හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ හෙලීමෙන් වසර 80 කට පසූ

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 අගෝස්ත මස 06  දින ‘80 years since the atomic bombing of Hiroshima and Nagasaki’ යන හිසින් පලවූ ඇලෙක්ස් ලැන්ටියර්  විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.
after the blasts
හිරෝෂිමා, ජපානය 1945 නොවැම්බර්. [ඡායාරූපය: LTJG Charles E. Ahl Jr]

වසර අසූවකට පෙර, එක්සත් ජනපද ආන්ඩුව ලෝක අධිරාජ්‍යවාදයේ බිහිසුණුම යුද අපරාධ වලින් එකක් සිදු කලේය: ඒ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි වලට පරමාණු බෝම්බ හෙලීමයි. 1945 අගෝස්තු 6 සහ 9 යන දිනවල සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 120,000 ක් ක්ෂණිකව මිය ගිය අතර ඉන් ඉක්බිතිව 250,000 ත් 300,000 ත් අතර සංඛ්‍යාවක් මිය ගියහ.

හිරෝෂිමා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර අනුස්මරණයක් ඊයේ නොතිබූ වූ තරම් වූ අතර, සෙනසුරාදා ට නාගසාකි බෝම්බ ප්‍රහාරයට ඊට වඩා වැඩිය ලැබෙන බවට ඉඟියක් නැත. එහෙත් අද, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට සහ රුසියාවට න්‍යෂ්ටික අවිවලින් තර්ජනය කරන අතර යුරෝපය පුරා ආන්ඩු න්‍යෂ්ටික අවි- සන්නද්ධ රාජ්‍යයන් අතර “ඉහළ-තීව්‍රතා යුද්ධයක්” සඳහා සූදානම් වන ලෙස ඉල්ලා සිටින විට, මෙම යුද අපරාධය භයානක සමකාලීන වැදගත්කමක් ගනී. ඔවුන්ව ඉන් වළකාලූයේ නැතිනම් බලවත්ම ධනේශ්වර ආන්ඩුවල ප්‍රතිපත්ති ලොව ගෙන යන්නේ කොතැනටද යන්න එය ලොව පුරා කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි.

1945 අගෝස්තු 6 වන දින එනෝලා ගේ  නම් B-29 බෝම්බ හෙලන අහස් යානය  “ලිට්ල් බෝයි” නමින් කේතනය කළ පරමාණු බෝම්බයක්බ් හිරෝෂිමා වෙත හෙළීය. TNT ටොන් 15,000ක පමණ බලයකින් පුපුරා ගිය එය, න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවෙන් වාෂ්ප වීමෙන් හෝ නගරය සමතලා කරමින් එය මුදා හැරි කම්පන තරංග සහ ගිනි කුණාටුවෙන්, මිනිසුන් 80,000 ක් වහාම මරා දැමීය. දින තුනකට පසු තවත් බොක්ස්කාර් නම් B-29 ක්, “ෆැට් මෑන්” බෝම්බය නාගසාකි වෙත හෙළන ලද අතර, එය තවත් මිනිසුන් 40,000ක්  එසැනින් මරා දැමීය.

පිපිරුමේදී නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දහස් ගණනකට ළඟා වීම නිසාවෙන්,  සිවිල් වැසියන්ට සිදු වූ බිහිසුණු පිළිස්සුම් තුවාල පිළිබඳව හිරෝෂිමා හි වෛද්‍යවරු සාක්ෂි දුන්හ. එක් වෛද්‍යවරයෙක් පැවසුවේ, “පණපිටින් තැම්බූවාක් මෙන් පෙනෙන මියගිය මිනිසුන්ගෙන් පිරී ගිනි ජලාශ” තමාට හමු වූ බවයි. තවත් අයෙක් සම්පූර්ණයෙන්ම නිරුවත්, ලේ වැකි සහ මඩ වලින් වැසී තිබු මිනිසෙකුගේ රූපාකාරය,  ඔහු දුටු ආකාරය විස්තර කළේය:

ශරීරය සම්පූර්ණයෙන්ම ඉදිමී තිබුණි. සිරුරේ නිරුවත් ලැමෙහි සහ ඉනෙහි වැරහැලි එල්ලෙමින් තිබිණි. පහතට හැරවූ අත්ල සමග දෑත් පියයුරු  මත විය. රෙදි කඩමළු වලින් වතුර බිංදු  බේරී වැටුණා. ඇත්ත වශයෙන්ම, මම රෙදි කඩමළු ලෙස දැක ඇත්තේ මිනිස් සම් කැබලි වූ අතර ජල බිංදු මිනිස් රුධිරය විය. … මම මා ඉදිරියේ ඇති පාර දිහා බැලුවා. නිර්වස්ත්‍ර වූ, පිළිස්සුණු සහ ලේ වැකි, ගණන් කළ නොහැකි නොමලවුන් මගේ  මාවත අවුරා සිටියහ.

ඉන් සතියකට පසු, වෛද්‍යවරු කම්පනයට පත් කරමින් බොහෝ දිවි ගලවා ගත් අය   අධික උණ සහ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මිය යාමට පටන් ගත්තේ  තවමත් එතරම් නොදන්නා රෝගයකිනි: විකිරණ විෂ වීම. පසුව විද්‍යාඥයින් සොයා ගත්තේ බෝම්බ වලින් නිකුත් වූ ගැමා විකිරණ දිවි ගලවා ගත් අයගේ ඇටමිදුළු විනාශ කර නව රුධිර සෛල නිපදවීම අවසන් කර ඇති බවයි – එවිට ඔවුන්ගේ රුධිරය භයානක ලෙස තුනී වී ආසාදනවලට එරෙහිව සටන් කිරීමට නොහැකි වේ. මිය නොගිය අය අතරින් තවත් බොහෝ දෙනෙක් පසුව පිළිකා වලින් මිය යැමට නියමිත විය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය බෝම්බ ප්‍රහාර යුද අපරාධයක් ලෙස හෙලා දුටුවේය. සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායක ජේම්ස් පී. කැනන් 1945 අගෝස්තු 22 දා නිව් යෝර්ක්හි සමරුවකදී, ස්ටැලින්වාදී ඒජන්ත රේමන් මර්කේඩර් විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කර වසර පහක් සැමරීමේ රැස්වීමක දී මේ පිලිබඳව කතා කලේය. හිරෝෂිමා සහ නාගසාකි වැසියන්, “වෝල් වීදියේ අධිරාජ්‍යවාදීන් සහ ජපානයේ එවැනිම කල්ලියක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ප්‍රහාර දෙකකින් මිය ගිය බව” ඔහු පැවසීය. ඔහු  1945 දී මෙන් අදත් සත්‍ය වන අනතුරු ඇඟවීමක් නිකුත් කළේය: 

“බොහෝ කලකට පෙර විප්ලවවාදී මාක්ස්වාදීන් පැවසුවේ මානව වර්ගයා මුහුණ දෙන විකල්පය සමාජවාදය හෝ නව ම්ලේච්ඡත්වය බවයි, ධනවාදය නටඹුන් වෙත කඩා පාත් වෙමින් එයත් සමග ශිෂ්ටාචාරයද  ඇදගෙන යාමට තර්ජනය කරන බවයි. එහෙත් මෙම යුද්ධයේ දී වර්ධනය වී ඇති සහ අනාගතය සඳහා ප්‍රක්ෂේපණය කර ඇති දේ අනුව, … විකල්පය වඩාත් නිශ්චිත කළ හැකිය: මානව වර්ගයා මුහුණ දෙන විකල්පය සමාජවාදය හෝ මූලොත්පාටනය යි! ධනවාදයට පවතින්නට ඉඩ දෙනවාද එසේත් නැතිනම් මනුෂ්‍ය වර්ගයා මේ මිහිතලය මත තවදුරටත් නොනැසී පවතිනවාද යන්න ප්‍රශ්නය වේ.”

කැනන්ගේ ප්‍රකාශය දෙවන ලෝක යුද්ධයේ දී පමණක් නොව නැගී එන සීතල යුද්ධයේ දී ද කම්කරුවන් මුහුන දෙන ගැටළු ආලෝකවත් කලේ ය. අධිරාජ්‍යවාදී හා ස්ටැලින්වාදී යුද ප්‍රචාරකයින් කියා සිටි පරිදි ලෝක යුද්ධය ෆැසිස්ට්වාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ යුද්ධයක් නොවීය. පළමුවන ලෝක සංග්‍රාමයේදී මෙන්ම, ප්‍රමුඛ ධනේශ්වර බලවතුන් ලෝකය තමන් අතර නැවත බෙදා ගැනීමට නිර්දය ලෙස සටන් කරමින් සිටියහ.

පරමාණු බෝම්බ හෙලීම පිටුපස භූ දේශපාලනික අවශ්‍යතා: වොෂින්ටනය සෝවියට් සංගමයට එරෙහිව “කුලු ගෙඩියක්” ලබා ගනී

දශක ගනනාවක් තිස්සේ, එක්සත් ජනපදයේ පාසල් සිසුන්ට උගැන්වූයේ පරමාණු බෝම්බ හෙලීමේ අරමුණ වූයේ “ජීවිත බේරා ගැනීම” සහ ජපානයට යටත් වීමට බල කළ හැකි එකම මාර්ගය එය වූ බවය යන බොරුව ය. මෙම ආඛ්‍යානයට අනුව හිරෝෂිමා සහ නාගසාකි පුළුස්සා දැමීම, ජපානයට එක්සත් ජනපදය විසින් මෙහෙය වන  භූමි ආක්‍රමණයක ඊටත් වඩා විශාල ලේ වැගිරීමක් වැළැක්වීය. යථාර්ථය වූයේ, මිත්‍ර පාක්ෂික නාවික හමුදා විසින් ඉන්දුනීසියාවේ (වර්තමානයේ) තෙල් මූලාශ්‍රවලින් එහි මිලිටරිය කපා දමන ලදුව සහ එහි නගර අතොරක් නැති ලෙස ගිනි බෝම්බ  ප්‍රහාර එල්ල කරන  ලදුව, ජපානය  ඒ වන විට යටත් වීමට අපේක්ෂාවෙන් සිටි බවය.

ජපානයේ “දම්  කේතය” (“Purple Code”-රහස් කේතනය) බිඳ දමන ලදුව, USSR හි ජපාන තානාපති Sato Naotake ඒ වන විටත් මොස්කව්හිදී යටත් වීමේ කොන්දේසි සාකච්ඡා කරමින් සිටින බව එක්සත් ජනපද නිලධාරීන් දැන සිටියහ. 1945 ජූනි 30 වන දින, ජපාන අධිරාජ්‍යයා වූ හිරෝහිතෝට යුද්ධය “ඉක්මන් අවසන් කිරීමට” අවශ්‍ය බවත්, නමුත් “එංගලන්තය සහ එක්සත් ජනපදය කොන්දේසි විරහිතව යටත් විය යුතු බව අවධාරනය කරන තාක්” මෙය කළ නොහැකි බවත් ක්‍රෙම්ලිනයට පැවසීමට සැටෝට නියෝග ලැබී තිබුණි. ටෝකියෝවට අවශ්‍ය වූයේ රට තුළ විප්ලවය වැළැක්වීම සඳහා  යුද්ධයෙන් පසු ජයග්‍රාහී මිත්‍ර පාක්ෂිකයින් අධිරාජ්‍ය පවුල බලයෙන්   ඉවත් නොකරන බවට සහතික වීම ය.

නමුත් 1945 අගෝස්තු 2 වන දින එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ සෝවියට් සංගමය අතර පොට්ස්ඩෑම් ගිවිසුම ජපානය විසින් “කොන්දේසි විරහිතව යටත් වීම” සඳහා වූ බල කිරීම එලෙසම තබා ගත්තේය. මිලියන 20ක ජීවිත බිලිගත් චීනයේ ජන සංහාරක වාඩිලාගැනීමේ යුද්ධයක් ඇතුළු බිහිසුණු ජපන් යුද අපරාධවලින් පසුව ජපන් අධිරාජ්‍යයා බලයේ තබා ගැනීමට වොෂින්ටනය අකමැති වූවා නොවේ. ඇත්ත වශයෙන්ම අවසානයේ, ජපානයේ පශ්චාත් යුධ එක්සත් ජනපද වාඩිලෑමේ නිලධාරීන් හිරෝහිටෝ බලයේ සිටීමට ඉඩ හැරියේ ය. ඒ වෙනුවට, එක්සත් ජනපද නිලධාරීන් අරමුන කර ගත්තේ අනුකම්පා විරහිත බව පෙන්නුම් කරමින් සෝවියට් සංගමය බිය ගැන්වීම සඳහා පරමාණු බෝම්බය භාවිතා කිරීමයි.

ඔවුන් ජූලි 17-අගෝස්තු 2 පොට්ස්ඩෑම් සමුළුව සූදානම් කරන විට, එක්සත් ජනපද නිලධාරීන් මොස්කව් සමඟ වඩ වඩාත් කෝපයට පත් වෙමින් සිටියහ. එවකට ලෝකයේ ප්‍රමුඛ කාර්මික බලවතා වූ ඇමරිකානු ධනේශ්වරය, මැද පෙරදිග හා  නැගෙනහිර යුරෝපය මත ආධිපත්‍යය දැරීමත්, චීනය අල්ලාගන එය ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ප්‍රතිවාදී යටත් විජිතයක් ලෙස භාවිතා කිරීමත් අරමුණු කර ගත්හ. රතු හමුදාවේ නැගෙනහිර යුරෝපයේ සහ ඉරානයේ  යුද කාලීන පැවැත්ම සහ එය චීනයේ ජපන් හමුදාවන්ට එරෙහිව දියත් කිරීමට තිබූ ප්‍රහාරය, එක්සත් ජනපද අවශ්‍යතාවලට බරපතල බාධාවක් විය.

1945 ජුලි 16 වන දින එක්සත් ජනපද පරමාණු බෝම්බයේ ත්‍රිත්ව පරීක්ෂණය සාර්ථක වීම සමග එක්සත් ජනපද ජනාධිපති හෙන්රි ටෲමන් උද්යෝගයෙන් පිරී ගියේය. ඔහු පසුව පැවසූ පරිදි, එය ඔහුට “ඒ කොල්ලන්ට එරෙහි කුලු ගෙඩියක්” ලබා දුන්නේය. පොට්ස්ඩෑම් සම්මන්ත්‍රණයට පෙර බොහෝ ඉහල එක්සත් ජනපද නිලධාරීන්ගේ අදහස මෙය  ප්‍රතිරාවය කළේය.

“රුසියානුවන් සමඟ ගනුදෙනු කිරීමට” කාලය පැමිණ තිබේ යයි යුධ ලේකම් හෙන්රි ස්ටිම්සන් එවකට ටෲමන්ගේ මාණ්ඩලික ප්‍රධානියා වූ ජෙනරාල් ජෝර්ජ් මාෂල් වෙත එවන් එක් සංදේශයක ලිවීය. “අපි අසමසම වන ආයුධයක් ක්‍රියාවට ගෙනෙමින් ඇති ” නිසා, මෙය “හොදට රළු සහ යථාර්ථවාදී ආකාරයකින් කළ හැකි” බව ස්ටිම්සන් තවදුරටත් පැවසීය.

ටෲමන්ගේ සාපරාධී පරමාණු බෝම්බය එක්සත් ජනපද ලෝක ආධිපත්‍යය ස්ථාපිත කිරීමට අසමත් විය. රතු හමුදාව, 1949 චීන විප්ලවයට ප්‍රධාන දායකත්වයක් ලබා දුන් උතුරු චීනයේ චීන කොමියුනිස්ට් පක්ෂ හමුදාවන්ට පරාජිත ජපන් හමුදාවේ ආයුධ භාර දුන් අතර නැගෙනහිර යුරෝපය පුරා ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් මතු විය. සෝවියට් හමුදා ඉරානය හැර ගිය අතර වොෂින්ටනය එහි ෂාගේ ලේවැකි ආඥාදායකත්වයට පිටුබලය දුනි. එම පාලනය 1979 ඉරාන විප්ලවය විසින් පෙරලා දමන ලදී.

කෙසේ වෙතත්, න්‍යෂ්ටික සංහාරයක අන්තරාය 1945 සිට මනුෂ්‍යත්වය මත ඩැමොක්ලස්ගේ කඩුවක් (Sword of Damocles) මෙන් ලඹ දී ඇත. එක්සත් ජනපද නිලධාරීන් 1950-1953 කොරියානු යුද්ධයේදී උතුරු කොරියානු සහ චීන හමුදාවන්ට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කිරීම ගැන සාකච්ඡා කළහ. කිහිප වතාවක්ම, වඩාත්ම  කුප්‍රකට ලෙස 1962 කියුබානු මිසයිල අර්බුදයේදී, කියුබාවේ සෝවියට් මිසයිලවලට බෝම්බ හෙලීමට එක්සත් ජනපද නිලධාරීන්  ඉල්ලා සිටි විට, ශිෂ්ටාචාරය අවසන් කරන න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වීමට ඉතා ආසන්න විය.

නැගී එන තුන්වන ලෝක යුද්ධයේ න්‍යෂ්ටික අවි

හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ හෙලීමෙන් වසර අසූවකට පසු ලෝකය නැවතත් න්‍යෂ්ටික යුද්ධයේ අන්තරායට සෘජුව මුහුන දෙයි. 1991 දී ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම, සීතල යුද්ධ යුගයේ භූ-දේශපාලනික ගැටුම් නිරාකරණය නොකළ අතර  අවසානයේදි ඒවා  උග්‍ර කළේය. ඉරාකය, ඇෆ්ගනිස්ථානය, යුගෝස්ලාවියාව සහ සිරියාව ඇතුළු රටවලට එරෙහිව 1991 සිට එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද යුද්ධ යුරේසියාවේ සහ ලෝකයේ ආධිපත්‍යය සඳහා නව ගෝලීය යුද්ධයකට ඒකාබද්ධ වී ඇත.

සැලකිය යුතු ලෙස, දැනට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි යුරෝපීය සහචරයින්ගේ ඉහලම ඉලක්කගත රටවල් වන රුසියාව, චීනය සහ ඉරානය, හිරෝෂිමා සහ නාගසාකි විනාශ කිරීම සම්බන්ධයෙන් ටෲමන් තීරණය ගනිද්දදීද ඔහුගේ උත්සුකතා ලැයිස්තුවේ ඉහලින්ම සිටි රටවල් වේ.

කෙසේ වෙතත්, අද ලෝකයේ සියලුම න්‍යෂ්ටික බලවතුන් සිය න්‍යෂ්ටික අවි ගබඩා වැඩි දියුණු කිරීම සඳහා බිලියන ගණනින් වියදම් කරමින් ජපානයට හෙළන ලද බෝම්බ අගුටුමිටි කෙරෙන ආයුධ තබාගෙන සිටිති. ඔවුන්ගේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM), යුධ ශීර්ෂ (warheads) කිහිපයක් රඳවා ගන්නා අතර, ඒ සෑම එකක්ම TNT ටොන් ලක්ෂ ගණනක හෝ මිලියන ගණනක බලයකින් පුපුරා යයි. නගරයක් මතට හෙළුවහොත්, එක් එක් යුධ ශීර්ෂයේ ආරම්භක පිපිරුම දස දහස් ගණනක් නොව මිලියන ගණනක් මරා දැමිය හැකි බැවින් විද්‍යාඥයින් දැන් ප්‍රක්ෂේපණය කරන්නේ තනි රුසියානු ICBM කට ප්‍රංශය තරම් විශාල රටක් විනාශ කළ හැකි බවයි.

දශක ගනනාවක් තිස්සේ, ජාතික රාජ්‍ය පද්ධතියේ අතාර්කිකත්වය සහ ප්‍රතිගාමී ස්වභාවය, එය අන්‍යෝන්‍ය වශයෙන් සහතික වූ විනාශයේ (Mutually Assured Destruction – MAD) න්‍යාය මත රඳා පැවතීම මගින් නිදසුන් විය. මෙම තර්කය  අනුව කිසිදු ප්‍රධාන න්‍යෂ්ටික බලවතෙකු තවත් කෙනෙකුට තර්ජනය නොකරනු ඇත්තේ,  එකිනෙකාට න්‍යෂ්ටික බෝම්බවලින් අනෙකා විනාශ කළ හැකි බැවිනි. කෙසේ වෙතත්, න්‍යෂ්ටික සංහාරයක් පිලිබඳ භීතිය තවදුරටත් අධිරාජ්‍යවාදී බලවතුන් කිසිඳු ආකාරයකින් බාධා කර තබා නොගන්නා බව පෙනී යයි.

පසුගිය සතියේ ට්‍රම්ප් රුසියාවට තර්ජනය කිරීම සඳහා න්‍යෂ්ටික සන්නද්ධ සබ්මැරීන දෙකක් යෙදවීම නිවේදනය කිරීම මගින් නේටෝ-රුසියා න්‍යෂ්ටික යුද්ධයක හැකියාව ඉස්මතු කළේය. ගවේෂණාත්මක මාධ්‍යවේදී බොබ් වුඩ්වර්ඩ්ගේ වාර්තාවකට අනුව, යුක්‍රේනයේ රුසියාව සමඟ තුන් අවුරුදු යුද්ධයේ විවිධ අවස්ථා වලදී රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ සම්භාවිතාව සියයට 50ක් තරම් ඉහළ මට්ටමක පැවති බව එක්සත් ජනපද-නේටෝ ඔත්තු සේවා නිලධාරීහු ගණනය කරති. එසේ වුවත්, රුසියාවට තුලට ගැඹුරින් ප්‍රහාර එල්ල කිරීම සඳහා යුරෝපීය රටවල් විසින් දිගු දුර මිසයිල යුක්රේන පාලන තන්ත්‍රයට  ලබා දීම සඳහා  එක්සත් ජනපදය හා නේටෝව ඉදිරියට ගියේය.

සමූල ජන ඝාතක  අවදානම  පිළිබඳ නොසැලකිලිමත්කමේ මනෝභාවයක් පාලක කතිපයාධිකාරය අලලා ගනිද්දි, එහි නියෝජිතයෝ හිරෝෂිමා සහ නාගසාකි වෙත බෝම්බ හෙලීම දෙස ආශක්තව ආපසු හැරී බලන්නේ ඔවුන් විසඳුමක් නොදුටු දේශපාලන හා සමාජ ගැටලු විසඳීමට සමූහ මිනීමැරුම් භාවිතා කරන ආකාරය පිළිබඳ උදාහරණයක් ලෙස ය. කලින් මේ වසරේ  ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරය මධ්‍යයේ ඉරානයේ න්‍යෂ්ටික පිහිටුම් ස්ථාන වෙත එක්සත් ජනපද-ඊශ්‍රායල් බෝම්බ හෙලීම, ට්‍රම්ප් සිය සුපුරුදු ආවරිත, මාෆියා පන්නයේ තර්ජන සමඟින් ප්‍රශංසා කළ අතර, එය ටෲමන්ගේ බෝම්බ භාවිතය සිහිපත් කළ බව ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසීය:

“එය වෙනත් සිදුවීමක් ගැන මිනිසුන්ට මතක් කර දුන් අතර හැරී ට්‍රෲමන්ගේ පින්තූරය දැන් එය තිබිය යුතු වූ ලස්සන ස්ථානයක ලොබියේ ඇත. නමුත් එය බොහෝ සටන් නතර කළ අතර, මෙය බොහෝ සටන් නතර කළේය. එය සිදු වූ විට, එය සම්පූර්ණයෙන්ම වෙනස් පන්දු ක්‍රීඩාවක් විය.”

එනමුත් ධනේශ්වර ආන්ඩු න්‍යෂ්ටික අවි සමඟ රුසියානු සූදු ක්‍රීඩාව (Russian roulette) කරමින් සිටී. සමස්ත ධනේශ්වර පද්ධතියේ මාරාන්තික අර්බුදයක් මධ්‍යයේ, ඔවුන් න්‍යෂ්ටික අවි භාවිතා කිරීම ඇතුළු ඕනෑම අපරාධයකට යොමු වීමට සූදානම්ව සිටිති.

හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමාණුක අවි හෙළීමෙන් වසර 80කට පසු මානව ශිෂ්ටාචාරය අධිරාජ්‍යවාදී යුද්ධය හරහා සමූලඝාතනය වීමේ තර්ජනයට ලක්ව ඇත. ධනේශ්වර කතිපයාධිකාරය අතින් බලය ලබාගෙන අධිරාජ්‍යවාදී යුද්ධයේ මූල හේතුව වන ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීමේ ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කම්කරු පන්තිය තුල බහුජන, ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top