එක්සත් ජනපදය පුලුල් මැද පෙරදිග යුද්ධය උත්සන්න කරන විට ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජනවාරි 6 දින පල වූ ‘Gaza death toll tops 30,000, as US escalates wider Middle East war’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

යුරෝ-මෙඩ් මොනිටර් (Euro-Med Monitor) සංවිධානය සිකුරාදා වාර්තා කළේ, සිරුරු හඳුනාගෙන ඇති සහ කඩා බිද දැමූ ගොඩනැගිලිවල සුන්බුන් යට වැළලී ඇති බොහෝමයක් වූ සති දෙකකට වඩා වැඩි කාලයක් අතුරුදහන් වූවන් යන දෙකම සැලකිල්ලට ගනිමින්, ඔක්තෝබර් 7 සිට, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රහාරවලින් පලස්තීනුවන් 30,676 ක්  මිය ගොස් ඇති බවයි.

Us
එක්සත් ජනපද හමුදාව බ්‍රහස්පතින්දා බැග්ඩෑඩ්හිදී පළිගැනීමේ ප්‍රහාරයක් දියත් කළ බව පැවසූ පෙන්ටගනයේ ප්‍රකාශක පැට්‍රික් රයිඩර්, එක්සත් ජනපද නිලධාරීන්ට මෑත කාලීන ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදය දොස් කියන මිලීෂියා නායකයෙකු මරා දැමූ බව පැවසීය. [Reuters]

මෙම යෝධ මරණ සංඛ්‍යාවට ළමුන් 12,040 ක්, කාන්තාවන් 6,103 ක්, සෞඛ්‍ය සේවකයින් 241 ක් සහ මාධ්‍යවේදීන් 105 ක් ඇතුළත් වේ. තවත් 58,960 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.

ගාසා තීරය පුරා, ඊශ්‍රායල වාඩිලාගැනීමේ හමුදා විසින් භාවිතා කරන ලද මාර්ගවල වැටී ඇති සිය ගණනක් ඇතුළුව, දහස් ගණන් සිරුරු මිහිදන් කොට නොමැත. 

යුරෝ-මෙඩ් වාර්තා කළ අන්දමට, ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 4 ක් මිය ගොස්, තුවාල ලබා හෝ අතුරුදහන් වී ඇත. එම ප්‍රතිශතය ඇමරිකානු ජනගහනය සමග සසදනු ලැබුවහොත්, එය  මිලියන 13 කට වඩා සමාන වනු ඇත.

අද වන විට පලස්තීනුවන් මිලියන 1.9 ක් අභ්‍යන්තරව අවතැන් වී ඇති අතර එය ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 90 කි. බොහෝ දෙනෙකුට කිහිප වතාවක්ම පලා යාමට බල කෙරී ඇත.

යන්තම් මාස තුනකට අඩු කාලයකදී, අති විශාල ප්‍රමාණයක් වන, නිවාස ඒකක 247,696ක්, පාසල් 318ක් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන  169ක් ඇතුළුව, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිවිල් යටිතල පහසුකම්වලින් දළ වශයෙන් සියයට 70ක් විනාශ කර හෝ හානි කර ඇති බව යුරෝ-මෙඩ් වාර්තා කරයි.

ගාසා තීරයේ සිදුවෙමින් පවතින විනාශය පලස්තීන ජනගහනය ස්ථීර ලෙස අවතැන් කිරීම සඳහා වැඩෙන ඉල්ලීම් සමග අත්වැල් බැඳගනී.

බදාදා ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තා කළේ, “ඊශ්‍රායලය පලස්තීනුවන් අවශෝෂණය කිරීම සඳහා රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව ඊශ්‍රායල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ අතර පළස්තීනුවන් ගාසා තීරයෙන් ‘ස්වේච්ඡාවෙන්’ නැවත පදිංචි කිරීම සෙමෙන් රජයේ ප්‍රධාන නිල ප්‍රතිපත්තිය බවට පත්වෙමින් පවතින බව” යි.

සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් ප්‍රකාශ කළේ, “මහජන සෞඛ්‍ය ව්‍යසනයක් දිග හැරෙමින් තිබේ. කාණු පිටාර ගැලීම නිසා ජනාකීර්ණ නිවාසවල බෝවන රෝග පැතිර යමින් පවතී. මෙම අවුල් සහගත තත්ත්වය මධ්‍යයේ දිනකට පලස්තීන කාන්තාවන් 180ක් පමණ දරු ප්‍රසූතිය සිදු කරති. මිනිසුන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටිති. සාගතය අත ළඟ පවතී.” යන්නයි.

වෙනම ප්‍රකාශයක, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) වාර්තා කළේ, “ගාසාවේ ළමුන්, ගෙවෙන සෑම දිනයකම, නරක අතට හැරෙන බියකරු සිහිනයකට හසු වී ඇති” බවයි.

UNICEF හි විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් පැවසුවේ, “ගාසා තීරයේ ළමුන් සහ පවුල් සටන් වලින් දිගටම මිය යමින් හා තුවාල ලබමින් සිටින අතර, වළක්වා ගත හැකි රෝග සහ ආහාර හා ජලය නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත වැඩි වැඩියෙන් අවදානමට ලක්ව ඇත. සියලුම ළමයින් සහ සිවිල් වැසියන් ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා විය යුතු අතර මූලික සේවා සහ සැපයුම් සඳහා ප්‍රවේශය තිබිය යුතුය,” යන්නයි.

ඇය තවදුරටත් කියා සිටියේ, “ගාසා තීරය හුදෙක් වාසයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇත. ලෝකය බලා සිටින අතරතුර ,  එහි වෙසෙන ජනතාව දෛනිකව තම මූලික පැවැත්මට එරෙහි තර්ජන අත්දකිමින් සිටිති.” යන්නයි.

එහෙත්, මෙම ලේ වැගිරීම, මැද පෙරදිග පුරා එක්සත් ජනපදයේ මහා නව යුද්ධයක් බවට ශීඝ්‍රයෙන් පත්වෙමින් තිබෙන දෙයෙහි පූර්විකාව පමනි.

“ගාසාවේ යුද්ධය, නිල වශයෙන් ගාසා තීරුවේ දේශසීමාවෙන් ඔබ්බට උත්සන්න වී ඇති” බව බයිඩන් පරිපාලන නිලධාරීන් පිළිගන්නා බව සඳහන් කරමින්, පොලිටිකෝ (Politico) පුවත් පත, සිකුරාදා ලිපියක් පල කලේය.

නම් නොකළ එක්සත් ජනපද නිලධාරීන් හතර දෙනෙකු උපුටා දක්වමින් පොලිටිකෝ වාර්තා කළේ, “එක්සත් ජනපදය තවත් මැද පෙරදිග යුද්ධයකට ඇද දැමිය හැකි අවස්ථා” සඳහා “බයිඩන් පරිපාලන නිලධාරීන් සැලසුම් සකස් කරමින් සිටින” බවයි.

ප්‍රකාශනය තවදුරටත් සදහන් කලේ, “සාකච්ඡා පිළිබඳ සෘජු දැනුමක් ඇති එක්සත් ජනපද නිලධාරීන් තිදෙනෙකුට අනුව, රතු මුහුදේ වාණිජ නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කරන ඉරානයේ පිටුබලය ලබන හූති සටන්කාමීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මිලිටරිය සැලසුම් සකස් කරමින් සිටී,” යන්නයි.  “එයට යේමනයේ හූති ඉලක්කවලට පහර දීම ඇතුළත් වේ, එක් නිලධාරියෙකුට අනුව, එය හමුදාව විසින් කලින් ඉදිරිපත් කර ඇති විකල්පයකි,” යි එය වැඩි දුරටත් සඳහන් කලේය.

පෙන්ටගනය යේමනයට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කිරීම කලින් වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් වාර්තා කරන ලදී.

“එක් නිලධාරියෙකුට අනුව, එක්සත් ජනපදය උත්සාහ කරන්නේ ඉරාකයේ සහ සිරියාවේ ඉරාකයේ පිටුබලය ලබන හමුදා විසින් එක්සත් ජනපදයට එල්ල විය හැකි ප්‍රහාර අපේක්ෂා කිරීම සහ ඒවා වළක්වා ගැනීමයි,” පොලිටිකෝ වාර්තා කළේය.

මෙම පසුබිමට යටතේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යුද්ධයේ මීළඟ අදියර සම්බන්ධීකරණය කිරීම සඳහා ඊශ්‍රායලයේ ප්‍රමුඛ නැවතුමක් ද ඇතුළුව මැද පෙරදිග පුරා සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා පිටත් විය.

බ්ලින්කන් පිටත්ව ගිය දිනයේ, මැද පෙරදිග පුරා එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයේ නවතම උත්සන්න කිරීම තුල, බ්‍රහස්පතින්දා එක්සත් ජනපදය ඉරාකයේ බැග්ඩෑඩ් වෙත නීති විරෝධී මිසයිල ප්‍රහාරයක් එල්ල කලේය.

මෙම ප්‍රහාරය ඉලක්ක වූයේ ඉරාකය තම ආරක්‍ෂක හමුදාවේ සාමාජිකයෙකු බව ප්‍රකාශ කළ ඉරාන ගැති මිලීෂියාවක සාමාජිකයෙකු වන මුෂ්තාක් ජවාඩ් කසිම් අල්-ජවාරි ය. ඉරාකයේ විදේශ අමාත්‍යාංශය, ඒ පිළිබඳව “දැඩි හෙලාදැකීමක්” නිකුත් කරමින්, එය ඉරාකයේ හමුදා මූලස්ථානයට එල්ල කළ “නොහික්මුණු ප්‍රහාරයක්” ලෙස හැඳින්විය.

සිකුරාදා කොන්ග්‍රසයට ලිපියක් යවමින්, බයිඩෙන් මෙම ප්‍රහාරය යුක්ති සහගත කරමින් ප්‍රකාශ කළේ, “මම මෙම නිශ්චිත මිලිටරි ක්‍රියාමාර්ග මෙහෙයවූයේ, මගේ වගකීමට අනුරූප වන පරිදි දේශීය හා විදේශීය වශයෙන් එක්සත් ජනපද පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා,” බවයි. 

ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි කියා සිටියේ,  රට තුළ ස්ථානගත කර ඇති එක්සත් ජනපද හමුදා භටයින් 2,500 නෙරපා හැරීමට, ඉරාක රජය විසින් පියවර ගන්නා බවයි.

“ඉරාකයේ ජාත්‍යන්තර සභාග හමුදාවන්ගේ පැවැත්ම ස්ථිරවම අවසන් කිරීමට කටයුතු සම්පාදනය කිරීම සඳහා ද්විපාර්ශ්වික කමිටුව ආරම්භ කිරීමට රජය දින නියම කරමින් සිටී,” අල්-සුඩානි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර, එක්සත් ජනපදය මැද පෙරදිග කලාපය තුළ,  හමුදා, යුද නැව් සහ ගුවන් යානා රැස් කිරීම දිගටම කරගෙන යයි. බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ එක්සත් ජනපදය “අපව, අපගේ අවශ්‍යතා, අපගේ හවුල්කරුවන් සහ ජාත්‍යන්තර වාණිජ්‍යයේ නිදහස් ප්‍රවාහය ආරක්ෂා කිරීමේ කර්තව්‍යයෙන් හැකිළෙන්නේ නැති” බවයි.

“මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා, අපි සැලකිය යුතු ‘ප්‍රහාරක’ මිලිටරි බලයක් ඇතුළුව මැද පෙරදිග සැලකිය යුතු බලවේගයක් ස්ථාපිත කර ඇති අතර, එය දිගටම පවත්වාගෙන යනු ඇත,” යනුවෙන්, කර්බි අනතුරු ඇඟවීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top