නෙතන්යාහුට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ජර්මානු යුද ප්‍රචාරණය අඩපණ කරයි

පීටර් ෂ්වාට්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 මැයි 23 දින පල වූ ‘Arrest warrant against Netanyahu undermines German war propaganda’ යන පීටර් ෂ්වාට්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (අයිසීසී) ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන්, බෙන්ජමින් නෙතන්යාහුට සහ යෝව් ගැලන්ට් ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම සඳහා කරන ලද අයදුම්පත ජර්මානු ආන්ඩුවේ බේගල් යුද ප්‍රචාරණයට විශාල පහරකි. ඛාන් ඊශ්‍රායල රජයේ ප්‍රධානියාට සහ ඔහුගේ ආරක්ෂක අමාත්‍යවරයාට, පලස්තීන ජනතාවට එරෙහි බරපතළ යුද අපරාධ චෝදනා එල්ල කර තිබේ. 

ඊශ්‍රායලයට සහය දීම ජර්මානු ‘රාජ්‍ය හේතුවක්’ බවට ප්‍රකාශ කර ඇති ජර්මානු ආන්ඩුව, මෙම අපරාධ යුක්ති සහගත කර, ඒවා සඳහා ඊශ්‍රායලයට ආයුධ සපයා එම ක්‍රියා දිගටම කරගෙන යයි. එය ඊශ්‍රායල යුද අපරාධ හෙළා දකින ඕනෑම කෙනෙක් යුදෙව් විරෝධියෙකු ලෙස මඩ ගසමින්, ඔවුන්ට එරෙහි විරෝධතා කුරිරු ප්‍රචණ්ඩත්වයෙන් යටපත් කරයි.

ICC හි අධිකාරය නොපිළිගන්නා ඊශ්‍රායල සහ එක්සත් ජනපද ආන්ඩු දෙකම, හැකි උපරිමයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු හෙලා දැක ඇත. මෙය ජර්මානු රජයට ගැටලුවකි. ජර්මනිය ICC හි රෝම ප්‍රඥප්තියට අත්සන් කර ඇති රාජ්‍ය 123 න් එකකි. ජපානයෙන් පසු අධිකරණයට වඩාත්ම වැදගත් පරිත්‍යාගශීලියා එයයි.

දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මානු අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද තිරිසන් අපරාධ හමුවේ, ජර්මානු ධනේශ්වරය මිලිටරිවාදයට සහ මහා බල දේශපාලනයට තම යලි සම්ප්‍රාප්තිය නීත්‍යානුකූලභාවයේ රැස් මඬලකින්  වසා ගැනීමට උත්සාහ කළාහුය. ෆෙඩරල් ආන්ඩුව සිය විදේශ ප්‍රතිපත්තිය සාධාරණීකරණය කිරීම සඳහා යළි යළිත් අපරාධ අධිකරණය කැඳවාගෙන ඇත. නිදසුනක් වශයෙන්, වසරකට පෙර, ෆෙඩරල් අධිකරණ අමාත්‍ය මාර්කෝ බුෂ්මන් ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් සාදරයෙන් පිළිගෙන රුසියානු ජනාධිපතිවරයා ජර්මානු භූමියට පය තැබුවහොත් වහාම අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළේය.

නෙතන්යාහු සහ ගැලන්ට් ට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු අධිකරණය විසින් තහවුරු කරන්නේ නම්, ඔවුන් ජර්මානු භූමියට ඇතුළු වූ වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ජර්මනිය නීත්‍යානුකූලව බැඳී සිටී. ඇත්ත වශයෙන්ම, එය කිසි විටෙකත් එසේ නොකරනු ඇත. එහෙත් රජය සහ අධිකරණය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නොතකා කටයුතු කළහොත් සිදු වන ‘දේශපාලන හානිය’ බරපතළය.  ස්ටර්න් පුවත් සඟරාව ප්‍රකාශ කරන්නේ: ‘මෙම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජර්මනිය අධිකරණයේ අධිකාරීත්වය කෙතරම් දුරට වල කපනු ඇත් ද යත්, අනාගතයේදී එයට විශාල අදාළත්වයක් නොතිබීමේ ශක්‍යතාවයක් ඇත.’

උසාවියේ අධිකාරයට පමණක් නොව, ෆෙඩරල් ආන්ඩුවේ දැනටමත් බැට කෑ විශ්වසනීයත්වයට ද හානි වනු ඇත. බිය ගැන්වීම් සහ මර්දනය නොතකා ගාසාවේ ජන සංහාරයට එරෙහි විරෝධතා කඳවුරු සහ ප්‍රතිරෝධය දැනටමත් වර්ධනය වෙමින් පවතී. ෆෙඩරල් ආන්ඩුව විවෘතව ජාත්‍යන්තර නීතියට පටහැනිව සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සාදරයෙන් පිළිගන්නා අතරම තමන් සහය දෙන රජයේ ප්‍රධානියකුට එරෙහිව අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නොසලකා හරින්නේ නම්, එය තවදුරටත් තම  බොරු ප්‍රචාරණයට වල කැපීමක් වනු ඇත.

නෙතන්යාහු සහ ගැලන්ට් ට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු අතිශයින් හොඳින් ලේඛනගත කර ඇති කරුණු මත පදනම් වේ. ඒවා ලියා ඇත්තේ, ඊශ්‍රායල ගැති ජර්මානු පුවත්පත් වලට පවා පක්ෂග්‍රාහී චෝදනා කළ නොහකි ජාත්‍යන්තරව පිළිගත් නීතීඥයින් විසිනි, .

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඉල්ලා සිටීමට පෙර, ඛාන් විසින් ඒවා සමාලෝචනය කරවන ලද්දේ බහුවිධ සම්මානලාභී බ්‍රිතාන්‍ය නීතිවේදීන් සහ සුප්‍රසිද්ධ නීතිඥ අමල් ක්ලූනි මෙන්ම ඊශ්‍රායල පුරවැසියෙකු සහ කලින් වූ යුගෝස්ලාවියාව සඳහා ජාත්‍යන්තර විනිශ්චය සභාවේ හිටපු සභාපති වූ, යුදෙව් සමූලඝාතනයෙන් (Holocaust)  දිවි ගලවා ගත් තියඩෝර් මෙරොන් ඇතුළු විශේෂඥ මණ්ඩලයක් විසිනි. අන්තර්ජාලයෙන් ප්රවේශ විය හැකි විශේෂඥයන්ගේ වාර්තාව, විනාශකාරී හෙළිදරව් කිරීමක් වේ. 

2021 දී වසර නවයක් සඳහා අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකයා ලෙස තේරී පත් වූ බ්‍රිතාන්‍ය නීතිවේදී කරීම් ඛාන් ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශේෂඥයෙකු ලෙස සැලකේ. වෙනත් දේ අතර, ඔහු යුගෝස්ලාවියාව සහ රුවන්ඩාව සඳහා වන එක්සත් ජාතීන්ගේ අධිකරණවල නඩු පැවරීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර මෑතකදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙනුවෙන් ඉස්ලාමීය රාජ්‍යයේ (අයිඑස්) අපරාධ විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ මෙහෙයුමකට නායකත්වය දුන්නේය.

ඔවුන් ලියන්නේ, “’සිවිල් වැසියන් සාගින්නෙන් මැරීම යුද ක්‍රමයක් ලෙස හිතාමතාම භාවිතා කිරීමේ’ යුධ අපරාධය” මෙන්ම, ‘යුධ ක්‍රමයක් ලෙස සිවිල් වැසියන් සාගින්නේ තැබීමේ  භාවිතය හා සම්බන්ධ අපරාධ  සහ   වෙනත් විවිධ යුධ අපරාධ ‘ සම්බන්ධයෙන් අභිචෝදකයා නෙතන්යාහුට සහ ගැලන්ට්ට චෝදනා කරන බවයි.” ඔවුන් දිගටම පවසන පරිදි:

“මේවාට, ‘චේතනාන්විතව මහත් දුක් වේදනා ඇති කිරීම, හෝ ශරීරයට හෝ සෞඛ්‍යයට බරපතළ තුවාල සිදු කිරීම’ හෝ කෲර ලෙස සැලකීම, හිතාමතා ඝාතනය කිරීම හෝ මිනීමැරීම සහ සිවිල් ජනතාවට එරෙහිව හිතාමතාම ප්‍රහාර මෙහෙයවීම යන යුද අපරාධ ඇතුළත් වේ. යෝජිත චෝදනාවලට, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය ‌ ද්‍රව්‍ය ක්‍රමානුකූලව අහිමි කිරීම මගින් හෝ ඊට සම්බන්ධිතව වූ මරණ හා තුවාල සම්බන්ධයෙන්, මනුෂ්‍යත්වයට එරෙහි මිනීමැරුම්, සමූලඝාතන, වෙනත් අමානුෂික ක්‍රියා සහ හිංසා පීඩා ඇතුළත් වේ. ගාසා තීරයේ මහා පරිමාණ බෝම්බ හෙලීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇතුලු, චෝදනා එල්ලව ඇති වෙනත් අපරාධ, ක්‍රියාකාරීව විමර්ශනය කරමින් පවතින බවට වන අභිචෝදකයාගේ ප්‍රකාශය, මණ්ඩලය සටහන් කරයි.”

විශේෂඥයන් ඒකමතිකව නිගමනය කරන්නේ: 

කමිටුවේ මතය අනුව සැකකරුවන් මෙම අපරාධ සිදු කළ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු තිබේ. රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව ගාසා තීරයේ සිවිල් ජනතාවට එරෙහිව පුලුල්ව පැතිරුනු සහ ක්‍රමානුකූල ප්‍රහාරයක් එල්ල වූ සන්දර්භය තුළ අපරාධ සිදු කර ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බව ද මණ්ඩලය සලකයි.

මැයි 20 වන දින විශේෂඥයින් විසින් ඔවුන් අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකයාට සහාය දුන්නේ මන්දැයි පැහැදිලි කරමින් ඒකාබද්ධ ලිපියක් ෆිනෑන්ෂල් ටයිම්ස් හි ප්රකාශයට පත් කරන ලදී  . එහි දි ඔවුන් මෙසේ ලියති :

මාස ගණනාවක් තිස්සේ, අපි පුළුල් සමාලෝචන හා විශ්ලේෂණය කිරීමේ ක්රියාවලියක නිරත වී සිටිමු. විනිශ්චය වරෙන්තු සඳහා වන එක් එක් අයැදුම්පත්‍ අපි හොඳින් පරීක්‍ෂා කර ඇති අතර, ඒවාට සහාය දැක්වීම සඳහා පැමිණිල්ලේ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද කරුණු ද අපි හොඳින් පරීක්‍ෂා කර ඇත්තෙමු. මෙයට සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, විශේෂඥ සාක්ෂි, නිල සන්නිවේදනය, වීඩියෝ සහ ඡායාරූප ඇතුළත්ය. අද ප්‍රකාශයට පත් කරන ලද අපගේ නීති වාර්තාවේ, අභිචෝදකයාගේ කෘතිය දෘඩතර ද , සාධාරණ මෙන්ම නීතිය සහ කරුණු මත පදනම් වූ බවට අපි ඒකමතිකව එකඟ වෙමු. තවද ඔහු හඳුනා ගන්නා සැකකරුවන්, ICC බල ප්‍රදේශය තුළ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කර ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බව අපි ඒකමතිකව එකඟ වෙමු.

නෙතන්යාහු සහ ගැලන්ට් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට සමගාමීව කරීම් ඛාන් ඉල්ලා සිටි හමාස් නායකයින් තිදෙනෙකුට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සඳහාද විශේෂඥයින්  සහාය දක්වයි.

නෙතන්යාහු සහ ගැලන්ට් ට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සහ ජාත්‍යන්තර නීති විශේෂඥයින්ගේ ඉහළ මට්ටමේ මණ්ඩලයක් විසින් ඒ සදහා දැක්වූ ඒකමතික සහයෝගය විශාල සදාචාරාත්මක බරක් දරයි. එහෙත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෝ වෙනත් නීතිමය හෝ දේශපාලන ආයතනයක් විසින් ගාසා තීරයේ ජන සංහාරය සහ මහා බලවතුන්ගේ යුද ප්‍රතිපත්ති නතර කරනු ඇතැයි විශ්වාස කිරීම මිත්‍යාවක් වනු ඇත.

ඔවුන් තුන්වන ලෝක යුද්ධයක් සූදානම් කරන්නේ ධනේශ්වර පද්ධතියේ ගැඹුරු අර්බුදය – 1914 සහ 1939 දී මෙන් – ලෝකය ප්‍රචණ්ඩ ලෙස යලි බෙදීම සහ සියලු දේශපාලන හා සමාජ විරුද්ධත්වයන් මර්දනය කිරීම හැර වෙනත් මගක් ඔවුන්ට ඉතිරි නොකරන බැවිනි. වරෙන්තුවකින් හෝ අධිකරණ තීන්දුවකින් අධිරාජ්‍යවාදීන් පසුබට වන්නේ නැත.

ගාසා තීරයේ ජන සංහාරය, යුක්රේනයේ නේටෝ යුද්ධය සහ චීනයට එරෙහි යුද්ධය සඳහා සූදානම් වීම නැවැත්වීමට ඇති එකම මාර්ගය සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා වන අරගලය තුල ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම හා එක්සත් කිරීම යි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top