ඇන්ඩ්‍රේ ඩෙමන් විසිනි.
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 ජනවාරි 22 දින ‘Davos World Economic Forum dominated by Trump threats over Greenland’ යන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට දරන උත්සාහයන් සම්බන්ධව එක්සත් ජනපදය සහ යුරෝපීය බලවතුන් අතර ගැඹුරු වන විරසකය, සඳුදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි ආරම්භ වූ ලෝක ආර්ථික සංසදයේ/සමුළුවේ ආධිපත්‍යය දැරීය. බදාදා සවස අවසන් වන විට, ට්‍රම්ප් නිවේදනය කළේ, භූමිය පාලනය කිරීම පිළිබඳ ගිවිසුමක් ලෙස ඔහු හැඳින්වූ දෙයට හිලව් වශයෙන්, ග්‍රීන්ලන්තය මිලිටරි බලයෙන් ඈඳා ගන්නා බවට හෝ යුරෝපීය රාජ්‍යයන්ට එරෙහිව තීරුබදු පැනවීමට තමා කලින් කළ තර්ජන ආපසු හරවන බවයි.
ග්‍රීන්ලන්තය යනු නේටෝ සන්ධානයේ ආරම්භක සාමාජිකයෙකු වන ඩෙන්මාර්කයේ ස්වාධීන ප්‍රදේශයකි. ට්‍රම්ප් බදාදා නේටෝ මහලේකම් මාර්ක් රූට් හමුවී “අනාගත ගිවිසුමක රාමුව” ප්‍රකාශයට පත් කළ නමුත් නිශ්චිත කොන්දේසි අපැහැදිලි සහ මතභේදාත්මක ය.
සාකච්ඡා ගැන දැනුමක් ඇති නම් නොකළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ, නේටෝ හමුදා නිලධාරීන් “ඩෙන්මාර්කය එක්සත් ජනපදයට හමුදා කඳවුරු ගොඩනගා ගත හැකි ග්‍රීන්ලන්ත කුඩා ඉඩම් කොටස් මත එක්සත් ජනපදයට ස්වෛරීභාවය ලබා දෙන සම්මුතියක්” සාකච්ඡා කළ බවයි. නිලධාරීන් දෙදෙනෙක් මෙම යෝජනාව සයිප්‍රසයේ බ්‍රිතාන්‍යයේ ස්වෛරී කඳවුරු ප්‍රදේශ සමඟ සංසන්දනය කළහ. මෙම රාමුව මඟින් ඩෙන්මාර්කයේ අවසරය ලබා නොගෙන එක්සත් ජනපදයට “මිලිටරි මෙහෙයුම්, බුද්ධි අංශ සහ පුහුණුව” සිදු කිරීමට ඉඩ සලසන බව ටෙලිග්‍රාෆ් පැවසීය–එය කියුබාවේ ගුවන්තනාමෝ බොක්කෙහි එක්සත් ජනපද හමුදාවේ පාලනයට සමාන විධිවිධානයකි.
ඩෙන්මාර්ක නිලධාරීන් සැබෑ ගිවිසුමකට එළඹ ඇති බවට කරන ලද ගුණාංකරණය ප්‍රතික්ෂේප කළහ. ඩෙන්මාර්ක විදේශ අමාත්‍ය ලාර්ස් ලොක්කේ රස්මුසන් (Lars Løkke Rasmussen) ජාතික විකාශන ආයතනය වන ඩීආර් (DR) වෙත පැවසුවේ ග්‍රීන්ලන්තයේ ඇමරිකානු අයිතිය ඩෙන්මාර්කය සඳහා “රතු ඉරක්” වන බවයි. ඩෙන්මාර්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සාෂා ෆැක්ස් (Sascha Faxe), ස්කයි නිව්ස් වෙත පැවසුවේ, මෙම කියනු ලබන ගනුදෙනුව “සැබෑ නොවේ” යනුවෙනි. තවදුරටත් සඳහන් : “ඒක මිනිසුන් දෙදෙනෙක් අතර සිදුවූ සංවාදයක්. එය නියත වශයෙන්ම ගනුදෙනුවක් නොවේ.” ට්‍රම්ප් සමඟ කළ සාකච්ඡාවලදී ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක පාලනය යටතේ පවතිනු ඇත්ද යන ප්‍රශ්නය “නො නැඟුණු” බව රූට් විසින්ම ෆොක්ස් නිව්ස් වෙත පැවසීය.
නිවේදනයෙන් පසුව ට්‍රම්ප්, S&P 500 දර්ශකය ඔක්තෝබර් මාසයෙන් පසු එහි නරකම දිනය අඟහරුවාදා සටහන් කිරීමෙන් පසු කොටස් වෙළඳපොළ තියුනු ලෙස ඉහළ යවමින්, යුරෝපීය රටවල් අටකට එරෙහි තීරුබදු තර්ජන ඉවත් කර ගත්තේය.
ඩාවෝස් හි අර්බුදය, අත්ලාන්තික් සාගර සන්ධානයේ බිඳවැටීමේ දියුණු තත්ත්වය හෙළි කළේය. අඟහරුවාදා සංසදයේදී කතා කරමින් කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි (Mark Carney), ගෝලීය තත්වය පිළිබඳ තියුණු තක්සේරුවක් කළේය. “මම සෘජුවම කියන්නම්: අපි සංක්‍රාන්තියක නොව, බිඳීමක මධ්‍යයේ සිටිමු,” කාර්නි ප්‍රකාශ කළේය. “නීති මත පදනම් වූ පටිපාටිය මැකී යමින් පවතින” බවට ඔහු අනතුරු ඇඟවූ අතර, පුරාණ ග්‍රීක ඉතිහාසඥ තුසිඩයිඩීස් (Thucydides) ගෙන් උපුටා දැක්වීය: “ශක්තිමත් අය තමන්ට කළ හැකි දේ කරති, දුර්වලයන් තමන් විඳවිය යුතු දේ විඳවති.” ට්‍රම්ප්ගේ කතාවට ඇල්මැරුණු අත්පොළසන් නාදයක් ලැබුණු අතර, ප්‍රේක්ෂකයෝ කාර්නිට නැගී සිටිමින් අත්පොළසන් දුන්හ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ට්‍රම්ප් පරිපාලනයේ වෙළඳ මූලෝපාය “යුරෝපය දුර්වල කර යටත් කිරීමේ” උත්සාහයක් ලෙස හෙලා දුටුවේය. එක්සත් ජනපදයේ යුරෝපීය වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් (Howard Lutnick) යුරෝපීය ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරමින් කළ කතාවක් අතරතුර, යුරෝපීය මහ බැංකු සභාපතිනි ක්‍රිස්ටීන් ලගාඩ් (Christine Lagarde) රාත්‍රී භෝජන සංග්‍රහයකින් පිටව යෑමෙන්, එක්සත් ජනපදය සහ යුරෝපය අතර ඇති භේදයේ ගැඹුර නිරූපණය කරන විය.
ගිවිසුමේ අවසාන ස්වරූපය කුමක් වුවත්, එය ආක්ටික් ප්‍රදේශය පුරා ඇමරිකානු මිලිටරි පාලනය පුළුල් කිරීමක් නියෝජනය කරයි. සංසදය අමතමින් ට්‍රම්ප්, රුසියාව සහ චීනය සමඟ එක්සත් ජනපද ගැටුමේ සන්දර්භය තුළ ග්‍රීන්ලන්තය පාලනය කිරීමට ඔහු දරන උත්සාහයන් රාමුගත කළේය.
“ග්‍රීන්ලන්තය යනු එක්සත් ජනපදය, රුසියාව සහ චීනය අතර ප්‍රධාන මූලෝපායික ස්ථානයක අනාරක්ෂිත පිහිටා ඇති, විශාල, සම්පූර්ණයෙන්ම පාහේ ජනාවාස නොවූ සහ සංවර්ධනය නොවූ භූමියකි,” ඔහු පැවසීය. මෙම අරුම පුදුම භූගෝලීය පිහිටීම (ග්‍රීන්ලන්තය චීනයෙන් සැතපුම් 5,000 ක් හෙවත් කිලෝමීටර් 8,000 ක් දුරින් පිහිටා ඇත) යළි තහවුරු කරමින්, ඔහු තවදුරටත් මෙසේ පැවසීය, “ඒක හරියටම තියෙන්නෙ එතැන, හරියටම මැද යි.”
මිලිටරි බලය යෙදවීමේ තර්ජනය ආපසු හරවන අතරතුර, ට්‍රම්ප් තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආර්ථික බලහත්කාරය භාවිතා කරන බව පැහැදිලි කළේය. “ඔබට ඔව් යැයි පැවසිය හැකි අතර අපි (ඊට)ඉතා කෘතඥ වනු ඇත, නැතහොත් ඔබට නැතැයි පැවසිය හැකි අතර එය අපි මතක තබා ගන්නෙමු” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
ග්‍රීන්ලන්තයේ පාලනය අත්පත් කර ගැනීමේ ට්‍රම්ප් පරිපාලනයේ උත්සාහය, සෘජු ඇමරිකානු ආධිපත්‍යය යටතේ බටහිර අර්ධගෝලය ප්‍රතිසංවිධානය කිරීමේ පුළුල් උත්සාහයක කොටසකි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන චීනයට එරෙහිව බලය ප්‍රක්ෂේපණය කිරීම සඳහා එහි “ආසන්න විදේශයන්හි” ඇමරිකානු බලය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව පරිපාලනය සලකයි. පැනමා ඇළ මෙන්ම, ඒවායෙහි ඇති අතිවිශාල ඛනිජ සම්පත්, බලශක්ති නිධි සහ ආක්ටික් මුහුදු මාර්ග වෙත ප්‍රවේශය සහිත කැනඩාව සහ ග්‍රීන්ලන්තය මෙම උත්සාහයට ඉතා වැදගත් වේ. මෙම අර්ධගෝලීය ඒකාබද්ධ කිරීමේ මූලෝපාය අරමුණු කරන්නේ මහා බල ගැටුම සඳහා මහාද්වීපික සම්පත් පදනමක් සුරක්ෂිත කිරීමයි.
දේශගුණික විපර්යාසය ආක්ටික් ප්‍රදේශය පරිවර්තනය කරද්දී ග්‍රීන්ලන්තයේ මූලෝපායික වටිනාකම වර්ධනය වී තිබේ. වසරෙන් වැඩි කාලයක් ගමන් කළ නොහැකිව තිබූ වයඹ දිග මාර්ගය, වැඩි වැඩියෙන් යාත්‍රා කළ හැකි වෙමින් පවතින අතර, ආසියාව සහ අත්ලාන්තික් සාගරය අතර ගමන් වලින් සැතපුම් දහස් ගණනක් සහ සති ගණනක සංක්‍රමණ කාලය අඩු කරන නාවූක මාර්ගයක් ලබා දෙයි. ආක්ටික් සමුද්‍ර ප්‍රදේශ සහ ඒවාට මායිම් වන භූමි ප්‍රදේශ පාලනය කිරීම සියලුම ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ කේන්ද්‍රීය අවධානයක් ලෙස මතු වී තිබේ.
ආක්ටික් ප්‍රදේශය මිලිටරිකරණය තීව්‍ර වන කලාපයක් බවට පත්ව ඇත. එක්සත් ජනපදය, එහි වඩාත්මක උතුරු දෙසින් පිහිටි හමුදා ස්ථාපනය වන උතුරු ග්‍රීන්ලන්තයේ උතුරු කෙළවරේ , කලින් තුලේ ගුවන් කඳවුර (Thule Air Base) ලෙස හැඳින්වූ, පිටූෆික් අභ්‍යවකාශ කඳවුර (Pituffik Space Base) පවත්වාගෙන යයි. රුසියාව හෝ චීනය සමඟ න්‍යෂ්ටික වෙඩි හුව මාරුවක දී අමතර අනතුරු ඇඟවීමේ කාලය මිනිත්තු කිහිපයක් ලබා දෙන තීරණාත්මක මිසයිල ආරක්ෂණ සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති මෙම කඳවුරේ අඩංගු වේ.
ට්‍රම්ප් ඔහුගේ “ගෝල්ඩන් ඩෝම්” මිසයිල ආරක්ෂක පද්ධතිය ගැන නැවත නැවතත් කතා කර ඇති අතර, ඒ සඳහා ග්‍රීන්ලන්තයේ පිහිටීම මිල කළ නොහැකි වැදගත්කමක් දරනු ඇත. මහාද්වීපික එක්සත් ජනපදය සහ රුසියාව සහ චීනය යන දෙකම අතර කෙටිම ගුවන් ගමන් මාර්ග හරහා මෙම ඉහළ ආක්ටික් භූමිය පිහිටා තිබෙන නිසා, ප්‍රහාරාත්මක මෙන්ම ආරක්ෂක හමුදා මෙහෙයුම් සඳහා එය ආදේශ රහිත වේ.
එහි මූලෝපායිකව වැදගත් පිහිටීමට අමතරව, දියුණු තාක්‍ෂණය සහ ආයුධ පද්ධති සඳහා අත්‍යවශ්‍ය දුර්ලභ පාංශු ඛනිජ ලවණ අති විශාල ප්‍රමාණයක් මෙන්ම, යුරේනියම් සහ සැලකිය යුතු තෙල් සංචිත ද, ග්‍රීන්ලන්තයේ මහාද්වීපික තටකයට (continental shelf) යටින් අඩංගු වේ.
ඩාවෝස් හි ලෝක මූල්‍ය කතිපයාධිකාරයේ රැස්වීම සිදු වූයේ, සංසදයට සමගාමීව නිකුත් කරන ලද ඔක්ස්ෆෑම්හි “ධනවතුන්ගේ පාලනයට එරෙහි වීම” යන වාර්තාව තුළ ලේඛනගත කර ඇති බිලියනපතියන්ගේ ධනයේ විශ්මයජනක වර්ධනයේ පසුබිමක ය. පෘථිවියේ ධනවත්ම පුද්ගලයින් 12 දෙනා, දැන් මානව වර්ගයාගේ දුප්පත්ම භාගයට හිමි සමස්ථ ධනයට වඩා වැඩි ධනයක් හිමිකර ගනිමින්, බිලියනපතියන්ගේ ධනය පෙර වසර පහේ වේගය මෙන් තුන් ගුණයකින් වර්ධනය වූ බව වාර්තාව හෙළි කරයි.
ග්‍රීන්ලන්තය ආශ්‍රිත අර්බුදය ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරා දිව යෑමට හේතු විය. වටිනා ලෝහ මාස කිහිපයක් තුල තියුණුම අගය වැඩිවීම් වාර්තා කිරීමත් සමඟ රන් මිල වාර්තාගත ඉහළම අගයන් කරා ඉහළ ගියේය. රන් සහ අනෙකුත් වටිනාකම් ගබඩා වෙත දිව යෑම, මහා බල සබඳතාවල ගමන් පථය සහ පුළුල් ගැටුමක වැඩෙන අවදානම සම්බන්ධයෙන් මූල්‍ය වෙළඳපොළ තුළ ඇති ගැඹුරු නොසන්සුන්තාව පිළිබිඹු කරයි. වටිනා ලෝහවල මිල ඉහලයාම ධනවාදී අස්ථාවරත්වයේ පීඩන මාපකයක් වන අතර, පාලක පන්තියේ කොටස් වත්මන් අර්බුදය තුළ වඩාත්ම නරක දෙයක පෙර නිමිත්තක් දකින බව පෙන්වයි.
ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇති වී ඇති මතභේදයේ තාවකාලික විසඳුම කුමක් වුවත්, යටින් පවතින ගමන් පථය ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය අතර වැඩිවන ගැටුම දෙසට වන අතර, එහිදී ඇමරිකානු අධිරාජ්‍යවාදයට එහි ප්‍රධාන වාසිය වන මිලිටරි බලය මත විශ්වාසය තැබීමට වඩ වඩාත් බල කෙරෙනු ඇත. ගෝලීය ධනේශ්වර ප්‍රභූවේ ප්‍රමුඛ රැස්වීමේදී මෙම අර්බුදය පුපුරා යාම දෙවන ලෝක යුද්ධයෙන් පසු සමස්ත ජාත්‍යන්තර පර්යායේ අර්බුදය හෙලිදරව් කරයි.
ට්‍රම්ප්ගේ “පළමුව ඇමරිකාව” යන ජාතිකවාදය හෝ යුරෝපීය ධනේශ්වරයේ ප්‍රතිචාරය කම්කරු පන්තියට කිසිදු ඉදිරි මාවතක් ඉදිරිපත් නොකරයි. ප්‍රචණ්ඩත්වය, ආර්ථික යුද්ධය සහ අවසන මිලිටරි ගැටුම හැර වෙනත් කිසිදු ක්‍රමයකින් තම ගැටුම් විසඳා ගැනීමට අපොහොසත් පාලක පන්තියක පිල් දෙකක් මෙම දෙපාර්ශ්වයෙන් නියෝජනය වේ.
