ගාසා සටන් විරාම යෝජනාව නිෂේධනය කරමින් බයිඩන් පරිපාලනය රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස ජන සංහාරය අනුමත කරයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 11 දින පල වූ ‘Vetoing Gaza ceasefire resolution, Biden administration upholds genocide as state policy ‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.     

Us
එක්සත් ජාතීන්ගේ විකල්ප එක්සත් ජනපද නියෝජිත, එක්සත් ජනපද තානාපති රොබට් වුඩ්, 2023 දෙසැම්බර් 8 වන දින ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරයි. [ඡායාරූපය: එක්සත් ජාතීන්]     

සිකුරාදා, ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට පක්ෂව, ජන්දය දීමෙන් වැලකී සිටි බ්‍රිතාන්‍යය හැර, ආරක්ෂක මන්ඩලයේ සියලුම සාමාජිකයින් ලබා දුන් ජන්දයට එරෙහිව එක්සත් ජනපදය සිය නිශේධ බලය පාවිච්චි කළේය. 

මෙම ඡන්දයෙන් පැහැදිලි වන්නේ එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ජන සංහාරයේ හුදු නරඹන්නෙකු නොවන බවයි: එය, එහි ක්‍රියාකාරී සහකරුවෙකි. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට වඩා සාපරාධීත්වයෙන් අඩු නැත.

පලස්තීන ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් ඝාතනය කර ඉතිරි පිරිස සීනායි කාන්තාරයට පලවා හැරීමේ ඊශ්‍රායලයේ සැලසුම් පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් ව සිටින එක්සත් ජනපදය, මෙම සැලසුම්වලට පූර්ණ සහයෝගය සහ අනුමැතිය පල කරයි. කොංග‍්‍රස් මණ්ඩලයේ අධීක්‍ෂණය මග හරිමින් ඩොලර් මිලියන 100කට වඩා වටිනා ෂෙල්වෙඩි සදහා යොදා ගන්නා කාල තුවක්කු සහිත යුද ටැංකි ( tank rounds) එවන බවට සිකුරාදා කල නිවේදනය ඇතුළුව ඩොලර් බිලියන ගනනක ආයුධ සැපයීම හරහා ජන සංහාරය සක්‍රීයව ක්‍රියාත්මක කරයි.

එක්සත් ජනපදය වියට්නාමයේ මයි ලායි සංහාරයේ සිට තමන් වාඩිලා ගත් ඉරාකයේ අබු ග්‍රයිබ් සිරගෙදර රැඳවියන්ට වධහිංසා පැමිණවීම දක්වා බිහිසුණු අපරාධ සිදු කර ඇත. එහෙත්, සියල්ලන්ටම පෙනෙන පරිදි මුළු ලෝකයටම විකාශනය කරන ලද, අනාරක්ෂිත කාන්තාවන් සහ ළමුන් සමූහ වශයෙන්, ක්‍රමානුකූලව ඝාතනය කිරීමට එහි විවෘත සහභාගීත්වය, ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ නව සහ නිර්ලජ්ජී අපරාධ අවධියක් සනිටුහන් කරයි.

බයිඩන් පරිපාලනය ගාසා තීරයේ ලේ වැගිරීම වැලඳ ගන්නේ ලෝක යුද්ධය හරහා සිය ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදී ධාවනයේ වැදගත් අවයවයක් ලෙස ඊශ්‍රායල රාජ්‍යය දකිනු ලබන බැවිනි. මෙම යුද්ධයේ සටන් පෙරමුණු දැනටමත් හඳුනාගත හැකිය. එනම් යුක්රේනයේ දී රුසියාවට එරෙහි ව; මැද පෙරදිග දී ලෙබනනයේ හිස්බුල්ලා සහ ගාසාවේ හමාස් ඇතුළු ඉරානයට සහ එහි සහචරයින්ට එරෙහි ව හා විශාල ඉන්දු පැසිෆික් කලාපය තුල චීනයට එරෙහි ව යන අයුරිනි.

ගාසා තීරයේ ජනයාට එරෙහි ඊශ්‍රායල් ජන සංහාරයෙන් භීතියට පත් වූ ලෝක කම්කරුවෝ සහ තරුනයන්ගෙන් අතිමහත් බහුතරය සටන් විරාමයකට සහාය දක්වති. ලොව පුරා සිටින යුදෙව් ජනතාව ද ඇතුළුව සෑම ජනවාර්ගික, ආගමික සහ ජාතිකත්වයකම මිලියන සංඛ්‍යාත ජනතාව ජන සංහාරයට එරෙහිව ගෝලීය මහජන උද්ඝෝෂන වලට සහභාගී වී ඇත.

පසුගිය මාස දෙක තුළ ඊශ්‍රායලය විසින් ගාසා  වැසියන් 17,997ක් ඝාතනය කර ඇති අතර තවත් පුද්ගලයන් 7,760ක් අතුරුදන් වී ඇත. එනම්, සැබෑ ලෙස ම ගණන් බලන්නේ නම්, මේ වන විට මරණ සංඛ්‍යාව 25,000 කට ආසන්න ය: ඔවුන්ගෙන් අතිමහත් බහුතරය කාන්තාවන් සහ ළමුන් ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් 99 වැනි වගන්තිය පිළිබඳව හදිසි ඉල්ලීමක් කිරීමෙන් පසුව මෙම ඡන්දය  ප්‍රකාශ කරන ලද අතර,  ගාසා තීරයේ සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම බිඳ වැටී ඇති බවත් ජනගහනය මහා සාගින්නට, විජලනයට සහ දරුනු රෝගාබාධවලට මුහුන දෙන බවත් ,ඔහු පැහැදිලි කළේය.  

ඊශ්‍රායල හමුදාව විසින් “සිවිල් වැසියන්ට පිලි ගත හැකි ආරක්ෂාවක් නොමැති” බවට ගුටරෙස් අනතුරු ඇඟවූ අතර, “රෝහල් යුධ පිටියක් බවට පත් වී ඇත” යනුවෙන් ද “ ගාසා තීරයේ කිසිම තැනක්  ආරක්ෂිත නැතැයි ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

“ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවන්ගේ නිරන්තර බෝම්බ ප්‍රහාර මධ්‍යයේ සහ නවාතැන් හෝ දිවි ගලවා ගැනීමට අත්‍යවශ්‍ය දෑ නොමැති, සීමිත මානුෂීය ආධාර පවා” “ලබා දෙනු නොහැකි” තත්වයක් ලඟාවනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.

ඔහු තවදුරටත් පැවසුවේ, “අපිට ගාසා තීරය තුළ අවශ්‍යතා ඇති අය වෙත පහසුවෙන් ළඟා වීමට නොහැකියි. … මානුෂීය පද්ධතියේ බිඳවැටීමේ දැඩි අවදානමකට අපි මුහුණ දී සිටිමු.” යි යනුවෙනි.

ඔහු අවසන් වශයෙන් මෙසේ සදහන් කළේ, “මෙය හදිසියි. සිවිල් ජනතාව විශාල හානියකින් ගලවා ගත යුතුය. මානුෂීය සටන් විරාමයක් සමඟින්, ජීවිතය පවත්වාගැනීමේ මාධ්‍යයන් යථා තත්ත්වයට පත් කළ හැකි අතර, ගාසා තීරය හරහා ආරක්ෂිතව සහ කාලෝචිත ආකාරයකින් මානුෂීය ආධාර ලබා දිය හැකිය.” 

ඡන්දය ප්‍රකාශ නොකිරිමේ තීන්දුව ගැන පැහැදිලි කරමින් එක්සත් ජනපද තානාපති රොබට් වුඩ් පැවසුවේ පලස්තීන ප්‍රතිරෝධය මුළුමනින්ම තලා දැමීම නෙකර යෝජනා වන ඕනෑම “සටන් විරාමයක්” එක්සත් ජනපදයට පිළිගත නොහැකි බවයි.

“ඊළඟ යුද්ධය සඳහා බීජ පමණක් රෝපණය කරන තිරසාර නොවන සටන් විරාමයක් කැදවන මෙම යෝජනාවට අපි සහාය නොදක්වමු” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. “හමාස් සංවිධානය ගාසා තීරයේ පාලනය කරන්නේය යන කරුන් නොතකා හරින මොනම සටන් විරාමයක්” හෝ  එක්සත් ජනපදයට පිළිගත නොහැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේවා අසාමාන්‍ය ප්‍රකාශයන්ය. ෆැසිස්ට්වාදී ඊශ්‍රායල අගමැති නෙතන්යාහු “හමාස්” ගැන කතා කරන විට ඔහු කතා කරන්නේ දේශපාලන සංවිධානයක් ගැන නොව පලස්තීන ජනතාවගේ පැත්තෙන් ප්‍රතිරෝධය දැක්වීමට ඇති ඕනෑම අපේක්ෂාවක් ගැන ය. මෙම තර්කයට අනුව, යුද්ධය අවසන් කළ හැකි එකම මාර්ගය වන්නේ , ඊශ්‍රායලය විසින් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන සිටින භූමියක නීතිවිරෝධී ලෙස සිරකර තබා ඇති ගාසා තීරයේ සමස්ත ජනගහනය සමූල ඝාතනය කිරීම හෝ වාර්ගික ශුද්ධ කිරීම හරහා පමණක් වීමයි.

යෝජනාව පිලිබද එක්සත් ජනපදය යෙදූ නිෂේධ බලය ආරක්ෂා කිරීමේදී, “ජාත්‍යන්තර නීතියට අනුකූලව ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂා වීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බව පිළිගැනීමට අපොහොසත් වී ඇත. එය සියළුම රාජ්‍යයන්ට හිමි අයිතියකි.” යනුවෙන් වුඩ් කෙටුම්පත විවේචනය කළේය. 

ඇත්ත වශයෙන්ම, එවන් තත්වයක් මතු වී නැති නිසා යෝජනාව එවැනි “අයිතියක්” තහවුරු කළේ නැත. වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශවල මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ෆ්‍රැන්චෙස්කා ඇල්බනීස් පසුගිය මාසයේ පැහැදිලි කළ පරිදි, “ආත්මාරක්ෂාවේ අයිතිය ඉල්ලා සිටිය හැකි වන්නේ හෙි දී සිදු නො වූ දෙයක් වන වෙනත් රාජ්‍යයකින් තම රාජ්‍යයට තර්ජනයක් එල්ල වන විට දී ය.” 

ඇය තවදුරටත් කියා සිටියේ, “යුධමය වාඩිලාගැනීමක් යටතේ පවත්වාගෙන යන භූමි ප්‍රදේශයකින් එල්ල වන තර්ජනයකට එරෙහි ව ආත්මාරක්ෂාව සඳහා අයිතිය ඉල්ලා සිටිය නොහැකි.” බවයි.

සිරගතව සිටින ජනගහනයකට එරෙහිව “තමන්ව ආරක්ෂා කර ගැනීමට” ඊශ්‍රායලයට ඇති “අයිතිය” ප්‍රකාශ කිරීමේදී, එක්සත් ජනපදය, ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ නීතිවිරෝධී ඊශ්‍රායල වාඩිලෑම පමනක් නොව, එම වාඩිලෑමට එරෙහි ඕනෑම ක්‍රියාවකට ප්‍රතිචාර වශයෙන් සමූහ මිනීමැරුම් සහ වාර්ගික ශුද්ධ කිරීම් හරහා සිවිල් ජනතාවට සාමූහිකව දඬුවම් කිරීමට ඊශ්‍රායලයට “අයිතිය” ඇත යන්න ද ආරක්ෂා කරයි.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඉරිදා ABC වෙත පැවසුවේ, “මේ මොහොතේ සටන් විරාමයක් ගැන කතා කරන විට, හමාස් සංවිධානය තවමත් සක්‍රීය, තවමත් පෙර සේම පවතින, සහ [ හමාස්] නැවත නැවතත්, ඔක්තෝබර් 7 වෙනිදා පුනර්කරනය කිරීමේ ප්‍රකාශිත අභිප්‍රාය ඇතිව සිටින මේ මොහොතේ එය [ සටන් විරාමය] හුදෙක් ගැටලුව සදාකාලික කරනු ඇත.” යන්නයි.

සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් මෙම කරුණ ප්‍රතිරාවය කරමින්, “ඔක්තෝබර් 7 ට පෙර සහ ඔක්තෝබර් 7 න් පසු ඊශ්‍රායලය විනාශ කිරීමට අවශ්‍ය බව පැවසූ හමාස් සමඟ ස්ථිර සටන් විරාමයක් ඇති කර ගන්නේ කෙසේදැයි මම නොදනිමි, ඔවුන්ට ස්ථිර යුද්ධයක් අවශ්‍යයි.  ඔබ එවැනි ආකල්පයකින් ස්ථිර සටන් විරාමයක් ඇති කරන්නේ කෙසේදැයි මම නොදනිමි.” යැයි පැවසීය.

සැන්ඩර්ස් සහ බ්ලින්කන් යන දෙදෙනාගේම පැත්තෙන් සැලකූ කල  මෙම ප්‍රකාශයන්, එක්සත් ජනපද පාලක පන්තිය වැලදගෙන ඇති ජනඝාතක මානසිකත්වයකට සාක්ෂි දරයි. එනම් පලස්තීනුවන් ඊශ්‍රායල රාජ්‍යයේ පැවැත්මට විරුද්ධ වන තාක් දුරට, එම ජනතාව සාධාරණ ලෙස සමූලඝාතනය කළ හැකිය.

නමුත් මෙම අදහසේ අවසානය කොතැනකද? ධනේශ්වර රාජ්‍යවල පැවැත්මට විරුද්ධ මිනිසුන් සිටී නම්, ඔවුන්ගෙන් තර්ජනයට ලක්වන එම රාජ්‍යයන්ට තම විරුද්ධවාදීන් සියල්ලන්ම ඝාතනය කිරීමට අයිතියක් තිබේද? බයිඩන් පරිපාලනය, දැනුවත්ව සහ හිතාමතාම, රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස සමූහ මිනීමැරුම් අනුමත කරන අතර ,විදේශයන්හි සහ දේශීයව,ඊටත් වඩා විශාල අපරාධ සඳහා මෙම පූර්වාදර්ශය නිර්මානය කරයි. 

ගාසා තීරයේ ජන සංහාරය, අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය තුළ අපරාධකරණයේ නව අදියරක් සනිටුහන් කරයි. තමන්ට විසඳුමක් නොමැති සමාජ, ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින ධනේශ්වර පාලක පන්තීහු, කුමන හෝ සීමා කිරීමකින් තොරව ජන සංහාරය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස විවෘතව වැළඳ ගනිමින් සිටී.

ගාසා තීරයේ ජනයාට එරෙහි ඊශ්‍රායලය යුද්ධයට එරෙහිව මිලියන ගනනක් ජනයා උද්ඝෝෂන වලට සහභාගී වී ඇත. එහෙත් එක්සත් ජනපදය සහ එහි අධිරාජ්‍යවාදී හවුල්කරුවන් පැහැදිලි කර ඇත්තේ ඔවුන් තමන්ගේම මහජනතාවගේ හැඟීම් ගැන මුලුමනින්ම උදාසීන බවයි. මේ හේතුව නිසා, ගාසා තීරය තුල ඊශ්‍රායලය කරන ජන සංහාරයට තිත තැබීමේ අරගලය,  ඊශ්‍රායලය සන්නද්ධ කරමින් පිටුබලය දෙන ලෝක අධිරාජ්‍යවාදී ආන්ඩුවලට එරෙහි අරගලයක් ලෙස වර්ධනය කල යුතුය.

තවද ගාසා තීරය අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ ගෝලීය පිපිරීමක එක් පෙරමුණක් පමණක් වන බැවින්, අරගලය ජාත්‍යන්තර අරගලයක් විය යුතු අතර, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ එය මතු කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි පොදු සටනක් තුල සෑම මහාද්වීපයකම වැඩ කරන ජනතාව එක්සත් කල යුතුය. මෙයින් අදහස් කරන්නේ කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා කරන අරගලයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top