චෙම්මනි සමූහ මිනීවළවල් ශ්‍රී ලංකා රාජ්‍යයේ පන්ති යුද ප්‍රතිපත්ති හෙලිදරව් කරයි

සංජය ජයසේකර විසිනි.

Chemmani
චෙම්මනි සමූහ මිනීවළ 2025 අගෝස්තු 01 දින. ඡායාරූප අනුග්‍රහය Kumanan Kana ෆේස්බුක් පිටුවෙනි.

යාපනයේ අලුතින් අනාවරණය කරගත් චෙම්මනිහි අරියාලෙයි “සිත්තුපත්ති” හින්දු සුසාන භූමියේ සමූහ මිනීවළේ දෙවැනි අදියරේ කැණීම්වල 28 වැනි දිනය අවසන් වන විට ඇටසැකිලි 147ක්—ඒ අතර බිළිඳන්, කුඩා දරුවන් සහ මාස දොළහකට අඩු ළදරුවන් ගේද වන ඒවා—ගොඩගෙන ඇත. අඩි දෙකක් තරම් වන නොගැඹුරු වළකින් සොයා ගන්නා ලද මෙම ඇටසැකිලි සහ ඉතිරි පහදු–සමහර සිරුරු එකිනෙක මත ගොඩගැසී ද, සමහර සිරුරු පණපිටින් වළලනු ලැබූ බව අඟවමින් අතපය නැවීගිය ආකාරයෙන් ද වන සේ–පිළිවෙලක් නොමැතිව විසිරී තිබුණි. සියලු දෙනාම ඇඳුම් රහිතව වූ අතර, ඔවුන්ගේ ළදරුවන් සමඟ කාන්තාවන් එතැනම මරා දැමීමේ පැහැදිලි සලකුණු ද, කඩිමුඩියේ භූමදාන කිරීමද සහ ඇඟ සීතල කරවන මානවකෘති ද–1990 ගණන්වල යුනෙස්කෝව විසින් පරිත්‍යාග කරන ලද ඒවා වැනිම වූ පාසල් බෑගයක්, ළදරු සෙල්ලම් බඩුවක් සහ පෝෂණ (කිරි) බෝතලයක්, කුඩා වීදුරු වළලු, සපත්තු මේස්, සෙරෙප්පු, මැෂින් තුවක්කු  බඳක් යැයි සැක කරන්නක්, බිදීම් සහිත හිස් කබල්–දක්නට විය. මෙම සොයාගැනීම්, දැනටමත් පවතින වාර්තා සහ සාක්ෂි සමගින්, මොවුන් ස්වභාවික විපත්වලට හෝ අහඹු ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් නොව, ක්‍රමානුකූලව, රාජ්‍ය විසින් සංවිධානාය කළ සමූහ ඝාතන ව්‍යාපාරයක ගොදුරු බවට සැකයක් ඉතිරි නොකරයි.

යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ.ආනන්දරාජා ගේ අධීක්‍ෂණය යටතේ  සහ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවගේ නායකත්වයෙන් සිදුකෙරෙන කැණීම, අගෝස්තු 6 වැනිදා තාවකාලිකව නවතා දමා අගෝස්තු 22 වැනිදා නැවත ආරම්භ කිරීමට නියමිතය. අගෝස්තු 3 සහ 4 යන දිනවල මෙම ලේඛකයා එම ස්ථානයේදී මහේස්ත්‍රාත්වරයා සමඟ ද, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) විධායක අධ්‍යක්ෂ ජේ. තත්පරන් හා  මහාචාර්ය සෝමදේව සමගද සෘජුවම කතා කළේය. එයින් හෙළි කරන ම්ලේච්ඡත්වයේ සහ මානව ඛේදවාචකයේ පරිමාණය පිළිබඳව පමණක් නොව, අහිංසක සිවිල් වැසියන්ට එරෙහිව සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් එය සපයන ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි සඳහාද මෙම සොයාගැනීමේ වැදගත්කම සියල්ලෝම තහවුරු කළහ. 

Chemmani visit
චෙම්මනි සොහොන් බිමේ, වමේ සිට, 2025 අගෝස්තු 3: යාපනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්දරාජා; ජේ. තත්පරන්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) විධායක අධ්‍යක්ෂ; සහ ලේඛකයා. ඡායාරූප අනුග්‍රහය Kumanan Kana ෆේස්බුක් පිටුවෙනි.

චෙම්මනි, 1998 සිට අද දක්වා: රාජ්‍ය හමුදා සමූහ මිනීවළ වලට සම්බන්ධ කිරීම

1995 න් පසු යාපනය වාඩිලා ගත් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට මෙම සමූහ මිනී වලවල් සම්බන්ධ කිරීම සඳහා කිසිවකුට අඳුරේ අතපත ගෑමට අවශ්‍ය නැත. සමූහ මිනීවළවල් පවතින බවත් රාජ්‍ය හමුදාව විසින් සමූලඝාතන සිදු කළ බවත් අන්ත දක්ෂිණාංශික සිංහල ජාතිවාදීන් විසින් පවා පිළිගෙන ඇති අවිවාදිත සත්‍යයකි. චෙම්මනි ගොඩගැනීම් වලින් තැතිගත් පිවිතුරු හෙළ උරුමයේ නායක සහ හිටපු ඇමැතියෙක් වූ වර්ගවාදී හා යුධකාමි උදය ගම්මන්පිල මාධ්‍යයට පැවසුවේ, “උතුර යුද්ධයෙන් විනාශ වී ඇති නිසා සමූහ මිනීවළවල් කොතැනක හෝ මතුවෙයි. ඒවා හාරා [ඒවා ගැන] අදහස් දැක්වීම තේරුමක් නැති වැඩක් සහ මුදල් නාස්තියක්,” යනුවෙනි.

ආසියානු මානව හිමිකම් කොමිසම (AHRC) 1997 දෙසැම්බරයේ මෙසේ වාර්තා කළේය: “මෑත කාලයේ යාපනය අර්ධද්වීපයෙන් අතුරුදහන් වූ 600 දෙනෙකුගේ පමණ ඉරණම  කුමක් ද යන්න නොදනී”. 18 හැවිරිදි දෙමළ පාසල් සිසුවියක් වන ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල් දේවගේ සෝමරත්න රාජපක්ෂ, ”අපි කිසිවකු මැරුවේ නැහැ. අපි සිරුරු වැළලූවා පමණයි. සිරුරු 300-400 වළ දමා ඇති ස්ථාන පෙන්වීමට අපිට හැකියි,”කොළඹ මහාධිකරණයට ප්‍රකාශ කිරීමත් සමඟ 1998 ජූලි මාසයේදී “චෙම්මනි” යන නාමය ලෝකයේ අවධානයට ලක්විය.

1999 ජූනි මස ගොඩ ගැනීම් වලට ආසන්න පෙරාතුවේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී, ඔහු මෙසේ කීවේය: “අරියාලෙයි ප්‍රදේශයේ මිනිසුන් අත්අඩංගුවට ගෙන, වධ හිංසා පමුණුවා, වළදැමූ ආකාරය මට ඔබට පෙන්විය හැකියි… චෙම්මනි වල සිරුරු වළ දැමූ ස්ථාන 10 ක් මට ඔබට පෙන්විය හැකියී. මා සමඟ වරදකරුවන් වූ අනෙක් හතර දෙනාට තවත් ස්ථාන හයක් පෙන්විය හැකියි.”

1995 දී ශ්‍රී ලංකා හමුදාව අර්ධද්වීපය යළි අත්පත් කර ගැනීමෙන් පසු “අතුරුදහන් වූ” සිවිල් වැසියන් සිය ගනනක් අඩංගු යාපනය ප්‍රදේශයේ රහසිගත සමූහ මිනීවළවල් ජාලයක් රාජපක්ෂගේ සාක්ෂියෙන් හෙලිදරව් විය. 1990 දශකයේ අගභාගයේදී, චෙම්මනි හි සීමිත කැණීම් මගින් පුද්ගලයන් 15 දෙනෙකුගේ අස්ථි කොටස් තහවුරු විය; නමුත්, දේශපාලන බාධා කිරීම්, සාක්ෂිකරුවන් බිය ගැන්වීම, ක්‍රියාපටිපාටිමය බාධා, සහ හිතාමතාම සාක්ෂි විකෘති කිරීම්–රට පුරා විසිරී ඇති වෙනත් බොහෝ සමූහ මිනීවළවල් මෙන්–බොහෝ ස්ථාන දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ අත නොගසා පැවතීම සහතික කළේය. 

මුල් චෙම්මනි මිනීවළට කෙටි දුරක් පමණින් පිහිටි වත්මන් අරියාලෙයි සමූහ මිනීවළ, රාජපක්ෂගේ ප්‍රකාශවල සත්‍යතාව තහවුරු කරන අතර ශ්‍රී ලංකා හමුදාව මෙම කුරිරුකම්වලට සෘජුවම සම්බන්ධ කරයි. මාධ්‍ය වාර්තා, මිලිටරි මුරපොලවල් වල නතර කිරීමෙන් පසු  සහ වටලෑම් වලදී අතුරුදහන් වූ සිය ගණනක් දෙමළ සිවිල් වැසියන් ලේඛනගත කර ඇත. එකල චෙම්මනි මධ්‍යම හමුදා කඳවුර සුසාන භූමියට යාර කිහිපයක් ආසන්නයේ  පිහිටා තිබීම, ඇටසැකිලි අහඹු ලෙස ස්ථානගතව පැවතීම, ඇඳුම් පැළඳුම් නොතිබීම, සිරුරු සමඟ හමු වූ මිලිටරි භාණ්ඩය සහ මොට්ට ආයුධයකින් ලද තුවාල පිළිබඳ සාක්ෂි යන සියල්ල හමුදා පැහැරගැනීම්, වධහිංසා පැමිණවීම් සහ සෘජු මරා දැමීම් හා ගැලපේ.

Chemmani the dead
2025 අගෝස්තු 6 වන දින චෙම්මනි සමූහ මිනීවළෙන් හමු වූ වින්දිතයෙකුගේ කැඩුණු හිස් කබල. ඡායාරූපය: ෂබීර් මොහොමඩ්

රාජ්‍ය මර්දනය: උතුරේ සිට දකුණට

1988-90 ෆැසිස්ට්වාදී ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) එරෙහි ප්‍රතිකැරැල්ලේදී දකුණේ සිද්ධි 16,700කට වඩා සත්‍යාපනය කර ඇති බව 1997 දෙසැම්බරයේ සඳහන් කරමින් AHRC අතුරුදහන්වීම්වල ක්‍රමානුකූල ස්වභාවය ලේඛනගත කළේය.  අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීම් හුදෙකලා අවස්ථා කීපයක පමණක් ආරම්භ කරන ලද අතර, ඒ සියල්ලේන්ම පාහේ කිසිදු වරදක් සිදුකළ බවට තීන්දු නොකෙරුණි. ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව, දකුණේ සහ උතුරේ, හමුදාව සහ පොලිසිය, ඝාතක කල්ලි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමග දඬුවම් නොලබා  මිනීමැරීමට සහ මළ සිරුරු බැහැර කිරීමටද, සමූහ මිනීවළවල් භාවිතා කිරීමටද නීතිමය බලපත්‍රයක් ලෙස සේවය කළ හදිසි නීති රෙගුලාසි සමග රාජ්‍යයේ සම්පූර්ණ යාන්ත්‍රණය යොදවා, ධනපති පන්ති පාලනයට, දේශපාලන දකුණෙන් සහ සියල්ලටම ඉහළින් අහිංසක ගැමි දුප්පතුන් සහ පීඩිතයන්ගෙන්  එල්ල වනවා යැයි  ඔවුන් සිතූ තර්ජනය අහෝසි කිරීමට කටයුතු කළහ.

කෙසේ වෙතත්, සිරුරු බැහැර කිරීමේ ක්‍රමවල වෙනස්කම් තිබුණි. දකුණේ, ටයර් සෑය–ප්‍රසිද්ධ ස්ථානවල මළ සිරුරු පුළුස්සා දැමීම–මහජනයා භීතියට පත් කිරීමට සහ විරෝධය දැක්වීමේ ප්‍රතිවිපාක ප්‍රදර්ශනය කිරීමට භාවිතා කරන ලදී. උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල හමුදාව බොහෝ විට තම අපරාධ සඟවා ගනිමින්, මර්දනය දිගටම කරගෙන යන අතරේ, සෝදිසියෙන් වැළකී සිටීම සඳහා දුරස්ථ හෝ පාලිත ප්‍රදේශවල මළ සිරුරු වළදැමූහ.

මේවා “බලය ඉක්මවායෑම්” හෝ “අපගමන” නොව හිතාමතා තීන්දු කළ පන්ති ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය විය. නිදහස් වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමේ පූර්ව කොන්දේසියක් ලෙස දහස් ගණනක් ඉවත් කර දැමීම සඳහා ගත් සෘජු දේශපාලන තීරණ සහ 1965 ඉන්දුනීසියානු සමූහ ඝාතන ශෛලිය භාවිතය මර්දනය සඳහා ආදර්ශයක් ලෙස ගැනීම ඇතුළුව අතුරුදහන්වීම් පිටුපස රටා හතක් AHRC හඳුනාගෙන ඇත.

අනුප්‍රාප්තික ආණ්ඩු, හවුල් අපරාධ

දිවයින පුරා අනාවරණය වී ඇති තවත් දුසිම් දෙකකට ආසන්න ප්‍රමාණයක් වන අනෙකුත් ඒවා  සමග, චෙම්මනි සමූහ මිනීවළවල්,  හමුදාවට පමණක් නොව, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය කෙරෙහි දණ්ඩමුක්තිය ලබා දුන් පාලන තන්ත්‍රයක මුලසුන දැරූ යූඑන්පී, ශ්‍රීලනිප, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ දැන් එන්පීපී/ජේවීපී යන සෑම ආන්ඩුවකටම එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කරයි.

අද “පිරිසිදු” සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), අවම වශයෙන් ප්‍රතිගාමී ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කළ 1987 ජූලි මාසයේ සිට උතුරේ සහ දකුණේ මර්දනය නීත්‍යානුකූල කළ ජාතිකවාදී, ස්වෝත්තමවාදී සහ මිලිටරිවාදී ව්‍යාපාරවල ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය. ජනතා විමුක්ති පෙරමුණ එසේ කළේ හිටපු ජනාධිපතිවරු වන චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ සමඟ සභාග ආණ්ඩුවලට හවුල් වෙමින් සිටියදීය. ජනතා විමුක්ති පෙරමුණේ දෑත් දෙමළ ජනතාවගේ ලේවලින් තෙත් වී ඇත. චෙම්මනි පිලිබඳ එහි වත්මන් නිශ්ශබ්දතාවය කම්කරු පන්තියට හා දුප්පතුන්ට එරෙහිව එය ආරක්ෂා කරන ධනේශ්වර රාජ්‍යයට සහ අධිරාජ්‍යවාදයට එහි ඇති සැබෑ පන්ති පක්ෂපාතීත්වය පිළිබඳ මහත් සේ හඬ නගයි.

හමුදාකරණය, බිය ගැන්වීම සහ මර්දනය

දකුණේ, එජාප රජය යටතේ රාජ්‍ය භීෂණයට  සහ ජවිපෙ ෆැසිස්ට්වාදීන්ට ගොදුරු වූවන්ට පොලිස් පැමිණිලි පවා ඉදිරිපත් කිරීමට සීමිත ඉඩක් විවෘත වූයේ, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාජ ප්‍රතිඥා දී ජනාධිපති කුමාරතුංග බලයට පත් වූ 1994 න් පසුව  පමණි.  වැඩි කල් නොගොස්, දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය යලි ආරම්භ කිරීමේදී පොදුජන එක්සත් පෙරමුණු (PA) ආන්ඩුව විසින් හමුදාව ඉහලම උත්කර්ෂයට නංවන ලදී. උතුරේ අඛන්ඩ මිලිටරිකරණය සහ මර්දනය, කම්කරු පන්තිය සහ සියලු විරුද්ධවාදීන් භීත කරමින් පැහැරගැනීම් සාමාන්‍ය දෙයක් බවට පත් කල ජනාධිපති රාජපක්ෂ යටතේ පුනර්ජීවනය කරන ලද යුද්ධය තුල, දකුණ මග හැරියේ නැත. මුළු කාලය පුරාම ජවිපෙ ගෙන ගියේ යුද්ධයට සහාය දෙන දුෂ්ට ස්වෝත්තමවාදී ව්‍යාපාරයකි. අද විශ්‍රාමික හමුදා නිලධාරීන් බොහෝ දුරට ජ්විපී/එන්පීපී ආණ්ඩුව යටතේ සුරක්ෂිත බලකොටුවක් සොයාගෙන ඇත. අතුරුදහන් වූවන්ගේ අගතියට පත් ඥාතීන්ට අධිකරණ ක්‍රියාවලීන් කරා යාම වැළැක්වූ කොන්දේසි මේවා වූ අතර, පොලිසිය සහ හමුදාව නඩු කටයුතු අවහිර කිරීමට සක්‍රීයව මැදිහත් විය.

ජාතිකවාදී උගුල් සහ අධිරාජ්‍යවාදයට කරන ආයාචනවල ආවෘත අන්තය

උතුරේ හෝ කොළඹ ක්‍රියාත්මක වන දෙමල ජාතිකවාදී සංවිධාන හෝ දෙමල ඩයස්පෝරාව ඉදිරි මාවතක් ඉදිරිපත් නොකරයි. ඔවුන්ගේ සැබෑ අරමුණ දෙමළ කම්කරු පන්තියට සහ දුප්පතුන්ට එරෙහිව තම වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා උතුරු හා නැගෙනහිර ප්‍රභූ ස්වයං-පාලනයක් තහවුරු කර ගැනීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, බටහිර ආන්ඩු සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙත ඔවුන් කරන ආයාචනා හුදෙක් කඩතුරාවක් පමණක් වී ඇති අතර, බොහෝ දුරට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කොළඹට යටත් වන ලෙස බලපෑම් කිරීම සඳහා ඒවා යොදා ගනී. මේවා, යුද සමයේ කොළඹට, හමුදා, බුද්ධි අංශ සහ රාජ්‍යතාන්ත්‍රික පිටුබලය සැපයූ අධිරාජ්‍යවාදී බලයන්මය.

ඒ හා සමානව, සිංහල ජාතිකවාදය, “ඒකීය රාජ්‍යය සුරැකීමේ” සහ “ජාතික ආරක්ෂාව” ආරක්ෂා කිරීමේ ආවරණය යටතේ අතීත සහ වර්තමාන සමූලඝාතන සාධාරණීකරණය කරයි. වාර්ගික ජාතිකවාදයන් දෙකම සේවය කරන්නේ මර්දනයේ සහ දණ්ඩමුක්තියේ චක්‍රය අවසන් කළ හැකි එකම සමාජ බලවේගය වන කම්කරු පන්තිය බෙදීමට ය.

සමූල ඝාතන පන්ති යුද්ධයක් ලෙස

1988-90 කාලයේ දකුණේ සිදුකළ සමූලඝාතන මෙන්ම, 1983-2009 දෙමල විරෝධී සිවිල් යුද්ධයේදී උතුරු හා නැඟෙනහිර සිදුවූ ඒවා හුදෙක් වාර්ගික සුළුතරයකට එරෙහිව සිදු කරන ලද අපරාධ නොව, මූලික වශයෙන් පන්ති යුද්ධයේ ක්‍රියාවන් ය. වින්දිතයන්–JVP සබඳතා පිලිබඳ චෝදනා එල්ල වූ ග්‍රාමීය සිංහල තරුනයන් හෝ වේවා, එල්ටීටීඊයට ආධාර කළ බවට සැක කෙරෙන දෙමල ගැමියන් වේවා–අතිමහත් ලෙස ඇදී ආවේ කම්කරු පන්තියෙන්, රැකියා විරහිත තරුනයන්ගෙන් සහ පීඩිත ග්‍රාමීය දුප්පතුන්ගෙනි. ඔවුන්ව තුරන් කිරීමේ අරමුණ වූයේ දේශපාලන විරුද්ධත්වය තලා දැමීම සහ දේශීය ධනේශ්වරය සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය විසින් ඉල්ලා සිටින “විවෘත ආර්ථික” ප්‍රතිපත්ති පිළිගැනීමට මහජනයා භීතියට පත් කිරීමයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) අවධාරනයෙන් පැහැදිලි කර ඇති පරිදි, උතුරේ වින්දිතයින්ට යුක්තිය නොමැතිව දකුණේ වින්දිතයින්ට යුක්තිය ඉටු නොවනු ඇති අතර එහි ප්‍රතිලෝමයද සත්‍ය වනු ඇත. වාර්ගික බෙදීම මත 1948 දී පිහිටුවන ලද ධනේශ්වර රාජ්‍යය තමන්ටම එරෙහිව නඩු  පවරා ගැනීම සිදු නොකරන්නාක් මෙන්ම එසේ කරනුද නැත.

ඉදිරි මාවත: කම්කරු පන්තිය සහ පීඩිතයන් සඳහා සමාජවාදී වැඩපිලිවෙලක්

මර්දනය අවසන් කිරීම සහ අව්‍යාජ යුක්තිය සුරක්ෂිත කිරීම සඳහා ICFI පැහැදිලි ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරයි: එනම්, දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලාම් එක්සත් සමාජවාදී රාජ්‍යයක් සඳහා අරගලයේ දී, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම තුල සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීම යි.

මේ සඳහා, රැකියා විරහිත තරුනයින් සමග පීඩිත ග්‍රාමීය හා නාගරික දුගීන්, කම්කරු පන්තියේ නායකත්වය පිටුපස එක්සත් කිරීමට සටන් කරන, නොනවතින විප්ලවයේ ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල මත පදනම් වූ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමය අවශ්‍ය යි. මධ්‍යම පංතිය සහ සුළු ධනේශ්වරය ජාතිකවාදී මිත්‍යාවන්ගෙන් මිදී ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ගේ සැබෑ පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්විය යුතුය.

සත්‍යය නම් යුක්තිය ඉටුවනු ඇත්තේ හේග්, ජිනීවා හෝ වොෂින්ටනයෙන් නොව, යුද්ධය, ආඥාදායකත්වය සහ සමූහ මිනීමැරුම් බිහි කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ ජයග්‍රහණයෙන් බවයි. චෙම්මනි හි මිනීවලවල්  හුදෙක් අතීත කුරිරුකම්වල නටබුන් පමණක් නොවේ–ඒවා කම්කරු පන්තිය තවත් පරාජයකට ලක් වුවහොත් ශ්‍රී ලංකා රාජ්‍යය යලිත් කුමක් වෙතට යොමු වනු ඇත්ද යන්න පිලිබඳ අනතුරු ඇඟවීමකි. අධිරාජ්‍යවාදී පිටුබලය ලත් සියොන්වාදී ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් සමූලඝාතනය කිරීම තුලින් අපගේ ඇස් ඉදිරිපිට ප්‍රදර්ශනය කරන ලද මෙය දුරස්ථ වියහැකියාව ක් නොව ජීවමාන යථාර්ථයකි. 

මෙම ලිපිය 2025 අගෝස්තු 15 දින ඉංග්‍රීසි බසින් මෙම වෙබ් අඩවියේ පල කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top