ට්‍රම්ප්ගේ ප්‍රතිවිප්ලවයේ සහ සාපරාධීත්වයේ පළමු දින 100

ජෝසප් කිෂෝර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2025 අප්‍රේල් 28 දින ‘Trump’s first 100 days of counterrevolution and criminalityයන හිසින් පලවූ විසින් ජෝසප් කිෂෝර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2025 අප්‍රේල් 27 වන ඉරිදා වොෂින්ටනයේ ධවල මන්දිරයට පැමිණේ. [AP ඡායාරූපය/මැනුවෙල් බාල්ස් සෙනෙටා]

එක්සත් ජනපද ජනාධිපති ධුරයක පළමු දින 100 සාම්ප්‍රදායිකව නව පරිපාලනයක න්‍යාය පත්‍රය සහ දිශාව තක්සේරු කිරීම සඳහා මිණුම් ලකුණක් ලෙස සේවය කරයි. මෙම පිළිවෙත ආරම්භ වූයේ 1933 දී මහා අවපාතය මධ්‍යයේ කොංග්‍රසය විශේෂ සැසිවාරයකට කැඳවා නව ගිවිසුමට (New Deal) අඩිතාලම දමමින් ප්‍රධාන පනත් 15 ක් සම්මත කළ ෆ්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට්ගේ පාලනය සමඟිනි.

මෙය ඇමරිකානු ධනවාදය ඉහළ යමින් පැවති කාල පරිච්ඡේදයකි. විප්ලවයේ අනතුරට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු පාලක පන්තිය, කටුක අභ්‍යන්තර ගැටුම් තිබියදීම, සමාජ ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. රූස්වෙල්ට්ගේ පළමු දින 100, ඔහුගේම වචන වලින් කිවහොත්, “නව ගිවිසුමේ (New Deal) රිය සක” ආරම්භ කළේ නම්, ට්‍රම්ප්ගේ පළමු දින 100 ප්‍රති-විප්ලවයේ සහ අපරාධකාරීත්වයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇත.

ට්‍රම්ප් ධුරයේ පළමු දිනයේ සිටම, ඔහුගේ ෆැසිස්ට් උපදේශකයින් විසින් සකස් කරන ලද සැලැස්මක් අනුගමනය කරමින් ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ක්‍රමානුකූලව කටයුතු කර ඇත. මෙය ආරම්භ වූයේ ජනවාරි 20 වන දින, ඔහු නිදහස් භාෂණයට පහර දෙමින්, උපන් අයිතියේ පුරවැසිභාවය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂාවන් අඩපණ කරමින්, හමුදා සහ විධායක බලතල පුළුල් කරමින් සහ සංක්‍රමණිකයන්ට සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව පුළුල් ප්‍රහාරයක් දියත් කරමින් විධායක නියෝග මාලාවකට අත්සන් තැබීමත් සමඟ ය.

ඊළඟ සතිවලදී, ධවල මන්දිරය මෙම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත: ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධ වන සිසුන් අත්අඩංගුවට ගැනීම, “පිටදේශ සතුරන් පනත” (Alien Enemies Act) යටතේ සංක්‍රමණිකයන් එල් සැල්වදෝරයේ ගාල් කඳවුරුවලට පිටුවහල් කිරීම, සැලසුම් කළ ඒකාබද්ධ ෆෙඩරල්- ප්‍රාන්ත රාජ්‍ය  සමූහ වටලෑම්  මාලාවක පළමුවැන්න ලෙස අවම වශයෙන් එක්සත් ජනපද පුරවැසි දරුවන් තිදෙනෙකු හොන්ඩුරාස් වෙත පිටුවහල් කිරීම සහ පසුගිය සතියේ ෆ්ලොරිඩාවේ සිය ගණනක් සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම.

පරිපාලනය විසින් ට්‍රම්ප් “දේශීයයන්” [‘homegrowns’-ස්වදේශීය අපරාධකරුවන්] ලෙස හඳුන්වන ඇමරිකානු පුරවැසියන් සමූහ වශයෙන් පිටුවහල් කරන බවට තර්ජනය කර ඇති අතර, මෑතකදී විනිසුරු හැනා ඩුගන් අත්අඩංගුවට ගැනීමත් සමඟ අධිකරණයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කරමින් සිටී. ඊයේ, ට්‍රම්ප් නීතිපති පැම් බොන්ඩි සහ ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම්ට ඊනියා අභයභූමි නගරවලට [sanctuary cities-අනීතික ආගමිකයන් සඳහා සරණ සපයන] එරෙහිව “අවශ්‍ය සියලු නීතිමය පිළියම් සහ බලාත්මක කිරීමේ පියවර” අනුගමනය කරන ලෙස උපදෙස් දෙන නව විධායක නියෝග මාලාවකට අත්සන් තැබූ අතර, ඒ සමඟම ප්‍රචණ්ඩත්වය සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් සඳහා නීතිමය ආරක්ෂාවන් ශක්තිමත් කළේය.

මෑත සතිවලදී, පාලන තන්ත්‍රය විශ්ව විද්‍යාල වෙත අවධානය යොමු කර ඇති අතර, ග්ලීච්ස්චල්ටුන්ග් [Gleichschaltung-අනුකූලතාවයට පත් කිරීමේ]  හෙවත් “පෙළ ගැස්වීමේ” නාසි ක්‍රියාවලියේ ඇමරිකානු අනුවාදයක ආකාරයෙන් විෂයමාලා නැවත ලිවීමට සහ පීඨ විරේක කර දැමීමට උත්සාහ කරයි. බයිඩන් පරිපාලනය විසින් පිහිටු වන ලද පූර්වාදර්ශය මත පදනම්ව – ෆැසිස්ට් ආචාරය දැක්වීම සදහා පෙළඹීම යාන්තමින්  යටපත් කර ගන්නා බොහෝ අය ඇතුලත් -ට්‍රම්ප්ගේ නිලධාරීන්,  “යුදෙව්-විරෝධය” ට එරෙහි සටනක නරුම  ධජය යටතේ මෙම ව්‍යාපාරය මෙහෙයවමින් සිටිති.

මාධ්‍ය අංශ පවා දැන් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්හි දුරදිග යන ඇඟවුම් පිළිගනී.  නීති විශාරදයින් එක්සත් ජනපදය ඒකාධිපතිත්වයේ අද්දර සිටින බවට කරන අනතුරු ඇඟවීම්, සඳුදා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත උපුටා දැක්වීය. කොලොම්බියාවේ ඩේවිඩ් පොසන් “අධිකාරීවාදී ව්‍යවස්ථානුකූලවාදය” ගැන කතා කළ අතර, යේල්හි ජැක් බෝල්කින් ව්‍යවස්ථා පද්ධතිය “පිහිතුඩ” මත බව ප්‍රකාශ කළේය. නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ බර්ට් නියුබෝන් ට්‍රම්ප් අධිකරණයට එල්ල කළ ප්‍රහාරය, “ඇමරිකානු ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය සදහා  පැවැත්ම පිලිබද තර්ජනයක්” ලෙස හැඳින්වීය.

කුමන සමාජ හා ඓතිහාසික තත්වයන් ට්‍රම්ප් පරිපාලනය බිහි කලේද? ඔහුගේ තේරී පත්වීම පමණක් නොව ඔහු නැවත තේරී පත්වීම පැහැදිලි කළ හැක්කේ කෙසේද? එවැනි ප්‍රශ්න බැරෑරුම් ලෙස පිළිතුරු දීම පසෙකලා අසනු ලැබෙන්නේ ද කලාතුරකිනි – මන්ද ඒවා ට්‍රම්ප්ගේ පෞද්ගලික ගුණාංගවලට නොව ඇමරිකානු ධනවාදයේ ස්වභාවයම හෙලිදරවු කිරීමකට යොමු වන බැවිනි.

මැතිවරණයෙන් පසු දින ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයකින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කළ පරිදි, ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීම, “එක්සත් ජනපදයේ පවතින සැබෑ සමාජ සබඳතාවලට අනුරූප වන පරිදි ඇමරිකානු දේශපාලන උපරිව්‍යුහයේ ප්‍රචණ්ඩකාරී නැවත පෙළගැස්ම” ප්‍රකාශ කරයි.

ට්‍රම්ප් යනු කතිපයාධිකාරයේ ප්‍රතිමූර්තියයි, එහි කුණුවීමේ පුද්ගලාරෝපණයයි. ඔහු බලයේ සිටින දේශපාලන පාතාලය නියෝජනය කරයි. 

$TRUMP meme (ක්‍රිප්ටො මුදල්) කාසිය වටා ඇති මූල්‍ය මෙහෙයුම් මගින් රජය මෙහෙයවන අයගේ ගති ස්වභාවය හෙළි දරව් වේ. පසුගිය සතියේ, ට්‍රම්ප් සහ ඔහුගේ ගජ මිතුරන් නිවේදනය කළේ ක්‍රිප්ටො මුදල් ඒකකයේ ඉහළම හිමිකරු ජනාධිපතිවරයා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් දිනා ගන්නා බවයි. මෙය එහි වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඩොලර් මිලියන 700 කින් ඉහළ දැම්මේය. පැය 48 ක් ගතවත්ම, ට්‍රම්ප් ඇතුළු අභ්‍යන්තරිකයින් (insiders) වෙළඳ ගාස්තු වශයෙන් ඩොලර් 900,000 කට ආසන්න ප්‍රමාණයක් සාක්කුවේ ලා ගත්හ.

මෙම මොරගහන මූල්‍ය වංචාව වෝල් වීදිය ලෙස හැඳින්වෙන කාටෙලයේ දෛනික මෙහෙයුම් වලින් වෙනස් වන්නේ ගුනයෙන් නොව, ප්‍රමාණයෙන් පමණි. එක්සත් ජනපදය පාලනය කරනු ලබන්නේ සිතාගත නොහැකි තරම් ධනයක් රැස් කරගත් අපරාධකාරී මූල්‍ය වංශාධිපතිත්වයක් විසිනි. බයිඩන් පරිපාලනයේ අවසාන වසර වන 2024 දී, බිලියනපති පවුල් 19 ක් ඔවුන්ගේ ධනය ඩොලර් ට්‍රිලියන 1 කින් වැඩි කර ගත්හ. සමස්ත දේශපාලන ක්‍රමයම ඔවුන්ගේ මෙවලම ලෙස ක්‍රියා කරයි.

මෙම කතිපයාධිකාරය කම්කරු පන්තියට එරෙහිව දැවැන්ත සමාජ ප්‍රතිවිප්ලවයක් සිදු කරමින් සිටී. එහි පළමු දින 100 තුළ, පරිපාලනය – එලොන් මස්ක් විසින් අධීක්ෂණය කරන ලද “රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව” (DOGE) හරහා – දස දහස් ගණනක් ෆෙඩරල් සේවකයින් සේවයෙන් පහ කර, රාජ්‍ය ආයතන විසුරුවා හැර, ආයතනික හා පාරිසරික රෙගුලාසි කප්පාදු කර, සමාජ ආරක්ෂණ ජාලයේ ඉතිරිව ඇති දේ සඳහා බිලියන සිය ගණනක කප්පාදු සූදානම් කිරීමට පටන් ගෙන තිබේ.

මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දී, ට්‍රම්ප් විසින් එන්නත් විරෝධී කුමන්ත්‍රණ න්‍යායාචාර්ය රොබට් එෆ්. කෙනඩි ජූනියර්ගේ නායකත්වයෙන් යුත් විනාශකාරී ව්‍යාපාරයක් දියත් කර ඇති අතර, ඔහු මහජන සෞඛ්‍ය සේවකයින් 20,000 කට අධික සංඛ්‍යාවක් සේවයෙන් පහ කර, එන්නත් කිරීමේ වැඩසටහන් අධෛර්යමත් කර ඇත. මෙය සරම්ප සහ කක්කල් කැස්ස වැනි රෝග නැවත මතු වීමට තුඩු දී  ඇත. අධ්‍යාපනයේ දී, ලින්ඩා මැක්මහොන් පොදු අධ්‍යාපනය විසුරුවා හැරීමට සහ පෞද්ගලීකරණය පැනවීමට දරන උත්සාහයන් අධීක්ෂණය කරමින් මූලික සමාජ අයිතිවාසිකම්වලට පහර දීම ගැඹුරු කරමින්  සිටී. සඳුදා, රට පුරා සිටින සිය ගණනක් පර්යේෂකයින්ට විද්‍යුත් තැපෑලෙන් දැනුම් දුන්නේ 2028 දී නිකුත් කිරීමට නියමිත ඊළඟ ජාතික දේශගුණික තක්සේරුව සකස් කිරීමේ කාර්යයෙන් ඔවුන් “නිදහස් කර” ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම ධනයේ දැවැන්ත සංකේන්ද්‍රණය හෝ මෙම ධනය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සමඟ නොගැලපේ.

ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් දියත් කරන ලද නිමක් නැති යුද්ධද ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයන්ට අනුකූල නොවේ. සීතල යුද්ධයේ අවසානයෙන් පසුව ඇති වූ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අසීමිත හා තීව්‍ර වන යුද්ධ, බයිඩන් සහ රුසියාවට එරෙහි යුද්ධය යටතේ, ලෝක යුද්ධයේ ආරම්භක අවධීන් දක්වා සංක්‍රමණය වී ඇත. 

විදේශ ප්‍රතිපත්තිය සහ ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධ පියවර සම්බන්ධයෙන් රාජ්‍යය තුළ කුමන ගැටුම් පැවතුනත්, ට්‍රම්ප් ඉහත කී පදනම මත ගොඩනඟමින් සිටී. ග්‍රීන්ලන්තය ඈඳා ගැනීම, කැනඩාව අල්ලා ගැනීම සහ පැනමා ඇළ නැවත අත්පත් කර ගැනීම යන ඔහුගේ තර්ජනවල අරමුණ චීනය සමඟ ගැටුමකට සූදානම් වීම සඳහා බටහිර අර්ධගෝලයේ ඇමරිකානු ආධිපත්‍යය සුරක්ෂිත කිරීමයි. දැන් වාර්ගික සුද්ද කිරීමේ සහ මහා සාගතයේ අවසාන අදියරවල පවතින ගාසා සංහාරය ගැඹුරු කිරීම – ඇටකටු සහ සුන්බුන් මත කැසිනෝ ඉදිකිරීමේ ට්‍රම්ප් ගේ ජුගුප්සාජනක සිහිනය ඉටුකර ගත්තත් නැතත් – ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ම්ලේච්ඡත්වය හෙළි කරයි.

එක්සත් ජනපදයේ අර්බුදය 1930 ගණන්වල සරල පුනරාවර්තනයක් නොවේ. හිට්ලර් මෙන් නොව, ට්‍රම්ප්ට තවමත් මහජන පදනමක් නොමැත. සමස්ත දේශපාලන ක්‍රමය කෙරෙහි පැතිරී ඇති වෛරයෙන් ප්‍රයෝජන ගැනීමට ඔහුට හැකි වී ඇති නමුත් ඔහු තවමත් දැඩි ලෙස අප්‍රසාදයට පත්ව සිටී. ඒ සමගම ඔහු ආන්තික අර්බුදයක ගිලුණු රජයක මුලසුන දරමින් සිටී.

වොෂින්ටන් පෝස්ට්-ඒබීසී මත විමසුමකට අනුව, දින 100 දී, ට්‍රම්ප්ගේ අනුමත ශ්‍රේණිගත කිරීම සියයට 39 ක් පමණක් වන අතර සියයට 55 ක් අප්‍රසාදය පළ කරති. තීරුබදු සහ උද්ධමනය පිළිබඳ බිය මධ්‍යයේ ඔහුගේ ආර්ථික අනුමත ශ්‍රේණිගත කිරීම් සියයට 35 දක්වා පහත වැටී ඇති බව සීඑන්එන් වාර්තා කරයි. ඔහුගේ ජනාධිපති ධුරය “තදින් අනුමත කරන්නේ” සියයට 22 ක් පමණක් වන අතර, එම සංඛ්‍යාව දෙගුණයක් “තදින් ප්‍රතික්ෂේප කරයි.” සංක්‍රමණිකයන්ට එරෙහි ඔහුගේ ප්‍රහාරය ඇතුළුව ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවල සියලු අංශ කෙරෙහි වැඩෙන විරෝධයක් පවතී.

ඊටත් වඩා වැදගත් වන්නේ එක්සත් ජනපදය පුරා විශාල නගර සහ කුඩා නගර 1,500 කට අධික සංඛ්‍යාවක මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුණයින් සම්බන්ධ වූ මහජන විරෝධතා ය. අප්‍රේල් 5, 12, 19 සහ ඉන් ඔබ්බට පැවති විරෝධතා මගින් – ආයතනික මාධ්‍ය විසින් ක්‍රමානුකූලව නොසලකා හරින ලද හෝ වළලනු ලැබූ – විරුද්ධත්වයේ බලගතු යටි ප්‍රවාහයක් හෙළිදරව් කර තිබේ. වාරණය කිරීමට සහ ඒවා යටපත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය දරන උත්සාහයන් නොතකා කම්කරුවන් සහ තරුණයින් අරගලයට යොමු වෙමින් සිටිති.

මිලියන ගණනක් දැන් මුහුණ දෙන මූලික ප්‍රශ්නය නම්: කළ යුත්තේ කුමක්ද? යන්නයි.

පසුගිය දින 100 තුළ ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග එක්සත් ජනපදය සහ ලොව පුරා වැඩ කරන ජනතාව සහ තරුණයින් ගැඹුරින් කම්පනයට පත් කර ඇත. නමුත් දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කොටසක් ඉදිරි මාවතක් ඉදිරිපත් නොකරයි.

ඩිමොක්‍රටික් පක්ෂය ඒකාධිපතිත්වයට එරෙහි ප්‍රතිරෝධය දක්වන බලවේගයක් නොවේ – එය එහි පහසුකම් සපයන්නා වේ. පසුගිය දින 100 තුළ, ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ගේ රජය පවත්වාගෙන යාම සඳහා ඔහුගේ වියදම් පනත සම්මත කර ඇති අතර ෆැසිස්ට් ප්‍රධානියා සමඟ “එකට වැඩ කිරීමට” ප්‍රතිඥා දී තිබේ. ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්‍රහාරයට ඔවුන්ගේ ප්‍රතිචාරය දුර්වල ප්‍රකාශවලට සීමා වී ඇති අතර ඔහුගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම දිගටම කරගෙන යෑමට ඉඩ සලසයි.

ට්‍රම්ප් නැවත තේරී පත්වීමට හැකි වීමම ඩිමොක්‍රටික් පක්ෂයට එල්ල කරන අධි චෝදනාවකි. ඔහු බලයට නැවත පැමිණීම එහි බංකොලොත් වාර්තාවේ ප්‍රතිඵලයකි: ඉහළ මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත ස්ථර සඳහා අනන්‍යතා දේශපාලනය මත එහි  රදා  සිටීම; උද්ධමනය යටතේ කම්කරුවන්ගේ දුක් වේදනා කෙරෙහි එහි උදාසීනත්වය; සහ පළමුව යුක්රේනයේ, දැන් ගාසා තීරයේ – නිමක් නැති යුද්ධය සඳහා එහි නොනවත්වා හඹා යාම. ට්‍රම්ප්ට නොඅඩුව ඩිමොක්‍රටික්වරු පාලක කතිපයාධිකාරයට සේවය කරති.

බර්නි සැන්ඩර්ස් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් වැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ගත් කල, ඔවුහු පීඩන කපාට ලෙස ක්‍රියා කරති. එනම් ඔවුහු ධනේශ්වර පාලනයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට උත්සාහ කිරීම සඳහා වන උපකරණ වෙති. සති අන්තයේ දී, සැන්ඩර්ස් තමා ඩිමොක්‍රටික් පක්ෂය සමඟ “එකම පිටුවක” සිටින බව නැවත අවධාරණය කරමින් එන්බීසී හි මීට් ද ප්‍රෙස් වෙත “අපි තුන්වන පක්ෂයක් ආරම්භ කිරීමට උත්සාහ නොකරමු” යැයි පැවසීය. ඒ වෙනුවට, ඔහු අවධාරනය කළේ, “අපි ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට උත්සාහ කරමු” ලෙසයි. ඒ ඩිමොක්‍රටික් පක්ෂයට “අනාගතය සඳහා දැක්මක නොමැති” බව පිළිබඳව පමණක් විලාප නඟමිනි.

කෙසේ වෙතත්, කම්කරුවන්ට සහ තරුණයින්ට, ඩිමොක්‍රටික් පක්ෂය සහ ධනේශ්වර දේශපාලනයේ සමස්ත රාමුව සමඟ අනුකම්පා විරහිත බිඳීමකින් තොරව “අනාගතයක්” නොමැත. සමාජවාදය සඳහා අරගලයෙන් පිටත අනාගතයක් නොමැත.

මූලික ගැටළුව වන්නේ ඉදිරිදර්ශනයයි. දැවැන්ත සටන් ක්ෂිතිජයේ දිස් වේ: ඒකාධිපතිත්වයට එරෙහිව, යුද්ධයට එරෙහිව සහ සමාජ අසමානතාවයට එරෙහිව. මෙම අරගල ධනේශ්වර පාලක පන්තියේ කිසිදු කන්ඩායමකට යටතට පත් කළ නොහැක. ධනේශ්වර ක්‍රමයම අහෝසි කිරීම අරමුණු කරගත් සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී උපාය මාර්ගයකින් ඒවා සන්නද්ධ කළ යුතුය.

හදිසි කාර්යය වන්නේ මෙම අරගල මෙහෙයවීම සඳහා විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමයි. මෙය සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කේන්ද්‍රීය අරමුණයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ෆැසිස්ට්වාදය සහ ඒකාධිපතිත්වය කරා යන ගමනට විරුද්ධ වීම සදහා මහජන කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ සටනට සමාජවාදී සමානතා පක්ෂය පෙරමුණ ගෙන සිටී. ඉදිරි මාවතක් සොයන සියලුම කම්කරුවන්, සිසුන් සහ තරුණයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මැයි 3 වන දින අපගේ ජාත්‍යන්තර මැයි දින මාර්ගගත රැලියට සහභාගී වී, අපගේ පක්ෂයට එකතු වී සමාජවාදය සඳහා සටන භාර ගන්නා ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top