ඇමරිකානු අධිරාජ්‍යවාදය යුක්රේනයේ නව ලේ වැගිරීමක් ඉල්ලා සිටී

 අන්ඩ්‍රේ ඩැමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 08 දින American imperialism demands new bloodbath in Ukraine යන සිරසින් යුතුව පලවූ අන්ඩ්‍රේ ඩැමන් සහෝදරයා විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Image

යුක්රේන යුද්ධයේ මරණ සංඛ්‍යාව ඉහල යද්දී, එක්සත් ජනපදය කියෙව් වෙතින් යලිත් නව  මිලිටරි  ප්‍රහාරයක් ඉල්ලා සිටී.  ඇමරිකානු පාලක පන්තිය අවසාන  යුක්‍රේනුවා දක්වා සටන් කිරීමට අධිෂ්ඨාන කර ඇත.

අද වන විට, නේටෝ බලවතුන් යුක්රේනයට, යුක්රේනයේ පූර්ව යුද දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් තුනකට සමාන ඩොලර් බිලියන 150කට අධික ආයුධ සහ අනෙකුත් ආධාර යවා ඇත.  ප්‍රහාරක උපකරණ ලබා නොදෙන බව කලින් ප්‍රකාශ කිරීමෙන් පසුව, නේටෝ බලවතුන් විසින් යුක්‍රේනය වෙත ටැංකි සිය ගනනකින් සහ සන්නද්ධ වාහන වලින් මෙන්ම නේටෝවේ අවි ගබඩාවේ ඇති වඩාත්ම දියුණු මිසයිල පද්ධති වලින් යුත් ප්‍රහාරක උපකරණ රැල්ලක් යවා ඇත. 

දැන් අධිරාජ්‍යවාදී බලවතුන් ඉල්ලා සිටින්නේ  බොහොමයක් වීදියෙන් අල්ලාගෙන, අලුතින් බලහත්කාරයෙන් බඳවා ගත් යුක්‍රේන හමුදා අතට මෙම ආයුධ පත් කළ යුතු බවත්, දැඩි ලෙස ආරක්ෂිත රුසියානු ස්ථානගත වීමි වෙත ඔවුන් තල්ලුකර දමන  ලෙසත් ය.  එක්සත් ජනපදය සහ නේටෝව යුද්ධයේ ඕනෑම සාකච්ඡාමය සමථයකට පත්වීමක් වැළැක්වීය. සාකච්ඡා පැවැත්විය හැක්කේ ඔවුන්ගේ යුද අරමුනු සාක්ෂාත් කරගත් පසු පමණක් බව ප්‍රකාශ කර ඇත.

බොහෝ හුවා දක්වන ලද ප්‍රතිප්‍රහාරයේ එකම නිශ්චිත ප්‍රතිඵලය වනු ඇත්තේ යුක්‍රේන සහ රුසියානු යන දෙපාර්ශ්වයේම තව දුරටත් සිදු වන දැවැන්ත ජීවිත විනාශයකි.

මරණ සංඛ්‍යාව දැනටමත් අති විශාල ය.  නොවැම්බර් මාසයේදී යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් පැවසුවේ “මේ දක්වා යුක්රේන හමුදා භටයන් 100,000 ක් මිය ගොස් ඇති” බවයි.  සෑම දිනකම හමුදා සියගණනක් මිය යාමත් සමඟ යුක්රේනියානුවන් අතර සැබෑ මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවයි.

යුක්‍රේන හමුදා ප්‍රහාරක අංශයට මාරු වීමට උත්සාහ කිරීමත් සමඟ, මෙම මරණ සංඛ්‍යාව තවත් වැඩි වනු ඇත. ප්‍රහාරක යුක්‍රේන හමුදා අතර සිදුවන හානිය, ආරක්ෂක අංශයේ සිටින රුසියානු හමුදාවන්ට වඩා විශාල ලෙස වැඩි වනු ඇත.

සෙලෙන්ස්කි ආන්ඩුව වඩ වඩාත් මර්දනකාරී පියවර ගනිමින් සිටින අතර, එය තරුණයන් දස දහස් ගනනක් ඔවුන්ගේ මරණය දක්වා තල්ලු කර දමයි.  සියලුම නේටෝ-විරෝධී දේශපාලන පක්ෂ යුක්රේනයේ තහනම් කර ඇති අතර, කියෙව්හි යුද-ගැති නැඹුරුවට ඇති ඕනෑම විසම්මුතියකට තියුනු ලෙස දඬුවම් කරනු ලැබේ.  සෙලෙන්ස්කි ආන්ඩුව “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සඳහා සටන් කරන බව බොරුවට ප‍්‍රකාශ කරන එක්සත් ජනපද මාධ්‍ය විසින් මෙම ක‍්‍රියාවන් වසන් කර ඇත.

නිව් යෝර්ක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් හි ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තා, සැළසුම් කළ ප්‍රහාරය දියත් කිරීමට වොෂින්ටනය කියෙව්හි සිය සේවාදායක රාජ්‍යයට කෙතරම් බලපෑම් කරන්නේද යන්නට සාක්ෂි දරයි.

“එක්සත් ජනපදය සහ එහි සහචරයින්, මෑත මාසවලදී ඔවුන් රටට වේගයෙන් පොම්ප කල ආයුධ, පුහුණුව සහ පතොරම් සැලකිය යුතු ජයග්‍රහණ බවට පරිවර්තනය කළ හැකිද යන්න පිළිබඳව ප්‍රතිප්‍රහාරය තීරනාත්මක පරීක්ෂණයක් ලෙස  සලකන බැවින්, යුක්‍රේනය එහි බටහිර ආධාරකරුවන්ගෙන් ඉමහත් කෙටි කාලීන පීඩනයක් අත්විඳිමින් සිටී” යි ටයිම්ස් ප්‍රකාශ කළේය.

ප්‍රහාරයේ සැලසුම් ගැන අදහස් දක්වමින්,  “ප්‍රහාරයට පෙර සූදානම – එහි තොරතුරු රහසිගතව පවතී – යුක්‍රේන නිලධාරීන් දුෂ්කර ප්‍රශ්නයක් සමඟ පොරබැදීමට ඇද දමා ඇත: එනම් බටහිර, විශේෂයෙන් වොෂින්ටනය සෑහීමකට  පත් කිරීමට ප්‍රමාණවත් [යුද] ප්‍රතිඵලය කුමක්ද? “යන්න  වොෂින්ටන් පෝස්ට් හි පලකර තිබුණි.

බයිඩන් පරිපාලනය, එහි අනුමත ශ්‍රේණිගත කිරීම් පහත වැටීම සහ යුද්ධය වඩ වඩාත් ජනප්‍රිය නොවීමත් සමඟම, එළඹෙන මධ්‍යවාර මැතිවරණයට පෙර ධනවත් ඉහළ මධ්‍යම පන්තියේ සිය දේශපාලන පදනම බලමුලු ගැන්වීම සඳහා යුක්රේන යුද්ධයේ “පිම්මක්” ලෙස හැඳින්විය හැකි දෙය භාවිතා කිරීමට උත්සාහ කරයි.  

මෙම සමාජ ස්ථරය, උමතු රුසියානු-විරෝධී වෛරයෙන් ඇවිලවූ, යුද ගැති උන්මාදයකට තල්ලු කර ඇත.  නමුත් මෙම මිලිටරිවාදී හිස්ටීරියාව අවුලුවාලීමෙන් පසු, ප්‍රහාරයේ වියහැකි අසාර්ථකත්වයට එක්සත් ජනපදයේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද?

ටයිම්ස් සහ පෝස්ට් යන දෙකෙහිම සම්මුඛ සාකච්ඡා වලදී, යුක්රේන නිලධාරීන් සැලසුම් කර ඇති ප්‍රහාරය, කුමන ආකාරයේ ලේ වැකි ප්‍රහාරයක් වුවත්, තීරනාත්මක සාර්ථකත්වයකට තුඩු නොදෙන බවට අනතුරු ඇඟවීමට උත්සාහ කළහ.

යුක්රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් වොෂින්ටන් පෝස්ට් වෙත පැවසුවේ, “අපගේ ප්‍රතිප්‍රහාරක ව්‍යාපාරය පිලිබඳ අපේක්ෂාව ලෝකය තුළ අධිතක්සේරු කර ඇත… බොහෝ මිනිසුන් … විශාල දෙයක් බලාපොරොත්තුවෙන් සිටිති,” ඔහු තවදුරටත් පැවසීය, එය “චිත්තවේගීය කලකිරීමකට” තුඩු දෙනු ඇතැයි ඔහු බිය විය.

“සාර්ථකත්වය” “කිලෝමීටර් දහයක්” අල්ලා ගැනීම තරම් කුඩා විය හැකි බවට රෙස්නිකොව්  අපේක්ෂාව මතු කළේය.

ගාඩියන් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, චෙක් රාජ්‍යයේ ජනාධිපති පෙට පවෙල් (Petr Pavel ) අනතුරු අඟවමින් කීවේ, එක්සත් ජනපදය සහ නේටෝව සඳහා මෙය “යම් ප්‍රතිඵලයක් පෙන්වීමට ඔවුන් [යුක්‍රේනය ]තල්ලු කිරීමට පෙළඹවීමක් විය හැකිය.”  පාවෙල් ප්‍රකාශ කළේ, “මෙම ප්‍රතිප්‍රහාරය අසාර්ථක වුවහොත් එය යුක්‍රේනයට අතිශයින්ම හානිකර වනු ඇත, මන්ද ඔවුන්ට අවම වශයෙන් මේ වසරේ දි තවත් අවස්ථාවක් නොලැබෙනු ඇත,” යන්නයි.

බයිඩන්  පරිපාලනය යුද්ධය මත එහි සම්පූර්ණ විශ්වසනීයත්වය පරදුවට තබා ඇත.  ප්‍රහාරයට අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබෙනු ඇති බවට හෝ සම්පූර්ණයෙන් අසාර්ථක විය හැකි බවට වූ වියහැකියාවන්, සෘජු නේටෝ මැදිහත්වීමක් සඳහා පීඩනය තීව්‍ර කරනු ඇත.

එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය ග්‍රහණය කර ගන්නා යුද උන්මාදය පිලිබඳව, “ප්‍රතිප්‍රහාරය” යන සිරස්තලයෙන් ඈන් ඇපල්බෝම් විසින් ” ද ඇට්ලැන්ටික්”( The Atlantic)  හි කවරයේ කතාවකට ලියන ලද ලිපියක් නිදසුන් ලෙස දැක්විය හැක. 

ඇපල්බෝම් “යුක්රේනයේ සම්පූර්ණ විමුක්තිය” ඉල්ලා සිටියි. යුක්රේනයට “2022 පෙබරවාරියේ සිට අහිමි වූ සියලුම භූමි ප්‍රදේශ” මෙන්ම  ක්‍රිමියානු අර්ධද්වීපය යළි අත්පත් කර ගැනීමට ඉල්ලා සිටියි. මෙම ප්‍රහාරයේ සැලසුම් තුල ඇපල්බෝම්, ප්‍රකාශ කරන්නේ, “යුරෝපය තුල ඇමරිකාවේ ආස්ථානය හා ඇත්ත වශයෙන්ම ලෝකය තුළ ඇමරිකාවේ ආස්ථානය සියල්ල පරදුවට තබා ඇති” බවයි.

යුද්ධයට එක්සත් ජනපද-නේටෝ මැදිහත්වීම දැවැන්ත ලෙස තීව‍්‍ර කිරීමකින් පරිබාහිරව එක්සත් ජනපදයේ දැවැන්ත ඉලක්ක සාක්ෂාත් කරගත නොහැකි බව වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ.

රුසියාවේ පළිගැනීම් අවුලුවාලීමේ අරමුණින්, නොසැලකිලිමත් ප්‍රකෝපකරනයක් වූ 

පසුගිය සතියේ ක්‍රෙම්ලිනයට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරය සහ පුටින් ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ එකම පැහැදිලි කිරීම එය යි.

ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගෙන් විමසන ලද්දේ, “යුක්‍රේනය විසින් මෙම යුද්ධයේදී නායකත්වයට එල්ල කරන එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ස්ථාවරය කුමක්ද?” යනුවෙනි.

ප්‍රතිචාර වශයෙන්, බ්ලින්කන් පැහැදිලිවම ඝාතනවල නීත්‍යානුකූලභාවය අනුමත කරමින්, “තමන්ව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න තීරණය කිරීම අපි යුක්රේනයට භාර දෙමු” යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශ ධවල මන්දිරයේ පවතින දැවැන්ත නොසැලකිලිමත්කමට සාක්ෂි දරයි.  ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව පාලනය කරන රුසියානු ජනාධිපතිවරයාගේ සිදුවිය හැකි ඝාතනය අනුමත කිරීමේදී ඔවුන් සෙල්ලම් කරන්නේ යුක්‍රේනියානුවන්ගේ සහ රුසියානුවන්ගේ ජීවිත සමග  පමණක් නොව මුළු ලෝකයේම ජීවිත සමඟ ය.

මෙය එක්සත් ජනපද භූ දේශපාලන ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ “තීරණාත්මක දශකය” ලෙස ප්‍රකාශ කරමින්, එක්සත් ජනපදය ගෝලීය යුද්ධයකට සූදානම් වෙමින් සිටින්නේ කෙසේද යත්  යුක්‍රේනයේ විශාල මරණ සංඛ්‍යාව හුදෙක් මූලික ගෙවීමක් වශයෙන් පෙනී යනු ඇත.

ඒවා නතර නොකළහොත් අධිරාජ්‍යවාදීන් සූදානම් වන්නේ පළමු හා දෙවන ලෝක යුද්ධවල බිහිසුණු බව ඊටත් වඩා විශාල හා මාරාන්තික පරිමානයකින් පුනරුච්චාරණය කිරීමට ය.

අධිරාජ්‍යවාදීන්ගේ යුද සැලසුම් නැවැත්වීමට කම්කරු පන්තියේ සවිඥානික දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය වේ. කම්කරුවන්ගේ ජීවන තත්වයන් කප්පාදු කර නැවත සන්නද්ධ වීම කැඳවා සිටින ආන්ඩුවලට එරෙහිව,  ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශය හා එක්සත් ජනපදය දක්වා ලෝකය පුරා කම්කරුවන්  අරගලයට අවතීර්ණ වෙමින් සිටිති.  යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමේ අරගලය කේන්ද්‍රීය ඉල්ලීමක් ලෙස ගෙන ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනයේ පදනම මත මෙම අරගල ඒකාබද්ධ කළ යුතුය. (අවධාරනය සංස්කාරකගෙනි)

#theSocilialistLK #WSWS 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top