සමාජ මාධ්‍ය වාරන පනතට එරෙහිව කොක්‍රික උද්ඝෝෂනයේ 

අපේ වාර්තාකරු

OSB

දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය මස අග  මර්දක නීති යෝජනා වන “ප්‍රති-ත්‍රස්ත පනත” හා සමාජ මාධ්‍ය ප්‍රකාශන නිදහස වාරන “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිලිබඳ පනත” යනුවෙන් කෙටුම්පත් දෙකක් ප්‍රසිද්ධ කලේය. මෙයින් මේ මස 03 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපතත් කරනු ලැබුවේ සමාජ මාධ්‍ය වාරන පනත පමනි. මෙම නීතිය ආරක්ෂක අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ඇත.

පුලුල් අරගලයක කොටසක් ලෙස මෙම පනත් වලට එරෙහිව කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) ගෙන යන උද්ඝෝෂනය ඉදිරියට ගනිමින් එහි ලේකම් ශාන්ත විජේසූරිය හා කමිටුවට හිතෛශී ප්‍රසිද්ධ කාටූන් ශිල්පී අවන්ත ආටිගල ද ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව දී ඇති අවස්ථාව ⁣යොදා ගනිමින් ශ්‍රෙෂ්ඨාධිකරනයට පෙත්සමක් ගොනු කලෝය.

ආන්ඩුවේ කප්පාදු පිලවෙත් වලට එරෙහිව අරගලවලට පිවිස සිටින දැනුවත් කම්කරු පන්තිය අතර හා මධ්‍යම පන්තිය තුල විශාල ලෙස අප්‍රසාදයට පත්ව ඇති මෙම පනත් කෙටුම්පතට එරෙහිව දැනටමත් පෙත්සම් 25 කට අධික ප්‍රමානයක් ගොනුකර ඇති බව වාර්ථා වෙයි.

මෙම පනත සම්මත වුවහොත්, ⁣”සත්‍ය” යනු කුමක් ද යන්න ආන්ඩුව, එනම් විධායක ජනාධිපති විසින් පත්කරන කොමිෂමක් මගින් තීන්දු කරනු ලබනු ඇති අතර, එම සත්‍යයට පටහැනි ප්‍රකාශ ඔන්ලයින් අවකාශයේ ප්‍රචාරය කිරීම මගින් උත්ගතව ඇතැයි කියනු ලබන අවිනිශ්චිත සිද්ධි අරබයා ප්‍රකාශය ප්‍රසිද්ධ කරන්නා අත්අඩංගුවට ගෙන වසර 5 ,7 සිට 20 දක්වා දැඩි සිර දඩුවම් ද, මිලියන ගනනින් දඩ ද පැනවිය හැකි වෙයි.

ප්‍රකාශනයේ නිදහස පිලිබඳ සමාජ අවකාශය විනාශ කරනු ඇති අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියක් වන මෙය රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අප පෙත්සම් කරුවන් කියා සිටින අතර ඒ බව තීන්දු කර ප්‍රකාශ කරන ලෙස අධිකරනයෙන් ඉල්ලා සිටී. 

ආන්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි නීති පවා සම්මත කිරීමට එම ව්‍යවස්ථාවට අනුවම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගේ තුනෙන් දෙකක ජන්දයක් හා ජනමත විචාරනයක් මගින් හැකියාව පවතී. අධිකරනයට ඉදිරිපත් කර ඇති සෑම පෙත්සමකම පාහේ පෙත්සම්කරුවන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධව මෙම විධිවිධාන බලාත්මක කරන ලෙස ඉල්ලා තිබේ. මීට ප්‍රතිවිරුද්ධව විජේසේකර හා ආටිගල මෙම ඉල්ලීම සහනයක් ලෙස අයැදීම ප්‍රතික්ශේප කර තිබේ. 

මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රිය අයිතීන් එකිනෙක මුලිනුපුටා දැමීම හැර බංකොලොත් ධනපති පාලක පන්තියට වෙනත් විකල්පයක් නැත. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සිට ඉන්දියාව හෝ ලංකාව දක්වා ලොව පුරා රටවල කම්කරු මහජනතාවට මුහුන දීමට සිදුව ඇත්තේ එකම ගෝලීය ධනපති අර්බුදයක හා යුද්ධයේ බර තමන් මතට හෙලන පාලක පන්තීන්ගේ ප්‍රහාරයන්ට ය. මහජනතාවට කප්පාදුව, ආඥාදායකත්වය හා යුද්ධය පමනක්ම ලබාදිය හැකි පාලක පන්තිය මහජන අවකාශයන් සුනුවිසුනු කිරීම ඇඹා ඇත්තේ වැඩෙන මහජන විරෝධය ගිල්වා දැමීමට ය. 

මහජනතාවගේ ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කොක්‍රික වැනි අව්‍යාජ කම්කරු බල සංස්ථා ගොඩනගා දේශීයවත්, ජාත්‍යන්තරවත් ඒකාබද්ධ කොට අරගල පෙරට සූදානම් කිරීම හා අවසානය දක්වා සටන් කිරීම වියරු ඒකාධිපතිත්වයන් හා කප්පාදුව පරාජය කල හැකි එකම ක්‍රමයයි.  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top