වික්‍රමසිංහ ආන්ඩුව ලංවිම කම්කරුවන් 66 ක් රැකියාවෙන් දොට්ට දමයි

ලංවිම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නඟමින් සටන් වදිනු!  

එල්.පී. උදයප්‍රේම විසිනි.

ජනවාරි 3-5 දිනවල පැවති ප්‍රතිව්‍යුහගතකරන පනතට එරෙහි විරෝධතාවට සහභාගී වූ ශ්‍රී ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) සේවකයන් 66 දෙනෙකු  විරෝධතාවෙන් දින කීපයකට පසු රැකියාවෙන් නෙරපා හැරීමට එහි පාලනාධිකාරිය   ක්‍රියා කලේ ය. 

විදුලි පාරිභෝගිකයන්ට බිල් ගෙවීම වලක්වාලමින්  මුදල් කවුන්ටරය වසා දමා ලංවීමට පාඩු සිදු කිරීමත්, අත්‍යවශ්‍ය මහජන සේවා නියෝග කැඩීමත් ලංවීම සේවකයන්ට එල්ල කොට ඇති චෝදනා වේ. 

Protest
ජනවාරි 5 දින විදුලි කම්කරු උද්ඝෝෂනය (Unions Lanka fb)

මෙය හදිසියේ ගත් පියවරක් නොව, විරෝධතාව පැන නැගුන සැනින් ඊට සම්බන්ද වන ඕනෑම සේවකයකුගේ වැඩ තහනම් කොට සුදුසු විනය ක්‍රියා මාර්ග ගන්නා හැටියට විදුලි බල ඇමති ලංවීම බලධාරීන්ට දුන් නි‍යෝගය ක්‍රියාවට දැමීමකි.  

විදුලි බල සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කල රනිල් වික්‍රමසිංහ ඊට අවශ්‍ය නීතිමය පරිසරය සැකසීය. 

එතැන් සිට කම්කරුවන්ට එරෙහි දඩයම සූදානම් කෙරින.

ආන්ඩුව හා බලධාරීන් ලංවීම කම්කරුවන්ට එරෙහිව මුදාහැර ඇති  දඩයමේ එල්ලය වන්නේ, පුද්ගලිකරනයට විරුද්ධව වැඩෙන සේවක අරගලය කල් තබා තලා දැමීමත්, පුද්ගලිකරනයට මුහුන දී සිටින සියලු කම්කරුවන්ගේ සහයෝගය ඒ වටා ගොනුවීමට ඇති ඉඩකඩ කල්තබා බිඳ දැමීමත් ය.

ලංවීම විරෝධතාවට සිය ගනනින් සන්නද්ධ පොලිසිය සහ හමුදා කැඳවීමත්, ඊට සහභාගී වූවන් රැකියාවෙන් පලවා හරිමින් කම්කරුවන්ට එරෙහිව ආන්ඩුවේ රුදුරු කඩා පැනීමත් පෙන්නුම් කරන්නේ, පුද්ගලීකරන වැඩපිලිවෙලට මෙහා කිසිදු සීමිත හෝ සමථයකට ආන්ඩුව සූදානම් නැති බවයි. කම්කරු පංතියේ හා පීඩිත ජනයාගේ කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධත්වයක් ආන්ඩුව ඉවසන්නේ නැති බව ආන්ඩුව පෙන්වා ඇත. 

ආන්ඩුව මෙහෙය වී ගන්නේ තමන් කර වටක් එරී සිටින ආර්ථික අර්බුදයට එකම විසඳුම වශයෙන් තෝරා ගෙන ඇති අයිඑම්ෆ් සැලසුම් කම්කරුවන් මත හෙලීමට ය. ජාතිකවාදී ගොහොරුවෙන් ගොඩ ආ නොහැකි වෘත්තීය සමිති ද, අයිඑම්එෆ් නිර්දේශ අර්බුදයෙන් ගොඩ ආ හැකි එකම මඟ ලෙස පිළිගන්නා අතර, එබැවින්, එහි කොටසක් වන පෞද්ගලීකරන සැලසුම්වලට ද ධනපති ආන්ඩුව පමනට ම පක්ෂපාතී වෙති. සිය සාමාජිකත්වය හමුවේ මුහුන බේරා ගැනීමට හා ඔවුන්ගේ සටන් ඉච්ඡාභංගත්වයට ලක්කර වාෂ්ප කර දැමීම සඳහා විවිධ විරෝධතාවලට එලඹෙන ඔවුන්ට පෞද්ගලීකරනය නැවැත්වීමේ හැකියාවක් හෝ උවමනාවක් නැත. විදුලි පරිභෝගික පීඩිත ජනයාට සහ සෙසු ක්ශේෂ්ත්‍රවල කම්කරුවන්ට ආමන්ත්‍රනය නොකරන මෙම සීම්ත උද්ඝෝෂන අවසාන ජයග්‍රහනය දක්වා සටන් කිරීමේ මාවතක මුලපටන්ම නොපිහිටුවනු ලැබ ඇති අතර ඒ නිසා පරාජය උරුමකරගෙන පවතී.

පුද්ගලීකරනයට එරෙහි කම්කරුවන් මුහුන දී සිටින තීරනාත්මක ප්‍රශ්නය වන්නේ ආන්ඩුවේ මර්දනයත්, කප්පාදුවත් පරාජය කරන්නේ කෙසේද යන්නයි. පුද්ගලීකරනයට මුහුන දී සිටින සෑම ආයතනයකම අරගලයට පිවිසී සිටින කම්කරුවන් ඉදිරියේ ලඹ දෙන ප්‍රශ්නය වන්නේ එයයි.

ඉන් ඇඟවුම් කරන්නේ, පුද්ගලිකරනයට හා රැකියා කප්පාදුවට එරෙහි ව ආන්ඩුවට ඇවටිලි කිරීමේ වෘත්තීය සමිතිවල ව්‍යාජ හා වඳ විරෝධතා වෙනුවට, ආන්ඩුවේ සැලසුම් පරාජය කිරීම සඳහා කම්කරු පංතියේ යෝධ පංති ශක්තිය බලමුලු ගැන්වීමේ අරගලයකට කම්කරුවන් හැරී ගැනීමේ හදිසි අවශ්‍යතාවයි.

ශ්‍රේනි අතර භේදකාරීත්වය අවුලුවන වෘත්තිය සමිති පිලිවෙත් කම්කරුවන් එකමුතු කිරීමට නොව භේද කොට පංති එක්සත්කම දුර්වල කිරීමට හේතු වී ඇති ආකාරය කප්පාදුවට එරෙහි අරගලයේ දී නොමඳ ව පෙනී යයි.

වෘත්තිය සමිති ද්‍රෝහි නායකත්වයේ අධිකාරිත්වය වෙනුවට අරගලයට බට කම්කරුවන්ගේ අව්‍යාජ වෛශික අවශ්‍යතා නියෝජනය කෙරෙන හා එම අරගලය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා මගින් තීන්දු ගන්නා කම්කරු කමිටු ගොඩ නගා ගනිමින් පෙරට ඒම මේ නිසා හදිසි අවශ්‍යතාවක් වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top