රෝහල්වලට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය සහ යුද අපරාධ සාමාන්‍යකරණය කිරීම

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 16 දින පල වූ ‘Israel’s war on hospitals and the normalization of war crimes ‘ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි. 

මෙම ලිපිය ලිවීමෙන් ඉක්බිතිව ගෙවී ගිය මාස 2 කට වැඩි කාලය තුල මෙම ලිපියෙහි ඇඟවුම් නොමඳ ව සනාථ වී ඇති අයුරු පාඨකයාට පෙනී යනු ඇත. මහා ජන ඝාතන හා යුද අපරාධ, න්‍යෂ්ඨික යුද්ධය ඇතුලු විනාශයන් ද, වසංගත, කුසගින්න හා සංක්‍රමන හරහා සිදුවන දහස් ගනනින් වන මනුෂ්‍ය ඝාතන   පාලක පන්තීන් හා අධිරාජ්‍යවාදී පද්ධතිය විසින් සාමාන්‍යකරණය (normalization) කරනු ලැබ ඇති ලෝකයකට ගෝලීය මහජනයා පිවිස දී සිටී. ලංකාවේ මෑත සිදු වූ පොලිස් වෙඩි තැබීම හමුවේ රාජ්‍ය යාන්ත්‍රණයේ හැසිරීම මෙය නොඅඩුව පෙන්නුම් කරයි. මේ ලිපිය මෙම වර්ධනයේ ඛේදනීය අවස්ථාවන් පැහැදිලි කරයි.

මෙහි ගැබ්වන ඉදිරි දර්ශනය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ, “කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම (The working class, the fight against capitalist barbarism, and the building of the World Party of Socialist Revolution)” යන මැයෙන් කොටස් හතරකින් යුතුව පළ කර ඇති ඉදිරි දර්ශනයට ලියූ පූර්විකාවක් වැනිය.

එම ලිපි මාලාව ද ප්‍රවේශමෙන් අධ්‍යයනය කරන මෙන් අපි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

Alshifa
2023 නොවැම්බර් 3 වන දින ගාසා හි අල් ෂිෆා රෝහලට ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු.

වෛද්‍යවරුන්, රෝගීන් සහ සරණාගතයින් දුසිම් ගනනක් මරා දැමූ සති දෙකක අනවරත බෝම්බ ප්‍රහාරයෙන් පසු අඟහරුවාදා රාත්‍රියේ, ඊශ්‍රායල හමුදා අල්-ෂිෆා රෝහලට ඇතුළු වී, එහි ඊශ්‍රායල ධජය එසවීය.

ඊට යන්තම් පැය කිහිපයකට පෙර, ධවල මන්දිර මාධ්‍ය ලේකම් කරීන් ජීන්-පියර් අවධාරනය කලේ, “හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධාන, අල්-ෂිෆා ඇතුළු ගාසා තීරයේ සමහර රෝහල් සහ ඒවාට යටින් ඇති උමං මාර්ග ඔවුන්ගේ මිලිටරි මෙහෙයුම් සැඟවීමට සහ සහාය දීමට සහ ප්‍රාණ ඇපකරුවන් තබා ගැනීමට භාවිතා කරන” බවයි.

එක්සත් ජනපද මාධ්‍ය තව දුරටත් ඉදිරියට ගියේය. අල්-ෂිෆා “හමාස් භූගත ත්‍රස්තවාදී මූලස්ථානය ලෙස භාවිතා කරන රෝහලක්” ලෙස ෆොක්ස් නිව්ස් විසින් විස්තර කෙරින.

මෙම ප්‍රකාශ සම්පූර්ණ බොරුවක් බව ඔප්පු විය. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රාණ ඇපකරුවන් හෝ භූගත බංකරයක් සාක්ෂි ලෙස ඉදිරිපත්  කළේ නැත. සක්‍රීය යුද කලාපයක් මධ්‍යයේ , එක් අවස්ථාවක මිනිසුන් 60,000ක් සිටි පුළුල් රෝහල් සංකීර්ණයක සිදු කල සෙවීම් මෙහෙයුම්වලින් පසුව, IDFට “සාක්ෂි” ලෙස පෙන්විය හැකි වූයේ ප්‍රහාරක රයිෆල් කිහිපයක් සහ ෆ්ලැක් ජැකට් දෙකක් පමණි.

අල්-ෂිෆාවට පහර දීමට සැබෑ හේතුව සංකේතාත්මක එකක් විය. අඛණ්ඩ බෝම්බ ප්‍රහාරයන්ට සහ ස්නයිපර් වෙඩි තැබීම්වලට ලක් වූ රෝහලේ වෛද්‍ය සේවකයෝ, තම රෝගීන් අතහැර යනවාට වඩා මිය යාම වඩා හොඳ බව පවසමින් IDF විසින් ඉවත්ව යන ලෙසට දෙන ලද අණ නොතකා හැරියෝය. ඊශ්‍රායලයේ ජන සංහාරය හමුවේ ඔවුන්ගේ ධෛර්යය සහ විරෝධය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ සහයෝගීතාවය සහ අනුග්‍රහය දිනා ගත්තේය.

1949 පළමු සහ දෙවන ජිනීවා සම්මුතීන්ට අනුව රෝහල් සහ අනෙකුත් වෛද්‍ය ඒකකවලට පහර නොදිය යුතු බවටත් සෑම විටම ආරක්ෂා කළ යුතු බවටත් ගිවිස ගෙන ඇත. මෙයට සිවිල් සහ හමුදා රෝහල් ඇතුළත් වේ. රෝහල්වලට සහ වෛද්‍ය නිලධාරීන්ට පහර දීම ජාත්‍යන්තර අපරාධ නීතිය යටතේ යුද අපරාධයකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අසංඛ්‍ය සංඛ්‍යාත මානව හිමිකම් සංවිධාන විසින් රෝහල් “ඉලක්කයක් නොවේ” යනුවෙන් කෙරෙන දැඩි ප්‍රකාශයන් හමුවේ ඊශ්‍රායලය සහ එහි අධිරාජ්‍යවාදී ආධාරකරුවෝ මෙසේ වෙනත් පණිවිඩයක් යවති: “ඔව්, ඒවා ඉලක්කයන්ය.”

“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” අතරතුර එක්සත් ජනපදය නැවත නැවතත් රෝහල්වලට පහර දුන් අතර ම, එකී ක්‍රියාවන් අහඹු අනතුරු ලෙස ඉදිරිපත් කිරීමට එය උත්සාහ කළේය. 2015 ඔක්තෝම්බර් මාසයේදී ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් හි, දේශසීමා රහිත වෛද්‍යවරුන්ගේ (MSF) රෝහලකට එල්ල කළ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගිය අවස්ථාවේ දී එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා සමාව අයැද සිටියේ ප්‍රහාරය “වැරදීමක්” බව පවසමිනි.

කෙසේ වෙතත්, දැන් එක්සත් ජනපදය රෝහල්වලට එල්ල කරන ප්‍රහාර සහ අනෙකුත් යුද අපරාධ, “ආත්මාරක්ෂාව” සඳහා කළ නීත්‍යානුකූල ක්‍රියා ලෙස අනුමත කරමින් සිටී. ගාසාවේ රෝහල්වල ඊශ්‍රායල සමූලඝාතනවලට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද නිලධාරීන් යලි යලිත් ප්‍රකාශ කර ඇති පරිදි, “රතු ඉරි” කිසිවක් නොපවතී.

ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරවල ආරම්භයේ සිට, ලෝක සෞඛ්‍ය සංවිධානය අවම වශයෙන් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වලට පහරදීම් 137 ක් වාර්තා කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය සේවක මරණ 16 ක් සහ තුවාල ලැබූවන්  38 ක් ඇතුළුව, 521 ක් මරණයට පත් ව, 686 ක් තුවාල ලබා සිටිති. 

රෝහලකට එල්ල වූ භයානකම ප්‍රහාරය මෙම සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවේ, 2023 ඔක්තෝම්බර් 17 අල්-අහ්ලි අරාබි රෝහලට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 250 ත් 471 ත් අතර ප්‍රමාණයක් මිය ගිය නමුත්, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය, ඉක්මනින් ම සාවද්‍ය බවට ඔප්පු වූ සාක්ෂි උපුටා දක්වමින් කියා සිටියේ එය ගාසා තීරයේ සිට එල්ල වූ රොකට් ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවයි. 

රෝහල්වලට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය, ජන සංහාරයේ ක්‍රමානුකූල ව්‍යාපාරයක කොටසකි. සිවිල් ජනතාව, ළමුන්, වෛද්‍ය සේවකයින් සහ සහන සේවකයන් හිතාමතාම ඉලක්ක කිරීම පාලනය කිරීමේ ප්‍රධාන මූලධර්මයක මට්ටමට ඔසවා ඇත.

ඊශ්‍රායලයේ කෘෂිකර්ම අමාත්‍යවරයා “නක්බා 2023” ප්‍රකාශ කර සිටින සහ එහි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පලස්තීන ජනතාව එම ප්‍රදේශයෙන් නෙරපා හැරීමට යෝජනා කෙරෙන තතු තුල මෙම යුද අපරාධ සිදු කර ඇත්තේ ජන සංහාරක අරමුණ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටීමේ රාමුව තුළ ය.

ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් “පෙළපොතක දැක්විය හැකි තරමේ ජන සංහාරය පිලිබඳ නිදර්ශනයක්” බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නිව්යෝර්ක් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ක්‍රේග් මොකිබර් ඔක්තෝබර් 28 දින ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියක ලියා ඇත. “ඊශ්‍රායල් ආන්ඩුවේ සහ මිලිටරියේ නායකයින්ගේ පැහැදිලි අභිප්‍රාය පිළිබඳ ප්‍රකාශයන් සැකයට හෝ විවාදයකට ඉඩක් නොතබයි” ඔහු ලිවීය.

එක්සත් ජනපදය දශක ගනනාවක් තිස්සේ ජාත්‍යන්තර නීතිය ක්‍රමානුකූලව උල්ලංඝණය කර ඇති අතර, ඊශ්‍රායල නිලධාරීන් යුද අපරාධ සහ ජන සංහාර සිදු කිරීමට ඇති සිය අභිප්‍රාය තැකීමකින් තොර ආකාරයකින් ප්‍රකාශ කරන කොන්දේසි යටතේ, එය ගාසා තීරයේ ජනතාවට එරෙහිව ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග විවෘතව වැලඳ ගැනීම, යුද අපරාධ සාමාන්‍යකරණය කිරීමේ සැලකිය යුතු නව අදියරක් සනිටුහන් කරයි. 

පසුගිය වසර 50 පුරා ම, ඊශ්‍රායල රාජ්‍යයේ ක්‍රියා එක්සත් ජනපද ප්‍රතිපත්තිය සඳහා පූර්වාදර්ශයක් සැපයීමට භාවිතා කර ඇත. වඩාත්ම කැපී පෙනෙන උදාහරණය නම් “ඉලක්කගත ඝාතන”, එනම් රාජ්‍ය අනුමැතිය ලත් ඝාතනය කිරීම්වල, මූලධර්මයයි. 2018 දී ඊශ්‍රායල ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන රොනෙන් බර්ග්මන් සඳහන් කළේ “බටහිර වෙනත් ඕනෑම රටකට වඩා ඊශ්‍රායලය පුද්ගල ඝාතන සහ ඉලක්කගත-මරා දැමීම් භාවිතා කර ඇති,” බවයි.

1948 සැප්තැම්බර් 17 වැනි දින සියොන්වාදී ත්‍රස්තවාදීන් පිරිසක් ජෙරුසලමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වීඩන් මැදිහත්කරු කවුන්ට් ෆෝල්ක් බර්නාඩෝට් සැඟවී සිට මරා දැමූහ. පසුව ඊශ්‍රායලයේ අගමැති බවට පත් වූ යිට්ෂැක් ෂමීර්, බර්නඩෝට්ගේ ඝාතනය අනුමත කිරීමෙහි සහ එය සැලසුම් කිරීමෙහිලා කාර්යභාරයක් ඉටු කළේය. 

2000 නොවැම්බරයේදී, ඊශ්‍රායලය “ඉලක්කගත ඝාතන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ බව විවෘතව පිළිගත්” ලෝකයේ පළමු රාජ්‍යය වූ බව, 2009 දී එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ විශේෂ වාර්තාකරු ලෙස සේවය කළ නිල්ස් මෙල්සර් ලිවීය. ඉන් ඉක්බිතිව, එක්සත් ජනපදය “ඉලක්කගත ඝාතන ක්‍රමය විවෘතව අනුගමනය කිරීමට” පියවර ගත්තේය.

මෙල්සර් මෙසේ ලියයි: “’ඉලක්කගත ඝාතන’ යන යෙදුමෙන් අදහස් කරන්නේ, ඔවුන් ඉලක්ක කරන අයගේ ශාරීරික අත්අඩංගුවේ නොසිටින, තනි තනිව තෝරාගත් පුද්ගලයන් මරා දැමීමේ අභිප්‍රායයෙන්, පූර්ව සූදානමින් සහ කල්පනාවෙන් යුතුව, ජාත්‍යන්තර නීතියේ විෂයයකට ආරෝපණය කළ හැකි මාරාන්තික බලය භාවිතා කිරීමයි.” 

2002 දී , එක්සත් ජනපදය යේමනයේ දී යුද කලාපයකින් පිටත සිය ප්‍රථම ඩ්‍රෝන් ප්‍රහාරය දියත් කළේය. 2011 දී, එක්සත් ජනපදයේ උපන්, එමෙන්ම එක්සත් ජනපද පුරවැසියන් වූ පූජක අන්වර් අල්-අව්ලකි සහ ඔහුගේ පුතු යේමනයේ දී වෙන් වෙන්ව එල්ල කෙරුණු ඩ්‍රෝන් ප්‍රහාරවලින් මිය ගියහ. 2020 දී , එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඉරාකයේ නිල සංචාරයක යෙදෙමින් සිටි ඉරානයේ ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකු වූ කාසෙම් සොලෙයිමානි මරා දැමින.

“ඉලක්කගත ඝාතන” තෝරා ගැනීමත් සමඟ, දැන් ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන යුද අපරාධ, එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඊටත් වඩා විශාල අපරාධ සඳහා නව පදනම බවට පත්වනු ඇත. ඊශ්‍රායලය විසින් කරනු ලබන ජන සංහාරය සහ යුද අපරාධ ඔවුන් විවෘතව පිළිගැනීමේ අර්ථය වන්නේ මෙයයි.

එක්සත් ජනපදය ගෝලීය රුසියාවට එරෙහිව තීව්‍ර වෙමින් පවත්නා යුද්ධයක ද, ඉරානය හා චීනය සමග යුද්ධ සූදානමක ද පැටලී සිටීම් වශයෙන් යුද්ධය උත්සන්න කිරීමේ නියුක්ත ව සිටී. එහි දී පෙර නොවූ විරූ පරිමානයෙන් ප්‍රචණ්ඩත්වය අවශ්‍ය වනු ඇත. සමූහ ජනගහණයක් සමූල ඝාතනය කිරීම සහ බලහත්කාරයෙන් අවතැන් කිරීම ඇතුළු ඊශ්‍රායලය සිදු කරමින් සිටින අපරාධ, න්‍යෂ්ටික අවි භාවිතය ඇතුළු ඝාතක ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම සඳහා පූර්වාදර්ශයක් සපයයි. පාලක පන්තීන්ගේ අරමුණ වන්නේ සිය දහස් ගනනක් හෝ මිලියන ගනනක් මරා දැමීමේ සිය අපේක්ෂාවන් සම්බන්ධයෙන් ජනයාගේ සංවේදීතාව මොට කර දැමීමයි. 

නමුත් විදෙස්හි කෙරෙන යුද්ධය යනු රට තුල කෙරෙන යුද්ධයක් වේ. ගාසා තීරයේ ඝාතනවලට එරෙහිව වැඩෙන වැඩ වර්ජන ව්‍යාපාරයකට සහ මහජන විරෝධතාවලට මුහුන දී සිටින ඇමරිකානු පාලක පන්තිය, වැඩෙන අභ්‍යන්තර විරුද්ධත්වයට එරෙහිව, ගාසාවේ දී පුරෝගාමී ලෙස යොදා ගන්නා ලද මහජන භීෂණයේ මෙවලම්, නාගරික ජනයාට එරෙහිව වඩවඩාත් භාවිතා කරනු ඇත.

ගාසා තීරයේ සිදුවීම් අනතුරු ඇඟවීමකි: මංමුලා සහගතව කොටු වී සිටින අධිරාජ්‍යවාදී පාලක පන්තීන්, සිය ගෝලීය අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීම සඳහා, සමූහ මිනීමැරීම් සිදු කිරීම ද ඇතුළුව නොකර වැළකී සිටින කිසිවක් හෝ නැත. මානව වර්ගයාගේ අනාගතය සඳහා , සමාජය ගලග්‍රහණයෙන් ගෙන සිටින මූල්‍ය කතිපයාධිකාරයේ ග්‍රහණය බිඳීම අවශ්‍ය වන අතර, ඒ සඳහා කම්කරු පන්තියේ බහුජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top