ගාසා තීරයේ වාර්ගික ශුද්ධ කිරීම තීව්‍ර කිරීම මධ්‍යයේ බයිඩන් පරිපාලනය ඊශ්‍රායලයට හොවිට්සර් ෂෙල් වෙඩි “හදිසි” විකිණීම අනුමත කරයි

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 30 දින පල වූ ‘Biden administration approves “emergency” sale of howitzer shells to Israel amid intensification of ethnic cleansing in Gaza Strip‘ යන ජෝර්ඩන් ෂිල්ටන්  විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

ගාසා තීරයට ඊශ්‍රායලයේ අනවරත ප්‍රහාරය නිසා පදිංචිකරුවන්ට “මරණය හෝ අවතැන් වීම” තෝරා ගැනීමට සිදුව ඇති බව  එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිත මජෙඩ් බම්යා සිකුරාදා පැවසීය.

Gaza
2023 දෙසැම්බර් 29 වැනි සිකුරාදා, දකුණු ඊශ්‍රායලයේ ගාසා තීරයේ මායිම අසල ඊශ්‍රායල සොල්දාදුවන් ස්ථානගත වීමත් සමඟ පලස්තීන නිවාස සහ යටිතල පහසුකම් විශාල වශයෙන් විනාශ වීම දක්නට ලැබේ. [AP ඡායාරූපය/ඒරියල් ෂාලිට්]

ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ ආධාර රථ පෙළකට බෝම්බ හෙලීම, ඛාන් යුනිස් හි ප්‍රහාර වේගවත් කිරීම සහ රෆාහි ගුවන් ප්‍රහාරයකින් අවතැන් වූ පුද්ගලයන් කිහිප දෙනෙකු මරා දැමීම වැනි ජන සංහාරක ප්‍රහාරයන්ගෙන් බිහි වූ භීෂණකාරී තත්ත්වයන් පිළිබඳව බම්යාගේ සංක්ෂිප්ත සාරාංශයෙන් නැවුම් තහවුරු කිරීමක් සිදු විය. හොවිට්සර් ෂෙල් වෙඩි දහස් ගණනක් ඊශ්‍රායලයට අලෙවි කරන බව නිවේදනය කරමින් ඇමරිකානු අධිරාජ්‍යවාදය නැවත වරක් ජන සංහාරයේ සිය හවුල්කාරිත්වය පෙන්නුම් කළේය.

බ්‍රහස්පතින්දා, රෆා ප්‍රහාරය  නේවාසික ගොඩනැගිල්ලකට පහර දුන් අතර, අවම වශයෙන් එහිදී 20 ක් මිය ගියේය. ඊට පසුදින මුල් භාගයේදී, උතුරු ගාසා තීරයට මානුෂීය සැපයුම් සඳහා නම් කරන ලද මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් සිටියදී එක්සත් ජාතීන්ගේ ආධාර රථ පෙළක් වෙඩි ප්‍රහාරයට ලක් විය. උතුරු ගාසා තීරයේ 800,000 කට අධික ජනතාවක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කිසිදු ප්‍රවේශයක් නොමැතිව සිටින අතර, ඔවුන්ට ලැබෙනුයේ, ඊශ්‍රායල හමුදාව විසින් කරනු ලබන අතිශය සීමිත ආධාර බෙදා හැරීම් පමනි.පලස්තීන සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ (UNRWA) ප්‍රධානී පිලිප් ලැසාරිනි, ප්‍රහාරය හිතාමතා කළ එකක් බව දැඩිව ප්‍රකාශ කරමින්, ඒජන්සිය “ඊශ්‍රායල බලධාරීන් සමග එහි චලනයන් සම්බන්ධීකරණය කරන” බව අවධාරණය කළේය. 

බටහිර ඉවුරේ පලස්තීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායලය ගාසා තීරයට ආධාර සැපයීම හිතාමතා සීමා කරන බවට චෝදනා කළේය. වත්මන් ආධාර “අවශ්‍ය අවම ප්‍රමාණය පවා සපුරාලන්නේ නැත”, එය අවිචාරවත් බෝම්බ හෙලීමත් සමඟ එහි “ජන සංහාරයේ” ප්‍රතිපත්තියේ කොටසකි.

ජාත්‍යන්තර ආධාර කණ්ඩායමක් වන මර්සි කෝර්ප්ස් (Mercy Corps ) පවසන පරිදි, දැනට ගාසා තීරයේ මිලියන භාගයක් පමණ ජනතාව “ව්‍යසනකාරී කුසගින්නකට හා සාගින්නකට” මුහුනපා සිටිති. “ගාසා තීරය තුළට අවසර දී ඇති ජීවිතාරක්ෂක භාණ්ඩ ප්‍රමාණය සාගරයෙන් බිදක් තරම් කුඩා  වන අතර, කෙරම් ෂාලෝම් ( Kerem Shalom ) දේශසීමා හරස් මාර්ගය විවෘත කිරීමෙන් පසුව පවා, ගාසා හි වැසියන්ගේ මූලික හා තීරණාත්මක අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මට්ටමට තවමත් වැඩි වී නොමැත,” යි මර්සි කෝර්ප්ස් ආධාර කණ්ඩායම සඳහා ගෝලීය ප්‍රතිපත්ති සහ උපදේශනයේ උප සභාපති කේට් ෆිලිප්ස්-බරසෝ අදහස් දැක්වීය. “ට්‍රක් රථ ඒවායේ ගමනාන්තයට ළඟා වූ පසු, පවතින සහ නොනවතින ආරක්ෂක අවදානම් හේතුවෙන් කිසිම ආකාරයක ආධාරයක් ආරක්ෂිතව බෙදා හැරීම පාහේ කළ නොහැක්කකි.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තවත් අනතුරු ඇඟවීමකින් පැහැදිලි වන්නේ ඊශ්‍රායලය සිය ජන සංහාරක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රෝග ද යොදා ගන්නා ආකාරයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ටෙඩ්‍රොස් ගිබ්‍රෙයිසස් ප්‍රකාශ කළේ ඉහළ ශ්වසන ආසාදිතයන් 180,000 කට ආසන්න සංඛ්‍යාවක්, උකුණන් සහ ස්කේබීස් [ කැසීම් මයිටාවන් නිසා ඇතිවන, කැසීම සහ කුඩා රතු ලප මගින් සලකුණු කරන ලද බෝවන සමේ රෝගයකි.] රෝගීන් 55,400 ක් සහ පාචන රෝගීන් 136,400 ක්, ඉන් අඩක් වයස අවුරුදු 5 ට අඩු ළමුන් වන  බවයි. මීට අමතරව, පැපොල රෝගීන් 5,530 ක්, සමේ කුෂ්ඨ රෝගීන් 42,700 ක්, උග්‍ර සෙංගමාල රෝගීන් 4,683 ක් සහ මෙනින්ජයිටිස් රෝගීන් 126 ක් ද වාර්තා වී ඇත.

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරය නොනවතින ලෙස ඉදිරියට යද්දී, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව හිස්බුල්ලා සංවිධානයට එරෙහිව දකුණු ලෙබනනයේ ප්‍රහාර ද පුළුල් කර ඇත. ඊශ්‍රායලය “බහු පෙරමුණු යුද්ධයක” සිටින බවට ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට්  විසින් කරන ලද ප්‍රකාශය අවධාරනය කරමින් IDF විසින් දේශසීමාවේ සිට සැතපුම් 10ක් පමණ දුරින් පිහිටි ස්ථාන ඇතුළු ඉලක්ක වෙත දකුණු ලෙබනනය හරහා  ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන ලදී. පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී, ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ගිලාඩ් එර්ඩන් “ලෙබනනයේ සිට ඉරාන පිටුබලය ලබන ප්‍රහාර” හෙලා දුටු අතර හිස්බුල්ලා ඊශ්‍රායලයට දිගටම වෙඩි තැබුවහොත් “පූර්ණ පරිමාණ යුද්ධයක්” දියත් කරන බවට ශපත විය. IDF ප්‍රකාශක ඩැනියෙල් හගාරි  මාධ්‍ය වෙත අදහස් දක්වමින්, මිලිටරිය “ප්‍රහාරක ජෙට් යානා, යුධ ටැංකි සහ කාලතුවක්කු මගින් පුලුල් ප්‍රහාර” සිදු කළ බවත්, දකුණු ලෙබනනයේ හිස්බුල්ලා “නැවත කිසි දිනෙක [ පෙර මෙන්] සමාන නොවනු ඇති” බවට ප්‍රතිඥා දුනි.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් අන්ත දක්ෂිනාංශික ආන්ඩුවට එවන් ආක්‍රමනකාරී ක්‍රියාවක් සමග ඉදිරියට යා හැක්කේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි යුරෝපීය සහචරයින්ගේ කොන්දේසි විරහිත සහයෝගය භුක්ති විඳින බව එය දන්නා බැවිනි. මෙම සත්‍යයේ නවතම උදාහරණයේ දී, රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයට ඩොලර් මිලියන 150 කට ආසන්න වටිනාකමකින් යුත් M107 155mm ෂෙල් වෙඩි විකිණීම සඳහා කොන්ග්‍රස් අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවය මග හැරීම සඳහා හදිසි තත්වයක් ප්‍රකාශ කළේය. ෂෙල් වෙඩි සාමාන්‍යයෙන් හොවිට්සර් තුවක්කු වලින් වෙඩි තබන අතර ජනාකීර්ණ ප්‍රදේශවලට ඔවුන්ගේ අවිචාරවත් බෝම්බ ප්‍රහාර දිගටම කරගෙන යාමට IDF හට හැකි වේ.

ජර්මනිය පුරා පලස්තීන සහයෝගී විරෝධතා වාරණයට සහ මුලුමනින්ම තහනම් කිරීමට සහය දක්වන ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් හා ඔහුගේ ආණ්ඩුව, යුද්ධය සඳහා බර්ලිනයේ පිටුබලය යලි අවධාරණය කිරීමට ඊශ්‍රායලයේ යුද කැබිනට් ඇමති බෙනී ගැන්ට්ස්  සමඟ ඔලාෆ් ෂොල්ස් සිකුරාදා කතා කළේය.

අධිරාජ්‍යවාදී බලවතුන් ඊශ්‍රායලයේ ජන සංහාරය අනුමත කිරීම, බලශක්තියෙන් පොහොසත් සහ භූ මූලෝපායික වශයෙන් වැදගත් මැද පෙරදිග මත එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කර ගැනීම අරමුනු කරන, ඉරානයට එරෙහිව කලාපය පුරා යුද්ධයක් සඳහා සූදානම් වීමේ කොටසකි. 20 වැනි සියවසේ සියලු මහා බල ගැටුම් නැවත පණ ගන්වමින් ගැඹුරු වන ලෝක ධනේශ්වර අර්බුදයක් මධ්‍යයේ, අධිරාජ්‍යවාදීන් ඊශ්‍රායලයට ඔවුන්ගේ පිටුබලය ඇතිව, අමුද්‍රව්‍ය, වෙලඳපොලවල් සහ බලපෑම් ක්‍ෂේත්‍ර ලුහුබැඳීම සඳහා ජන සංහාරය ඇතුළු අවශ්‍ය ඕනෑම ක්‍රමයකට යොමු වීමට ඔවුහු සූදානම්ව සිටිති. [අවධාරනය කර්තෘ ගෙනි]

‌සිකුරාදා හිතාමතාම ආධාර රථ පෙළක් ඉලක්ක කිරීම ඊශ්‍රායලයේ ජාත්‍යන්තර නීතිය ක්‍රමානුකූලව උල්ලංඝණය කිරීමට අනුකූල වේ. රෝහල්වලට, වෛද්‍ය සේවකයන්ට සහ ළමයින්ට ප්‍රහාර එල්ල කිරීම, ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතා යුද අවි ලෙස භාවිත කිරීම ඇතුළු යුද අපරාධ දෛනික සිදුවීමක් බවට පත්ව ඇත. මෙය බොහෝ ඊශ්‍රායල රජයේ නිලධාරීන් විසින් පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරක අරමුණ පිළිබඳ විවෘත ප්‍රකාශයන් සමඟ ගැලපී ඇත. එහි වඩාත් පැහැදිලි ප්‍රතිපත්තිය වන්නේ ගාසා තීරයේ පලස්තීන ජනගහනය ඊජිප්තුවේ සීනායි කාන්තාරයට යාමට බලකිරීමයි.

මෙම න්‍යාය පත්‍රය දකුණු අප්‍රිකානු රජය විසින් සිකුරාදා ජාත්‍යන්තර අධිකරණයට ගොනු කරන ලද අයදුම්පතක දක්වා ඇත. ඊශ්‍රායලයේ ක්‍රියාවන් “පළස්තීන ජාතික, වාර්ගික සහ ජනවාර්ගික කන්ඩායමේ සැලකිය යුතු කොටසක් විනාශ කිරීමට අදහස් කරන බැවින් ජන සංහාරක ස්වභාවයක්” ගන්නා බව එය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල ප්‍රහාරය පුරා පැතිරී ඇති අසීමිත අවනීතිය පිළිබඳ වැඩිදුර ඇඟවීමක් ලෙස, ගාසා රජයේ මාධ්‍ය කාර්යාලය වාර්තා කළේ, ගාසා තීරය පුරා ඇති 325 ක් වන උරුමයන් සහ පුරාවිද්‍යාත්මක ස්ථාන වලින් 200 ක්  විනාශ කිරීම සඳහා ඉලක්ක කර ඇති බවයි. මෙම ස්ථානවලට මුස්ලිම් පල්ලි, පල්ලි, පුරාණ පුරාවිද්‍යා නිවාස සහ කෞතුකාගාර ඇතුළත් වේ. සමහර ස්ථාන ක්‍රිපූ 1,100 සහ 200 අතර ෆිනීෂියානු යුගය දක්වා දිව යයි. මෙම ප්‍රහාර ගාසා තීරයේ “පලස්තීන සංස්කෘතික හා උරුමයන් මකා දැමීමේ අසාර්ථක උත්සාහයක්” බව අමාත්‍යාංශයේ ප්‍රකාශය පවසයි.

යුරෝ-මෙඩ් හියුමන් රයිට් මොනිටර් (Euro-Med Human Rights Monitor) සංවිධානයට අනුව, ඊශ්‍රායල සොල්දාදුවන් ගාසා තීරය හරහා පලස්තීන නිවාස කොල්ලකෑම පිළිබඳ පුළුල් සාක්ෂි පවතී. පුද්ගලික බඩු බාහිරාදිය සොරකම් කිරීම සහ “වටිනා දේ කොල්ලකෑම” මහා පරිමාණයෙන් සිදුවෙමින් පවතින අතර,  ඊට සම්බන්ධ මුදල් “ඩොලර් මිලියන ගනනක්” ලෙස එම සංවිධානය විස්තර කරයි. සොරකම් කරන ලද භාණ්ඩ පිළිබඳ වාර්තාවලට මුදල්, රත්රන්, ලැප්ටොප් පරිගණක සහ වෙනත් ඉලෙක්ට්‍රෝනික  උපකරණ ඇතුළත් වේ.

බටහිර ඉවුරේ පලස්තීනුවන් ද ඊශ්‍රායල ආක්‍රමණිකයන්ගේ වඩ වඩාත් මාරාන්තික ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙති. සිකුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක කෙටි සාකච්ඡාවකදී, ඔක්තෝබර් 7 සිට බටහිර ඉවුරේ මියගිය සංඛ්‍යාව ළමුන් 74 ක් ඇතුළුව පලස්තීනුවන් 304 ක් බව තහවුරු විය. 2023 දී, බටහිර ඉවුරේ පලස්තීනුවන් 504 ක් මරා දමා ඇති අතර, එය 2005 දී එක්සත් ජාතීන්ගේ වාර්තා තබා ගැනීමට පටන් ගත් පසු බිහිසුණුම වසර බවට පත් විය. මීට අමතරව, බටහිර ඉවුරෙහි, ඔක්තෝබර් 7 වනදා සිට ඊශ්‍රායල හමුදා විසින් පලස්තීනුවන් 4,785ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊශ්‍රායල සොල්දාදුවන් සිකුරාදා අල් ජසීරා මාධ්‍යවේදී මොන්ටාසර් නසාර්ට සහ ඔහුගේ ඡායාරූප ශිල්පියාට ඩුරා නගරයට ආසන්න වඩි අල්-ෂජ්නාහිදී පහර දුන්හ. වාර්තාවන අන්දමට සෙබළුන් ඔවුන් දෙදෙනාට පහර දී ඔවුන්ගේ උපකරණ රාජසන්තක කර ඇත්තේ ඔවුන් වහලයක සිට වාර්තාවක් රූගත කිරීමට සූදානම් වෙමින් සිටියදීය. ඔක්තෝබර් 7 වැනිදා සිට බටහිර ඉවුරේ මාධ්‍යවේදීන් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගාසා තීරයේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 106 දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අල්-කුඩ්ස් රූපවාහිනී නාලිකාවේ සේවය කළ  තවත් මාධ්‍යවේදියෙකු වන ජබ්ර් අබු හැඩ්‍රෝස් සිකුරාදා සවස් වරුවේ දී ඔහුගේ නුසෙරාට් හි පිහිටි නිවසට එල්ල කරන ලද  ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top