ශිෂ්‍ය මර්දනය නතර කරනු! ශිෂ්‍යයිනි, කම්කරු ක්‍රියාකාරී කමිටු සමග එක්වනු!

රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු’, ‘මැතිවරනය කල් දැමීමට එරෙහි වෙමු’, ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත  අහෝසි කරනු’ ආදී සටන් පාඨ කිහිපයක් ඉදිරිපත් කරමින් ඊයේ (07) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය හා තවත් සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කර තිබූ කොලඹ ශිෂ්‍ය උද්ඝෝෂනයට වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කල පොලිස් ප්‍රහාරය කොලඹ ක්‍රියාකාරී කමිටුව තරයේ හෙලා දකියි.

කොලඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ඇරඹී ⁣කොලඹින්  පිටතට ගමන් කරමින් සිටි සිසුන් පසුපස හඹා යමින් ⁣ කොලඹ  විශ්ව විද්‍යලය  අසලදී කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකිරීමෙන් පසු විශ්ව විද්‍යාලය තුලට කඩා වැදුනු පොලීසිය ආරක්ෂාව සඳහා එහි පිවිස සිටි සිසුන්ට පහර දුන්හ. පොලිස් නිලධාරීන් අත බර දඩු මුගුරු තිබෙනු දක්නට විය.

සුපුරුදු පරිදි පොලීසිය කොටුව හා මාලිගාකන්ද යන මහේස්ත්‍රාත් අධිකරනවලින් විරෝධතාකරුවන්ට එරෙහිව මාර්ග ‘අවහිර කිරීම’ වලකන උසාවි නියෝග ලබාගෙන තිබුනි. කොටුව ප්‍රදේශයේ අවි රැගත් ‘කැරලි මර්දන’ පොලීසිය සීරුවෙන් යොදවා තිබිනි.

මේ අතරතුර පෙරවරුවේ වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුල අවධාරනය කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල තමන් අකුරටම ක්‍රියාත්මක කරමින් සිටින බවත් මහජනතාව එයට සහාය දැක්විය යුතු බවත්, ‘උද්ඝෝෂන මාර්ගයෙන් මේව කඩාකප්පල් කරන්න යනවනම් ඒ පිලිඹඳ මේ ආන්ඩුව තදින් ක්‍රියාත්මක වන’ බව යි. 

2022 ජුලි 9 සිට මහජන අරගල මර්දනය කිරීම සඳහා එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයන් උත්කර්ෂයට නංවමින් වික්‍රමසිංහ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ස්තූති කලේ ය. 

වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කලේ දැවෙන ජීවන බර, බදු හා කප්පාදු හේතුවෙන් සමස්ථ ධනපති පාලනයටම එරෙහිව සටන් කිරීමට සූදානම්ව වැඩවර්ජන ඉල්ලා සිටින කම්කරු මහජනතාවගේ පීඩනය සමහන් කිරීම සඳහා වෘත්තීය සමිති සංධාන කිහිපයක් විසින් මාර්තු 08 දින සිට වැඩවර්ජනයක් කැඳවා තිබූ පසුබිමකය.

ජාමූඅ නිර්දේශ කර ඇති කප්පාදු පියවරයන් ජනතාව මත පටවමින් සිටින වික්‍රමසිංහ නැවත නැවතත් කියා ඇත්තේත්, ක්‍රයාවට දමා ඇත්තේත් එම නවලිබරල් වැඩපිලිවෙලට හරස් වන ඕනෑම විරෝධයක් ම්ලේච්ඡ ලෙස මර්දනය කරන බවයි.  

පසුගිය පෙබරවාරි 26 දා  ජනතා විමුක්ති පෙරමුන විසින් පැවැත්වූ මෙවැනිම විරෝධතාවයකට පොලීසිය මාර්ග හරස් කොට වටකර කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකල අතර එහිදී එක් විරෝධතාකරුවෙකු ඝාතනය කරනු ලැබීය. වික්‍රමසිංහ ආන්ඩුව එයට වගකිව යුතුය.

Image
මුගුරු රැගත් හමුදාව

සමාජය හා සාමයික කේන්ද්‍රය ⁣ඊයේ (07) කොලඹදී වාර්තාවක් ඉදිරිපත්කරමින් හෙලිදරව් කර ඇත්තේ පසුගිය වසරේ ගෝඨාගෝහෝම් අරගල තුලදී පලවා හැරුනු  රාජපක්ෂ  පාලන තන්ත්‍රය විසින් මාස හතරක් තුල ‘අරගලකරුවන්ට’ විරුද්ධව යොදාගැනුනු ලැබුනු 6000 ක් පමන වන කඳුලු ගෑස් වසර 20ක් පමන පරන කල් ඉකුත් වූ ඒවා බවයි. අඩුතරමින් අරගලකරුවන්ගේ මරන තුනකට පමන මෙම විෂ රසායනික ප්‍රහාරයන් වගකිව යුතුය. 

කොක්‍රික අවධාරනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන් ආරක්ෂා කරගැනීමට හෝ කප්පාදුවට එරෙහිව ශිෂ්‍යයින්ට ‘ශිෂ්‍ය දේශපාලනය’ යනුවෙන් පිලිවෙතක් නැති බවයි. බලපෑම් දැමීමේ දේශපාලනය මගින් මර්දනය හෝ කප්පාදුව අවසන් කල නොහැක. එය තොරම්බල් කරන ඊනියා ශිෂ්‍ය නායකයෝ දැනුවත්වම ශිෂ්‍යයන්ගේ දේශපාලන දැනුවත්භාවයට වල කපති.

වෘත්තීය සමිති-සමාගම්-ආන්ඩුව යන සංධානයේ සමාජ ප්‍රහාරයට එරෙහිව එලඹීමට නියමිත මහා කම්කරු වැඩවර්ජන සංවිධානය කිරීම සඳහා කොක්‍රික ඇතුලු ස්වාධින ක්‍රියාකාරී කමිටු සමග එක්වෙමින් කම්කරු නායකත්වය යටතේ සමාජවාදී වැඩපිලිවෙලකට සටන් කිරීමට පෙලගැසෙන ලෙස අපි ශිෂ්‍යයන්ට ඇරයුම් කරමු.

කොලඹ ක්‍රියාකාරී කමිටුව

08 මාර්තු 2023

#CACPS @SJ 

Images credit to Shehan Gunasekera and IUSF fb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top