ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය පිටුපස ඊට පාදක වූ භූ-මූලෝපායික හේතු

ගේබ්රියෙල් බ්ලැක් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ජුනි 27 දින ‘The underlying geostrategic reasons behind the US-Israeli war against Iran යන හිසින් පලවූ ගේබ්රියෙල් බ්ලැක් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

iranattackin israel
ගිනි නිවන භටයින් 2025 ජුනි 24 වන අඟහරුවාදා ඊශ්‍රායලයේ ඉරාන මිසයිල ප්‍රහාරයකින් පහර දුන් ස්ථානය පරීක්ෂා කරයි. [AP Photo/Leo Correa]

ජූනි 12දා ඊශ්‍රායල යුධ ගුවන් යානා එරටට පුලුල් ප්‍රහාරයක් දියත් කරමින් ඇරඹු නීති විරෝධී යුද්ධය නාටකීය ලෙස උත්සන්න කරමින්, ජූනි 21දා එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික ස්ථාන තුනකට බෝම්බ හෙලීය.

ළමයින් 13 දෙනෙකු ද ඇතුළුව, ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයෙන් මියගිය මුළු සංඛ්‍යාව දැන් 610 කකි. ඔවුන්ගෙන් අතිමහත් බහුතරය සිවිල් වැසියන් වේ.

මේ වන විට ඉරානයට බෝම්බ හෙලීම නතර වී ඇත. බිඳෙනසුලු සටන් විරාමයක් ක්‍රියාත්මක වේ. නමුත් ඊශ්‍රායල හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් Eyal Zamir අඟහරුවාදා  තර්ජනය කළ ලෙස, “අපි සැලකිය යුතු පරිච්ඡේදයක් අවසන් කර ඇත, නමුත් ඉරානයට එරෙහි මෙහෙයුම අවසන් වී නැත.”

මෙම නිශ්චිත “පරිච්ඡේදයේ” ප්‍රතිඵලය කුමක් වුවත්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, කලාපය තුළ තම දිගුකාලීන උපායමාර්ගික අරමුන–ඉරාන පාලන තන්ත්‍රය අබලන් කිරීම සහ ගල්ෆ්හි දැවැන්ත තෙල් හා ගෑස් සංචිතවල පාලනය යලි තහවුරු කිරීම–සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටින බව සමීර්ගේ ප්‍රකාශවලින් පිළිබිඹු වේ:

2024 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එරෙහිව එතෙක් සිදු කරන ලද විශාලතම තනි ප්‍රහාරය දියත් කරන ලදී. එහෙත් එක්සත් ජනපද ජනාධිපතිවරනය අවසන් වන තෙක් පුළුල් යුද්ධයක් කල් දමන ලදී. එම මාසයේම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඔහුගේ අභිප්‍රාය පැහැදිලි කළේය: “අවසානයේ ඉරානය නිදහස් වූ විට–මිනිසුන් සිතනවාට වඩා එම මොහොත ඉතා ඉක්මනින් පැමිණෙනු ඇත—සියල්ල වෙනස් වනු ඇත.”

දැන්, පලස්තීන ජනතාවට එරෙහිව උත්සන්න කරමින් පවතින සමූල ජන සංහාරයක වසර දෙකක  පමණ ඇවෑමෙන්, ඊශ්‍රායලය, ප්‍රහාරය සඳහා තම මොහොත සොයාගන තිබේ. ඉරානයට එරෙහි යුද්ධය සනිටුහන් කරන්නේ වසර ගනනාවක් තිස්සේ ගොඩනැංවීමක කූටප්‍රාප්තියයි – කලාපය තුල ඔවුන්ගේ වඩාත්ම චිරස්ථායී විරුද්ධවාදියාට පහර දීමේ හවුල් අපේක්ෂාවක් ඊශ්‍රායල හා ඇමරිකානු සංස්ථාපිතය යන දෙකම බෙදා ගනී. එය සමාජ දෙකෙහිම වැඩෙන අභ්‍යන්තර අර්බුද සහ ප්‍රතිවිරෝධතා වලින් අවධානය ඉවත හැරවීම ලෙසද ක්‍රියා කරයි.

මෙම යුද්ධය පිටුපස ඇති අවසාන ඉලක්කය වන්නේ ඉරානයේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන චීනයයි. චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීම කෙරෙහි අවධානය සංකේන්ද්‍රනය කර ඇති ට්‍රම්ප් පරිපාලනය, ඉරාන පාලන තන්ත්‍රය ඉවත් කිරීම හෝ යටහත් පහත් කරගැනීම චීනය සමග යුද්ධය දෙසට තීරනාත්මක මූලෝපායික පියවරක් ලෙස සලකයි. එය විශාල බලශක්ති සංචිත නැවත ලබා ගැනීමට සහ ලෝකයේ වඩාත්ම තීරනාත්මක භූ-දේශපාලනික අවුරුම්  ස්ථාන (chokepoints) දෙකක් වන පර්සියානු බොක්ක සහ කැස්පියන් මුහුද මත එක්සත් ජනපද ආධිපත්‍යය යලි තහවුරු කිරීමේ මාවත හෙළි කරයි.

ඉරානය තුල එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය

මිලියන 90 කට අධික ජනතාවක් වෙසෙන ඉරානය මැද පෙරදිග දෙවන වැඩිම ජනගහනය සහිත රට වේ. එය 2003 දී එක්සත් ජනපදය ආක්‍රමණය කර විනාශ කළ ඉරාකය මෙන් දෙගුණයක් විශාලය.

ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ එහි තෙල් සම්පත, ඉරානය එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ එල්ලයේ හරි මැද තබා ඇත.

1908 දී, බ්‍රිතාන්‍ය භූ විද්‍යාඥයින් ලෝකයේ විශාලතම තෙල් නිධි අතර වන ඉරානයේ දැවැන්ත තෙල් නිධි සොයා ගත්හ. අද දින BP [British Petroleum] හි පූර්වගාමියා වන ඇන්ග්ලෝ-පර්සියානු තෙල් සමාගම (Anglo-Persian Oil Company-APOC) පිහිටුවීමට බ්‍රිතාන්‍ය රාජ්‍යය ඉක්මනින් පියවර ගත්තේය. ඉරානයේ තෙල් බ්‍රිතාන්‍යයට අතිවිශාල ලාභයක් ලබා දුන් අතර ඉරාන ජනතාවට කිසිවක්ම පාහේ ලැබුණේ නැත.

1940 ගණන්වල අග භාගය වන විට, මෙම ධනය නැවත ලබා ගැනීමට උත්සාහ කරමින් ප්‍රභල මහජන වැඩ වර්ජන සහ විරෝධතා ව්‍යාපාර මතු විය. අගමැති මොහොමඩ් මොසාඩෙග් (Mohammad Mossadegh) සහ ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුත් මෙම ව්‍යාපාරය තෙල් කර්මාන්තය ජනසතු කිරීමට, ඉඩම් නැවත බෙදා හැරීමට සහ රාජාණ්ඩුවේ බලය සීමා කිරීමට උත්සාහ කළේය. මධ්‍යස්ථ ධනේශ්වර ජාතිකවාදියෙකු වූ මොසාඩෙග්, එක්සත් ජනපදය වෙත ආමන්ත්‍රණය කරමින් සහ මහජන ව්‍යාපාරයේ කොටස් වලට එරෙහිව හමුදාව යෙදවීම මගින් තුලිතතාවයක් ඇති කර ගැනීමට උත්සාහ කළ නමුත් ඔහුගේ අර්ධ පියවර පවා බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඕනෑවට වැඩි සේ සලකනු ලැබීය.

1953 දී, සීඅයිඒ සහ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ “ඔපරේෂන් ඇජැක්ස්” කුමන්ත්‍රණය දියත් කළ අතර එය මොසාඩෙග් බලයෙන් පහ කර ෂා නැවත ස්ථාපනය කරන ලදී. ජෙනරාල්වරුන් මිල දී ගැනීමට සහ ප්‍රචණ්ඩ මැරයන් බලමුලු ගැන්වීම සඳහා ඉරානයට මුදල් පියාසර කරවන ලදී. යුධ ටැංකි ටෙහෙරානයට ධාවනය කෙරුණි. ඉන්පසුව සිදුවූයේ ම්ලේච්ඡ මර්දනය හරහා බලාත්මක කරන ලද මොහොමඩ් රේසා පාලවි (Mohammad Reza Pahlavi) යටතේ දශක දෙකක ඒකාධිපති පාලනයකි. දස දහස් ගනනක් කම්කරුවන් සහ සමාජවාදීන් සිරගත කරන ලදී; වධහිංසා පමුණුවා හෝ මරා දමන ලදී. ඉරානයේ තෙල් යලිත් වරක් BP කේන්ද්‍ර කරගෙන බටහිර සංගත වෙත ගලා ගියේ ය.

ෂා යටතේ, ඉරානය ප්‍රධාන තෙල් නිෂ්පාදකයෙකු පමණක් නොව පුළුල් යුරේසියානු සීමාව හරහා එක්සත් ජනපද බල ප්‍රක්ෂේපනය සඳහා ඉදිරි මෙහෙයුම් කඳවුරක්ද විය. 1953 කුමන්ත්‍රණයෙන් පසුව, එක්සත් ජනපදය ඉරානයේ මිලිටරි සහ ඔත්තු සේවා නවීකරණය කිරීමට උදව් කළ අතර මිසයිල පරීක්ෂණ සහ මිලිටරි සන්නිවේදනයන් නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන ලද සෝවියට් දේශසීමා අසල තීරණාත්මක සංඥා බුද්ධි මධ්‍යස්ථානයක් ඇතුළුව නිරීක්ෂණ පහසුකම් ජාලයකට ප්‍රවේශය ලබා ගත්තේය. මෙම මුරපොලවල් එක්සත් ජනපදයට සෝවියට් දේශය තුලට ගැඹුරින් එබී බැලීමට ඉඩ සලසා දුන් අතර මැද පෙරදිග, කොකේසස් සහ මධ්‍යම ආසියාව පුරා කොමියුනිස්ට් බලපෑමට එරෙහිව පවුරක් ලෙස ඉරානය ස්ථානගත කිරීමට උදව් විය.

ෂා බලයෙන් පහ කර අයතුල්ලා බලයට පත් කරන 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව, ඉරාකය  ව්‍යංග එක්සත් ජනපද අනුමැතිය ඇතිව ඉරානය ආක්‍රමණය කළේය. 1982 සිට රේගන් පරිපාලනය, කුරිරු අට වසරක යුද්ධය පුරා සදාම් හුසේන්ට ආයුධ, බුද්ධි සහ දේශපාලන සහයෝගය ලබා දුන්නේය.

1990 ගනන්වල සිට, ඉරානයේ ආර්ථිකය විනාශ කර මහා පරිමාණ දුගීකරනයේ ගිලී යාමට හේතු වූ අබල කරන සම්බාධක පනවන අතරම පිටුවහල් කරන ලද රාජාණ්ඩුවාදීන්ට සහ විරුද්ධ කණ්ඩායම්වලට අරමුදල් සැපයීමට එක්සත් ජනපදය බිලියන ගණන් වියදම් කර ඇත. මෙම ප්‍රතිපත්ති පාලන තන්ත්‍රය බිඳ හෙලීමට අපොහොසත් වී ඇති නමුත් ඒවා අතිවිශාල දුක් වේදනා ජනනය කිරීමට සමත් වී ඇත.

නගර 85 ක් දක්වා ව්‍යාප්ත වූ විශාල විරෝධතා 2017 ඇති විය. මෙම පෙලපාලි එක්සත් ජනපදය විසින් පාලනය නොකළ නමුත් ධනේශ්වර ජාතිකවාදී ඉස්ලාමීය සමූහාණ්ඩුව සහ රට මත තබා ඇති අධිරාජ්‍යවාදී ගෙල සිර කිරීමට යන දෙකටම එරෙහි පුලුල්ව පැතිරුනු වෛරය පිලිබිඹු කලේය.

ඉරානයේ තෙල් සහ චීන සංවර්ධනයේ එහි භූමිකාව

ප්‍රත්‍යක්ෂ කර ඇති තෙල් සංචිත බැරල් බිලියන 150කට වඩා සහිත ඉරානය ගෝලීය වශයෙන් සිව්වන විශාලතම සංචිත හිමියා වේ. රුසියාවට පසු දෙවන විශාලතම ස්වාභාවික වායු සංචිතය ද එය සතුය. ලෝක නිෂ්පාදනයෙන් සියයට 3 ක් පමණ වන දිනකට බැරල් මිලියන 3 ක් පමණ වන්නා වූ එහි තෙල් නිෂ්පාදනය, විභවයට වඩා බෙහෙවින් අඩු ය. එහි තෙල් නිෂ්පාදනයේ සැලකිය යුතු වැඩි වීමක් ඇති කල හැකි ප්‍රාග්ධනය, තාක්ෂණික විශේෂඥතාව සහ විදේශීය හවුල්කාරිත්වය සම්බාධක විසින්  ඉරානයට අහිමි කර ඇත්තේය.

සම්බාධක සහ අනෙකුත් බාධක තිබියදීත්, ඉරානයේ තෙල් අපනයනය තීරනාත්මක ගැනුම්කරුවෙකු සොයාගෙන ඇත: ඒ චීනය යි.

බොහෝ දුරට අවිධිමත් හෝ අර්ධ රහසිගත මාර්ග හරහා සේම  බොහෝ විට වට්ටම් යටතේ,  අද චීනය ඉරානයේ තෙල්වලින් සියයට 90ක් පමණ මිලදී ගනී. මෙම [තෙල්] ප්‍රවාහයන් බටහිර අධීක්‍ෂණය සහ සම්බාධක මග හරිමින්, රටවල් දෙකෙහිම මූලෝපායික හවුල්කාරිත්වයට ඉන්ධන සපයන අතර ඉරානයේ ආර්ථිකය ගෙල සිර කිරීමේ එක්සත් ජනපද ප්‍රයත්නයන්ට බාධා කරයි.

චීනය සඳහා, මෙම සම්බන්ධතාවය ඉතා වැදගත් වේ. එය දිනකට තෙල් බැරල් මිලියන 11 කට වඩා ආනයනය කරයි; එය ලෝකයේ ඕනෑම රටකට වඩා වැඩි ය. බීජිං පුනර්ජනනීය බලශක්තිය වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටි, එහි කාර්මික පදනම සහ ඛනිජ රසායන (petrochemical) අංශය තවමත් බොරතෙල් මත දැඩි ලෙස රඳා පවතී. දැනට   චීන තෙල් ආනයනයෙන් දළ වශයෙන් සියයට 15 ක් ඉරානය සතු වේ. 

පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධිය

නමුත් ඉරානයේ වැදගත්කම තෙල් නිෂ්පාදනයෙන් ඔබ්බට යයි. ඉරානයට ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ඇවුරුම් ලක්ෂය  වන හෝමුස් සමුද්‍ර සන්ධිය මත මුළුමනින්ම පාහේ වන පාලනයක් ඇත. මුහුදු ප්‍රවාහන තෙල්වලින් සියයට 20කට වැඩි ප්‍රමාණයක් මෙම පටු මාර්ගය හරහා ගමන් කරයි. එක්සත් ජනපද ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඉරානය සමුද්‍ර සන්ධිය වසා දමන බවට තර්ජනය කර තිබියදී, ඉරානය සමුද්‍ර සන්ධිය වසා නොදමනු ඇතැයි වෙළෙන්දෝ කැට තැබිම නිසා, මෙම ලිපිය ලියන අවස්ථාව වන විට තෙල් වෙලඳපොලවල් ප්‍රතිශත ලක්ෂ්‍යය  කිහිපයකින් පහත වැටී ඇත.

ඉරානය ඊනියා “තෙල් අවිය” භාවිතා කිරීමට අකමැති වීමට එක් හේතුවක් නම්, හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගලා යන තෙල්වලින් බහුතරය දැන් නැගෙනහිර දෙසට, එනම් දෙසට ගමන් කිරීම ය. සෞදි අරාබිය, කටාර්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය චීනයට ප්‍රධාන සැපයුම්කරුවන් වේ. ඉරානය සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත්, එය මෙම ගල්ෆ් රාජ්‍යයන් සමඟ ඇති සබඳතා පළුදු කරන අතර, වඩාත් බරපතල කරුන ලෙස, එහි විශාලතම වෙළඳ හවුල්කරු වන චීනයට හානි කරයි.

එක්සත් ජනපද උපායමාර්ගික සැලසුම්කරුවන් මෙම ගතිකය හොඳින් වටහාගෙන ඇත. ඉතිහාසයේ විශාලතම තෙල් උත්පාතය වන ඇමරිකානු හයිඩ්‍රොලික් ඛණ්ඩනයේ (hydraulic fracturing) නැගීම, රට තුළ සාපේක්ෂව අඩු ප්‍රතිවිපාක සහිතව මැද පෙරදිග සුනුවිසුනු කිරීමට එක්සත් ජනපදයට තාවකාලිකව හුස්ම ගැනීමේ අවකාශයක් ලබා දී ඇත. තෙල් වෙලඳපොලවල් ගෝලීය වන අතර මිල ඉහල යාමක් එවතුදු එක්සත් ජනපදයට බලපානු ඇත; නමුත් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනයට සිදුවන ඕනෑම බාධාවක් වඩාත් සෘජුව හා ක්ෂණිකව බලපානු ලබන්නේ චීනයටයි.

චීනය තීරණාත්මක ඛනිජ පිරිපහදු කිරීමේ ගෝලීය ආධිපත්‍යය දැරුවද, එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් තවමත් ගෝලීය තෙල් හා ගෑස් ප්‍රවාහයන් කෙරෙහි වඩාත් විශාල පාලනයක් දරයි. චීනය සමග අනාගත ගැටුමකදී තෙල් හා ගෑස් සඳහා ප්‍රවේශය තීරණාත්මක පීඩන ලක්ෂ්‍යයක් ලෙස සේවය කරනු ඇත. සෑම දිනකම ලොව පුරා නිපදවන සෑම තෙල් බැරල් නවයකින් එකක්ම චීනයට යවනු ලැබේ. එම ප්‍රවාහය කපා හැරියහොත්, චීනයේ ආර්ථිකයට ඇති වන බලපෑම ක්ෂණික හා විනාශකාරී විය හැකිය.

විශේෂයෙන්ම ට්‍රම්ප් පරිපාලනය, ඉරානය සමීකරණයෙන් ඉවත් කිරීමේ–චීනයේ ප්‍රධාන සැපයුම්කරුවෙකු කපා හැරීමේ සහ ගෝලීය බලශක්ති පද්ධතිය මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ග්‍රහනය දැඩි කිරීමේ–අපේක්ෂාව ප්‍රිය කරන බව පෙනෙන්නේ මේ හේතුව නිසා ය.

ඉරානයේ වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා තෙල් කේන්ද්‍රීය වන අතර, එයට ඊට වඩා පුළුල් උපායමාර්ගික වටිනාකමක් ඇත. මැදපෙරදිග, කොකේසස්, මධ්‍යම ආසියාව සහ ඉන්දියන් සාගරය යන බහුවිධ භූ-දේශපාලනික දෝෂ රේඛාවල නාභියේ ඉරානය ස්ථානගතව  සිටී. එහි භූමි ප්‍රදේශය පර්සියානු ගල්ෆ් ප්‍රදේශයට පමණක් නොව කැස්පියන් මුහුදට සහ රුසියාවේ දකුණු පැත්තට සමීප වීමටද ඉඩ සලසයි.

ශතවර්ෂයකට වැඩි කාලයක් පුරා අධිරාජ්‍ය බලවතුන් ඉරානය මත පාලනය යුරේසියානු භූමි ප්‍රදේශය හරහා ආනුභාවය පැවැත්වීම සඳහා යතුර ලෙස සැලකූහ. අද, එක්සත් ජනපද සැලසුම්කරුවන් ඉරානය දකින්නේ චීනයේ බලශක්ති සුරක්ෂිතතාවයේ තීරනාත්මක සන්ධියක් ලෙස පමණක් නොව, චීනය, රුසියාව සහ ඔවුන්ගේ අසල්වැසියන් අතර කලාපීය ඒකාබද්ධතාවය කඩාකප්පල් කිරීමේ විභව ලීවරයක් ලෙස ය. එක්සත් ජනපද ඉදිරිදර්ශනයෙන් (බලන කල), ඉරානය අඩපණ කිරීම, නැගෙනහිර සහ බටහිර ආසියාව පුරා ඇමරිකානු ආධිපත්‍යයට වළකැපීමට තර්ජනය කරන සබදතාවයේ සමස්ත අක්ෂය දුර්වල කිරීමකි.

ඉරානයේ කලාපීය සන්ධාන එහි මූලෝපායික බර තවදුරටත් ශක්තිමත් කරයි. ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හූති ව්‍යාපාරය හරහා ඉරානය ගෝලීය තෙල් ගලායාම කඩාකප්පල් කිරීමේ හැකියාව පෙන්නුම් කර ඇත. නිදසුනක් වශයෙන්, 2019 සැප්තැම්බර් මාසයේදී, හූති ඩ්‍රෝන යානා සෞදි අරාබියේ අබ්කායික් සහ කුරායිස් පහසුකම්වලට පහර දී,  මිල එක රැයකින් සියයට 20 කින් ඉහළ යවමින් ලෝකයේ තෙල් සැපයුමෙන් සියයට 5 ක් තාවකාලිකව බිඳ දැමූ වේය.

අද යුද්ධයේ භූ මූලෝපායික පසුබිම මෙයයි: අවසානයේ දී චීනය සමඟ ගැටුමකට සූදානම් වීම සදහා ඉරානයේ තෙල් පාලනය පමණක් නොව සමස්තයක් ලෙස ගල්ෆ් කලාපය වසා දැමීමේ සැලැස්මයි.

ඉරානය, චීනයට එරෙහි යුද්ධය කරා පියවරක්

පසුගිය සතිය මුලදී, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි ඝාතනය කරන බවට තර්ජනය කළේය. “ඊනියා උත්තරීතර නායකයා සැඟවී සිටින්නේ කොතැනදැයි අපි හරියටම දනිමු,” පවසමින්  ඔහු “පහසු ඉලක්කයක්” බව  එකතු කළේය.

සංයමයෙන් සිටින ආකාරයෙන් පෙනී සිටි ට්‍රම්ප් පැහැදිලි කලේ : “අපි ඔහුව නැති කරන්න යන්නේ නැහැ – අඩු තරමින් දැනට”, නමුත් අනතුරු ඇඟවූයේ, “අපේ ඉවසීම තුනී  වී යමින් ඇත,” යනුවෙනි. 

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායල් කැට්ස් පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේ යුද්ධයේ අරමුන වූයේ “එහි බල පදනම්වලට” පහර දීමෙන් “තන්ත්‍රය අස්ථාවර කිරීම” බවයි.

ඉරානය සඳුදා එක්සත් ජනපද කඳවුරු වෙත රොකට් කිහිපයක් එල්ල කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කලද, මෙම ප්‍රහාර බොහෝ දුරට සංකේතාත්මක හා මූණිච්ඡාවට බව පෙනේ. ඒවා ඉඟි කරන්නේ ඉරානය පූර්ණ යුද්ධයකට තුඩු දිය හැකි සැබෑ පළිගැනීමක් වළක්වා ගැනීමට තෝරා ගන්නා බවයි.

එහි දිගුකාලීන ආර්ථික පරිහානිය සමනය කිරීමට සහ එක්සත් ජනපදයේ ගෝලීය ආධිපත්‍යයට අභියෝග කළ හැකි ප්‍රතිවාදී බලයක් මතුවීම වැලැක්වීමේ මූලෝපායික  පියවරක් වශයෙන්,  එක්සත් ජනපදය චීනය සමග ප්‍රධාන ගැටුමකට සූදානම් වෙමින් සිටින බව අවම වශයෙන් 2015 සිට  ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු අඟවා ඇත. 

එක්සත් ජනපදය 2025 වන විට චීනය සමඟ යුද්ධයක යෙදෙන බව, 2023 දී රටේ ඉහළම ජෙනරාල්වරුන්ගෙන් කෙනෙක් පුරෝකථනය කලේය.

මේ මස මුලදී, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, වොෂින්ටනයේ ප්‍රධාන පැසිෆික් සහචරයින් වන ඔස්ට්‍රේලියාව, ජපානය, දකුනු කොරියාව සහ පිලිපීනය හමුවීමට ආසියාවට ගිය අතර, ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ “අත්‍යාසන්න” ගැටුමක් සදහා සූදානම් වන ලෙසයි. මෙම රටවල් හතරෙන් සෑම රටක්ම මිලිටරි වියදම් ඓතිහාසික මට්ටම් දක්වා ඉහළ නංවා ඇත. ඕස්ට්‍රේලියාවේදී, ආරක්ෂක ප්‍රධානී අද්මිරාල් ඩේවිඩ් ජොන්ස්ටන් ජාතියෙන් පැහැදිලිවම ඉල්ලා සිටියේ යුද්ධයට සූදානම් වෙන ලෙසයි.

ඉරානයට එරෙහි යුද්ධය මෙම පුළුල් සන්දර්භය තුළ තැබීම අත්‍යවශ්‍ය වේ. ට්‍රම්ප් පරිපාලනය සඳහා ඉරානය ප්‍රධාන භූ මූලෝපායික පියවරකි–එනම්, මැද පෙරදිග චීනයේ ආස්ථානය දුර්වල කිරීමේ සහ පිරිහෙන එක්සත් ජනපද ආධිපත්‍යය සමනය කිරීමේ පුලුල් සැලැස්මේ කොටසකි. යුද්ධය, මේ වන විට, පාලන තන්ත්‍ර මාරුවෙන් මෙහා නතර වුවද, එහි අරමුන වන්නේ ස්වාධීන බලවතෙකු ලෙස ක්‍රියා කිරීමට ඉරානයේ ඇති හැකියාව සැලකිය යුතු ලෙස අඩපණ කිරීම සහ එහි දිගුව ලෙස, චීනයේ බලශක්ති සුරක්ෂිතභාවය සහ කලාපීය බලපෑම යටපත් කිරීමයි.

අත්ලාන්තික් කවුන්සිලයේ ග්ලෝබල් චයිනා හබ් හි (Global China Hub) හි අනේවාසික සාමාජිකයෙකු වන වෙන්-ටි සුං, DW ජර්මානු ප්‍රවෘත්ති ඒජන්සියට පැහැදිලි කළ පරිදි, “එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස–සමහරවිට  මිලිටරිමය වශයෙන්  සම්ප්‍රදායික පූර්ණ යුද්ධයක හෝ සිවිල් යුද්ධයක මායිමේ මැදිහත් වීමකින්–දුර්වල කෙරුණු ඉරානයක් මැද පෙරදිග චීන අනුහසේ ව්‍යාප්තිය සඳහා අඩු ඵලදායී හවුල්කරුවෙකු බවට පත් කරනු ඇත.” අවසානයේදී, මෙම යුද්ධයේදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉලක්කය මෙයයි.

ඔහුගේ 2025 මැයි දින දේශනයේදී–ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහි සමාජවාදයලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ප්‍රකාශ කළේය.

“ආධිපත්‍යය සහ පැවැත්ම සඳහා වන අරගලය, ශ්‍රමය සහ ලෝක වෙළඳපොළ ඇතුළු තීරණාත්මක සම්පත් වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කටුක අරගලවලට මඟ පාදයි… මෙම ලෝක අරගලයේ ප්‍රධාන චරිතය එක්සත් ජනපදයයි. එහි ක්‍රියාවන්ට විශේෂයෙන් අනුකම්පා විරහිත සහ ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ලබා දෙන්නේ, ඇමරිකානු පාලක පන්තියේ ගෝලීය ආධිපත්‍යය සඳහා අරගලය එහි සැබෑ ආර්ථික බලයේ දිග්ගැස්සුනු පරිහානියේ සන්දර්භය තුළ සිදුවෙමින් පවතින බැවිනි.”

ඉහල යන ණය, ව්‍යුහාත්මක අසමානතාවය, දේශපාලන දිරාපත්වීම වැනි වැඩෙන සහ නොවිසඳිය හැකි ලෙස පෙනෙන අර්බුදවලට මුහුන දී සිටින ඇමරිකානු පාලක පන්තිය ලෝක පර්යාය මත ගිලිහී යන තම ග්‍රහනය රැක ගැනීම සඳහා ගෝලීය පරිමානයේ ප්‍රචණ්ඩත්වයට යොමු වෙමින් සිටී.

එහෙත් මෙම අධිරාජ්‍ය ආක්‍රමණය ප්‍රතිරෝදයෙන් තොරව ගමන් නොකරනු ඇත. මැද පෙරදිග තුල පමනක් නොව, ලෝක අධිරාජ්‍යවාදයේ නියමු කුටිය වන එක්සත් ජනපදය තුල දීද ප්‍රතිරෝධය වර්ධනය වෙමින් පවතී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය කර්තෘ මණ්ඩලය සෙනසුරාදා මෙසේ ලිවීය.

“එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යුද්ධයට යන්නේ ඉරානයේ මිලියන 90ක ජනතාවට පමණක් නොව සමස්ත ලෝකයටම එරෙහිවය. නීතිවිරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයට එරෙහිව සිය විරෝධය ප්‍රකාශ කිරීමට සිකුරාදා මිලියන ගණනක් ඉරානයේ සහ මැද පෙරදිග අනෙකුත් රටවල වීදි බටහ.

ට්‍රම්ප් පෙරමුණු දෙකකින් යුද්ධය දියත් කරයි: ඒ විදේශයෙහිදී ඉරානයට එරෙහිව සහ රට තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සහ කම්කරු පන්තියට එරෙහිව  වශයෙනි. මේවා එකම ක්‍රියාවලියේ පැති දෙකකි. ඉරානය සමඟ යුද්ධයක් නොවැලැක්විය හැකි ලෙසම දේශපාලන මර්දනය සහ සමාජ කප්පාදුව උත්සන්න වීම සමග අත්වැල් බැඳගනු ඇත. යුධ අයවැය දැනටමත් ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවීමත් සමඟ, කම්කරු පන්තියට ඒ සදහා  බිල පියවීමට බල කෙරෙනු ඇත.”

යුද්ධ සාමාන්‍යයෙන් නොදිසි සහ දුරදිග යන ප්‍රතිවිපාක ඇති කරයි. ට්‍රම්ප් පරිපාලනය නිසැකව ම එහි ක්‍රියාවන් ඔහුගේ අසමසම “සුධීමත්වය” සහ “ගනුදෙනු හැකියාව” පිලිබඳ සාක්ෂියක් ලෙස ප්‍රචාරය කිරීමට උත්සාහ කරනු ඇතත්, මෙම ‘වෙන්න-හිට්ලර්’ සිදුකර ඇත්තේ රැඩිකල්කරණයේ ගෝලීය ක්‍රියාවලියක් වේගවත් කිරීම පමණි. ධනේශ්වර ක්‍රමයේ අර්බුදය ගැඹුරු වෙද්දී, එය විසින් මුදාහරින ප්‍රචණ්ඩත්වයේ හා භීෂණයේ පරිමානය වඩාත් පැහැදිලිව දැකගැනීමට බිලියන සංඛ්‍යාත ජනයා පටන් ගෙන ඇත. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top