සංජය ජයසේකර විසිනි.
ජෙන්-Z විරෝධතාවල ගෝලීය රැල්ල, විප්ලවවාදී නායකත්වයේ ගැඹුරු වන අර්බුදය සහ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ පදනම මත සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිළිවෙල සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය විමර්ශනය කරන ලිපි මාලාවක 4 වන සහ අවසාන කොටසෙහි සිංහල පරිවර්තනය අපි මෙහි පළ කරමු. 1 වන කොටස ඉංග්‍රීසි බසින් 2025 නොවැම්බර් 6 වන දින ද සිංහල බසින් 2025 නොවැම්බර් 10 දින ද thesocialist.lk හි ප්‍රකාශයට පත් කරන ලදී. 2 වන කොටස ඉංග්‍රීසි බසින් 2025 නොවැම්බර් 14 වන දින ද සිංහල බසින් 2025 නොවැම්බර් 14 දින ද එහි පළ කෙරුණි. 3 වන කොටස ඉංග්‍රීසි බසින් 2026 පෙබරවාරි 27 වන දින ද සිංහල බසින් 2025 පෙබරවාරි 28 දින ද පළ කෙරුණි. 4 වන කොටස ඉංග්‍රීසි බසින් 2026 මාර්තු 7 වන දින ද වෙබ් අඩවියේ පළ කෙරුණි. ලිපි මාලාවේ 1 හා 2 කොටස් The Socialist සඟරාවේ 2025 නොවැම්බර් කලාපයේද, 3 කොටස සඟරාවේ 2026 පෙබරවාරි කලාපයෙ ද පළ කෙරුණි.
ජෙන්-Z කැරලිවල පෙළපත: අරාබි වසන්තය, වෝල් වීදිය වඩිලෑම සහ කහ කබා උද්ඝෝෂණ—දේශපාලනය, උපායමාර්ග, වැඩ පිළිවෙළ සහ කම්කරු පන්තිය සඳහා පාඩම් (පෙර ලිපියෙන්)
උපායමාර්ග: සෘජු ක්‍රියාකාරිත්වය, ඩිජිටල් සංවිධානයවීම සහ විප්ලවවාදී නායකත්වයේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි කාර්යභාරය
මෙම අරගල මාලා තුන, ඒවා විසින් ඉල්ලා සිටින මූලික දේශපාලන අවශ්‍යතාවන්හි වෙනසක් නොමැතිව, මහජන අරගලයේ වෙනස්වන තාක්ෂණික පරිසරය පිළිබිඹු කරන උපායමාර්ගික (tactical) ආකාරවල ප්‍රගතියක් පෙන්නුම් කරයි.
දේශපාලන පැවැත්මේ ආකාරයක් ලෙස පොදු අවකාශයේ තිරසාර අත්පත් කර ගැනීම සඳහා Occupy පුරෝගාමී වූ අතර, එය තාහ්රීර් චතුරශ්‍රයේ සංකල්පරූපය මත සවිඥානිකව නිර්මාණය කෙරුණි. “ජනතා මයික්‍රෆෝනය (people’s microphone)”, තිරස් තීරණ ගැනීම (horizontal decision-making) සහ රැස්වීම් ප්‍රජාතන්ත්‍රවාදය (assembly democracy), ධනේශ්වර නියෝජිත දේශපාලනයේ දූරස්ථ භාවය ජය ගැනීමේ සැබෑ අභිලාෂයක් ප්‍රකාශ කළේය. නමුත් සංකේතාත්මක වාඩිලෑම ධනේශ්වර නිෂ්පාදනයට හෝ රාජ්‍ය බලයට තර්ජනයක් විය නොහැක. එය ඉවසා සිටිනු ඇත්තේ අපහසුතාවයට පත් වන අවස්ථාව දක්වා පමණි, එම අවස්ථාව පැමිණි කල සම්බන්ධීකරණය කරන ලද ෆෙඩරල් රජයේ නියෝග මත එය ඉවත් කරන ලදී.
කහ කබාකරුවන් ආර්ථික වශයෙන් අඩි වශයෙන් වැඩ අඩාල කිරීමේ (distruptive) උපාය මාර්ගවල එකතුවක් වර්ධනය කළහ: භාණ්ඩ සංසරණ ස්ථාන අවහිර කිරීම, සතිපතා රිද්ම දුන් ජාතික බලමුලු ගැන්වීම්, සංකේතාත්මක හා සැලකිය යුතු කඩාකප්පල් කිරීම් වල සංයෝජන ආදිය ඒ අතර වේ. ප්‍රංශයේ සටන්කාමී කාර්මික ක්‍රියාමාර්ග සම්ප්‍රදාය, වීදි විරෝධතා පොදු වැඩ වර්ජන බවට පරිවර්තනය කිරීම සඳහා සැබෑ–සාක්ෂාත් කර නොගත් වුවද–හැකියාවන් නිර්මාණය කළේය. උපායමාර්ගික නවෝත්පාදනය තාත්වික විය; දේශපාලන සීමාව එක සමානවම පැවතුණි. ආර්ථිකයේ අංශ සහ කලාප හරහා වැඩ වර්ජන සම්බන්ධීකරණය කළ හැකි ස්වාධීන ක්‍රියාකාරී කමිටු සහ නිවහන් පෙදෙස් කමිටු නොමැතිව, වැඩ අඩාල කිරීමේ ශක්තිය රාජ්‍ය බලයට සැබෑ අභියෝගයක් එල්ල කළ හැකි තිරසාර සංවිධානාත්මක කාර්මික ක්‍රියාමාර්ගයක් බවට පරිවර්තනය කළ නොහැකි විය. වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන වූ එවැනි කමිටු, දේශීය අරගල විප්ලවවාදී ව්‍යාපාරයක් බවට ඔසවා තැබීම සඳහා සංවිධානාත්මක පූර්ව කොන්දේසියයි.[17]
ජෙන්-Z ව්‍යාපාර, සමාජ මාධ්‍ය වේදිකාවල වේගවත් බලමුලු ගැන්වීමේ හැකියාව එකතු කළ අතර, වේගයෙන් විශාල භූගෝලීය ප්‍රදේශ හරහා මහජන ක්‍රියා සම්බන්ධීකරණය කිරීමට හැකියාව ඇති කළේය. එය සාම්ප්‍රදායික ආයතනික ප්‍රතිචාර මන්දගාමී බව පෙනෙන්නට සැලැස්වීය. මෙම ඩිජිටල් මානය නව හැකියාවන් සහ නව අවදානම් හඳුන්වා දුන්නේය. වේගවත් බලමුලු ගැන්වීම බල ගැන්වූ එම වේදිකා, රාජ්‍ය නිරීක්ෂණය, බුද්ධි අංශවල විනිවිදීම සහ දේශපාලන අන්තර්ගතයේ ඇල්ගොරිතමය හැසිරවීම (manipulation) ද සක්‍රීය කළේය. වඩාත් මූලික වශයෙන්, දේශපාලන සංවිධානය වෙනුවට සමාජ මාධ්‍ය සම්බන්ධීකරණය ආදේශ කිරීම–වැඩසටහනේ පැහැදිලිකම වෙනුවට වෛරල් හැෂ් ටැග්, න්‍යායාත්මක සංවර්ධනය වෙනුවට ප්‍රවණතා මාතෘකා (trending topics)–එහි ව්‍යුහාත්මක දුර්වලතාවය, ඒවාට තිබෙන බව පෙනී ගිය තාක්ෂණික ශක්තිය මගින් ආවරණය කළ ව්‍යාපාර ඇති කළේය. එකී දුර්වලතාවය නම්: වීදි බලය, කම්කරු පන්තිය එහි තීරණාත්මක සමාජ ලීවරය ක්‍රියාත්මක කරන ආකාරය වූ, තිරසාර කාර්මික ක්‍රියාමාර්ගයක් (industrial action) බවට පරිවර්තනය කිරීමට ඇති නොහැකියාවයි.
සෙයිනෙප් ටුෆෙක්සි (Zeynep Tufekci) සහ පාවුලෝ ගර්බෝඩෝ (Paolo Gerbaudo) වැනි න්‍යායාචාර්‍යවරුන් විසින් ප්‍රවර්ධනය කරන ලද “නායකත්වයක් නොමැති” රාමුව, ෂන්තාල් මූෆ් ගේ වාම ජනතාවාදයේ ප්‍රතිගාමී න්‍යායට නෑකම් කියන දෘෂ්ටිවාදාත්මක කාර්යභාරයක් ඉටු කරයි. තිරස් රැස්වීම්, සමාජ මාධ්‍ය සම්බන්ධීකරණය, විධිමත් නායකත්වයක් නොමැතිකම වැනි ජාලගත විරෝධතාවල සංවිධානාත්මක ආකාර උත්කර්ෂයට නැංවීමෙන්, මෙම න්‍යායාචාර්‍යවරුන් වෛෂයිකව දේශපාලන ඌනතාවයක් වන දෙයක් දේශපාලන ගුණධර්මයක් බවට උසස් කරයි. “නායකත්වයක් නොමැති” ව්‍යාපාරවල න්‍යායාචාර්‍යවරුන් විසින් සමරනු ලබන ස්වයංසිද්ධවාදයට (spontaneism) එරෙහිව ලෙනින්ගේ විශ්ලේෂණය එහි සම්පූර්ණ බලය රඳවා ගනී: ස්වයංසිද්ධ කම්කරු පන්ති කෝපය, කෙතරම් සටන්කාමී වුවත්, සමාජවාදී විඥානය ජනනය නොකරයි; එය විප්ලවවාදී දේශපාලන නායකත්වය සංවිධානය කර මෙහෙයවිය යුතු අමුද්‍රව්‍යය වේ. [18] “නායකත්වයක් නොමැති” දෘෂ්ටිවාදය, ව්‍යාපාරයන් නායකත්වයෙන් නිදහස් නොකරයි; එය සැබවින්ම ක්‍රියාත්මක වන නායකත්වය–එනම් රාජ්‍ය නොවන සංවිධාන අරමුදල් සපයන සම්බන්ධීකාරකවරුන්, ප්‍රතිසංස්කරණවාදී මාර්ගවලට ශක්තිය යොමු කරවන ව්‍යාජ-වාම ශාස්ත්‍රාලිකයන් හෝ අවසානයේ මහජන කැරැල්ලේ දේශපාලන ඵල නෙළා ගන්නා ධනේශ්වර දේශපාලනඥයන්–සඟවයි.
වැඩපිළිවෙළ: ප්‍රතිසංස්කරණවාදී ක්ෂිතිජය සහ එහි අත්‍යවශ්‍ය අතික්‍රමණය
මෙම ව්‍යාපාර තුනම, “වැඩපිළිවෙළ පිළිබඳ” සංයුක්ත ඉල්ලීම් සමඟ අව්‍යාජ සහ සුජාත දුක්ගැනවිලි ප්‍රකාශ කළේය. එහෙත්, විප්ලවවාදී නායකත්වයක් නොමැති විට, නිෂ්පාදන මාධ්‍යයන් පාලනය කරන්නේ කවුද සහ ඒ කාගේ අවශ්‍යතා සඳහාද යන මූලික ප්‍රශ්නය ක්‍රමානුකූලව නොසලකා හරින ලද ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ක්ෂිතිජයක් තුළ මෙම ව්‍යාපාර තුනම රැඳී ගත්තේය.
වාඩිලෑමේ ඉල්ලීම් (ආදායම්) යලි බෙදාහැරීම, සමාගම්වල වගවීම සහ ආර්ථික අසමානතාවය අඩු කිරීම මත කේන්ද්‍රගත විය. කහ කබාකරුවන්, අඩු ඉන්ධන බදු, ඉහළ අවම වැටුප්, මහජන සේවා ප්‍රතිෂ්ඨාපනය සහ විවිධ ආකාරයේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටියහ. ජෙන්-Z ව්‍යාපාර ඉල්ලා සිටියේ, IMF විසින් නියම කරන ලද නිශ්චිත බදු පියවර ඉවත් කර ගැනීම, දූෂණය අවසන් කිරීම සහ රාජ්‍ය නායකයින් පුද්ගල වශයෙන් ඉවත් කිරීම ය. මෙම සියලු ඉල්ලීම් අව්‍යාජ ද්‍රව්‍යමය අවශ්‍යතා ප්‍රකාශ කළේය. කම්කරු පන්තියේ දේශපාලන බලය සඳහා වූ වැඩසටහනක් නොමැති විට, ඒවායින් කිසිවක් ධනේශ්වර පාලනයේ රාමුවෙන් ඔබ්බට යොමු නොවීය.
For a Left Populism (Verso, 2018) හි මූෆ් විසින් විස්තාරණය කරන ලද සහ ස්පාඤ්ඤයේ පොඩෙමොස් (Podemos) සහ ප්‍රංශයේ Insoumise විසින් සංවිධානාත්මක ප්‍රකාශනයක් ලබා දුන් න්‍යායික රාමුව මත පදනම්ව, සෑම ව්‍යාපාරයක් තුළම පැවති වාම-ජනතාවාදී ප්‍රවණතා මෙම ඉල්ලීම් “කතිපයාධිකාරයට” එරෙහිව “ජනතාවගේ” අරගලයක් ලෙස රාමුගත කරන ලදී. එය කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සහ සමාජවාදී අත්පත් කර ගැනීමේ ඉදිරිදර්ශනය බැහැර කරමින් ධනේශ්වරයේ කොටස් පන්ති හරහා (cross-class) “ප්‍රගතිශීලී” කන්ඩායමකට ඇතුළත් කිරීමට හිතාමතාම නිර්මාණය කරන ලද සූත්‍රගත කිරීමකි.
ග්‍රීසියේ සිරිසා (Syriza) සහ පොඩෙමොස් අත්දැකීම් පිළිබඳ පුළුල් ආවරණයක් හරහා WSWS මෙම රාමුවේ බංකොලොත්භාවය විශ්ලේෂණය කළේය. 2015 ජනවාරි මැතිවරණ ජයග්‍රහණයෙන් මාස කිහිපයක් ඇතුළත සිරිසා, EU-IMF(යුරෝපා සංගමය-ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) ත්‍රිත්වයට (එනම්, EC-යුරෝපීය කොමිසම, ECB-යුරෝපීය මහ බැංකුව, IMF-ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) යටත් වීම සහ තමන් විරුද්ධ වීමට පොරොන්දු වූ කප්පාදුම ක්‍රියාත්මක කිරීම සඳහා පොඩෙමොස්, PSOE සමඟ සභාග රජයට ඇතුළු වීම[20], වාම-ජනතාවාදය සදහා ව්‍යතිරේකයක් නොව එහි වඩාත්ම පරිපූර්ණ ප්‍රකාශනයන් වේ. ඉතිහාසය එහි තීන්දුව ලබා දී ඇත: සිරිසාවේ 2015 පාවාදීමෙන් වසර දහයකට පසුව, ග්‍රීසිය තවමත් තීව්‍ර සූරාකෑම සමඟ දරිද්‍රතාවයේ ගිලී සිටී; පොඩෙමොස් රජයට ඇතුළු වී වසර හතරකට පසු, අන්ත දක්ෂිනාංශික වොක්ස් (Vox) පක්ෂය ස්පාඤ්ඤ දේශපාලනයේ ප්‍රධාන බලවේගයක් ලෙස මතු වී ඇත. සමාජවාදයට යාමට පෙර කම්කරුවන් මෙම පක්ෂවල “අත්දැකීම් හරහා යා යුතු” බවට වන ව්‍යාජ-වාම ප්‍රකාශය, කම්කරු පන්තියට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දී ඇති මාරාන්තික බොරුවක් ලෙස හෙළිදරව් වී ඇත. [21]
සැබවින්ම විප්ලවවාදී ක්‍රියාමාර්ගය වන්නේ නොනවතින විප්ලවයේ ක්‍රියාමාර්ගයයි–අධිරාජ්‍යවාදී යුගයේ කම්කරු පන්තියේ වෛෂයික අවශ්‍යතාවලට අනුරූප වන එකම ක්‍රියාමාර්ගය එයයි. කම්කරු පන්තිය විසින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන්, ධනේශ්වර පන්තිය අස්වාමික කිරීමෙන් සහ ජාතික දේශසීමා ඉක්මවා සමාජවාදී විප්ලවය ව්‍යාප්ත කිරීමෙන් තොරව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයක්, කම්කරු පන්තියේ ද්‍රව්‍යමය තත්වයන්හි මූලික දියුණුවක් කල් පවතින පදනමක් මත සුරක්ෂිත කළ නොහැක. Occupy, Yellow Vests සහ Gen-Z ව්‍යාපාරවල පාර්ශ්වීය ඉල්ලීම්, සංක්‍රමණ ඉල්ලීම්–මහජන බලමුලු ගැන්වීම සඳහා ආරම්භක ලක්ෂ්‍ය–ලෙස සේවය කළ හැකිය. ඒ, ICFI හි පදනම් වැඩ පිළිවෙළ පිළිබඳ ලේඛනවල විස්තර කර ඇති පරිදි, ධනවාදය තම සතුරා ලෙස හඳුනා ගන්නා සහ කේන්ද්‍රයේ කම්කරු බලය පිළිබඳ ප්‍රශ්නය මතු කරන වැඩ පිළිවෙළ රාමුවකට ඒවා ඇතුළත් කර ඇත්නම් පමණි. [22]
සැලකිල්ලට යොමුවන වෙනස්කම්: සමාජ සංයුතිය, භූගෝලය සහ විප්ලවීය තීව්‍රතාවය
අරගල මාලා ත්‍රිත්වයෙහි මූලික දේශපාලන සමජාතීයභාවය–ඒවායේ පොදු දෘෂ්ටිවාදාත්මක සීමාවන් සහ වැඩ පිළිවෙළ පිළිබඳ ඌනතාවයන්–ස්ථාපිත කිරීමෙන් පසු, මූලෝපායික ඇඟවුම් ගෙන දෙන වෙනස්කම් සඳහන් කර ගැනීම අවශ්‍ය වේ.
සමාජ සංයුතිය: වාඩිලෑම තුළ ආධිපත්‍යය දැරුවේ නාගරික, බොහෝ විට උගත්, නාගරික මධ්‍යස්ථානවල සංකේන්ද්‍රණය වූ අඩමාන මධ්‍යම පන්තියේ ස්ථර විසිනි. එය සැබෑ මහජන අතෘප්තිය පිළිබිඹු කළ නමුත් එය සංවිධානය කර මෙහෙයවනු ලැබුවේ පුළුල් “99%” ඇතුලත සමාජීය වශයෙන් වරප්‍රසාද ලත් ස්ථර විසිනි. “සියයට 99” යන සටන් පාඨය කම්කරු පන්තිය සහ තම පන්ති අවශ්‍යතා කම්කරුවන්ගේ අවශ්‍යතාවලින් තියුණු ලෙස වෙනස් වූ ඉහළ මධ්‍යම පන්ති ස්ථරයන් අතර එම සියයට 99 තුළ පැවති බෙදීම් ඉවත් කළේය. කහ කබාකරුවන් භූගෝලීය වශයෙන් සහ සමාජීය වශයෙන් පුළුල් පදනමක්–පළාත්බද කම්කරුවන්, මගීන්, විශ්‍රාමිකයන්, කුඩා ව්‍යාපාර හිමිකරුවන් –නාගරික සමාජ පරිසරයෙන් පිටත සැබෑ කම්කරු පන්තියේ ගැඹුරට ළඟා විය. ජෙන්-Z ව්‍යාපාර, වාඩිලෑම හෝ කහ කබාකරුවන් අත්පත් කර නොගත් පරිමාණයකින් සැබෑ කම්කරු පන්ති සහභාගීත්වයක් සමඟ ශිෂ්‍ය සහ තරුණ පෙරටුගාමීන් ඒකාබද්ධ කළේය: ශ්‍රී ලංකාවේ මහා වැඩවර්ජන, කෙන්යාවේ අනුප්‍රාප්තික වැඩවර්ජන රැල්ල සහ වෘත්තීය සමිති-නිලධාරීවාදී ප්‍රති-බලමුලු ගැන්වීම නොතකා බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරු සහභාගීත්වය, ගුණාත්මකව ඉහළ තලයක අව්‍යාජ කම්කරු පන්ති සටන්කාමීත්වය ප්‍රකාශ කළේය.
භූගෝලය සහ නව යටත් විජිත මානය: වාඩිලෑම සහ කහ කබා අධිරාජ්‍යවාදී රටවල–පිළිවෙලින් එක්සත් ජනපදය සහ ප්‍රංශය–සිදු වූ අතර, එහිදී ක්ෂණික දේශපාලන ඉල්ලීම්වලට IMF ණය වහල් භාවය පෙරලා දැමීම හෝ නව යටත් විජිත සූරාකෑමෙන් නිදහස් වීම ඇතුළත් නොවීය. ජෙන්-Z ව්‍යාපාර අතිමහත් ලෙස සිදු වූයේ මෙම මානය කේන්ද්‍රීය වන පැරණි යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල ය: IMF, මහජන විරෝධතා අවුලුවාලූ නිශ්චිත බදු පියවර සහ කප්පාදු වැඩසටහන්වල සෘජුව පිටුපස සිටින අතර අධිරාජ්‍යවාදී ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නය දේශීය ධනේශ්වර සූරාකෑම පිළිබඳ ප්‍රශ්නයෙන් වෙන් කළ නොහැකි ය. මෙය ජෙන්-Z ව්‍යාපාරවලට, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දුක්ගැනවිලි සෘජුවම ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය හා සම්බන්ධ කරන මානයක් එක් කරන්නේ, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය එහි විසිඑක්වන සියවසේ යෙදුමෙන් සනාථ කරමිණි.
විප්ලවීය තීව්‍රතාවය: පාලන තන්ත්‍ර වෙනසක් හෝ රාජ්‍ය බලයේ බරපතල බිඳීමක් කිසි විටෙකත් කිරීමට බලයක් නොවුණු, වාඩිලෑම කලලරූපී ස්වරූපයෙදීම මර්දනය කරන ලදී. කහ කබාකරුවන් ප්‍රංශ පාලක පන්තිය තිරසාර පීඩනයකට ලක් කළ නමුත් එහි දේශපාලන ආයතනවල මූලික ස්ථාවරත්වයට තර්ජනයක් නොකළේය. ජෙන්-Z ව්‍යාපාර, ඊට වෙනස්ව, රාජ්‍ය නායකයින් තනතුරුවලින් පලවා හැර, ආණ්ඩු බිඳවැටීමට බල කළ අතර, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයේ සමස්ත ව්‍යුහයම සොලවාලීමේ විභවය පෙන්නුම් කළ මහා වැඩවර්ජන ගාමකයක් ජනනය කළේය. මෙම උග්‍ර වූ විප්ලවීය තීව්‍රතාවය ට්‍රොට්ස්කිවාදී නායකත්වයක් නොමැතිකම එහි ප්‍රතිවිපාක මගින් වඩාත් විනාශකාරී කරයි. වෛෂයික විප්ලවවාදී තත්වය සහ බලය ලබා ගැනීම සදහා කම්කරු පන්තිය සතු ආත්මීය ධාරිතාව අතර පරතරය–ජාත්‍යන්තර කමිටුව නිරන්තරයෙන් විප්ලවවාදී නායකත්වයේ අර්බුදය ලෙස හඳුනාගෙන ඇති දෙය–ජෙන්-Z අත්දැකීම තුළ විශේෂ තියුණු බවකින් ප්‍රකාශ වේ.
ව්‍යාජ වම: ප්‍රාදේශීය අහඹුවන්ගේ සමූහයක් නොව, ජාත්‍යන්තර දේශපාලන ධාරාවක්
අරගල මාලා තුන පිළිබඳ ඕනෑම බැරෑරුම් විශ්ලේෂණයක්, ව්‍යාජ-වාම සංවිධානවල භූමිකාවට අභිමුඛ විය යුත්තේ, ඒවා දේශීයව විශේෂිත වූ දේශපාලන උගුල් වල එකතුවක් ලෙස නොව–ඒවාට සහභාගිවන්නන්ගේ ආත්මීය අභිප්‍රායන් කුමක් වුවත්–ධනවාදයට පිළිගත හැකි සීමාවන් තුළ කම්කරු පන්තියේ විප්ලවවාදී ශක්තිය සීමා කිරීම යන කාර්යය ඉටු කරන, සුසංයෝගී ජාත්‍යන්තර දේශපාලන ධාරාවක ප්‍රකාශනයක් ලෙස ය.
එක්සත් ජනපදයේ ISO, යුරෝපය පුරා සිරිසා සහ පොඩෙමොස් ව්‍යාපාරයන් ප්‍රවර්ධනය කළ විවිධ පැබ්ලෝවාදී ජාලයන්, කෙන්යාවේ විප්ලවවාදී සමාජවාදී ලීගය, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය මාක්ස්වාදී-කෙන්යාව, පිලිපීනයේ BAYAN සහ Akbayan, ශ්‍රී ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (Frontline Socialist Party)–මෙම සංවිධාන ඒවායේ නිශ්චිත ජාතික සන්දර්භයන් නොතකා පොදු දේශපාලන ක්‍රමවේදයක් අන්තර්ගත කර ගනී. න්‍යායික පෙළපත පැහැදිලිය: ෂොන්ටල් මූෆ්, පොඩෙමොස් සහ මෙලෙන්චොන්ගේ (Mélenchon) ප්‍රංශ Insoumise යන දෙකටම සෘජුවම උපදෙස් දුන්නේය; ඇගේ සහකරු අර්නස්ටෝ ලැක්ලාව්ගේ (Ernesto Laclau) පශ්චාත්-මාක්ස්වාදී හෙජමොනි (ආධිපත්‍ය-hegemony) න්‍යාය පිළිබඳ විස්තාරණය මහාද්වීප තුනක් පුරා ව්‍යාජ-වාම කණ්ඩායම්වලට බලපෑම් කර ඇත; ජාත්‍යන්තර සමාජවාදී ප්‍රවණතාවය (International Socialist Tendency) සිරිසාවේ ගමන් පථයට බුද්ධිමය නීත්‍යානුකූලභාවයක් ලබා දුන් අතර එහි යටත් වීම (capitulation) පිළිබඳ මාක්ස්වාදී විවේචන අවහිර කළේය.
ව්‍යාජ-වම විසින් අරගල සීමා කිරීමේ මූලෝපායන් පිළිබඳ විශ්ලේෂණයේ දී WSWS අනතුරු ඇඟවූ පරිදි, මෙම ප්‍රවණතා “‘වම’ තුළ ධනේශ්වර දෘෂ්ටිවාදය සඳහා සංචිතයක්” ලෙස සේවය කරන අතර, විප්ලවවාදී ක්‍රියාමාර්ගයට නොව, වෘත්තීය සමිති නිලධරය සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතීන් ආරක්ෂා කරයි.[15] ඔවුන්ගේ මධ්‍යම පන්තික සංයුතිය, පදනම් සහ ලාභ නොලබන සංවිධාන මත ඔවුන්ගේ ද්‍රව්‍යමය යැපීම, කම්කරු පන්ති විප්ලවවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම සහ ස්වයංසිද්ධතාවය සහ “නායකත්වය නොමැතිකම” ප්‍රවර්ධනය කිරීම යන සියල්ල අව්‍යාජ සමාජවාදී නායකත්වයේ මතුවීම අවහිර කිරීමේ එකම කර්තව්‍යයට සේවය කරයි. මහජන ව්‍යාපාරවලට සහභාගී වන කම්කරුවන් සහ තරුණයින් මෙම රටාව තේරුම් ගත යුත්තේ අහඹු සිදුවීම් මාලාවක් ලෙස නොව නිශ්චිත පන්ති අවශ්‍යතාවයක ප්‍රකාශනයක් ලෙස ය.
“අරගලය” පර්යාලෝකනය කිරීම: 2022 ශ්‍රී ලංකාව සහ ජෙන්-Z කැරැල්ලේ ගෝලීය රටාව
2022 අරගලය–අප්‍රේල් සිට ජූලි දක්වා ශ්‍රී ලංකාවේ පැවති මහජන නැගිටීම–මූලික වශයෙන් රාජපක්ෂ පවුලේ දූෂණයට හෝ වැරදි කළමනාකරණයට එරෙහි විරෝධතාවක් නොවූවත්, පාලන තන්ත්‍රයේ අපරාධකාරීත්වය කෙරෙහි මහජන කෝපය අව්‍යාජ හා පුපුරන සුලු විය. ගෝලීය ධනවාදී බිඳවැටීමේ තත්වයන් යටතේ ශ්‍රී ලංකා ධනවාදයේ ආන්තික අර්බුදයේ ප්‍රකාශනය එය විය. දශක ගණනාවක් විදේශ ණය මත යැපීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට යටත් වීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඔවුන්ගේ විවිධ පාර්ලිමේන්තු සංයෝජන යන සෑම ධනේශ්වර දේශපාලන සැකැස්මකම දැඩි බංකොලොත්භාවය, ඉන්ධන, ඖෂධ සහ මූලික ආහාර ද්‍රව්‍ය රාක්කවලින් අතුරුදහන් වූ සමාජ ව්‍යසනයක් ඇති කර තිබුණි. COVID-19 වසංගතය සහ යුක්රේනය තුළ රුසියාවට එරෙහිව එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධය මගින් මුදා හරින ලද ආර්ථික අවහිර කිරීම, විදේශ විනිමය සංචිත බිඳවැටීම වේගවත් කළ අතර රජයට එහි ණය ගෙවීම පැහැර හැරීමට බල කෙරුණි. අප්‍රේල් සහ ජූලි අතර කාලය තුළ, ජනවාර්ගික රේඛා හරහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදිවලට එක්රොක් වූහ; මෙය දශක හතක් තිස්සේ සිංහල සහ දෙමළ ස්වෝත්තමවාදය මහජනයා බෙදීමේ ප්‍රධාන මෙවලම ලෙස ක්‍රමානුකූලව ගසාකෑ පාලක පන්තියක් සිටින රටක ප්‍රගාඩ දේශපාලන වැදගත්කමක් ඇති කරුණකි. අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල මිලියන ගණනක් සහභාගී වූ මහා වැඩවර්ජන දෙකක්, ස්වාධීන සමාජ බලවේගයක් ලෙස ගමන් ගන්නා විට කම්කරු පන්තියේ විභව ශක්තිය ඉතා පැහැදිලි බලයකින් පෙන්නුම් කළේය. රාජපක්ෂ ධුරයෙන් පලවා හැරි අතර 2022 ජූලි 13 වන දින ඔහුට රටින් පලා යාමට සිදුවිය. ඒ මොහොත වන විටත්, කම්කරු නිලධරය අරගලය හුදකලා කර තිබූ අතර කම්කරු පන්තියට නායකත්වයක් නොපැවතිණි.

නැගිටීම ඇති කළ විප්ලවීය අනතුරට සමානුපාතික පැහැදිලිතාවයකින් ව්‍යාජ-වාම සංවිධාන සහ වෘත්තීය සමිති නිලධරයෝ තම කාර්යය තේරුම් ගත්හ. ඔවුන්ගේ තීරණාත්මක කාර්යය වූයේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම නොව එය පාලනය කිරීමයි: එනම්, පහළින් පුපුරා යන දැවැන්ත සමාජ ශක්තිය ධනේශ්වර පාලනය ආරක්ෂා කරන දේශපාලන රාමුවකට යොමු කිරීම සහතික කිරීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාජ-වාම සැකැස්ම වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP), ව්‍යාපාරයේ කේන්ද්‍රීය දේශපාලන අරමුණ ලෙස “අන්තර්කාලීන ආණ්ඩුවක්” සඳහා වූ ඉල්ලීම ප්‍රවර්ධනය කළේය. මෙම ඉල්ලීම, එය ඉදිරියට ගෙන යන අයගේ මුවින් කෙතරම් රැඩිකල් ලෙස ඇසුණත්, එය කම්කරුවන්ගේ බලය සඳහා වූ ඉල්ලීමක් නොව, මහජන පීඩනයේ කොන්දේසි යටතේ, අපකීර්තිමත් පාර්ලිමේන්තු සංස්ථාපිතයේ එක් කොටසක් ප්‍රතිස්ථාපනය කිරීමට තවත් කොටසකට කරන ආරාධනයක් විය. වෘත්තීය සමිති සම්මේලන මහා වැඩවර්ජන දෙක කැඳවා පාලනය කළේ ඒවා එක් දින ක්‍රියාමාර්ගවලට සීමා කරමින්, ගාලු මුවදොර පිටියේ ව්‍යාපාරයෙන් ප්‍රවේශමෙන් හුදකලා කරමින්, සහ කිසිදු අවස්ථාවක මූලික ධනේශ්වර පිළිවෙළට අභියෝග කළ හැකි ඉල්ලීම්–එනම්, IMF ණය ප්‍රතික්ෂේප කිරීම, කම්කරුවන්ගේ පාලනය යටතේ ආර්ථිකයේ මෙහෙයුම්කාරක මුදුන් ජනසතු කිරීම හෝ කම්කරු පන්ති බලයේ ස්වාධීන අවයව පිහිටුවීම–ඉදිරිපත් නොකරමිනි. ගාලු මුවදොර පිටියේ සංකේන්ද්‍රණය වූ මධ්‍යම පන්තික විරෝධතා බලවේග, ඔවුන්ගේ පැත්තෙන්, වෝල් වීදිය වාඩිලෑමේ ව්‍යාපාරය සහ කහ කබාකරුවන් විසින් සංලක්ෂිත කළ, “දේශපාලනය එපා, නායකත්වයක් නැත” යන රාමුව ශ්‍රී ලංකාවේ තත්වයන් තුළ ප්‍රතිනිෂ්පාදනය කළ අතර, ධනේශ්වර රාජ්‍යයට සහ ව්‍යසනය ඇති කළ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට වඩා රාජපක්ෂවරුන් වෙත මහජන කෝපය යොමු කළහ. මෙම කාල පරිච්ඡේදය පුරාම ජාත්‍යන්තර කමිටුව නිවැරදිව අනතුරු ඇඟවීය: කම්කරු පන්තියේ විමුක්තිය අත්කර ගැනීම කම්කරුවන්ගේම කර්තව්‍යය වන අතර, අති දැවැන්ත සමාජ ගැටලුවලට පවතින සමාජ පර්යාය තුළ විසඳුමක් නොමැත.
මෙම ඒකාබද්ධ පාවාදීමේ දේශපාලන ප්‍රතිවිපාක, ICFI විශ්ලේෂණය කලින් අනතුරු අඟවා නිශ්චිතව හඳුනාගෙන තිබූ නොවැළැක්විය හැකි තර්කනයකින් දිග හැරුණි. ව්‍යාජ වම්මුන් සහ වෘත්තීය සමිති නිලධරය විසින් ඉදිරිපත් කරන ලද “අන්තර්කාලීන ආණ්ඩුවේ” රාමුව තුළ කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කර බලමුලු හරණය කිරීමත් සමඟ, පාලක පන්තිය වෙනුවෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවට නිදහස ලැබුණි. හය වතාවක් අගමැති ධුරය දැරූ, මූල්‍ය ප්‍රාග්ධනයේ සහ කොම්ප්‍රදෝරු ධනේශ්වරයේ ඓන්ද්‍රීය නියෝජිතයා සහ, ජනාධිපති ධුරය සඳහා එක ඡන්ද කොට්ඨාශයකින්වත් අනුමත නොකළ දේශපාලනඥයෙකු වූ රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 20 වන දින පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් කරන ලදී. ඔහුගේ වරම පැහැදිලි වූ අතර එය අපගමනයකින් තොරව ක්‍රියාත්මක කර ඇත: එනම්, IMF හි කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීම, ධනේශ්වර පිළිවෙළ යථා තත්ත්වයට පත් කිරීම සහ කම්කරු පන්තියේ ප්‍රතිරෝධය මර්දනය කිරීමයි. අත්‍යවශ්‍ය මහජන සේවා පනත වැඩ වර්ජනය කරන කම්කරුවන්ට එරෙහිව ක්‍රියාත්මක විය. IMF කොන්දේසි වන පෞද්ගලීකරණය, ප්‍රතිගාමී බදුකරණය, රාජ්‍ය සේවාවන් කපා හැරීම ක්‍රියාත්මක කරන ලද්දේ කම්කරු අයිතිවාසිකම් ක්‍රමානුකූලව මර්දනය කිරීමේ කොන්දේසි යටතේ ය. ගාලු මුවදොර කඳවුරට පහරදීම, විරෝධතා අපරාධකරණය කිරීම සහ නැගිටීමට නායකත්වය දුන් ක්‍රියාකාරීන්ට ක්‍රමානුකූලව හිංසා කිරීම අනුපිළිවෙලින් අනුගමනය කරන ලදී. මහජනයා විප්ලවීය ස්වරූපයෙන් අත්කර ගත් දෙය–රාජ්‍ය නායකයෙකු ඉවත් කිරීම–ව්‍යාජ-වාම පාවාදීමේ යාන්ත්‍රණය හරහා එහි නිශ්චිත ප්‍රතිවිරුද්ධය බවට පරිවර්තනය විය: එනම්, නැගිටීම මගින් පෙරලා දැමීමට උත්සාහ කළ එම IMF වැඩසටහනේම වඩාත් විනයගරුක සහ වඩාත් අනුකම්පා විරහිත බලාත්මක කරන්නෙකු ස්ථාපනය කිරීම යි. “තීරණාත්මක කාරණය දේශපාලන නායකත්වය පිළිබඳ කාරණයයි” යන්නට සහ අරගලවල ස්වයංසිද්ධතාවයට (spontaneity) පමණක්–ඒවා කොතරම් සටන්කාමී වුවත්–මහජන විප්ලවවාදී ශක්තිය පාලනය කිරීමට සහ හරවා යැවීමට හැකි ධනේශ්වරයේ සහ එහි ව්‍යාජ-වාම සහායකයන්ගේ සංවිධානාත්මක දේශපාලන ධාරිතාව ජයගත නොහැකි බවට ජාත්‍යන්තර කමිටුව කළ තක්සේරුව අරගලය තහවුරු කළේය.
ශ්‍රී ලාංකික අත්දැකීම මෙම රචනාව පුරා විශ්ලේෂණය කරන ලද ජෙන්-Z නැගිටීම් වල ගෝලීය රටාව සුවිශේෂ පැහැදිලිකමකින් ආලෝකමත් කරන අතර, එය සුසමාදර්ශී (paradigmatic) අවස්ථාව ලෙස පිළිගැනීමට සුදුසුය–එනම්, WSWS විසින් ස්ථාපිත කරන ලද පරිදි, බංග්ලාදේශය, කෙන්යාව, පිලිපීනය සහ වෙනත් තැන්වල පසුව ඇති වූ නැගිටීම් ගලා ආ අච්චුවයි. ගෝලීය රටාවේ සෑම අත්‍යවශ්‍ය අංගයක්ම සංකේන්ද්‍රිත ස්වරූපයෙන් එහි පවතී: IMF ණය වහල්භාවයේ සහ අධිරාජ්‍යවාදී ආධිපත්‍යය විසින් ඇති කරන ලද වෛෂයික අර්බුදය; සමාජ හා වාර්ගික බෙදීම් හරහා තරුණයින් සහ කම්කරුවන්ගේ පුපුරන සුලු මැදිහත්වීම; අර්බුදය විසඳීමට හැකියාව ඇති සමාජ බලවේගය ලෙස කම්කරු පන්තිය හෙළිදරව් කිරීමේදී මහා වැඩ වර්ජන දෙකෙහි තීරණාත්මක කාර්යභාරය; මහජන ව්‍යාපාරය ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කරන “අන්තර්කාලීන ආණ්ඩුවක” රාමුවකට යොමු කිරීම සඳහා ව්‍යාජ-වාම සහ වෘත්තීය සමිති නිලධාරිවාදී බලවේගවල ක්‍රමානුකූල මැදිහත්වීම; ධනේශ්වර දේපළ සබඳතාවලට අභියෝග කළ හැකි ඉල්ලීම් හිතාමතාම මර්දනය කිරීම; සහ නැගිටීම විසින් ප්‍රතික්ෂේප කළ එම IMF වැඩසටහනම ක්‍රියාත්මක කිරීම මූලික කාර්යය කරගත් නව ආණ්ඩුවක් ස්ථාපනය කිරීම. ව්‍යාජ වාම සහ ලිබරල් විවරණ මගින් ප්‍රජාතන්ත්‍රවාදී ස්වයංසිද්ධතාවය ලෙස සමරනු ලබන ගෝල්ෆේස් ව්‍යාපාරයේ “නායකත්වයක් නොමැති” සහ “දේශපාලනයක් නොමැති” ස්වභාවය, ටුෆෙක්සි, ගර්බෝඩෝ සහ මූෆ් ශාස්ත්‍රීය ලේඛනවල ඉටු කරන දෘෂ්ටිවාදාත්මක කාර්යයම ශ්‍රී ලංකාව තුළ ඉටු කළේය: එය මහජනතාවගේ සැබෑ විප්ලවවාදී ආවේගය සහ එය එහි අවශ්‍ය අවසානයට ගෙන යා හැකි එකම වැඩ පිළිවෙළ පිළිබඳ රාමුව–නොනවතින විප්ලවය, ස්වාධීන කම්කරු පන්තික දේශපාලන බලමුලු ගැන්වීම, ICFI ගොඩනැගීම–අතර සම්බන්ධතාවය බිඳ දැමීය.
එබැවින්, අරගලය විසින් මතු කරන ලද ප්‍රශ්නය–නයිරෝබි සිට ඩකා දක්වා, කොළඹ සිට මැනිලා දක්වා සෑම ජෙන්-Z නැගිටීමක් විසින්ම සමාන හදිසිතාවයකින් මතු කරන ලද ප්‍රශ්නය–ජනතාවට විප්ලවවාදී ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබේද යන්න නොවේ. 2022 අප්‍රේල් 28 සහ මැයි 6 මහා වැඩවර්ජන දෙක සහ ජූලි 9 වන දින ජනාධිපති මන්ධිරයට කඩා වැදීම, එම ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේය. ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තිය සතුව දේශපාලන මෙවලම–එනම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කොටසක් ලෙස සංවිධානය වූ සහ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය සඳහා සටන් කරන, නොනවතින විප්ලව න්‍යායෙන් සන්නද්ධ විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය–තිබෙන්නේ ද යන්නයි. එය නොමැතිව ජනතාවගේ වෛෂයික විප්ලවවාදී ධාරිතාව ව්‍යාජ-වාම පාවාදීමේ මැදිහත්වීම හරහා ක්‍රමානුකූලව එහි ප්‍රතිවිරුද්ධය බවට, එනම් ජනතාව පෙරලා දැමීමට උත්සාහ කළ ධනේශ්වර පිළිවෙලම තහවුරු කිරීම බවටම, පරිවර්තනය වේ.
පාඩම් සහ මූලෝපායික නිගමන
වෝල් වීදිය වාඩිලෑම, කහ කබා උද්ඝෝෂණ සහ පසුගාමී රටවල ජෙන්-Z නැගිටීම් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණය අතිශයින්ම වැදගත් මූලෝපායික නිගමන ගෙන දේ.
- පාර්ලිමේන්තුවෙන් පිටත කැරැලි ගැසීම සමාජ පරිවර්තනය සඳහා අත්‍යවශ්‍ය නමුත් මූලික වශයෙන් ප්‍රමාණවත් නොවන කොන්දේසියකි: මහජන අරගල මාලා තුන හරහාම පාලක පන්තිය පෙන්නුම් කර ඇත්තේ, ස්වයංසිද්ධ වීදි බලය සමාජ බලය බවට පරිවර්තනය කිරීමට කම්කරු පන්තියට දේශපාලන උපකරණ නොමැති නම්, වඩාත් දැවැන්ත හා අධිෂ්ඨානශීලී මහජන නැගිටීම් වලට එරෙහිව පවා එයට නොනැසී පැවතිය හැකි බවයි.
- සේවා ස්ථානවල හා අසල්වැසි ප්‍රදේශවල ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම තීරණාත්මක සංවිධානාත්මක ඉදිරි ගමනයි: එවැනි කමිටුවලට කර්මාන්ත අංශ සහ කලාප හරහා වැඩ වර්ජන සම්බන්ධීකරණය කළ හැකිය, ක්ෂණික ආර්ථික ඉල්ලීම් පුළුල් දේශපාලන අරමුණු සමඟ සම්බන්ධ කළ හැකිය, සහ කම්කරු පන්තිය තම තීරණාත්මක සමාජ උත්තෝලනය (leverage) ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ව්‍යුහයන් නිර්මාණය කළ හැකිය. ICFI විසින් ගොඩනගන ලද ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC), ජාත්‍යන්තර පරිමාණයෙන් මෙම උපාය මාර්ගයේ සංවිධානාත්මක ප්‍රකාශනය නියෝජනය කරයි.
- සියලු ධනේශ්වර පක්ෂ හා කන්ඩායම් වලින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කිරීම හෙට්ටු කළ නොහැක: මෙහි තේරුම විවෘතව ධනේශ්වර ගැති පක්ෂ ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව, මහජන අතෘප්තිය නැවත ධනේශ්වර කළමනාකරණය වෙත තල්ලු කරන ව්‍යාජ-වාම සංවිධාන දේශපාලනිකව නිරාවරණය කිරීම සහ පරාජය කිරීමයි.
- අරගලය ජාත්‍යන්තරීකරණය කිරීම අතිරේක අභිලාෂයක් නොව මූලෝපායික අවශ්‍යතාවයකි: ජෙන්-Z රැල්ල තුළ රටවල් ගණනාවක් හරහා මහජන කැරැල්ල එකවර පුපුරා යාම මෙන්ම එම රටවල් පුරා එහි පාවාදීමේ පොදු යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වීම පෙන්නුම් කරන්නේ අර්බුදය ගෝලීය බවත් කම්කරු පන්තියේ ප්‍රතිචාරය එලෙසම ගෝලීය විය යුතු බවත්ය. ජාතික පාලක පන්තිවලට කැරලි හුදකලා කිරීමට ඇති හැකියාව බිඳ දැමීම සඳහා විවිධ රටවල ධනවාදයේ ආර්ථික හා දේශපාලන මර්මස්ථාන වලට එකවර පහර දීම සඳහා වැඩ වර්ජන ක්‍රියාමාර්ග සහ ආරක්ෂක පියවර සැලසුම් කළ යුතුය. ජාත්‍යන්තර කමිටුවේ කොටස් ලෙස සංවිධානය වූ අව්‍යාජ ජාත්‍යන්තරවාදී විප්ලවවාදී පක්ෂ ගොඩනැගීම, ජාතික පිපිරීම් ධනේශ්වර පාලනයට ගෝලීය අභියෝගයක් බවට පරිවර්තනය කිරීමේ පූර්ව කොන්දේසියයි.
- කම්කරු පන්තිය තුළ සහ විප්ලවවාදී තරුණයින් අතර සමාජවාදී විඥානය සඳහා අරගලය විප්ලවවාදී සාර්ථකත්වය සඳහා පූර්ව කොන්දේසියයි: ලෙනින් අවධාරනය කළ පරිදි සහ සියවසක් පුරා විප්ලවවාදී අත්දැකීම් සනාථ කර ඇති පරිදි, කම්කරු පන්තියට අවශ්‍ය වන්නේ දේශපාලන නායකත්වයක් නොමැතිකම නොව, දේශපාලන නායකත්වයේ ඉහළම ගුණාත්මකභාවයක්, එනම්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයේ කොටස් ලෙස සංවිධානය වූ, නොනවතින විප්ලවයේ වැඩ පිළිවෙළින් සන්නද්ධ වූ විනයගරුක විප්ලවවාදී පක්ෂ ය. “නායකත්වයක් නොමැති” දෘෂ්ටිවාදය මහජන ව්‍යාපාර නායකත්වයෙන් නිදහස් නොකරන අතර එය කම්කරු පන්තියේ අවශ්‍යතාවලට සතුරු වන බලවේගයන්ගේ ග්‍රහනයට ඒවා නතු කර දමයි.
වාඩිලෑම, කහ කබා උද්ඝෝෂණ සහ ජෙන්-Z රැල්ල හරහා දිවෙන පොදු හුය පට වන්නේ වෛෂයික පන්ති අතෘප්තිය ගැඹුරු වීම සහ පාලක පන්තියට මර්දනය හෝ සංකේතාත්මක ප්‍රතිසංස්කරණ මගින් වසා දැමිය නොහැකි දේශපාලන අවකාශයන් නැවත නැවතත් විවෘත වීමයි. තීරණාත්මක ඓතිහාසික කර්තව්‍යය වන්නේ මෙම පුනරාවර්තන කැරැල්ල ස්වාධීන කම්කරු පන්ති නායකත්වය යටතේ සංවිධානාත්මක, සවිඥානික සමාජවාදී අරගලයක් බවට පරිවර්තනය කිරීමයි. එම කාර්යය, එනම් සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම, අපගේ කාලයේ වඩාත්ම හදිසි දේශපාලන වගකීමයි.
සමාප්තයි.
යොමුව:
[17] World Socialist Web Site, ‘What way forward in the struggle to bring down Macron?’ (5 April 2023) <https://www.wsws.org/en/articles/2023/04/06/pers-a06.html>
[18] Lenin VI, What Is to Be Done? Burning Questions of Our Movement (1902) <https://www.marxists.org/archive/lenin/works/1901/witbd/>
[19] World Socialist Web Site, ‘The capitulation of Syriza and the lessons for the working class’ (23 February 2015) <https://www.wsws.org/en/articles/2015/02/23/pers-f23.html>
[20] World Socialist Web Site, ‘Podemos enters Spanish government: (8 January 2020) “On Tuesday, the Spanish Socialist Party (PSOE) of Prime Minister Pedro Sanchez officially formed a coalition government with the pseudo-left Podemos party, the Spanish ally of Greece’s pro-austerity Syriza (“Coalition of the Radical Left”).” <https://www.wsws.org/en/articles/2020/01/08/pode-j08.html>
[21] World Socialist Web Site, ‘How Syriza’s betrayals strengthened the extreme political right in Greece’ (27 June 2023) <https://www.wsws.org/en/articles/2023/06/27/etlb-j27.html> ; International Committee of the Fourth International, ‘The Political Lessons of Syriza’s Betrayal in Greece’ (13 November 2015) <https://www.wsws.org/en/articles/2015/11/13/icfi-n13.html>
[22] Trotsky L, The Transitional Programme: The Death Agony of Capitalism and the Tasks of the Fourth International (1938) <https://www.marxists.org/archive/trotsky/1938/tp/> ; International Committee of the Fourth International, The Historical and International Foundations of the Socialist Equality Party (Mehring Books 2008) <https://www.wsws.org/en/special/library/foundations-us/00.html>
