සංජය ජයසේකර විසිනි.
ජෙන්-Z විරෝධතාවල ගෝලීය රැල්ල, විප්ලවවාදී නායකත්වයේ ගැඹුරු වන අර්බුදය සහ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ පදනම මත සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිළිවෙල සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය විභාග කරන ලිපි මාලාවක 1 කොටස අපි මෙහි පළ කරමු. මෙම කොටස 2025 නොවැම්බර් 06 වන දින theSocialist.lk වෙබ් අඩවියේ The Gen-Z Uprisings and the Crisis of Leadership: Permanent Revolution against ‘Leaderless’ movements and ‘Left Populism’ – Part 1 යන සිරසින් ඉංග්‍රීසි බසින් පළ කෙරුණි.

ඩකා වීදිවල සිට නයිරෝබි දක්වා, කොළඹ සිට කත්මණ්ඩු දක්වා, මැනිලා සිට පැරණි යටත් විජිත ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම—මොරොක්කෝවේ සිට පේරු දක්වා, මැඩගස්කරයේ සිට ඉදිරියට—තරුණයින් විසින් මෙහෙයවන ලද නැගිටීම් රැල්ලක් 2022 සහ 2025 අතර කාලය තුළ ගෝලීය ධනවාදී ක්‍රමය සොලවා ඇත. මෙම ව්‍යාපාර ඔවුන්ගේ පරිමාණය, සටන්කාමීත්වය සහ පෙනීමට ඇති ස්වයංසිද්ධතාවයෙන් ගෝලීය අවධානය දිනා ගෙන ඇත. 2024 සැප්තැම්බර් මාසයේදී, බංග්ලාදේශයේ, ප්‍රධාන වශයෙන් කෝපාවිෂ්ඨ තරුණයින් මිලියන ගණනක්, අගමැතිනි ෂෙයික් හසීනාගේ ඉල්ලා අස්වීම ඉල්ලා පෙළපාලි ගියහ1. කෙන්යාවේ, යටත් විජිත බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු විශාලතම සහ වඩාත්ම තිරසාර විරෝධතා ව්‍යාපාරය 2024 ජුනි මාසයේ2 සිට පසුගිය ඔක්තෝම්බරය දක්වා පැවැත්විණි. පසුගිය මාසයේ, ජෙනරේෂන් ඉසෙඩ් (ජෙන්-Z යනු ආසන්න වශයෙන් 1997 සහ 2012 අතර උපත ලැබූ ජන කණ්ඩායමයි) විරෝධතාකරුවන් ජනාධිපතිගේ යෝජිත කප්පාදු නීතිය හේතුවෙන් පාර්ලිමේන්තුවට කඩා වැදී ජනාධිපති විලියම් රූටෝගේ රජය බිඳවැටීමේ අද්දරට ගෙන ආහ. 2022 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ තරුණයින් විසින් ගාලු මුවදොර පිටිය අත්පත් කර ගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලවා හරිනු ලබිණි. පසුගිය සැප්තැම්බර් මාසයේදී මාරාන්තික වීදි සටන් මධ්‍යයේ නේපාලයේ රජය පෙරළා දැමිණි. පසුගිය මාසයේ, පිලිපීනය දශක දෙකකින් එහි විශාලතම විරෝධතා දුටු අතර, ඔක්තෝබර් 14 වන දින, මහජන බලමුලු ගැන්වීමකින් ඉක්බිතිව සිදු වූ මිලිටරි මැදිහත්වීමකින් පසුව මැඩගස්කර ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා බලයෙන් පහ කරන ලදී. ගාසා තීරයේ සියොන්වාදී ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව සහ එක්සත් ජනපදයේ ජනාධිපති ඒකාධිපතිත්වයක් සඳහා සූදානම් වෙමින් ලොව පුරා ආක්රමණකාරීත්වයක් දිගේලි කරන ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව, දස දහස් ගණනකගේ මහා විරෝධතා රැලි සිය ගණනක් මෙම ව්‍යාපාර හා සමකාලීන විය.
බංග්ලාදේශයේ දී, බටහිර අධිරාජ්‍යවාදය සමඟ සමීප සබඳතා ඇති බැංකුකරුවෙකු වන මුහම්මද් යූනුස් හමුදාව විසින් පත් කරන ලද අතර, ඔහු වහාම “ශක්තිමත් හා දුරදිග යන ආර්ථික ප්‍රතිසංස්කරණ” ප්‍රකාශයට පත් කළේය—එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ම්ලේච්ඡ කප්පාදු සඳහා විනිවිද පෙනෙන කේතයකි. එක්සත් ජනපදයේ “නේටෝ නොවන ප්‍රධාන සගයෙකු” ලෙස නම් කරන ලද කෙන්යාවේ දී, ජනතා වීරයා ලෙස පෙනී සිටි අභාවප්‍රාප්ත විපක්ෂ නායක රයිලා ඔඩින්ගා, විරෝධතාකරුවන් විරුද්ධ වූ ප්‍රතිපත්තින්ට සර්ව සමාන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා රූටෝගේ රජය සමඟ අත්වැල් බැඳගත්තේය. ශ්‍රී ලංකාවේ නැගිටීම, පොලිස් රාජ්‍ය මර්දනය භාවිතා කරමින් කප්පාදුව අනුකම්පා විරහිතව ක්‍රියාත්මක කළ IMF ගැති ආවතේවකාර රනිල් වික්‍රමසිංහ වෙත බලය ලබා දුන්නේය. නේපාලයේ විරෝධතා, හමුදාව විසින් ගසාකනු ලැබුවේ, සියලුම දේශපාලන පක්ෂ පසෙකට කර ලමින් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කිගේ නායකත්වයෙන් යුත් තාක්ෂණික(technocratic) අන්තර්කාලීන රජයක් ස්ථාපිත කිරීම සඳහා ය.
මෙම අරගලවලදී තම ජීවිත පරදුවට තැබූ මිලියන සංඛ්‍යාත තරුණයින් සඳහා ඒවායේ ප්‍රතිඵල විනාශකාරී පාවාදීම් නිරූපනණය කරයි. කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව මුහුණ දෙන මූලික ප්‍රශ්න තවමත් විසඳී නොමැත: තරුණයින්ට රැකියා, අධ්‍යාපනය සහ යහපත් අනාගතයක් සුරක්ෂිත කර ගන්නේ කෙසේද? වඩ වඩාත් ඒකාධිපතිවන පාලන තන්ත්රයන්ට එරෙහිව ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කෙසේද? අධිරාජ්‍යවාදී මූල්‍ය ප්රාග්ධනයේ ග්‍රහණය බිඳ දැමිය හැක්කේ කෙසේද? ඉතාමත් හදිසි ප්රශ්නය වන්නේ, එක්සත් ජනපදය සහ නේටෝව රුසියාවට සහ චීනයට එරෙහිව විනාශකාරී යුද්ධ සඳහා සූදානම් වෙද්දී, ධනේශ්වර බලවතුන්ගේ අවශ්‍යතාවලට පමණක් සේවය කරන මෙම ගැටුම්වලදී වෙඩි උන්ඩ බවට පත්වීමෙන් කම්කරු පන්තිය සහ තරුණයින් වළක්වා ගන්නේ කෙසේද? යන්නයි.
පිළිතුර පවතින්නේ ව්‍යාජ-වාම සංවිධාන විසින් ප්‍රවර්ධනය කරන ලද “නායකත්වයක් නොමැති”—එනම්, මූලික වශයෙන් අධිරාජ්‍යවාදී ගැති සහ ධනේශ්වර ගැති—මිථ්‍යා කථා තුළ හෝ, මහජන කෝපය එක් ධනේශ්වර කන්ඩායමක සිට තවත් ධනේශ්වර කන්ඩායමකට සහාය වීම දක්වා යොමු කරන දූෂණ විරෝධී රාමු තුළ නොවේ. මෙම ව්‍යාපාර, ඒවායේ විප්ලවීය විභවය තිබියදීත්, ධනවාදය ආරක්ෂා කරන බලවේග විසින් ක්‍රමානුකූලව පැහැරගෙන ඇත්තේ මන්දැයි තේරුම් ගැනීම එයට අවශ්‍ය වේ. එය ලියොන් ට්‍රොට්ස්කි විසින් ඔහුගේ නොනවතින විප්ලව න්‍යාය තුළ ස්ථාපිත කරන ලද සහ දශක ගණනාවක ස්ටැලින්වාදී, මාඕවාදී සහ පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) විසින් ආරක්ෂා කරන ලද න්‍යායික පදනම් වෙත නැවත පැමිණීමක් ඉල්ලා සිටී. සියල්ලටත් වඩා, එය විප්ලවවාදී නායකත්වය යටතේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමක් ඉල්ලා සිටී—එනම් ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලය කිරීමට සෑම රටකම ICFI හි ශාඛා ගොඩනැගීමයි.
ගෝලීය ජෙන්-Z නැගිටීම් සහ ඒවායේ පාවාදීමේ ප්‍රතිඵල
2022-2025 ජෙන්-Z විරෝධතා ව්‍යාපාර මහාද්වීප හරහා කැපී පෙනෙන ලෙස සංගත රටාවක් අනුගමනය කරමින්, හුදකලා ජාතික සංසිද්ධීන් නොව ධනවාදයේ තනි ගෝලීය අර්බුදයක ප්රකාශනයන් හෙළි කරයි.
ශ්‍රී ලංකාවේ 2022 අත්දැකීම අච්චුව සපයන ලදී. 2022 අප්‍රේල් සහ ජූලි අතර, අහස උසට නැඟෙන මිල ගණන්, ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, පොහොර කප්පාදුව සහ බෝග විනාශය සහ ඖෂධ හිඟය ජීවිතය දරාගත නොහැකි තත්වයකට පත් කළ විට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදි බැස ගති. COVID-19 වසංගතය සහ යුක්රේනය තුළ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධයෙන් ඇති වූ ආර්ථික බාධාව ගෝලීය සැපයුම් දාමයන් විනාශ කර තිබුණි. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත බිඳ වැටුණු අතර, රජයට එහි ණය ගෙවීම පැහැර හැරීමට සහ අත්‍යවශ්‍ය ආනයන නතර කිරීමට සිදුවිය. ජනාධිපති රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවට—”ගෝඨා ගෙදර යනු”—සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් වන සියලු දෙනා ඉවත් කළ යුතු බවට ඉල්ලීම් සමඟ මහජන විරෝධතා පුපුරා ගිය අතර, එහිදී ග්‍රාමීය හා නාගරික දුප්පතුන්ගෙන් මිලියන ගණනක් විවිධ ජනවාර්ගික කණ්ඩායම් හරහා සහභාගී වූහ (අරගලවලට රටේ උතුරේ යාපනයේ තරුණයින්ගෙන් සහ උඩරට වතු කම්කරුවන්ගෙන් බොහෝ දුරට සහයෝගය ලබා ගත නොහැකි වූයේ, ප්‍රධාන වශයෙන් දකුණේ කිසිදු පාලන තන්ත්ර වෙනසක් ඔවුන්ගේ කිසිදු මූලික ගැටලුවක් විසඳනු ඇතැයි ඔවුන් නොදුටු නිසා මිස අත්‍යවශ්‍යයෙන්ම, එම ප්‍රජාවන් තුළ ක්‍රියාත්මක වන අපකීර්තිමත් ධනේශ්වර දෙමළ ජාතිකවාදීන්ගේ සහ වෘත්තීය සමිති නිලධරයෙ ජීවග්‍රහණය නිසා නොවේ). අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල සීමිත එක්දින මහා වැඩවර්ජන දෙකක් කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරුණු අතර, එය කම්කරු පන්තිය මැදිහත් වන විට එහි දැවැන්ත බලය පෙන්නුම් කළේය. රාජපක්ෂට 2022 ජූලි 13 වන දින රටින් පලා යාමට සිදුවිය.
නමුත් ව්‍යාපාරයේ දේශපාලන නායකත්වය වෘත්තීය සමිති නිලධාරීන්, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP), ජනතා විමුක්ති පෙරමුණේ (JVP) තරුණ බලල් අත්, සහ ගාලු මුවදොර පිටියේ මධ්‍යම පන්තික කණ්ඩායම් අත පැවතුනි. මොවුන් සියල්ල කම්කරු පන්තිය ධනේශ්වර පාලනය ආරක්ෂා කරන සංක්‍රාන්තික “අන්තර්කාලීන රජයක්” සඳහා වන ඉල්ලීම් වලට යටත් කළේය. මේ අනුව, කම්කරු විරෝධය මැඩපැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය මහජන සේවා පනත ඇතුළු කුරිරු නීති භාවිතා කරමින්, IMF හි කප්පාදු වැඩසටහන යකඩ හස්තයකින් ක්‍රියාත්මක කළ වික්‍රමසිංහ බලයට පත් කිරීමට පාර්ලිමේන්තුවට හැකි විය. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඒ අවස්ථාවේ අනතුරු ඇඟවූයේ: “කම්කරු පන්තියේ විමුක්තිය කම්කරුවන්ගේම කාර්යයයි” සහ “පවතින සමාජ ක්‍රමය තුළ දැවැන්ත සමාජ ගැටලුවලට විසඳුමක් නොමැති අතර ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීම අවසන් කළ නොහැක” යනුවෙනි. කෙසේ වෙතත්, සසපයේ බලවේග සීමිත වූ අතර, මහා වැඩ වර්ජනයක් බලමුලු ගැන්වීමට සහ මහජන නැගිටීම කම්කරු බලය සඳහා අරගලයක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය මහජන විප්ලවවාදී නායකත්වය සැපයීමට ඒ වනවිට පක්ෂයට නොහැකි විය. දශක ගණනාවක් තිස්සේ ස්ටැලින්වාදය, මාඕවාදය සහ ජාතිකවාදී වෘත්තීය සමිති නිලධරයන් සහ හතරවන ජාත්‍යන්තරය තුළ පැබ්ලෝවාදය විසින් සිදු කරන ලද පාවාදීම්, කම්කරු පන්ති විඥානය ක්‍රමානුකූලව අඩපණ කර තිබූ අතර, එමඟින් පක්ෂය දුරස්ථභාවී (alienation) වීමට පීඩනය යෙදුනෙන්, කම්කරු පන්තිය, තරුණයින් සහ මධ්‍යම පන්තියේ පීඩිත ස්ථර එක්සත් විප්ලවවාදී ප්‍රහාරයක් සඳහා මෙහෙයවිය හැකි මහජන ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් මතුවීම වැළැක්වීය.
බංග්ලාදේශයේ 2024 හි පුපුරන සුලු සතිවලට ලංකාවේ අත්දැකීමට සමාන රූපී වූ සම්පීඩිත ගමන් පථයක් දක්නට ලැබුණි. ජූලි මාසයේදී, වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයන් (Students against Discrimination) යටතේ සංවිධානය වූ විශ්ව විද්‍යාල සිසුන් ප්රතිගාමී රැකියා කෝටා ක්‍රමයට විරෝධය දැක්වීමට පටන් ගත්හ. පොලිසිය, හමුදා ඒකක සහ සිසුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ අවාමි ලීග් මැරයන් මුදා හරිමින් මිනීමරු ප්‍රචණ්ඩත්වයෙන් හසීනාගේ රජය ප්‍රතිචාර දැක්වූ විට විරෝධතා නාටකාකාර ලෙස උත්සන්න විය. අගෝස්තු මුල වන විට, මිලියන ගණනක් ඩකා වෙත පෙළපාලි යමින් සිටියේ, කෝටා ක්‍රමය කෙරෙහි කෝපය නිසා පමණක් නොව, දැවෙන දරිද්‍රතාවය, දැවැන්ත අසමානතාවය සහ බිලියන ගණනින් අපනයන ආදායම් නිපදවන ඇඟලුම් කර්මාන්තයේ අනුකම්පා විරහිත සූරාකෑම ආදිය කෙරෙහි ගොඩ ගැසුණු කෝපාග්නියෙනි. නැගිටීම පාලනය කිරීමට අසමත් වූ මිලිටරිය අගෝස්තු 05 දින හසීනාට ඉල්ලා අස්වී ඉන්දියාවට පලා යාමට බල කළේය.
මිලිටරිය වහාම යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්කාලීන පරිපාලනයක් ස්ථාපිත කළේය. ඔහුගේ “එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ සමීප සම්බන්ධතා” ප්‍රධාන ධාරාවේ වාර්තාකරණයේදී පවා අවධාරණය කෙරුණි. වාම ප්රජාතන්ත්රවාදී සන්ධානයේ (Left Democratic Alliance) කාණ්ඩ ගැසී සිටි ස්ටැලින්වාදී පක්ෂ සහ බංග්ලාදේශ ජාතික පක්ෂය (Bangladesh National Party) ඔහුට ඔවුන්ගේ පූර්ණ සහයෝගය පොරොන්දු විය. මෙම පෙරළිය පුරාවටම, බංග්ලාදේශ කම්කරු පක්ෂය (Workers Party of Bangladesh) ඇතුළු වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම බලවේග, කම්කරු පන්තිය තමන්ගේම වැඩසටහනක් සමඟ ස්වාධීන බලවේගයක් ලෙස මැදිහත් වීම වැළැක්වීම සඳහා ක්‍රමානුකූලව කටයුතු කළහ3. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) නිවැරදිව විශ්ලේෂණය කළ පරිදි: “කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් සිසුන් විසින් ආරම්භ කරන ලද විරෝධතාවලට එක් විය. කෙසේ වෙතත්, ඔවුන් එසේ කළේ පන්තියක් ලෙස වැඩ වර්ජන සහ පන්ති අරගලයේ වෙනත් ආයුධ භාවිතා කරමින් සහ තමන්ගේම ඉල්ලීම් ඉදිරියට ගෙන යාමෙන් නොව පුද්ගලයන් ලෙසය.”
කෙන්යාවේ ජෙන්-Z කැරැල්ල 2024 ජුනි-අගෝස්තු මාසවල සිදු වුනු අතර, එය මෙම ව්‍යාපාර අතරින් සමහර විට දේශපාලනිකව වඩාත්ම ඉදිරියට ගිය එකක් විය. තරුණ විරැකියාව සියයට 67 දක්වා ළඟා වීම, 2024 මූල්‍ය පනත් කෙටුම්පතින් IMF විසින් නියම කරන ලද බදු වැඩි කිරීම් සමඟ ඒකාබද්ධව, ජනාධිපති විලියම් රූටෝගේ ඉල්ලා අස්වීම ඉල්ලා මහජන විරෝධතා ඇවිලවීය. කෙන්යානු පාලක පන්තිය දශක ගණනාවක් තිස්සේ කම්කරු පන්තිය දුර්වල කිරීම සඳහා අවුලුවා ඇති ගෝත්‍රික බෙදීම් ඉක්මවා මෙම ව්‍යාපාරය ගමන් කළේය4. ජුනි 25 “ලේවැකි අඟහරුවාදා” දින, විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදුණු විට පොලිසිය වෙඩි තැබූ අතර, ඉන් දුසිම් ගනනක් මිය ගියහ. නැගිටීමෙන් 60 කට වැඩි පිරිසක් මිය ගිය අතර, ආරක්ෂක හමුදා විසින් බොහෝ දෙනෙකු පැහැර ගන යන ලදී.

රූටෝ උපායශීලීව මුදල් පනත ඉල්ලා අස්කර ගත් නමුත් මෙම සහනය පාලක පන්තිය අතර යටින් පැවති කුමන්ත්‍රණය හෙළිදරව් කෙරුණි. අගෝස්තු මාසයේදී, විපක්ෂය ලෙස පෙනී සිටි රයිලා ඔඩින්ගාගේ ඔරේන්ජ් ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරය (Orange Democratic Movement-ODM) රූටෝගේ රජයට එක් විය5. ෆ්‍රැන්සිස් අටෝලිගේ නායකත්වයෙන් යුත් වෘත්තීය සමිති මධ්‍යම සංවිධානය (Central Organisation of Trade Unions-COTU) සහ බලගතු ක්‍රිස්තියානි සහ මුස්ලිම් පූජක පක්ෂය මෙම සභාග රජයට සහාය දැක්වූහ. ඉනික්බිති ද කප්පාදු ප්‍රතිපත්ති දිගටම පවතී; කෙන්යානු ඉතිහාසයේ පළමු වතාවට සිවිල් විරෝධතාකරුවන්ට එරෙහිව හමුදාව යොදවා ගැනුණි; බයිඩන් පරිපාලනය විසින් එම රට එක්සත් ජනපදයේ “නේටෝ නොවන ප්‍රධාන සගයෙකු” ලෙස නම් කරන ලද අතර, එය චීනය සමඟ යුද්ධය සඳහා වොෂින්ටනයේ සූදානමේ ප්‍රොක්සි (නියෝජිත) බලවේගයක් ලෙස ස්ථානගත කරන ලදී.
ගුරුවරුන්, ප්‍රවාහන සේවකයින්, සෞඛ්‍ය සේවකයින් සහ සිවිල් සේවකයින්ගේ පසුව ඇති වූ වැඩ වර්ජන රැල්ල කම්කරු පන්තියේ බලය සඳහා ඇති විභවය පෙන්නුම් කළේය. එහෙත් COTU සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී-කෙන්යාව) (Communist Party Marxist Kenya-CPM-K) මෙම වැඩ වර්ජන පාලන තන්ත්රයට දේශපාලන අභියෝගයක් බවට පෙරළීම වැළැක්වීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ අතර, ඒ වෙනුවට “දේශපාලනයක් එපා” සහ “නායකත්වයක් නොමැති” සංවිධානයක් අවධාරනය කරමින් ධනේශ්වර බලවේග සඳහා ක්ෂේත්රය විවෘත කළේය6.
2025 සැප්තැම්බර් නේපාලයේ සහ පිලිපීනයේ නැගිටීම් තහවුරු කළේ මෙම රටාව ආසියාව පුරා පැතිරී ඇති බවයි. නේපාලයේ, සමාජ මාධ්‍ය වේදිකා 26 ක් තහනම් කිරීම සහ, බොහෝ දෙනා නැරඹූ වීඩියෝ හරහා හෙළිදරව් කරන ලද දේශපාලනඥයන්ගේ දරුවන් වන “නෙපෝ ළමයින්ගේ” සුඛෝපභෝගී ජීවන රටාවන් පිළිබඳ ගැඹුරු අමනාපයෙන් ඇති වූ විරෝධතා හේතුවෙන් අවම වශයෙන් 51 දෙනෙකු මිය ගියහ. හිටපු අගමැතිවරුන් ඇතුළු ප්රමුඛ දේශපාලනඥයන්ගේ නිවාස විනාශ කර ගිනි තබන ලදී. පාර්ලිමේන්තුවට කඩා වැදී පුළුස්සා දමන ලදී. අගමැති කේ.පී. ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමට බල කෙරුනි; නමුත් එහි ප්‍රතිඵලය වූයේ කාර්කිගේ නායකත්වයෙන් යුත් තාක්ෂණික අන්තර්කාලීන රජයක් වන අතර, හමුදාව තිරය පිටුපස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. WSWS වාර්තා කළ පරිදි, හමුදා මාණ්ඩලික ප්‍රධානී අශෝක් රාජ් සිග්ඩෙල් “දේශපාලන විසඳුමක් සොයාගත නොහැකි වුවහොත් හමුදාවට හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට බල කෙරෙනු ඇති බවට” අනතුරු ඇඟවීම, පක්ෂ නායකයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා එකඟ වීමට බල කළේය.
දශක දෙකක් තුළ එහි විශාලතම පෙලපාලි අත් දුටු පිලිපීනයේ, සැප්තැම්බර් 21 වන දින—ෆර්ඩිනන්ඩ් මාකෝස් (ජේෂ්ඨ) යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමේ 53 වන සංවත්සර දින—මැනිලා නුවරදී 100,000 ක් දෙනා පෙළපාළි ගියහ7. ගංවතුර පාලන යටිතල පහසුකම්වල දැවැන්ත දූෂණයන්, එනම් නිලධාරීන්ට අල්ලස් සහ වංචනික කොන්ත්‍රාත්තු හරහා බිලියන ගණනක් සොරකම් කිරීම හෙලිදරව් වීමෙන් විරෝධතා ඇති විය. එහෙත් මෙම විරෝධතාවල දේශපාලන ස්වභාවය “සැලකිය යුතු ලෙස මධ්‍යම පන්තික” විය. ස්ටැලින්වාදී සංවිධානයක් වන බයාන් (BAYAN) සහ ව්‍යාජ වාම අක්බයාන් (Aknayan) පක්ෂය වෙනම පෙළපාලි මෙහෙයවූ අතර, ඒ දෙකම චීනයට සතුරු ධනේශ්වර කන්ඩායම් සමඟ වඩ වඩාත් පෙලගැසී වොෂින්ටනයේ යුද සූදානමට ඒකාබද්ධ විය. ජනාධිපති මාකෝස් (කනිෂ්ඨ) විරෝධතා “සාමකාමී වන තාක් කල්” ඒ සඳහා තම සහයෝගය ප්‍රකාශ කරමින්, එහි පාලනයට සැබෑ තර්ජනයක් එල්ල වීමෙන් වළකාලීමට උත්සාහ කළේය.
මැඩගස්කරයේ (2025 ඔක්තෝබර්) බලහත්කාරයෙන් ඉවත් කල ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා ප්‍රංශ හමුදා ගුවන් යානයක් මගින් රහසේ රටින් පැන යාමත් සමඟ මෙම රටාවේ වඩාත්ම නාටකාකාර ප්රකාශනය පෙන්නුම් කළේය. ජනගහනයෙන් සියයට 75 ක් දිනකට යුරෝ 0.80 ට වඩා අඩු ආදායමක් ලබන රටේ සැප්තැම්බර් අග දී බල පැවැත් වුණු නිදන්ගත විදුලිය සහ ජල හිඟය මුල් කොටගෙන නැගිටීම පුපුරා ගියේ ජෙන්-Z මාඩා (Gen Z Mada) සංවිධානය නායකත්වය සපයන ලද විරෝධතා ඇවිලී යාමත් සමඟ ය. සැප්තැම්බර් 25 වන දින විරෝධතාවක් සැලසුම් කළ නගරයේ දේශපාලනඥයන් දෙදෙනෙකු බලධාරීන් අත්අඩංගුවට ගත් විට, විරෝධතා දිවයින පුරා වේගයෙන් පැතිර ගියේය. පාලන තන්ත්රය මිනීමරු මර්දනයකින් ප්‍රතිචාර දැක්වීය: අවම වශයෙන් 22 දෙනෙකු මරා දැමුණි; සිය ගණනකට තුවාල කෙරුණි; සවස් යාමයේ සිට අලුයම දක්වා ඇඳිරි නීතිය පැනවුණි; සහ අර්බුදය ගැඹුරු කළ මංමුලා සහගත මිලිටරිකරණ පියවරක් වශයෙන් ඔක්තෝබර් 6 වන දින ජෙනරාල් සෆිසම්බෝ අගමැති ධුරයට පත් කෙරුණි.
ඔක්තෝබර් 14 වන දින, රාජොයිලිනා බලයට පත්වීමට 2009 දී සහාය දුන් CAPSAT හමුදා ඒකකය, සම්බන්ධීකරණ කරන ලද මැදිහත්වීමක් හරහා ඔහුව පෙරලා දැමීය. කර්නල් මයිකල් රැන්ඩ්‍රියනිරිනා, ජාතික සභාව පවත්වාගෙන යන අතර සෙනෙට් සභාව සහ ඉහළ ව්‍යවස්ථා අධිකරණය විසුරුවා හැරීම නිවේදනය කරමින්, මූලික වශයෙන් කුමන්ත්‍රණයක් වූ දෙයට ව්‍යවස්ථාමය ආවරණයක් ලබා දුන්නේය. වඩාත්ම හෙළිදරව්කාරක කාරණාව වූයේ ප්‍රංශ අධිරාජ්‍යවාදයේ සෘජු භූමිකාවයි: ඔක්තෝබර් 12 වන දින, පැරිසිය සමඟ සම්බන්ධීකරණය කරන ලද සහ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් අනුමත කරන ලද මෙහෙයුමකදී රාජොයිලිනා ප්‍රංශ ගුවන් යානයකින් පලා ගියේය. ඔහුගේ පලායාමට පහසුකම් සැලසූ සමාගම වන TOA Aviation, පලාගිය මෝටර් රථ ව්‍යපාර ප්‍රධානී රෙනෝල්ට් හි ප්‍රධාන විධායක නිලධාරී කාලෝස් ගොස්න්ට ජපානයෙන් නීති විරෝධී ලෙස ගුවනින් පැන යාමට ඉඩ සැලසූ එම සමාගම ම විය. මැක්රොන් මර්දනය හෙළා දැක්කේ නැතිමුත් “ව්‍යවස්ථාමය පටිපාටිය” අවධාරණය කළ අතර, ප්රජාතන්ත්රවාදය සඳහා නොව මැලගසි බලශක්ති, විදුලි සංදේශ සහ දුර්ලභ පෘථිවි ඛනිජ කෙරෙහි ප්‍රංශ මූලෝපායික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ප්‍රංශයේ උත්සුකය හෙළි කළේය.
වෘත්තීය සමිති පනහකින් පමණ සමන්විත මැලගසි වෘත්තීය සමිති සහයෝගිතා සාමූහිකය, 2022 සිට කැටි කරන ලද වැටුප් වැඩිවීම් සහ රාජොයිලිනාගේ ඉල්ලා අස්වීම ඉල්ලා මහා වැඩ වර්ජනයක් කැඳවූ අතර, පල්ලියෙන් සහ ප්‍රාදේශීය ප්‍රභූන්ගෙන් “සාකච්ඡාවක්” ඉල්ලා සිටියේය. විරුද්ධ පක්ෂ වන ෂෛක ඉ මඩගසිකාරා(Tiako i Madagasikara-TIM) සහ මැලගසි මියාරා-මියායින්ගා (Malagasy Miara-Miainga-MMM) තමන් විකල්ප ලෙස ස්ථානගත වූහ. මෙය අත්‍යවශ්‍යයෙන්ම අවස්ථාවාදී භූමිකාවක් වූ අතර, “ධනවාදයේ අත්තිවාරම් ආරක්ෂා කරන අතරම මහජන කෝපය ආයතනික සාකච්ඡා වල පටු රාමුවට සිර කළේය.”8 මිලිටරි මැදිහත්වීමේ අරමුණ වූයේ ධනේශ්වර පටිපාටිය ආරක්ෂා කිරීම සහ අධිරාජ්‍යවාදයේ සහ ජාතික ධනේශ්වරයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමයි. එය, “හමුදාවේ කියාපාන මධ්‍යස්ථභාවය හෝ සහයෝගය, මහජන බලමුලු ගැන්වීම නිෂ්ක්‍රීය කිරීමට, ධනේශ්වර පටිපාටිය යථා තත්ත්වයට පත් කිරීමට සහ නව ව්‍යාජ මුහුණුවරක් යටතේ ධනේශ්වර ක්රමයේ අඛණ්ඩතාව සහතික කිරීමට සේවය කළ,” 2011 දී ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ නිරීක්ෂණය කළ රටාව අනුකරණය කිරීමක් විය.
මෙම සියලු උද්ඝෝෂන ව්‍යාපාර හරහා, ඇතැම් ලක්ෂණ කැපී පෙනෙන සංගතතාවයකින් පුනරාවර්තනය වේ: IMF කප්පාදුව සහ ධනේශ්වර බිඳවැටීම මගීන් ධාවනය වන ආර්ථික අර්බුදය සහ නිදන්ගත සමාජ අසමානතාවය; දැවැන්ත තරුණ හා මධ්‍යම පන්තික සහභාගීත්වය; ප්රචණ්ඩ රාජ්‍ය මර්දනය; ව්‍යාජ වාම කණ්ඩායම් විසින් “නායකත්වයක් නොමැතිව” සංවිධානය වීම ප්‍රවර්ධනය කිරීම; වෘත්තීය සමිති නිලධරයන් සහ සුලු ධනේශ්වරය මත පදනම් වූ පක්ෂ විසින් ස්වාධීන කම්කරු පන්තියේ දේශපාලන ක්‍රියාමාර්ග ක්‍රමානුකූලව අවහිර කිරීම; සහ අධිරාජ්‍යවාදී මූලෝ පායික අවශ්‍යතා සඳහා සේවය කරන අතරම මහජනතාවගේ සූරාකෑම තීව්ර කරන අවසන් ප්‍රතිඵල.
මතු සම්බන්ධයි…
- ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘මහජන නැගිටීම් මධ්‍යයේ බංග්ලාදේශ අගමැති ඉන්දියාවට පලා යයි’ (2024 අගෝස්තු 6) ↩︎
- ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘කෙන්යානු ජනාධිපති රූටෝගේ IMF නියෝග කළ මුදල් පනතට එරෙහිව මහජන විරෝධතා‘ (2024 ජුනි 20) ↩︎
- ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘බංග්ලාදේශයේ දක්ෂිණාංශික අන්තර්කාලීන රජය තම බලය තහවුරු කර ගැනීමටත්, මහජන කැළඹීම අවසන් කිරීමටත් පියවර ගනී’ (2024 අගෝස්තු 23) ↩︎
- ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘කෙන්යාවේ ජෙන්-Z කැරැල්ල, වැඩ වර්ජන රැල්ල සහ ස්ථිර විප්ලවය සඳහා අරගලය – 1 කොටස‘ (2024 ඔක්තෝබර් 3) ↩︎
- ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘කෙන්යාවේ ජෙන්-Z නැගිටීමෙන් වසරක්: සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී උපාය මාර්ගයක අවශ්‍යතාවය’ (2025 ජුනි 24) ↩︎
- ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘රූටෝගේ නව කෙන්යානු සභාග රජය ප්‍රතික්ෂේප කරන ලද බදු පියවර නැවත ස්ථාපිත කිරීමට යයි.’ (2024 අගෝස්තු 21) ↩︎
- ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘පිලිපීනයේ දූෂණයට එරෙහිව ප්‍රබල විරෝධතා’ (2025 සැප්තැම්බර් 21) ↩︎
- ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ‘ජෙන්-Z විරෝධතා මධ්‍යයේ මැඩගස්කර ජනාධිපති රාජොයිලිනා ප්‍රංශ ආධාර ඇතිව පලා යයි’ (2025 ඔක්තෝබර් 19)
↩︎
