උග්‍ර වන දේශපාලන අර්බුදය මධ්‍යයේ තායිලන්ත මැතිවරණය පැවැත්වීමට යයි

රොබර්ට් කැම්පියන් විසිනි.

මැයි 14 ට නියමිත තායිලන්තයේ මහ මැතිවරණය පවත්වනු ලබන්නේ මහජන අප්‍රසාදය මෙන්ම චීනය සමග එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධයක වැඩෙන අන්තරාය යටතේ ය.  මීළඟ ආන්ඩුව කුමන පක්‍ෂයක් විසින් පිහිටුවනු ලැබුවද, වැඩකරන ජනතාව මුහුණ දෙන මෙම ප්‍රශ්න වලට සහ අනෙකුත් බරපතල ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට එයට නොහැකි වනු ඇත.

Image

අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා දැඩි ලෙස ජනතා අප්‍රසාදයට ලක්ව ඇත.  2014 මිලිටරි කුමන්ත‍්‍රණයක නායකයා වූ ඔහුගේ ආන්ඩුව යටතේ අත්දුටුවේ, මිලියන සංඛ්‍යාත කම්කරු පන්තිය සඳහා නරක අතට හැරෙන කොන්දේසි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාර සහ COVID-19 වසංගතයට මුහුණ දීමට කිසිදු බැරෑරුම් පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි.  2020 සහ 2021 දී ප්‍රයුත් රජයට එරෙහිව මහජන විරෝධතා පුපුරා ගියේය.

ප්‍රයුත්ට ඇති අප්‍රසාදය විශේෂයෙන් මිලිටරියට සහ රාජාණ්ඩුවට සමීප පාලක කවයන් තුල භේදයකට තුඩු දුන්නේය.  ප්‍රයුත් 2022 අවසානයේ එක්සත් තායි ජාතික පක්ෂයට (United Thai Nation Party-UTN) සම්බන්ධ වීමට පාලක පලං ප්‍රචාරත් පක්ෂය (Palang Pracharath Party  -PPRP) හැර ගියේය. පීපීආර්පී ය නව ආන්ඩුවක් පිහිටුවීම සඳහා සිය අපේක්ෂකයා ලෙස විශ්‍රාමික ජෙනරාල්, නියෝජ්‍ය අගමැති ප්‍රවිට් වොන්ග්සුවොන් සහාය දැක්වීම සඳහා තෝරා ගත්තේය.  2014 කුමන්ත්‍රණයේදී ප්‍රවිට් ද ප්‍රමුඛ භූමිකාවක් ඉටු කළේය.

මෙම බෙදීම් පිළිඹිබු කරමින්, ප්‍රයුත්ට අගමැතිව සිටීමට ඇති සුදුසුකම, ඔහුගේ අට වසරක ධුර කාලය සීමාවට පැමිණීමෙන් පසු, පසුගිය සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවට ගෙන එන ලදී.  කෙසේ වෙතත්, එහිදී, ප්‍රයුත්ට 2025 දක්වා ධුරයේ රැඳී සිටීමට ඉඩ සලසන බවට අධිකරණය තීන්දු කරන ලද්දේ, ප්‍රයුත්ගේ ධුර කාලය ආරම්භ වූයේ 2014 දී නොව 2017 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් කළ විට බව පදනම් කර ගනිමිනි.

බැංකොක්හි සුආන් දුසිත් (Suan Dusit) විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද මෑත මත විමසුමකින් පෙන්නුම් කළ පරිදි, අනුමැතිය ප්‍රකාශ කර ඇත්තේ අතර, පීපීආර්පී සඳහා  7.49% ක් සහ යූටීඑන් සඳහා  8.48% ක් පමණක් වන ලෙසය. මෙය මිලිටරි පිටුබලය ලබන මෙම පක්ෂ දෙක සඳහා සමස්ත සහයෝගයේ දුබල බව පෙන්නුම් කරයි.

ඊට ප්‍රතිකූලව, ප්‍රධාන විපක්ෂය වන පියු තායි පක්ෂය   (Pheu Thai-PTP) සහාය සියයට 41.37 දක්වා ළඟා වූ අතර, සමස්තයක් ලෙස විපක්ෂ පිල සඳහා සියයට 60 කට වඩා වැඩි සහයෝගයක් ලැබිණි.  තායි ධනේශ්වරයේ ප්‍රධාන කොටස් නියෝජනය කරන පියු තායි ය (පීටීපී ය)  සඳහා ධනවත් ෂිනවත්‍රා පවුල පිටුබලය දෙනු ලබයි.  එය කුමන්ත්‍රණයකින් නෙරපා හරින ලද , 2001 සිට 2006 දක්වා අගමැති ලෙස කටයුතු කළ තක්ෂින් ෂිනවත්‍රා විසින් ආරම්භ කරන ලද ,තායි රක් තායි පක්ෂයේ අනුප්‍රාප්තිකයා වේ.  ඔහුගේ සොහොයුරිය වන යින්ග්ලක් 2011 සිට 2014 දක්වා අගමැති ලෙස කටයුතු කල අතර ඒ හා සමානවම ඇයද  හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබීය.

තක්ෂින්ගේ දියණිය වන පේතොන්ග්ටාර්න්, පියු තායි (පීටීපී) හි අගමැති අපේක්ෂකයා වේ.  පියු තායි (පීටීපී) කියා සිටින්නේ, තමන් මිලිටරි පිටුබලය ලබන කිසිදු කොන්සර්වේටිව් පක්ෂයක් සමඟ සභාගයකට නොඑළඹෙන අතර, ද්විමණ්ඩල ජාතික සභාවේ පහළ මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පවතින ආසන 500 න් 310 ක් දිනා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

පියු තායි (පීටීපී) යට ,තවත් ධනවත් ව්‍යාපාරිකයෙකු වන පිටා ලිම්ජාරෝඑන්රත්  නායකත්වය දෙන පෙරට යනු පක්ෂය (Move Forward Party-MFP) විසින් සහාය දක්වයි.  එම්එෆ්පී ‘ප්‍රගතිශීලී’ පක්ෂයක් ලෙස පෙනී සිටින අතර එය වාම නැඹුරු තරුනයන්ගේ සහ කම්කරුවන්ගේ සහයෝගය දිනා ගැනීම සඳහා විටෙක නොපැහැදිලි ධනේශ්වර විරෝධී ප්‍රකාශ කරයි.  කෙසේ වෙතත්, එහි අරමුන වන්නේ, මිලිටරි පිටුබලය ලබන ගතානුගතිකයින්ට විකල්පයක් ලෙස පියු තායි (පීටීපී) ව්‍යාජ ලෙස ඔසවා තබාගෙන තායි පාලක පන්තියට එරෙහිව මතු වන අව්‍යාජ ව්‍යාපාරයක් අවහිර කිරීමයි.  මාර්තු මාසයේදී පිටා මෙසේ ප්‍රකාශ කළේ, “පියු තායි (පීටීපී)  හි ඕනෑම [අගමැති] අපේක්ෂකයෙකු සමඟ වැඩ කිරීමට  සූදානම්.” බවයි.

පියු තායි (පීටීපී) සහ එහි ආධාරකරුවන්ට ආන්ඩුවක් පිහිටුවීම සඳහා අවම වශයෙන් ආසන 376ක් දිනා ගැනීමට අවශ්‍ය වනු ඇත.  ජාතික සභාවේ සෙනෙට් සභාව ආසන 250 කින් සමන්විත වන අතර, එහි සියලුම සාමාජිකයින් තායි හමුදාව විසින් පත් කරනු ලැබේ.  ප්‍රයුත් සහ ප්‍රවිට්ගේ මිලිටරි පිටුබලය ලබන පක්ෂවලට ප්‍රබල වාසියක් ලබා දෙමින් නව ආන්ඩුවක් සඳහා සභා දෙකම ඡන්දය දෙනු ඇත.  පාලක ප්‍රභූව තමන්ට කැමති අපේක්ෂකයා තෝරා ගැනීම සහතික කිරීම සඳහා ක්‍රියාත්මක වන ඒකාධිපති ක්‍රියාමාර්ග මෙයින් පෙන්නුම් කරයි.  හමුදාව විසින් පාලනය කරනු ලබන හෝ එහි බලපෑමට ලක් වන අනෙකුත් රාජ්‍ය ආයතන වලට මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කළ හැකිය.  ඒවාට පරිපාලන අධිකරණය, ව්‍යවස්ථා අධිකරණය සහ මැතිවරණ කොමිසම ඇතුළත් වේ.

තවත් කුමන්ත්‍රණයක් සිදු නොවන බවට සහතිකයක් ඇත්තේ  නැත. මාර්තු මාසයේදී ,දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන පත්සරවලී තනකිත්විබුල්පොන් සමග සම්මුඛ සාකච්ඡාවකදී  ප්‍රවිට් මෙසේ ප්‍රකාශ කළේ: “රට එක්සත් නම් සහ ජීවිත හානිවලට තුඩු දෙන ගැටුම් නොමැති නම්, තවත් කුමන්ත්‍රණ සිදු නොවනු ඇත, නමුත් රට කැළඹිලි සහිත නම්, එය [කුමන්ත්‍රණයක්] අවශ්‍ය විය හැක.” යන්නයි.

සමස්ත ක්‍රියාවලිය තරයේම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය.  පියු තායි (පීටීපී) සහ මිලිටරි පිටුබලය ලත් විශාල පක්ෂවල ආධිපත්‍යයට අනුග්‍රහය දක්වමින්, පසුගිය වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් මගින් පක්ෂ-ලැයිස්තු ආසන සංඛ්‍යාව 150 සිට 100 දක්වා අඩු වූ අතර, ඒවා වෙනම ඡන්දයකින් පිරවීමට නියමිතය.  මුළු ලැයිස්තු-ආසන ඡන්ද 100 න් බෙදා සමානුපාතිකව ප්‍රදානය කෙරේ.  අපේක්ෂකයින් 100 දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ පක්ෂ ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත්තේ පියු තායි (පීටීපී)  සහ යූටීඑන් පමණි.

තවත් කරුණක් වන්නේ සිසුන් සඳහා ජාතික විභාග දිනය වන මැයි 14 වන දින මැතිවරණ දිනය නියම කිරීමයි.  මෙය නිසැකවම තීරණය කරනු ලැබුවේ තරුණයින් ඡන්දය දීමෙන් අධෛර්යමත් කිරීමේ උත්සාහයක් ලෙස වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්දයේදී විරුද්ධ පක්ෂ තෝරා ගනු ඇත.

2019 පැවති අවසන් මහ මැතිවරණයට හමුදාවේ දැඩි මැදිහත්වීම් සමග සිදු විය.  තරඟ කළ ආසන ආසන 350 න්,  පියු තායි (පීටීපී)  එසේ වුවත් ආසන 137ක් දිනා ගත් අතර, පීපීආර්පී ජයග්‍රහණය කළේ ආසන 97 කි. මත විමසුම් මගින් එකල  පියු තායි (පීටීපී) ට පක්ෂව සියයට 45ක් සහ පීපීආර්පී සඳහා සියයට 7ක් පෙන්වූ බැවින් විශාල විෂමතා සිදු වී තිබුණි.  හමුදාව විසින් ඡන්ද මිලදී ගැනීම් සහ වෙනත් වංචනික ක්‍රියා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පුලුල්ව වාර්තා විය.

මැතිවරනයට මතින්  ලඹ දෙන්නේ, චීනය සමග එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධයක වැඩෙන අන්තරාය වන අතර, එය කිසිදු පාර්ශ්වයක් විසින් පිළිගෙන නොමැත.  අප්‍රේල් 24 වෙනිදා, යූඑස් එස් නිමිට්ස් ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම (USS Nimitz aircraft carrier strike group )  තායිලන්තයේ බැංකොක් අගනුවර අසල ලැම්  ෂබැං (Laem Chabang) වරායට පිවිසුණි.  ලෝකයේ බලවත්ම හමුදාවේ විශාලතම යුධ නෞකා වලින් එකක් වන යූඑස් එස් නිමිට්ස් හි සිව්දින සංචාරය, එක්සත් ජනපදය තායි මැතිවරනය කෙරෙහි යොදන පීඩනය අවධාරනය කරයි.

යුද්ධයක් ඇති වූ විට, වියට්නාම් යුද්ධයේදී ඉන්දුචීනය පුරා කළාක් මෙන්, වොෂින්ටනය චීනයට ප්‍රහාර දියත් කිරීම සහ බෝම්බ හෙලීම සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස තායිලන්තය භාවිතා කරනු ඇත.  එක්සත් ජනපදය ඉල්ලා සිටින්නේ මීළඟ තායි ආන්ඩුව බීජිනයෙන් ඈත් විය යුතු බවයි.  බැංකොක් චීනය මත ආර්ථික වශයෙන් රඳා පවතින අතර බීජිං සහ වොෂින්ටනය අතර තුලනයක් ඇති කිරීමට උත්සාහ කර ඇත.

යූඑස් එස් නිමිට්ස් තායිලන්තයට පැමිණීමට පෙර ජපානය සහ දකුණු කොරියාව සමඟ යුද අභ්‍යාසවල නිරත විය. මෙම ප්‍රහාරක කණ්ඩායමේ වරායට ආගමනය නිල වශයෙන් පවත්වන ලද්දේ “එක්සත් ජනපද-තායි ආරක්ෂක හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම” සහ “එක්සත් ජනපද-තායි රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 190 වැනි සංවත්සරය සැමරීම” සඳහා ය.  ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම ගැන වොෂින්ටනයේ සියලු කතා තිබියදීම, එක්සත් ජනපදය, බැංකොක් සහ බීජිං යන දෙකටම පැහැදිලි පණිවිඩයක් යවමින් සිටින්නේ තම අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා අවශ්‍ය නම් තම මිලිටරිය භාවිතා කරන බවයි.

මැතිවරණයක් ආසන්නයේ චීනය මෙවැනි අභ්‍යාස පවත්වා ගුවන් යානා ප්‍රවාහකක නෞකාවක් ඕනෑම රටක වරායකට නැංගුරම් දැමුවහොත්, ජාත්‍යන්තර පුවත්පත් තුළ ඇති වන චීන බලහත්කාරය සහ අධිකාරීවාදය පිළිබඳ සටන්කාමී හෙලාදැකීම් ගැන කෙනෙකුට සිතාගත හැකිය.  එහෙත් චීනය සමග වැඩෙන ගැටුම නොතකා, මෙය, එක්සත් ජනපදය සඳහා ‘එදිනෙදා කටයුත්තක්’ ලෙස ඉදිරිපත් කෙරෙයි.

#theSocialistLK #WSWS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top