි. ව්‍යවස්ථාව විවෘතව උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වන, ඒකාධිපතිත්වයක් ගොඩනඟන සහ ලෝක ජනගහනය නීති විරෝධී ආක්‍රමණශීලී යුද්ධයකට ඇද දමන අපරාධකාරී තන්ත්‍රයකට පාලනය දිගටම කරගෙන යා හැක්කේ කෙසේද?
පිළිතුර පවතින්නේ මිලියන ගණනකගේ කෝපය සහ විරෝධතා කැඳවූ විපක්ෂ යැයි කියනු ලබන ඩිමොක්‍රටික් පක්ෂයට සම්බන්ධ කණ්ඩායම් (Indivisible මගින් මෙහෙයවනු ලබන) අතර දේශපාලන පරතරය තුළ ය. යුද්ධය හිතාමතාම අවතක්සේරු කිරීමේදී මෙය වඩාත් තියුණු ලෙස ප්‍රකාශ විය.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්ට ජර්මනියේ නියුරම්බර්ග් හි පැවති “නෝ කිංස් ” රැලිය ඇමතීමෙන් වලකන ලදී. ඩිමොක්‍රටික් පක්ෂ ක්‍රියාකාරීන් “ඩිමොක්‍රටික් පක්ෂය සහාය දෙන ඉරානයට එරෙහි නීති විරෝධී යුද්ධයට එරෙහිව කතා කිරීමට සහ එය හෙළා දැකීමට මට ඉඩ නොදෙනු ඇත” යනුවෙන් නෝර්ත් සඳහන් කළේය.
ප්‍රධාන රැලිවලදී, ඩිමොක්‍රටික් දේශපාලනඥයන් යුද්ධය සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම හෝ එය අමතර වාක්‍ය ඛණ්ඩයකට ඌනනය කරන ලදී. මන්ද ඔවුන් යුද්ධයේ මූලික අරමුණු සමඟ එකඟ වන අතර එහි මූලික නිර්නායකයන් පිළිගන්නා බැවිනි. බොස්ටන්හිදී, සෙනෙට් සභික එලිසබෙත් වොරන් “ඉරානය” ගැන කිසිසේත් සඳහන් නොකළ අතර, ට්‍රම්ප් “ලොව පුරා අඩක් බෝම්බ හෙළීමට දිනකට ඩොලර් බිලියනයක් වියදම් කිරීම” පිළිබඳ කෙටි සඳහනක් පමණක් ඇතුළත් කලාය.සෙනෙට් සභික එඩ් මාර්කි යුද්ධය ගැන සඳහන් කළේ වැදගැම්මකට නැති වාක්‍ය ඛණ්ඩයක් මගිනි.
මිනසෝටා හි දී බර්නි සැන්ඩර්ස්ගේ විවෙචන ප්‍රධාන ඩිමොක්‍රටික් පක්ෂ චරිතයක් විසින් යුද්ධය සඳහා වාක්‍යයකට වඩා කැප කරන ලද එකම අදහස් දැක්වීමයි. “ඉරානයේ යුද්ධය ගැන අද අපට බොරු කියනු ලැබේ,” සැන්ඩර්ස් ප්‍රකාශ කළේය. “ට්‍රම්ප් සහ ඔහුගේ සහකරු වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කළ අතර එය “ව්‍යවස්ථා විරෝධී” බව ඔහු පැවසීය, මන්ද “ට්‍රම්ප් කොංග්‍රසයෙන් අවසර ලබා ගැනීමට උත්සුක නොවීම හෝ අවසරය ලබා නොගත්” බැවිනි. යුද්ධය “ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්” බව සැන්ඩර්ස් තවදුරටත් පැවසීය.
නමුත් සැන්ඩර්ස්ගේ කාර්යය වන්නේ යුද්ධයට සහ ඒකාධිපතිත්වයට එරෙහි විරෝධය වර්ධනය කිරීම නොව එය වැළැක්වීමයි. ඔහු යුද්ධය ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පන්ති අවශ්‍යතා සහ දශක ගණනාවක් තිස්සේ අනුගමනය කරන ලද ද්විපාර්ශ්වික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් ලෙස නොව, ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ නිෂ්පාදනයක් ලෙසය. ගාසා තීරයේ ජන සංහාරය ගැන ඔහු සඳහන් කළ අතර එය ආරම්භ කර සන්නද්ධ කරන ලද්දේ ඩිමොක්‍රටික් පක්ෂය සහ සැන්ඩර්ස් විසින් සහාය දුන් බයිඩන් යටතේ බවය යන්න ගැන කිසිවක් නොකීවේය. ට්‍රම්ප්ගේ යුද යන්ත්‍රයට අරමුදල් සැපයීමට ඩිමොක්‍රටිකයින් නැවත නැවතත් ඡන්දය දී ඇති බව ගැන ද ඔහු සඳහන් කළේ නැත.
“කොන්සර්වේටිව්වරුන්, මධ්‍යස්ථවාදීන් සහ ප්‍රගතිශීලීන්” යුද්ධය අවසන් කිරීම සඳහා “එකාවන්ව” කතා කරන බවට කරන ලද ප්‍රකාශයෙන් සැන්ඩර්ස්ගේ භූමිකාව සාරාංශගත කළ හැක. එය, ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තියට නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අරමුණු ස්පර්ශ නොකර තබමින්, ගැටුම “ඊශ්‍රායලයේ යුද්ධය” ලෙස ඉදිරිපත් කරමින් විවේචනය කරන දක්ෂිනාංශික කොටස් සහ රිපබ්ලිකන් පක්ෂයට නැඹුරු වීම සඳහා කරන ආයාචනයකි. සැන්ඩර්ස් ඇත්ත වශයෙන්ම යෝජනා කරන්නේ කුමක්ද? මැතිවරණ උපාමාරු සහ නොවැම්බර් මාසයේදී ඩිමොක්‍රටිකයන්ට ඡන්දය දීමය.
විරෝධතාවලට මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහභාගී වූ නමුත් ඔවුන් එසේ කළේ සංවිධානාත්මක බලවේගයක් ලෙස නොව පුද්ගලයන් ලෙස ය. ස්වාධීන කම්කරු පන්ති ක්‍රියාමාර්ග මර්දනය කිරීමේදී, කම්කරුවන් ඩිමොක්‍රටික් පක්ෂයට බැඳ තැබීමේදී සහ ට්‍රම්ප්ගේ වැඩසටහනට අනුගත (adapt) වීමේදී වෘත්තීය සමිති නිලධරයේ කාර්යභාරය මෙයින් ප්‍රකාශ වේ. ෂෝන් ෆේන් යටතේ එක්සත් මෝටර් රථ කම්කරු සමිතිය (UAW) ට්‍රම්ප්ගේ “පළමුව ඇමරිකාව” යන කෝකටත් තෛලය ප්‍රවර්ධනය කර ඇති අතර ඩෙට්‍රොයිට් හි සාපේක්ෂව කුඩා සහභාගීත්වය මගින් මෙය විශේෂයෙන් පැහැදිලි විය.
මිනසෝටා රැලියේ AFL-CIO සභාපති ලිස් ෂූලර් සහ ඇමරිකානු ගුරු සම්මේලනයේ සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන් දේශන පැවැත් වූහ. ෂූලර් කිසි විටෙකත් යුද්ධය ගැන සඳහන් නොකළේය. ඉරානය ගැන සඳහන් නොකර, “එය දිනකට ඩොලර් බිලියනයක් වැය වන” බව වෙයින්ගාර්ටන් සඳහන් කළාය. යුක්රේනයේ යුද්ධයේ උද්යෝගිමත් ආධාරකරුවෙකු වන වෙයින්ගාර්ටන්, මෙම මුදල් රුසියාවට එරෙහි යුද්ධය සඳහා වියදම් කිරීමට කැමති වනු ඇති බවට සැකයක් නැත.
රට පුරා වර්ධනය වන වැඩ වර්ජන ව්‍යාපාරය ගැන ෂූලර් හෝ වෙයින්ගාර්ටන් සඳහන් කළේ නැත. තීරණාත්මක කර්මාන්ත හා සේවාවල කම්කරුවන් අරගලයට අවතීර්ණ වන මොහොතේම, “මිලියන 15 ක කම්කරුවන්” වෙනුවෙන් කතා කරන බව පවසන නිලධාරීන්–වෙයින්ගාර්ටන් පැවසූ පරිදි, “අද රජවරු එපා, අපි නොවැම්බර් මාසයේදී ඡන්දය දෙමු,”ලෙස– ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දීම හැර, ට්‍රම්ප් පරිපාලනයට හෝ “කෝටිපතියන්ට” විරුද්ධ වීමට කම්කරුවන් සැබවින්ම කිසිවක් කළ යුතු යැයි යෝජනා කළේ නැත.
මාර්තු 28 වන දින පැවති විරෝධතා ට්‍රම්ප් පරිපාලනයට ගැඹුරු සහ පුලුල්ව පැතිරුනු විරෝධයක් ප්‍රකාශ කළ නමුත් මෙම විරෝධය තවමත් පැහැදිලි දේශපාලන වැඩසටහනකින් මෙහෙයවනු නොලැබේ. කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ අර්බුදයේ පරිමාණයට සමාන සවිඥානික ඉදිරිදර්ශනයකින් එය සන්නද්ධ කිරීමයි. ඇතැම් මූලික කරුණු අවධාරණය කළ යුතුය.
පළමුව, ට්‍රම්ප් පරිපාලනය විදේශයන්හි යුද්ධය උත්සන්න කිරීම සහ රට තුළ ඒකාධිපතිත්වය සඳහා කුමන්ත්‍රණය කිරීම සමඟ එකවර ඉදිරියට යමින් සිටී. මහජන විරෝධයට එහි ප්‍රතිචාරය වන්නේ සහන නොව මර්දනය තීව්‍ර කිරීමයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මකා දැමීම, පොලිස්-රාජ්‍ය ක්‍රම සාමාන්‍යකරණය කිරීම සහ විසම්මුතිය නිහඬ කිරීම සඳහා වඩ වඩාත් ප්‍රචණ්ඩකාරී පියවර සකස් කිරීමයි. ගුවන් තොටුපළවල ICE නියෝජිතයන් යෙදවීම රට පුරා පැරාමිලිටරි යෙදවීම් සඳහා අත්හදා බැලීමකි. ඉරිදා “දේශසීමා සාර්වරයා” (“Border Czar”) ලෙස ට්‍රම්ප් හඳුන්වන ටොම් හෝමන් ප්‍රකාශ කළ පරිදි ප්‍රවාහන ආරක්ෂක පරිපාලන (TSA) නියෝජිතයින්ට වැටුප් ලැබීම ආරම්භ කළ පසුව පවා, ගුවන් තොටුපල වල මෙම ICE නියෝජිතයින් යොදවනු ඇත.
දෙවනුව, ට්‍රම්ප්ගේ ක්‍රියාවන් හුදෙක් ඔහුගේ පෞද්ගලික දුෂ්චරිතයෙන් පැන නගින්නේ නැත. ඔහු කතා කරන්නේ සහ ක්‍රියා කරන්නේ තම ධනය සහ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා නීත්‍යානුකූලභාවයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවලින් බිඳී යන ධනේශ්වර කතිපයාධිකාරය නම් පන්තියක නියෝජිතයා ලෙස ය.
තෙවනුව, ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන්නේ ද එම පන්තියමයි. එය ට්‍රම්ප්ගෙන් වෙනස් වන්නේ උපක්‍රම සහ ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් පමණක් වන අතර, යුද්ධයට ඉඩ සලසමින් සහ ධනේශ්වර පාලනයේ අත්තිවාරම් වලට තර්ජනයක් නොවන මැතිවරණ ආදී ආවෘත අන්තයන් සහ ආරක්ෂිත මාර්ග වෙත විරුද්ධත්වය හරවා යැවීමට ක්‍රමානුකූලව කටයුතු කරයි.
සිව්වනුව, බලමුලු ගැන්විය යුතු තීරණාත්මක සමාජ බලවේගය වන්නේ වෘත්තීය සමිති උපකරණයෙන් ස්වාධීනව සංවිධානය වූ කම්කරු පන්තියයි. විරෝධතා, පන්ති අරගලයේ ගැඹුරු වන පිපිරීමක් සමඟ සමපාත වේ. නමුත් මෙම ව්‍යාපාරය, සංස්ථා සහ රාජ්‍යයට බද්ධ වූ වෘත්තීය සමිති නිලධරයක් විසින් අවහිර කර විසුරුවා හරිනු ලැබේ.
සමාජවාදී සමානතා පක්ෂය එක්සත් ජනපදය පුරා සහ ජාත්‍යන්තරව පැවති විරෝධතාවලට මැදිහත් වූයේ මෙම පදනම මත ය: එනම්, මහජන කෝපය යුද්ධය නැවැත්වීමට සහ ආඥාදායකත්වය පරාජය කිරීමට සමත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය මූලෝපාය ඉදිරියට ගෙන යාම සඳහාය.
අත්‍යවශ්‍ය ඊළඟ පියවර වන්නේ සේවා ස්ථානවල මුල් බැසගත් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සහ එකම ධනේශ්වර කතිපයාධිකාරීන්ට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව එක්සත් ජනපදයේ කම්කරුවන් ජාත්‍යන්තර කම්කරුවන් සමග එක්සත් කිරීමයි. යුද යන්ත්‍රයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීමට එරෙහිව සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග සූදානම් කිරීම සඳහා වැඩබිම් සහ දේශසීමා හරහා මෙම කමිටු ගොඩනැගීමට සහ සම්බන්ධ කිරීමට ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) දිරිමත් කරයි.
යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහි සටන සමාජවාදය සඳහා සටනෙන් වෙන් කළ නොහැකි බව සසප අවධාරනය කරයි. මිලියන ගණනක් වීදිවලට ඇද දමා ඇති තත්වයන් දේශපාලන සංස්ථාපිතයට ආයාචනා කිරීමෙන් නොව, කම්කරු පන්තියේ මහජන සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමෙන් පමණක් විසඳනු ඇත.
මෙය ඉල්ලා සිටින්නේ හදිසි කර්තව්‍යයක් ලෙස කතිපයාධිකාරයේ පාලනය අවසන් කිරීමට සහ පෞද්ගලික ලාභය සඳහා නොව මානව අවශ්‍යතා මත සමාජය ප්‍රතිසංවිධානය කිරීමට සමත් නායකත්වයක් ගොඩනැහීමයි. ඉදිරි මාවතක් සොයන සියලුම කම්කරුවන්ගෙන් සහ තරුණයන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය (එ.ජ) ඉල්ලා සිටින්නේ සසපට බැඳී මෙම අරගලය භාර ගන්නා ලෙසයි.
(අවධාරණය පරිවර්තනයේදී එක් කරන ලදී)
