පෙට්‍රෝලියම් වෘත්තීය සමිති සේවය කරන්නේ කාටද? තෙල් කම්කරුවන්ට එරෙහි රාජ්‍ය මර්දනය හා තීව්‍ර කෙරෙන පන්ති යුද්ධයේ ඇඟවුම් – 02 කොටස

කොලඹ ක්‍රියාකාරී කමිටුව

නන්දන නන්නෙත්ති විසිනි 

Image
පෙට්‍රෝලියම් කම්කරුවන්ගේ උද්ඝෝෂනයක් 2022 අගෝස්තු 22

රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය කිරීමේ කඩිනම් වැඩ පිලිවෙල යටතේ, ආරම්භක පියවර ලෙස, ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලිකරනය නො වැලැක් විය හැකි අවශ්‍යතාවක් බව ආන්ඩුව අවධාරනයෙන් කියා සිටී.  කම්කරුවෝ සිය රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමේ සක්‍ය වැඩ පිලිවෙලක් නැතිකමින් පීඩාවට හා වෙහසට පත්ව සිටිති. 

වෘත්තීය සමිති, මෑත මිල වැඩි කීරීම්වලින් පසු සංස්ථාව ලාභ ලැබීම, ඉදිරියේ දී තවත් ලාභ ලැබීමට එයට ඇති හැකියාව, විදේශ විනිමය උපයන මාර්ගයක් වීම හා ජාතික ආරක්ෂාවට සිදු විය හැකි බලපෑම වැනි කරුනු පෞද්ගලීකරනයේ අවාසි බව පෙන්වා දෙමින් ආන්ඩුවේ තීන්දුවට විරුද්ධ වී ඇත. 

එල්ටීටී ඊ සමග ගෙන ගිය යුද්ධයේ දී හමුදාවට තෙල් සපයමින්, තෙල් සංස්ථාව කල සේවය පෞද්ගලික සමාගම්වලින් අපේක්ෂා නො කල හැකි බව වැනි කරුනු සමිති නායකයන් විසින් මේ මොහොතේත් ගෙන හැර පානු ලබමින් සිටී. ඒ අර්ථයෙන් ගත් කල කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ අරගල ලෙයින් සහ යකඩින් මැඩීමට පොලිසියට හා හමුදාවට තෙල් සැපයීමත් ‘ජාතික ආරක්ෂාවට’ අදාල වැදගත් කටයුත්තක් ලෙස සලකා තෙල් වෘත්තීය සමිති වැඩ කර ඇත! සහනාධාර ඇතුලු ප්‍රතිසංස්කරන දිනා ගැනීමේ සිට සහනාධාර කප්පාදු කිරීමේ විවෘත ධනපති ඒජන්සි බවට වෘත්තීය සමිතිවල පරිවර්තනය තේරුම් ගැනීමට තවත් නිදසුන් අවශ්‍ය නැති තරම් ය.  

පෙර මෙන් වැඩ කරන ජනයාගේ උද්ඝෝෂන දරා සිටීමට ආන්ඩුවට හැකියාවක් නැත. ඒ වෙනුවට දැන් ක්‍රියාවට දමන කම්කරුවන්ට එරෙහි මරදනයට විවෘතවම බද්ධ වීම සමිති නායකයන්ගෙන් ආන්ඩුව අපේක්ෂා කරන සේවය යි. තෙල් සමිති නායකයන් 4 දෙනෙකු සමග නල පද්ධතියට අලාභහානි සිදු කිරීමට තැත් කිරීම වැනි බොරු චෝදනා මත තවත් 15 දෙනෙකු අනිවාර්ය නිවාඩු යවා සේවා ස්ථනයට ඇතුලු වීම තහනම් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් මගින් ආන්ඩුව නිකුත් කර ඇත්තේ එම නිවේදනයයි. සමතයක් සදහා මාර්තු 31 දින හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ නිල නිවසට බඩ ගෑම මගින් සමිති නායකයෝ තමන් රඳා පවතින්නේ කවර පන්තියක් මත ද යන්න නැවතත් තහවරු කලහ.  

මාර්තු 27 පිරවුම්හල් පෞද්ගලික සමාගම්වලට පැවරීමේ කැබිනට් පත්‍රිකාව සම්මත කරන මොහොතේත් වෘත්තීය සමිති නායකයන් සිටියේ තෙල් සංස්ථාව විකිනීමට ‘එරෙහි’  ඊනියා උපවාසයක හෝ සත්‍යග්‍රහයක නියැලීගෙන ය. මේ විකාරයට කම්කරුවෝ සහභාගී නො වූහ. සමිති නායකයන් සදහන් කලේ තමන් හිතා මතාම කම්කරුවන් සහභාගී කර නො ගත් බව ය. මෙයින් අංශ දෙකක් හෙලි විය. පලමුවැන්න කම්කරුවන් අරගලයෙන් ඉවත තබා ප්‍රශ්නය තමන් අතේ රදවාගෙන නිර්බාධිතව ඉදිරියට යෑමට ආන්ඩුවට අවස්ථාව ලබා දීම ය. අනෙක් අතට, අලුත් වටයකින් ආන්ඩුව ගෙන ආ පුද්ගලීකරන වැඩපිලිවෙලට වෘත්තීය සමිති නායකත්වය දැක්වූ විරෝධයේ ඇති ව්‍යාජත්වය හොඳින් දන්නා  කම්කරුවන් මෙම නිෂ්ඵල ක්‍රියාවට සහභාගී වීම ඒ වන විටත් ප්‍රතික්ෂෙප කර තිබිනි. 

ආන්ඩුව මෙවන් වෘත්තීය සමිතිවල කටයුතු මතින් ලද අවසරයෙන් සිය සූදානම තර කරගෙන පසු දින ම තෙල් කම්කරුවන්ට එරෙහිව කඩා පැන්නේ ය. සමිති නායකයන් හා සේවකයන් පිරිසකට වැඩපලට ඇතුලු වීම පවා තහනම් කර පොලීසිය හා හමුදාව පෙල ගස්වා, සීරුවෙන් තබාගෙන කම්කරුවන්ගෙන් වැඩ ගැනීමට ආන්ඩුවට හැකි වූයේ කුමන බලවේගයක් නිසා ද? කම්කරුවන්ට මෙය දරා සිටිය හැකි ද?  මේ ප්‍රශ්නවලට පිලිතුරු ලභා ගැනීම සදහා අපි තෙල් වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වයේ ඉතිහාසය විමසා බැලිය යුතු ය.  

2003 වසරේ, ඒ වන විට වසර 40ක් සංස්ථාව සතුව පැවති ත්‍රිකුනාමලේ තෙල් ටැංකිවලින් 14ක් ලංකා අයිඔසී සමාගමට (LIOC) පවරන ලදී. ඉතිරි ටැංකි 85න් සංස්ථාවේ පූර්න හිමිකම ලෙස තබා ගත්තේ 24ක් පමනි. වැඩි ප්‍රමානය සංස්ථාව ඇතුලත් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යයි. තවත් අවුරුදු 20ක් ගෙවී ගියත් වෘත්තීය සමිතිවලට හෝ “දේශිය සම්පත් රැක ගැනීමේ” ජාතිකවාදී ව්‍යාපාර කිසිවකට එම පියවරයන් නතර කිරීමට හෝ ඒවා ආපසු හැරවීමට නො හැකි වූ බව ඔප්පු වී ඇත. වසරක් පාසා එකින් එක, පියවරින් පියවර ප්‍රද්ගලීකරනය සම්පූර්න කිරිම දෙසට ආන්ඩුව සමීප වූයේ ය. ඒ සෑම පියවරක දී ම සමිති අහිමි වූ දේ අමතක කිරීමට කම්කරුවන් මෙහයවීමේ වග කීමට උර දුන්නා පමනක් නො ව, ඉතිරියට එල්ල වන ප්‍රහාරවලට එරෙහි ප්‍රතිරෝධය දිය කර, වත්මන් ප්‍රහාර මාලාවට කම්කරුවන් ගොදුරු කලේ ය.  සමිතිමත් මැදිහත් වී කම්කරු පන්තියේ සටන් මගින් දිනා ගත් සහනාධාර අහෝසි කිරීමට පාලක පන්තිය හා පෙලගැසීම දැන් ඒවායේ කටයුත්ත වී ඇත.      

කොරෝනා වසංගතයත් සමග ආර්ථික අර්බුදය පුපුර ඉස්මත්තට පැමිනීම සමග ආන්ඩුවට දශක ගනනක් කල් පමා කල පෞදුගලීකරන පිලිවෙත් තව දුරටත් යටපත් කීරීමට නුපුලුවන් විය. බහු ජාතික සමාගම් අතට පත් වුවහොත් තෙල් මිල ඉතා ඉහල දැමීම සිදු කරන බැවින් සංස්ථාව පාඩු පිට පවත්වාගෙන ගිය ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් සහනාධාර අහෝසි කර මිල ගනන් ඉහල දමා හෝ පිරිපහදුව පවත්වාගත යුතු ය යි වානිජ හා කර්මාන්ත සේවා ප්‍රගතිශීලී සංගමයේ (ඛනිජ තෙල් ශාඛාව) සභාපති බන්දුල සමන් කුමාර යොජනා කලේ 2021 දී ය (ලංකාදීප, 2021 නොවැම්බර 15). වෘත්තීය සමිත්මත් මැදිහත් වී කම්කරු පන්ති සටන් මගින් එක් කලෙක දිනා ගැනුනු සහනාධාර අහෝසි කිරීමට වෘත්තීය සමිති ම මැදිහත් වීම මගින් පිලිබිඹුවූයේ පන්ති අරගලයේ රූපවල තීරනාත්මක පරිවර්තනයක අවශ්‍යතාවය මතුව ඇති බව ය.   

2022 අගෝස්තු 12 දින 2002 ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවධාන) පනත සංශෝධනය සදහා වූ කෙටුම්පත ගැසට් කලේ වත්මන් පුද්ගලීකරන වැඩපිලිවෙලේ තීරනාත්මක ඉදිරි පියවරක් ලෙස ය. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊට එරෙහි පැන නැගි කම්කරුවන්ගේ විරෝධතා “අමාත්‍යංශය දැනුවත් කිරීම” සදහා යවන ලිපිවලට, ධනපති උසාවියට හා දේවාලවලට කන්නලව්කිරීම වෙත හරවා යවන ලද්දේ ය. 

සැප්තැම්බර් 20 දින මුන්නේස්වරම් කෝවිලට හා සීනිගම දේවාලයට කන්නලව්වකට සහභාගී වූ සමිති එකමුතුවේ සාමාජකයෙකු වන, ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයෙන් මෙහෙයවන ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති, අශෝක රංවල, මේ කන්නලව්ව ගැන වාර්තා කල, ලංකාදීප පුවත්පතට මෙසේ ප්‍රකාශ කර තිබිනි: “අපේ රටට සම්පතක් වෙලා තිබුනු ඛනිජ තෙල් සංස්ථාව විනාශ කරන්න මේ වන විට පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. මේ පිලිබද වග කිව යුතු අංශ දැනුවත් කරමින් කියා සිටියා, කරන්න යන වැඩේ නො කල යුතු බව.” කෙසේ වෙතත් මුන්නේස්වරමේ සහ සීනිගම වැඩ වසන දෙවිවරු දැනුවත් වී නැති හැඩ ය. අමු ම අමු වංචාවකි! “සංස්ථාව විනාශ කරන්න මේ වන විට පිරිසක් උත්සාහ කරමින් සිටිනවා” යි රන්වල කම්කරුවන්ගේ ඇස් ඉලක්කයෙන් ඉවත හරවන්නේ ය. නමුත් සංස්ථාව හා එහි කම්කරුවන් ගොදුරු වන්නේ ධනවාදයේ ගැඹුරු වන අර්බුදයට ය. 

Image
අශෝක රංවල

කෙසේ වෙතත් අමාත්‍යංශය තමන් දැනුවත් කිරීමට ප්‍රතිචාර දැක් වූයේ අත්‍යවශ්‍ය සේවා පනත යටතේ ඛනිජ තෙල් සේවකයන්ට රැකියා ස්ථානය තුල රැසවීමට ඇති අයිතිය අහිමි කරන චක්‍රලේඛයක් නිකුත් කරමිනි. රාජකාරියට බාධා කිරීම ලෙස කම්කරු විරෝධතා නම් කල එම චක්‍ර ලේඛය මගින් හදිසි රැස්වීම් විසිර වීමට ආරක්ෂක අංශයට බලය පවරා අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට කැඳවන ලදී.

එම ඔක්තෝම්බර් 18, තාක්ෂනික සේවකයෝ, ලිපිකරු, ඉන්ජිනේරු යනාදී සංස්ථාවේ සෑම අංශයකම සේවකයෝ, අත්‍යවශ්‍ය සේවා  නියෝග නො තකා, ඒකාබද්ධ වැඩ වර්ජනයක් ඇරඹූහ. සමිති එකමුතුව එදින දහවල් 12ට එය අවසන් කල අතර ආන්ඩුව ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධවිධාන) පනත එදින ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේ ය. ඉන්ධන ආනයන හා බෙදා හැරීම සදහා ඒ වන විට බලපත්‍ර හිමිව සිටි තෙල් සංස්ථාව සහ ඉන්දියානු සමාගමට අමතරව වෙනත් පාර්ශව සදහා ඉදිරියේ දී බලපත් නිකුත් කරන බව ඇමති කියා සිටියේ ය.

බලශක්ති ඇමති විජේසේකර 2023 මාර්තු 14 දින වෘත්තීය සමිති කැදවා තෙල් සංස්ථාව කොටස් වශයෙන් පෞද්ගලික සමාගම්වලට පවරන බව නිවේදනය කලේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙකු වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛා සභාපති ජගත් විජයගුනරත්න සදහන් කලේ ඇමති විජේසේකර විසින් සාකච්චා ඉල්ලා වෘත්තීය සමිති කල ආයාචනා මාස 8ක් තිස්සේ ම කුනු කූඩයට දමන ලද බව ය. 14 දා හමුවේ දී  කවුරු විරුද්ධ වුනත් සමාගම්වලට පවරන එක කරනවා යි ඇමති විජේසේකර වෘත්තීය සමිති නායකයන්ට තර්ජනය කර ඇත. 

“දැං අපි සේවකයන්ට දෙන උත්තරේ මොකක් ද? ඒ නිසා තමයි වෘත්තීය සමිති එකතු වෙලා මේකට මොකක් හරි කරන්න ඕන නිසා සත්‍යක්ග්‍රහයක් ආරම්භ කලේ” අප්‍රේල් 4 සිරස “සටන” වැඩ සටහනට සහභාගි වූ විජයගුනරත්න තව දුරටත් සදහන් කලේ ය. 

එම සාකච්චාවේ දී, සමගි ජන බලවේගයේ ප්‍රධනියෙකු වන, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැදවුම්කරු හා සභාපති ආනන්ද පාලිත  වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ආරම්භ කලේ “ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකය පිලිබද ප්‍රශ්නයට හැකි පමනින් දායක වීම සදහා ය.” අද ජාතික ආර්ථිකයේ ආරක්ෂාව යනු අන් කිසිවක් නො ව පෞද්ගලීකරනය ම ය. 

කෙසේ වුවත් ඔහු සාකාචඡාවේදී වැදගත් තිත්ත සත්‍යයක් හෙලි කලේ ය. ඒ තම තමන්ගේ පක්ෂ ආන්ඩු කරන කාලවල දී, තෙල් සංස්ථාව පෞද්ගලීකරනයට එම ආන්ඩු ගත් පියවරයන්ට එම ආන්ඩුවලට අයත් වෘත්තීය සමිති විරුද්ධ නො වූ බව ය. පොදු ජන පෙරමුනේ සමිති නායකයා සමන් කුමාර තමන් එවක අධ්‍යක්ෂක මන්ඩලයේ සිටි බවත් ආන්ඩුවේ යෝජනාවට විරුද්ධ නිසා එයින් ඉවත් වූ බවත් කියා ඇඟ බේරා ගැනීමට උත්සාහ කල ද වෘත්තීය සමිතිවලට එලල් වූ චෝදනාව ප්‍රතික්ෂේප නො කලේ ය. 

තම සාමාජිකයන්ගේ තහනම ඉවත් කිරීමට ජනාධිපති වික්‍රමසිංහ සමග ගනුදෙනුවක් කපුකම් කිරීම සඳහා හිටපු ජනාධිපති රාජපක්ෂට ආයාචනා කල පොදු ජන ප්‍රගතිශීලී සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාරට  “ප්‍රශ්නය වී ඇත්තේ 225 එපා කී මේ රටේ ජනතාව දැන් 225 කියන දේ අහගෙන සිටීම ය.” ඉහත කී රූපවාහිනී වැඩ සටහනට සහභාගී වෙමින් තමන් වෘත්තීය ක්‍රියා මාර්ගයක් නො ගැනීම ‘රටේ ජනතාවගේ’ මෙම හැසිරීම නිසා යැයි යුක්ති සහගත කරමින් මුසාවක් ඇද බෑවේය.  

දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආන්ඩුව පලවා හැරීමට පෙරමුනට පැමින ජනාධිපතියෙකු පන්නා දමා ඉන් එහා පැහැදිලි ක්‍රියා මාර්ගයක් හෝ නායකත්වයක් නැතිවත් මාස ගනනක් අරගලයේ රැදී සිටියහ.  සංවිධිත කම්කරුවන් ඊට සහභාගී විමට ගත් සෑම අවස්ථාවකදීම දැනුවත්ව බාධා කරමින් ආන්ඩුව රැක ගැනීමට වැඩ කල හා මහජන ව්‍යාපාරයට වෛර කල පොදු ජන පෙරමුනේ නායකයෙකු වන සමන් කුමාර ඇතුලු වෘත්තීය නායකයෝ සහ සෙු අවස්ථාවාදියෝ රනිල් වික්‍රමසිංහ තන්ත්‍රය බලයේ පිහිටවූහ. “හැම කෙනෙක්ම දන්නවා අපි මේ ආන්ඩුව බලයට පත් කරන්න වැඩ කල බව,” කුමාර ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවලදී පුනරුච්ඡාරනය කලේ ය. දැන්, “රටේ ජනතාව දැන් 225 කියන දේ අහගෙන සිටීම” ගැන මහජනතාවට දෙස් දෙන්නේ මොවුන්ය. 

“මාස දෙකකට කලින් කැබිනට් පත්‍රිකාව එන බව දැනගෙන මෙය නො කරන ලෙසත්, එසේ කලොත් කෙටි දැනුම් දීමකින් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා කියා අමාත්‍යවරයා දැනුවත් කල” බවත් රංවල සඳහන් කලේය.  ඒ අතින් නම් රන්වල මහතා යුතුකම් දන්නා මිනිහෙකි. කම්කරුවන් අදුරේ තබා පාලකයන් දැනුවත් කිරීම! අනික් බොහෝ නායකයන්ට මෙන් ම මොහුට අනුව ද පෞද්ගලීකරනය යනු හොරකම් කල මුදල් යොදාගෙන ව්‍යාපාර කිරීමටත්, කොමිස් ගැසීමටත්, තව දුරටත් සොරකම් කිරිමටත් ආන්ඩුවේ මිත්‍රයන්ට අවස්ථාව දීමේ ක්‍රියාවකි. 

ඓතිහාසිකව නිර්නය වූ පන්තිමය දේශපාලන ප්‍රශ්නවලින් වැඩකරන ජනයා ඉවතට හැරවීම හැර මෙබදු ප්‍රකාශයන්ට වෙනත් අර්ථයක් නැත. මේ වනාහී ධනවාදයේ කුනු වීම පිලිබද ප්‍රශ්නයකි. එයට ආවේනික හොරකම දූෂණය විශේෂයෙන් ඉස්මතුවනනේ ද එම කුනුවීම තුලින් ම ය. සත්‍ය නම් ධනවාදී පාලනයේ ම අවශ්‍ය කොටසක් ලෙස පැවති වෘත්තීය සමිති ද ධනවාදය සමග ම කුනු වී ඇති බව ය.  

රංවලගේ මෙම ප්‍රකාශය ඉහත ක‍ී තත්වයේ පිටාර ගැලීමකි: “සත්‍යග්‍රහයට වාඩි වුනේ ජනතාව අපහසුතාවට පත් නොකර කැබිනට් පත්‍රිකාව ගේන්න කලින් අමාත්‍යවරයා අප සමග සාකච්ඡාවක් ගනී කියා විශ්වාස කරල යි. … වග කිව යුතු ඇමතිවරයෙක් නම්, වෘත්තීය සමිති නායකයෝ සත්‍යක්ග්‍රාහයට වාඩි වෙලා ඉන්න කොට අනිවාර්යයෙන් ම අපිත් එක්ක සාකච්ඡා කරන්න එපා යැ.” මොහු සෙසු පක්ෂවල සමිති නායකයන් සමග සන්ධානය ගැන කීවේ, “අපට ඇත්තටම එකතු වෙන්න බෑ. රට වෙනුවෙන් හිතල එකතු වෙලා තීරනයක් ගත්තා උපවාසෙට වාඩිවෙන්න.” රංවල කුමක් කීවත් වෘත්තීය සමිති නායකයන් ධනේශ්වර ජාතික ආරක්ෂාවෙන් හෙවත් ජාතිකවාදයෙන් එකට බැද දමා ඇති බව පැහැදිලිය. වෘත්තීය සමිතිවල ඉරනම තීන්දු වී ඇත්තේ ද හරියටම මෙතැනිනි.

දැන් අප පැහැදිලි සත්‍යක් අත් දැක ඇත්කෙමු. 1970 ගනන් අග දී, සිදු වූ ධනවාදී සමාජයේ නිෂ්පාදන බලවේගවල නව වර්ධනය ලෝක නිෂ්පාදනය ජාත්‍යන්තරීකරනයට පාත්‍ර කල අතර එය මහා සංගත රටවල් තුලට කඩා වැදීමට ද පන්ති සබඳතා තීරනාත්මක ලෙස වෙනස් කරමින් පන්ති අරගලය තියුනු මට්ටම්වලට නැංවීමට ද මග පාදා ඇත.

ධනවාදය සිය නිෂ්පාදනය ජාත්‍යන්තරව සිදු කරන බැවින් පන්ති අරගලයට ජාතික ක්‍රියා මාර්ගයක් වලංගු නැත. මේ තත්වය තුල පන්ති අරගලය ජාතික තලය තුල කිරීමට හුරු පුරුදු ව්‍යාපාරවලට තව දුරටත් ප්‍රතිසංස්කරන සදහා බල පෑමක් කල නො හැකි ය. මේ නිසා වෘත්තීය සමිතිවලට පැවැත්මක් නැති අතර ඒවා පවතින්නේ ධනපති හාම් පුතුන් වෙනුවෙන් වැඩ කරන විවෘත ඒජන්තයන් ලෙස ය. ඒ ඒවායේ ඉරනමයි.        

කම්කරු පන්තියට විකල්ප සංවිධාන රූප හා දේශපාලන බලය පිලිබඳ වැඩපිලවෙලක් අවශ්‍යව ඇත්තේ එබැවිනි. 

(තෙවන කොටසින් පෙට්‍රෝලියම් කම්රුකරුවන්ට තත්‍ය ක්‍රියාමාර්ගයක් පිලිඹදව)

Image courtesy of wsws.org, Unions Lanka fb

#CACPS #theSocialistLK

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top