“යුක්තියේ මෙහෙයුම“ නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු!

කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය.

Yukthiya
Image courtesy:adaderana.lk

යුක්තියේ මෙහෙයුම නමින් මුදා හැර ඇති රාජ්‍ය භීෂනය, ආන්ඩුව, තරුනයන්ට සහ සෙසු පීඩිතයන්ට එරෙහි මර්දන උත්සන්න කරන එක් ආකාරයක් බව දැනටමත් පැහැදිලි වී ඇත. එහි ඉලක්කය දිග්ගැසෙමින් පවතින පන්ති අරගලයයි.

ආන්ඩුව හදිසියේ මත් කුඩු මර්දනයට පැන ගත්තේ මහජන වෛරයට පාත්‍ර වී ඇති ධනේශ්වර රාජ්‍යය බලහත්කාරයෙන් පවත්වා ගැනීමේ එක් පියවරක් ලෙස ය; ප්‍රචන්ඩත්වයෙන් සමාජය ත්‍රස්ත කර තබා ගැනීමට මෙන් ම, පසුගාමී සමාජ තට්ටුවක සහාය ගොනුකර ගැනීමට ය. පවතින නීතියේ සීමාවන් ඉක්මවා ක්‍රියා කිරීම සඳහා පොලිසියට අවසර දීම හා එම තත්වය රටේ සාමාන්‍යය බවට පත්කිරීම මේ මගින් දැනටමත් සිදු වී ඇත. මේ වනාහී නඩු විභාග නො පවත්වා චූදියන් මරා දැමීමට අවසර ලැබ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් ඇති පොලිසියකි.

පිලියන්දල, මඩපාත පදිංචි වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන, අරුන ඉන්දික විජේසූරිය පොලිස් කොමිෂමට කර ඇති පැමිනිල්ලකින් හෙලිදරව් කරන මර්දන නාටක මාලාව, රට පුරා දැන් සිදුවන දෙයෙහි චිත්‍රයක් අප හමුවට ගෙන එයි. එකී පැමිනිල්ලට අනුව, දෙසැම්බර් 6 දා රාත්‍රී කැස්බෑව පොලිසිය තරුනයාගේ නිවසට කඩා පැන, එය සහමුලින් පරික්ෂා කර, සැක කටයුතු කිසිත් සොයා නොගත්  නමුත්, තරුනයා අත් අඩංගුවට ගෙන, නිදහස් කිරීම සදහා රුපියල් 10,000ක පගාවක් ඉල්ලා ඇත. පගා ගැනීම සදහා ඉදිරිපත් වී ඇත්තේ සාජන් අල්විස් සහ පොලිස් රියදුරු මදුශංක ය. ඉන්දිකගේ මිතුරෝ එම මුදල ලබා දුන්හ. පසු දින පොලිස් ඇප මත ඔහු මුදා හැරුනි. 

මේ ගැන පසුව දැනගත් ප්‍රසිද්ධ පුවත්පත් කලාවේදියෙකු හා දේශපාලන ක්‍රියාකාරියෙකු වන තරුනයාගේ පියා ශාන්ත විජේසූරිය මේ සම්බන්ධයෙන් පැමිනිලි කිරීමට කැස්බෑව පොලිසියට සිය පුතු සමග ගිය අතර, පොලිසිය පැමිනිල්ල බාර ගැනීම මග හැරියේ ය. පගාව ගැනීමට විරුද්ධව පැමිනිලි කිරීමට උත්සාහ කල නිසා පොලිස් දඩයක්කාරයෝ උරන වූහ. 

දෙසැම්බර් 13, සිවිල් ඇඳුමින් පැමිනි පොලිස් පිරිසක් අරුනට පහර දී ඔහුගේ නිවස ද පරික්ෂා කර නැවතත් ඔහු අත් අඩංගුවට ගත්හ. තරුනයා සිය ඥාති සහෝදරයෙකුට දුරකථන ඇමතුමක් දුන් විට පොලිසිය එම ඥාතියාගේ නිවස ද වට කලේ ය. නැවත, දෙසැම්බර් 17 පාන්දර 3ට පමන පගා ගැනීමේ චෝදනාවට ලක් වූ අල්විස් ඇතුලු පොලිසිය තරුනයාගේ නිවස වට කරන ලදී. එහිදී ෂෙහාන් නමැති තරුනයෙකු ද පොලිසිය සමග සිටි අතර, අයිස් පැකට් එකක් ලෙස පෙනී ගිය දෙයක් ෂෙහාන්ට පෙන් වූ පොලිසිය “ෂෙහාන්, මේක ඔයාට දුන්නේ අරුන නේ ද“ යි විමසුවේ ය. නමුත්, නිවස තුල දී පැන නැගි විරෝධතා හමුවේ, පොලිසිය “අරුන ඔයා අදත් දිනුම්“ ය අනතුරු හඟවමින් පසු බැස්සේ ය.

පසුව, පෙබරවාරි 2 දහවල් කැස්බෑව උසාවි භූමියේ දී, එම පොලිසියේ පෝල් නමින් හඳුන්වන නිලධාරියා, තරුනයාගේ පියා වන විජේසූරියට, “වැඩිය දැගලුවොත් වෙඩි තබන” බවට තර්ජනය කර ඇත. එදිනම සවස 5ට පමන තරුනයා ඡායාරූපකරනයේ යෙදී සිටි ස්ථානයකට කඩා වැදුනු පොලිසිය ඔහු අත් අඩංගුවට ගත් අතර, පසු දින ඔහු බැලීමට ගිය ඔහුගේ පෙම්වතිය පොලිසියේ කතාබහ පටිගත කලේ ය යන චෝදනාව මත අත් අඩංගුවට ගෙන පහර දී, ඇයගේ ඇඳුම් බලහත්කාරයෙන් ගලවා අයිස් ඇත්දැයි පරීක්ෂා කරමින් අතවර කර ඇත. තරුනයා බැලීමට ගිය ඥාති සහෝදරයා ද අත් අඩංගුවට ගෙන පසුව මුදා හරින ලදී. අයිස් දමා ඒ සමග උසාවියට ඉදිරිපත් කල තරුනයා අයිස් භාවිතා කර ඇතැයි ද ඒ අනුව පුනරුත්ථාපනයට දමන ලෙස ද පොලිසිය කල ඉල්ලීම උසාවිය ප්‍රතික්ෂේප කලේ ය. වෛද්‍ය පරීක්ෂනවලින් අයිස් භාවිත කලේ ය යන චෝදනාව නිශ්ප්‍රභ වී තිබිනි.   

මේ සිද්ධීන් ගැන පැමිනිලි කිරීමට තැනක් නැත. පැමිනිලි විභාග කරන තැන් දිගින් දිගටම පැමිනිලි බාර ගැනීම මග හැර ඇත. එවන් බොහෝ තැන්වලින් ලැබී ඇති පිලිතුර නම් ඔප්පු කිරීමට සාක්ෂි නැති බව ය.

පෙබරවාරි 6 සමාජ මාධ්‍ය වාර්තාවක් බද්දෙගම පොලිසිය එම වසමේ ගනේගම ජීවත් වූ දෙදරු පියෙකු වන ජීවන්ත කුමාර අයිස් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 350ක් දමා අත් අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා කලේ ය. සිවිල් ඇදුමින් පැමිනි පොලිස් කන්ඩායම සිය සහෝදරයා වන ජිවන්තට හා එතනට පැමිනි අනික් සහෝදරයාට පහර දීම සහ ඉන් එක් අයෙක් සිය සහෝදරයාගේ සාක්කුවට කලු පැහැති පාර්සලයක් දැමීමට උත්සාහ කිරීම පාසැල් ශිෂ්‍යාවක් වන නැගනිය විසින් වීඩියෝ ගතකරන ලදී. ඇයට පහර දී දුරකථනය උදුරා ගත් පොලිසිය ජීවන්ත අත්අඩංගුවට ගෙන නඩු පැවරූ අතර සියල්ලට සාක්ෂි දැරූ දුරකථනය අතුරුදන් කර ඇත. ශිෂ්‍යාවට හා ඇගේ අනෙක් සහෝදරයාට කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු විය. ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, ගාල්ල සහකාර පොලිස් අධිකාරීන්ට කල පැමිනිලිවලින් මෙම පීඩිත මිනිසුන්ට යුක්තිය ඉටු වනු ඇතැයි සිතීමට හේතුවක් නැත. 

මෙවැනි සිය ගනනක් සිද්ධීන් අතර, ජනවාරි 18 සිදු වූ, පොලිසිය සිවිල් ඇඳුමෙන් සිට අත දැමූ විට නතර නො කලේ යයි, නාරම්මල වඩු කාර්මිකයාගේ ලොරිය ලුහුබැඳ ගොස් ඔහුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ප්‍රකට ය. මෙසේ ක්‍රියාත්මක වන ඊනියා යුක්තියේ මෙහෙයුම මානව හිමිකම් වැනි කිසිදු විරෝධතාවකට යටත් නො වී ඉදිරියට යනු ඇති බවට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ දී සහතික කර ඇත.

දුරාචාරයට එරෙහි සදාචාරයේ නියෝජිතයන් ලෙස රාජ්‍ය මර්දන යන්ත්‍රය පෙනී සිටීමට දරන මේ ප්‍රයත්නය වංචනික ය, දුෂ්ට ය, නින්දිත ය. එය, ධනපති පන්ති පාලනයේ අර්බුදය පීඩිත මහජනතාව මත පටවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු නියෝග ක්‍රියාත්මක කිරීමේ දී මතු වන කම්කරු, පීඩිත ජනයාගේ විරෝධතා මැඩ පැවැත්වීමේ මංමුලා සහගත ප්‍රයත්නයකි.

සියලු අපරාධවල මූලය බංකොලොත් ධනපති පන්තියේ පාලනයයි. එය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. මේ ඉහවහා ගිය ආර්ථික, දේශපාලනික හා සමාජ ප්‍රශ්න ඇති කර තිබෙන්නේ මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් විසින් නොවේ.  මත්ද්‍රව්‍ය ව්‍යාපාරය දේශපාලන සහාය ලත් ජාත්‍යන්තර හා දේශීය පරපුටු අපරාධ ජාලයන් හරහා ක්‍රියාත්මක වේ. මතට ඇබ්බැහිවීම ම යනු, නිමක් නැති ආර්ථික, දේශපාලන සමාජ ප්‍රශ්නවලින් නිපන් සමාජ අසහනයේ ප්‍රතිඵල වේ. මෙම තතු යටතේ ලංකාවේ ආන්ඩුව විසින් ක්‍රියාවට දමමින් සිටින දෛනික පොලිස් හමුදා පරීක්ෂාවන්, අඟලෙන් අඟලට පොලිස් හමුදා මාර්ග බාධක ඉදි කිරීම් හා සෝදිසි කිරීම් කම්කරු පීඩිත ජීවිත පොලිස් රාජ්‍ය කොන්දේසි වලට යට කිරීම සඳහාම සැකසූ යාන්ත්‍රනයක් මිස මත්ද්‍රව්‍ය මැඩීම කෙරෙහි කිසිදු සම්බන්ධයක් නැත. 

ලෝක බංකුවේ සංඛ්‍යා ලේඛන අනුව, සමාජය වෙලාගෙන පවතින දුප්පත්කම දිනෙන් දින ම වැඩි වන ආකාරය සංඛ්‍යා ලේඛනවලින් දැක්වේ. 2019 දී ලංකාවේ ජනගහනයෙන් සියයට 11.3 වූ දුප්පත්කම, 2020 දී 12.7ට ද, 2021 වසරේ 13.1 සිට 2022 දී 25 දක්වා ද ඉහල යමින්, 2024 දී 27.9 දක්වා මහා ජනකායක් වෙලා ගන්නා තතු කරා වර්ධනය වී ඇත. මෙය ලෝක පරිමානව පැතිරුනු ධනවාදයේ බංකොලොත්කමේ ප්‍රකාශනයකි. 2022 සැප්තැම්බර් හා 2023 මාර්තු අතර ලෝක දුප්පත්කම මිලියන 648 සිට 659 දක්වා මිලියන 11කින් වැඩි වූ බව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ, දෛනිකව ඩොලර් 2.15 ට අඩු ආදායම් ගනන් බැලීමෙනි. නමුත් පහල මධ්‍යම හා ඉහල මධ්‍යම කාන්ඩයේ රටවල්, එනම් ඩොලර් 3.65 සහ 6.85 මට්ටම් සැලකිල්ලට ගත් කල එය තවත් මිලියන 28කින් ඉහල යයි. දුප්පතුන්, කුසගින්න, ලෙඩ රෝග හා අසහනය විසින් ගිල ගනු ලැබ ඇත. අනික් අතින් 1%ක් වන ඉහල ධනපතියන්ගේ ආදායම පිම්මේ ඉහල යමින් පවතී.

මෙහි ප්‍රතිඵල තුලට, මතට ඇබ්බැහි වීමේ සිට විවිධ අපරාධ හා සිය දිවි නසා ගැනීම දක්වා සමාජ ඛේදවාචකයක් උත්සන්න වීම ඇතුලත් ය. මෑත ම සිද්ධියක් නම්  පෙබරවාරි 11 වන දින තඹලගමුව දුම්රිය ස්ථානය අසල දී සිදු වූ, 14 වියැති දරුවෙකු දුම්රියට පැන දිවි නසා ගැනීම ය. දුම්රිය නලා හඩට අවනතව සෙසු දරුවන් මාර්ගයෙන් ඉවත් වූ අතර මේ දරුවා දැත දෙපසට විහිදාගෙන සිනාමුසුව දුම්රිය තමන් යට කරගෙන යන තෙක් බලා සිටීමේ බිහිසුනු අත් දැකීම විස්තර කරමින් රියදුරා පවසා ඇත්තේ තම ජිවිත කාලයේ මෙවන් දෙයක් දැක නැති බව ය‍. පසුව කල විමසීමක දී දරුවාගේ ලොකු අම්මා මාධ්‍යයට පවසා ඇත්තේ දරුවා උග්‍ර කෑම බීම හිඟයකින් පෙලුනු බවයි.

මහජනයාගේ අවධානය පවතින්නේ ද, පැවතිය යුතු වන්නේ ද මෙම ප්‍රශ්න කෙරේ ය. ලෝකය කම්කරුවන්ගේ, ගොවීන්ගේ හා තරුනයන්ගේ අරගලවලින් ඇලලී යමින් තිබේ. ආන්ඩු සමාජ මාධ්‍ය වාරන පනත්, ප්‍රති-ත්‍රස්ත පනත් ගෙන එමින් ප්‍රදර්ශනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධය සහ භීෂනය පැතිරවීම කිසිසේත් ධනපති ආන්ඩුවල ශක්තියේ ප්‍රකාශන නොව, ඒවායේ ඓන්ද්‍රීය දුර්වලකමේ ප්‍රකාශනයන් වේ. එම ආන්ඩුවලට මහජනයාගේ එකදු ආර්ථික හා සමාජ අවශ්‍යතාවක් හෝ ඉටු කල නො හැකි ය. ලෝකයේ කොතැනක වුවත්, එවන් තන්ත්‍රයන්ට තව දුරටත් පැවතීමට හැකියාව ලැබී ඇත්තේ වෘත්තීය සමිති හා ව්‍යාජ වාම පෙරමුනු විසින් මහජන අරගල කඩාකප්පල් කිරීම, පාලනය කිරීම හා සම්මුති ගැස්සවීම සදහා පන්ති අරගලයේ සෑම සිද්ධියක් තුලටම කඩා වැදී ම නිසා ය. කම්කරුවන්, ගොවීන් හා සෙසු පීඩිතයන් වන අපි ස්ව-ආරක්ෂාව නිල ධනපති ආයතනවලින් කිසි සේත් නො ලැබෙන බවත්, ඒ වෙනුවට, එම සංස්ථාපිතයන්ට එරෙහිව කම්කරු පන්ති විප්ලවවාදී ක්‍රියා මාර්ගය යටතේ ස්වාධීන මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම තුලින් හැර අන් මගකින් නිදහස සහ ආරක්ෂාව සහතික නො වන බවත් වටහාගත යුතු වෙමු.

කොලඹ ක්‍රියාකාරී කමිටුව, පීඩිත මහජනතාවගේ ආරක්ෂාව සහතික කර ගත හැකි කමිටු වැඩපල හා නිවහන් ප්‍රදේශ  ආශ්‍රයෙන් ගොඩ නැගීමට පෙරට එන මෙන් ධනේශ්වර ප්‍රහාරවලට විරුද්ධ සියලු ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලමු. ධ⁣නපති පාලනය අවසන් කරමින්, ඒ හා බැඳී සමාජ ප්‍රගතියේ මාවත අහුරන සියලු ප්‍රවනතා සැබැවින් ම සමාජය තුලින් අතුගා දැමිය හැකි වන්නේ සහ එසේ කිරීම අවශ්‍යකර පවතින්නේ එවන් මහජන ව්‍යාපාරයකටම පමනි.

සියලු මර්දන නීති අහෝසි කරනු!

කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා පෙරට!!

1 thought on ““යුක්තියේ මෙහෙයුම“ නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු!”

  1. සූදානම් කරන ලද 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත (OSA) වලට සහාය සහ වෙසු සහාය සමාජය ත්‍රස්ත කිරීමට හැකි දේවල් සොයාගන්නේ කෙසේද? Regards, Telkom University

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top