ප්‍රහසන ශිල්පිනී නතාෂා නිදහස් කරගැනීමේ උද්ඝෝෂනයට කලාකරුවෝ සහාය පල කරති

අපේ වාර්තාකරු

පසුගිය අප්‍රේල් 01දින කොලඹදී  පැවැත්වුන ප්‍රහසන වැඩසටහනකදී ශිල්පිනී නතාෂා එදිරිසූරිය කරන ලද ප්‍රකාශයක් විකෘති කර බුද්ධාගමට හා සිදුහත් චරිතයට අපහාස කලේ යැයි චෝදනා නගා ශ්‍රි ලංකා ආන්ඩුවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඇය මැයි 28 දින අත්අඩංගුවට ගෙන අධිකරනයට පමුනුවා ජුනි 07දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. 

ප්‍රකාශනයේ හා කලාවේ නිදහසට එරෙහිව හා නිදහස් අදහස්  මැඩීමට බෞද්ධ වර්ගවාදීන් හා සිංහල ස්වෝතතමවාදීන් ගෙනයන ප්‍රතිගාමී ව්‍යාපාරය ඩැහැනිමින් ධනපති ආන්ඩු  එල්ල කරම්න් ඇති අනවරත ප්‍රහාරයේ මෑතම ගොදුර බවට නතාෂා හා Stand-up ප්‍රහසන  කලාව පත්ව ඇත. 

කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් ජුනි 01දා නිකුත් කල ප්‍රකාශයේ ඇය නිදහස් කර ගැනීම සඳහා කම්කරුවන් පෙරමුනගත් උද්ඝෝෂනයකට එක්වන ලෙස කලාකරුවන්,  ගොවියන්, පීඩිතයන් හා තරුනයන් වෙතින් ඉල්ලා සිටියේය. 

මෙම කැඳවුමට ප්‍රතිචාර වශයෙන් කලාකරුවෝ අප වෙත ප්‍රකාශ එවා ඇත. මාලක දේවප්‍රිය, ශක්තික සත්කුමාර, යනූෂා ලක්මාලි හා බර්තොලමියොස් විමලරත්න යන කලාකරුවන් එවන ලද ප්‍රකාශ පහත පල කෙරේ.

මෙම උද්ඝෝෂනය පෙරට ගැනීම සඳහා ඔබගේ විරෝධතා ප්‍රකාශය ද ‘ද සෝෂලිස්ට්‘ වෙත එවන්න.

***

මාලක දේවප්‍රිය

චිත්‍රපට අධ්‍යක්ෂක හා රේඩියෝ කතා රචක.

දේවප්‍රිය

කාලකරුවන්ට සංස්කෘතියට අනුගතව නිර්මාන කිරීමේ තහංචියක් හෝ නීති පනවන්න බැහැ.  එහෙම වුනා නම් ලෝකයේ කිසිම උසස් කලාත්මක නිර්මානයක් බිහිවෙන්නෙ නෑ. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, ඩාරියෝ පෝ වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් බිහිවෙන්නෙ නෑ. ලෝකයේ කිසිදු දෙයක් පරම ශුද්ධ වස්තූන් නොවෙයි. ඒ සෑම දෙයක්ම විවේචනයට, විචාරයට, අභියෝගයට, උපහාසයට, හාස්‍යයට ලක්කරන්න පුලුවන් කියන එක වෙනුවෙන් මම කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. එවන් ප්‍රකාශනයක් කෝලම් නාට්‍යයක්, වේදිකා නාට්‍යයක්, චිත්‍රපටයක්, කවියක් හෝ ප්‍රසනයක් හරහා වෙන්න පුලුවන්. අවශ්‍ය වෙන්නෙ  ඒවායේ අදහස් හා පඨිත චිචාරශීලීව සාකච්චා කිරීමේ නිදහස් අවකාශයක් පැවතීමයි.

මම නතාෂා පිළිබඳව හෝ ඇයගේ දේශපාලනය හෝ කලාත්මක භාවිතාව හෝ කලාව පිළිබඳව වශේෂයෙන් අධ්‍යයනය කර නැහැ. නමුත්, මේ ප්‍රශ්නගත ප්‍රහසන වැඩසටහන සම්පූර්නයෙන්ම බැලුවා. ඇයගේ එම ඉදිරිපත් කිරීම තුළ කිසිදු ආගමකට, ජාතියකට කිසිදු අපහාසයක්, හානියක් කරල නෑ කියල ස්ථිරවම කියන්න පුලුවන්. ඇයගේ  උපහාසය යොමු වෙන්නෙ ලංකාවෙ වර්තමාන සමාජ⁣යෙ ප්‍රචලිත ප්‍රතිගාමී අදහස් වලට එරෙහිව බව යම් අදහසක් ගන්න පුළුවන්. ඒ අදහස් දරන්න, ඒක උපහාසාතමකව ඉදිරිපත් කරන්න ඇයට අයිතියක් තියෙනවා. 

යමෙක්  ප්‍රකාශ කරන  අදහස් දැක්වීමක්, අභියෝගයක්, උපහාසයක්, විවේචනක් නිසා, ඒක  සමාජය තුළ සංවාදයට, ප්‍රතිවාදයට නැතිනම් ප්‍රතිඋත්තරට ලක් කරන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අවකාශයට ඉඩ සලසන්නෙ නැතිව, ඔහුව හෝ ඇයව නීතියෙ අඬු පාවිච්චි කරල සිරගත කිරීම කිසිදු ඉදිරිගාමී සමාජයක ලක්ෂණයක් නොවෙයි. වැඩවසම් අඳුරු යුගවල අපි අත්දැක තියෙන්නෙ ඒ වගෙ ප්‍රතිගාමීත්වයන්.

මෙවැනි  සිරගත කිරීමේ ව්‍යාපෘති දියත් කරලා, කලාවේත්, භාෂනයේත් නිදහස මැඩීමට, මිත්‍යාව තහවරු කිරීමට දැන් ඉදිරියට පැනල ඉන්නෙ කුප්‍රකට වර්ගවාදියො, ගෝත්‍රවාදියො. මොවුන් වැඩකරන්නෙ පටු පාලක පන්තියෙ දේශපාලන අවශ්‍යතාවයන්  වෙනුවෙන්. 

මෙවැනි ප්‍රාථමික කූඨ ව්‍යාපෘති අපි පරාජය කළ යුතුයි. අයිසීසීපීආර් පනතයි, දන්ඩ නිති සංග්‍රයයි පාවිච්චි කරල මිනිස්සු දඩයම් කිරීම  අවසන් කල යුතුයි. නතාෂා නිදහස් කරගැනීම සඳහා ඉදිරියට එන ලෙස සියලු කලාකරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා.

***

ලේඛක ශක්තික සත්කුමාර 

[සත්කුමාර කවි, කොටිකතා හා ශාස්ත්‍රීය පොත් ගනනාවක් ලියා පලකර ඇති සම්මානිත ලේඛකයෙකි. ඔහු ලියූ ‘අර්ධ’ නම් කෙටි කතාව බුද්ධ චරිතයට අපහාස කරන්නේයැයි චෝදනා කරමින් බෞද්ධ වර්ගවාදී නඩ විසින් කරන ලද පැමිනිල්ලකට අනුව 2019 අප්‍රෙල් 01 දින පොල්ගහවෙල පොලීසිය අයිසීසීපීආර් පනත ඔහුව යටතේ අත්අඩංගුවට ගෙන දින 130ක් බන්ධනාගාරගතව තබන ලදී. සමාජවාදී සමානතා පක්ෂය, කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව ආරම්භ කරන ලද උද්ඝෝෂනය හමුවේ ලැබුනු පුලුල් ⁣මහජන සහයෝගය මධ්‍යයේ පසුව ආන්ඩුව සත්කුමාරට එරෙහි චෝදනා හකුලා ගත් අතර ඔහු නඩුවෙන් නිදහස් කරනු ලැබිනි. ඉහත කී පනත යටතේ මර්දනයට ලක්ව සිරගත කෙරුනු පලමු කලාකරුවා සත්කුමාර වේ.]

යමෙකු ගේ කලා භාවිතය හේතුවක් කරගනිමින් ඔහු හෝ ඇය හෝ අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම එකගවිය  නොහැකි කරුණකි.ජනප්‍රිය ප්‍රහසන රංග ශිල්පීනී ජයනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මෙරට භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට වැදුණු මරු පහරකි.මෙයට විරුද්ධව සියලුම නිර්මාණ කරුවන් මෙන්ම කම්කරු මහජනතාවද නැගී සිටිය යුතුය.

නිර්මාණ කරුවෙකු ගේ පරිකල්පන යට සීමා පැනවීම විහිලුවකි.නිර්මාණ කරුවන්ලෙස අපි සියලුම දර්ශන ,ආගම්,ආගමික සාහිත්‍යය විවිධ තලවල තබා විග්‍රහ කරමු .එසේ ඉදිරිපත් කරන මතවාද සමාජය භාර නොගන්නේනම් ඒවා පරාජය කළ යුත්තේ තවත් මතවාදයකින් පමනි.

මතයක් ⁣,මතයකින්ම පරාජය නොකර ඒ් වෙනුවට මතය ඉදිරිපත් කළ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීම මගින් රාජ්‍ය මර්දනයේ තරම අපට පෙන්වයි.

***

ලේඛිකා යනූෂා ලක්මාලි

[නවකතා, කෙටි කතා කවි පොත් ගනනාවක් ලියා පලකර ඇති ඇය සම්මානිත ලේඛිකාවකි.  ඇය ගීත රචනයේද නිරත වේ. යනූෂා ලේඛක සත්කුමාරගේ ආදරනීය බිරිඳයි]

යනූෂා, සත්කුමාර 

නිර්මාණයක් කිරීම නිසා ලංකාවේ මුලින්ම සිරගතවීමට සිදුවන්නේ ශක්තික සත්කුමාරට. එසේම ICCPR පනතින් මුලින්ම අත්අඩංගුවට ගන්නෙත් ඔහුයි. ඔහුගේ බිරිය වශයෙන් ඒ අවස්ථාවේ දී මම විශාල පීඩනයකට පත් වුණා. නමුත් අප යුක්තිය උදෙසා සටන් කළා. බොහෝ පිරිසක් එදා අප සමග සිට ගත්තා. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අපේ මූලික අයිතිවාසිකමක්.ඒ වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි.

නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම අප හෙලා දකිනවා.ඇයගේ භාෂණයේ නිදහස වෙනුවෙන් ක⁣ලාකරුවන් සහ සියලුම මහජනතාව පෙරට පැමිණිය යුතුය.

***

චිත්‍ර ශිල්පි බර්තොලමියොස් විමලරත්න 

[විමලරත්න  ප්‍රවීන චිත්‍ර ශිල්පියෙකි.  ඔහු සිය ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වුයේ 1973 දී ය. මහජන බැංකුවේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කල ඔහු චිත්‍ර කලාව වෙනුවෙන්  විශ්‍රාම වයසට වසර පහක් තිබිය දී විශ්‍රාම ගත්තේ ය. එකල ට්‍රෙට්ස්කිවාදී දේශපාලනය ඔහුව පෝෂනය කලේය]

විමලරත්න

ධනපති දේශපාලන සංස්කෘතිය මරණාසන්න වනවිට එයට එරෙහිව හඬ නගන කලාකරුවන් මර්දනය කර දඩයම් කිරිම ඉතිහාසය පුරාම සිදුවේ. යුරෝපයේ මෙන්ම ශ්‍රිලංකාවේ ද මෙය අඛණ්ඩව සිදුවෙමින් පවතී. අපි පාසල් යන අවදියේ ගුණදාස අමරසේකරගේ “යලි උපන්නෙමි” නවකතාවට එරෙහිව නැගුනු ආගමික සහ ව්‍යාජ සංස්කෘතික රැල්ල අපට අමතක කල නොහැක. කලාකරුවා සිය නිර්මාණ කරණයේදී ව්‍යාජ සංස්කෘතික සහ ආගමික මතවාදවලින් බැහැරව තම සංකල්ප (Conceptions) ස්වාදීනව ඉදිරිපත් කරයි. එයට එරෙහි වීමට හෝ වැටකඩොලු බැඳීමට කිසිවෙකුටත් අයිතියක් නැත.

නතාෂා ගේ දේශපාලන දැක්ම කුමක්වුවත් ඇයට ව්‍යාජ සංස්කෘතික හා ආගමික කඩතුරාවට එරෙහිව තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අපි පිළිගනිමු. ඇයගේ ප්‍රකාශයන් මත  ඇය දඩයම් කිරීම පමණක් නොව මුළු සමාජයම ආගමික සහ ව්‍යාජ සංස්කෘතික කැළඹීමකට පත්කර එමගින් සමස්ත කලාකරුවන්ම දඩයම් කිරීමට රජය පිඹුරුපත් සකස්කරමින් සිටිනු පෙනේ. එයට එරෙහිව සියළුම කලාකරුවන් පෙළගැසිය යුතුය.

පඬිවරුන් හා කලාකරුවන්ට තම කර්තව්‍යයන් කරගෙන යන්නට පුළුවන් වන්නේ බැහැරින් පැටවුණු සියලු සීමා බන්දනයන්ගෙන් තොරවූ මිත්‍රශීලි සහයෝගිතා පදනම මත පමණි. මෙතතු යටතේ බිහිකෙරෙන නිර්මාණයෝ වනාහි ඉතිහාසයේ කිසිකලෙක නොවූවිරූ ආකාරයෙන් චිරස්ථායි වන්නාහුය.

එදා අන්ඩ්‍රේ බ්‍රෙටන්, ඩියොගො රිවෙරා ඉදිරිපත් කල සටන්පාට අද පෙරට ගත යුතුව තිබේ: විප්ලවය උදෙසා කලාවේ ස්වාධීනතාවය! කලාවේ පූර්න නිදහස සදහා විප්ලවය!

කලාවට එරෙහි අධිකාරී බලයක් එපා! අණ පැනවීමක් එපා! ඉහලින් එන අණක චායාමාත්‍රයක්වත් එපා!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top