පලස්තීනු වාර්ගිකව ශුද්ධ කිරීම අඛණ්ඩව සිදු කෙරෙන අතර ඊශ්‍රායලය ලෙබනනය සමඟ සටන් උත්සන්න කරයි

තෝමස් ස්ක්‍රිප්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 20  දින පල වූ ‘As Israel escalates fighting with Lebanon, as ethnic cleansing of Palestinians continues’ යන තෝමස් ස්ක්‍රිප්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදණ්ඩ  විසිනි.

කලාපය [මැද පෙරදිග] තුල පුලුල් යුද්ධයක් සඳහා නෙතන්යාහු ආන්ඩුව බලපෑම් කරන අතරතුර , සති අන්තය පුරා සහ සඳුදා දක්වාමත්, ඊශ්‍රායල-ලෙබනන දේශසීමාව හරහා දරුණු වෙඩි හුවමාරුවක් සිදු විය. 

 “ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවේ වර්ධනය වෙමින් පවත්නා යුද උත්සන්න වීම  විශාල යුද්ධයක අවදානම ගෙන එයි” යන මාතෘකාවෙන් යුත් ලිපියක වොෂින්ටන් පෝස්ට් මෙසේ සටහන් කරයි:

 “ඊශ්‍රායල ජෙට් යානා, දේශසීමාවේ සිට සැතපුම් 12 ක් උතුරින් – එනම්, එකට එක කිරීම් වශයෙන් කෙරෙන වෙඩි තැබීම් ලෙස දෙපාර්ශවය විසින් භාර ගැනෙන සාම්ප්‍රදායික කලාපයට ඉතා ඔබ්බෙහි – පිහිටි නබාතීහ් නම් ලෙබනන් නගරයේ ඇලුමිනියම් කම්හලකට පහර දෙන අයුරු සෙනසුරාදා දැක ගත හැකි විය.”

“දෙපාර්ශ්වයම මාරාන්තික ආයුධ භාවිතා කිරීමට පටන් ගෙන ඇති” බව ලිපිය සඳහන් කරයි, ඊශ්‍රායලය “දැන් හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා නිතිපතා ප්‍රහාරක ජෙට් යානා යවයි; හිස්බුල්ලා සංවිධානය ඩ්‍රෝන යානා සහ බරින් වැඩි මිසයිල යොදවයි.”

Bordeer
2023 නොවැම්බර් 10 වැනි දින උතුරු ඊශ්‍රායලයෙන් පෙනෙන පරිදි ඊශ්‍රායල-ලෙබනන දේශසීමාවේ දුමාරය නැඟේ [ගොනුව: ඇලෙක්සැන්ඩර් එර්මොචෙන්කෝ/රොයිටර්]

පසුගිය සතියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශක ඩැනියෙල් හගාරි තර්ජනය කරමින් කියා සිටියේ, “මෙම නොසැලකිලිමත්කමේ සහ හමාස්- ISIS  හි ආරක්ෂකයා වීමට හිස්බුල්ලා සංවිධානය ගෙන ඇති තීරණයේ පිරිවැය ලෙබනනයේ පුරවැසියන් දරනු ඇති බවත්, උතුරේ ආරක්ෂක තත්ත්වය වෙනස් කිරීම සඳහා IDF මෙහෙයුම් සැලසුම් ඇති” බවත්ය 

සඳුදා උදෑසන ඊශ්‍රායලය තවත් ප්‍රකෝපකාරී ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. හිස්බුල්ලා සංවිධානය අරාබි අල්-අරම්ෂේ සහ බරාම් වෙත මෙන්ම බිරානිට් හමුදා කඳවුරට ද එරෙහිව ප්‍රතිප්‍රහාරාත්මකව වෙඩි තැබීය. බැරැක්කවලට දැඩි අලාභහානි සිදුවුවත් තුවාල සිදුවී නැත.

IDF කාලතුවක්කු, හෙලිකොප්ටර්, ප්‍රහාරක ජෙට් සහ ටැංකි සහ හිස්බුල්ලා මිසයිල සහ ඩ්‍රෝන යානා අතර තවදුරටත් වෙඩි හුවමාරු සිදු විය.

ඔක්තෝබර් 7 වැනිදා සිට ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් 74ක් ද ඇතුළුව 100කට ආසන්න පිරිසක් ද ඊශ්‍රායලයේ IDF සොල්දාදුවන් හය දෙනෙක්  ඇතුළුව නව දෙනෙක් ද මිය ගොස්  ඇත.

සිකුරාදා, බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩලය වන චැතම් හවුස් ප්‍රකාශයට පත් කළේ, “ඊශ්‍රායලය හමාස් විනාශ කිරීමට ළං වන තරමට, හිස්බුල්ලා සමඟ යුද්ධයක් සඳහා වැඩි ඉඩක් ඇති” බවයි. එය සඳහන් කලේ, “දේශසීමාව දිගේ ඇති ඊශ්‍රායල හමුදා ස්ථාන වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානයට වඩාත් ආක්‍රමණශීලී ලෙස දඬුවම් කිරීමට අවශ්‍ය, ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් ඇතුළු අය ඊශ්‍රායල ආන්ඩුව තුළ  සිටිති,” යන්නයි.

 මෙම චෝදනාව මෙහෙයවන ගැලන්ට්, හිස්බුල්ලා සංවිධානයට පූර්ව භංග ප්‍රහාරයක් එල්ල කිරීමේ  ඔහුගේ අභිලාෂය එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ට පැවසීය.  එය මේ වන තෙක් ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලයේ ඔහුගේ සගයන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. එහෙත්, “උතුරේ යුද්ධයක් නොවැළැක්විය හැකි බව විශ්වාස කරන” ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඔහුගේ මතය පුලුල්ව පැතිර පවතී.

පුලුල් යුද්ධයක් සඳහා ඊශ්‍රායලයේ සැලසුම් පිලිගනිමින් ගැලන්ට් ඉරිදා පැවසුවේ, “ඊශ්‍රායල රාජ්‍යයට එරෙහි සතුරුකමේ සහ ආක්‍රමණශීලීත්වයේ මූලය ඉරානයයි.  යුද්ධය බහු පෙරමුණු..” ස්වභාවයක් ගනී යන්නයි.

“ඉරානය, ඉරාකය සිරියාව හා යේමනය තුල ක්‍රියාත්මක වන සිය බළල් අත් ලෙස යොදා ගන්නා මිලීෂියාවන් මඟින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීමට ක්‍රියා කිරීමේ වර්ධනය වෙමින් පවත්නා ප්‍රවනතාවක් පසුගිය දිනවල ආරක්ෂක සංස්ථාපිතය  හඳුනාගෙන ඇත. අප ඒ පිළිබඳව විපරමින් කටයුතු කරමින් සිටින අතර, සුදුසු වේලාවට, සුදුසු ස්ථානයට සහ ඊට සුදුසු ශක්තියෙන් ක්‍රියා කළ යුතු ආකාරය අපි දැන ගන්නෙමු.”

යේමනය කලාපීය යුද්ධයක් පුපුරා යාමේ තවත් විභව ස්ථානයන්ගෙන් එකකි. ඉරිදා ඉරානය සමඟ පෙල ගැසුණු හවුති සටන්කාමීහු රටේ දකුණු වෙරළට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අල්ලා ගත්හ. ප්‍රකාශක යහියා සාරෙඉ නිවේදනය කළේ යාත්‍රාව “ඊශ්‍රායලයට අයත් වීම” නිසා එය ඉලක්ක කර තිබූ බවය. නමුත්, පසුව වාර්තා වූයේ එය එසේ නොවන බවයි. හවුති හමුදා පවසා ඇත්තේ “රතු මුහුදේ හෝ අපට ළඟා විය හැකි ඕනෑම ස්ථානයක ඊශ්‍රායල් යාත්‍රාවක් ඉලක්ක කිරීමට පසුබට නොවන” බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු “ඉරාන” ප්‍රහාරය ප්‍රකෝපකාරී ලෙස හෙළා දැක ඇත.  එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලය “ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීම” හෙළා දකිමින්, සිය සහචරයින් සමඟ “සුදුසු මීළඟ පියවර” ගන්නා බවට තර්ජනය කළේය.

එක්සත් ජනපදය දැනටමත් කලාපයේ සැලකිය යුතු නාවික හමුදා රඳවා ඇති අතර ඊශ්‍රායලයට එල්ල කරන ලද හූති මිසයිල සහ ඩ්‍රෝන යානා එමඟින් දෙවරක් වැලැක්වූ බව ප්‍රකාශ කරයි.

යුද්ධයේ විෂය පථය පුළුල් වන අතර, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පලස්තීනුවන් සමූල ඝාතනය කිරීම සහ වාර්ගිකව ශුද්ධ  කිරීම දිගටම කරගෙන යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ළමුන් 5,600 කට ආසන්න සංඛ්‍යාවක් සහ කාන්තාවන් 3,550 ක් ඇතුළුව 13,300 ක් මරා දමා ඇත.

රෝහල්, පාසල් සහ සරණගත කඳවුරු වෙත ප්‍රහාර අඛණ්ඩව සිදු වේ, අල් ජසීරා හි හනි මහමුද් මෙම ප්‍රහාරයන් පිළිබදව අදහස් දක්වමින් ,”මෙය මේ දැන් පෙනී යන්නේ ප්‍රවණතාවක් ලෙස ය” යනුවෙන් පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ඔක්තෝබර් 7 සිට එහි පාසල් ගොඩනැගිලිවල නවාතැන් ගනිමින් සිටියදී පුද්ගලයින් 176 දෙනෙකු ඝාතනය වී ඇති අතර, 800 ක් තුවාල ලබා ඇත.

නවතම අවධානය යොමු වී ඇත්තේ ගාසා තීරයේ උතුරු දෙසින් පිහිටි ඉන්දුනීසියානු රෝහලයි. ඉරිදා රාත්‍රියේ සිට සඳුදා උදෑසන දක්වා වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් රෝගීන් ඇතුළු 12 දෙනෙක් මිය ගිය අතර විසි ගණන් තුවාල ලැබූහ. සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවූයේ රෝගීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සියගණනක් සිවිල් ජීවිත “ඉන්දුනීසියානු රෝහලට සෘජු හා නැවත නැවතත් බෝම්බ හෙලීමේ ප්‍රතිඵලයක් ලෙස මරණයේ අවදානමට ලක්ව ඇති” බවයි. එහි පරිශ්‍රය යුධ ටැංකි මගින් වටකර ඇති අතර විදුලි ජනන යන්ත්‍රවලට බෝම්බ දැමීමෙන් හානි වීම දැනටමත් එක් විදුලිය ඇනහිටීමකට හේතු වී තිබේ.

ජබාලියා සහ නුසෙයිරාට් සරණාගත කඳවුරුවලට එරෙහිව තවත් ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී.

දැනටමත් ගාසා නගරය සහ උතුරේ වටපිටාව විනාශ කර ඇති ආකාරයටම දකුණු ගාසා තීරයේ ද මරණ හා විනාශයේ ඊට සමාන මට්ටම් ළගා කර ගැනීමට  සූදානම් වෙමින් පවතී. පසුගිය සතියේ, IDF විසින් දකුණු ගාසා තීරයේ විශාලතම නගරය වන ඛාන් යුනිස් හි පදිංචිකරුවන්ට පිටත්ව යන ලෙස දන්වනු ලැබ ඇත. උතුරෙන් පලා ආ ජනතාවත් සමග නගරයේ සාමාන්‍ය ජනගහනය මෙන් පස් ගුණයක ප්‍රමාණයක් එනම් ආසන්න වශයෙන් මිලියන 1 ක ජනතාවක් දැනට එහි නවාතැන් ගෙන සිටිති.

දකුනු තීරුවට එරෙහිව දැනටමත් ප්‍රහාර  දියත් කර ඇත – දළ වශයෙන් පලස්තීන මරණ වලින් තුනෙන් එකක් මෙම කලාපය තුල සිදු වී ඇත – නමුත් දැන් එය උත්සන්න කිරීමට සූදානම් වේ. ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු ප්‍රධානී ගිඕරා අයිලන්ඩ්, සැලසුම් කළ මෙහෙයුම් පිළිබඳව රොයිටර් පුවත් සේවයට පැවසුවේ, “බොහෝ විට සිවිල් වැසියන්ට හානි සිදුවනු ඇත. එය අපව ඉදිරියට යාමෙන් වළක්වන්නේ නැත. ” යන්නයි.

සඳුදා උදෑසන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් ඛාන් යුනිස් හි වයඹ දෙසින් පිහිටි හමාඩ් හි දුසිම් ගනනක් මිය ගිය අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන් ය. නගරයට නැගෙනහිරින් පිහිටි බානි සුහයිලා නගරයට වෙනම IDF වැටලීම් සිදු කරන ලදී.

ගාසා තීරයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් දැනටමත් අවතැන් වී ඇත. විශාල සංඛ්‍යාවක් ගාසා තීරයේ කුඩා අවකාශයන් තුළට පිරී ඉතිරී යන බැවින්, මානුෂීය තත්ත්වයන් වඩාත් නරක අතට හැරෙමින් තිබේ. යුරෝ-මෙඩිටරේනියන් හියුමන් රයිට් මොනිටර් (Euro-Mediterranean Human Rights Monitor) සංවිධානයට  අනුව, ළමුන්ගෙන් සියයට 90 ක් මන්දපෝෂණය, රක්තහීනතාවය සහ දුර්වල වූ ප්‍රතිශක්තිය වැනි සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳිති. IDF විසින් කෘෂිකාර්මික ඉඩම් සහ පරිශ්‍රයන් , පිටි ගබඩා (flour silos), ධීවර බෝට්ටු සහ එක්සත් ජාතීන්ගේ සහන මධ්‍යස්ථානවලට පහර දෙනු ලැබ ඇති බව එම සංවිධානය වාර්තා කළේය.

නොවැම්බර් 7 වැනිදා සිට එක බේකරියක්වත් ක්‍රියාත්මක වී නොමැත.  බේකරි 11ක් විනාශ වී ඇති අතර අනෙක් ඒවාට පිටි, ඉන්ධන සහ විදුලිය හිඟය බල පා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, පාචනය රෝගීන් 44,000 ක් සහ උග්‍ර ශ්වසන ආසාදන 70,000 ක් එක්සත් ජාතීන්ගේ නවාතැන් වල ලියාපදිංචි වී ඇත – එය සැබෑ  සංඛ්‍යාවෙන් සුළු කොටසකි.

ගාසාවේ පදිංචි රෙනාඩ් අල්-හෙලූ , අල්-මොනිටර් පුවත් සේවය වෙත පැවසුවේ, “එය යුගාවසාන විනාශය  වැනිය. අප හෙම්බත් වී ඇත. ජලය, ආහාර නැත. … ගාසාවේ කිසිවක් ඉතිරිව නැත. ඇත්තේ විනාශය, දුක් වේදනා සහ වධහිංසා පමණි.”

IDF සහචරයින් වන ෆැසිස්ට් පදිංචිකරුවන්ගේ  සහාය ඇතිව, IDF බටහිර ඉවුරේ ප්‍රහාරය ද උත්සන්න කරමින් සිටී. ඔක්තෝබර් 7 වැනිදා සිට පලස්තීනුවන් 200ක් පමණ එහි මරා දමා ඇත – මෙම සංඛ්‍යාව එකතු වී ඇත්තේ 2023 වසරේ මීට ඉහත දී මරා දැමූ 250 ටය – ප්‍රචණ්ඩත්වය හෝ මර්දනකාරී සීමා කිරීම්  නිසා අවතැන් වූ පිරිස ළමුන් 450ක් ඇතුළුව 1,000කට වැඩි ය; ජන ප්‍රජාවන් හයක් සම්පූර්ණයෙන්ම එම පෙදෙස් අතහැර දමා ඇති අතර, එමගින් මේ වසර තුල එසේ ඉවත් වූ මුළු සංඛ්‍යාව 11 දක්වා වැඩි වී ඇත. පදිංචිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය දිනකට තුනේ සිට හත දක්වා දෙගුණයකටත් වඩා වැඩි තිබේ.

IDF විසින් මුළු ප්‍රජාවම වටලනු ලැබ ඇත. තුවක්කු එල්ල කර පලස්තීනුවන් බොහෝ දුරට තම නිවෙස්වලට සීමා කරමින්, හෙබ්‍රොන්හි, පලස්තීනුවන් 39,000ක් වෙසෙන සහ ඊශ්‍රායල පදිංචිකරුවන් 900ක් විසින් අල්ලාගෙන සිටින H2 දිස්ත්‍රික්කය, වසර 20ක් තුළ එහි දරුණුතම අගුලු දැමීමට ලක්කර ඇත.  රමල්ලා අසල බුඩ්රුස්හි මුස්ලිම් පල්ලියක යාඥා කරමින් සිටි සභාවකට ස්ටන් ග්‍රෙනේඩයක්  වීසි කළ සොල්දාදුවෙකුගේ වැඩ තහනම් කරනු ලැබුවේ ප්‍රහාරයේ වීඩියෝ දර්ශන මතුවීමෙන් පසුව පමණි. 

සිරකරුවන්ගේ කටයුතු පිළිබඳ පලස්තීන අධිකාරියට අනුව, ඔක්තෝබර් 7 වැනිදා සිට, දළ වශයෙන් 2,800 පලස්තීනුවන් බටහිර ඉවුරේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ළමයින් 300 ක් සහ කාන්තාවන් 72 ක් ඇතුළුව අත්අඩංගුවේ සිටින මුළු සංඛ්‍යාව 7,800 දක්වා ඉහළ ගොස් ඇත. මෑත සතිවල අත්අඩංගුවේ සිටියදී අවම වශයෙන් හතර දෙනෙකු මිය ගොස් ඇති අතර සිය ගණනක් වධහිංසා පැමිණවීම් පිළිබඳ වෛද්‍ය සාක්ෂි දරන බව සංවිධානය වාර්තා කරයි

හෙබ්‍රොන් හි වෙස්මුහුණු පැලැදි IDF සොල්දාදුවන් විසින්  අත්අඩංගුවට ගැනීමක් සිදු කරද්දී, පලස්තීන ජාතිකයෙකුට ඔහුගේ පවුලේ අය ඉදිරියේ ඔවුන්ගේ රයිෆල්වලින් පහර දෙමින් හා ඒ අතරතුර එය TikTok හි එසැන විකාශනය කළ ආකාරය පෙන්නුම් කරන, මෙම මස මුලදී පල වූ වීඩියෝවක් රොයිටර් විසින් සත්‍යාපනය කර ඇත.

හමුදා වැටලීම් උත්සන්න වෙමින් පවතී . සෙනසුරාදා,දෙවන ඉන්ටිෆාඩාවෙන් පසු පළමු වතාවට ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානයක් නාබ්ලුස්  හි ඉලක්කයකට පහර දුන් අතර, ඉන්  පුද්ගලයින් පස් දෙනෙක් මිය ගියෝය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top