ආර්ථික බුබුලු “හොඳයි” යැයි ප්‍රකෝටිපති ජෙෆ් බෙසෝස් ප්‍රකාශ කරයි

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 03 දින ‘Ultra-billionaire Jeff Bezos declares economic bubbles are “good”යන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

Jeff
2025 ජනවාරි 20 වන සඳුදා වොෂින්ටනයේ එක්සත් ජනපද කැපිටල් හි රොටුන්ඩා හි 60 වන ජනාධිපති පදවි ප්‍රාප්තිය ඉදිරිපිට වමේ සිට මාර්ක් සකර්බර්ග්, ලෝරන් සැන්චෙස්, ජෙෆ් බෙසෝස් සහ සුන්දර් පිචායි. [AP ඡායාරූපය/කෙනී හොල්ස්ටන්/ද නිව් යෝර්ක් ටයිම්ස්]

සිකුරාදා, ලෝකයේ සිව්වන ධනවත්ම මිනිසා සහ ඇමසන් සමාගමේ නිර්මාතෘ සහ සභාපති, තාක්ෂණ කතිපයාධිකාරී ජෙෆ් බෙසෝස්, එක්සත් ජනපද ආර්ථිකය තාක්‍ෂණික කොටස් මත කේන්ද්‍රගත වූ ආර්ථික බුබුලක් මධ්‍යයේ පවතින බව කෙලින්ම පිළිගෙන එය “හොඳ” බව ප්‍රකාශ කළේය.

එක්සත් ජනපදය ආර්ථික බුබුලක් මධ්‍යයේ සිටින බවට බෙසෝස්ගේ පිළිගැනීම දශක ගණනාවක පූර්වාදර්ශයන්ගෙන් බිඳ දමයි. ප්‍රධාන සමපේක්ෂන උමතුකම් අතරතුර, ඇමරිකාවේ ප්‍රකෝටිපතියන්, ඔවුන් ආර්ථික බුබුලකට ඉන්ධන සපයන බව ප්‍රතික්ෂේප කරනු ඇති අතර, පසුව නොවැළැක්විය හැකි බිඳවැටීම දෙවියන්ගේ අනපේක්ෂිත ක්‍රියාවක් ලෙස හුවා දක්වමින්, මානව වර්ගයාගේ පොදු යහපත සඳහා යැයි කියමින් රජයේ ඇපකර ඩොලර් ට්‍රිලියන ගනනක් එකතු කර ගනු ඇත.

2008 දී එක්සත් ජනපද රජය ඩොලර් ට්‍රිලියන 30 කට වැඩි මූල්‍ය වත්කම්වල වටිනාකම් ඉහළ නැංවීම සඳහා හදිසි කොන්දේසි මත ඩොලර් ට්‍රිලියන 7 කට වඩා ණයට දුන් විට වූ  තිර රචනය මෙය විය. 2020 දී බයිඩන් සහ ට්‍රම්ප් පරිපාලනයන් COVID-19 වසංගතය යොදා ගනිමින් “Cares Act” සහ හදිසි ෆෙඩරල් සංචිත බැංකුවේ ව්ව්මැදිහත්වීම හරහා අධික ලෙස උත්තෝලනය කරන ලද බැංකු සහ සංගතවලට ඩොලර් ට්‍රිලියන ගනනක් මාරු කිරීමට කඩතුරාවක් ලෙස භාවිතා කළ විට එය නැවත නැවතත් සිදු විය.

තාක්‍ෂණ සමාගම් සඳහා කොටස් වටිනාකම්වල දැවැන්ත වැඩිවීම ගැන සඳහන් කරමින් බෙසෝස් ප්‍රකාශ කළේ, “මෙය එක්තරා ආකාරයක කාර්මික බුබුලක්” බවයි.

තාක්‍ෂණික කොටස්වල බුබුලක් ඇති බව පිළිගැනීමේදී, බෙසෝස් ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙස නිවැරදිය. බරපතල මූල්‍ය විශ්ලේෂකයින් අතර, සෑම අනතුරු ඇඟවීමේ ලකුණක්ම රතු පැහැයෙන් දැල්වෙමින් පවතී. නොසැලකිය හැකි ඉපැයීම් ඇති තාක්‍ෂණ සමාගම්, වඩාත්ම ශුභවාදී අවස්ථාවන්හිදී පවා ඉටු කළ නොහැකි උපකල්පන මත පදනම්ව ආයෝජන සිදු කිරීමට සැලසුම් කරයි. වෝල් ස්ට්‍රීට් ජර්නලයේ මෑත ලිපියක සඳහන් වූයේ, ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සමාගම්, දශක හතරක් පුරා එක්සත් ජනපද අන්තර් ප්‍රාන්ත මහාමාර්ග පද්ධතිය ගොඩනැගීමේ පිරිවැයට වඩා, AI දත්ත මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත තාක්ෂණයන් ගොඩනැගීම සඳහා වැඩි මුදලක් පොරොන්දු වී ඇති බවයි.

බේන් සහ සමාගම විසින් මෑතකදී කරන ලද විශ්ලේෂණයකින් ඇස්තමේන්තු කර ඇත්තේ, AI මත පදනම් වූ මෘදුකාංග සඳහා වත්මන් වාර්ෂික ආදායමෙන් ඩොලර් බිලියන 45 ට සාපේක්ෂව, යටිතල පහසුකම් වියදම්වල වත්මන් රැල්ලේ ඒ සඳහා ගෙවීමට වාර්ෂික ආදායම ඩොලර් ට්‍රිලියන 2 ක් අවශ්‍ය වනු ඇති බවයි. මෙම 40 ගුණයකින් වැඩි වීම කෙසේ සිදුවනු ඇත්දැයි කිසිවෙකු දන්නේ නැත.

නමුත් ඔහු වැනි තාක්‍ෂණ සමාගම්වල වත්කම් වටිනාකම් දැවැන්ත ලෙස අධිතක්සේරු කිරීම හොඳ දෙයක් බව බෙසෝස් පැවසීය. කාර්මික බුබුලු “හොඳ වෙන්නත් පුළුවන්, මොකද දූවිලි තැන්පත් වෙලා ජයග්‍රාහකයින් කවුද කියලා ඔබ දකිනකොට, සමාජයට ඒ නව නිපැයුම් වලින් ප්‍රතිලාභ ලැබෙනවා… ඒ වගේම මෙතන සිද්ධ වෙන්න යන්නේ ඒකයි.”

ඇමරිකානු ඉතිහාසය එවැනි “කාර්මික බුබුලු” වලින් පිරී තිබේ. එයින් වඩාත්ම වැදගත්ම එක වූයේ 1920 ගණන්වල “ගර්ජනාත්මක” කාර්මික හා තාක්‍ෂණික ධාරිතාවයේ දැවැන්ත අධික-ආයෝජනයයි; එය 1929 මූල්‍ය බිඳවැටීමට අවසාන හේතුව වූ අතර මහා අවපාතයට ප්‍රධාන දායකත්වයක් ලබා දුන්නේය. මෙම කාලාවර්තක බුබුලු සෑම විටම වංචාකරුවන්ගේ පොහොසත් වීමට සහ කම්කරු ජනතාව දුප්පත් කිරීමට හේතු වී තිබේ.

නමුත් මෙය 1920 ගණන්වල හෝ 1930 ගණන්වල නොවේ. ඒ කාලයේ දී, වෙළඳපොළවල් තමන්වම “පිරිසිදු” කර ගැනීමට ඉඩ දීම ආර්ථික සම්ප්‍රදාය විය. බැංකුකරු ඇන්ඩෲ මෙලන්ගේ ආදර්ශ පාඨය වූයේ: “ශ්‍රමය ඈවර කරන්න, කොටස් ඈවර කරන්න, ගොවීන් ඈවර කරන්න, දේපළ ඈවර කරන්න. එය පද්ධතියෙන් කුණුවීම ඉවත් කරනු ඇත.”

මෙම දැක්ම එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. නිල ආර්ථික විද්‍යාවේ සමස්ත රාමුවම, හිතකර අනුපාත යටතේ අසීමිත ණය ලබා දීම පමණක් නොව, බැංකු සහ සංගතවලට ලබාදෙන සෘජු රජයේ ඇපකර හරහා ද මූල්‍ය අර්බුද ඕනෑම වියදමකින් සමනය කළ යුතු බවට ප්‍රකාශ කිරීමට මාරු වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මූල්‍ය බුබුලු බිඳවැටීමේ විභවය ප්‍රධාන සංගතවල ශේෂ පත්‍රවලට පමණක් නොව, එක්සත් ජනපද රජයේ, එහි මහ බැංකුවේ සහ සමස්ත ඩොලර් මත පදනම් වූ මූල්‍ය පද්ධතියේ නුබූන්වත්කමට ද තර්ජනය කරයි.

2008 සහ 2020 දී මෙම ඇපකර මගින් බෙසෝස්ගේම ධනයේ දැවැන්ත වැඩිවීමක් සඳහා කොන්දේසි නිර්මානය කරන ලදී. 2007 දී බෙසොස්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 8.7 ක් විය. 2008 බිඳවැටීමෙන් වසර 10 කට පසු, 2018 වන විට ඔහුගේ ධනය ඩොලර් බිලියන 161 දක්වා ඉහළ ගොස් තිබුණි. එතැන් සිට එය තවදුරටත් වර්ධනය වීම පමණක් සිදු වී ඇත අතර,  වර්තමානයේ මුළු වත්කම ඩොලර් බිලියන 250 කි.

ජනක AI (generative AI) හි යටින් පවතින ආර්ථික සංවර්ධනය සමාජයට ප්‍රතිලාභ ලබා දෙන බවට වන පදනම මත බෙසෝස් මූල්‍ය වත්කම්වල වර්තමාන අධි තක්සේරුව ආරක්ෂා කරයි. නිසැකවම, සමාජවාදය ලෙස හැඳින්වෙන සමාජයට ප්‍රතිලාභ ලබා දීම සඳහා සංවිධානය කරන ලද ආර්ථික පද්ධතියක, ජනක AI දැවැන්ත ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත. නමුත් ධනවාදය යටතේ, ජනක AI හි දැවැන්ත ශ්‍රම ඉතිරි කිරීමේ බලයේ බලපෑම ප්‍රධාන වශයෙන් සමස්ත ශ්‍රම පන්ති ප්‍රතිස්ථාපනය කිරීම, විරැකියාව ඉහළ නැංවීම, වැටුප් පහත හෙලීම සහ ආර්ථික අසමානතාවය වැඩි කිරීමයි.

කෙසේ වෙතත්, බුබුල AI වලට පමණක් සීමා නොවන බව බෙසෝස් දනී. ගෝලීය ක්‍රිප්ටෝ මුදල් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියන 4 ක තක්සේරුවකට ලක්ව ඇති අතර, බිට්කොයින් ඩොලර් බිලියන 47 කින් ඉහළ ගොස් ඇත. ජනක AI මෙන් නොව, ක්‍රිප්ටෝ මුදල් අපරාධ සහ මුදල් විශුද්ධිකරණයෙන් පිටත කිසිදු වැදගත් භාවිතයක් ඇති බව කිසි විටෙකත් පෙන්වා නැත.

AI බුබුල පමණක් නොව ක්‍රිප්ටෝ මුදල් බුබුල ද නොවැළැක්විය හැකි දියවීමකට ලක් වූ විට රජයන්ගේ ප්‍රතිචාරය කුමක් වේද? ට්‍රම්ප්ගේ සෙසු කතිපයාධිකාරීන්ට ඇප ලබා දීම සඳහා අතිවිශාල හා පෙර නොවූ විරූ නව මුදල් ලබා දෙමින් ට්‍රම්ප් රජය වහාම ක්‍රියාත්මක වනු ඇත.

මෙම ඇපදීම සඳහා ගෙවනු ලබන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙය මතු කරයි. එක්සත් ජනපද ෆෙඩරල් ණය ඩොලර් ට්‍රිලියන 37 දක්වා ළඟා වී ඇති අතර, ණය-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය එක්සත් ජනපද ඉතිහාසයේ ඉහළම මට්ටමේ පවතී. ඩොලරයේ නුබුන්වත්භාවය පිළිබඳ වෙළඳපල අවිනිශ්චිතතාවයට විකල්පයක් වන රන් මිල ඩොලර් 3,900 දක්වා ළඟා වී ඇති අතර එය මාස හයක් තුළ සියයට 25 කින් ඉහළ ගොස් තිබේ.

යථාර්ථය නම්, මූල්‍ය කතිපයාධිකාරීන් පැත්තෙන් ඔවුන්ගේ ධනය තිරසාර නොවන මූල්‍ය බුබුලකින් ආධාරක වන බවට ඇති දැනුම, සමාජ වියදම් කප්පාදු කිරීමට, ලක්ෂ සංඛ්‍යාත ෆෙඩරල් සේවකයින් සේවයෙන් පහ කිරීමට සහ ප්‍රධාන හිමිකම් වැඩසටහන් – මෙඩිකෙයාර්, මෙඩිකේඩ් සහ සමාජ ආරක්ෂණය – විනාශ කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරන ක්‍රමානුකූල උත්සාහයන් පිටුපස පවතී. බුබුල අනිවාර්යයෙන්ම පුපුරා යන විට ඔවුන්ගේ නරක ණය ඇපයට ගැනීමට මෙම මුදල් අවශ්‍ය වන බව ඔවුන් සම්පූර්ණයෙන්ම දනී.

තව දුරටත් ධනය මහත් ලෙස ඉහළට යලි බෙදාහැරීමකට මහජන විරෝධයක් ඇති වන බව කතිපයාධිකාරීන් ද ඒ හා සමානව හොඳින් දනී. ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට ට්‍රම්ප් දරන උත්සාහයට ඔවුන්ගේ සහයෝගය පිටුපස ඇත්තේ මෙයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top