මැලේසියානු ආන්ඩුව චීනය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කරයි

කර්ට් බ්‍රවුන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අප්‍රේල් 28 දින Malaysian government strengthens economic ties with China යන සිරසින් යුතුව පලවූ කර්ට් බ්‍රවුන් සහෝදරයා විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මාර්තු 29 සිට අප්‍රේල් 1 දක්වා බීජිං හි සිව්දින සංචාරයක නිරත වූ මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රහිම් එහිදී වාර්තාගත මට්ටමේ චීන ආයෝජන පිළිබඳ පොරොන්දු  ලබා ගත්තේය.  වොෂින්ටනය ඉන්දු-පැසිෆික් කලාපය පුරා චීනයට එරෙහි සිය මිලිටරි හා ආර්ථික ප්‍රහාරය තීව්‍ර කරන විට ඔහුගේ සංචාරය චීනය සහ එක්සත් ජනපදය අතර බල තුලනය කිරීමේ ක්‍රියාවක් ලෙස ඉදිරියට ගෙන ගියේය.

Image

චීනයේදී, අන්වර් මැලේසියාවේ පෙට්‍රෝ රසායනික, මෝටර් රථ, මූල්‍ය සහ අනෙකුත් අංශවල ආයෝජනය කිරීමට චීන රජය සමඟ පොරොන්දු වූ අවබෝධතා ගිවිසුම් (MOUs) 19කට අත්සන් තැබීය.  ඒ අතරම, එක්සත් ජනපදය සහ චීනය අතර වැඩෙන ගැටුමේදී තම රට මධ්‍යස්ථව සිටින බව අන්වර් කනස්සල්ලෙන් ප්‍රකාශ කළේය.

අවබෝධතා ගිවිසුම්වලින් සඳහන් කෙරෙන්නේ වගකීම් මිස සැබෑ ආයෝජන නොවන අතර ම, චීන ආන්ඩුවෙන් සහ සංගතවලින් පොරොන්දු වී ඇති සම්පූර්ණ පොරොන්දුව වන RM (RM යනු මැලේසියාවේ මුදල් ඒකකය වන රිංගිට් ය) බිලියන 170 (එජ ඩොලර් බිලියන 38.5) යනු මැලේසියාව මෙතෙක් ලබා ඇති ආයෝජන පොරොන්දු අතරින් විශාලතම පොරොන්දුව වේ. එය මැලේසියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 10කට පමණ සමාන මුදලකි. අවබෝධතා ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉදිරි වසරවලදී මැලේසියාවට චීන ආයෝජන දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊට සමගාමීව, ආරවුල් උත්සන්න කිරීමෙන් තොරව, මතභේදකාරී දකුණු චීන මුහුදේ භෞමික හිමිකම් පිලිබඳව චීන රජය සමඟ සාකච්ඡා කිරීමට හෝ එය විසඳීමට ඇති කැමැත්ත අන්වර් ඇඟවුම් කළේය. දකුනු චීන මුහුද සහ තායිවානය ඇතුලු විවිධ පුපූරනසුලු තත්වයන් මත චීනය අකුසෙන් පාරා යුද්ධයකට දැක්කීම සඳහා බයිඩන් පරිපාලනය විසින් වඩ වඩාත් ප්‍රකෝපකාරී පියවර ගෙන ඇති සන්දර්භය තුල, එය වැදගත් වේ.

චීනයට ගිය ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් අන්වර් විසින් මෙහෙයවන ලදී.  ජාත්‍යන්තර වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය ටෙන්කු සෆ්රුල් අසීස්,  විදේශ කටයුතු අමාත්‍ය සැම්බ්‍රි අබ්දුල් කදීර්, තවත් අමාත්‍යවරුන් 4 දෙනෙකු සහ විවිධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෙළඳ නියෝජිතයින් පිරිසක් ඔහු සමඟ එක්ව සිටියහ. 

අන්වර් සහ ජ්‍යෙෂ්ඨ චීන විධායකයින් 36 දෙනෙකු අතර පැවැති වටමේස රැස්වීමක් හා දෙරටේ ව්‍යාපාරික නියෝජිතයින් 1,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මැලේසියාව-චීන ව්‍යාපාරික සංසදය මෙහි ප්‍රධාන සිදුවීම් අතරට ඇතුළත් විය.

2022 වසරේ ඩොලර් බිලියන 110.6 ක මුළු වෙළඳාම ද ඇතුළු ව, 2009 වසරේ සිට චීනය මැලේසියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා ය. එමෙන්ම, ඩොලර් බිලියන 12.5 ක් කරා නැඟුනු ආයෝජන සමඟින් චීනය 2022 දී මැලේසියාවේ විශාලතම සෘජු ආයෝජකයා වූයේය. එතෙකුදු වුව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව, චීනය සහ සිංගප්පූරුවට පසුව එක්සත් ජනපදය තවමත් මැලේසියාවේ තුන්වන විශාලතම වෙළඳ හවුල්කරු වේ.

RM බිලියන 170 ආයෝජන යෙදවීමේදී, එහි තනි විශාලතම මුදල වන RM බිලියන 80ක් යොදවා ඇත්තේ, සිංගප්පූරුවට යාබද දකුණුදිග ප්‍රාන්තයක් වන ජොහෝර් ප්‍රාන්තය තුල පෙට්‍රො රසායන පිරිපහදුවක් පිහිටුවීම සඳහා රොන්ග්ෂෙන්ග් පෙට්‍රොකෙමිකල් (Rongsheng Petrochemical) සමාගම විසිනි.

RM බිලියන 32 ක දෙවන විශාලතම පොරොන්දුව ලබා දී ඇත්තේ, පෙරාක් (Perak) ප්‍රාන්තයේ විදුලි වාහන නිෂ්පාදන කම්හලක් සඳහා, චීන මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන සෙජියැං ගීලි (Zhejiang Geely) විසිනි. සෙජියැං ගීලි සමාගම  මේ වසරේ දී RM බිලියන 2 ක ප්‍රාරම්භක ආයෝජනයක් යොදවන බවට භාර ගෙන ඇත.

නොවැම්බරයේ සිට බලයේ සිටින අන්වර්ගේ අස්ථාවර සභාග ආන්ඩුව, උද්ධමනය, විශේෂයෙන්ම වැඩි වෙමින් පවත්නා ආහාර මිල, පහල වැටුප් සහ දැරිය නොහැකි නිවාස මිල ගණන් මගින් ඇවිලෙන සමාජ අර්බුදයක් මධ්‍යයේ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මංමුලා සහගත උත්සාහයක යෙදී සිටියි.

අන්වර් සහ ඔහුගේ ආන්ඩුව ආයෝජන බැඳීම් දැඩි ලෙස ප්‍රවර්ධනය කර ඇත.  නිසැකව ම, මෙය, දැන් ඩොලර් බිලියන 346 ක් පමණ දක්වා නැඟී ඇති, රාජ්‍ය නය පිම්බී යමින් පවත්නා ඉහළ මට්ටම පිලිබඳ උත්සුකතාවන් ආමන්ත්‍රණය කිරීමට ආන්ඩුව උත්සාහ කරන බවට ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් වෙත කෙරෙන සංඥාවක කොටසකි.

පෙබරවාරි මාසයේදී, රජය සිය වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීමෙන් දින තුනකට පසුව,  ෆිච් (Fitch ) ණය ශ්‍රේණිගත කිරීමේ සමාගම අනෙකුත් “BBB” ශ්‍රේණිගත ආන්ඩුවලට සාපේක්ෂව මැලේසියාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඉහල මට්ටමක පවතින බැව් සටහන් කළේය.  ෆිච් අනතුරු ඇඟවූයේ “දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට තවදුරටත් කම්පනයන්ට මුහුන පෑමට සිදුවීම හෝ මූල්‍යමය අපගමනයන් නය/දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව ඉහළ යාමට හේතු විය හැකි බවට අවදානමක් දිගටම පවතී.” යන්නයි.

මැලේසියානු ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨයෝ, රජයේ නය ඉහල මට්ටම සහ 2022 දී සිය නය වගකීම් පැහැර හරින ලද, සහ එහි ප්‍රතිඵලයක් ලෙස කම්කරුවන් සහ දුගීන් මර්දනකාරී කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් කිරීම නිසා දේශපාලන කැලඹීමක් ඇති වූ, ශ්‍රී ලංකාවේ තත්වය අතර සමාන්තරයන් දක්වා ඇත්තාහ.

ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවති මිනිත්තු 45 ක ආවෘත රැස්වීමකට පෙර, ඔහුගේ හඳුන්වාදීමේ ප්‍රකාශයේදී, අන්වර් සාමාන්‍ය සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ඇමතුම් ඉක්මවා ගිය ප්‍රශංසාවක් ෂී ජින්පින්ට පුද කරමින්,  ඔහු “දූරදර්ශී” වූ බවත් “චීනයේ ගමන් මග වෙනස් කළා පමණක් නොව, චීනයෙන් ඔබ්බට, කලාපයට සහ ලෝකයට විහිදෙන දර්ශන සමගින් ලෝකයට සහ මානව වර්ගයාට බලාපොරොත්තුවේ කිරණක් ලබා දුන්” බවත් කියා සිටියේය.

ආසියාව සඳහා වූ Bo’ao සංසදයේදී අදහස් දක්වමින් අන්වර්, රටවල් 150කට වැඩි ප්‍රමාණයක් ආවරණය කිරීමට අදහස් කරන ගෝලීය යටිතල පහසුකම් වැඩසටහන වන චීනයේ “බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීෂියේටිව් (තීරය සහ මාර්ග මුලපිරීම)” (BRI), “උසස් පරමාදර්ශ ප්‍රායෝගික යථාර්ථයට, සහයෝගීතාවයට සහ ඒකාබද්ධතාවයට පරිවර්තනය කිරීම” ලෙස පැසසුමට ලක් කළේය.  BRI යනු එක්සත් ජනපදයේ ආර්ථික බල පරාක්‍රමයට කෙරෙන සෘජු අභියෝගයකි.

බීජිං හි සිංහුවා විශ්ව විද්‍යාලයේ ප්‍රසිද්ධ දේශනයක් අතරතුර, නැගී එන එක්සත් ජනපද-චීන ගැටුම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අන්වර් මධ්‍යස්ථභාවය අයැදිමින් කියා සිටියේ, මැලේසියාව තම තීරණ පිළිබඳව “අන කිරීමට” කිසිදු බලවතෙකුට ඉඩ නොදෙන බවත්, තම රට චීනය තරඟකරුවෙකු ලෙස හෝ තර්ජනයක් ලෙස නොසලකන බවත්ය.    

අන්වර් චීනය සමඟ මැලේසියාවේ දකුණු චීන මුහුදේ ආරවුල සම්බන්ධයෙන් ද එවැනිම ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට උත්සාහ කලේය.  සරවක් වෙරළට ඔබ්බෙන් මැලේසියානු රජයේ බලශක්ති සමාගමක් වන පෙට්‍රෝනාස් විසින් සංවර්ධනය කරන ලද ගෑස් නිධියක් සම්බන්ධයෙන් චීන රජය උත්සුකතාවයන් පළ කර ඇති බව ඔහු සඳහන් කලේය.

මෙම ප්‍රදේශය මේ වසරේ සිට දිනකට ගෑස් ඝන අඩි මිලියන 900ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන නමුත් එය චීනය විසින් හිමිකම් කියන දකුණු චීන මුහුදේ කොටසකි.  අන්වර් පැවසුවේ මැලේසියානු රජය මේ සම්බන්ධයෙන් “සාකච්ඡා කිරීමට සූදානම්” බවයි.

අප්‍රේල් 8 වැනිදා මැලේසියානු විපක්ෂ නායක මුහයිදින් යසින්, මෙම මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශය සම්බන්ධයෙන් ස්වෛරීභාවය අත්හල බවට අන්වර්ට චෝදනා කළේය.  ඊට ප්‍රතිචාර වශයෙන්, මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර, “… ආරවුල් කවර හෝ ආකාරයකින් උත්සන්න වීම සහ තර්ජනය හෝ බලය යෙදවීමක් වළක්වා ගනු වස්, දකුණු චීන මුහුද සම්බන්ධ ගැටලු සාමකාමී ආකාරයකින් සාකච්ඡා කළ යුතු හෝ විසඳා ගත යුතු” බව ප්‍රකාශ කලේය.

මෙම පියවරයන් වොෂින්ටනයේ සතුරු ප්‍රතිචාර අවුලුවාලීම නිසැකය.  එක්සත් ජනපදයේ ප්‍රධාන තර්ජනයක් විය හැක්කේ මැලේසියානු බැංකු වලට එ.ජ. ඩොලර් නාමෝද්දේෂිත බැංකු පද්ධතියට ප්‍රවේශ වීම අවහිර කිරීමයි.

මැලේසියානු රිංගිට් සහ චීන යුවාන් යොදා ගනිමින් ආයෝජන ගනුදෙනු සිදුකිරීමේ යෝජනාවක් තමන් ෂී ජින්පින් සමඟ ඉදිරිපත් කළ බව අන්වර් පැවසීය.  එක්සත් ජනපද ඩොලරය මත ආසියාවේ යැපීම අඩු කිරීම සඳහා මැලේසියාව සමඟ “ආසියානු මූල්‍ය අරමුදලක්” පිහිටුවීම පිළිබඳ සාකච්ඡා සඳහා චීනය විවෘත බව අන්වර් පසුව පාර්ලිමේන්තුවට පැවසීය.

බයිඩන් පරිපාලනය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, වෙළඳ ඇමති සෆ්රුල් අප්‍රේල් 6දා CNBC (Consumer News and Business Channel හෙවත් පාරිභෝගික පුවත් සහ ව්‍යාපාරික නාලිකාව) වෙත පැවසුවේ, බලවතුන් දෙදෙන අතර නැගෙන භූ මූලෝපායික ආතතීන් මධ්‍යයේ, එක්සත් ජනපදය හා චීනය යන බලවතුන් දෙදෙනා සමගම වැඩ කිරීමට මැලේසියාව අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.

කෙසේ වෙතත්, විචාරකයින් මේ සම්බන්ධයෙන් කනස්සල්ල පල කර ඇත.  චීනයට එරෙහි එක්සත් ජනපද සම්බාධක නිසා චීනයේ සැපයුම් දාමයේ කොටසක් වන සමහර මැලේසියානු සමාගම්වලට බලපෑම් ඇති විය හැකි විභවයක් පවතින බව මලයා විශ්ව විද්‍යාලයෙහි  චීන අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ  නිවො චාව් බින් (Ngeow Chow Bing) අල් ජසීරා පුවත් සේවයට පැවසීය.

මැලේසියාවේ ජාතික විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය හූ චීව් පිං (Hoo Chiew Ping) අල් ජසීරා පුවත් සේවය  වෙත පැවසුවේ, මැලේසියාව චීනය සමඟ, විශේෂයෙන් තාක්ෂණික අංශයේ සහයෝගීතාව ඉහල නැංවීමට අපේක්ෂා කරන්නේ නම්, එක්සත් ජනපදයේ පීඩනයක ශක්නුතාව පිලිබඳව සලකා බැලිය යුතු බවයි. එය ක්‍රියාත්මක කිරීමට නම් ” එවැනි සහයෝගීතාවයක් දේශපාලනිකව ද්විපාර්ශ්වික සබඳතාවලට බලපාන්නේ නැති බව එක්සත් ජනපදයට සහ චීනයට ඒත්තු ගැන්වීමට තවමත් හැකි විය යුතු අතරම ජාතික අවශ්‍යතා සඳහා තාක්ෂණික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ සියුම් පථය ඔස්සේ ගමන් කිරීමට” අවශ්‍යය යන්නයි.

ඇමරිකානු ගෝලීය බලයට පැවැත්මේ තර්ජනය ලෙස නම් කර ඇති චීනය සමග වොෂින්ටනය එහි ගැටුම උග්‍ර කරන විට එම තුලනය කිරීමේ ක්‍රියාව තව තවත් දුෂ්කර වනු ඇත.

#theSocialistLK #WSWS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top