මහජන රැස්වීම: පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු !  

කොළඹ ක්‍රියාකාරී කමිටුව සහ theSocialist.LK

අධිරාජ්‍යවාදී පිටුබලය ලබන ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වසන පීඩිත පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරමින් සිටින ජන සංහාරය වහාම නවත්වන ලෙස ශ්‍රී ලංකාවේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා සිටින කම්කරු පන්තිය වහාම කැඳවුම් කිරීම සහ බලමුලු ගැන්වීම සඳහා කොළඹ ක්‍රියාකාරි කමිටුව (කොක්‍රික) සහ theSocialist.LK නොවැම්බර් 19 වන ඉරු දින, ශ්‍රී ලංකා වේලාවෙන් 19:15 ට මහජන රැස්වීමක් පවත්වනු ඇත.

ජෝ බයිඩන් පරිපාලනයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පූර්න පිටුබලය ඇතිව, බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව,  නාසි  හොලෝකෝස්ටයේ සමූල ජන ඝාතන අපරාධ සිහියට නංවමින් අහිංසක ළමුන්, ගැහැණුන් සහ මිනිසුන් මත ඉතාමත් ම්ලේච්ඡ ඝාතනයක් මුදා හැර තිබේ. සිවිල් වැසියන් 10,000 කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වී ඇති අතර ඉන් 4000 කට වැඩි ප්‍රමාණයක් ළමුන්ය. ඔක්තෝබර් 07 දා සිට සති හතරක් තිස්සේ අඛණ්ඩව බෝම්බ හෙලන ලද නේවාසික ගොඩනැගිලි, සරණාගත කඳවුරු සහ රෝහල්වල සුන්බුන් යට දහස් ගණනක් සිර වී සිටිති. අධික ජනාකීර්ණ ගාසා තීරයට පුපුරණ ද්‍රව්‍ය ටොන් 25,000 කට වඩා හෙළා ඇති අතර එය එක්සත් ජනපදය විසින් දෙවන ලෝක යුද්ධය අවසානයේ හිරෝෂිමා වෙත හෙලූ පරමාණු බෝම්බයේ බලය මෙන් දෙගුණයකට ආසන්නය. සියොන්වාදී පාලන තන්ත‍්‍රය ඉලක්ක කරන්නේ අවසානාත්මක සමූල ඝාතනයකි.

ඊශ්‍රායලයට සහ එයට සහාය දක්වන එ.ජ-නේටෝ අක්ෂයට එරෙහිව ප්‍රබලව නැගී සිටීමට පෙරට ආ, ලොව පුරා කම්කරු පන්තියේ ඇස් ඉදිරිපිට පූර්න පරිමානයේ ජන සංහාරයක් සිදු කෙරෙමින් පවතී. පොලිස් මර්දනය ද, අසත්‍ය ප්‍රචාර ද නොතකා, එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ජපානය, නවසීලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව සමූල ජන ඝාතනය හෙළා දැකීමට සහ එක්සත් ජාතීන්ගේ රටවල් 120 ක් විසින් ද අනුමත කරන ලද හදිසි සටන් විරාමයක් ඉල්ලා සිටීමට පෙළ ගැසී සිටිති. නෙත්නායාහු බෝම්බ හෙලීම නතර කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඊශ්‍රායලයට  “තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා” “රතු ඉරි” නොමැති බව එක්සත් ජනපදය තහවුරු කර ඇත.

මේ සමූල ජන ඝාතනය නතර කළ යුතු අතර එය කළ හැක්කේ කම්කරු පන්තියට පමණි. එක්සත් ජනපද-නේටෝ රාජ්‍යයන්ට හෝ බෙලහීන එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කෙරෙන  කිසිදු ආයාචනයකින් වාර්ගික සුද්ධ කිරීමේ සියොන්වාදී සැලසුම් අවසන් නොවනු ඇත. කම්කරු පන්තිය සටනට පැමිණ ඇත; නමුත්, ඔවුන් විප්ලවවාදී දේශපාලන වැඩපිලිවෙලකින් හා නායකත්වයකින් සන්නද්ධ විය යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමණක් එය සම්පාදනය කරයි: “යුද්ධය කම්කරු පන්තියට එරෙහි යුද්ධයකි, එසේම  එයට එරෙහි සටනට නායකත්වය දිය යුත්තේ කම්කරු පන්තියයි.”

කොක්‍රික සහ theSocialist.LK, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරන ඉදිරිදර්ශන සමග සිට ගනී.

මෙම සමූල ජන ඝාතනය අවසන් කිරීම යනු නෙතන්යාහු ආන්ඩුවට එරෙහිව පමණක් නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදයට, එක්සත් ජනපද-නේටෝ අක්ෂයට සහ මෙම සන්ධානයේ කොටස්කරුවන් වන ලොව පුරා ජාතික ආන්ඩුවලට ද එරෙහි සටනක් වේ.

ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ඊශ්‍රායලයට පක්ෂව පෙල ගැසෙන්නේ, එක් අතකින්  අධිරාජ්‍යවාදයට සිය ගැතිකම ප්‍රදර්ශනය කරමින් සහ, අනික් අතින්, තම ආන්ඩුවේ පීඩක කප්පාදු පිලිවෙත්වලට එරෙහිව රට තුල වැඩෙන  කම්කරු පන්තික අරගල පිලිබඳ එහි භීතිය පෙන්නුම් කරමිනි. හමාස් ප්‍රහාරය දිගුකාලීන පීඩනයට එරෙහි සැබෑ මහජන කැරැල්ලක් නියෝජනය කළ බව ඉන්දියාවේ මෝඩි මෙන්ම වික්‍රමසිංහ ද හොඳින් දනී.

පලස්තීන ජනතාවට එරෙහි සියොන්වාදී මර්දනයේ ඓතිහාසික හා දේශපාලන පදනම් සමග ජන සංහාරය අවසන් කිරීමේ දේශපාලන වැඩපිළිවෙල පිළිබඳව මෙම අන්තර්ජාල රැස්වීම තුල සාකච්ඡා කරනු ඇත.

කම්කරුවන්ට, ශිෂ්‍යයින්ට, තරුනයින්ට, බුද්ධිමතුන්ට සහ පලස්තීන ජනතාව සමග පෙනී සිටින සියලු දෙනාට මෙම රැස්වීමට එක්වන ලෙස අපි ආරාධනා කරමු.

Zoom  ID: 890 4844 1531

Passcode: 057521

Poster

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top