එක්සත් ජනපදය යේමනය සහ ඉරානය ඉලක්ක කර ගනිමින් නාවික මෙහෙයුමක් නිවේදනය කරයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 19 දින පල වූ “US announces naval operation targeting Yemen and Iran” යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත  විසිනි. 

යේමනයේ හූති (Houthi) කැරලිකරුවන් ඉලක්ක කරමින් සහ ඉරානයට තර්ජනය කරමින් රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි  ඔපරේෂන් ප්‍රොස්පෙරටි ගාර්ඩියන් නමින් නාවික මෙහෙයුමක්   ආරම්භ කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳුදා නිවේදනය කලේය.දැන් ගාසා තීරයේ සමූහ ඝාතනවල යෙදී සිටින ඊශ්‍රායල හමුදා, ඉරානය සමඟ අනාගත යුද්ධයකදී ඉටු කරනු ඇති භූමිකාව අවධාරනය කරමින් ඔස්ටින් මේ  නිවේදනය කලේ ඊශ්‍රායලයේදී බව සටහන් කල යුතුය.

Lloyd
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු. [ඡායාරූපය: එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව]

“යේමනයේ සිට ආරම්භ වන ඉවක් බවක් නැති හූති ප්‍රහාරවල මෑත කාලීන උත්සන්න වීම, වානිජ්‍යය නිදහසේ ගලායාමට තර්ජනය කරයි, අහිංසක නාවිකයින් අනතුරේ හෙලයි එමෙන්ම  ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරයි,” ලෙස  ඔස්ටින් සඳුදා ප්‍රකාශයක් නිකුත් කලේය. “මෙය සාමූහික ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටින ජාත්‍යන්තර අභියෝගයකි.”

ඊශ්‍රායලයේ පැවති මාධ්‍ය හමුවකදී, මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය ඉරානය බව ඔස්ටින් පැහැදිලි කලේය, “ත්‍රස්තවාදී කන්ඩායම්වලට සහ කලාපයට තර්ජනයක් වන සහ පුලුල් ගැටුමක අවදානමක් ඇති කරන මෙම ඉරාන ප්‍රොක්සීන්ගේ (නියෝජිතයන්ගේ)   ද්වේෂසහගත ප්‍රහාරවලට අඛන්ඩව සහයෝගය ලබා දෙමින් ඉරානය ආතතිය වැඩි කරයි.” වක්‍ර වූ තර්ජනයකින් ඔස්ටින් පැවසුවේ, “එක්සත් ජනපදය යුද්ධයක් හඹා යන්නේ නැති බව කිවමනා නොවේ. අපි කඩිනමින් ඉරානයෙන් ඉල්ලා සිටින්නේ මෙය ප්‍රති-උත්සන්න කිරීමට පියවර ගන්නා ලෙසයි.”

එක්සත් ජනපදය විසින් ගුවන් යානා වාහක යුධ කන්ඩායම් දෙකක නායකත්වයෙන් යුත් යුධ නෞකා 20 කට ආසන්න ප්‍රමානයක නාවික බලඇනියක් මැද පෙරදිගට යවා ඇත. නව නාවික මෙහෙයුමට එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් බොහොමයක් ඇතුලත් වනු ඇත.

සෙනසුරාදා, එක්සත් ජනපදයේ ආර්ලී බර්ක් පන්තියේ නියමු මිසයිල ඩිස්ට්‍රෝය  නෞකාවක් වන  යූඑස්එස් කාර්නි යේමනයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන දුසිමකට අධික සංඛ්‍යාවක් හා නියැලුනි. ඔස්ටින් පැවසුවේ “මෙම රාජ්‍ය නොවන රංග ධරයා ජාත්‍යන්තර මුහුද හරහා නීත්‍යානුකූල සංක්‍රාන්තියේ යෙදෙන   බොහෝ රටවල වෙලඳ යාත්‍රා වෙත බැලිස්ටික් මිසයිල සහ නියමුවන් නොරැගත්  ගුවන් වාහන දියත් කිරීමෙන් එල්ල වන අභියෝගයට මුහුන දීම ” සදහා  ආරම්භ කල බවයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොව් ගැලන්ට් සමඟ පැවති මාධ්‍ය හමුවකදී ඔස්ටින් පැවසුවේ, “මෙම තර්ජනය විසඳීම සඳහා ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට අපි ක්‍රියා කරමින් සිටිමු ” යනුවෙනි.

ඔස්ටින් ඊශ්‍රායලයෙන් පිටත්ව ගිය පසු, ඔහු දැනට නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ ඇති යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝර්ඩ් ගුවන් යානා වාහක නෞකාවට ගොඩ වීමට නියමිතය. ඔස්ටින්ගේ සංචාරය ඊශ්‍රායලයට පැමිනෙන ඉහල මට්ටමේ එක්සත් ජනපද නිලධාරීන් පෙරහැරක කොටසකි. එක්සත් ජනපද ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් සී. ක්‍යු. බ්‍රවුන් ද සඳුදා ඊශ්‍රායලයේ පැමින සිටියේය. පසුගිය සතියේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් ඊශ්‍රායලයට ගිය අතර සීඅයිඒ ප්‍රධානී බිල් බර්න්ස් ද පෝලන්තයේ වෝර්සෝහිදී කටාර් සහ ඊශ්‍රායල නිලධාරීන් හමුවිය.

මෙම මස මුලදී, සලිවන් හූති කැරලිකරුවන්ට එරෙහිව, එක්සත් ජනපදය “අප විසින් තෝරා ගන්නා වේලාවක සහ ස්ථානයක සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති” බව පවසමින් මිලිටරි ක්‍රියාමාර්ගයකට තර්ජනය කලේය.

එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රවෘත්ති සේවය වන USNI නිවුස්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත යෙදවීම පිලිබඳ හැඟීමක් ලබා දුන්නේය:

“එක්සත් ජනපද නාවික හමුදාවට රතු මුහුද සහ ඒඩන් බොක්ක අතර බාබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ අවම වශයෙන් ඩිස්ට්‍රෝය නෞකා තුනක් ඇත—යූඑස්එස් කාර්නි  (DDG-64), යූඑස්එස් මේසන් (DDG-87) සහ යූඑස්එස් තෝමස් හඩ්නර්  (DDG-116 ) සියල්ලම කලාපයේ ක්‍රියාත්මක වී ඇත. එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවේ නියමු මිසයිල ඩිස්ට්‍රෝය  නෞකාවක් වන   HMS ඩයමන්ඩ් (D34) සහ ප්‍රංශ නාවික හමුදාවේ නියමු මිසයිල ෆ්‍රිගේට්  නෞකාවක් වන   FS ලැන්ගුඩොක් (653) ද රතු මුහුදේ  ක්‍රියාත්මක වී ඇත.

එක්සත් ජනපද නාවික හමුදා ආයතනයේ නිව්ස් ෆ්ලීට් සහ මැරීන් ට්‍රැකර්(USNI News Fleet Marine Tracker) ට අනුව සති අන්තයේ එක්සත් ජනපදය, ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූඑස්එස් ඩ්වයිට් ඩී. අයිසන්හවර් (CVN-69) සහ එහි පරිවාර නෞකා, සෝමාලියාව සහ යේමනය අතර ඒඩන් බොක්ක වෙත  යැවීය. සඳුදා සූවස් ඇලෙන් රතු මුහුදට ඇතුලු වන යූඑස්එස් ලැබූන් (DDG-58) නියමු මිසයිල ඩිස්ට්‍රෝය නෞකාව ෂිප්ස්පොටර් ට නිරීක්ෂනය වී  ඇත.”

ඔහුගේ ඊශ්‍රායල සංචාරය අතරතුර, ඔස්ටින් ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරය සඳහා වොෂින්ටනයේ අසීමිත සහයෝගය නැවත තහවුරු කලේය. “මම මෙහි සිටින්නේ පැහැදිලි පනිවිඩයක් සමඟයි,” ඔස්ටින් පැවසීය. “ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා ඇමරිකාවේ සහයෝගය නොසැලෙන සුලුය.” ඔහු වැඩිදුරටත් පැවසුවේ, “ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරයේදී හමාස් ත්‍රස්ත ක්‍රියා සිදු කර ඇත. ඒවා එහි ප්‍රකාශිත ඉලක්කවල අඛන්ඩතාවයක් වේ: එනම් යුදෙව්වන් ඝාතනය කිරීම සහ යුදෙව් රාජ්‍යය තුරන් කිරීමයි. කිසිම රටක් මෙවැනි අනතුරක් ඉවසිය යුතු නැත.”

ඔහු අවසන් කලේ, “යුදෙව්වන් ඝාතනය කිරීම සහ යුදෙව් රාජ්‍යය මුලිනුපුටා දැමීමේ ප්‍රකාශිත අරමුන සහිත උමතු ත්‍රස්තවාදී කන්ඩායමකට එරෙහිව ආරක්ෂා වීමට ඊශ්‍රායලයට සෑම අයිතියක්ම ඇත. …එබැවින් වරද්ද ගන්න එපා , හමාස් හට නැවත කිසි දිනෙක ගාසා තීරයේ සිට ඊශ්‍රායලයේ ස්වෛරී රාජ්‍යයට ත්‍රස්තවාදය ප්‍රක්ෂේපනය කිරීමට නොහැකි විය යුතුය.” යනුවෙනි.

ගාසා තීරයට එරෙහි ප්‍රහාරයේ පරිමානය අඩු කිරීමට ධවල මන්දිරය ඊශ්‍රායලය තල්ලු කරන බවට එක්සත් ජනපද මාධ්‍ය විසින් කරන ලද ප්‍රකාශයන් නොතකා,  එක්සත් ජනපද අරමුදල් සහ ආයුධ වලින් ඝාතනය කෙරෙන සිවිල් වැසියන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එක්සත් ජනපදය කිසිදු කොන්දේසියක් පනවා නැති බවත්,   ඔස්ටින් පැහැදිලි කලේය.  ඔහු අවසන් කලේ, “මෙය ඊශ්‍රායලයේ මෙහෙයුමයි, මම මෙහි පැමිනියේ කාල නියමයන් හෝ විධානයන් නියම කිරීමට නොවේ. ඔබ මා කීප වතාවක්ම කියනු අසා ඇති පරිදි, ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය සඳහා අපගේ සහය අයෝමය වේ, එය වෙනස් නොවනු ඇත. මා කලින් කී පරිදි හමාස් සංවිධානයට ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට තර්ජනය කිරීමට හෝ ගාසා තීරයටම තර්ජනය කිරීමට පවා නොහැකි වීම ඉතා වැදගත්ය.” යනුවෙනි.

සමූහ ඝාතන සිදුකිරීමේ මෙම හිස් චෙක්පතත් සමඟ ඊශ්‍රායල නිලධාරීන් විවෘතව ජනඝාතක වාචාල කතා භාවිතය වැඩිකරමින් සිටිති. ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, ඊශ්‍රායලයේ ප්‍රාදේශීය මෙටූලා කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් අසෝලායි, ජනගහනය ලෙබනනයට විතැන් කරන ලෙස ඉල්ලා සිටි අතර ගාසා තීරය “අවුෂ්විට්ස්” [ 2 වන ලෝක යුධ සමයේ යුදෙව්වන් මිලියනයක් පමන ඝාතනය කරන ලද පෝලන්තයේ පිහිටි නාසි වද කදවුරක්] මෙන් පෙනෙන ලෙස කටයුතු සිදු කල යුතු බව පැවසීය. “ගාසාවේ ඉන්න හැමෝටම වෙරලට යන්න කියන්න. නාවික හමුදාවේ නැව් ත්‍රස්තවාදීන් ලෙබනනයේ වෙරලට පැටවිය යුතුය. අවුෂ්විට්ස් හි මෙන් මුලු ගාසා තීරයම හිස් කර සමතලා කල යුතුය.”

ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා වාර්තා කලේ නිල මරන සංඛ්‍යාව 19,453 දක්වා ඉහල ගොස් ඇති අතර ගොදුරු වූවන්ගෙන් අතිමහත් බහුතරයක් කාන්තාවන් සහ ලමයින් ය. අතුරුදහන් වූ පුද්ගලයින් 7,000 කට වැඩි සංඛ්‍යාවක් එකතු කරද්දි, සැබෑ මරන සංඛ්‍යාව දැනටමත් 20,000 ට වඩා සෑහෙන්න වැඩි විය යුතුවේ.

සඳුදා හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින්  ඊශ්‍රායලය, ගාසා තීරයේ සිවිල් ජනතාවට එරෙහිව සාගින්න යුද අවියක් ලෙස භාවිතා කරන බවට චෝදනා කරමින් සවිස්තර වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදී. “මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායලය ගාසා තීරයේ ජනගහනයට ආහාර සහ ජලය අහිමි කර ඇත; එය ඉහල පෙලේ ඊශ්‍රායල නිලධාරීන් විසින් අනුබල දුන් හෝ අනුමත කරන ලද ප්‍රතිපත්තියක් වන අතර එය යුදෝපක්‍රමයක් ලෙස සිවිල් වැසියන් සාගින්නෙන් පෙලීමේ අභිප්‍රාය පිලිබිඹු කරයි” යනුවෙන් පලස්තීන අත්පත් කරගත් ප්‍රදේශ වල හියුමන් රයිට්ස් වොච් හි අධ්‍යක්ෂ ඕමාර් ෂකීර්  පැවසීය.

සඳුදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පැවසුවේ, “ඊශ්‍රායල් හමුදා හිතාමතාම ජලය, ආහාර සහ ඉන්ධන බෙදා හැරීම අවහිර කරන අතරම, මානුෂීය ආධාර ලබා දීමට හිතාමතාම බාධා කරමින්, පෙනී යන  ලෙසට කෘෂිකාර්මික ප්‍රදේශ විනාශ කරමින් සහ සිවිල් ජනතාවට ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ අහිමි කරමින් සිටී.”

ගාසා තීරය පුරා කුසගින්න මතුවෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කලේ, ලෝක ආහාර වැඩසටහනේ සමීක්ෂනයකට අනුව, “ඉතා දරුනු සාගින්න මට්ටම්” අත්විඳින ජනගහනයේ කොටස සියයට 44ක් ලෙස වාර්තා වූ බව හා එය සති දෙකකට පෙර කලින් තක්සේරුවකදී සියයට 24ක් වූ බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top