හිට්ලර් බලයට පත් වී වසර 90ක්: පව්කාර සංවත්සරයක්

පීටර් ෂ්වාට්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජනවාරි 29 දින පල වූ ‘90 years since Hitler took power: A sinister anniversary’ යන පීටර් ෂ්වාට්ස් විසින් ලියන ලද ඉදිරි දර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

වසර අනූවකට පෙර, 1933 ජනවාරි 30 වන දින, ජනාධිපති පෝල් වොන් හින්ඩන්බර්ග් විසින් ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂයේ (NSDAP-එන්එස්ඩීඒපී) නායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මානු රයික් චාන්සලර් ලෙස පත් කලේය. නාසීන්ට බලය පැවරීම භයානක ප්‍රතිවිපාක ඇති කලේය. ඔහුගේ පාලනය වසර 12කට පසුව අවසන් වූ බැවින් පොරොන්දු වූ වසර 1000ක රයික් පාලනයක්  පිහිටුවීමට හිට්ලර් සමත් නොවන්නට ඇත, නමුත් මෙම වසර 12 තුල ඔහුගේ පාලන තන්ත්‍රය විසින් සිදු කරන ලද අපරාධ, සිතාගත හැකි සියල්ල ඉක්මවා ගිය අතර එය වසර 1,000කට ප්‍රමානවත් වනු ඇත. 

මාස කිහිපයක් ඇතුලත, නාසීන් ත්‍රස්තයේ පාලනයක් දියත් කලේ  නවීනතම ප්‍රචාරක මාධ්‍යයන් සමඟ පූර්න ඔත්තු බැලීම සහ අනුකම්පා විරහිත මර්දනය ඊට ඒකාබද්ධ කරමින්ය. ඔවුන් කම්කරු සංවිධාන කඩා බිඳ දමා ඒවායේ නායකයින් සහ සාමාජිකයන් ඝාතනය කර හෝ ඒ  සඳහා විශේෂයෙන් පිහිටවූ  රැදවුම් කඳවුරු වල සිරකර තැබූහ. 

දිගු කලක් පුරාවට සංස්කෘතියේ සහ කාර්මික දියුනුවේ ජාතියක් ලෙස සැලකුනු ජර්මනිය, ඔවුහු ම්ලේච්ඡ සටන් යන්ත්‍රයක් බවට පත් කලහ. හිට්ලර් රයික් චාන්සලර් ලෙස පත්වීමෙන් වසර හය හමාරකට පසු, ඔහුගේ හමුදාව (වෙර්මාච්ට්) පෝලන්තය ආක්‍රමනය කිරීමත් සමඟ දෙවන ලෝක යුද්ධය ආරම්භ  කලේය. ඉන් අනතුරුව ,1941 ගිම්හානයේ දී , සෝවියට් සංගමයට එරෙහිව සූක්ෂම ලෙස සැලසුම් කරන ලද සමූලඝාතක යුද්ධයෙන් සෝවියට් පුරවැසියන් මිලියන 27 ක් මරා දැමීය.

Hitler
1933 මාර්තු 21, පොට්ස්ඩෑම් දිනයේ, ජනාධිපති පෝල් ෆොන් හින්ඩන්බර්ග් (දකුනේ) නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මානු චාන්සලර් ලෙස පත් කිරීම පිලිගනී. [ඡායාරූපය Theo Eisenhart/Bundesarchiv, Bild 183-S38324 / CC BY-NC-SA 3.0]

නාසීන්ගේ ම්ලේච්ඡත්වය එහි උච්චතම අවස්ථාවට ලඟා වූයේ, සින්ටි සහ රෝමා සිය දහස් ගනනක් සමග යුදෙව්වන් මිලියන 6 ක් ලියාපදිංචි කර, වටලා  අල්ලාගෙන, ඝාතන කඳවුරු වෙත ප්‍රවාහනය කොට එහිදී ඔවුන් ගෑස් කුටි සඳහා තෝරා වෙන් කොට  නිලධාරිවාදී පරිසමාප්ත භාවයෙන් පුලුස්සා දමන ලද කාර්මික සමූලඝාතනය කිරීමත් සමඟය.

හිට්ලර් බලයට පත්වී වසර දහයකට පසු, 1943 පෙබරවාරි 2 වන දින, ස්ටාලින්ග්‍රෑඩ්හිදී රතු හමුදාව විසින් වෙයර්මාට් (ජර්මන් හමුදාව) පරාජය කිරීම යුද්ධයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කලේය. යුද්ධය දැන් ජර්මනිය මතට ආපසු කරකැවී ගිය අතර ,ජර්මනියට මිත්‍ර පාක්ෂිකයින් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් මිය ගියහ. 1945 අප්‍රේල් 30 වන දින හිට්ලර් විසින් ඔහුගේ හිස් කබල හරහා වෙඩි උන්ඩයක් නිකුත් කර ජර්මනිය යටත් වන විට රට නටබුන් බවට පත්වී තිබුනි.

එතැන් සිට වසර ගනනාවක් පුරා , එවැනි අපරාධ නැවත සිදු නොවිය යුතු බවට එකඟතාවයක් තිබුනි. නමුත් මෙය තවදුරටත් එසේ නොවේ. ජර්මානු රජය හිට්ලර් බලයට පත්වීමේ 90 වැනි සංවත්සරය සමරන්නේ, රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා ජර්මානු ලෙපර්ඩ් යුධ ටැංකි යෙදවීමෙනි. රුසියාව මිලිටරිමය වශයෙන් යටත් කර ගැනීම සඳහා යුක්රේනයේ යුද්ධය උත්සන්න කිරීම මගින් වසර 80 කට පෙර ස්ටැලින්ග්‍රෑඩ්හිදී ලැබූ පරාජයට පලිගැනීම එහි අරමුනයි. 

නේටෝ ඉහල විධාන මූලස්ථානය  “සම්පූර්න සන්ධාන ප්‍රදේශය සඳහා මාස කිහිපයක්  තිස්සේ කලාපීය මෙහෙයුම් සැලසුම් තුනක් සකස් කරමින් සිටියි”, ඩර් ස්පීගල්හි ( Der Spiegel) එහි නවතම නිකුතුවේ වාර්තා කරයි. “බොහෝ ඇමුනුම් සහිතව දුරකථන නාමාවලියක ඝනකමක් ගන්නා සැලසුම්, සයිබර් අවකාශයේ සිට භූගෝලීය අවකාශයට,  සහ නාවික, ගුවන් සහ ගොඩබිම් හමුදා දක්වා, කිනම් හැකියාවන් කුමන මිලිටරි මානයන්හි යෙදවිය හැකිද යන්න විස්තරාත්මකව විස්තර කරයි.”මේ අතර, තවත් න්‍යෂ්ටික සන්නද්ධ බලවතෙකු වන චීනයට එරෙහි යුද්ධය ඇරඹිය  යුත්තේ වසර දෙකකින්ද නැතහොත් හතරකින්ද  යන්න ගැන එක්සත් ජනපද ජෙනරාල්වරු  සමපේක්ෂනය කරමින් සිටිති.

හිට්ලර් ප්‍රීතියෙන් කුල්මත් වනු ඇත. ඔහු නේටෝවේ ප්‍රහාරයට පුර්න සහය දක්වමින් යුධ ටැංකි සහ සබ්මැරීන යෙදවීමේ නියෝගයට මහ හඬින් අත්පොලසන් දෙනු ඇත.

ජර්මනියේ හිට්ලර් පුනරුත්ථාපනය කිරීම වසර ගනනාවකට පෙරම ආරම්භ විය. 1980 ගනන්වල ඉතිහාසඥ අර්නස්ට් නොල්ටේ නාසිවාදය රුසියානු ඔක්තෝබර් විප්ලවය කෙරෙහි තේරුම් ගත හැකි ප්‍රතික්‍රියාවක් ලෙස නිරූපනය කල විට, ඔහු “ඉතිහාසඥයින්ගේ ආරවුල” ලෙස හඳුන්වන ලද කෝපයේ කුනාටුවකට මුහුන දුන්නේය.

එහෙත් 2014 දී හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝර්ග් බාබරොව්ස්කි , ඩර් ස්පීගල්හි නොල්ටේ පුනරුත්ථාපනය කර “හිට්ලර් දුෂ්ටයෙක් නොවේ” යැයි ප්‍රකාශ කල විට, බාබරොව්ස්කිව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ හේතුවෙන්, මාධ්‍යයේ සහ දේශපාලන සංස්ථාපිතයේ සියලු කෝපය සමාජවාදී සමානතා පක්ෂයට (Sozialistische Gleichheitspartei, SGP) එරෙහිව එල්ල විය.  එස්ජීපීය එකල පැහැදිලි කල පරිදි, හිට්ලර් පුනරුත්ථාපනය කිරීම ජර්මානු මිලිටරිවාදයේ පුනර්ජීවනය සමඟ වෙන්කල නොහැකි ලෙස  සම්බන්ධිත  විය.

යුක්රේනයේ යුද්ධයෙන් දැන් මෙය තහවුරු වී ඇත. එය , හිට්ලර්ගෙන් පසු විශාලතම නැවත සන්නද්ධ කිරීමේ වැඩසටහන දියත් කිරීම සදහා  ජර්මානු ආන්ඩුවට කඩතුරාවක් සපයා ඇත. නේටෝවේ නිර්දය පෙරදිග ව්‍යාප්තිය සහ කියෙව්හි 2014 කුමන්ත්‍රනය හරහා යුද්ධය හිතාමතාම කුපිත කරන ලදී. එය ධනවාදයේ ගැඹුරු අර්බුදය විසින් මෙහෙයවනු ලබන අධිරාජ්‍යවාදී බලවතුන් අතර ලෝකය ප්‍රචන්ඩ ලෙස යලි බෙදා ගැන්මක කොටසකි. අධිරාජ්‍යවාදීන්ගේ ඉලක්කය වන්නේ රුසියාව කුඩුපට්ටම් කිරීම, එහි අතිවිශාල ස්වභාවික සම්පත් බෙදාගෙන චීනය වටකර ගැනීමයි.

මෙය කිසිසේත්ම යුක්රේනයේ ප්‍රතිගාමී රුසියානු ආක්‍රමනය සාධාරනීකරනය නොකරයි. පුටින් තන්ත‍්‍රය මූර්තිමත් කරන්නේ 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැර සමාජගත වූ දේපල කොල්ලකෑ රුසියානු කතිපයාධිකාරීන්ගේ අවශ්‍යතා ය. නේටෝවේ ප්‍රහාරය, 1917 ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන විනාශ කිරීම වෙනුවෙන් රුසියානු ජනතාව දැන් ගෙවමින් සිටින මිලයි. බර්ලිනය සහ වොෂින්ටනය, 1943 හිට්ලර්ගේ යුද ටැංකිවලට සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ දේ, නේටෝවේ සහ  කියෙව්හි  එහි රූකඩයේ සහාය ඇතිව,  සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරයි. මෙය නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයකට පමනි.

හිට්ලර් බලයට නැගීමෙහි පාඩම්

හිට්ලර්ගේ නැගීම පිලිබඳ ඓතිහාසික පාඩම් , අදට දැවෙන අදාලත්වයක් ඇත. බොහෝ විට කියාපානා  දෙයට පටහැනිව, ඔහු බලයට ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයින් බල රහිත බවට පත්කල ජනප්‍රිය ව්‍යාපාරයකින් නොවේ.ඔහුට රාජ්‍ය බලය දිනාගැනීමට අවශ්‍ය නොකලේ, එය දේශපාලන, ආර්ථික සහ හමුදා ප්‍රභූන් විසින් ඔහුට භාර දුන් නිසා ය.

1933 දී හිට්ලර් රයික් චාන්සලර් ධුරයට ඇතුලු වන විට, වයිමර් ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බොහෝ කලකට පෙරම  විනාශ කර තිබුනි. පෙර වසර තුනක් තුලම  , චාන්සලර්වරුන් පාලනය කර තිබුනේ රයික් ජනාධිපතිවරයා විසින් අත්සන් කරන ලද හදිසි නියෝග හරහා විය.

බලාපොරොත්තු සුන් වූ පලමු ලෝක සංග්‍රාමයේ නිලධාරීන්, උද්ධමනය සහ ආර්ථික අවපාතයෙන් විනාශ වූ සුලු ධනේශ්වර ස්ථරයන් සහ වාර්ගිකත්වයේ සහ කොමියුනිස්ට් විරෝධයේ  ධජය යටතේ අනෙකුත් පන්ති විරහිත කොටස්ද  එකතු කරගත් හිට්ලර්ගේ එන්එස්ඩීඒපී ය  [ NSDAP], 1932 ගිම්හානයේදී එහි හොඳම මැතිවරන ප්‍රතිඵලය ලෙස ලබා ගත්තේ සියයට 37ක් පමනි. ඉන් පසු ඔහුගේ පක්ෂයට තිබූ සහයෝගය ඉක්මනින්ම බිඳ වැටුනි. මාස හතරකට පසු නව රයික්ටැග් මැතිවරනය පැවැත් වූ විට, ප්‍රධාන කම්කරු පක්ෂ දෙක, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් (එස්පීඩී) සහ කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) ඒකාබද්ධව  නාසීන්ට වඩා සැලකිය යුතු ලෙස වැඩි ඡන්ද ප්‍රමානයක් ලබා ගත්හ. පක්ෂය බංකොලොත් භාවයට මුහුන දෙමින් සිටි අතර හිට්ලර් සියදිවි නසා ගැනීමට පවා කල්පනා කලේය.

මෙම අර්බුදයේ මධ්‍යයේ, රයික් ජනාධිපති වොන් හින්ඩන්බර්ග් වටා සිටි කුඩා කුමන්ත්‍රනකාරී කවයක් විසින් හිට්ලර්ට පක්ෂව තීරනය ගන්නා ලදී. මහා ව්‍යාපාරිකයන් සහ හමුදාව ඔවුන්ගේ අනුමැතිය සංඥා කලහ. ඔවුන් හිට්ලර්ට සහය දුන්නේ ඔහුගේ අභිප්‍රාය වැරදි ලෙස වටහා ගත් නිසා නොව, ඔහු කරන්නේ කුමක්ද යන්න ඔවුන් හොඳින් දැන සිටි නිසාය.

1932 ජනවාරි මස තරම් මුලදී, හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන බවත්, පන්ති අරගලය සහ “බෝල්ෂෙවික්වාදය” මර්දනය කරන බවත්, ජර්මනිය සඳහා නව ලෙබෙන්ස්‍රෝම් (ජීවන අවකාශය) අත්පත් ගන්නා බවත්, ඩුසල්ඩෝෆ් කර්මාන්ත සමාජයට කල කතාවකදී , ඉහල ව්‍යාපාරික නියෝජිතයින්ට පොරොන්දු විය. ඉඳහිට ධනේශ්වර-විරෝධී වාචාල කතා ඇදබානු ලැබුවද ,  පුද්ගලික දේපල උල්ලංඝනය නොකරන බවට හා ජනතාව අතර ආදායම් විෂමතාවන්ට  අභියෝග නොකරන බවට ඔහු ඔවුන්ට සහතික විය.

ආන්ඩුව භාරගෙන දින හතරකට පසු  හිට්ලර්, තවමත් ඉතිරිව තිබිය හැකි සංකාවන් දුරු කිරීම සඳහා රයික්වෙර් හි (එකල ජර්මන් හමුදාව) නායකයින් හමුවිය. “ජනවාර්ගිකත්වයේ” වැදගත්කම පිලිබඳ හඳුන්වාදීමේ ප්‍රකාශ වලින්  පසුව, “ආයුධ අතැතිව  ජර්මානු ජනතාවගේ ජීවන අවකාශය පුලුල් කිරීමට” ඔහු ඔවුන්ට පොරොන්දු විය. පූර්ව කොන්දේසියක් ලෙස, “සෑම කඩාකප්පල්කාරී මතයක්ම හැකි උපරිම ආකාරයෙන් යටපත් කල යුතු” බවත්, “මාක්ස්වාදය සම්පූර්නයෙන්ම විනාශ කල යුතු” බවත් ඔහු පැවසීය.

ප්‍රාග්ධනය සහ මිලිටරිය,  හිට්ලර් සඳහා වූ ඔවුන්ගේ තීරනයෙන්  ධනවාදයේ විසඳිය නොහැකි අර්බුදයට ප්‍රතිචාර දැක්වූහ. යුරෝපයේ මධ්‍යයට කොටුවූ ජව සම්පන්න ජර්මානු කර්මාන්තය ප්‍රසාරනය කල හැක්කේ ප්‍රචන්ඩකාරී යටපත් කර ගැනීම් මගින් පමනක් විය. මේ සඳහා පන්ති අරගලය මර්දනය කිරීමත් කම්කරු ව්‍යාපාරය කුඩුපට්ටම් කිරීමත් සිදු කල යුතු විය.

මේ හේතුව නිසාම අද නැවතත් ෆැසිස්ට් බලවේග ප්‍රවර්ධනය වෙමින් පවතී. මෙම තත්වය , ෆැසිස්ට්  ‘ජර්මනිය සඳහා විකල්පය’ (Alternative for Germany පක්ෂය -AfD) පාර්ලිමේන්තුවේ වාඩි වී සිටිමින් සරනාගතයින් සහ දේශීය ප්‍රතිපත්ති පිලිබඳ ආන්ඩුවේ පිලිවෙතට අන කරන , ජර්මනියේ පමනක් පවතින්නේ නොවේ.  එක්සත් ජනපදයේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකානුවන්ට සහ බ්‍රසීලයේ බොල්සොනාරෝගේ ආධාරකරුවන්ට පැහැදිලි ෆැසිස්ට් ලක්ෂන ඇත. ඉතාලියේ මුසෝලිනිගේ උරුමක්කරුවෝ රජයේ ප්‍රධානත්වය දරති.

මෑත වසරවල දී ධනවත් වීම සදහා වන  අශික්ෂිත සාදය (orgy) පන්ති ප්‍රතිවිරෝධතා බිඳවැටීමේ ලක්ෂ්‍යයට තල්ලු කර ඇත. මනුෂ්‍ය වර්ගයාගේ දුප්පත් භාගයට වඩා වැඩි ධනයක් පුද්ගලයන් දුසිම් කිහිපයක් සතුය. මධ්‍යම පන්තියේ ධනවත් නියෝජිතයන් ද – ඉහලම සියයට 10 ද  –  පොහොසත් වී ඇත. අද, මිලිටරිවාදය සඳහා වඩාත්ම වැදගත් සමාජ පදනම, ඔවුන්  සාදාලයි. ඊට වෙනස්ව, කම්කරු පන්තියේ ජීවන තත්වයන් දැවැන්ත ලෙස පහත වැටී ඇත, ශ්‍රම සේවා කොන්දේසි වඩ වඩාත් දරාගත නොහැකි වෙමින් පවතී, ලොව පුරා විරෝධතා සහ වැඩ වර්ජන ඉහල යමින් පවතී.

යුද්ධයට හා ෆැසිස්ට්වාදයට එරෙහි සටන සඳහා වෛෂයික පදනම මෙයයි. 1933 දී මිලියන 13ක් වූ එස්පීඩී සහ කේපීඩී ඡන්දදායකයින්ට හිට්ලර් නැවැත්විය හැකිව තිබුනි. ඔවුන් සටන් කිරීමට සූදානම්ව සිටි නමුත් ඔවුන්ගේ නායකයින් ඒවා අසාර්ථක කලහ. එස්පීඩීය සටන් කිරීම නිශ්චිතවම ප්‍රතික්ෂේප කල අතර ඒ වෙනුවට රාජ්‍යයට සහ හින්ඩන්බර්ග් වෙත ආයාචනා කලේය. ස්ටාලින්ගේ බලපෑම යටතේ කේපීඩීය බලහීන හා විකාර ප්‍රතිපත්තියක් අනුගමනය කලේය.  එස්පීඩීය, “සමාජ ෆැසිස්ට්වාදීන්” ලෙස හඳුන්වමින්, ඔවුන් සමග නාසීන්ට එරෙහි එක්සත් පෙරමුනක් ගොඩනැගීම කේපීඩීීය ප්‍රතික්ෂේප කලේය.

“ජර්මානු නිර්ධන පංතිය සංඛ්‍යාවෙන් හා සංස්කෘතියෙන් තම ඉලක්කය සපුරා ගැනීමට තරම් ශක්තිමත් විය, නමුත් කම්කරු පන්තියේ නායකයින් අසමත් බව ඔප්පු විය,” එක්සත් පෙරමුනේ ප්‍රතිපත්තියක් සඳහා වෙහෙස නොබලා සටන් කල ලියොන් ට්‍රොට්ස්කි ලිවීය.

වසර 90කට පෙර සිදු වූවාක් මෙන්, ෆැසිස්ට්වාදයේ සහ මිලිටරිවාදයේ ඉදිරි ගමන නැවැත්විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයකට පමනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ජර්මානු අංශය වන එස්ජීපීය (Sozialistische Gleichheitspartei -SGP), එවන් ව්‍යාපාරයකට නායකත්වය දිය හැකි දේශපාලන පක්ෂය ගොඩ නගමින් සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top