කම්කරු මාවත ඉතිහාසයෙන්: ආර්ථික කඩා වැටීමේ බර කම්කරුවන් මතට – ආර්. ප්‍රේමදාස යූඇන්පී ප්‍රතිපත්ති පැහැදිලි කරයි

මෙහි පළ වන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) නිල පුවත්පත වූ කම්කරු මාවත පත්‍රයේ, 395 කලාපයේ, 1977 ජූලි 23 වන දින පළ කරන ලද ලිපියකි.

1977 ජූලි 21 වන දින පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය (යූඇන්පී) මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරන ලද තම වැඩපිලිවෙල සම්බන්ධව විකොස ඉදිරිපත් කරන ලද විවේචන හා එහි විප්ලවවාදී වැඩපිළිවෙළ සම්බන්ධ ලිපි අතරින් පහත ලිපිය ද යූඇන්පී ප්‍රතිපත්ති ගණනාවක් විචාරයට ලක් කරයි.

වත්මන් රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජනාධිපතිවරනයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර තුර  කම්කරු පන්තිය මත ආර්ථික හා මූල්‍ය අර්බුදයේ බර සම්පූර්නයෙන්ම දැමීම සදහා ගෙනයන වැඩපිලිවෙල සමග එදා 1977 ජුලි මැතිවරනයට ආසන්නයේ ජයවර්ධන හා ප්‍රේමදාස ඇතුලු යූඇන්පී නායකයන් හෙලිදරව් කල එහි කප්පාදු සැලසුම් සිහියට නැගීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගත් ආකාරයත්, කම්කරු පන්තිය වෘත්තීය සමිති ව්‍යාපාරය හරහා පරාජයන් කරා ගෙනයනු ලැබීමත් නැවත අධ්‍යයනය කර ගැනීම අද දවසේ අරගලයන්ට පාඩම් සපයනු ඇත.

***

Premadasa
ආර්.ප්‍රේමදාස (මැද) ජේ.ආර්.ජයවර්ධන (දකුන) සමග

යුඑන්පී ආණ්ඩුවක් බලයට පැමිණියහොත් ක්‍රියාත්මක කරන ඇත්ත ප්‍රතිපත්ති ගැන පැහැදිලි හෙළිදරව්වක් කර ඇත්තේ එහි උප නායක ආර්. ප්‍රේමදාස යි.

අලුත් යූඑන්පී ආණ්ඩුවක ප්‍රතිපත්තිය  පැහැදිලි කරමින් ප්‍රේමදාස කර ඇති සම්මුඛ සාකච්ඡාවක්,”හිමාත්” නම් ඉන්දීය සඟරාවේ ජූනි දාසය කලාපයේ පළවෙයි. ඔහු එය මෙසේ පවසයි.

“වගකීම සහ විනය අප රටට අවශ්‍ය ය. ලංකාවේ මධ්‍යගතව ආර්ථිකය සැලසුම් කිරීම අසාර්ථකව ඇත. සැලසුම් කිරීමේ ක්‍රියාදාමය පහලින් පටන්ගත යුතුය. අප කම්කරුවන්ට වගකීම භාර දිය යුතුය. සෑම ආයතනයකම ලාභ හා පාඩුවලට (කම්කරුවන්) සහභාගි වන ක්‍රමයක් ඇති කිරීමට අපට අවශ්‍යව ඇත.”

“මේ වගකීම පැනනගින්නේ කෙසේදයි” අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු,” තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් ජීවත්වෙන සමාජයක් නිර්මාණය කිරීමට අපට අවශ්‍යව යයි”පැවසීය.

ධනපති ක්‍රමයේ කඩාවැටීමට කම්කරුවන් වගකියන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් බලාපොරොත්තු වන බව යුඑන්පි නායකයින් ජනතාවට නොකීවද ඔවුන්ගේ ඉලක්කය එය බව ඉහත ප්‍රකාශය  හෙළිදරව් කරයි. මේ ප්‍රකාශනය යූඑන්පී යේ ඇත්ත අරමුණ ගැන මැතිවරණයේදී කම්කරු පන්ති ව්‍යාපාරයට ලැබුණු අනතුරු ඇඟවීම් සියල්ලම සනාථ කරවන්නකි.

නිදහස් වෙළෙඳ කලාපයක් බිහි කර, විදේශ ආයෝජනයන් ගෙන්වන බවත්, බඩු මිල අඩු නොකරන බවත්, වෘත්තිය සමිති දඬු ගැසීමේ නීති ගෙනෙන බවත්, යූඑන්පී නායකයන් දී ඇති ප්‍රකාශයන් පිටුපස පවතින නියම යථාර්ථය මේ ප්‍රකාශයෙන් හෙළිදරව් වේ.

යූඑන්පී නායකයාගේ ප්‍රකාශයේ අර්ථය නම් ඔවුන්ගේ ආණ්ඩුවක මූලික ලක්ෂණය වන්නේ එය ලංකාවේ නිෂ්පාදන ක්‍රමයේ සම්පූර්ණ කඩාවැටීමේ බර කම්කරුවන් සහ දුගීන් මත පටවන ආණ්ඩුවක් බවයි.

මේ ආණ්ඩුව යටතේ කම්කරු පන්ති ව්‍යාපාරය වෙනුවෙන් සූදානම් කෙරෙන ඉරණම ගැන වැටහීමක් ඇතිකර ගැනීමට නම් අපි නැවත වරක් මේ මැතිවරණය පැවැත්වුණ ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික අර්බූදය දෙස හැරිය යුතුය.

කඩාවැටීම

මේ මැතිවරණයට පසු බලයට පත්වන ආණ්ඩුව බලය අතට ගන්නේ ලංකාවේ මෙතෙක් පැවති දරුණුම ආර්ථික කඩාවැටීම මධ්‍යයේය. ධනපති නිෂ්පාදන ක්‍රමයේ පරිපූර්ණ කඩාවැටීම මේ අර්බුදයේ මූලික ලක්ෂණයකි.

ආර්ථිකයේ මූලික අංගයක් පමණක් ගතහොත් 1976 වර්ෂයේ තේ නිෂ්පාදනය සියයට 8.1 කින් කඩා වැටී ඇත. පොල් නිෂ්පාදනයේ වැටීම සියයට 13 කි. වී නිෂ්පාදනය වී බුසල් කෝටි 6 සහ 8 ප්‍රමාණයේ සිට 5.5 දක්වා පහතට වැටුනි.

මූලික නිෂ්පාදනයන් මෙසේ කඩා වැටෙද්දී, ඉතාමත්ම භයානක තත්වය උද්ගතවූයේ කර්මාන්ත ක්ෂේත්‍රයෙහිය. පසුගිය පෙබරවාරි මාසය වන විට සංස්ථාවන්ගේ නිෂ්පාදනය සියයට 44 කින් පහත වැටී ඇත.

මේ නිෂ්පාදන කඩාවැටීමට අමතරව පුද්ගලික අංශයේ බරපතළ නිෂ්පාදන කඩාවැටීම ඇරඹී තිබිණි.

මේ කඩා වැටීම සිදු වූයේ එක්දාස් නවසිය හැත්තැ එකෙන් පසු ධනපති ලෝකය පුරාම පැතිර ගිය ජාත්‍යන්තර ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසය. 1977 වන විට ඇති වූ තත්ත්වය නම් මේ අර්බුදය දැවන්ත කඩාවැටීමක් බවට ජාත්‍යන්තර වශයෙන් ම පරිවර්තනය වීමයි.

ඇමරිකාව වැනි දියුණු ධනපති රටවල නිෂ්පාදනය කඩා වැටීමද, ණය ගැතිකම උග්‍රම මට්ටමට නැගීමද, ගෙවුම් ශේෂ හිඟයන් සහ වෙළෙඳ ශේෂ හිඟයන් උත්සන්න වීම ද සිදු වූ අතර සිය බංකොලොත්කම පියවාගැනීමට ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්ද, වෙළඳ බැංකු වලින් ද ණය ගත් රටවලට ණය හෝ පොලී ගෙවීමට තවදුරටත් නොහැකිවීමෙත්, මේ නිසා මෙම මූල්‍ය පද්ධතියම කඩාවැටීමේත් තර්ජනය ඉස්මතු වෙයි.

අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තෙක්

වෙළඳ යුද්ධය දරුණුම මට්ටමට උදාවීමත් ආර්ථික කඩා වැටීම පාලනය කිරීමට දැරූ සෑම උත්සාහයක්ම අසාර්ථක වීමත් සමගම ලෝක මූල්‍ය ආයතනයන් සෑම රටකම ආර්ථික විනාශය උග්‍ර කිරීමේ ආයතනයන් බවට පත්වීම දැන් සිදුව ඇති මූලිකම විපර්යාසයකි. මේ තත්ත්වය තුළ බලය ගන්නා සෑම ධනපති ආණ්ඩුවකට ම කළ හැකි එකම කාර්යය වන්නේ මේ කඩා වැටීම ඉහළම මට්ටමට උත්සන්න කිරීමත්, අධිරාජ්‍යවාදීන්ගේ සෘජු ඉත්තකු ලෙස විනාශය දියත් කරන්නෙකු බවට පත්වීමය. කම්කරුවන්, ලාභය පමණක් නොව පාඩු ලැබීමේ වගකීමද බාරගන්නා අය  බවට පත් විය යුතු යයි ප්‍රේමදාස පවසන්නේ මේ තත්ත්වය යටතේ ය.

නිෂ්පාදනය කඩා වැටෙද්දී කර්මාන්ත සහ ෆැක්ටරි විශාල වශයෙන් වැසෙද්දී මේ කඩාවැටීම උග්‍ර කරවන ප්‍රතිපත්ති ආණ්ඩුව විසින් එදිනෙදා ක්‍රියාත්මක කරද්දී පාඩු ලැබීමේ වගකීම කම්කරුවන්ට භාරගත හැක්කේ එකම විධියකින් පමණකි. එනම් තම රැකියාව අහිමිවීම පිළිගැනීමට එකඟ වීමෙන් පමණි.

Workers

යූඑන්පිය කතා කරන්නේ කර්මාන්තවල සිදුවන සුළු අලාභයන් කම්කරුවන් විසින් විඳදරා ගැනීම නොවේ. ඇත්ත වශයෙන් ආර්ථික අර්බුදය මේ මට්ටමට උග්‍ර නොවූ පසුගිය අවුරුදු 7 තුළ ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුව යටතේ කර්මාන්ත සහ සංස්ථාවන් කඩා වැටීම ඇරඹුණු විට ක්‍රියාත්මක වූයේ ධනපති ක්‍රමයේ කඩාවැටීම කම්කරුවන් පිටින් යැවීමේ ප්‍රතිපත්තින් ය. බෝනස් කපාදැමීම, විශ්‍රාම වැටුප් අහිමි කිරීම, සේවක අර්ථසාධක අරමුදල් අහිමි කිරීම, අතිකාල දීමනා සහ ජීවන අංක දීමනාව අත්හිටවීම, ස්ථිර වැටුප් වෙනුවට ඵලදායිත්වය ට සහ නිෂ්පාදන පරිමාණයට ගැටගැසුණු වැටුප් ක්‍රමයක් දියත් කිරීම, සාමූහික කේවල් කිරීම මගින් දිනා තිබූ වැටුප් ගිවිසුම් අහෝසිකර අලුත් දිරිගැන්වීමේ ක්‍රමයක් සහ වැඩ වේගවත් කිරීම පැටවීම, කම්කරුවන් තොගපිටින් අස්කිරීම, කර්මාන්තශාලා වන් නවීකරණය සහ ප්‍රතිසංවිධානය කිරීමේ මුවාවෙන් පැක්ටරි අංශ වශයෙන් වසා දැමීම ආදී පියවරයන් කම්කරුවන් මත පැටවීමට ධනපති පන්තිය ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුල් වටය තුළම හවුල් ආණ්ඩුවේ උදව්ව සහිතව ඉදිරියට ආවේය.

මේ පියවරයන් කම්කරු පන්තිය දිනා සිටි සියලුම වරප්‍රසාදයන් විනාශ කිරීමේ ක්‍රියාමාර්ගයක් බවට පත්විය.

කර්මාන්තශාලා වල අලාභයට ධනපතියන් ද කම්කරුවන් ද වගකිය යුතු යැයි ඔවුහු පවසති. එහෙත් මේ කර්මාන්ත කඩා වැටීමට ධනපතියන් වග කීවේ කෙසේද?

කර්මාන්ත කඩා වැටීමට සහ අලාභ ලැබීම ඇරඹුණු විට ධනපති පන්තිය ගත් පියවර නම්, තමන් එතෙක් ලැබූ ලාභය කම්කරුවන් හෝ කර්මාන්තය ගොඩනැගීමට යෙදවීම නොවේ.

අර්බුදයේ මුල් අවධියේදී ධනපති පන්තියේ උත්සාහය වූයේ කම්කරු පන්තිය මත අර්බුදයේ බර එක් අතකින් පටවමින් ද අනික් අතින් බැංකු වලින් ලබා ගන්නා ණයවලින් එය දිව වීමට ද උත්සාහ කිරීමය.

මෙය අසාර්ථක වූ විට ඔවුන් ගත් පියවර නම් කර්මාන්තය පිළිබඳ සම්පූර්ණ වගකීම අතහැර තම ධනය ද රැගෙන වෙනත් ලාභදායි ජාවාරම් වෙත පැනීමයි. ආර්ථික කඩා වැටීම තුල මෙතෙක් සිදුවූයේද අනාගතයේ වඩාත් බරපතළ ලෙස සිදු වන්නේ ද මෙයයි.

එහෙත් ආර්ථික කඩා වැටීමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ කම්කරු පන්තිය නොව ධනපති පන්තියයි. පසුගිය කාලය තුළ කඩාවැටීමට භාජනය වූ සෑම පැක්ටරියක් ම, සෑම කර්මාන්ත යක්ම මෙය සනාථ කරයි. මීට හොඳම උදාහරණය වැල්ලවත්ත රෙදි මෝලයි.

වැල්ලවත්ත රෙදි මෝලේ ඇතිවූ  කඩාවැටීම වළක්වා ගැනීමට ආණ්ඩුවද වාණිජ බැංකුව ද රුපියල් ලක්ෂ ගණනින් ණය පොම්ප කළහ. මෙය අසාර්ථක වූ පසු කඩාවැටීම කම්කරුවන් ගේ හිස මත පැටවීම ඇරඹුණි. කම්කරුවන් දාස් ගනන් අස්කර දමා, වැඩ වේගවත් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් කම්කරුවන් අතට ලැබුණු වැටුප රුපියල් සිය ගණනින් අඩු කරමින් අවුරුදු හතළිහක පමණ අරගලයකින් දිනාගත් අයිතීන් සියල්ල අහෝසි කර අලූත් වහල් කොන්දේසි ක්‍රියාත්මක කරන ලදී. මේ ක්‍රියාමාර්ගයේ අවසානය වූයේ රෙදි මෝල ගොඩගැනීමේ සැලැස්ම සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමෙනි. මේ පියවරයන් ගෙන් අවුරුද්දකට පසුව, අර්බුදය තවත් උත්සන්න වීමෙන් පසුව රෙදි මෝල වසා දැමීමට තර්ජනය කිරීමට පාලකයින්ට සිදුවූයේ ඔවුන්ට ණය දීමට ආණ්ඩුව හෝ බැංකුකරුවන් ඉදිරිපත් නොවීම නිසයි.

 මෝල වසා දැමීමට ගත් උත්සාහය කම්කරු පන්තිය විසින් පරාජය කිරීමෙන් පසුව, එහි වගකීමට සම්පූර්ණයෙන් ම කර ගැසීමට ආණ්ඩුවට සිදුවිය. ස්ටැලින්වාදී න්ගේ උදව් ඇතිව කම්කරුවන්ට තවත් වැඩ වේගවත් කිරීමේ සැලසුම් පටවා තාවකාලිකව එයගොඩ දැමීමට උත්සාහයක් දරන ලදී.

එයින් පසුව දැන් උද්ගතව ඇත්තේ සම්පූර්ණ පේෂකර්මාන්තයේම කඩාවැටීමේ බර පේෂකර්ම සංස්ථාවේ සහ ආණ්ඩුවේ කර මත වැටීමයි. සංස්ථාවේ කම්කරුවන්ට වැටුප් ගෙවීමට ණය ගැනීම සඳහා සංස්ථාවේ දේපල උකස් කිරීමට ද දැන් සිදුව ඇත.

වැල්ලවත්ත මෝල

මේ සියල්ල සිදුවීමට පෙරම, පේෂ කර්මාන්තයේ කඩාවැටීමට ආණ්ඩුව මූහුන දුන්නේ, අත්යන්ත්‍ර සහ සුළු ෆැක්ටරි මත පදනම් ව තිබූ කර්මාන්තය ජාතික පරිමාණයෙන් ම කඩාවැටීමට පියවර ගැනීමෙනි. කර්මාන්ත කඩා වැටීම එක් අවධියකින් නතර නොවන්නක් බව මෙය හොඳින්ම ඔප්පු කළේය.

Mill

සෑම කර්මාන්තයකම සිදුවූයේ වැල්ලවත්ත රෙදි මෝලේ සිදු වූ දෙයයි. සෑම කර්මාන්තයකම අර්බූදයෙන් බේරීමට ධනපති පංතිය සහ ආණ්ඩුව ගත්තේ එහි අනුගමනය කළ පියවරයි. මේ සියළු පියවරවල ඉරණම ද එයයි. මේ සියලු ප්‍රතිගාමී විසඳුම් නොතකා ආර්ථික කඩා වැටීම උග්‍ර මට්ටම් වලට සේන්දු වීම මීට හේතුව විය.

වතු ආර්ථිකය තුළ මේ පියවරයන් මීටත් වඩා ම්ලේච්ඡ අන්දමින් දියත් කරන ලදී. තේ වතු වලින් විශාල ප්‍රමාණයක් වසාදමා  ඒවායේ කම්කරුවන් විශාල ප්‍රමාණයක් එළවා දැමීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව ‍ ක්‍රියාත්මක කළ අතර මෙහි ප්‍රතිඵලය වූයේ වතුකම්කරුවන් දහස් ගණනින් රැකියා අහිමි වීමට ගොදුරු වීමයි.

කර්මාන්ත කඩා වැටීමට වගකීම කම්කරු පංතිය භාර ගැනීමෙන් මෙම කඩාවැටීම විසඳීම සම්පූර්ණ ප්‍රෝඩාවක් වන්නේ මේ පරිහානිය තුළදී රටේ ජනතාවට අවශ්‍ය මූලික භාණ්ඩවලට අදාල නිෂ්පාදනයන් සහ කර්මාන්ත පවත්වාගෙන යෑමට ධනපති පංතියට නොහැකි නිසයි. ආර්ථික කඩා වැටීමේ මූලික ලක්ෂණය නම් මේ නිෂ්පාදන අංශයන් කඩා වැටීමයි. ධනපති පන්තියට අද ගැනීමට ඉතිරිව ඇති එකම කර්මාන්තය නම් මැණික් කර්මාන්තය, සී.ආර්.එ. මුදල්වලින් සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම සහ සංචාරක කර්මාන්ත වැනි පරපුටු ජාවාරම් ය. මේ පරපුටු ජාවාරම්වල ලාභය යෙද වී ඇත්තේ කම්කරුවන්ට බෙදීමට හෝ මේ ජනතාව වෙනුවෙන් යෙදවීමට නොව සාගතය මධ්‍යයේ ධනපති පංතියට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීමටය.

යුඇන්පිය දැන් උත්සාහ කරන්නේ මේ ආර්ථික  සැලසුම් ජාතික පරිමාණයෙන් දියත් කිරීමයි. කර්මාන්ත කඩාවැටීමට කිසිම අයුරකින් උරදීමට දැන් ධනපති ආණ්ඩුවට හෝ බැංකුවලට නොහැකිය. ව්‍යාපාර රජයට ගැනීමෙන් හෝ ණය දීමෙන් ආර්ථික කඩා වැටීම කල් දැමීමට හෝ සමනය කිරීමට ඔවුන්ට කිසිසේත්ම හැකියාවක් නොමැත. බලයට එන ධනපති පක්ෂයකට කළ හැකි එකම දේ නම් අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ නිර්දේශයන්ට සම්පූර්ණයෙන්ම යටත් වීමයි.

යූඇන්පිය දියත් කිරීමට උත්සාහ කරන ක්‍රියාමාර්ගය ඔවුන්ට ක්‍රියාත්මක කළ හැකි වන්නේ සිවිල් යුද්ධයක් මගින් පමණකි. ඔවුන් සූදානම් වන්නේ ද ඒ සඳහා ය. ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ පොරොන්දු දී බලයට පැමිණීමෙන් පසුව කම්කරු පන්තියට විරුද්ධව එල්ල කිරීමට උත්සාහ කරන මේ ප්‍රහාරයන්ට විරුද්ධව කම්කරු පන්තිය දැවැන්තව නැගී සිටිනු ඇත.

කම්කරු පන්තිය ආර්ථික අර්බුදයට කර ගැසිය යුතුයැයි යන්නෙහි එකම අර්ථය නම් ව්‍යාපාරයේ ඉතිහාසයේ දී දිනාගත් අයිතීන් සියල්ල අහෝසි කළ යුතුය යන්නයි. මේ අයිතීන් දිනා ගැනීම සඳහා සංවිධානය වීම මැතිවරණයෙන් පසු කම්කරු පන්තිය ඉදිරියේ ඉස්මතුවන මූලික ප්‍රශ්නයකි.

වෘත්තිය සමිති ව්‍යාපාරය කුඩු පට්ටම් කිරීම සඳහා නීති ගෙන ඒම ගැන යූඇන්පිය මැතිවරණය තුළ කතා කර ඇත්තේ කම්කරු පංතියේ ස්වාධීනත්වයත් එහි ශක්තියත් විනාශ කිරීම ධනපති පංතියේ නව සැලසුම් සඳහා අත්‍ය‍යාවශ්‍ය වන හෙයිනි. වෘත්තීය සමිතිවල නායකත්වය,  කම්කරුවන්ගේ අයිතීන් රැකීම නොව ධනපති ආණ්ඩුවේ සැලසුම් ක්‍රියාත්මක කරන නායකත්වයක් බවට පත් කිරීම එහි එල්ල යයි. එහෙත් යුඑන්පීය බලාපොරොත්තු වන පරිදි පාර්ලිමේන්තුවේ නීති සම්මත කිරීමෙන් ලංකාවේ ස්වාධීන වෘත්තීය සමිති   විනාශ කිරීමට ඔවුන්ට නොහැකි වනු ඇත.

කම්කරු පන්තියේ මූලික අයිතිවාසිකම් වලට විරුද්ධව එල්ලවන මෙම ප්‍රහාරයට විරුද්ධව තමන් සටන් නොකරන බව සමසමාජ ස්ටැලින්වාදී නායකයෝ ද සියලුම වර්ගයේ ප්‍රතිසංස්කරණවාදී නායකයෝ ද දැනටමත් හෙළි කර ඇත. වෘත්තීය සමිති ව්‍යාපාරය කුඩුපට්ටම් කිරීමේ නීති තමා බලයට පැමිණියහොත් ක්‍රියාත්මක කරන්නේ යයි යුඇන්පිය ප්‍රකාශ කළ පසුව, සමසමාජ සහ ස්ටැලින්වාදී නායකයෝ ද, වෘත්තිය සමිති නායකයෝ ද මේ ප්‍රහාරය නැවත්වීම ගැන වචනයක්වත් ප්‍රකාශ නොකළහ. කම්කරු පන්ති ව්‍යාපාරය ඉදිරියේ ඉස්මතු වී ඇති මෙම තර්ජනයට කම්කරු පන්තිය මුහුණ දෙන්නේ කෙසේද? ඒ සඳහා සංවිධානය විය යුත්තේ කුමන ප්‍රතිපත්ති මත ද, මෙය පරාජය කිරීමට ගත යුතු නිශ්චිත පියවර යන් මොනවාද? යන ප්‍රශ්න ගැන කිසිම ප්‍රකාශයක් දීම ඔවුහු ප්‍රතික්ෂේප කර ඇත.

මෙහි අර්ථය නම් මැතිවරණයෙන් පසු බලයට පත්වෙන ආණ්ඩුවකට මේ ප්‍රහාරයන් ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමට ඔවුන් තීන්දුවක් ගෙන ඇති බවයි.

මේ ප්‍රතිපත්තිය යටින් පවතින්නේ ජනතාවට විරුද්ධව සිවිල් යුද්ධය දියත් කරන ආණ්ඩුවක් බලයෙන් ඉවත් කර දැමීම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවයි. යූඑන්පී ආණ්ඩුවක් බලයෙන් පහකර දැමීමට කම්කරු පන්තිය මෙහෙයවීම ප්‍රතික්ෂේප කරන මොවුන් වහාම කම්කරු පන්ති ව්‍යාපාරයේ නායකත්වයෙන් එළවා දැමීම කම්කරු පන්තියේ ඉදිරියේ ඉස්මතුව ඇති මූලික කර්තව්‍යයයි.

මැතිවරණයෙන් පසුව බලයට එන ධනපති ආණ්ඩුව වහාම එළවා දැමීම සඳහා කම්කරු පන්තිය සංවිධානය කිරීමේ වගකීමට උර දී ඇත්තේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පමණකි. මේ මැතිවරණය තුළ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කම්කරු පන්තියට ඉදිරිපත් කළ ඉදිරිදර්ශනයන් එහි අඩංගු වූ සියලු අනතුරු ඇඟවීම් සහ ක්‍රියාමාර්ගය මැතිවරණ තුළ වර්ධනය වූ දේශපාලනය තත්වය විසින් සම්පූර්ණයෙන්ම සනාථ කර ඇත.

එළඹ ඇති අභියෝගයට මුහුණදීමට හැකි එකම මාර්ගය නම් ජාතික බංකොලොත්කම සහ ආර්ථික කඩා වැටීම වැලැක්වීම සඳහා  ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු සහ සෙසු පීඩිතයන් මෙහෙයවීමයි.

වතුකරය

සියලුම කර්මාන්ත සහ පැක්ටරි කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමට කම්කරු පන්තිය මෙහෙයවීම මූලිකම අවශ්‍යතාවය ලෙස ඉස්මතු ව ඇත. පැක්ටරි වසා දැමීමටත් කම්කරුවන් දොට්ට දැමීමටත් විරුද්ධව කම්කරු පංතිය තම වතු සහ පැක්ටරි වාඩිලා ගැනීමේ පියවර ගන්නා බවත් කර්මාන්ත ක්ෂේත්‍රයම පුරා මෙම වාඩිලා ගැනීමේ සටන් පැතිර යන බවත් ඉතාමත් පැහැදිලිය. වතු කඩා දැමීමට විරුද්ධව වතුකරය පුරා පැතිරුණු සටන් ගැන අනාගතේ සිදුවන සටන් වල ස්වභාවය කුමක්දැයි යන්න කල්තියාම එළි කර ඇත. වතුකරය තුළ කම්කරුවන් වාඩිලා ගැනීමේ සටන්වලින් ආන්ඩුවේ සැලැස්ම පරාජය කළා පමණක් නොව ඊට විරුද්ධව ධනපති පංතිය ආයුධ සන්නද්ධ මැර කණ්ඩායම් මෙහෙයවමින් වතුකරය තුල සිවිල් යුද්ධ තත්ත්වයක් නිර්මාණය කළේය. තම ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලුම පියවර ගැනීමෙන්, විශේෂයෙන්ම ආරක්ෂක කමිටු ගොඩනැගීමේ සහ ධනපති හමුදා සහ මැර කණ්ඩායම් නිරායුධ කිරීමේත් අවශ්‍යතාවය කම්කරුවන් ඉදිරියේ ඉස්මතු විය.

කර්මාන්ත වාඩිලා ගැනීමත් සමඟම මතුවන ප්‍රධාන අවශ්‍යතාවය නම් කර්මාන්තය වසා දැමීමට ධනපති පංතියට ඉඩ නොදී ඒවා පවත්වාගෙන යෑමයි. වාඩිලා ගැනීමත් සමගම ඒවා පවත්වාගෙන යෑමේ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතු වේ. කඩාවැටීමට භාජනය වන සෑම පැක්ටරියක ම පොත් පත් විවෘත කරමින් ඒවායේ ගණන් හිලව් පරික්ෂා කිරීම සඳහා වෘත්තිය සමිති වල විශේෂ කමිටු පිහිටු විය යුතුය.

ජාතික බංකොළොත් භාවය වළක්වා කර්මාන්ත පද්ධතීය ආරක්ෂා කර ගත හැක්කේ අධිරාජ්‍යවාදී බැංකු හ මූල්‍ය සංස්ථා වන්ගෙන් සම්පූර්ණයෙන් කැඩෙන ආණ්ඩුවකට පමණි. මෙම සංස්ථාවලට ණය සහ පොලී ගෙවීම් සම්පූර්ණයෙන්ම නවත්වන, විදේශ වෙළඳාමේ ඒකාධිකාරියක් පිහිටවන ආණ්ඩුවකට පමණකි. ආර්ථික විනාශයට විරුද්ධව සටන් කරන සෑම කම්කරුවෙකුම මේ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳීමට තීන්දු ගත  යුතුය. යූඑන්පී ආණ්ඩුවක් බලයෙන් ඉවත් කිරීම සඳහා සටන දිනිය හැක්කේ මේ පියවර ගැනීමෙන් පමණි.

(අවධාරනයන් theSocialist.LK වෙතිනි. මුල් ලිපියේ “න”, “ණ”,”ල” ,”ළ” රීතිය බැහැරව අක්ෂර වින්‍යාස යොදා ඇත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top