ඊශ්‍රායල හමුදාව හිතාමතාම පලස්තීන ගැටුම තාපාංකයට ගෙන එයි

ජීන් ෂෝල් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි මස 05 දින Israel’s military deliberately brings Palestinian conflict to boiling point යන සිරසින් යුතුව පලවූ ජීන් ෂෝල් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

විශ්ලේෂකයින් විසින් නව  ඉන්ටිෆාඩාවක්වක්  [1987 සිට බටහිර ඉවුර සහ ගාසා තීරය ඊශ්‍රායල විසින් ආක්‍රමණයට එරෙහිව පලස්තීන නැගිටීම]  හෙවත් නැගිටීමක් ගැන පුරෝකථනය කරනු ලබන්නේ, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රකෝපකාරී සහ සාපරාධී ක්‍රියා ඊශ්‍රායල/පලස්තීන ගැටුම අති උනුසුම් තලයකට ගෙන එද්දීයය.   

පසුගිය දිනවලදී, අත්අඩංගුවට ගෙන, විධිමත් ලෙස චෝදනා  කර අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහයක් වත් නොකොට, ඊශ්‍රායල පුරවැසියන් මරන ලැදැයි චෝදනා නගමින්, අවම වශයෙන් පලස්තීනුවන් හතර දෙනෙකුවත් ආරක්ෂක හමුදා විසින් මරා දමා ඇත. 

Image
2021 මැයි 18 අඟහරුවාදා, ගාසා නගරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකට ගොදුරු වූ ගොඩනැගිල්ලක් අසලින් පලස්තීනුවෙකු ඇවිද යයි. පසුගිය සතියේ සටන් ආරම්භ වූ දා සිට ඊශ්‍රායල හමුදාව හමාස් සටන්කාමීන්ගේ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර සිය ගණනක් දියත් කර ඇති අතර පලස්තීන සටන්කාමීන්  ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර දහස් ගණනක් එල්ල කර ඇත.  (AP ඡායාරූපය/හැටම් මූසා)

ප්‍රදේශයේ ජනතාව භීතියට පත් කරන සමූහ වැටලීම් මෙහෙයුම් වලදී සිදු කරනු ලබන මෙම මරා දැමීම්, වරදකරු බව ඔප්පු වන තුරු නිර්දෝෂී බව ද ඇතුලත් ධනේශ්වර යුක්තිය පිළිබඳ සියලු සම්මතයන් පසෙක ලා ඇත.  ඒවා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශික සභාගය,  සියොන්වාදී දේශපාලන ප්‍රභූවේ- ආගමික හා අනාගමික- සියලුම කන්ඩායම් විසින්  සහ ශ්‍රේෂ්ඨාධිකරණයද අයත් ඊශ්‍රායලයේ අධිකරණ පද්ධතිය මගින් අනුමත කරනු ලබයි.

බ්‍රහස්පතින්දා උදෑසන, රහසිගත ඒකක ඇතුළු සොල්දාදුවන් 200 ක් උතුරු බටහිර ඉවුරේ නබ්ලස් හි  පැරණි නගරය  වෙත කඩා වැදී, මුවවත් මස්රි, ඊබ්‍රාහිම් ජබර් සහ හසන් කට්නානිට වෙඩි තබා මරා දැමූ අතර තවත් හතර දෙනෙකුට තුවාල සිදු කළහ.  මෙම පුද්ගලයින් තිදෙනා වටලනු ලැබ ඇති (enclave) ගාසා තීරයේ  ප්‍රදේශය පාලනය කරන මුස්ලිම් සහෝදරත්වයට අනුබද්ධ හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය වන කසාම් බළකායේ සාමාජිකයින් වූහ.  එය බටහිර ඉවුරේ ඊශ්‍රායල දෛනිකවම පාහේ සිදුකරන ඝාතන වටලෑලෑම් වලින් එකක් පමණි.

මිලිටරි ප්‍රකාශකයෙකු කියා සිටියේ, අසල ජනාවාසයක -ජාත්‍යන්තර නීති යටතේ නීති විරෝධී වන පලස්තීන භූමියේ ඉදිකරන ලද ජනාවාස 200කින් එකක- ජීවත් වූ ඊශ්‍රායල-බ්‍රිතාන්‍ය කාන්තාවක් සහ ඇගේ දියණියන් දෙදෙනෙකු මරා දැමූ ජෝර්දාන් මිටියාවතේ වෙඩි තැබීමේ ප්‍රහාරය, අප්‍රේල් 7 දා මිමින් දෙදෙනෙකු විසින්  සිදු කර ඇති බවයි. නමුත් තුන්වැන්නා ගැන සහ තුවාල ලැබූ දෙදෙනා ගැන ඔහු නිහඬ විය.  රාමසාන් සමයේදී වාඩිලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලමේ අල්-අක්සා පල්ලියේ බැතිමතුන්ට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමට පළිගැනීමක් ලෙස මෙම කාන්තාවන් තිදෙනාට වෙඩි තැබීම සිදු කළ බව කසාම් බළකාය ප්‍රකාශ කළේය.

පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සංගමයට අනුව, බදාදා වැටලීමේදී, බොහෝ දුරට කඳුළු ගෑස් ආශ්වාස කිරීමෙන් හා තවත් සිව් දෙනෙකු වෙඩි වැදීමෙන්, 166 දෙනෙකුට පමණ තුවාල  සිදුවිය.  වැටලීමේ තීව්‍රතාවය සහ පලස්තීන සටන්කාමීන් සමඟ ඇති වූ දරුණු ගැටුම් හේතුවෙන් පාසල්වල පන්ති අත්හිටුවීමට සිදුවිය.

බදාදා ද ඊශ්‍රායලය ගාසා තීරයට මිසයිල ප්‍රහාර එල්ල කර, 58 හැවිරිදි හෂිල් මුබාරක් මරා දමා ගාසා නගරයේ තවත් පස් දෙනෙකුට තුවාල සිදු කිරීමෙන්, එම ඉලක්ක 16 , මිලීෂියා හමුදා ස්ථාන බවට ටෙල් අවිව් කළ ප්‍රකාශය බොරු කළේය.  ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වූයේ ගාසා තීරයෙන් එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පසුව දකුණු දිග ස්ඩෙරොට් නගරයේ විදේශිකයින් තිදෙනෙකු තුවාල ලැබීමෙන් පසුවය.  ඊශ්‍රායල සිරකඳවුරක රඳවා තබා ගැනීමට විරෝධය පළ කරමින් දින 86ක් උපවාසයේ නිරත වූ 44 හැවිරිදි පලස්තීන සිරකරු ඛාදර් අද්නාන්ගේ අඟහරුවාදා මරණයට ප්‍රතිචාර වශයෙන් ගාසා රොකට් ප්‍රහාර එල්ල විය.

Image
2012 පෙබරවාරි 23, රමල්ලාහි මනරා චතුරශ්‍රය අසල බිත්තියක් මත ඛාදර් අද්නාන් ස්ටෙන්සිල් සිතුවමක්ක් පසුකර යන ජනයා.

ජෙනින් අසල බටහිර ඉවුරේ අරාබා  ගම්මානයේ වැසියෙකු වන අද්නාන්, ඊශ්‍රායල බලධාරීන්ට විරුද්ධව කටයුතු කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර, බොහෝ දුරට චෝදනාවක් හෝ නඩු විභාගයකින් තොරව වසර අටක් පමණ රැඳවුම් භාරයේ ගත කළේය.  2004 දී දින 25 ක්, 2011 සහ 2012 දී දින 66 ක්, 2015 දී දින 55 ක්, 2018 දී දින 58 ක් සහ 2021 දී දින 25 ක් වශයෙන් අවස්ථා හයක දී, ඔහු නිදහස් ලබා ගැනීම සඳහා උපවාස කර ඇත.

චෝදනාවකින් හෝ නඩු විභාගයකින් තොරව රඳවා තබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාස හයක කාලයක් සඳහා නිකුත් කරනු ලබන  වන එවැනි නියෝග දින නියමයක් නොමැතිව අලුත් කළ හැකි අතර, නීතිඥවරුන්ට ඒවාට එරෙහි සාක්ෂි දැකීමට අවසර නැත.  HaMoked නම් ඊශ්‍රායල උපදේශක කණ්ඩායමට අනුව, දැන් චෝදනාවකින් හෝ නඩු විභාගයකින් තොරව රඳවාගෙන සිටින පලස්තීනුවන් සංඛ්‍යාව 1,000 කට වඩා වැඩි වී ඇති අතර එය දෙවන ඉන්ටිෆාඩාවෙන් පසු ඉහළම අගයයි.

මෙවර ඊශ්‍රායල හමුදා අධිකරණයක් විසින් අද්නාන්ට “ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි” සඳහා චෝදනා එල්ල කළේ ඔහු පලස්තීන ඉස්ලාමීය ජිහාද් නම් තහනම් සංවිධානයක ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු බවට චෝදනා කරමිනි. ඊශ්‍රායලයේ හමුදා උසාවිවල වලදී පලස්තීනුවන් ආසන්න වශයෙන් සියයට සියයක්ම වරදකරුවන් වූවද, අද්නාන්ට නඩු විභාගයක් නොතිබුණි.

වෛද්‍ය ප්‍රතිකාර හෝ ඔහුගේ පවුලේ අයගේ පැමිණීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු මිය ගිය අතර, හමුදා අභියාචනාධිකරණය ඔහුගේ මරණයට දින කිහිපයකට පෙර ඔහු නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළේය.  ඔහු වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර බලධාරීන් බොරුවට ප්‍රකාශ කලෝලෝය.

අද්නාන්ගේ මරණය බටහිර ඉවුරේ පුලුල් කෝපයට තුඩු දුන් අතර  නගර කිහිපයක් මහා වැඩ වර්ජන ප්‍රකාශ කළේය.  වසර 40 කට පමණ පසු උපවාසයක් අතරතුර මිය ගිය පළමු පලස්තීන ජාතිකයා ඔහු වන අතර, 1967 සිට ඊශ්‍රායල අත්අඩංගුවේ සිටියදී මියගිය පලස්තීන සිරකරුවන්ගේ සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් තිබේ.

2019 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්තියක් අනුව සිරගෙදරදී හෝ ආරක්ෂක සිදුවීම් අතරතුර මිය ගිය පලස්තීනුවන් සිය ගණනකගේ සිරුරු  මෙන්ම ඔහුගේ සිරුර ද  භූමදාන කටයුතු සඳහා ඔහුගේ පවුලේ අයට භාර දීම ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇත.

ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන්ට  වධහිංසා, කුරිරු සහ අවමන් සහගත ලෙස සැලකීම සහ මෙම අපරාධ සැඟවීමට දරන ප්‍රයත්නයන් පිළිබඳව පසුගිය මාසයේ, ප්‍රමුඛ පලස්තීන මානව හිමිකම් සංවිධාන දෙකක් වන අල්-හක් සහ ඇඩමීර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ වාර්තාකරු (Special Rapporteur) වෙත සාක්ෂි සපයන ලදී.  ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින වෛද්‍ය කාර්ය මණ්ඩල පලස්තීන රැඳවියන්ගේ සිරුරු මත  වධහිංසා පැමිණවීමේ සාක්ෂි නොසලකා හැර, ප්‍රශ්න කිරීමට ඉදිරියට යාමට අවසර දෙන බව ඔවුහු පැවසූහ.  වසර ගණනාවක් පුරා සිරකරුවන්ගේ මරණවලට හේතු වූ ඊශ්‍රායල ආන්ඩුවේ “වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇති සීමාවන්” ඔවුන් ඉස්මතු කර දැක් වූහ.

ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාව පිලිබඳ ෆැසිස්ට්වාදී ඇමති, ඉටමාර් බෙන්-ග්විර් (Itamar Ben-Gvir,) පලස්තීන සිරකරුවන්ට ම්ලේච්ඡ ලෙස සැලකීම වේගවත් කර ඇත්තේ, ඔවුන් ස්නානය කළ හැකි කාලය සීමා කරමින්ද,  පිළුණු සහ ශීතලෙන් මිදී ගිය පාන් ඔවුන්ට දෙමින්ද,  සිර මැදිරි නිතර වැටලීම් සහ සෝදිසි කිරීම් සිදු කරමින්ද, සහ හුදකලා සිරගත කිරීම් භාවිතය වැඩි කිරීම මගින්ද, වැනි දෑ සිදු කරමිනි.  ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කරන පලස්තීනුවන්ට මරණ දණ්ඩනය ලබාදීමේ පනත් කෙටුම්පතක් මේ වන විට පාර්ලිමේන්තුව හරහා ගමන් කරමින් පවතී.

බ්‍රහස්පතින්දා, වෙනම සිදුවීමකදී, නබ්ලස් අසල හුවාරා නගරයේ දී, 26 හැවිරිදි ඉමාන් සියාඩ් ඔඩේ නමැති තරුණියකට සොල්දාදුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද්දේ, මෙම සිද්ධියෙන් සුළු තුවාල ලැබූ සොල්දාදුවෙකුට පිහියෙන් ඇන ඇති බව පවසමිනි.  පෙබරවාරි මාසයේදී, හුවාරා නගරය හරහා ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු වෙඩි තබා මරා දැමීමෙන් පසු සිය ගණනක් ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් සංහාරයක් වැනි ප්‍රහාරයක් සිදු කරන ලදී.

විනිසුරුවන් සහ අලුගෝසුවන් ලෙස ක්‍රියා කරන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පමණක් නොවේ.  වාඩිලාගන ඇති  බටහිර ඉවුරේ ජනාවාසවල වෙසෙන ඊශ්‍රායල සිවිල් වැසියන් ද දණ්ඩමුක්තිය සහිතව (ප්‍රතිවිපාක රහිතව) එසේ සිදු කරති.  2010 සහ 2019 අතර කාලය තුළ අවම වශයෙන් පලස්තීනුවන් 22 දෙනෙකු ඝාතනය කරමින්, අවම වශයෙන් තවත් 1,258 දෙනෙකු තුවාල ලැබූ, අවම වශයෙන් පදිංචිකරුවන්ගේ ප්‍රහාර 2,955 ක් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය වාර්තා කර ඇති අතර, එම කාලය තුළ, පදිංචිකරුවන්ගේ ප්‍රහාරවලින් සියයට හතක්  පමණක් අපරාධ චෝදනාවලට ලක් කරද ,ඉන් සියයට 3 ක පමණක් චෝදනා ඔප්පු වූ බව ඊශ්‍රායල මානව හිමිකම් සංවිධානයක් වන යෙෂ් ඩින් (Yesh Din)  පවසයි .

මේ වසරේ මාස හතරක කාලය තුළ ඊශ්‍රායල හමුදාව අවම වශයෙන් පලස්තීනුවන් 102 දෙනෙකු මරා දමා ඇති අතර ඔවුන්ගෙන් 20 දෙනෙකු කුඩා දරුවන් වේ. පදිංචිකරුවන් පලස්තීනුවන් පස් දෙනෙකු මරා දමා ඇත.  එම කාලය තුළ අවම වශයෙන් ඊශ්‍රායල ජාතිකයන් 19 දෙනෙකු, යුක්රේන ජාතිකයෙකු සහ එක් ඉතාලි ජාතිකයෙකු ඝාතනය කර තිබේ.

ඊශ්‍රායල ෆැසිස්ට් නායකයන්ට මේ කිසිවක් ප්‍රමාණවත් නොවේ.  යුදෙව් බලයේ නායක බෙන් ග්වීර්, මිලිටරියේ ප්‍රතිචාරය “දුර්වල” ලෙස හංවඩු ගැසූ අතර, “ගාසාවේ දුර්වල ප්‍රතිචාරයට” විරෝධය පළ කරමින් බදාදා නෙසෙට් ඡන්ද වර්ජනය කරන ලෙස ඔහුගේ අන්ත දක්ෂිනාංශික ඔට්ස්මා යෙහුඩිට් කන්ඩායමට නියෝග කළේය.  අනෙකුත් දක්ෂිනාංශික නායකයින් ආන්ඩුව විවේචනය කළේ, “දුර්වල ප්‍රතිපත්තියට නිසා අපිට වන්නට සිදුවනු ඇත  ” යනුවෙන් පවසමිනි.

නෙතන්යාහු  මෙම හැඟීම් ප්‍රතිරාවය කරමින්, නබ්ලස් හි ” සාර්ථක පලිගැනීම” ගැන  හමුදාවට ප්‍රශංසා කරමින්, අරමුන වන්නේ පලස්තීනුවන් අත්අඩංගුවට ගැනීම නොව ඔවුන් මරා දැමීම බව පැහැදිලි කළේය.  “අපට හානි කරන අයට සහ අපට හානි කිරීසමට උත්සාහ කරන අයට අපගේ පණිවිඩය නම් එය දිනක්, සතියක් හෝ මාසයක් ගතවනු ඇති නමුත්, අපි ඔබ සමඟ ගනුදෙනු බේරා ගන්නා බවට නිසැක වන්න,” ඔහු පැවසීය.  “ඔබ සැඟවීමට උත්සාහ කරන්නේ කොතැනක වුවත් කමක් නැත, අපි ඔබව සොයා ගන්නෙමු.  අපට හිංසා කරන තැනැත්තා ඔහුගේ දිවි හානිකර ගනී. ”

විපක්ෂ ජාතික එක්සත් පක්ෂ නායක බෙනී ගැන්ට්ස් (Benny Gantz) නෙතන්යාහු දුර්වල නායකත්වය හෙලා දුටුවේ, පලස්තීනුවන් හා ගාසා තීරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස කලින් පැවති “වෙනස්වීමේ ආන්ඩුව” ගැන පුරසාරම් දොඩවමිනි. නෙතන්යාහුගේ අධිකරණ කුමන්ත්‍රණයට එරෙහි සමාජ විරෝධතාවල ස්වයං-ප්‍රකාශිත නායකයින්ට ඊශ්‍රායලයේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුව සමඟ අත්‍යවශ්‍ය වෙනස්කම් නොමැති බව ඔහුගේ ප්‍රකාශ අවධාරනය කරයි.

ඊශ්‍රායලයේ සහ වාඩිලාගෙන සිටින ප්‍රදේශ වල පලස්තීනුවන්, ම්ලේච්ඡ මිලිටරි මර්දනය , විවෘතව අනීතික බලහත්කාරකම් පාන්නන් (vigilante) සහ පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය යටතේ පවතින්නේ, ඒ සියල්ල ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර ඇති තතු තුලය.  බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ මිලිටරි ආඥාදායකත්වය ආරක්ෂා කරන අතරම යුදෙව් ඊශ්‍රායලීන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම කළ නොහැක්කකි.

ප්‍රධාන කර්තව්‍යය වන්නේ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රතිගාමී සියොන්වාදී නායකත්වය ජය ගැනීම සහ පලස්තීන ජනතාවගේ ජාතික අයිතීන් ඇතුළු රැකියා, ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ පොදු අරගලයක් තුල අරාබි සහ යුදෙව් කම්කරුවන් එක්සත් කිරීමට සටන් කිරීමයි.  මෙය කළ හැක්කේ ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය මත පදනම්ව පමනි.

#theSocialistLK #WSWS 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top