ආන්ඩුවේ ප්‍රහාරයට එරෙහිව කම්කරු වර්ජන හා  විරෝධතා  වැඩෙයි

එල්.පී. උදයප්‍රේම විසිනි.

Strike
විදුලි සේවකයෝ කොළඹදී විරෝධතා දක්වති. courtesy UnionsLanka fb

විදුලිය, ජලය, ගෑස් හා ආහාර ද්‍රව්‍යවල මිල දරා ගත නොහැකි මට්ටමට ඉහල දැමීමට එරෙහිව නැගෙන  මහජන විරෝධය මධ්‍යයේ නොවැම්බර් මස මුල් දින 6 තුල රජයේ හා පුද්ගලික ආයතනයන්හී කම්කරුවෝ සිය දහස් ගනනින්  වර්ජන හා විරෝධතාවන්ට එක් වූහ. 

එකී අරගල පැන නගින්නේ, වික්‍රමසිංහගේ ආන්ඩුව දින පතා උග්‍ර කරන ජිවන බරට එරෙහිවත්, අයිඑම්ෆ් සැලසුම් යටතේ ආන්ඩුව ක්‍රියාවට දමන රාජ්‍ය ආයතන පුද්ගලිකරනය, රැකියා හා සුබසාධනයන් කප්පාදුවට  විරුද්ධවත් ය. 

ඊට ආරම්භයක් දෙමින්  නොවැම්බර් 1දා රෝහල්  කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයෝ  ඉල්ලීම් 9ක් මුල් කර ගෙන රට පුරා  වර්ජනයකට පැමිනියෝය. ඊට සමගාමීව රෝහල් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් ද පැවත් වුනි.

කනිෂ්ඨ කාර්ය මන්ඩලවල  පුරප්පාඩු සම්පූර්න කරනු! පොරොන්දු වූ පරිදි අතිකාල දීමනා ලබා දෙනු! ඖෂධ සහ උපකරන හිගයට කඩිනම් විසදුම් ලබා දෙනු! මර්දන පනත් අහෝසි කරනු! යන සටන් පාඨ විරෝධතාවේ මූලික ඉල්ලීම්  විය.

සෞඛ්‍යය සේවා වෘත්තිය  සමිති  එකමුතුව වර්ජනය කැඳවා තිබුනි.

නොවැම්බර්  2 දා සිට 10 දා දක්වා පලාත් මට්ටමෙන් පැය 24ක් පුරා  පැවැත්වෙන වර්ජනයක් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කලේය. 2දා  ඌව පලාතේ වෛද්‍යවරුන්ගෙන් ආරම්භ කෙරුනු වර්ජනය පිලිවලින් 3දා, උතුරු පලාත, 6දා වයඹ, 7 දා සබරගමුව, 8දා මධ්‍යම හා නැගෙනහිර, 9දා දකුන හා උතුරු මැද පලාත වශයෙන් පවත්වා, 10 වැනි දින බස්නාහිර  පලාතේ වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබන වර්ජනයෙන් අවසන් කිරීමට නියමිත විය.

වෛද්‍ය හිඟය ඇතුලු සෞඛ්‍ය ගැටලු විසඳන ලෙස ආන්ඩුවට බල කිරීමට එකී උද්ඝෝෂනය සංවිධාන කල බව වෛද්‍ය සංගමය සඳහන් කලේ ය.

වෛද්‍ය වර්ජනයට සමගාමීව එදින විශ්ව විද්‍යල ආචාර්යවරු දීප ව්‍යාප්ත එක් දින සංකේත වර්ජනයක් පැවත් වූහ. විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මංඩලවල සියලුම සේවකයෝ එදින  සේවයෙන් ඉවත් ව එම වර්ජනයට සහය පල කලහ.

දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් අධ්‍යාපනයට වෙන් කිරීම, ආචාර්යවරුන්ගේ වැටුප් කප්පාදුව නතර කිරීම හා අසාධාරන බදු ඉවත් කිරීම ආදී ඉල්ලීම් වර්ජනයට මුල් වී තිබුනි.

වර්ජනය අතරතුර  විහාර මහ දේවී උද්‍යානය ඉදිරියේ පැවත් වූ විරෝධතාවෙන් අනතුරුව, සරසවි ආචාර්යවරු කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී  විරෝධතා රැස්වීමක් ද පැවැත්වූහ. 

ආන්ඩුවේ පුද්ගලීකරනයට මුහුන දී සිටින විදුලි බල මන්ඩල සේවකයෝ නොවැම්බර් 2දා, කොලඹ ලංකා විදුලි බල මන්ඩලයේ මූලස්ථානයට පැමින එහි  ඉදිරිපිට බලගතු විරෝධතා උද්ඝෝෂනයක් පැවැත්වූහ. ලංවීම, සමාගම් 14ට කොටස් කර විකුනා දැමීමේ ආන්ඩුවේ ප්‍රයත්නයට එරෙහිව එහි  කම්කරුවෝ දීගු කාලයක සිට උද්ඝෝෂනයේ නිරත වී සිටිති.

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳන ලෙස ඉල්ලා නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය විරෝධතාවක් හා රැලියක් විහාර මහ දේවි උද්‍යානයේ පැවැත්වූයේ මේ විරෝධතා මධ්‍යයේ ය.

ෆැක්ටරි පාලකයන් විසින් කම්කරු නීති උල්ලංඝනය කරනු ලැබීමට කම්කරු අමාත්‍යාංශයේ බලධාරින්ගෙන් ලැබෙන සහයෝගයට විරුද්ධත්වය පෑමට  නොවැම්බර් 5දා විරෝධතාව පැවැත්වෙන බව පොදු  සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මාධ්‍යයට පවසා තිබුනි.

එම නිවේදනයට අනුව, ෆැක්ටරි හිමියෝ, ස්ථීර සේවකයන්ගේ වැටුපෙන් අඩක් පමනක් ගෙවා ඔවුනට රැකියා අවස්ථා ලබා නොදීමේ පිලිවෙතක් දිගු කාලයක සිට පවත්වාගෙන යති. එකී පාලක පිලිවෙතේ එල්ලය වී ඇත්තේ, වැටුප්  අඩකින් කපා හැර සිටින කම්කරුවන් ජීවත් වීමට නොහැකි තැනට ඇද දමා ස්ව-කැමැත්තෙන් රැකියාවලින් ඉවත් වීමට තල්ලු කිරීමත්, වෙනත් රැකියාවන්හි නිරත වන්නේ නම් එම කම්කරුවන්  වන්දි නොගෙවා රැකියාවෙන් නෙරපා හැරීමට ක්‍රියා කිරීමත් ය.

සේවක සංගමය සඳහන් කරන්නේ, ලිඛිත පැමිනිලි ඉදිරිපත් කලත්, කම්කරු කොමසාරිස් ඊට ප්‍රතිචාරයක් දක්වා නැති බවයි. දිගු කලක් පවත්වා ගෙන ආ මේ මෘග පිලිවෙතට එරෙහිව පොදු සේවක සංගමය පැමිනිලි කර ඇත්තේ ඔක්තෝබර් 24 දා ය!

වසර කීපයක් කම්කරුවන් මුහුන දී සිටි දුෂ්කර කොන්දේසි කෙරෙහි විරුද්ධත්වයක්වත් නොපෑ පොදු සේවක සංගමයේ නිලධාරීහු, ඔක්තෝබර් 24 දා කම්කරු කොමසාරිස්ට පැමිනිලි කිරිමටත් හදිසි විරෝධතාවක් හා රැස්වීම් පැවැත්වීමටත් ඉදිරිපත් වූහ. කොමසාරිස්වරයාට බල කිරීමෙන් එය ඉටු කර ගැනීම  විරෝධතාවේ අරමුන බව පොදු සේවක සංගමයේ අදහස වේ.  

විදේශීය හා දේශීය ධනපති ෆැක්ටරි හිමියන්ට රිසි සේ කම්කරුවන් සූරා කෑමට අවශ්‍ය කොන්දේසි ආන්ඩු මගින් සලසා දී ඇත. නිදහස් වෙලඳ කලාප යනු නිත්‍යානුකූල ව ධනපති ආන්ඩු ඇටවූ වහල් කඳවුරු ය. ෆැක්ටරි පාලකයන් ගෙන යන දුෂ්ඨ පිලිවෙතට ඉඩ සලසා ඇත්තේ එම කොන්දේසි යි. 

මේ අතරතුර රාජ්‍ය සේවක වෘත්තීය සමීති 20ක් එකතු වී නොවැම්බර් 6දා සිට විරෝධතාවයක් පවත්වන බව නිවේදනය කර තිබුනි. එම විරෝධතාව පවත්වන්නේ, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන ආන්ඩුවේ පරස්පර ප්‍රකාශවලට විරෝධය පල කිරීමටයැයි වෘත්තිය සමිති නිවේදනය කලේය.

වෘත්තිය සමිති හා ඊනීයා කම්කරු සංවිධාන මෙවර අයවැයෙන් වැටුප් වැඩි කෙරෙන  බවට ප්‍රචාරයක් ගෙන යති. වැටුප රු. 20,000 න් වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් නොවැම්බර්  6දා විරෝධතාවකට රාජ්‍ය සේවක වෘත්තිය සමිති පැන ගෙන සිටින්නේ ඒ මත ය. ඔක්තෝබර් 30දා ද රාජ්‍ය සේවක වෘත්තිය සමිති උද්ඝෝෂනයක් කලේය.

පසු ගිය දිනයන්හි විරෝධතා පැවැත්වූයේ පොලිස් තහංචි හා ප්‍රහාර මැද ය. තම අයිතීන් පතා අරගලයට එන කම්කරු හා පීඩිත ජනයාට විසඳුම් දීමට ආර්ථික හා දේශපාලනික ශක්තියක් නැති අර්බුද-ග්‍රස්ත්‍ර ධනපති පාලකයෝ මහජනයාට එරෙහිව මර්දනය මුදා හරිති. ඔවුහු පොලිස්-හමුදා මත වාරු වෙති. විරෝධතා හා පෙලපාලි පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගනිමින් හා අත්අඩංගුවේ රඳවා ගනිමින්, ආන්ඩුව ගෙන යන මෘග ව්‍යාපාරයෙන් එය තහවුරු කෙරේ.

මේ මෘග කොන්දේසිවලට එරෙහිව සටන් කිරීම වෙනුවට වෘත්තිය සමිති හා ඊනියා කම්කරු සංවිධාන කම්කරුවන්ට කියා සිටින්නේ, මහජනයාට හතුරු ආන්ඩුව නම්මා ගෙන විසඳුම් ලබා ගත හැකිය යන බොරුවයි. මෙවර අයවැයෙන් රු.20,000ක් ලබා ගත හැකි යැයි සමිති  නායකයන් කරන තොරොම්බල් කිරීම ද එබඳු ම බොරුවකි. 

සමිති නායකත්වයේ මවා පෑම්වලට ප්‍රතිවිරුද්ධව ආන්ඩුවේ මැති ඇමතියන් මහජනයාට පවසන්නේ වැටුප් වැඩි කීරීමක් කල නොහැකි බව පමනක් නොව, පොදු සේවාවන් විකිනීමට, සුබසාධනයන් කපා හැරීමට ආන්ඩුව ගෙනයන ක්‍රියාවන්ට එකඟ වන ලෙස යි. ආන්ඩුවේ සටන් පාඨ වී ඇත්තේ, අරගල නොකරනු! ආන්ඩුවේ ප්‍රහාරයන්ට යටත් වෙනු! යන ඒවාය.

සටනට එන කම්කරු පීඩිත ජනයාට රාජ්‍ය මර්දනයට මුහුන දී තම අයිතීන් රැක ගැනීමේ අරගලය සංවිධානය කල හැක්කේ පාලක පන්තියේ ප්‍රහාරයේ මූලයන් වටහා ගැනීමෙන් ය. ඒ මත  තම පන්ති ශක්තිය දේශපාලනිකව හා සංවිධානාත්මකව බලමුලු ගැන්වීමෙන් හා  ඒ වටා පීඩිත ජනයා රැලි කර ගැනීමෙන් ය; වෘත්තිය සමිති හා ඊනීයා සංවිධානවල නායකයන් ධනපති ප්‍රභූව සමඟ සැඟවී හා එලිපිට සිදු කරන අවස්ථාවාදී පිලිවෙත් හෙලිදරව් කරමින් කම්කරු පංතියේ අව්‍යාජ අවශ්‍යතා සඳහා වූ කැපවීමෙන් ය; ඒ සඳහා ධනපති වෘත්තිය සමිතිවලින් බිඳී වෙන්වීමෙන් ය.

වෘත්තිය සමිතිවල ධනපති ගැතිකම කම්කරුවන් සමීපව අත් දුටු ආසන්න ම සිද්ධිය වූයේ, 250,000 කගේ සහභාගිත්වයෙන් ගෙන ගිය ගුරු විදුහල්පති   අරගලය ආන්ඩුවේ බොරු පොරොන්දුවලට පාවාදීමයි. 2021 වසරේ ධනපති පාලකයන්ගේ වංචනික පොරොන්දු ජයග්‍රහනයක් හැටියට සමිති නායකයෝ ඔජ වැඩූහ. මේ වසරේ  ඔක්තෝබර් 24 දා එකී ගුරු ඉල්ලීම් දිනා ගැනීමට ගුරුවරුන්ට යලි මුල සිට සටන් වැදීමට සිදුවීමෙන් සමිති නායකත්වයේ ධනපති පිලිවෙතේ පවතින විෂකුරු බව පෙන්වා දී  ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top