සසප වෙත ලියූ විවෘත ලිපිය වාරනය හෙලා දකිනු!

theSocialist.LK කර්තෘ මන්ඩල ප්‍රකාශය

නොවැම්බර් 29 දින අප theSocialist.lk වෙබ් අඩවියේ පල කල  “සසප උප ලේකම් සමන් ගුනදාස හමාස් සමග පෙල ගැසීමක් ඉල්ලා සිටියි යන ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) අමතා අප කර්තෘ මන්ඩල සාමාජික නන්දන නන්නෙත්ති විසින් ලියන ලද  විවෘත ලිපියේ සබැඳිය ෆෙස්බුක් අවකාශයේ පල කිරීමට එරෙහිව වාරනයක් පනවා ඇත. එම සබැඳිය පලකිරීමට උත්සාහ කරන්නෙකුට ෆේස්බුක් නිවේදනය කරන්නේ එය ඔවුන්ගේ “Community Standards” වලට අනුව  “Spam” ලෙස පෙනීයන බවත්, ඒ අනුව එය පෝස්ටුවක් ලෙස පල කල නොහැකි බවත්ය.

ෆේස්බුක් ආයතනය අපට දැනුම් දී ඇති ආකාරයට, එම ලිපිය අපහාසාත්මක එකක් යයි ෆේස්බුක් පරිශීලකයන් කන්ඩායමක් පැමිනිලි කර ඇත. ඒ අනුව අපගේ ලිපිය කොලඹ ක්‍රියාකාරි කමිටුවේ ෆේස්බුක් පිටුව ඇතුලු සියලුම ෆේස්බුක් පිටුවලින් ගලවා දැමීමට එම සමාගම ක්‍රියා කර තිබේ. 

අපි මෙම වාරනය දැඩි ලෙස හෙලා දකින්නෙමු. එසේම, අපි ෆේස්බුක් වෙත බලකර සිටින්නේ එම වාරනය වහා ඉවත් කරගන්නා ලෙසයි. 

උක්ත ලිපිය අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ලබමින් ඊශ්‍රායලය පලස්තීන ජනයාට එරෙහිව පවත්වා ගෙන යන ජන ඝාතනයට එරෙහිව කම්කරු පන්තියේ ඉදිරිදර්ශන හා ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අප ඉදිරිපත් කල විවේච්නයකි – විශේෂයෙන්ම, එය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය මත හිඳිමින් කල විවේචනයකි. එම විවේචනය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ දේශපාලනිකව සාකච්ජාවට ගැනීම සසස මෙන්ම, ඒ සම්බන්ධ උනන්දු වන සැමගේ වගකීමකි. මෙම ඉදිරි දර්ශනය පිලිබඳ සාකච්ඡාව ලෝක කම්කරු පන්තිය හමුවේ ඉදිරියට ගැනීම අද දින හදිසිතම කාර්යයක්ව පවතින තතු යටතේ සිදු කර ඇති මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව, එකී සාකච්ඡාව යටපත් කිරීමට යටි උගුල් මැනීමකි. 

මෙය අප වෙබ් අඩවියේ මෙන්ම එහි ලේඛකයන්ගේ ද, ප්‍රකාශනයේ නිදහස උල්ලංගනය කිරීමකි. අප වෙබ් අඩවිය විශේෂයෙන් ලංකාවේත්, පුලුල්ව මේ කලාපයේත් කම්කරු පන්තියේ විප්ලවවාදී ප්‍රකාශනයක් ලෙස කම්කරුවන් හා පීඩිතයන් අතර සමීප වෙමින් ඇති තත්වයක් තුල මෙම වාරනය එම කම්කරු පීඩිතයන්ගේ හඬ යටපත් කිරීමේත්, ඔවුන් සතු තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පාගා දැමීමේත් ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තකි. 

ලිපියට එරෙහිව ෆෙස්බුක් අඩවියට පැමිනිලි කල පුද්ගලයෝ පැහැදැලිවම ලිපියේ පෙන්වා දී ඇති හෙලිදරව් කිරීම්වලට බියෙන්, එයින් සලිත වූ දේශපාලන අඳබාලයන් බව සැක නැත. ඔවුන් එහි සඳහන් කර ඇති දේශපාලන අපගමනයන් සමග සිටගන්නා අතර, සහෝදරාත්මක හා ප්‍රථිඵලදායී විවේචන ඒ හැටියෙන් බාරගෙන වැරදි නිවැරදි කරගැනීමට උත්සුකයක් දරන්නෝ නොවන බව පැහැදිලිය. ඔවුන් කර ඇත්තේ පහන නිවා දැමීමත්, පහන දැල්වූ තැනැත්තා පන්ති සතුරාට කොටුකර දීමත්ය.

අප කම්කරු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙම පන්ති සාපරාධී ක්‍රියාවන්හි යෙදෙන අයවලුන් සම්බන්ධව අවධියෙන් සිටින ලෙසයි. එසේම, ඉහත කී ලිපිය අප වෙබ් අඩවය තුලින් කියවා, හැකි තරම් එහි හෙලිදරව් කිරීම් වලට මහජන අවධානය යොමුකරවන ලෙසයි.

අප ලිපිය සමග ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ජාවකට අවතීරන වන ලෙස ලංකාවේ සසප වෙත සහෝදරත්වයෙන් ආරාධනා කර සිටින අතරම, කම්කරු පීඩිත සංවිධානවලට එල්ල වන සියලු මර්දන හා වාරනවලට එරෙහිව සටන් කිරීමේ විකොස/සසප කීර්තිමත් ඓතිහාසික වාර්තාව සලකමින් ඉහතකී වාරනයට එරෙහිව, එය හෙලා දකිමින්, ක්‍රියා කරනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු සහගත වෙමු. එලෙස කටයුතු කරන ලෙස ඉල්ලමින් දැනටමත් සසප ප්‍රධාන ලේකම් වෙත අප ප්‍රධාන කර්තෘ ලියා යවා ඇත. 

කම්කරුවනි, පීඩිතයනි, පාඨකයිනි, පලස්තීන පීඩිත මහජනතාවට එරෙහි අධිරාජ්‍යවාදී-සියොන්වාදී සමූලඝාතනය අලුත් වටයකින් අරඹා දකුනු ගාසා තීරයේ කොටුකර සිටින මිලියන 2.1ක් වන පලස්තීනු ජනතාවක් ලේ ගංගාවක ගිල්වීමට කරන සූදානම පරාජය කිරීම සඳහා ලොව පුරා ගොඩනැගෙන මහා යුද විරෝධී ව්‍යාපාරයට ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය හා වැඩපිලිවෙල නිකැලැල්ව ගෙන යෑමට එරෙහිව පිහිටන සියලු ආකාරයේ බාධක  මැඩලමු. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top