ශ්‍රී ලංකා ආන්ඩුව සමාජ මාධ්‍ය මර්දන නීතිය සම්මත කරයි, නව ප්‍රති-ත්‍රස්ත පනතත් පාර්ලිමේන්තුවට

සංජය ජයසේකර විසිනි.

රට තුල විසම්මුතියේ නිදහස මර්දනය කිරීම සඳහා පාලක පන්තිය විසින් දිගු කලක් තිස්සේ සූදානම් කරන ලද 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත (OSA) නීතියක් ලෙස බලාත්මක කරමින් ශ්‍රී ලංකා කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය බ්‍රහස්පතින්දා (01) ඊට තම අත්සන තැබීය. මෙම නීතිය ජනවාරියේ අග භාගයේ දී පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 46 කින් සම්මත කර ගන්නා ලද්දේ, පසුගිය ඔක්තෝම්බර් මාසයේ පනත් කෙටුම්පත ඉදිරිපත් කල අවස්ථාවේ සිදු කෙරුනු විභාගයේ දී, රටේ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් යෝජනා කරන ලද සීමිත සංශෝධනවලට පවා අනුකූල නොවන විධිවිධාන ද සහිතව ය. එවැනි යෝජනාවලට යටත්ව, නීතිය සමස්තයක් ලෙස ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරනයේ  තීරනය විය.

මෙම නීතිය පැහැදිලිවම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. එය ඔන්ලයින් ද්වාරයක (portal)  ප්‍රකාශයට පත් කෙරෙන “ඕනෑම ප්‍රකාශයක අසත්‍යතාවය” තීරනය කිරීමට සහ ප්‍රකාශ කිරීමට ඇති එකම බලය ලෙස  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ කොමිෂන් සභාව (OSC) බල ගන්වන අතර, ඉක්බිතිව එවැනි ප්‍රකාශිත “සත්‍යය” ට  පටහැනි ප්‍රකාශයක් කරන හා  සන්නිවේදනය කරන ඕනෑම කෙනෙකුට නඩු පවරනු ඇත. 

“අසත්‍ය ප්‍රකාශය” යනු “එය වැරදි බව හෝ අසත්‍ය බව එය සිදු කරන්නා දන්නා වූ ද, නැතහොත් ඒ බවට විශ්වාස කරන්නා වූ ද  විශේෂයෙන් ම රැවටීමේ හෝ නොමග යැවීමේ චේතනාවෙන් සිදු කරන්නා වූ ද ප්‍රකාශයක්” ලෙස අර්ථ දැක්වේ. මෙම දැනුම හෝ විශ්වාසය OSC විසින් අසත්‍ය බව ප්‍රකාශ කරන ලද හෝ රජයේ බලධාරීන් සත්‍ය යැයි ප්‍රකාශ කර ඇති දේ මගින් හැඩගැසෙනු ඇතැයි උපකල්පනය කල යතුය.

“අසත්‍ය ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම මඟින්”, (අ) “ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් ඇති කරවන” හෝ “විවිධ පන්තිවලට අයත් තැනැත්තන් අතර එදිරිවාදී සහ වෛරී හැඟීම් ප්‍රවර්ධනය කරන” (12 වගන්තිය); (ආ)  අධිකරණයට අපහාස කිරීමක් සිදුවන්නා වූ අසත්‍ය ප්‍රකාශයක් මාර්ගගත ගිණුමක් මඟින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා සන්නිවේදනය කරන (13); (ඇ) “කැරලි ගැසීමේ වරදක් සිදු කිරීමට හේතු වනු” ඇති පරිදි, “ප්‍රකෝප කරවීමෙන් හෝ පෙළඹවීමෙන්  කැරලි ගැසීමේ වරද සිදුවිය හැකි බවට වූ චේතනාවෙන් ම හෝ ඒ බව දැන දැන ම, …. ද්වේශ සහගතව හෝ නිකරුණේ මාර්ගගත ගිණුමක් මගින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා  අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය” කරන (14); (ඈ) “අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් ආගමික වැඳුම් පිදුම් කිරීමක හෝ ආගමික පූජාවන්හි නීත්‍යනුකූලව යෙදී සිටින යම් රැස්වීමකට ස්වේච්ඡාවෙන් ම බාධා කරන” (15); (ඉ) “යම් පන්තියකට අයත් තැනැත්තන්ගේ ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීමේ ඒකාන්ත සහ ද්වේශ සහගත චේතනාවෙන්, මාර්ගගත ගිණුමක් මගින් හෝ මාර්ගගත ස්ථානයක් හරහා වාචික හෝ ලිඛිත වචන මගින් හෝ ද්‍රව්‍යමය නිරූපණ මගින් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීමෙන් ඒ පන්තියේ ආගමට නැතහොත් ආගමික විශ්වාසවලට නින්දා කරන හෝ නින්දා කිරීමට තැත් කරන (16); (ඊ) ශ්‍රී ලංකා නාවික හමුදාවේ, යුද්ධ හමුදාවේ හෝ ගුවන් හමුදාවේ යම් නිලධරයකු, නාවිකයකු, සෙබළකු හෝ ගුවන් නැවියකු කැරලි ගැස්වීමේ චේතනාවෙන් හෝ මහජනයා අතර බියක් හෝ තැතිගැන්මක් ඇති කරවීමේ චේතනාවෙන් යම් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කර එමගින් රජයට විරුද්ධ වරදක් හෝ මහජන සාමයට විරුද්ධව වරදක් සිදු කිරීමට යම් තැනැත්තකු පොලඹවන (19) ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරිය හැකිය; යමෙකුට (ඉලක්කගත තැනැත්තාට) “හිරිහැර කිරීමේ චේතනාවෙන්” එම පුද්ගලයාගේ හෝ ඔහුට සම්බන්ධ අයෙකුගේ යම් පෞද්ගලික තොරතුරක් (සත්‍ය හෝ අසත්‍ය) පල කිරීමෙන් හා එමගින් එම පුද්ගලයන්ට “හිරිහැරයක් සිදු කරවන ප්‍රකාශයක් සිතාමතා ම සිදු කරන හෝ සන්නිවේදනය කරන” අයෙක් ද පනත යටතේ වරදක් සිදු කරයි (20). එවැනි සියලු ප්‍රකාශ “තහනම් ප්‍රකාශ” වේ.

වරදක් සිදු කිරීමට තැත් කිරීම, අනුබල දීම සහ කුමන්ත්‍රනය කිරීම ද පනත යටතේ අපරාධ වැරදි වේ.

මෙම වැරදි සඳහා වන දඬුවම් වසර තුනේ සිට පහේ සිට හත දක්වා වූ සිරදඬුවම් පරාසයක පවතින අතර ඇතැම් අවස්ථාවල දී තදනන්තර ව සිදු වන වරද සඳහා රුපියල් මිලියනයක් දක්වා දඩ මුදල් සමඟ සිරදඬුවම දෙගුනයක් විය හැකිය.

අන්තර්ජාලයේ තහනම් ප්‍රකාශයක් අඩංගු (වෙබ් අඩවියක්, වෙබ් පිටුවක්, චැට් රූම් හෝ සංසදයක් වැනි) ස්ථානයකට අවසාන පරිශීලකයන්ගේ ප්‍රවේශයන් පිවිසීමට සම්බාධක පනවන සේ කවර හෝ අන්තර්ජාල සේවා සම්පාදකයෙකුට හෝ අන්තර්ජාල අතරමැදියෙකුට නියෝග කිරීමේ පුළුල් බලතල OSCය සතු ය. එවැනි ප්‍රකාශ ඉවත් කරන සේ නියෝග කිරීමට එයට හැකිය. වෙබ් අඩවියක්, සමාජ මාධ්‍ය ගිනුමක් හෝ වේදිකාවක් “අන්තර්ජාලයේ ප්‍රකාශිත ස්ථානයක්” ලෙස අසාදු ලේඛනගත කිරීමට ද එයට බලය ඇත. “චංචල, සහ නිශ්චල දේපොල අත්පත් කර ගැනීමට සහ ඒවා විකිනීමට, බදු දීමට, උකස් කිරීමට, හුවමාරු කිරීමට හෝ වෙනත් ආකාරයකින් බැහැර කිරීමට” ද කොමිසමට බලය තිබේ.

“ව්‍යාජ ප්‍රවෘත්තිකරණය” අපරාධයක් ලෙස නම් කළ යුතුය යන්න කලක සිට පාලක පන්තියේ ඉල්ලීමකි. එය පසුගිය කාලයේ අනුප්‍රාප්තික ආන්ඩුවල න්‍යාය පත්‍රයේ තිබුනි –  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව 2019 සිරිසේන-වික්‍රමසිංහ රජය සමයේ ද, ඉන් ඉක්බිති ව, ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍ය හරහා සංවිධානය කෙරුනු  2022 අප්‍රේල්-ජූලි මහජන අරගල වලින් පසුව බලයෙන් පහකල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ද නීති කෙටුම්පතක් එසේ සූදානම් කර තිබුනි. “ජාත්‍යන්තර ප්‍රමිතීන්ට” අනුකූල වන සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල නියාමන නීතියක් ඉල්ලා සිටි සිවිල් සමාජ කන්ඩායම්, ජාත්‍යන්තර සංවිධාන සහ දක්ෂිනාංශික දේශපාලන පක්ෂ විසින් මතු කරන ලද පුලුල් විරෝධතා හේතුවෙන් මෙම උත්සාහයන් තාවකාලිකව පරාජයට පත් විය.

Rw
ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 පෙබරවාරි 4 වන දින කොලඹදී පැවති රජයේ 76 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේදී හමුදා පෙලපාලිවලට ආචාර කරයි. ඡායාරූපය: රොයිටර්

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේ කාන්තාවන්ට සහ ලමයින්ට සිදුවන අන්තර්ජාල හිරිහැරවලට එරෙහිව සටන් කිරීමට මෙම නීතිය අවශ්‍ය බවයි. මෙය කඩතුරාවක් පමනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කීර්ති නාමයට හානි කරන “වැරදි තොරතුරු” මැඩලීමේ අභිප්‍රාය ද ඔහු හෙලි කලේය. මෙය මුලු පාර්ලිමේන්තුවම ප්‍රතික්ෂේප කල 2022 මහජන අරගල අතරතුර සිදු වූ පුලුල් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිලිබඳ සඳහනකි.

පාර්ලිමේන්තුවේ සිටින සෑම විරුද්ධ පක්ෂයක් ම, සමාජ මාධ්‍ය නියාමන නීතියක්  සියතෙහි තිබිය යුතුය යන්න සම්බන්ධයෙන් රජය සමඟ එකඟ වේ.

පාර්ලිමේන්තු විවාදය අතරතුර, ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක, අලස්ගේ ප්‍රකාශය සමඟ එකඟ වූයේ, “[සමාජ මාධ්‍ය තුල] සිදු නොවිය යුතු දේත් සිදුවෙමින් පවතින” බව පවසමිනි.

ජාත්‍යන්තර තාක්ෂනික දැවැන්තයින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අවකාශය අතහැර දමනු ඇතැයි ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කනස්සල්ලට පත් විය. ඔහුගේ කනස්සල්ල, ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා අසීමිත නිදහසක් ලබා දිය යුතු බවට හර්ෂ ද සිල්වා සලකන අධි-ලාභ ලබන තාක්ෂණික කර්මාන්ත හිමි ධනපතියන් පිලිබඳ ව ය. දැනටමත් ලොව පුරා මෙම සමාගම් නිදහස් භාෂනය මත රාජ්‍ය වාරනය පවත්වා ගෙන යාමේ හවුල්කරුවන් ලෙස ක්‍රියාත්මක ව සිටිති.

බලයට පැමිනියහොත් සහ එසේ බලයේ සිටින කල්හි, මෙම පක්ෂ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ඉල්ලීම් සපුරාලීම සඳහා කම්කරු පන්තියට සහ දේශපාලන විරුද්ධවාදීන්ට – විශේෂයෙන්ම  වාම විරුද්ධවාදීන්ට – එරෙහිව  මෙම නීති නිර්දය ලෙස භාවිතා කරනු ඇත.

ධනේශ්වර රාජ්‍යයේ සහ පාර්ලිමේන්තුවේ පීඩාකාරී නීති පද්ධතියට ඇති සිය යටහත් පහත් බව ප්‍රකාශ කරමින්, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය වෙත පැවසුවේ, “මේ ආකාරයේ [නව නීතියෙන් ආවරනය වන] තත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැනටමත් නීති ඇති” නිසා  යෝජිත නීතිය අනවශ්‍ය වන බවය. එහි “මහජන කවුන්සිල” වැඩසටහන පාර්ලිමේන්තු ක්‍රමයටම ගැටගැසූ උපාංගයකි.

මධ්‍යම පාන්තිකයින් අතර තවත් මතයකට, ඉරිදා (04) දින “අනිද්දා” ව්‍යාජ වාම පත්‍රයට ගාමිනී වියන්ගොඩ විසින් ලියන ලද ලිපියකින් හඬක් දී ඇත. මෙම පනත් කෙටුම්පත, “ලඟදී එලැඹීමට නියමිත තීරනාත්මක මැතිවරනවල දී ඒවාට ආරක්ෂාකාරීව මුහුන දීමේ පරිසරයක් …කල්තියා සකසා ගැනීම සඳහා” රජයට අවශ්‍ය වන දේශපාලනික උපාමාරු යෙදීමක් බව වියන්ගොඩ පවසයි. තමාට ජනාධිපතිවරන ජයග්‍රහනයක් ලබාගැනීමේ අවස්ථාව දුර්ලභ  බව දන්නා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම නීති සම්පාදනය කරන්නේ තමන් වෙනුවෙන් නොව,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු පියවරයන් ජනතාවගේ කර මත පටවා ඉදිරියට යෑමට සූදානම් බව තහවුරු කර ඇති NPP හා SJB ඇතුලු ධනපති සංස්ථාපිතය සඳහා ය. මෙම රැඩිකල්වාදීන් ජනතාවගෙන් වසන් කරන සත්‍යය මෙයයි.

OSA නීතියක් බවට පත් කර ඇති අතරතුර, පවතින 1979 යේ  කුරිරු ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA)’ යටතේ අත්අඩංගුවට ගැනීමේ, පරිපාලනමය වශයෙන් රඳවා තබා ගැනීමේ හෝ අත්අඩංගුවේ තබා ගැනීමේ සහ නඩු පැවරීමේ බලතල අභිබවා යමින් රජය නව ප්‍රති-ත්‍රස්ත නීතියක් ගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටී. පසුගිය මාසය තුල පාර්ශව 35 කට වැඩි සංඛ්‍යාවක් රටේ ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ යෝජිත නීතිය අභියෝගයට ලක් කලහ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වධහිංසාවට ගොදුරු වූ කවියෙක් වන අහ්නාෆ් ජසීම් උසාවියට පෙත්සමක් ඉදිරිපත් කරමින් මෙසේ කීවේ ය: “මෙම ඒකාධිපති නීතිය… මූලිකවම සැලසුම් කර ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව සාමූහික දඬුවම් කිරීමේ ආයුධයක් ලෙස භාවිතා කිරීමටය. එය මෙහෙයවනු ලබන්නේ පන්ති වෛරය විසිනි.”

වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කිරීමෙන් අනතුරුව වහා ම, ජාමූඅ විසින් නියම කරන ලද දරුනු කප්පාදු පියවරයන් ක්‍රියාවට නැංවීමට සූදානමින්, වැඩකරන ජනතාවට සහ දුප්පතුන්ට එරෙහිව තම ආන්ඩුවේ පන්ති යුද්ධය ප්‍රකාශ කලේය. මෙම පසුබිම තුල මෙම නීති, දේශපාලන විසම්මුතියට, විශේෂයෙන්ම වාමාංශික දේශපාලන අදහස් සහ ව්‍යාපාරවලට, මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහිව බිය ගැන්වීම්, හිරිහැර කිරීම්, ප්‍රශ්න කිරීම්, අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් සඳහා ද, වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ගිනුම් අවහිර කිරීම සඳහා ද වික්‍රමසිංහගේ අවි ගබඩාවේ ඇති නව ආයුධ වේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට, කලාකරුවන්ට, විරෝධතාකරුවන්ට සහ වාර්ගික-සුලු ජාතීන්ට එරෙහිව කුරිරු ත්‍රස්ත විරෝධී, මහජන ආරක්ෂාවේ සහ වෛරී ප්‍රකාශන නීති භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කුප්‍රකට ය.

මෑතක දී අලස් විසින් “මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීමට” විශේෂ පොලිස් බලකායන් යොදවනු ලැබ, දෙසැම්බර් 17 සිට 56,000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ ඇත. “යුක්තිය” යන ව්‍යාජ නාමයෙන් යුතු මෙම මෙහෙයුම සැලසුම් කර ඇත්තේ, දරිද්‍රතාවයෙන් පෙලෙන නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ ත්‍රස්ත කිරීමටත්, රට පුරා වැඩකරන ජනතාව හා තරුනයන් බිය ගැන්වීමටත් ය. අලස් පවසන පරිදි, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම “මුලිනුපුටා දැමීමේ” සැලසුම්වල කොටසක් ලෙස  පසුගිය මාසයේදී රජය මුහුනු හඳුනාගැනීමේ තාක්ෂනය භාවිතා කිරීම ආරම්භ කලේය.

රටේ වාර්ගික ව්‍යවස්ථාව යටතේ ඔහුට ලබා දී ඇති ඒකාධිපති බලතල සමඟින් වික්‍රමසිංහ පොලිස් රාජ්‍යයක් කරා බොහෝ දුර පැමින ඇත. ඔහු ත්‍රිවිධ හමුදාව වර්ජන කඩන්නන් ලෙස යොදවා ඇති අතර කම්කරු නායකයින් දඩයම් කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා නීති භාවිතා කර ඇත.

කෙසේ වෙතත්, ගෝලීය අධිරාජ්‍යවාදී අර්බුදය, මහජනතාවට එරෙහි මෙම ප්‍රහාරයේ දී වික්‍රමසිංහ හුදෙකලා කර නැත. OSB පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන්තම් මාසයකට පෙර, එක්සත් රාජධානිය සමාජ මාධ්‍ය නිදහස ඉලක්ක කර ගනිමින් එවැනිම නීතියක් සම්මත කලේය. ඉන්දියාවේ, පුවත්පත් තොරතුරු කාර්යාංශය (PIB) විසින් “ව්‍යාජ” යැයි දැනුම් දෙනු ලබන මධ්‍යම රජය පිලිබඳ අන්තර්ගතයන් ඉවත් කිරීමට වෙබ් අඩවිවලට සහ සමාජ මාධ්‍ය වේදිකාවලට දැන් සිදු වේ. 

වෘත්තීය සමිති නායකයින් වික්‍රමසිංහගේ ජාමූඅ “ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ” සැලසුම්වලට යටත් වී ඇති අතර කප්පාදුවට එරෙහිව සටන් කිරීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සදහා  ඔවුන්ට දේශපාලන වැඩපිලිවෙලක් නොමැත. මෙම මර්දන නීති අහෝසි කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට සටන් කල හැක්කේ කම්කරු පන්තියට පමනක් වන අතර, එම සටන කල යුත්තේ එම පන්තියයි. වැඩකරන ජනතාවගේ ආන්ඩුවක් ගෙන ඒමටත්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ග්‍රහනයෙන් ආර්ථිකය මුදවා ගැනීමට සහ සමාජවාදී ආකාරයෙන් ආර්ථික ජීවිතය ප්‍රතිව්‍යුහගත කිරීමටත්, වාර්ගික බෙදීම් සහ කර්මාන්ත ක්ෂේත්‍රයන් හරහා එක්සත් වූ ඔවුන්ගේම ස්වාධීන සංවිධාන තුල සංවිධානය වීම මේ සඳහා අත්‍යවශ්‍ය වේ.

(මෙහි ලිපිය පෙබරවාරි 09 දින theSocialist.lk හි පලකල  Sri Lanka government enacts social media crackdown law, tables new anti-terrorism law යන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු හා පරාක්‍රම කුරුප්පු විසිනි)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top